සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බයාගේ හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

(04.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

= සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි =

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ප්‍රහාරයට ආසන්න දිනවල හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය විමසන ජනපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා.

ඒ ඔහුට අයත්ව තිබූ තඹ කම්හලේ කළමණාකරු ලබාදුන් සාක්ෂි හරහායි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ ඊයේ (03) සවස සාක්ෂි ලබාදුන්නේ මතභේදාත්මක තඹ කම්හලේ කළමණාකරු සනුන් මොහොමඩ් නමැත්තායි.

කොලොසස් සමාගමේ හිමිකරු ලෙස ඉන්ෂාෆ් අහමඩ් කටයුතු කළත් 2019 වසරේ අප්‍රේල් මස මුල් කාලයේ සිට එම සමාගමේ හිමිකාරිත්වය වෙනත් දෙදෙනෙකු (2) වෙත පැවරිමක් සිදුකළ බව සාක්ෂිකරු සදහන් කළා.

විදේශ සේවකයින් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා එක්කර ගැනීමට හේතුව කුමක්ද යන්න කොමිසම විමසා සිටියේ සාක්ෂිකරු එහි සේවකයින් ගැන ලබාදුන් සාක්ෂි වෙත අවධානය යොමුකරමිනුයි.

කොලොසස් සමාගමේ සතුව ඇති යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය දැනුම ඇත්තේ ඉන්දියානු ජාතිකයින්ට බවත් සිය සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන තඹ නළ වැඩිවශයෙන් ඉන්දියාවට අපනයනය කෙරුනු බවද ඔහු ප්‍රකාශ කළා.

එම විදේශකයින් සඳහා වීසා ලබාගැනීම කටයුතු සිදුවන්නේ කෙසේද යන්න කොමිසම විමසා සිටියා.

වාණිජ අමාත්‍යාංශය හරහා අවසරය ලබාගෙන එම වීසා කටයුතු සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළා.

සිය කර්මාන්ත ශාලාවට ලෝහ අබලි ද්‍රව්‍ය ලබාදෙන සැපයුම් කරුවන් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ඒවා ලබාගැනිම සිදුකරන බවත් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්ද අබලි ලෝහ ද්‍රව්‍ය ලබාගන්නා බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම 2012 සිට 2019 දක්වා කාලය තුළ ටොන් 20 ක ප්‍රමාණයෙන් යුත් කන්ටේනර් 370 ක් අපනයනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

කොලොසස් සමාගම සතුව පිටකොටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අමෙරිකානු ඩොලර් බැංකු ගිණුමක් සහ ජංගම බැංකු ගිණුමක් තිබු බව සාක්ෂි ලබාදෙමින් කලමණකාරවරයා ප්‍රකාශ කළා.

එහිදි කොමිසම විමසුවේ කම්හල් හිමිකරුව සිටි ඉන්ෂාෆ් පදිංචි වි සිටියේ කිනම් ස්ථානයකද යන්නයි.

ඉන්ෂාෆ් තම බිරිද සහ දරුවන් සිව්දෙනො සමග කොල්ලුපිටිය මල්පාරේ පදිංචිව සිටි බවත් ඔහු විසින් ප්‍රහාරයට පෙර ලැන්ඩ් කෘසර් වර්ගයේ නවතම ජිප් රථයක් මිලිද ගත් බවත් එය තමන් පසුගිය වසරේ අප්‍රේල් 18 වැනිදා ඔහු හමුවු අවස්ථාවේ දුටු බවත් කලමණාකාරවරයා සඳහන් කළා.

එමෙන්ම කම්හලේ ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණ කාමරයේ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන සහෝදරයන් දෙදෙනා සමග පාස්කු ඉරිදා දෙහිවල බෝමබකරු වන ජමිල් නම් පුද්ගලයා මීට වසර 3 කට පෙර අරාබි භාෂාව ඉගෙනීම සිදුකළ බවද ඔහු සඳහන් කළා.

කළමනාකරු ලෙස තමන් අරාබි භාෂාව ඉගැන්විම සිදුකළ පුද්ගලයාට රුපියල් 20,000 ක මුදලක් ගෙවූ බවත් අරාබි මුලික ඉගැන්විම සිදුකළ ආකාරය සියැසින් දුටු බවත් ඔහු සඳහන් කළා.

2019 අප්‍රේල් මස 17 වැනිදා ඉන්ෂාෆ් සිය කාර්යාලය වෙත දවල් 01:30 ආසන්න වේලාවකදි පැමිණ මිලියන 34 ක මුදලක් ලියු චෙක් පතක් ලබාදි එය මාරුකරගෙන එන ලෙස දැන්වු බවත් කලමණකාරවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එම මුදලින් ලක්ෂ 54 ක් සිය සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් ගේ බැංකු ගිණුමටද ඉන්ෂාෆ් ගේ ගිණුමට මිලයන 27.5 ක්ද තැන්පත් කර ඉතිරි ලක්ෂ 11 ක් සේප්පුවේ දමන ලෙස ප්‍රකාශ කළ බවයි ඔහු සඳහන් කළේ.

එම ලක්ෂ 11 රුපියල් 5000 කොලවලට මාරු කරගන්නා ලෙස සඳහන් කළ ඇති අතර පසුදිනයේ නැවත තවත් ලක්ෂ 54 ක චෙක්පතක් ලියාදුන් බවද ඔහු සඳහන් කළා.

ඉන්පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පිටේ බැදගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන කාර්යාලය වෙත පැමිණි අතර තමන් ඊට මුදල් දැමු බවත් සඳහන් කල කලමණාකාරවරයා එම අවස්ථාවේ බෑගයේ ඇඳුම් කිහිපයක් තිබූ බවත් ඔහු සඳහන් කළා.

අනතුරුව අ‍ප්‍රෙල් මස 18 වැනිදා රාත්‍රියේ ඉන්ෂාෆ් නැවත රාත්‍රි 7 – 8 අතර කාලය තුළ කාර්යාලයට සිය සුඛෝපභෝගි ජිප් රථයෙන් පැමිණ ලක්ෂ 65 ක මුදලක් ජිප් රථයේ පිටුපසින් තබන ලෙස උපදෙස් දුන් බව කලමණාකාරවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

එමෙන්ම ජිප් රථයේ ලියකිවිලි තමන්ට ලබාදී හිස් චෙක් පත් 10 ක් අත්සන් තබා ලබාදුන් ඉන්ෂාෆ් ජිප් රථයෙන් තනිවම පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම ඔහු අප්‍රේල් 23 වැනිදින මැලේසියාවට යාමට ගුවන්ටිකට් පත් මුදල් ගෙවා වෙන්කර තිබූ බවද මැයි මාසයේ සිය පවුල සමග මක්කම වන්දනාවේ යමටද ගුවන්ටිකට් පත් වෙන්කර තිබු බව කළමනාකාරවරයා මෙහිදී සඳහන් කළා.

ඉන්ෂාෆ් සිදුකළ ක්‍රියාවන් නිසා මුළු සමාජයම රටම අපහසුතාවට පත්වු බවද තමා මෙම ස්ථානයේ සේවය කළ නිසා තම පුත්‍රයාටද අද වන විට රැකියාවක් සොයා ගැනිමේදි ගැටලු මතුව ඇතැයි කොලොසස් සමාගමේ කලමණාකාරවරයා සඳහන් කළා.

***************************************

මෙරට ආර්ථිකයට කොරෝනාවෙන් සිදුවූ බලපෑම ගැන සමීක්ෂණයක්

(04.07.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් මෙරට ආර්ථික කටයුතු කෙරෙහි සිදුවූ බලපෑම සොයා බැලීම සඳහා ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉන්දු බණ්ඩාර මහත්මිය සඳහන් කළේ අදාළ සමීක්ෂණය ඊයේ (03) දිනයේ සිට නිළ වශයෙන් ආරම්භ කළ බවයි.

ඒ අනුව නියැදි 20,000 ක් පමණ අදාළ සමීක්ෂණය සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අතර, මේ මස අවසානය වන විට එම සමීක්ෂණය සිදුකර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

පිටරටින් ධාන්‍ය ආනයනය නතර කිරීමට හේතුව ජනපති කියයි

(04.07.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගොවි ජනතාවගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමේ අපේක්ෂාවෙන් පිටරටින් ධාන්‍ය ආනයනය නතර කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමු කිහිපයකට එක්වෙමින්.

මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසල සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වූ ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ ජනතාව මුහුණපා ඇති අලි මිනිස් ගැටුම සම්බන්ධ ගැටලු පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කළා.

අනුරාධපුර බස්නාහිර, තොලුවිල පුරාවිද්‍යා රක්ෂිතය අසල සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිවරයා එක්වුණා.

ඉන් අනතුරුව අනුරාධපුර බැංකු හංදිය අසල සංවිධානය කර තිබූ ජන හමුවකටත් ජනාධිපතිවරයා සහභාගී වුණා.

අනුරාධපුර කඩපනහ අසල සංවිධානය කර තිබූ ජන හමුවකට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි පිරිස සමග කතාබහක නිරතවුණේ මෙලෙසින්.

කූඹිඑළුවන්කුලම වැව අසල ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ ඉන් අනතුරුවයි.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කල පුද්ගලයින්ගේ PCR වාර්තාව එයි

(04.07.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමග නිරෝධායනයට යොමු කල පුද්ගලයින් 50 දෙනෙකුගේ PCR පරික්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වූ වෛරසය ආසාදනය වූවන් 1885 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 174 දෙනෙකු පමණයි.

කොටහේන ජින්තුපිටිය ප්‍රෙද්ශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හදුනාගැනීමත් සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කල 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදු කර තිබෙනවා.

එම පිරිසට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට පරික්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇතත් ඔවුන් සති දෙකක කාලයක් තවදුරටත් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පසුගිය මැයි 23 වැනි දින මඩකලපුව රෝහලේ සිට ඉතා අසාද්‍ය තත්ත්වයෙන් කොලඹ IDH රෝහලට මාරු කර එවූ කොවිඩ් ආසාදිත වසය අවුරුදු 62 ක කාන්තාවක් පූර්ණ සුවය ලබා එම රෝහලෙන් පිටව ගියා.

***************************************

අතරමග නැවතුණු මාර්ග ව්‍යාපෘතිය

(04.07.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ අතරමග නවතා දමා ඇති මාර්ග ව්‍යාපෘතියක් හේතුවෙන් රුපියල් මිලියන 1,533 ක මහජන මුදල් නිරපරාදේ දියවී යන පුවතක් අපට වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ ඉදිකළ කොටසද නිසි ප්‍රමිතියකින් සිදුකර නොමැති බවයි.

‘රතු මිනිත්තුවේ’ අද (04) අවධානය ඒ පිළිබඳවයි.

මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ 2017 වසරේ ජනවාරි මස වැඩ ආරම්භ කළ ව්‍යාපෘතියක අද තත්ත්වයයි.

ව්‍යාපෘතිය යටතේ මින්නේරිය, ගල්ඔය හන්දිය හතරැස් කොටුව ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සැකසීම 2018 ජුනි 02 වනදා අවසන් කිරීමටයි නියමිතව තිබුණේ.

ඊට වෙන්කළ මුදල රුපියල් මිලියන 1533 ක්.

නමුත් එම දිනය පසුවී මේ වනවිට වසර 2 ක් ඉක්ම ගොස් ඇතත්‍ ව්‍යාපෘතිය අවසන් වන බවක් පෙනෙනතෙක් මානයේවත් දැකගන්නට නැහැ.

ත්‍රීකුණාමලයේ සිට පොළොන්නරුවට සහ මඩකලපුවට යාමට ඇති පහසුම මාර්ගය මෙයයි.

***************************************

දුෂ්කරතා රැසක් මැද ජීවත් වන අබාධිත පවුලක්

(04.07.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ දුෂ්කරතා රැසක් මැද ජීවත් වන අබාධිත පවුලක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.

සාමාජිකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වන මේ පවුලේ සාමාජිකයින් 11 දෙදෙනෙකුම පසුවන්නේ ආබාධිත තත්ත්වයෙන්.

මේ අසරණ පවුල ජීවත්වන්නේ හම්බන්තොට සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ යි.

කලකට ඉහතදී ගල්ලෙනක ජීවත් වූ මේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු කුලීවැඩ කිරීමෙන් හිසට නිවහනක් තනා ගෙන තිබෙනවා.

***************************************

කේරළ ගංජා කිලෝ 61 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

(04.07.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය, කිරිබත්ගොඩ – වේවැල්දූව හංදිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 61 යි ග්‍රෑම් 640 ක් සහ රුපියල් හය ලක්ෂ 92,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයකින් සැකකරු මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (03) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

(04.07.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු කිරිඳිවැල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී 10:20 ට පමණ ජයවර්ධනපුර කඳවුරේ පිහිටි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබුනේ.

සැකකරු සතුව තිබී අදාළ ගිනි අවියට යොදාගන්නා මැගසිනයක් සහ ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිඳිවැල නැඳුන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා කිරිඳිවැල පොලිසියට භාරදී තිබෙනවා.

එම පුද්ගලයා අද (04) පූගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කඩුගන්නාව – කඳන්ගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත එම අත්බෝම්බය සොයා ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා එය නිෂ්ක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

***************************************

බ්‍රිතාන්‍යයේ සමූල ඝාතනයකට සැලසුම් කළ කාන්තාව – ශ්‍රී ලංකාවට පැමිණි බවට පාපොච්චාරණයක්

(04.07.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාස්කු ප්‍රහාරය සිදුකළ ආකාරයටම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කාන්තාව එම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමටයි ලන්ඩන් අධිකරණය නියෝග කරනු ලැබුවේ.

එසේම, බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ එරට තුළදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැළසුම් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

36 හැවිරිදි ෂෆියා ෂයික් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබෙන්නේ පසුගිය වසරේ පාස්කු උත්සව සමයේදීයි.

ලන්ඩන් නුවරදී ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකවර ඝාතනය කිරීමට ඇය අපේක්ෂා කර තිබුණේ, පුද්ගලයින් 256 දෙනෙකුට මරු කැඳවමින් පාස්කු ඉරුදින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අධ්‍යයනය කරමිනුයි.

දැඩි අන්තවාදී මත දරණ කාන්තාවක වූ ඇය අදාළ ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබුණේ ලන්ඩන් නුවර සුප්‍රකට ශාන්ත පාවුළු දේවස්ථානය සහ තවත් ප්‍රසිද්ධ සංචාරක හෝටලයක්.

අදාළ පිපිරීම් දෙක සිදුකර උමං දුම්රිය ස්ථානයකදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත්කිරීම ඇගේ සැලසුම වී තිබෙනවා.

එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙන්ම අමෙරිකානු සහ චීන ජාතිකයින් ඝාතනය කිරීම ඇගේ ඉලක්කය වූ බව සඳහන්.

ස්වයං ඝාතනයට භාවිත කරන පුපුරණ ද්‍රව්‍ය සහිත කබායක් ඇඳ, පුපුරණ ද්‍රව්‍ය සහිත බෑගයක්ද රැගෙන ඇය අදාළ දේවස්ථානයේ සහ හෝටලයේ පෙරහුරු සංචාරයක ද නිරතවී ඇති බවටයි පසුව අනාවරණවී ඇත්තේ.

ඇය මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙකුගේ සහය පතා ඇත්තේ බෝම්බ පුපුරුවාහැරීම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම හේතුවෙන්.

මේ පිළිබඳ බුද්ධි තොරතුරු මගින් දැනගත් වහාම බ්‍රිතාන්‍ය බුද්ධි අංශ උපාය දූතයන් දැඩි අන්තවාදී මත දරන්නන් ලෙස පෙනී සිටිමින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

සිදුවීමට ගිය මහත් ව්‍යයසනයක් වළක්වාගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලට හැකිවුණේ තමන්ට ලද බුද්ධි තොරතුරු මත කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

ෂෆියා ෂයික් ඉස්ලාම් ධර්මය වැළඳගෙන තිබෙන්නේ 2007 වසරේදීයි.

ඒවන විට ඇයට වයස අවුරුදු 24 ක්.

අන්තර්ජාල දේශන ඔස්සේ ඇය ඉස්ලාම් අන්තවාදයට නැඹුරුවී ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා පවසනවා.

අදාළ කාන්තාව අයි.එස්. ත්‍රස්තයින්ගේ බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදී අන්තවාදී මත සහිත පාඨ සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට ද කටයුතු කර තිබුණා.

ඇයගේ එම සමාජ මාධ්‍ය පළ කිරීම් ඔස්සේ බුද්ධි නිලධාරීන් විශ්වාස කරන්නේ ඇය බිග්බෙන් ඔරලෝසු කණුව නෙදර්ලන්තයේ දේවස්ථානයක් හා සුප්‍රකට ලන්ඩන් පාලමද ඉලක්ක කරගෙන සිටි බවයි.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ සංචාරය කළ බව ප්‍රශ්න කිරීම් වලදී සඳහන් කළ බවයි.

එසේම, ඇය සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත අන්තවාදී කණ්ඩායමක් කටයුතු කර ඇති බවටද ඔවුන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඇය තමාගේ මරණයෙන් පසු අන්තවාදී කටයුතු දිගටම කරගෙන යාම සඳහා අනුගාමිකයන් පිරිසක් පුහුණුකරගෙන තිබූ බවද හෙළිකරගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

ලන්ඩන් නුවර අධිකරණයකට ඉදිරිපත් කෙරුණු ෂෆියා ෂයික්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණේ, ස්වයං ඝාතනයක් සැලසුම් කිරීම සහ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා යටතේයි.

සිරදඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇය අයි.එස්. සංවිධානයේ සාම්ප්‍රදායික ආචාරයක් සිදුකර සිනාමුසු මුහුණින් බන්ධනාගාරය වෙත නික්ම ගිය බවයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තාකර තිබුණේ ෴

***************************************

දරුවන් පාසල් එවන දෙමව්පියන්ට වගකීම් දෙකක්

(04.07.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් දින 105 කට පසු පසුගිය 29 වනදා සිට විවෘත කළ ද අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ අනිද්දා (06) සිටයි.

පළමු අදියර යටතේ පසුගිය සතිය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කිරීම සාර්ථකව සිදුකෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළා.

විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් පමණක් පසුගිය සතියේ පාසල් වෙත කැඳවා පාසල් පරිශ්‍රයන් පවිත්‍රකරණය, විෂබීජහරණය සහ ගිලන් කාමර සකස් කිරීම මෙන්ම, අත සේදීම සඳහා පහසුකම් සැකසීම සිදුකෙරුණා.

අනිද්දා (06) සිට අධ්‍යයන කටයුතු සඳහා 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැදවීමට නියමිතයි.

13 වන ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයටත් පෙනී සිටින හෙයින් ඔවුන්ට පාසල් කාලය උදෑසන 07:30 සිට 03:30 දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි උදෑසන 07:30 සිට 01:30 දක්වා ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.

පාසල්වලට පැමිණෙන දරුවන්ට පානය කිරීම සඳහා ජල බෝතලයක් සහ මුඛ ආවරණයක් ලබාදීමේ වගකීම පමණක් දෙමව්පියන් සතුවන වන බවයි ලේකම්වරයා කියා සිටියේ.

අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙකුම පාසල් ආරම්භ කෙරෙන පෙරවරු 07:30 ටම පැමිණීම අනිවාර්ය නොවන අතර, එම ගුරුවරයාට ඉගැන්වීමට නියමිත විෂය පැවැත්වෙන කාලපරිච්ඡේදයට විනාඩි 30 කට පෙර පාසලට පැමිණීම ප්‍රමාණවත් වනවා.

10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජුලි මස 20 වනදා සිට වන අතර, හතරවන අදියර යටතේ ජුලි 27 වන දා 3, 4, 6, 7, 8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 10 වනදා සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

මේ අතර, අනිද්දා (06) සිට පාසල් වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහනය කරන රථවාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් පොලීසියේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස කැළණිය පොලිස් බලප්‍රදේශයේ ලියාපදිංචි පාසල් ප්‍රවාහන සේවා රථ 200 ක් විෂබීජහරණය කෙරුණා ෴

***************************************

ඉන්දියාව මත්තල ගුවන්තොටුපල අතහැර ඇති බව අගමැති කියයි

(04.07.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සම්බන්ධයෙන් ඉන්දියාවට පැවති බලාපොරොත්තුව මේ වනවිට ඉවත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ අද (04) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් පළ කරමින් කියා සිටියේ මේ වනවිට ඔවුන් කණ්ඩායම් දෙකකට වෙන්ව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර තංගල්ල නගරයේ ඉදිකරන ලද ආරෝග්‍යා පෞද්ගලික රෝහල අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවුරුවේ විවෘත කෙරුණා.

එහීදී ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් අත්වාරු සහ රෝද පුටු පරිත්‍යාග කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්.

එමෙන්ම ලංකා ලුණු සමාගමේ සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට ප්‍රදානය කිරීම ද අද (04) සිදු වූ අතර ඊට අදාළ චෙක්පත ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

මේ අතර වීරකැටිය වත්තේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ තවත් ජනහමුවක් පැවැත්වූණු අතර ඓතිහාසික මුලකිරිගල විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක්වුණා ෴

***************************************

Truth with Chamuditha : මහින්ද මහත්තය නිසා ඉවසනව මගේ ජීවිතේ වත් විස්වාසයක් නෑ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග (28.06.2020)

***************************************

මව් බිමට එරෙහි ආක්‍රමණ 17 ම පරාජය කළා – ඒත් ගිවිසුම් මඟින් පාවා දුන්නා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(05.07.2020 – 05:31 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණ 17 ක් සිදු වූවත් ඒ එකකදීවත් රට යටත් කර ගැනීමට ආක්‍රමණිකයාට නොහැකි වූ බවත් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (04) ඇසළ පුන් පොහෝදින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේදී පැවැති අමාදම් සිසිල මාසික ධර්ම දේශනාවට සහභාගී වෙමිනි.

රට හැම විටම ආක්‍රමණිකයාට පාවා දුන්නේ ගිවිසුම් මඟින් බවත් මේ නිසා ශ්‍රී ලංකාව සමඟ විදේශ බලවේග අත්සන් කිරීමට සුදානම් වන ගිවිසුම් පිළිබඳව මහජනතාව සැම විටම අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ සඳහන් කර සිටියේය.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ රට තුළ දැඩි කතාබහක් පවතින මේ අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පළ කිරීමද විශේෂත්වයක් වන අතර බුදුන් දවස දේශනාකළ මහා ගෝපාලක සූත්‍රය පූජ්‍ය අභයතිස්ස හිමියෝ මෙම ධර්මදේශනාවට පාදක කර ගත්හ.

සම්පූර්ණ ධර්ම දේශනාව :

***************************************

‘මහියංගණ උළු යෝධයාට’ විමල් යළි පණ දෙයි !

(04.07.2020 – 22:25 +0530 – lankaleadnews.com)

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඩ් ප්‍රනාන්දු මහතා පවසයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර අද (04) උදෑසන එම වැඩ කටයුතු ඇරඹුණු කර්මාන්ත ශාලා පරිශ්‍රය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

දිනකට උඵ 17,500 ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250 කට අධික සේවක පිරිසක් සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, ‘මහියංගණ උඵ’ ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය ලබා තිබූණු බවත් මෙහිදී සිහිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් දේශීය කර්මාන්තයන්ට පණ දෙමින්, කර්මාන්ත පුනරුද යුගයක් කරා මේ රට ගෙන යාමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා ගන්නා බලවත් උත්සාහය තුළ මෙම ‘මහියංගණ උඵ යෝධයාට’ යළි පණ දීමට ලංකා පිඟන් සංස්ථාවට හැකිව ඇති බව ද ජූඩ් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Image may contain: 4 people, people standing and indoor
Image may contain: 6 people, people standing
Image may contain: 4 people, outdoor

***************************************

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක්

(04.07.2020 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන් එක් ඡන්දයක් හෝ ලබාගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අද අත්තනගල්ල ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ දයාසිරි ජයසේකර මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *