පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ඇගයීමක් නොලැබුනු බව කොමිසමේදී අනාවරණ වෙයි

(02.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණ වුණා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන් අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (01) සාක්ෂි දුන් බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවයි.

නමුත් ඊට නිසි ඇගයීමක් නොලැබුනු බව බුද්ධි නිලධාරියා සඳහන් කළා.

පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමට දින 16 ක් වැනි කාලයක් තිබුණද සතිපතා රැස්වන ආරක්ෂක කවුන්සිලයේදී හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස් වූ කිසිදු අවස්තාවකදී මෙවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී නැහැ.

මෙවන් වටිනා නිශ්චිත තොරතුරු LTTE යුද සමයේදීවත් නොලැබුනු බව බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා.

අදාළ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය අවිධිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙම තොරතුරුවල බරපතල කම හීන වූ බව ද සාක්ෂිකරු සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බොහෝ තොරතුරු අනාවරණ වුවත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඔවුන් තොරතුරු බෙදා ගැනීමේ මැලි කමක් දක්වන බවයි බුද්ධි නිලධාරියා කොමිසමට හමුවේ ප්‍රකාශ කළේ.

සාක්ෂිකරු පෙන්වා දුන්නේ මෙලෙස තොරතුරු හුවමාරු කර නොගැනීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී බුද්ධි තොරතුරු රැස් කිරීමේදී බෝහෝ දුෂ්කරතා මතු වූ බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය කිරීම, වනාතවිල්ලුව අවි අයුධ සහ පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම ඇතුලු අවස්ථාවන් 5 ක් පිළිබඳ බුද්ධි නිලධාරියා කොමිසමට සිහිපත් කළා.

ඔහු සඳහන් කළේ, අදාළ සිද්ධීන් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසුවද, ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු සහයෝගයක් නොලබුණු බවයි.

එමෙන්ම අන්තවාදී ඉස්ලාම් මත අනුගමනය කළ ‘සුන්නත් වල් ජමාත්’ සංවිධානය සමඟ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී සබඳතා පැවැත්වූ බවට 2017 වසරේ ජූනි 11 වන දා තොරතුරු ලැබුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

ඉන් අනතුරුව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතායි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සහ ජමීල් යන අය දැඩි මත දරන පුද්ගලයින් බවට ඔවුන් විවිධ අවස්ථාවන්වලදී සිදු කර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අනාවරණ වී තිබූ බව ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

එහිදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා සී 4 බී ලෙස සඳහන් ලේඛනයක් සාක්ෂිකරුට පෙන්වා සිටියා.

සාක්ෂිකරු එහිදී කියා සිටියේ මෙවැනි නිශ්චිත තොරතුරු සහිත ලේඛනයක් තිබියදීත් පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන තමන් මවිතයට පත් වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර තිබූ ලිපිය පරීක්ෂණ වාර්තාවක ස්වරූපයක් ගෙන තිබූ බවත් පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුවත් කිරීමට එය කාලෝචිත නොවන බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නා.

බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මාවනැල්ල බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ද සහරාන් හෂීම් සමග ඉතා සමීපව සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

එම අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ යුතුව තිබුණේ මෙම බුද්ධි තොරතුරු නිසි ලෙස අවධානයට ගැනීම බවත් එහි බරපතකම අනෙකුත් බුද්ධි නිලධාරීන් සමග බෙදා ගෙන ඊට අදාල මෙහෙයුම් දියත් කිරීම බවයි සාක්ෂිකරු පෙන්වාදුන්නේ.

එහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ රජ්‍ය බුද්ධි ප්‍රධානියාට ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් ඕනෑම අවස්තාවකදී සම්බන්ධ විය හැකිද යන්නයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියට අපායට ගියත් ජනාධිපතිවරයා සමග සෘජුව සම්බන්ධ විය හැකියි…

හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියා.

***************************************

තවත් නාකොටිකයන් 11 ක් පොලිස් අත්අඩංගුවට

(02.07.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala)

= තවත් නාකොටික් නිලධාරීන් 11 ක් පොලිස් අත්අඩංගුවට =

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් 11 දෙනෙකු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ එක් රහස් පොලිස් කණ්ඩායමක් විසින්.

මීට පෙර මෙම ජාවාරම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ තවත් නිලධාරීන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පාතාල නායකයන් සමඟ සම්බන්ධ වී කටයුතු කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයද පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව හෙළිවූ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් හෙලිවුණා.

මෙම නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහයෝගය දැක්වූ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද (2) අත්අඩංගුවට ගනු ලැබුවේ එම තොරතුරු මතයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් රථවාහන, අවිආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලබාගත් රුපියල් කෝටි ගණනින් වූ මුදල්වලින් මිලදී ගත් බව කියන රන් ආභරණ තොගයක් මෙන්ම රුපියල් 3 න්කෝටි 12 ලක්ෂයක මුදලක්ද මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මෙම ජාවාරම මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයා මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බවයි ෴

***************************************

නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

(02.07.2020 – 12:05 +0530 – hirunews.lk/sinhala)

නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තාවනවා.

මෙලෙස පොලිස් නිලධාරියා නිල්වලා ගඟට වැටී ඇත්තේ නාදුගල ප්‍රදේශයේදී බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඊයේ (01) දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු ගඟට ඇදවැටී ඇති අතර අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ කිඹුලෙකු විසින් නිළධාරියා ඩැහැගෙන ගිය බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

මගී බස් රථයකින් කාන්තාවක් බිම ඇදවැටෙන හැටි කැමරාවක සටහන් වෙයි

(02.07.2020 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වූ බස් රථයකින් කාන්තාවක් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ අනතුර කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේදී සිදුවුන බවයි වාර්තාවන්නේ.

***************************************

විහිළුකාරයන් බලයට ඇවිත් රට විනාශ කළා – ප්‍රසන්න රණතුංග

(02.07.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මනාපවලට පොරකෑමෙන් ජනපතිට තුනෙන් දෙකේ බලයක් ලබාදීමේ අවස්ථාව ගිලිහෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර සජිත් – රනිල් දෙපාර්ශවයම සොරකම් කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ අද (02) පැවති ජන හමුවක් අමතමින්.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකිවූ මෛත්‍රීපාල සිරිසේන චූදිතයයෙක් වන බව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමින්.

සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහ වෙත ඇඟිල්ල දික් කිරීමෙන් පමණක් ඔවුන්ට එල්ලවන චෝදනාවලින් ගැලවීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය ඩීල් දේශපාලනයක නියැලෙමින් සිටින බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට 2020 මැතිවරණ වේදිකාවේ විහිලු සපයමින් සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම් කණ්ඩායමක් බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ විපක්ෂයේ කාර්ය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය ද තමන් ඇතුළු කණ්ඩායම සිදුකරමින් සිටින බවයි.

***************************************

සතොස ආයතනය යාවත්කාලීන කර යළි බලගන්වා ජාතියට දායාද කරනවා – අගමැති

(02.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනය යාවත්කාලීන කර යළි බලගන්වා ජාතියට දායාද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී.

වසර 5 ක් පුරා වසා දමා තිබූ වීරවිල සහ හිඟුරක්ගොඩ සහල් මෝල් නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

සතොස ආයතනය යළි බලගන්වා ජාතියට දායාද කිරීමේ පළමු පියවර ලෙස එම සහල් මෝල් නැවත ආරම්භ කෙරෙන බව අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී.

මෙම සැමරුම නිමිති කොටගෙන සමරු මුද්දරයක් හා මුල්දින කවරයක්ද නිකුත් කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

රාජිත සේනාරත්න, නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් බවට සාක්ෂි තිබෙනවා – හිටපු ඇමති විජේදාස රාජපක්ෂ

(02.07.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කප්පම් මුදල් ලබාගත් බවට වන සාක්ෂි තමන් සතු බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.

***************************************

උදා ගම් සංකල්පයෙන් යතාර්ථයක් නොවූ සෝභිත ගම ජනතාවගේ නිවාස සිහිනය

(02.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ඇලපත්ගම, දුනුමඩලාව සහ ගලපාමුල යන ගම්මානවල ජනතාව ජීවත්වන්නේ හරිහමන් නිවාස පහසුකම්ද නොමැතිව දැඩි දුෂ්කරතා රැසක් මධ්‍යයේයි.

මෙම ගම්වල පවුල් 200 කට වැඩි පිරිසක් ජීවත්වන අතර, ඉන් නිවාස 100 කටත් වැඩි ප්‍රමාණයක් කටු මැටි නිවාසයි.

මේ ජනතාව වෙනුවෙන් පසුගිය රජය සමයේ උදා ගම් සංකල්පය යටතේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි නමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ වුවද එය යථාර්ථයක් වී නැහැ.

ස්වභාවධර්මයේ අභියෝගයන්ට පවා මුහුණදෙමින් වර්ෂාව පවා නිසි කලට නොලැබෙන පරිසරයක ජීවත්වන මේ ජනතාවට ඒ හේතුවෙන් හරිහමන් ගොවිතැන් කටයුත්තක් කර ගැනීමටවත් හැකියාවක් නැහැ.

අහසින් වැටෙන ජල බිඳුවෙන් පවා නොවිඳිනා දුක්ගැහැට විඳිමින් ගොඩ බෝග වගාකළද ඒවායේ භුක්තිය වන අලීන්ට සින්නවී තිබෙනවා.

නිරන්තරයෙන් වන අලීන් ගම්වැදීම හේතුවෙන් මේ ජනතාවට රාත්‍රිය ගත කිරීමට සිදුව ඇත්තේ ගස් උඩ අටවාගත් පැල් මතයි.

විවිධ නාමයන් යටතේ නිවාස ව්‍යාපෘති දියත් කරමින් ජනතාවගේ ඡන්දය උකසට ගන්නා දේශපාලනඥයින් මෙවන් දුක්ගැහැට විඳින ජනතාවට සැබෑවටම පිළිසරණක් වන්නේ කවදාද?

මෙම අසරණ ජනතාව දෙස බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

ගමට පාරක් නැතුව වාරිමාර්ගයේ යන බත්ගම්පත්තුවේ වැසියන්ගේ කඳුළු කතාව

(02.07.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මාර්ග, භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි ඇළක්, මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව මින්නේරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මින්නේරිය – පුරාණ දේවාලය අසළින් වැටී ඇති මෙම ඇළ මාර්ගය කිලෝ මීටරයක් පමණ දුරට වෙල් යාය මැදින් බත්ගම්පත්තුව ගම්මානය දෙසට දිවයනවා.

මෙම ඇළ මාර්ගයම ප්‍රදේශයේ නිවාස කිහිපයකට යාමට ඇති ගමන් මාර්ගය වීමද විශේෂත්වයක්.

නිවැසියන් පෙන්වා දෙන්නේ වසර 40 ක පමණ කාලයක සිට තමන්ට ප්‍රධාන මාර්ගයට පැමිණීමට සිදුව ඇත්තේ මෙම ඇළ මාර්ගය මතින් බවයි.

ස්ථිර ගොඩ මාර්ගයක් සකස්කර ගැනිමට මොවුන්ට අවශ්‍ය වුවත් ඇළ මාර්ගය දෙපස සින්නක්කර ඉඩම් අයිතිකරුවන්ගේ සහයක් ඊට නොලැබෙන බව ඔවුන් පවසනවා.

ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් තම නිවාස අතහැර වෙනත් ප්‍රදේශ වෙත ගොස් තිබෙනවා.

බලධාරීන්ට කොතෙකුත් දැනුම්දුන්නද මේ සම්බන්ධව අවධානය යොමු නොවුණු බවට පවසන නිවැසියන් ඉල්ලා සිටින්නේ ස්ථිර මාර්ගයක් සකස්කර දෙන ලෙසයි.

***************************************

CID අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා අධිකරණයට

(02.07.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා මත ඔවුන් 12 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

මෙරට ඉතිහාසයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

මොවුන්ව මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(02.07.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා ලබන 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ මෙම සැකකරුවන් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද (02) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මොවුන්ව මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.

අද (02) අත්අඩංගුවට ගත් පිරිසට පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2), සැරයන්වරු 3 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනෙකු ඇතුළත්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පාතාල නායකයන් සමඟ සම්බන්ධ වී කටයුතු කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයද පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව හෙළිවූ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු (2) සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත් වුණා.

මෙම නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහයෝගය දැක්වූ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද (2) අත්අඩංගුවට ගනු ලැබුවේ ලද තොරතුරු වලට අනුවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් රථවාහන, අවිආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලබාගත් රුපියල් කෝටි ගණනින් වූ මුදල්වලින් මිලදී ගත් බව කියන රන් ආභරණ තොගයක් මෙන්ම රුපියල් තුන් (3) කෝටි 12 ලක්ෂයක මුදලක්ද මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

***************************************

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින් කෙටි කාලීන ණයක්

(02.07.2020 – 16:25 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින් කෙටිකාලීන ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග ආදායම් අඩුවීම නිසා එම අරමුදල දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර, මාසිකව රුපියල් මිලියන 135 ක් බැගින් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට එම අරමුදල විසින් කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයා විසින්.

ඒ අනුව, භාණ්ඩාගාරයේ මැදිහත්වීම මත අදාළ ණය මුදල දේශීය බැංකුවකින් ලබා ගැනීමටත් සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග එම ණය මුදල පියවීම සඳහා කටයුතු සලසා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා ෴

***************************************

හෙරොයින් අලෙවියේ නිරතවූ බස් රථ සේවකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.07.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට තිස්සමහාරාම සහ කිරින්ද අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරතවූ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ගනිමිනුයි වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී බස් රථය නවතා මත්කුඩු අලෙවි කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

අවුරුදු 23 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා පල්ලෙමලල සහ තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් සතුව තිබී අලෙවියට සූදානම් කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට (03) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *