නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්

(03.07.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම ආයතනය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට අද (03) විශේෂ දේශනයක් සිදුකරමින්.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදි මෙම දේශනය පැවති අතර ඊට පෙර වැඩබලන පොලිස්පතිවරයා එම ස්ථානයට පැමිණ එහි රැදී නොසිට පිටව ගොස් තිබුණා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ඇමතූ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

නීතිපතිවරයා සහභාගි වූ මෙම අවස්ථාව ආවරණය කරන ලෙස මීට පෙර මාධ්‍ය වෙත දැනුම් දී තිබුණ ද අද (03) පෙරවරුවේ ඒ සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැහැ.

ඒ හේතුවෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර උණුසුම් සංවාදයක් ද හට ගත්තා.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත්ට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට අනුමැතිය ලබාදුන් බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් විනය සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ද ක්‍රියාත්මක බවයි.

***************************************

ආණ්ඩුව පෙරළීමට පිරිසක් පිඹුරුපත් සකසමින් සිටින බව අගමැති කියයි

(03.07.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වූදා පටන් ආණ්ඩුව පෙරළීම සඳහා පිරිසක් පිඹුරුපත් සකසමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා පවසනවා.

අද (03) බෙලිඅත්තේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය වරයා පැවසුවේ ජනපති වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සියලුදෙනා සහයෝගය ලබාදිය යුතු බවයි.

***************************************

සම්පත් බැංකුව විශේෂ නිවේදනයකින් සමාව ඉල්ලයි!

(02.07.2020 – sinhala.srilankamirror.com)

සම්පත් බැංකු දෙහිවල ශාඛාවට හිජාබයකින් සැරසී පැමිණි කාන්තාවක් බැංකුව තුළට ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ සිද්ධිය ගැන සම්පත් බැංකුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

අදාළ නිවේදනය මගින් එම බැංකු පරිශ්‍රයේදී අදාළ පාර්ශවයට කිසියම් අපහසුතාවයක් සිදු වී නම් ඒ පිළිබඳව කනගාටුවන බව කියා සිටී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර බැංකුව විසින් ඉක්මනින්ම ගන්නා බවද සඳහන් කරයි.

කෙසේවුවද, පාරිභෝගිකයකුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පිළිබඳව ඇති වූ ගැටළුකාරී තත්ත්වයක් මේ සඳහා බලපා ඇති බවද හුවා දක්වා තිබේ.

අදාළ සිද්ධිය සමාජ මාධ්‍ය ජාලා තුළ බරපතල ලෙස විවේචනයට ලක්විය.

සම්පත් බැංකුව විශේෂ නිවේදනයකින් සමාව ඉල්ලයි !

සිද්ධිය සම්බන්ධ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. එය පහත දැක්වේ :

+++++++++++++++++++++

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

(03.07.2020 – colombotoday.com)

ඊයේ (02) දෙහිවල සම්පත් බැංකුවට අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි අයුරින් බුර්කාව හැඳ පැමිණි කාන්තාවකට බැංකුවට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස කෑ ගසමින් හැසිරුණු පුද්ගලයා ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් බව වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුලිකවූ කාන්තාව බැංකුවට පැමිණ ඇත්තේ ඇස් දෙක පමණක් පෙනෙන ලෙස සම්පුර්ණ කළු පැහැති ලෝගුවකින් ශරීරය වසාගෙනය. එහිදී බැංකු ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත්තේ අනන්‍යතාවය පෙනෙන ලෙස බැංකුවට ඇතුළුවන ලෙසයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව සමග පැමිණි ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයා, කාන්තාව මුහුණ වසාගෙන සිටි බුර්කාවේ ඉදිරිපස කොටස පමණක් ගලවා ඉවත්කර තවත් පුද්ගලයෙකුට වීඩියෝ කරන ලෙස දන්වා නාටකය රඟ දක්වා ඇත.

එහිදී බුර්කාවේ මුහුණ වැසෙන කොටස මාස්ක් (Mask) එකක් ලෙස හැඳින්වීමට අදාළ පුද්ගලයා කටයුතු කල ද එවැනි කළු රෙදි කැබැල්ලක් සෞඛ්‍යරක්ෂිත මාස්ක් (Mask) එකක් වන්නේ නැත. එම රෙදි කැබැල්ලෙන් ආශ්වාස ප්‍රශ්වාසයේදී, කැස්ස ඇතිවන අවස්ථාවල කෙල අංශු වාතයට මුසුවීම සිදුවේ.

පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී දෙකන් පැහැදිලිව පෙනෙන සේ තබා ගැනීම සම්මතය වුවද මෙම බුර්කාව හැඳ සිටි කාන්තාවගේ දෙකන් පෙනෙන්නේ ද නැත.

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී බහුතරයකට එය අමතකව ඇති මොහොතක තම බැංකුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය අනුගමනය කල ආරක්ෂක ක්‍රමවේදය සෑම සියලු දෙනා අගය කල යුතුය. ගනුදෙනු සඳහා සම්පත් බැංකුව ඉතා ආරක්‍ෂිත ස්ථානයක් බවට නැවත වතාවක් සමාජය හමුවේ තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත.

වහබ්වාදයට අනුව කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය සම්පුර්ණයෙන්ම කාන්තාවන් ගේ ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවට “ෆත්වා” නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ දී විශේෂ හෙළිදරව්වක් කර සිටියා.

***************************************

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අඟහරුවාදා (07) මහජනතාව වෙනුවෙන් විවෘත වෙයි

(03.07.2020 – 21:40 +0530 – hirunews.lk/sinhala)

ලබන අඟහරුවාදා (07) සිට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන බව එහි අධ්‍යක්ෂ කේ අරුණ ප්‍රභා පෙරේරා මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධි විධානවලට අනුකූලවයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියළු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගනිමින් දර්ශන පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

රට තුල පැවති කොරෝනා වෛරස් තත්වය හේතුවෙනුයි ග්‍රහලෝකාගාර දර්ශන තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ෴

***************************************

සිනමන් බෝම්බකරුගේ තඹ කම්හලට තඹ ලැබුණු හැටි පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(03.07.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයෙකු සිනමන් බෝම්බකරුගේ තඹ කර්මාන්තශාලාවට තඹ ටොන් 500 ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (03) අනාවරණ වුනා.

ඒ එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

කොමිසම හමුවේ අද (03) සාක්ෂි ලබාදුන්නේ මේ වනවිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් කේ.ඩී. රංජිත් අශෝක මහතායි.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝමබය පුපුරුවාගත් එම්.අයි. ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ නිකුත් කිරීම පිළිබදව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සාක්ෂිකරු සදහන් කළා.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද ජිනසේන විසින් කොලෝසස් සමාගමට අබලි ලෝහ වැඩිවශයෙන් නිකුත් කිරීමට උපදෙස් ලබාදී තිබූ බව‍ එමගින් හෙළිවූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවේ.

එමෙන්ම බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමෙහි විදේශීය ජාතිකයන් 25 දෙනෙකුද සේවය කර ඇති අතර ඒ අතර නේපාල ජාතිකයෙක්, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙක් වූ අතර සෙසු පිරිස ඉන්දීය ජාතිකයන් වූ බවද සාක්ෂිකරු සදහන් කළා.

කොමිසම මෙහිදී විමසා සිටියේ එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඉන්ෂාෆ් අහමඩ් සමඟ සම්බන්ධකමක් පැවතියේද යන්නයි.

ඉන්ෂාෆ් අහමඩ්ගේ ගණකාධිකරුවෙකු නිතර අමාත්‍යංශයට පැමිණ ගියත් ඉන්ෂාෆ් හා අමාත්‍යවරයා අතර සම්බන්ධයක් තිබුනේදැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු එහිදී සඳහන් කළා.

ඔවුන් විසින් සහන මිලට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇති අතර ඉන් විශේෂ අවස්ථා දෙකක් තමන් හඳුනාගත් බවද සාක්ෂිකරු සදහන් කළා.

එක් අවස්ථාවකදී කොලෝසස් සමාගමට තඹ ටොන් 500 ක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

තවත් අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියක වූ දේවිකා ලියනගේ මහත්මිය විසින්ද කොලෝසස් සමාගම වෙත පිත්තල කිලෝග්‍රෑම් 1000 ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බවද සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළා.

යම් අවස්ථාවක කොලෝසස් ආයතනය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මිලදී ගත් අබලි ලෝහ විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇති බව හෙළිවූයේදැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

එලෙස විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇති බවත් ඒ හරහා මෙරටට විදේශ විනිමය උත්පාදනයකර ඇති බවත් සාක්ෂිකරු සදහන් කළ අතර කොමිසම එහිදී පෙරළා ප්‍රශ්න කළේ විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වූ බවට ඔබ සදහන් කරන මුදල් ඔවුන් විසින් අන්තවාදී කටයුතුවලට යොදා ඇති බව ඔබ නොදන්නේද යන්නයි.

තමන් ඒ ගැන දැන් දන්නා බව සාක්ෂිකරු එහිදී සදහන් කළා.

***************************************

විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයට රාජිත සේනාරත්නගෙන් ප්‍රතිචාර

(03.07.2020 – 22:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (02) කළ ප්‍රකාශයට රාජිත සේනාරත්න අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රතිචාර දැක්වුවා.

***************************************

MCC සමාලෝචන කමිටු සභාපතිවරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක්

(03.07.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

එම්.සී.සී ගිවිසුමට පෙර සූදානමක් ලෙස ගිවිසුම් දෙකක් (2) අත්සන් කර ඇතත් එහි සඳහන් මුදල් මෙරටට ලැබුණු බවක් තම කමිටුව කිසිඳු අවස්ථාවක සඳහන් කර නැතැයි එම්.සී.සී. ගිවිසුම සමාලෝචන කමිටු සභාපති මහචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් යෝජනාවක් පිළිබඳව අදහස් පළ වුණා.

***************************************

තරග පාවාදීමේ චෝදනා පිළිබඳ මහින්දානන්ද ජනපතිගෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලයි

(03.07.2020 – 23:48 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකය ආරම්භ කළ විමර්ශන කටයුතු අද (03) නතර කෙරුණා.

ඒ, එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, හිටපු නායක කුමාර් සංගක්කාර, ක්‍රීඩක උපුල් තරංගගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

තවත් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනගෙන් ද අද (03) ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැලසුම් කර තිබුණ ද පසුව එය අවලංගු කෙරුණා.

එහෙත් මහේල ජයවර්ධන අද (03) ක්‍රීඩා වැරදි විමර්ශන කමිටුව වෙත පැමිණ ආපසු ගියේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගැනීම හේතුවෙන්.

පසුව විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් 2011 ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තවදුරටත් ක්‍රීඩකයන් කැදවීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත්, අද (03) රාත්‍රියේ නාවලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙලෙස පොලීසිය විසින් ඒ පිළිබදව සිදුකරන පරීක්ෂණ නතර කිරීම වැරදිසහගත බවයි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා අද පස්වරුවේ සදහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් අයි.සී.සී.ය විමසා බැලීමක් සිදුකළ බවයි.

එහිදී අයි.සී.සී. දූෂණ මර්දන වැළැක්වීමේ ආචාර ධර්ම පද්ධතියට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට තරම් හෝ සාක්ෂි නොමැති බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා ප්‍රකාශ කළා.

***************************************

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි (04)

(04.07.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දින දීයි.

සතර පෙර නිමිති දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්, ගිහිගෙය අතහැර,‘මහා අභිනිෂ්ක්‍රමණය’ කරන ලද්දේ ද ඇසළ පුන් පෝහෝ දිනකදී බව ඉතිහාසයේ සඳහන් වනවා.

අද වැනි ඇසළ පුන් පෝහෝ දිනකදීයි රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ.

සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී වීම විශේෂත්වයක්.

සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා චෛත්‍යයට මුල්ගල තබන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී බවයි මෙරට ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය ද සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී වීම විශේෂත්වයක්.

මෙවැනි වටිනා ඓතිහාසික කරුණු රැසක් පදනම් කර ගනිමින් ලෝකවාසී බෞද්ධ ජනයා ඇසළ පුර පසළොස්වක පොහොය සමරනවා ෴

+++++++++++++++++++++

ජනපති ගෝඨාභය මිහින්තලය මිහිඳු ආරණ්‍යයට

(04.07.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) මිහින්තලය ඓතිහාසික මිහිඳු ආරණ්‍යයට පැමිණියා.

මිහිඳු ආරණ්‍ය සේනාසනය සැලෙකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 සහ 6 වන සියවස්වලට අයත් සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානයක් ලෙසයි.

අද (04) පෙරවරුවේ එහි පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනාසනාධිපති, සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පාත සුමනහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ජනාධිපතිවරයා විහාර මන්දිරය ද වැඳ පුදා ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමාට සහ රටට සෙත් පතා ජය පිරිත් සජ්ජායනාවක් ද එහිදී සිදුකෙරුණා.

විහාරස්ථානය වෙත පැමිණ සිටි පිරිස් සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

***************************************

ජයබහලූ සහ නැගෙනහිර පර්යන්ත ගැන සොයන්න, පංච පුද්ගල කමිටුවක්

(04.07.2020 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ ජයබහලූ පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා ගේ සභාපතිත්වයෙන් එම පංච පුද්ගල කමිටුව පත් කර ඇති බවයි.

කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ප්‍රේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු එහි සෙසු සාමාජිකයින්.

ඒ අනුව, දින 45 ක් ඇතුළත අදාළ රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කොට, කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ ෴

***************************************

ජාවාරම්කරුවන් අල්ලන්න විශේෂ ඒකකයක් ?

(04.07.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

විවිධ ජාවාරම්කරුවන් පිලිබද විමර්ශන සිදුකිරීම සදහා වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහි පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් විශාල ප්‍රමාණයක් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර, නීතිවිරෝධීව විදේශීය දුම්වැටි තොගයක් ළග තබා ගෙන සිටි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස වෙරළ පාරේ නිවසකදී ගල්කිස්ස පොලීසිය ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීමේදී විදේශීය දුම්වැටි 25,600 ක් පමණ සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ ෴

***************************************

ඡන්ද අයිතිය අපතේ නොහැරිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(04.07.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

කිසිදු හේතුවක් මත මහජනතාව තමන්ට ඇති ඡන්ද අයිතිය අපතේ නොහැරිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

කොරෝනා දෙවන රැල්ලක් ඇති වුවහොත් මැතිවරණය පැවැත්වීමට හැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසීමක් ද කළා.

***************************************

ඇමති ඩලස් ලෙස දුරකථනයෙන් අමතා රැකියාවක් ලබාගැනීමට ගිය අයෙකු අත්අඩංගුවට

(04.07.2020 – 09:11 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නම භාවිත කරමින් ව්‍යාජ වට්ස් ඇප් ගිණුම් හරහා රැකියා ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (03) මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා මාතර – වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

40 හැවිරිදි ඔහු, තමාට පෞද්ගලික ආයතනයක අලෙවි අධ්‍යක්ෂ තනතුරකට රැකියාවක් ලබා ගැනීම සඳහා ඇමතුම් ලබාදීමේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එසේම ඔහු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලෙස මෙන්ම ඔහුගේ ඥාතියෙකු ලෙස ද අවස්ථා කිහිපයකදී අදාළ පෞද්ගලික ආයතනයේ පරිපාලනයට වට්ස් ඇප් ඇමතුම් ලබාදී ඇති බව ද අනාවරණ වී තිබෙනවා ෴

***************************************

දේශපාලන පළි ගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

(04.07.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමෙහි නිළ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් ඒ පිළිබද ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි එම කොමිසම් සභාව සඳහන් කළේ.

පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය ජනවාරි 22 වන දා සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ කොමිසම පත් කරනු ලැබුවා.

ඒ අනුව කොමිසමේ නිළ කාලය මේ මස 16 වන දායින් අවසන් වීමට නියමිත අතර එමගින් සිදුකරන විමර්ශන තවදුරටත් අවසන් නොමැති බැවින් එහි කාලය දීර්ඝ කරන ලෙස අදාළ ඉල්ලීම සිදුකර ඇති බව සඳහන් ෴

***************************************

එජාපය මෙන් දේශපාලන පළි ගැනීම් සිදුනොකරන බව අගමැති කියයි

(04.07.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සිදුකළා මෙන් දේශපාලන පළි ගැනීම්වල නිරතවීමට තමන් සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට ඊයේ (03) පැවති ජන හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් වැරදි කර ඇත්නම් ඔවුන්ට දඩුවම් විදීමට සිදුවන බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *