STF අණදෙන නිලධාරියාගේ පාස්කු සාක්ෂිය

(03.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු ඇගයීම බුද්ධි තොරතුර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි තමාගේ අතට 2019 අප්‍රේල් 10 වැනිදා ලැබුණත් එහි කිසිඳු තැනක එම තොරතුර සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිඳු සටහනක් තබා නොතිබුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පවසනවා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (02) සාක්ෂි ලබා දුන්නේ එවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතායි.

සහරාන් හෂීම් මඩකලපුව කාතන්කුඩියේදී 2017 වසරේ මාර්තු 10 වැනිදා තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබූ බවත් ඒ සම්බන්ධයෙන් කාතන්කුඩියේ සංවිධානයක් සියලු තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එවා තිබූ බවත් එවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල වරුණ ජයසුන්දර මහතා සදහන් කළා.

ඒ ඔස්සේ එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයභාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විමර්ශනයක් ආරම්භ කර තිබූ බවත් අංශ ගණනාවක් ඔස්සේ එම විමර්ශණ සිදුවෙමින් තිබු බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම සහාරාන්ගේ ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය ගැන වෙනම විමර්ශනයක් සිදුවු බවත් ඊට අමතරව ඔහු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ මත යොමුකළ බැවින් ඒ සම්බන්ධයෙනුත් වෙනම විමර්ශනයක් සිදුවු බව ඔහු සාක්ෂි ලබා දෙමින් සදහන් කළා.

එහිදි කොමිසම විමසුවේ ප්‍රහාරය සම්බන්ධව අනතුරු ඇගවීමේ ලිපියක් තමන්ට ලැබුනේද යන්නයි.

2019 අප්‍රේල් 10 වෙනිදා Eyes Only යනුවෙන් සදහන් වූ විශේෂිත ලිපියක් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලැබුණු බවත් එහි ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වූ බවත් ඔහු සඳහන් කළා.

එවිට කොමිසම විමසුවේ එම ලිපියේ පොලිස්පතිවරයා විසින් ඔබට එම ලිපිය යොමු කිරීමට අදාළව යම් සටහනක් තබා තිබුනේද යන්නයි.

එහි FNA යනුවෙන් සටහනක් යොදා තිබූ බවත් එමගින් සුදුසු ක්‍රියාමාර්ග ගන්න ලෙස අර්ථ ගැන්වෙන බවත් සාක්ෂිකරු සදහන් කළා.

මෙහි ඇති බරපතලකම අවබෝධ කර ගැනිමෙන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති සහ සහකාර පොලිස් අධිකාරීවරයා කැඳවා එම ලිපිය පෙන්වා ‘ලෙඩක්, ඇටක් එකක් කරන්නයි යන්නේ. මේ ලිපිය ෆොටෝ කොපි ගහන්න එපා’ලෙස අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබාදුන් බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (02) සාක්ෂි ලබාදුන්නේ පළමු වරට වන අතර ඔහුගෙන් තවත් දිනකදී සාක්ෂි විමසීමට නියමිතයි ෴

***************************************

ගිනි අවි සොයා ගත් පිටිපන ව්‍යාපාරිකයාගේ, තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට

(03.07.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ ගිනි අවි තොගයක් සොයා ගත් සිව් මහල් වෙළඳසැලේ හිමිකරු කුලී පදනම මත ලබා ගත් හෝමාගම – කැන්දලන්ද – හයිලෙවල් මාර්ගය අසළ පිහිටි තවත් ගොඩනැගිල්ලක් පොලීසිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම ගොඩනැගිල්ලේ පහත මාලය – භූගතව ඉදිකර තිබූ බවයි හෝමාගම පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඊයේ (02) සිදුකළ පරීක්ෂාවේදී මෙහි තිබී කිසිදු ගිනි අවියක් හමුවී නැහැ.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය 29 වන දා පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී-81 වර්ගයේ ගිනි අවියක් සොයා ගනු ලැබුවා.

මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

පසුව ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් පිටිපන – සිල්වර්ස්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක රහස් කුටියක තිබී තවත් අවි ආයුධ තොගයක් හෝමාගම පොලීසිය සොයා ගත්තා.

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා දිනයේ අතුරුගිරිය – හබරකඩ – මුල්ලේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු මුලින් ගිනි අවි සොයා ගත් ගොඩනැගිල්ලේ හිමිකරුගේ මිතුරෙකු බවටයි හඳුනා ගැනුණේ.

අනතුරුව ඊයේ (02) අලුයම හෝමාගම – කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී තවත් අවි ආයුධ තොගයක් සොයා ගත් අතර, අත්බෝම්බ 4 ක්, පිස්තෝලයක්, වායු රයිපලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ඩෙටනේටර් දෙකක්, රිපීටර් උණ්ඩ 10 ක්, මාංචු ජෝඩුවක් සහ ඩීවීආර් යන්ත්‍ර තුනක් ඊට ඇතුළත්.

කෙසේ වෙතත්, මෙම ගිනි අවි මොවුන්ට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරනවා.

***************************************

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත ඇල්ලූ ලක්ෂ 25 ක හෙරොයින්

(03.07.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඊයේ (02) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරයේ සිට මෙම මත්ද්‍රවය ජාවාරම මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් ග්‍රෑම් 250 කට අධික මෙම හෙරොයින් ප්‍රමාණය සමග කාන්තාවක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව කැලණිමුල්ල, දරවතුමුල්ල මාර්ගයේදී.

දුම්බර බන්ධනාගාරයේ සිට දුරකථන මාර්ගයෙන් ඉතා සුක්ෂමව මෙම මත්ද්‍රවය ජාවාරම මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සිරියන්ති නොහොත් වසන්ති නැමති වයස අවුරුදු 39 ක කාන්තාවක්.

***************************************

13 ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව සජිත් ප්‍රකාශ කළේ උතුරේ ඡන්ද ගන්නයි – රෝහිත අබේගුණවර්ධන

(03.07.2020 – 15:00 +0530 – hirunews.lk/sinhala)

13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) යාපනයේදී ප්‍රකාශ කළේ උතුරේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

බලධාරීන් නොබැලූ ඉරි තැලුණු නයිගල් ආර වැවේ බැම්ම

(03.07.2020 – 15:13 +0530 – hirunews.lk/sinhala)

අද ‘රතු මිනිත්තුවේ’ අවධානය යොමුවන්නේ වැල්ලවාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපද ග්‍රමා නිලධාරී වසමේ නයිගල් ආර වැවේ බැම්මට අද අත්ව ඇති ඉරණම පිළිබඳවයි.

බැම්මේ සෑම ස්ථානයක්ම අඩි ගණනක් යටට ඉරිතලා විනාශ වී ඇති අතර එහි ස්ථාන කිහිපයකින් ජලය කාන්දුවීමද නිරන්තරයෙන් සිදුවන්නක්.

2016 වසරේ ලක්ෂ ගණනක් වැය කර වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කළද වසරක් ඉක්ම යාමටද මත්තෙන් එය විනාශයට පත්ව තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම් හේතුවෙන්.

ගම්වැසියන් පවසන්නේ මෙවර මහ කන්නයේ වර්ෂාපතනය ආරම්භ වීමත් සමග වැව ජලයෙන් පිරී ගියහොත් බැම්ම නිසැක වශයෙන් කැඩී යාමේ දැඩි අවදානමක් පවතින බවයි.

එසේ වුවහොත් කුඩාඔය, මානෙල්ගල, නයිගල් ආර සහ යෞවන කුමාරපුර යන ගම්මාන මෙන්ම අක්කර ගණනක කුඹුරු සහ ගොඩ ඉඩම් විනාශවිය හැකි බව ගම්මුන් පවසනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද ඔවුන් තාවකාලික පැලැස්තර යොදමින් ඊට විසඳුම් ලබාදීම පමණක් සිදුකළ බවයි.

මහජන මුදල් කාබාසිනියා කරමින් ඉදිවූ නයිගල්ආර වැව් බැම්ම නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදි කිරීමට බලධාරීන්ගේ දෑස් යොමුවනතෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ගඩොල් කර්මාන්තයට අද අත් වූ ඉරණම

(03.07.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

මැටි ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයක් වන ගඩොල් කර්මාන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්.

පෙර රජ දවස පටන් ගඩොලින් නිමැවූ අති දැවැන්ත නිර්මාණ එයට කදිම සාක්ෂි සපයනවා.

එවන් ඉතිහාසයකට හිමකම් කියූවත් අදවන විට දේශීය ගාඩොල් කර්මාන්තයට අත්ව ඇත්තේ දුක්බර ඉරණමක්.

පවුල් 150 ක් පමණ ජීවත්වන බදුල්ල වියලුව කරමැටිය ගම්මානයේ වැසියන් පාරම්පරික මැටි ගඩොල් නිෂ්පාදනයේ ප්‍රමුඛයින්.

ප්‍රධාන අමුද්‍රව්‍ය මෙවළම් සොයා ගැනීමේ ප්‍රායෝගික දුෂ්කරතා පැන නැගීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝමාර්ගයට අද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

***************************************

මර්වින් ජානාගේ ලක්ෂ 1400 ක් බැරවූ ගිණුමක් සොයා ගනී

(03.07.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් හෂාන් විමලවීර හෙවත් ‘මර්වින් ජානා’ට අයත් රුපියල් ලක්ෂ 1400 ක් බැර වූ ගිණුමක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඔහුගේ නියෝජිතයෙකුගේ නිවසේ පදිංචිව සිටින පුද්ගලයෙකුගේ නමට අදාළ ගිණුම විවෘත කර තිබූ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

‘මර්වින් ජානා’ නමැත්තා කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අගුලානේ කුඩු අංජු’ නැමැත්තාගේ ගෝලයෙකු වන අතර, මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය ද මෙහෙයවා ඇත්තේ ‘අඟුලානේ කුඩු අංජු’ බවටයි හෙළි වුණේ.

එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඉතා සූක්ෂමව බැංකුගත කිරීමේ කටයුත්තක නිරතවූ විශ්‍රාමික බැංකුකරුවෙකු ද බොරලැස්ගමුව – වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

***************************************

තරග පාවාදීම් සිදුව නැහැ – විමර්ශන අවසන්

(03.07.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට අනාවරණ නොවීම හේතුවෙන් ඊට අදාළව සිදුකළ විමර්ශන අවසන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා සඳහන් කළේ මෙම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟ පාවාදීමක් සිදුකර නොමැති බවට විමර්ශනවලදී හෙලි වූ බවයි.

මෙම ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර, විදෙස් මාධ්‍යද ඊට ලබාදුන්නේ පුළුල් ප්‍රචාරයක්.

පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා කළ දැනුම්දීමකට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් පසුගිය මස 24 වැනිදා නාවලපිටියට ගොස් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා.

ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව පසුගිය අඟහරුවාදා එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය, අවසන් තරඟයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ උපුල් තරංග මහතා ගෙන් සහ එවකට කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාර මහතා ගෙන් ප්‍රකාශ ලබාගත්තේ ඊයේ (02) සහ පෙරේදා (01) දිනවලදීයි.

කෙසේ වෙතත්, හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

එවන් පසුබිමකයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ ලබාගැනීම සඳහා ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද (03) කැඳවා තිබුණේ.

කෙසේ වෙතත්, එම ඒකකය අද (03) උදෑසන හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ මහේල ජයවර්ධන මහතාට අද දිනයේ නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

එහෙත්, පෙරවරුවේ සිය නීතිඥයින් සමඟ මහේල මහතා, ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණියත්, කිසිදු ප්‍රකාශයත් සටහන් කර ගැනීමක් සිදු නොවුණු නිසා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ලබාගත් සාක්ෂිවලට අනුව අවසන් තරඟය පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවන නිසා අදාළ විමර්ශනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා අද (03) පස්වරුවේ සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් අයි.සී.සී. ය විමසා බැලීමක් සිදුකළ බවයි.

එහිදී අයි.සී.සී. දූෂණ මර්දන වැළැක්වීමේ ආචාර ධර්ම පද්ධතියට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට තරම් හෝ සාක්ෂි නොමැති බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

(03.07.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමග යම් සීමා කිරීම් වලට යටත්ව ක්‍රියාත්මක වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් තවදුරටත් දුරකථන මාර්ග ඔස්සේ කල්වේලා ඇතිව දින වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවන බවයි එමගින් නිවේදනය කළේ.

කෙසේ වෙතත්, සේවා කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

රනිල් වික්‍රමසිංහගෙන් CIDය ප්‍රශ්න කරයි

(03.07.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ඔහුගේ නිවසේදී මෙම ප්‍රකාශය ලබා ගනිමින් සිටින බවයි.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය මස 18 වනදා උපදෙස් ලබා දුන්නා.

ඔවුන්ට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආර්.පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාරගෙන් ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ.

(03.07.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉන් පිටව ගොස් තිබෙනවා.

***************************************

රටේ ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට – ජනපති අනුරාධපුරයේ දී කියයි

(03.07.2020 – 18:01 +0530 – hirunews.lk/sinhala)

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් අද (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේ දීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

තලාව, තම්මැන්නාව නිදහස් උයන ග්‍රාමයේ චාරිකාවකට එක්වු ඔහු ජනතාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් මුහුණපා සිටින ගැටළු විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෘෂිකර්මයේ නිරත ගොවීන් මුහුණ පාන පොහොර සහ ජල හිඟය වැනි ගැටලු නිරාකරණයට රජය පියවර ගනිමින් සිටින අතර ගෙවීම් නොකිරීම හේතුවෙන් පොහොර ආනයනය ප්‍රමාද වී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොලැබීමෙන් ගොවි ජනතාව අසරණව සිටින බැවින් ගැටලු විසඳා ගොවි ජනතාව රැක ගන්නා බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ඊරියගම වැව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහි අඩු පාඩු සහ ජල සැපයුම පිළිබඳව ද සොයා බැලුණා.

පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නේවාසික කළමණාකරුට උපදෙස් ලබා දුන්නේ.

ප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියාවේ වත්මන් තත්ත්වය සහ සහ කෘෂි කටයුතු පිළිබඳව ද ඔහු ජනතාවගෙන් තොරතුරු විමසා තිබෙනවා.

වැව් තාවුල්ල අසළ පිහිටි කඩවර දේවාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියා.

***************************************

දුලභ ගිරව් ජෝඩුවක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(03.07.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

දුලභ ගණයේ ගිරව් ජෝඩුවක් සන්තකයේ තබා ගත් සැකකරුවෙක් එම ගිරවුන් ද සමඟ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව අද (03)ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමටයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ.

පඬු ගිරවා යන නාමයෙන් හැඳින්වෙන එම ගිරව් ජෝඩුව දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දෙන ලෙස වන ජීවි සංරක්ෂණ මණ්ඩලයේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම ගිරව් යුවළ නැවත දැනුම් දෙන තුරු දෙහිවල සත්වෝද්‍යානයේ තබා ගන්නා ලෙස එහි අධ්‍යක්ෂවරයාට වැඩිදුරටත් නියම කර තිබෙනවා.

ගම්පහ පහළ යාගොඩ පදිංචි සැකකරු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියම කළ මහෙස්ත්‍රාත්වරයා
සැකකරුට විරුද්ධව සැප්තැම්බර් 14 වැනි දා ට චෝදනා ගොනු කරන ලෙසටයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ.

අධිකරණයේ දි අනාවරණය වුණේ සැකකරු අන්තර්ජාලය ඔස්සේ ගිරවුන් දෙදෙනා විකිණීමට දැන්වීම පළ කර තිබූ අතර ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය සැකකරුව සහ ගිරවුන් දෙදෙනා ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි ෴

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ ආකාරයෙන් ලන්ඩනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට ගිය කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(03.07.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ආකාරයටම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ අයි.එස් හිතවාදී කාන්තාවක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට ලන්ඩන් අධිකරණයක් අද (03) නියෝග කළා.

36 හැවරදි ශෆියා ශයික් නැමති මෙම බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව පසු ගිය වසරේ පාස්කුවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇති අතර පාස්කු ඉරුදින මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රාහාරයන්ගෙන් ලද අභාෂයෙන් ලන්ඩන් නුවර ශාන්ත පාවලු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අසළ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සැළසුම් කර තිබියදීයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ රහස් පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

බෝම්බ ප්‍රහාරය දියත්කිරීමට පෙර ඇය ලන්ඩන් නුවර ශාන්ත පාවුලු දේවස්ථානයේ නිරීක්ෂණයකට හිජාබයක් ඇඳ අනන්‍යතාවය හඳුනාගැනීමට නොහැකි වන අයුරින් පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන් වී තිබුණා ෴

***************************************

නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි

(03.07.2020 – 18:36 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (03) පස්වරුවේ ගිලා බැස ඇති බව නාවලපිටිය පොලීසිය පවසනවා.

නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙළඳසැලකට රැගෙන එන ලද තිරිඟු පිටි බාමින් සිටින අතරතුරයි ලොරි රථය එකවර මෙසේ ගිලා බැස තිබෙන්නේ.

පොලීසිය පවසන්නේ නාවලපිටිය නගරයට, ප්‍රධාන මාර්ගය යටින් පානිය ජලය රැගෙන යන ජල නලයක් එලා තිබු කොටසක් මෙසේ ගිලා බැස ඇති බවයි.

ලොරි රථයේ කොටසක් ගිලා බැසිමත් සමග ජල නලයටද හානි සිදු වී ජලය කාන්දු වීමත් සමඟ නාවලපිටිය නගරයට පානිය ජලය බෙදා හැරිමද නතර කර තිබෙනවා.

නාවලපිටිය ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ ගිලා බැස ඇති ලොරි රථය ඉවත් කිරිමෙන් අනතුරුව හානි සිදු වු ජල නලය අලුත්වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *