සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා – අගමැති මහින්ද රාජපක්ෂ

(05.07.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

පටු ජාතිවාදයටත්, කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජන වරමක් මෙවර මහ මැතිවරණයේදී ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය යන ශීර්ෂය යටතේ නිකුත් කළ අදාළ නිවේදනයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ වත්මන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමු කර තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනතාවගේ ව්‍යවස්ථාව යන ඡේදය යටතේ ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර නොබෙදුණු හා වෙනස් කළ නොහැකි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇති බවයි.

මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභාවට බෙදා හැරීම, පළාත් සභා නියෝජිතයින්ගෙන් සෑදුනු දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට පාර්ලිමේන්තුවේ බලය තවත් සීමා කිරීම සහ පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇති වන ආරවුල් විසදීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිට විය යුතු බව එහි දැක්වෙන බවයි.

එය 2019 වසරේ මුල් භාගයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පත හා කිසිදු වෙනසක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අවසන් වරට පැවති ජනාධිපතිවරණ තුනේදීම රට බෙදා වෙන් කිරීම සඳහා එක්ව සිටියේ එකම දේශපාලනික මාර සේනාවක් බව සදහන් කළ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ඔවුන් මේ වන විට සමගි ජනබලවේගය වටා රැස්ව සිටින්නේ ‘රනිල්ට සිංහල ඡන්ද ගන්න බැහැ සජිත්ට පුළුවන්’ යැයි පවසමින් බවයි.

මේ අතර, සාක්ෂි නොමැතිව කිසිදු රාජ්‍ය සේවකයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට තමා දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනය පහතින් :

***************************************

හිටපු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි

(05.07.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව මහතා අද (05) පස්වරුවේ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පුත්තලම – කුරුණෑගල මාර්ගයේ පාදෙනිය – මාරගස්ගොල්ල ප්‍රදේශයේදී මොහු ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලීසිය සදහන් කළේ නිකවැරටිය දෙසට ධාවනය වූ හිටපු මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී ඇති බවයි.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ හිටපු මන්ත්‍රීවරයා පමණක් ගමන් කර ඇති අතර, ඔහු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

1952 උපත ලද වඩිගමන්ගාව හිටපු මන්ත්‍රීවරයා මිය යන විට 68 වන වියේ පසුවුණා. 1980 ආනමඩුව අතුරු මැතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි මොහු, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා.

සෙවණ අරමුදල වෙනුවෙන් මොහු 1986 වසරේ ආනමඩුවේ සිට කතරගමටත්, කතරගම සිට කොළඹ – පුත්තලම හරහා ආනමඩුවටත් හැතැප්ම 660ක පා ගමනක ද නිරත තිබෙනවා.

පසුව 1996 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්ව එය ජයග්‍රහණය කළ මොහු එම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයත් පසුව සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් හොඹවනු ලැබුවා.

***************************************

ලංකාවේ නොතියා හොරෙන්ම ඉන්දියාවේ මොහාලිහිදී පැවැත්වූ ‘ඌව ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය’

(05.07.2020 – 15:37 +0530 – hirunews.lk/sinhala)

ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 නමින් මෙරටදී ක්‍රියාත්මක වන ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් HIRU SPORTS තුළින් අප හෙළිදරව් කළේ පසුගිය මස 30 වැනිදා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් යොදාගනිමින් තරගාවලිය බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව ඇතැම් ඉන්දීය වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබුණත් අප එහිදී අනාවරණය කළේ එවැනි කිසිදු තරගාවලියක් ක්‍රියාත්මක නොවන බවයි.

HIRU SPORTS අනාවරණයෙන් අනතුරුව මේ පිලිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දෙවැනිදා ප්‍රකාශ කළේ ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

තරගාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණ විමර්ෂණ ඒකකය දැනුමත් කර බවත් එම නිවේදනයේ සදහන් වී තිබුණා.

මේ අතර The Indian Express වෙබ් අඩවිය වාර්ථා කරන්නේ ව්‍යාජ ලෙස ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 නමින් තරගාවලියක් ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ මොහාලිහිදී සංවිධාන කළ ඉන්දීය බුකිකරුවන් පිරිසක් මොහාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.

බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නමින් තරගාවලිය සඳහා භාවිතා කර ඇත්තේ මොහාලිහි, චන්දිගර්හි පිහිටා තිබෙන සවාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය බවත් මෙහිදී පංජාබ් පොලිසිය මගින් සොයා ගත්තා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විමර්ශන ඒකකය පවසන්නේ මෙම තරග සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිවිසුම් ගත කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධ වී නොමැති බවයි.

මිට සම්බන්ද ආයතන 8 ක් සහ ඉන්දීය බුකීකරුවන් දෙදෙනෙකු ලෙස හදුනාගෙන ඇති රාජු සහ පන්කාජ් අත්අඩංගුවට ගත බවත් තවත් පුද්ගලයක් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මොහාලි ජ්‍යෙෂ් පොලිස් අධිකාරී කුල්දීප් සිං
චහාල් මාධ්‍ය වෙත පවසා තිබුණා.

***************************************

සහල් හිඟයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා – ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

(05.07.2020 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අතරමැදියන්ට සහල් හිඟයක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ ගොවිජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව – සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ අද (05) පැවති ජන හමුවකට ජනාධිපතිවරයා එක්වූ අවස්ථාවේදීයි ගොවි ජනතාව මෙම ඉල්ලීම සිදුකළේ.

අද (05) පෙරවරු 10:30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ පළමු ජන හමුව පොළොන්නරුව – දිඹුලාගල ක්‍රීඩාංගණයේ පැවති අතර, එහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළි ගැනීමක්.

අනතුරුව දිඹුලාගල – කළුකැළේ ප්‍රදේශයේ සහ මනම්පිටිය ප්‍රතිභා ශාලාව ඉදිරිපිට පැවති ජන හමු දෙකකට ද ජනාධිපතිවරයා එක්වුණා.

මනම්පිටියේ පැවති ජන හමුවේදී ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට යෝජනාවලියක් භාර දුන් අතර, ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනයක් ද සිදුකළා.

ඉන් අනතුරුවයි පොළොන්නරුව – දීප උයනේ පැවති ජන හමුවට ජනාධිපතිවරයා එක්වුණේ. එම ජන හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි අතර එහිදී ජනතාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් ද ඇති වුණා.

***************************************

කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකට

(05.07.2020 – 19:09 +0530 – hirunews.lk/sinhala)

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

ඒ, ඔහු රිය අනතුර සිදුවන අවස්ථාවේ බිමතින් සිටියේද යන්න පිළිබද පරීක්ෂා කිරීම සදහායි. අත්අඩංගුවට ගෙන සිටින කුසල් මෙන්ඩිස් හෙට (06) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

අද (05) අලුයම 5 ට පමණ පානදුර උතුර – හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇත්තේ පාපැදිකරුවෙක්.

සිද්ධියෙන් පාපැදියේ ගමන් ගත් 64 හැවිරිදි පානදුර උතුර -ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන ආකාරය ඒ අසල සවි කර තිබු සි.සි.ටි.වි දර්ශණ වලද සටහන් වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

***************************************

විජයකලාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

(05.07.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

උතුරට එල්.ටී.ටී.ඊ. සමයේ පැවති පරිපාලනයක් නැවත අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාළිකාවක් වන ‘සූරියන් එෆ්.එම්.’ හි ‘විලුදුගල්’ විශේෂ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

අවවාද කර මුදා හැරුණු පසුවත්, සිවාජිලිංගම්, ප්‍රභාකරන් වෙනුවෙන් හඬ නගයි (06.07.2020)

***************************************

ටාජ් සමුද්‍රා ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සහ එංගලන්ත බෝම්බකාරිය ගැන තොරතුරු හෙළිවෙයි

(05.07.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ලන්ඩන් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ සෆියා ෂයික් නමැත් කාන්තාවට අනුබල දුන් අන්තවාදී දේශකයෙකු මෙරට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සහ ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රහාරයන් දියත් කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් සමඟ සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටාජ් සමුද්‍රා බෝම්බකරු 2006 සහ 2007 වසරවලදී අදාළ අන්තවාදී දේශකයා බ්‍රිතාන්‍යයේදී මුණගැසී ඇති බවයි.

පසුගිය වසරේ පාස්කුවේදී මෙරට සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් ලද ආභාෂයෙන් ලන්ඩන් නුවර සුප්‍රකට ශාන්ත පාවුලු දේවස්ථානයේ සහ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝමබ් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් 36 හැවිරිදි සෆියා ෂයික් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.

ඇය සිදුකළ පාපෝච්චාරණයකින් අනාවරණ වුණේ 2007 වසරේ දී ඉස්ලාම් දහම වැළඳ ගෙන අන්තර් ජාල දේශන ඔස්සේ ඉස්ලාම් අන්තවාදයට නැඹුරු වූ බවයි.

ඇයගේ දේශකයින් ලෙස කටයුතු කර ඇත්තේ අබූ වලීඩ්, අල් මුහජිරෝන්, ඇන්ජම් චවුද්‍රි නමැති අන්තවාදී මත දරන්නන්.

පාස්කු ඉරුදින ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් 2006 වසරේදී ලන්ඩන් නුවර කින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඇන්ජම් චවුද්‍රි ලෙස ප්‍රකට අන්තවාදී දේශකයා සමඟ සබඳතා පවත්වා ඇති බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඇන්ජම් චවුද්‍රි අයි.එස්. හිතවාදීන්ගේ ප්‍රධානතම නියෝජිතයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ කටයුතු කර ඇති අතර, ඔහුගේ දේශන මෙරට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සහ ඔහුගේ පවුලේ ඥාතීන් ද ශ්‍රවණය කර තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඇන්ජම් චවුද්‍රි බ්‍රිතාන්‍ය තුළ හඳුනා ගෙන ඇති භයානකම අන්තවාදී දේශකයෙකු ලෙස එරට බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අතර, 2016 වසරේදී ඔහු IS ත්‍රස්ත සහය පැතීම හේතුවෙන් බන්ධනාගාර ගතව පසුව 2018 වසරේ දී නිදහස ලබා තිබෙනවා.

***************************************

කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 ක්, පැය 24 ක් තුල අත්ඩංගුවට

(05.07.2020 – 22:44 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අද (05) දිනය තුළ සිදුකල විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම්, මුදල් විශ්වාසය කඩ කිරීම්, කූට ලේඛණ සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් දස කෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය පනස් හයක් (10,84,70,356/-) බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සැකකරුවන්ට අමතරව පොලිසිය මග හැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේදී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියළු සැකකරුවන් හෙට (06) දින අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

පලෙයි නිවසකින් බෝම්බ තුනක්, කළු කොටි සැමරුමට සකස් කළ කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුරුවරියක් අත්අඩංගුවට

(06.07.2020 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, පලෙයි – අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, ‘කළු කොටි සැමරුම සිදු කරමු’ යන්න සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ඡායාරූපයක් සමඟ ගුරුවරියක් ලෙස සේවය කරන කාන්තාවක් ඊයේ (05) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය පවසනවා.

පොලීසිය පැවසූවේ අදාළ ගුරුවරියගේ නිවස තුළ කිසියම් පිපිරීමක් 03 වැනිදා සිදුව තිබු අතර, එහිදි අත්අඩංගුවට ගත් ගුරුවරියගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා ඇති බවයි.

තුවාලකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පිපිරීම සිදුවු නිවස පරීක්ෂා කිරීමේදී අදාළ නිවස තුළ තිබි මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘කළු කොටි සැමරුම සිදු කරමු’ යනුවෙන් සඳහන් කොඩියක්, බෝම්බ පිපිරීමට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකුගේ ඡායාරූපයක් සොයාගෙන තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන බවට කිලිනොච්චිය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 43 හැවිරිදි ගුරුවරිය අයියකච්චි ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවයකරමිනුයි සිට තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලෙයි පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, ත්‍රස්ත විමර්ශන ඒකකය හා යුධ හමුදා නිළධාරීන් තුවාල ලැබූ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ වන ගුරුවරිය කුමන කටයුත්තක් වෙනුවෙන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා..

(06.07.2020 – 09:20 +0530 – lankacnews.com)

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රත් හිමියෝ පැවසූහ.

පසුගියදා දෙහිවල සම්පත් බැංකු ශාඛාවේදී බුර්කාව ඉවත් කරන ලෙස එහි ආරක්‍ෂකයන් දැනුම් දීමේ සිදුවීම මුල් කරගෙන මෙම දැනුම් දීම කර ඇති බවද හිමියන් කීහ.

මෙම අන්තවාදයට විරුද්ධව හඬක් නැඟිය යුතු බවත් අන්තවාදීන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රතන හිමියන් මේ අදහස් පළ කළේ ගම්පහ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

***************************************

මෛත‍්‍රී වගේ හොරෙක් වංචාකාරයෙක් ජීවිතේට දැකලා නෑ.. මෛත‍්‍රීගේ වංචා දුෂණ තොගයක් ප‍්‍රසන්න හෙලි කරයි..

(06.07.2020 – 11:20 +0530 – lankacnews.com)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලඟදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී – රනිල් – සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි.

යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ ගමන්මග ශක්තිමත් කිරීමට නම් මෙවර මහමැතිවරණයේ දී මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පෙන්වා දුන්නේය.

කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා :

“2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන්, දරුවන්ගෙන් පවා පලිගත්තා. යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කලේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුනු ගෑවුන අයගෙන් පලිගත්තා. ඔවුන්ට ඕන වූනේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.

මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. ඒ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මෛත්‍රී කරපු දූෂණ ළඟදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කලාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කලෙත් ඒකමයි. මෛත්‍රී – රනිල් – සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු.

විහිළුකාරයන්ට අවුරුදු හතර හමාරක් රට භාර දීලා අපි කලේ මහා පාපයක්. මහින්ද මහත්තයාව පරද්දන්න – රිද්දන්න 2015 දී ඡන්දය දුන්නා. හැබැයි රිදුනේ පැරදුනේ අපි. අපේ දුවා දරුවන්ගේ අනාගතය තමයි අවුරුදු හතර හමාරක් නැතිවුනේ. ඒ නිසා මේ අවස්ථාව තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව. රට වෙනුවෙන් ඡන්දය දෙන්න. පොහොට්ටුවට ඡන්දය දෙන්න. තාත්තා කිව්වා ‘බල්ලො මරලා හරි සල්ලි හොයන්න පුළුවන්; හැබැයි මිනිස්සු හම්බකරන්න බැහැ’ කියන එක. මම දේශපාලනයෙන් සල්ලි හම්බකරල නෑ. මම හම්බ කරල තියන්නේ මිනිස්සු විතරයි. අපි මේ මැතිවරණය දිනනවා. අපි ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ පහකට වඩා වැඩි ඡන්ද ගණනකින් දිනනවා. ඒක ස්ථිරයි. හැබැයි මනාප ගහනකොට පොහොට්ටුව රැකපු, මහින්ද රැකපු අයට ඡන්දය දෙන්න.”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරු ද කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

***************************************

‘අසාත් සාලි ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම විමතියට කරුණක්’ – DIG පාලිත සිරිවර්ධන කරන විශේෂ හෙළිදරව්ව – සාක්ෂි සහිතයි

(06.07.2020 – 01:24 +0530 – lankaleadnews.com)

මාවනැල්ල බුදුපිළිම වලට තීන්ත ගෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මුදවා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාත් සාලි කටයුතු කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි.

මෙම සිදුවීම් වූ අවස්ථාවේ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කළේ පාලිත සිරිවර්ධන මහතාය.

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ සැක කරුවන් 13 දෙනෙකු ඉතා කෙටි කලක් තුළ පරීක්ෂණ වලින් අනතුරුව අත්අඩංගුවට ගත් බවද ඔහු පවසයි.

මෙම සිද්ධියට නායකත්වය දුන් තිදෙනාගෙන් එක් අයෙකු එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව ප්‍රකාශ කරන සිරිවර්ධන මහතා මෙම සිද්ධියෙන් පසු අසාත් සාලි මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිළිබඳව විමතියට පත් වුණ බවද සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අන්තර්ජාල නාලිකාවක් සමග කළ සංවාදය පහතින් :

***************************************

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට – ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ

(06.07.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී ප්‍රමාණයන්ද අඩුකර තිබෙනවා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු නිදහසේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම් සඳහා වානිජ බැංකු හා මූල්‍ය ආයතන මෙතෙක් සියයට 9 ත් 11 ත් අතර පොලී අනුපාතයක් ගෙවූ නමුත් මේ වනවිට එය සියයට 7 ත් 8 ත් අතර ප්‍රමාණයට පහත දමා ඇති බවටයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් චෝදනා කළේ ෴

***************************************

කොරෝනාවෙන් පසු උප්පැන්න ලියාපදිංචිය යළිත්

(06.07.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් තුන් මසක කාලය තුළ මෙරට දී දරු උපත් 80,000 ක පමණ සිදුවුවද එම උපත් ලියාපදිංචි කිරීමට නොහැකි වුයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන්.

කෙසේ නමුත් උප්පැන්න ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ එම දරුවන්ගේ ලියාපදිංචිය ජංගම සේවා සහ තවත් පහසු ක්‍රමවේදයන් යටතේ සිදුකිරීමට මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වර්ෂයකට දරු උපත් තුන් ලක්ෂ පන්දහසත්, හාර ලක්ෂයත් අතර ප්‍රමාණයක් සිදුවන අතර ඉන් 99% ක්ම සිදු වන්නේ රෝහල් තුළයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඉකුත් මාස තුනක පමණ කාලය තුළ දරු උපත් 80,000 ක පමණ ප්‍රමාණයක් මෙරට සිදු වි තිබෙනවා.

උපත් ලියාපදිංචි කිරිමේ පනත අනුව දරුවෙකු ඉපදි දින 42 ක් ඇතුළත ලියාපදිංචි කිරිම සිදු කළ යුතු වුවද කොවිඩ් 19 වසංගතය හමුවේ තම දරුවන්ගේ උප්පැන්න සහතිකය තවමත් ලියාපදිංචි කර ගැනීමට නොහැකි වු බොහෝ දෙමාපියන් පිරිසක් සිටිනවා.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් තම පුංචි සිඟිත්තන්ට සිදුවූ අපහසුතා දෙමව්පියන් අපට පැවසුවා.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව දරුවෙකු ලියාපදිංචි කරවිමට විවිධ ලිපිගොනු අවශ්‍ය වුවද, ඉකුත් මාස තුන තුළ සිදු වු උපත් සඳහා උප්පැන්න, මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශිත පත්‍රයක්, දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්, දෙමාපිය උප්පැන්න සහතිකවල ඡායා පිටපතක් පමණක් ප්‍රමාණවත් බව උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ටාර් දෙපාර්මේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ ක්‍රමවේදය ලිහිල් කිරීම යටතේ ග්‍රාම නිලධාරී වාර්තා අත්‍යවශ්‍ය නොවන බවයි.

***************************************

එජාපය ජනමතය ඉල්ලන්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලාගැනීමටයි – අගමැති

(06.07.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය කිරීම සඳහා තමන් සමඟ අත්වැල් බැද ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන හමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ සිරිකොත රැකගැනීමටත්, සජිත් ප්‍රේමදාස සිරිකොත අල්ලාගැනීමටත් සටනක නිරතවන බවයි.

ඔවුන් ජනමතය ඉල්ලා සිටින්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලා ගැනීමට බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *