ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු ගැටයට හිරකළ ගිවිසුම්: ගුණරුවන් කමිටුව හෙළිකළ පාවාදීමට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවද ? – ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(05.07.2020 – divaina.com)

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන සංයුක්ත ගිවිසුම් කෙටුම්පත, යෝජිත ව්‍යපෘති හා ඒවා ක‍්‍රියාත්මක කිරීමට සකසනු ලැබ ඇති ක‍්‍රමවේදය සමාලෝචනය කිරීමේ කමිටුව පසුගියදා පාර්ලිමේන්තු ක‍්‍රමයට ‘මල්ටි බැරල් රොකට්’ ප‍්‍රහාරයක් එල්ල කළේය.

හතර දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විය. කැබිනට් මණ්ඩලය 2019 දෙසැම්බර් මස 18 වැනි දින ගත් තීරණයකට අනුව, 2020 ජනවාරි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කමිටුවට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු කමිටුවට අයත් විය. ජුනි 25 වැනිදා ජනාධිපති කාර්යාලයේදී (පරණ පාර්ලිමේන්තුව) ජනාධිපතිවරයාට භාරදුන් වාර්තාව ඉතිහාස ගතවනු ඇත.

සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම අවභාවිත කරමින් ශ‍්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ ගිවිසුම් ගතවීම ලෝක බලවතාගේ වුවමනාව මත සිදුවී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්පූර්ණ වාර්තාව අන්තර්ජාලයට මුදාහැරීමට නියෝග කළේය. කමිටු වාර්තාව ලැබී පැය 48 ක් යෑමට පෙර එම වාර්තාව ජනතාව අතරට පත්විය.

එජාප – ශ‍්‍රීලනිප හවුල 2015 ජනවාරි – 2020 මාර්තු කාලය තුළ ‘යහපාලනය’ ක‍්‍රියාත්මක කළ ආකාරය හෙළිදරව් වී ඇත. යෝජිත ගිවිසුම සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම බලවත් අභියෝගයකට ලක්කර ඇත. මෙවැනි බරපතළ පාවාදීමක් මින් පෙර සිදුකර නැත. පවාදීම් සිදුකර ඇත; නමුන් මින් පෙර මේ ආකාරයට ශ‍්‍රී ලංකාව, බටහිර දේශපාලනික – ආර්ථික – යුද මෙහෙයුමක කොටස්කරුවකු කර නැත.

සහශ‍්‍රක අභියෝගතා සමායතනය සංස්ථාව (Millennium Challenge Corporation) සමඟ ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම, අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම (Acquisition and Cross Servicing Agreement) සහ හමුදා තත්ත්ව ගිවිසුම (Status of Forces Agreement) යන ගිවිසුම් එකට තබා සලකා බැලිය යුතුය. එම චිත‍්‍රය බයංකරය; මෙම තත්ත්වය අවාසනාවන්තය. එජාප-ශ‍්‍රීලනිප හවුල පමනක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ සහ සන්ධාන මෙම පාවාදීමට වගකිව යුතුය.

ගුණරුවන් කොමිටිය හෙළිකර ඇත්තේ අප පාර්ලිමේන්තු ක‍්‍රමයේ අසාර්ථකභාවය පමණක් නොවේ; එහි දූෂිතභාවයයි. මෙවැනි පාර්ලිමේන්තුවක් මහජන මුදලින් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තිබේද? අගෝස්තු 05, 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සති කීපයකට පෙර ජනතාව අතරට පත්කළ ගුණරුවන් කමිටු වාර්තාව පාර්ලිමේන්තු ක‍්‍රමය නිරුවත් කර ඇත. පළමුව 2015 අගෝස්තු – 2020 මාර්තු පාර්ලිමේන්තුවේ සංයුතිය මතක් කර දිය යුතුය.

එජාපයෙන් මහජන නියෝජිතයින් 106 ක් ද ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 95 ක් ද ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් 16 ක් ද ජවිපෙන් 6 ක් ද ඊ.පී.ඩී.පී. සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් 1 ක් බැගින් ද පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ කටයුතු කළේය.

ඇමෙරිකාව, පාර්ලිමේන්තුව /පාර්ලිමේන්තු ක‍්‍රමය තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කළා ද යන ප‍්‍රශ්නය නිතැතින්ම නැඟේ. ඇත්ත වශයෙන්ම සහශ‍්‍රක අභියෝගතා ගිවිසුම, අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම සහ හමුදා තත්ත්ව ගිවිසුමට අමතරව යහපාලන රජය ක‍්‍රියාත්මක කළ දේශපාලනික – ආර්ථික – ආරක්ෂක ක‍්‍රියාදාමය වඩාත් පුළුල්ව විමසා බැලිය යුතුය. බටහිර බලවේග සහ ඉන්දියාව 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී ගත් ස්ථාවරය රහසක් නොවේ. එම බලවේග 2019 ජනාධිපතිවරණයේදී ද බටහිරට ගැති පාලනයක් පැතීය.

ගුණරුවන් කමිටුව තම වගකීම උපරිම අයුරින් කර ඇත. පාර්ලිමේන්තුවේ වගකීම් විරහිත ක‍්‍රියාදාමය තුළ ශ‍්‍රී ලංකාව පටලවා ඇති උගුලේ තරම එම කමිටුව ජනතාව ඉදිරියේ තබා ඇත. මෙවැනි පාර්ලිමේන්තුවක් ක‍්‍රියාත්මක රටකට විදේශීය හෝ දේශීය හතුරෝ අවශ්‍ය නැත. කරන විනාශය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හරහා කරගත හැකිය. ඇමෙරිකානු ගිවිසුම් තුන සලකා බැලිය යුත්තේ ලෝක බලවතා ගෝලීය සහ කලාපීය වශයෙන් ක‍්‍රියාත්මක කර ඇති ආර්ථික – දේශපාලන – ආරක්ෂක උපාය මාර්ග සැලකිල්ලට ගැනීමෙනි. චීනයට එරෙහිව ක‍්‍රියාත්මක මෙම ක‍්‍රියාදාමයේ පංගුකාරයින් වන්නේ ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව බව ශ‍්‍රී ලංකාව තේරුම් ගත යුතුය.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව 2010 බලයෙන් ඉවත් කිරීමට එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ ද ශ‍්‍රී ලංකා – චීන සම්බන්ධතාවය බිඳ දැමීමට බව රහසක් නොවේ. ඊට පසුව පැවැති ජනපතිවරණ දෙකෙහිදීම බටහිර සහ ඉන්දියානු බලවේග ක‍්‍රියාකළ ආකාරය පිළිබඳව ශ‍්‍රී ලංකාවට අවබෝධයක් තිබිය යුතුය. ඇමෙරිකානු ගිවිසුම් තුන සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ ගෝලීය, කලාපීය සහ රට තුළ තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙනි.

සහශ‍්‍රක අභියෝගතා සමායතනය සහ ශී‍්‍ර ලංකාව 2017 ජූලි සහ 2018 ජූනි අත්සන් කරනා ලද, අදාළ ගිවිසුමට පෙර ගිවිසුම් දෙක පිළිබඳව සමාලෝචනය කිරීමේ කමිටුව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබිණි. එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ගිවිසුම් දෙකට ම අත්සන් තැබූ පුද්ගලයා ය. එවකට එම අමාත්‍ය ධුරය දැරුවේ මංගල සමරවීර ය. ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4 (රුපියල් බිලියන 1.1) සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6 (රුපියල් මිලියන 413) වටිනා ගිවිසුම් දෙක දැඩි අවධානයකට ලක්කළ යුතුය.

මුදල් අමාත්‍යාංශය සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් නිකුත් කළ නිවේදනය අවධානයට ලක් වූවානම් එවකට රජය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව වඩාත් හොඳින් තේරුම් ගත හැකිය. මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ අදාළ ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ලැබුණ බවය. අදවනතුරු එම ප‍්‍රකාශය අභියෝගයට ලක්කර නැත.

එම ප‍්‍රකාශය සැක කිරීමට හේතුවක් ද නැත. එම ප‍්‍රකාශය වගකීමෙන් කර ඇති නිවේදනයක් බවට අපි පිළිගනිමු. කෙසේ වෙතත් සමාලෝචනය කිරීමේ කමිටුව අග‍්‍රාමාත්‍ය කාර්යාලය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් කළ විමසීමට ජුනි 25 වැනිදා එම වාර්තාව ලබාදෙන තුරු පිළිතුරු ලැබී තිබුණේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව යෝජිත ගිවිසුමට අනුමැතිය දුන්නාද? සමාලෝචනය කිරීමේ කමිටුව වාර්තාව භාරදුන් පමණින් එම කණ්ඩායමේ වගකීම අවසන් වන්නේ නැත. මුදල් අමාත්‍යාංශය කිවූ පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම අනුමත කළාද? මෙම ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් අවශ්‍යය. ආචාර්ය සමරතුංග සමාලෝචනය කිරීමේ කමිටුව ඉදිරියට පැමිණියත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වටිනා ගිවිසුම් දෙකකට අත්සන් කළ බව සාකච්ඡාවට භාජනය වී නැති බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාව පළමුවරට අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුමට ඇමෙරිකාව සමඟ අත්සන් කළේ 2007 මාර්තු මාසයේදී ය. එම ගිවිසුමේ ආයු කාලය වසර 10 කි. එවකට කොළඹ සිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගිවිසුමට අත්සන් කළේය. ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ රජය එම ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් එවකට රජය පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැත. ශ‍්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ එජාපයට පාර්ලිමේන්තුවට පිටින් කටයුතු කිරීමේ බලයක් නැත. කවුරු කරත් වැරැද්ද සාධාරණීකරණය කළ නොහැක.

අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම 2017 අගෝස්තු මස නැවත දීර්ඝ කළේය. ඒ එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමෙනි. හමුදා තත්ත්ත්ව ගිවිසුම සම්බන්ධයෙන් ද යහපාලන රජය සහ ඇමෙරිකාව අතර සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකාව බලාපොරොත්තු වූ එකඟතාවය ලබාගැනීමට නොහැකි විය. සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ සාකච්ඡා කෙටි කලකින් අවසන් වූ අතර ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට තීරණය විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් මස එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම නිසා ඇතිවූ අර්බුදය සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට හරස් විය.

එසේ නොවන්නට වික‍්‍රමසිංහ එම ගිවිසුම අත්සන් කරන බවට සැක නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අදාළ ගිවිසුමට 2019 නොවැම්බර් 16 වැනි දින ජනාධිපතිවරණයට පෙර අත්සන් කරනවා දැයි මෙම ලියුම්කරු වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් 2019 ඔක්තෝබර් අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී විමසීය. අගමැතිවරයා පැවසුවේ අනිවාර්යෙන්ම අත්සන් කරන බවය.

සමාලෝචනය කිරීමේ ගුණරුවන් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අවධානය යොමු කළ යුත්තේ යහපාලන රජයේ විදේශ ප‍්‍රතිපත්තිය ද සැලකිල්ලට ගනිමිනි. මෙහිදී යහපාලන නායකත්වය ඇතිකළ දේශපාලන වටපිටාව ද ඉතාමත් වැදගත්ය. එජාප – ශ‍්‍රීලනිප හවුල් රජය ස්ථාපිත කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපයෝජනය කරමිනි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේනගේ ඒකාබද්ධ මෙහෙයුමක් වූ 19 වැනි ව්‍යවස්ථාව නීතියක් බවට පත්වන්නේ 2015 ජනවාරි සහ 2015 අගෝස්තු මහමැතිවරණය අතරය. එම පක්ෂ දෙකේ එකතුවීම විනාශකාරී විය.

අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සමස්ත කණ්ඩායම (විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර එවකට දිගාමඩුල්ල දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී හැර) 19 වැනි සංශෝධනයට අත ඉස්සීය. නීති හැදීමේ මූලික වගකීම දරන පාර්ලිමේන්තුව ජනතාවට ද්‍රෝහී ආයතනයක් බවට පත් කළේය. නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසුව සිරිසේන – වික‍්‍රමසිංහ රජය ජිනීවාහිදී ත‍්‍රස්තවාදය පරාජය කළ ජයග‍්‍රාහී ආරක්ෂක හමුදා බටහිර බලවේගවලට පවා දුන්නේය.

ජිනීවා ගිවිසුමට අත්සන් තැබීම 2015 ඔක්තෝබර් මස 01 වැනි දින සිදුවිය. ප‍්‍රබල විදේශීය මැදිහත්වීමකට මඟ පෑදූ ජිනීවා ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු වූයේ නැත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජිනීවා ගිවිසුමට තමන් අනුමැතිය නොදුන් බව කීපවරක් පැවසුවත් තම ජනාධිපති ධුර කාලයේ ජිනීවා උගුල ඉවත් කිරීමට කටයුතු කළේ නැත. අදටත් ජිනීවා ගිවිසුම ඒ ආකාරයෙන්ම තිබේ. සත්‍ය කොපමණ අමිහිරි ද වර්තමාන රජය 2020 පෙබරවාරි – මාර්තු පැවැති ජිනීවා සැසියට දැනුම් දුන්නේ 2015 අත්සන් කළ ජිනීවා ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වන බවය. නමුත් ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟුන පදනමක් නැති යුද අපරාධ චෝදනා අදටත් වලංගුය. යුද හමුදාපති ලුතිනල් ජනරාල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා යුද අපරාධ කරුවකු ලෙස සලකාය.

ජිනීවා ගිවිසුම අත්සන් කර සතියක් යෑමට පෙර එවකට අගමැති වික‍්‍රමසිංහ ජපානය සමඟ පුළුල් සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. වික‍්‍රමසිංහ සහ ජපාන අගමැති ශින්සෝ අබේ අත්සන් කළ එම ගිවිසුම සලකා බැලිය යුත්තේ සමස්ත ඇමෙරිකානු ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමෙනි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 480 වන සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ප‍්‍රතිපාදන ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සුළුවෙන් තැකිය නොහැක. එජාපය සහ ශ‍්‍රීලනිපය මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතුමය.

මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තු අංශික කාරක සභා ක‍්‍රියාමාර්ගයට ලක්වූයේද? මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක‍්‍රියාමාර්ගය පූර්ණ විමර්ශනයකට ලක්කළ යුතුය. මහාචාර්ය ගුණරුවන් මහතාගේ කමිටුවට එම භාරධුර වගකීම භාර කළ හැකිය. සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අදාළ ගිවිසුම ඇතිකර ගැනීමට අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය විමසා බැලිය යුතුය. අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම (අගෝස්තු 2017), ජිනීවා යෝජනාවලිය (ඔක්තෝබර් 2015), සහශ‍්‍රක අභියෝගතා පූර්වා ගිවිසුම් දෙක (ජූලි 2017, ජුනි 2018), ශ‍්‍රී ලංකාව – සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (ජනවාරි 2018), ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව – ඇමෙරිකාව අතර වසර තුනකට (3) බලපැවැත්වෙන පරිදි අත්සන් කළ රුපියල් බිලියන 1.92 වටිනා සහයෝගිතා ගිවිසුම (සැප්තැම්බර් 2016) සහ ඇමෙරිකාව එවකට කථානායක කරු ජයසූරියගේ උපදේශකයකු ලෙස විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප‍්‍රසාද් කාරියවසම් පත්කිරීම ද විමසා බැලිය යුතුය.

ඇමෙරිකාව 2015 ශ‍්‍රී ලංකාවේ බල පෙරළිය සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රකාශයක් කර ඇත. නයිජීරියාවේ, මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ බල පෙරළිය ඇති කිරීමට ඇමෙරිකාව ඩොලර් මිලියන 585 වියදම් කළ බවට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකශ කර ඇත. පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් කළ යුතු වන්නේ අදාළ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමිනි. මැතිවරණ කොමිසමට ද මෙම බලපෑම සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැක. මැතිවරණ කොමිසම ශ‍්‍රී ලංකාවට බලපාන විදේශීය මැදහත් සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතුය. පෝස්ටර් , කටවුට් ඉවත් කිරීමෙන් ජාතික මැතිවරණයක් සාධාරණව පැවැත්විය නොහැක. මැතිවරණ කොමිසම රටේ සමස්ත ඡන්ද දායකයින්ට වග කිව යුතුය.

සමාලෝචනය කිරීමේ ගුණරුවන් කමිටුව සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලියම අභියෝගයට ලක් කර තිබේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නිසියාකාරව ලැබීමට පෙර සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට අදාළව සැලසුම් සකස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ලබා ගැනීමට 2017 සහ 2018 ගිවිසුම් දෙකකට අත්සන් කිරීම නිත්‍යානුකූල ද? එලෙස ගිවිසුම්වලට ඇතුළුවීමට හැකිද? අවසන් ගිවිසුමට එකඟනොවන්නේනම් පූර්ව ගිවිසුම් හරහා ලබාගත් මුදල් නැවත ගෙවිය යුතුද?

පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය නිසියාකාරව සිදුවේනම්, මෙවැනි ජාත්‍යන්තර තත්ත්වයේ බරපතළ අර්බුද නිර්මාණය වන්නේ නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් තම ප‍්‍රධාන කාර්යභාරය ඉටු නොකරන බව නොකියා බැරිය. මාසයකට පාර්ලිමේන්තුව දින 8 ක් පැවැත්වේ. ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉතාමත් දුර්වලය. ගණපූර්ණය මන්ත‍්‍රීවරු 20 කි. එම ගණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල්තැබීම ද ඉදහිට සිදුවේ. පාර්ලිමේන්තුවේ සිටි කීර්තිමත් පරිපාලකයකු වූ ලැසිල් ද සිල්වා මෙම ලියුම්කරුවකු සමඟ පැවැසුවේ ප‍්‍රධාන පක්ෂ ගණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවය. පසුකාලයකදී දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ගණපූර්ණය නොමැති නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.

මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද පාර්ලිමේන්තුව ආරක්ෂා කරයි. මන්ත‍්‍රී වරප‍්‍රසාද පිළිබඳව මහජන නියෝජිතයන් බොහෝ ආඩම්බරයෙන් කතා කරයි. මන්ත‍්‍රීවරුන්ට ලබාදෙන වරප‍්‍රසාද නිමක් නැත. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ අපේක්ෂකයන් හෝ ඉහළ උසාවියකින් වරදකරුවන් ලෙස නිගමනය කළ නිසාවෙන් මන්ත‍්‍රී ධුරය අහිමි වූ පුද්ගලයකු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට නැවත ගෙන ඒමේ අවස්ථාව ඇත. එවැනි පාර්ලිමේන්තුවක් දෙස් විදෙස් බලවේගවලට නතුවීම පුදුමයක් නොවේ. පසුගිය සතියේ ජාතික ලැයිස්තු අවභාවිතයට අවදානය යොමු කෙරිණි.

ලියුම්කරු අතින් සඳහන් කළ යුතු කරුණක් ගිලිහිණි. ඇමෙරිකානු ගිවිසුම් වෙනුවෙන් පෙනී සිටි එවකට විදේශ ඇමති 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වූයේ සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දීමෙනුත් පසුවය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය එහෙමය.

– ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

+++++++++++++++++++++++++++++++++++

සමහර සිංහල අයට එම්.සී.සී. කමිටු වාර්තාවේ ඉංගිරිසි පිටපත් වුවමනා වෙලා! – මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

(05.07.2020 – divaina.com)

• සහශ‍්‍රික අභියෝගතා සංයුක්ත (එම්.සී.සී.) යෝජනාවලිය විමර්ශනය කිරීමේ කමිටු වාර්තාව සිංහලෙන් පමණක් වීම ප‍්‍රශ්නයක් වෙලා!

• සමහර සිංහල දේශපේ‍්‍රමීන්ටත් ඒකෙ සිංහල තෙරුම් ගන්න බැරිලු !

• තවත් සමහරු තොරතුරු දැනගැනීමේ පනතින් ලිඛිතව ඉල්ලලාලු ඉංගිරිසි පිටපතක් දෙන්න කියලා…

• ජාතියක් විදියට ‘අපට වෙච්ච දේ’ තේරුම් ගන්න පියදාස සිරිසේන සූරීන් යළි ඉපැදුනත් බැරි වේවි වාගෙයි පේන්නෙ.

කමිටුව සිය වාර්තාව දුන්නෙ රජයට – රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය භාෂාවෙන්. මෙතෙක් භාරදී ඇති වෙනත් බොහෝ වාර්තා තිබුණෙ ඉංගිරිසියෙන් පමණයි. කවුරුවත් තොරතුරු දැනගැනීමේ පනතින් ඒවායේ පිටපත් සිංහලෙන් ඉල්ලූ බවක් මා නම් දැන සිටියේ නැහැ. සිංහල නොතේරෙන නිසා ඉංගිරිසි පිටපත් ඉල්ලීම ලැජ්ජාවක් නොවුණ ද ඉංගිරිසි නොතේරෙන නිසා සිංහල පිටපතක් ඉල්ලීම ලැජ්ජාවක් වී ඇති බවයි පෙනෙන්නෙ. ඉංගිරිසියට වහල් වුණු දීන මානසිකත්වයක් ඇති කළු සුද්දන් රැළක් බවට සිංහලයන් පත්වී ඇති බවට මෙය අපූරු නිරූපණයක් !

ජාත්‍යන්තරයට අවශ්‍ය සන්නිවේදනයක් උදෙසා ඉංගිරිසි පරිවර්තනයක් කර ගැනීම එක් දෙයක්. ඒත්, රට තුළ ඉන්න හමින් – නමින් සිංහල වුව ද සිතින් – වැඩවලින් සුද්දන් වී ඇති ලැජ්ජා නැති සිංහලයන් වෙනුවෙන් නම් මේ වාර්තාව රජයේ වියදමින් ඉංගිරිසියට පරිවර්තනය නොකළ යුතු යි.

මට පෙනෙන විදියට අපේ කමිටු වාර්තාවට රට තුළ ඉහළ ඉල්ලුමක් ලැබීලා. ඒ නිසා ඉංගිරිසි පරිවර්තන අවශ්‍ය අය එය පරිවර්තනය කර ගත්තාට අපේ තරහක් නැහැ. ඒ උදෙසා අවශ්‍ය මුදල් ගෙවා පරිවර්තනය කර ගන්න. එවිට අඩු වශයෙන් සිංහල ඉගෙනගත් පරිවර්තකයකුට හෝ අගයක් ලැබෙනවා. රජය විසින් පරිවර්තනය කරන්නේ නම් අඩු වශයෙන් වචනයකට රුපියල් 2 ක් වත් අයකර මිස ලබාදිය යුතු නැහැ. අපට ඔය ඇමෙරිකානු නව ලිබරල් ආර්ථික පාඩමේ උගන්වන්නෙත් ‘කිසිවක් නොමිලේ නැත’ කියලා නෙ! මේ රටේ බහුතරයක් වූ අහිංසක සිංහල ගැමියන්ගෙ බදු මුදලින් සංස්කෘතිකමය වශයෙන් යුරෝපීයන් හෝ අමෙරිකානුවන් වී ඇති අලජ්ජී සිංහල බැරි සිංහලයන්ට ඒ ඉංගිරිසි පරිවර්තන රජය විසින් නොමිලේ ලබා දෙන්නේ නම් එය පාපයක් ! අදාළ ගෙවීම් කිරීමට අකැමැති සහ සිංහල පිටපත කියවන්න තේරෙන්නෙ නැති සිංහල අය සිටිත් නම් ඒ අයට ආයෙම ඉස්කෝලෙ ගිහින් සාමාන්‍ය පෙළ සිංහලවත් ඉගෙනගෙන එන්න කියමු.

ලංකාවෙ හිටියට සංස්කෘතියෙන් ඉංගිරිසි වෙලා සිටින අය දැන්වත් තමන්ට වී ඇති හදිය තේරුමගෙන අපේ මවු බසට අවශ්‍ය භාවිතමය වටිනාකම ලබාදීමට අදිටන් කළ යුතු යි. දෙමළ සහෝදරයන් තම මවුබසට ඉතා ඉහළ භාවිත වටිනාකමක් දෙනවා. ඒ අතින් අප ලැජ්ජා විය යුතු යි. දැන්වත් ඇස් ඇරිය යුතුයි. උසස් අධ්‍යාපනය ඇතුළු රජයේ කටයුතු ඇතුළු ව්‍යාපාරික කටයුතු – නිල සටහන් ඇතුළු සියලු දේ හැකි පමණ සිංහලෙන් කළ යුතු යි. ඉංගිරිසි දැන ගැනීම වැදගත් – ඒත් ඒ බාහිරයන් සමග සන්නිවේදනයට පමණයි.

එ සේ නොවුණහොත් තව පරම්පරාවකට වඩා අපේ මේ වටිනා භාෂාව ජීවමානව පවතින එකක් නැහැ. භාෂාව මළ දාට සිංහල ජාතිය ඉබේම මැරෙනවා. ජාතිය ජීවත් වන්නේ ලේ තුළ නොවෙයි. භාෂාව හා සංස්කෘතිය තුළ යි. දැන්වත් ඒ බව තේරුම් ගන්න.

– මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

***************************************

කාකි කෝට් – කුඩු බිස්නස්

(05.07.2020 – divaina.com කතුවැකිය)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කාකි කෝට් කාර්ය මණ්ඩලයේ කොටසක් කුඩු වෙළෙඳාමට සම්බන්ධ වූ බවට පැතිර යන පුවත නිසා මහත් සතුටට පත් පුද්ගලයන් අතර දැනට හිරේ සිටින කුඩු වෙළෙඳුන් වන පොට්ට නවුෆර්, වෙලේ සුදා, කන්ජිපානි ඉම්රාන්, මධුෂ් යනාදීන්ගේ සිට ඩුබායි නගරයේ සිට මෙරට කුඩු විකුණන අන්නාසි මොරිල්, කොස්ගොඩ සුජී, ගයාන් ෆොන්සේකා, කෙහෙල්වත්තේ දිනුක යනාදීන් දක්වා වූ විශාල පිරිසක් සිටින බව අපට විශ්වාසය.

සුරාබදු දෙපාර්තමේන්තුව හොර අරක්කු පෙරුවොත් එමගින් සුවිශාල අර්බුදයක් හටගනී. යුද හමුදාව අත් බෝම්බ වික්කොත් එය ලොකු ‘ඩැමේජ්’ එකකි. නාවික හමුදාව මාළු බිස්නස් නොකරයි. ගුවන් හමුදාව ‘ප්ලේන්’ නොවිකුණයි. (කිසිම යුද හමුදාවක් බිස්නස් කරන්නේ නැත. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී ‘ඇවන්ගාඩ්’ නාවික හමුදාවට නොදී නිශ්ශංක සේනාධිපති මහතාට දෙන්නේ ඒ නීතිය මතය. මෙය අමතර කතාවකි).

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කාකි කෝට් කාර්යය මණ්ඩලයේ (සිවිල් නොවන කාර්යය මණ්ඩලය) කොටසක් කුඩු විකිණීම අන්තිම දේශද්‍රෝහී, පජාති වැඩකි. (පජාති යනු කුණුහරුපයක් නොව ජාති නොවන යන තේරුම් ගෙන දෙන ග‍්‍රාම්‍ය වචනයකි. මැණික් ව්‍යාපාරයේදී උසස් තත්ත්වයේ මැණික් වලට ජාති ගල් ලෙසත් අර්ධ මැණික් වලට පජාති ගල් ලෙසත් ආමන්ත‍්‍රණය කෙරේ). කෙසේ වුවද කාකි කෝට් කුඩු බිස්නස් කතන්දරය සහ එහි සත්‍යතාව මතභේදයට තුඩු දී තිබේ. ඩුබායි නගරයේ සිටින අන්නාසි මොරිල් නමැති කුඩු ජාවාරම්කාරයා විසින් ඉහත සඳහන් මත්ද්‍රව්‍ය නාශක කාකි කෝට් ධාරීන් මේ ජාවාරමට පටලවන ලද බව කියන මුල් පුවත අද ‘දිවයිනේ’ පළවී ඇත.

මෙවැනි දේවල් ඉතිහාසය පුරාම සිදුව ඇත. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මන් ඔත්තු සේවා නිලධාරීන් විසින් බි‍්‍රතාන්‍යය ඔත්තු සේවා නිලධාරීන් මුදල් සහ කාන්තාවන් පෙන්වා රවටාගනු ලැබු අවස්ථා බොහෝය. රූපත් ගැහැනුන් සහ සල්ලි ගෝනි ඉදිරිපිටදී උන්මාදයට පත්වූ බි‍්‍රතාන්‍ය ඔත්තු සේවා නිලධාරීහු කොස් ඇට කා එළකිරි බිව්වාක් මෙන් පෙර කී රූපත් ගැහැනුන් ඉදිරිපිටදී තම රටේ යුද රහස් වමාරන්නට වූහ. ශ‍්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් මුදලට මැච් එක පාවාදීම කෙසේ සිදු කළේද නැත්නම් සිදු නොකළේද යන්න ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගන්නා මත් කුඩු එම අවස්ථාවේ සිට රස පරීක්ෂක හරහා උසාවියට ඉදිරිපත් කරන අවස්ථාව දක්වා ගතවන කාලය ඉතාම තීරණාත්මකය. මේ කාලය තුළදී හෂීස්, හෙරොයින්, මරිජුවානා ආදී ඕනෑම ඝන මත් ද්‍රව්‍යයක් කහ කුඩු, ලී කුඩු, තුනපහ කුඩු යනාදිය බවට පරිවර්තනය වන අවස්ථා බොහෝය.

හොර අරක්කු බූලියක් අල්ලන ඇතැම් රාළහාමි කෙනෙක් එයින් අරක්කු බෝතල් කාලක් උසාවියට ඉදිරිපත් කොට අරක්කු පෙරන්නාට සුළු දඩයක් ලබා දී ඉතිරිය ඔහුටම ලාබෙට විකුණයි.

හෂීස්, හෙරොයින්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය කහ කුඩු, තුනපහ කුඩු සහ ලී කුඩු බවට පත්කර නොඑසේ නම් මත් කුඩු පසුව කී කුඩු වලට මාරුකර රස පරීක්ෂකට යැවූ විට රස පරීක්ෂකගෙන් ලැබෙන උත්තරය වන්නේ ඒවා මත් කුඩු නොව කහ කුඩු, තුන පහ කුඩු හෝ ලී කුඩු බවය. මෙවිට ඒවා සන්තකයෙහි තබා ගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කර සිටින මත් ජාවාරම්කාරයා නිදහස් වෙයි. මීට වඩා සංවිධානාත්මක ක‍්‍රමයකට අනුව මෙකී කුඩු වර්ග පරීක්ෂා කර විගණනය කිරීමට හැකි ක‍්‍රමවේදයක් ආණ්ඩුවට සැකසීමට හැකිනම් මත් කුඩු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් හරහා එම මත් කුඩු ආපසු වෙළෙඳ පොළට යෑම වැළැක්විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ කුඩු වෙළෙඳපොළ තුළ කුඩු හිඟයක් හටගන්නේ ඉතා කලාතුරකිනි. අත්අඩංගුවට පත්වන කුඩු ඒ ආකාරයෙන්ම නැවතත් වෙළෙඳපොළට එන නිසා කුඩු සැපයුම එසේම පවත්වාගෙන යෑමටත් කුඩු මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමටත් කුඩු බිස්නස්කාරයන්ට පුළුවන. මේ නිසා අත්අඩංගුවට ගන්නා කුඩු තොග එකෙනෙහිම භාරගෙන පරීක්ෂා කිරීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවන ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරමු. මෙය මංගල යෝජනාවක් තරමටම යහපත් වැඩකි. කුඩු නැතිවුණු දවසට මේ රටම මඟුල් ගෙයකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *