මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ ගැන තීරණයක් ගන්නැයි රජයෙන් ඉල්ලීමක්

(06.07.2020 – 21:59 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි.

එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (06) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්‍ කාති උසාවි සහ විනාශකාරී මද්‍රාසා පාසල් ජමෙයිතුල් උලමා සංවිධානය විසින් මෙහෙයවන බවට චෝදනා කර සිටියේය.

එමෙන්ම මද්‍රසා පාසල් වසා දැමීමට වහාම පියවර ගත යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් සහ ජමෙයිතුල් උලමා සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.

+++++++++++++++++++++

***************************************

වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ දිවි ගෙවන අපේම මිනිසුන්ගේ කඳුළු කතාව

(06.07.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය බව බොහෝ පිරිසකට මතකයේ ඇතත්, ඒ කුණු කන්ද නිසා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාවල දිවි ගෙවන්නන් අදටත් සිටින බව බොහෝ පිරිසකටම අමතකව ගොස් තිබෙනවා.

මේ, වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ දිවි ගෙවන අපේම මිනිසුන් පිලිබද කල සොයා බැලීමක්.

2017 වසරේදී මුළු ලොවම අවධානය ලබාගැනීමට අප රට සමත්වුණේ කුණු කන්දකට යටවී මිනිස් ජීවිත 32 ක් අහිමිවීමේ ඛේදවාචකය හේතුවෙන්.

මෙම සිදුවීමෙන් තවත් 11 දෙනෙකු අතුරුදන් වුණා.

එතැන් පටන් මීතොටමුල්ල කසල කන්ද ආසන්නයේ නිවෙස් තනා සිටි බොහොමයකටද උන් හිටි තැන් අහිමිවී වනවා.

බොහෝ දෙනෙකුට සිදුවුණේ තාවකාලික රැදවුම් මධ්‍යස්ථාවල රැදී සිටින්නටයි.

කුණු කන්ද නායගොස් වසර 3 ක් ඉක්මවා ඇතත් අදටත් මේ ජනතාව දිවි ගෙවන්නේ තාවකාලිකව රැදවූ මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය තුළයි.

අද වන විට පවුල් 13 ක පුද්ගලයන් 60 ක් මෙහි දිවි ගෙවනවා.

ඒ සියලු දෙනා ජීවත්වන්නේ ලෑලිවලින් බෙදා වෙන් කල මේ කුඩා කාමර තුළයි.

දවස ආරම්භයේ සිට අවසානය දක්වාම, ආහාරපාන සකස් කිරීමේ සිට නින්දට යැම දක්වා සියලු ඕනෑ එපාකම් මේ ලෑලි වලින් වෙන් කළ කාමර තුළදී ඉටු කරගන්නට මොවුන්ට සිදුව තිබෙනවා.

පානීය ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍ය ඇතුළු මිනිසාගේ මූලික අවශ්‍යතා නිසිආකාරව සපුරාගත නොහැකි තරමටම අද වනවිට මේ ජනතාව පත්ව ඇති දැඩි දුෂ්කතාවකටයි.

වසර කිහිපයක් තිස්සේ දේශපාලනඥයින් මෙම ස්ථානයට පැමිණ විවිධ පොරොන්දු ලබා දුන්නද අදටත් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බවටයි මෙහි දිවිගෙවන්නන් චෝදනා කරන්නේ.

***************************************

ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි – අගමැති

(06.07.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තම දේශපාලන ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන් යුතුකම සංවිධානය විසින් කොළඹ දී සංවිධානය කළ වැඩසටහනකට අද (06) පස්වරුවේ එක්වෙමින්.

***************************************

‘මහරගම බුබුලා’, හෝමාගම-නියඳගලදී තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

(06.07.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගගන නැමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකු ලෙස සැලකෙන මහරගම බුබුලා පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

හෝමාගම – නියදගල ප්‍රදේශයේ දෙමහල් නිවසක රැදී සිටියදී තියුණු ආයුධයත් සමඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

44 හැවිරිදි සරත් ඒකනායක හෙවත් මහරගම බුබුලා ගගන නැමති අපරාධකරුගේ සාමාජිකයින් සමඟ මුදල් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴

***************************************

ගාලුමුවදොරදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියකට සැක 05 ක් අත්අඩංගුවට

(06.07.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ තම මිතුරන් තුන් දෙනෙකු සමඟ ගාලුමුවදොරපිටියේ ඇවිද ගිය අවස්ථාවේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයන් කණ්ඩායමක් ඔවුන් වෙත ප්‍රවේශ වී ඇති අතර මත්පැන් පානය කර සිටි පුද්ගලයෙකු එහිදී ඔවුන්ට ආමන්ත්‍රණය කර ඇත්තේ පරුෂ වචනයෙන්.

ඔවුන් විදේශීය කාන්තාව සහ ඇයගේ මිතුරන් හැර ගොස් ඇත්තේ ඇය විසින් සිද්ධිය වීඩියෝගත කරන බව දැනගත් විටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇති අතර, විනාඩි 20 ක් ඇතුළත එහි පැමිණි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තමාට හිරිහැර කිරීමට සැරසුණු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සහය වන ලෙස එම රුසියානු කාන්තාව ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් ඇතුළත් වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින්.

කෙසේ නමුත්, ඊයේ (05) අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, රුසියානු කතට හිරිහැර කිරීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබදව ට්විටර් සටහනක් ද එක් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය තුළ විදේශීය සංචාරකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම වැළැක්වීමට තමන් කටයුතු කරන බවයි ෴

***************************************

‘බෑබා’ STF අත්අඩංගුවේ

(07.07.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ලේකම්වරයෙකුගේ නිවසට වෙඩි තැබීම සහ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ‘ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බැබා’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි බුද්ධි කොට්ඨාශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (06) රාත්‍රියේ මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය – ශාන්තාලෝකගම අන්නාසිවත්ත මාර්ගයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට දියි.

මොහු දැනට විදේශගතව සිටින ‘ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ සමීපතමයෙකු වනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 120 ක් ද සොයා ගැනුණා.

මොහු 2018 වසරේ මාර්තු මස 19 වන දා අතුරුගිරිය – ගල්වරුසාව මාර්ගයේ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට දී ‘සමයං’ නැමැත්තාගේ ආධාරකරුවෙකු වන ‘නිමල්සිරි පෙරේරා හෙවත් පොඩි සුදු’ නැමැත්තා යතරුපැදියකින් ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ද වනවා.

එසේම 2018 වසරේ පෙබරවාරි මස 12 වන දා තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද සැකකරුවෙකු වන මොහු අතුරුගිරිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින මහල් නිවාස හා හෝටල් ව්‍යාපෘති සඳහා ‘මෑන් පවර්’ ආයතනයක් ආරම්භ කර කම්කරුවන් බලහත්කාරයෙන් එම වැඩබිම්වලට යාමට තර්ජනය කර ඇති බවට ද අනාවරණ වුණා.

විදේශගතව සිටින ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් දුරකතනය ඔස්සේ අපරාධ සඳහා මෙම සැකකරුව මෙහෙයවා ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

***************************************

‘ඌව ප්‍රිමියර් ලීග්’ ව්‍යාජ විස්සයි විස්ස තරඟාවලියේ මහමොළකරු අත්අඩංගුවට

(07.07.2020 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාවේ මෝහාලි ප්‍රදේශයේ සංවිධානය කොට ඔට්ටු තැබීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් කුප්‍රකට ඔට්ටු තබන්නෙකු වන රවීන්දර් දන්දිවාල් පන්ජාබ් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5 දිනක් පොලිස් රක්ෂිතයේ තැබීමටයි නියෝග කර ඇත්තේ.

ජාත්‍යන්තර ටෙනිස් තරඟ පාවාදීමේ සිද්ධීන් වලට ද සම්බන්ධ බව සැලකෙන රවින්දර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමසුම් ඇසට යොමුව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් අද දිනයේ මෝහාලිය වෙත සිද්ධිය පිළිබඳව සොයා බැලීමට නියමිත බවයි.

ව්‍යාජ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස සංවිධාන කර තිබූ ව්‍යාජ තරඟයකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සමාන හැඩරුව ඇති පුද්ගලයන් තෝරාගෙන තිබූ අතර යූ ටියුබ් මගින් තරඟය විකාශය කිරීමේදී අහම්බෙන් කුඹුරු යායකට කැමරාව යොමු වීම ඒ පිළිබද සැකයක් මතුවීමට හේතු වූ කරුණක් ෴

***************************************

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වෙයි

(07.07.2020 – 09:59 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වනදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරුකර එවන ලද රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා.

මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් බදුන්කරන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

+++++++++++++++++++++

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වීම ගැන පරීක්ෂණයක්

(07.07.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියාට එම වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම රැඳවියා කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකු බවයි.

ඔහු හෙරොයින් වලට අදාළ නඩුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

ඒ අනුවයි, ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත්තේ.

ඒ අතරතුර, අදාළ රැඳවියා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන තවත් නඩුවකට ස්කයිප් මාර්ගයෙන් පෙනී සිටීම සඳහා පසුගිය පළමුවනදා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.

එම අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ තුනකින්ම තහවුරු වී ඇත්තේ අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත බවයි.

මෙම පුද්ගලයා පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම හඳුනා ගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සිදුකරමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින් ද මෙහිදී පරීක්ෂාවට ලක් කරන බවයි.

+++++++++++++++++++++

වැලිකඩ බන්ධනාගාරය, අමුත්තන්ට තාවකාලිකව තහනම් – 177 ක් PCR පරීක්ෂණයට

(07.07.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ කොරෝනා ආසාදනය වූ රැඳවියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟයි.

ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙක්.

හෙරොයින් නඩුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

ආසාදිත රැඳවියා රඳවා සිටි ගොඩනැගිල්ලේ සිටි 177 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

+++++++++++++++++++++

***************************************

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව සුසාන භූමියක දිවිගෙවන මවක් සහ පුතෙක්

(07.07.2020 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව සුසාන භූමියක දිවිගෙවන මවකගේ සහ පුතෙකුගේ කතාවක් අපට දිඹුලාගල, මනම්පිටිය – මාගංතොට ප්‍රදේශයෙන් වර්තාවෙනවා.

අසනීප තත්ත්වයේ පසුවන මෙම මවගේ ස්වාමි පුරුෂයාද අබාධිත අයෙක් බව සඳහන්.

තම ස්වාමිපුරුෂයා කොළඹ ප්‍රදේශයේ මුර රැකියාවක් සඳහා පැමිණ ඇති අතරතුරයි මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ.

මෙම මව ඉල්ලා සිටින්නේ තම බාල පුතුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා උදව් කරන ලෙස සහ ජීවත්වීමට කුඩා හෝ නිවසක් තනා දෙන ලෙසයි.

මනම්පිටිය – නිමල් ජයරත්න

***************************************

මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3 ක් ගිනිබත් කෙරේ

(07.07.2020 – 11:02 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ යතුරුපැදි 3 ක් කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ඔවුන් ඊයේ (06) රාත්‍රියේ මසුන් මැරීම සඳහා වැව මධ්‍යයට ගිය අවස්ථාවේදීයි අදාළ සිද්ධිය සිදුව ඇත්තේ.

අදාල යතුරුපැදි 3 එක් ස්ථානයකට රැගෙන ගොස් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

***************************************

බැංකු වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ

(07.07.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව මුදල් ආර්ථීක හා ප්‍රථිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කල පොලී අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් තැන්පතු වෙනුවෙන් ලබා දුන් විශේෂ පොලී අනුපාතය සංශෝධනය ඇති කළ බවට සහ පොලී ආදායම මත ඔවුන් සඳහා ලබා දී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බවයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි

(07.07.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සැඟව සිටි එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන සමන් වසන්ත කුමාර පොලිසියට බාරවී තිබෙනවා.

49 හැවිරිදි සමන් වසන්ත කුමාර නැමති වැලිවේරිය – කිරිකත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, සැඟව සිටි මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය, මහජනතාවට තොරතුරු ලබාදීමට දුරකථන අංක දෙකක් ද හඳුන්වාදී අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය ද මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි කටයුතු කළේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට (08) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුගියදා අධිකරණය අවසර ලබාදුන්නා ෴

+++++++++++++++++++++

කඩවතදී අත්අඩංගුවට ගත් නාකොටික් IP තවමත් CID යේ

(07.07.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත – ඉඳිගහමුල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරගෙන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහු අද (07) පස්වරු 01:15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා.

අද (07) උදෑසන සැකකාර පොලිස් පරික්ෂකවරයා කඩවත පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉඳිගහමුල ප්‍රදේශයේ ඔහු රැදී සිටින බවට ලද තොරතුරක් අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවස ඊයේ (06) පරීක්ෂා කර තිබූ අතර, සැකකාර පොලිස් පරීක්ෂකවරයා නිට්ටඹුව ප්‍රදේශයේ සිට පොලීසියට භාරවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් කඩවතින් බැස ඇති ඔහු එහි ආපනශාලාවකට ගොස් නිවසට ඇමතුමක් ලබාගෙන ඇති අතර, එම ඇමතුම අතරතුර ඔහු හඬාවැටී ඇති බව වාර්තාවනවා.

එම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ දැනගත් ආපනශාලාවේ හිමිකරු ඔහුට ඉන් පිටතට යන ලෙස දැනුම්දී ඇති අතර, අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කළා.

කඩවත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගමන් මළු දෙකක්ද ඔහු සතුව තිබූ බවයි.

49 හැවිරිදි ඔහු වැලිවේරිය – කිරිකත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර මෙම සිද්ධියට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔවුන්ට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසුවනවා.

මේ අතර හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු මෙන්ම ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන ‘ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බැබා’ නැමති පුද්ගලයා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි ෴

***************************************

ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට දායක වන්නැයි, ජනපති ජනතාවගෙන් ඉල්ලයි

(07.07.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණු පා ඇති අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුමක් බිහි කිරීමට දායක වන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පිළිබඳව ද එම සංචාරයේදී ජනතාවගේ පැසසුමට ලක්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06) දිනයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංවිධාන කර තිබු ජනහමු කිහිපයකට සහභාගි වුණා.

ඒ අනුව පුත්තලම – බංගදෙණිය ප්‍රදේශයේ සංවිධානකර තිබු ජනහමුවට ජනාධිපතිවරයා ඊයේ (06) පස්වරුවේ එක්වුණා.

එහිදි ජනාධිපතිවරයාට හිමිවුයේ උණුසුම් පිළිගැනිමක්.

අනතුරුව ජනාධිපතිවරයා මාදම්පේ පැවති ජනහමුවකට එක්වුණා.

මෙහිදි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී. මාරසිංහ ගුරු මාතාව රුපියල් ලක්ෂ 2 ක මුදලක් ‘කොවිඩ් අරමුදල’ වෙනුවෙන් පරිත්‍යාග කිරීම සිදුවුණා.

මුදල ඔතා දුන් කොලයේ ජනාධිපතිවරයාට සටහනක් යොදා තිබූ අතර එහි දැක්වුණේ “ජනාධිපතිතුමණි, නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වයං පෝෂිත රටක් අපට දෙන්න” යනුවෙනි.

පුත්තලම – මුදුකටුව ශරීර සුවතා මධ්‍යස්තානය අසල සංවිධාන කරතිබු ජනහමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ ඉන්අනතුරුවයි.

දංකොටුව නගරයේ සංවිධාන කර තිබු ජනහමුවට එක්වු ජනාධිපතිවරයාට එහිදී හිමිවුයේ ඉහළ පිළිගැනිමක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *