ETI අක්‍රමිකතා සොයන කොමිසමේදී අද (02) සිදුවූ හෙළිදරව්ව

(02.07.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බව ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂකවරයා විසින් 2017 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ලිඛිතව දන්වා තිබියදීත් තැන්පතු භාරගැනීම නතර කිරීම සඳහා 2018 වසර වන තෙක්ම මහ බැංකුව මගින් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අද (02) අනාවරණය වුණා.

ඒ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අද සිදුකළ සාක්ෂි විමසීමේදීයි.

අද කොමිසම හමුවේ තෙවන දිනටත් පෙනී සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂ W. රණවීර මහතායි.

ETI ආයතනයේ වත්කම් විකිණීමට ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය අනුමත කර තිබූ බවත් එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75 කට ඇස්තමේන්තු කළ බවත් ලිපි ලේඛනද සහිතව සාක්ෂිකරු කොමිසමට කරුණු ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව සිදු කළ ආයතනය පිළිබඳ ඔහු කොමිසම හමුවේ අනාවරණය කළේ නැහැ.

කෙසේ වෙතත් මූල්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් මාධ්‍ය ආයතනවල වත්කම් විකිණීමට අදාල කොන්දේසි ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කර තිබෙන්නේ 2018 පෙබරවාරි 22 වනදායි.

මෙම මහ බැංකු මූල්‍ය මණ්ඩල පත්‍රිකාව නිකුත් වීමෙන් අනතුරුව 2018 අප්‍රේල් මස 05 වන දා බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය මෙරට සංස්ථාපනය කර ඇති බවයි අද කොමිසම හමුවේ අනාවරණය වුයේ.

කෙසේ වෙතත් ETI සමාගමේ වත්කම් මිලදී ගත් බ්ලූසමිට් නම් ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ ETI සමාගමට අනුබද්ධ ජනමාධ්‍ය ආයතනවල කොටස් 40% ක අයිතිය තමන් සතු කර ගන්නා අතර ඉතිරි කොටස ETI සමාගමට අනුබද්ධ මෙරට වෙනත් ආයතනයක් හරහා මිලදී ගන්නා බවයි.

මේ අතර ETI තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ වරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2017 වසරේදී ETI ආයතනයේ මුදල් නොමැති නිසා තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට නොහැකි බව එහි අධ්‍යක්ෂක මණ්ඩලය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට දැන්වූයේද යන්නයි.

එලෙස දැන්වූ බව සාක්ෂිකරු එහිදී පිළිගත්තා.

සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කර සිටියේ 2018 ජනවාරි මාසය වන තෙක්ම ඒ බව මහජනතාවට දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි.

***************************************

ඇමති විමල් වීරවංශ, දළඳා සමිඳුන් වැඳපුදා ගනී

(02.07.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙලට 19 වන සංශෝධනය බාධාවක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (02) ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින තම පක්ෂයේ නියෝජිතයින් සමඟ මහනුවරට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (02) පෙරවරුවේ දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත වුණා.

අනතුරුව, අමාත්‍ය විමල් වීරවංශ මහතා රාමඤ්ඤ මහානිකායේ මහානාහිමි අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුවයි ගැටඹේ රාජෝපවනාරාම විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවේ.

රටට හානි වන ආකාරයේ කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පැය 9 ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි

(02.07.2020 – 18:39 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ පැය 9 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

එම ඒකකය පසුගිය දින දෙකෙහි මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඊට අමතරව මෙම චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත්තා.

+++++++++++++++++++++

***************************************

බොරැල්ල වෝඩ් පෙදෙසේදී මෝටර් රථයක් ගිනි ගනී

(02.07.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල වෝඩ් පෙදෙසේදී අද (02) පස්වරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇත්තේ අද (02) පස්වරු 04:15 ට පමණයි.

ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න නිවා දමා තිබුනා.

***************************************

අගමැති, පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩලය අමතයි

(02.07.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

උතුරේ දේශපාලනඥයින්ට ෆෙඩරල් විසඳුමක් ගැන පවසමින් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම මිස, තම පළාත සංවර්ධන කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල හමුවට අද (02) බද්දේගමදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

***************************************

බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන CCTV කැමරා නිරීක්ෂණයට පැමිණි පොලිසිය කටයුතු කළ හැටි

(02.07.2020 – 22:39 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අන්‍යාගමික පුද්ගලයෙකු සවිකර තිබු සී.සී.ටී.වී. පද්ධතිය පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (01) පොලිස් නිලධාරීන් පැමිණියා.

එහිදී මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළ ආකාරය පිළිබදවයි අද (02) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

***************************************

කොළඹ ජින්තුපිටියේ කොවිඩ් රෝගියා නිරෝධායන ක්‍රියාවලියෙන් හඳුනාගත් අයෙක්

(03.07.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)

ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස වාර්තාවී ඇති ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙක්.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ඔහු ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමුකර ඇතිබවයි.

කෙසේ වෙතත් එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමඟ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට යවා ඇත්තේ දින 14 ක නිවාස නිරෝධායනයට යටත්වයි.

එම කාළය තුළදී සිදුකෙරෙන PCR පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

එම ආසාදිතයා මේ වනවිට ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙම රෝගියා සමාජ තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනාගත් අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය යටතේ එම ප්‍රදේශයේ නිවාස 29 ක සිටි 150 කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

ඊයේ (02) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2066 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි.

ඒ අනුව මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත්, නිරෝධායන ක්‍රියාවලිය තුළ හඳුනාගත් අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරණ විශේෂ ගුවන් යානය ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් මෙලෙස පැමිණි අතර, ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, වියට්නාමයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් වියට්නාම ගුවන් සේවයට අයත් වී.ජේ 5968 දරණ විශේෂ ගුවන් යානයෙන් හෝචිමිං නුවර සිට මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මේ මස 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සියලු පාසල් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව සියලුම පළාත් සහ කලාප බලධාරීන් මෙන්ම පාසල් ප්‍රධානීන්ද දැනුවත් කර තිබෙනවා.

මග හැරී ගිය ඉගෙනුම් කාලය ආවරණය කිරීමට සහ ඉගෙනුම් කටයුතු සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සියලු ගුරුවරුන් පස්වරු 03:30 තෙක් පාසලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන අතර, කාලසටහන අනුව නියමිත ඉගෙනුම් කාලච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරසය හමුවේ නිවෙස්ගතව සිටින කාලය සඳහාත් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණලාභීන් වෙත රුපියල් පන්දහසක දීමනාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

ජින්තුපිටියේ 50 කට කොරෝනා නැතැයි තහවුරු වේ

(03.07.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම සියලුදෙනාගේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔවුන් තවදුරටත් සති දෙකක නිරෝධායන කාලයකට යටත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ආසාදිතයන් නොවන පිරිස අතර, කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු ද වන බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළා.

එසේම ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වීමෙන් පසු ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අදාළ රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර, අද (03) දිනයේදීත් කොරෝනා ආසාදනය වූ 39 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1866 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (03) දිනයේ මෙතෙක් නව ආසාදිතයන් හඳුනාගෙන නැහැ ෴

+++++++++++++++++++++

(03.07.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (03) තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11 ක් ෴

***************************************

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ 20 කට ස්ථාන මාරු

(03.07.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට (02) ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිස් මූලස්ථානයේ මීට පෙර රාජකාරී සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජී.කේ.ජේ.අපෝන්සු මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව එහි සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත්ට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත් කිරීමට අනුමැතිය ලබාදුන් බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ෴

***************************************

අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරී

(03.07.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (03) පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් දින 03 ක් තිස්සේ දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වරාය සේවකයින් අත්හිටවනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයාගේ තංගල්ල – කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර ගොඩබා නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍යවරයා අවසර ලබාදුන් බවයි.

කොළඹ වරායේ නැගෙනහිර බහාළුම් පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර, කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලා වරාය වෘත්තිය සමිති නායකයින් තුන් දෙනකු අඩි 187 ක් උස දොඹකරයක මත නැග විරෝධතාවක් ආරම්භ කළේ පෙරේදා (01) පස්වරුවේයි.

ඊට සමගාමීව වරාය සේවකයින් විරෝධතාවල නිරත වූ අතර, අවස්ථා දෙකකදී විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ (02) පස්වරුවේ සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

***************************************

උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

(03.07.2020 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 ජුලි 03) යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 400 කට අධික කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැක සහිත යාත්‍රාවක් මගින් පාර්සල් කිහිපයක් මුහුදේ දමා පලා යන ආකාරය නිරීක්‍ෂණය කරන ලද අතර, පසුව සිදුකල සෝදිසි කිරීමේදී මුහුදේ පාවෙමින් තිබූ බෑගයන් 12 සොයා ගැනීමට සමත්වීය. අදාල බෑගයන් පරීක්‍ෂා කිරීමේදී එහි කුඩා පාර්සල් 168 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදි.

පලා යන ලද යාත්‍රාව සහ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේවන විටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින අතර, සිදුවීම සම්බන්ධයෙන් දැනට එක් සැකකරුවකු යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගැනීමට සමත්වන ලදි.

මෙම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 400 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට හැකිවී ඇති අතර එහි විදියේ වටිනාකම මිලියන 60 කට අධික වෙතැයි ගණන් බලා ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, මෙම වර්ෂය තුළදී උතුරු ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ 2468 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් 91 කදී පුද්ගලයින් 141 ක් සමග කේරළ ගංජා ටොන් තුනකට (03) අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද සියලු විෂයන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.

***************************************

මාතරම හඬවමින් නිල්වලා ගඟට වැටී කිඹුලා ඩැහැගෙන ගිය පොලිස් නිලධාරියාගේ සිරුර ගොඩගත් හැටි

(03.07.2020 – 12:05 +0530 – hirunews.lk/sinhala)

නිල්වලා ගඟට වැටී අතුරුදන් වූ පොලිස් නිලධාරිගේ සිරුර හමුවී තිබෙනවා. ඒ මාතර නාදුගල පොම්පාගාරය ප්‍රදේශයේදීයි.

පසුගියදා ජංගම දුරකථනයක් ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කිරීමේදී මෙම පොලිස් නිලධාරියා කිඹුලෙකු ඩැහැගෙන ගිය බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

මේ වනවිට තොරතුරු වර්තාවන්නේ එම ස්ථානයේ පැවති සාදයකදී ඔහුගේ මිතුරෙකුගේ ජංගම දුරකතනයක් ගඟට වැටී ඇති බවයි.

කෙසේ වෙතත් එම මිතුරා නිවසට ඇරලවා මියගිය පොලිස් නිලධාරියා යලි එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුව ගඟට වැටී තිබූ දුරකථනයේ ආලෝකයක් දැල්වීමත් සමඟ ඔහු එය දැක ගඟට බැස එය ගොඩ සිටි මිතුරෙකුට ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව ඔහු ගඟෙන් ගොඩට පැමිණීම සඳහා උත්සාහ කිරීමේදී යලිත් පය ලිස්සා ගඟට ඇදවැටීමත් සමඟ එක්වරම පැමිණි කිඹුලා ඔහු ඩැහැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව අද (03) දිනයේ ඔහු ගඟට වැටුණු ස්ථානයේ සිට මීටර් මීටර් 300 ක් දුරින් තිබියදී ඔහුගේ සිරුර හමුවී ඇතිබවයි වාර්තාවන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වූයේ.

ඔහු එම ප්‍රදේශයේම පදිංචි දරුවන් සිව්දෙනෙකුගේ පියෙක් වන අතර මියයනවිට පහු 53 හැවිරිදි වියේ පසුව තිබෙනවා.

***************************************

නීතිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් හමුවෙයි

(03.07.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දප්පුල ද ලිවේරා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදියි.

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද පැමිණි අතර, අදාළ සාකච්ඡාව සඳහා නීතිපතිවරයා පෙරවරු 10:30 ට පමණ පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාව ආවරණය කරන ලෙසයි මීට පෙර මාධ්‍ය වෙත දැනුම් දී තිබුණ ද ඒ සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැහැ.

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

මොවුන්ව මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා එහිදී රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.

මෙම පිරිසට පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2), සැරයන්වරු 3 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනෙකු ඇතුළත්.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට (2) ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර, රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 251 ක් සමඟ 39 හැවිරිදි කාන්තාවක, මුල්ලේරියාව – කැළණිමුල්ල – දරවතුමුල්ල මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, නාවික හමුදාව උතුරු මුහුදේ මණ්ඩතිව් දූපත ආසන්නයේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 ක පමණ තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

***************************************

පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ඇරඹේ

(03.07.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අනුරාධපුරයේදී ආරම්භ වුණා.

එහිදී මහමැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා ජන හමු කිහිපයකට එක්වී තිබෙනවා.

තලාව – තම්මැන්නාව නිදහස් උයනේදී එම පළමු ජනහමුව පැවති අතර, එහිදී ජනාධිපතිවරයා ප්‍රදේශවාසින් සමඟ සුහද කතාබහක ද නිරතවුණා.

එමෙන්ම, ජනතාව තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළා.

***************************************

පිඟන් සංස්ථාවට අයත් ඔඩ්ඩුසුඩාන් කම්හලේ නිෂ්පාදන යළි ඇරඹේ

(03.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඞ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරෙනවා.

පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම කම්හල මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගීත්වයක් නොමැතිව එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

ඒ සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *