සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම හිස්බුල්ලාට අයත් ඉඩමක් – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(07.07.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර පුහුණුවක් ලෙස, සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූවක් බව අනාවරණය වුණා.

ඒ එම ස්ථානීය පරීක්ෂාව සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කොමිසම හමුවේ ඊයේ (06) පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ උප පොලිස් පරීක්ෂක එම්.පී.එම්. මොහොමඩ් ජෙසුලි මහතායි.

සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදි පිරිසක් ඉකුත් වසරේ අප්‍රේල් මස 16 වන දිනකාත්තන්කුඩි පානමුණේ ප්‍රදේශයේ ඉඩමක දී යතුරුපැදියක් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබුණේ ඔහු විසින්.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ අදාළ සිදුවීම වු අවස්ථාව වන විට තමන් කාන්තන්කුඩිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ බවයි.

මොහොමඩ් මුස්තාෆා බස්රි නැමැත්තෙකුට අයත් ඉඩමක් තුළ යම් පිපිරීමක් සිදුව ඇති බවට ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වන දින පස්වරුවේ කාත්තන්කුඩිය පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව එදින රාත්‍රී 10:40 ට පමණ තමන් පිපිරීම වු ස්ථානයට පිටත්ව ගිය බවත් අදාළ පිපිරීම සිදුකර තිබුණේ කාත්තන්කුඩිය පානමුනේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 04 ක පමණ දුරින් පිහිටි අක්කර 43 කින් යුත් කිරිතෝනවත්ත නම් ඉඩමේ බව සාක්ෂිකරු පැවසුවා.

ඔහු එහිදී වැඩිදුරත් සදහන් කළේ, පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂණයට අනුව මෙම පිපිරීම පැමිණිල්ල ලද දිනට පෙර දින එනම් ඉකුත් වසරේ අප්‍රේල් මස 16 දින සිදුකර තිබු බවත් පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින්.

ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පුපුරුවා හැර තිබු බවත් මුලික පරික්ෂණයෙන් අනාවරණය කරගෙන තිබු බවයි.

වැඩිදුර විමර්ශනයේදි අදාළ ස්කූටි වර්ගයේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය WP BCQ 0304 ලෙස තහවුරු කරගත් බවත් එය ‘අංක 122, කොට්ටේගොඩ පාර, කැළණිය’ ලිපිනයේ පදිංචි නිල්මිණි ජයකොඩි නම් කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති බව අනාවරණය වු බව සාක්ෂිකරු සදහන් කළා.

අදාළ කාන්තාව විසින් කලකට ඉහතදි මෙම යතුරු පැදිය අරුණ වික්‍රමසේකර නම් යතුරුපැදි ව්‍යාපාරිකයෙකුට විකිණීම සදහා ලබාදී ඇති බවත් අදාළ ව්‍යාපාරිකයාගෙන් ජෙරාඩ් යසිස් සිල්වා නැමැත්තෙකුගේ ජාතික හැදුනුම්පතක් පෙන්වා කිසියම් පුද්ගලයෙකු මෙම යතුරුපැදිය මිලදීගෙන ඇති බව ද සාක්ෂිකරු සදහන් කළා.

ජෙරාඩ් යසිස් සිල්වා නැමැත්තාගෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඔහුගේ මුදල් පසුම්බිය කලකට ඉහතදි අස්ථාන ගතවී ඇති බවත්, ඔහු විසින් යතුරුපැදිය මිලදි නොගත්තද, ඔහුගේ ජාතික හැදුනුම්පත අවභාවිතා කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම මෙම යතුරුපැදිය මිලදීගෙන ඇතැයි අනාවරණ වූ බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

මේ සම්බන්ධයෙන් තමන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කළා.

කොමිසම මෙහිදී විමසුවේ පිපිරීම සිදුවු ඉඩම මීට පෙර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්ට අයත්ව තිබුවක්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ මෙම ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූ බවට තොරතුරු ලැබුණු බවයි.

පසුව අදාළ ඉඩම හිස්බුල්ලා විසින් විදේශිකයෙකුට විකිණීමට සුදානම්වීමෙදි, එහි වත්මන් අයිතිකරු වන මොහොමඩ් මුස්තාෆා බස්රි නැමැත්තා මිලදීගෙන ඇති බව ඔහු වැඩිදුරත් සදහන් කළා.

කොමිසම එහිදී යළි විමසුවේ අදාළ ඉඩම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් අත්පත් කරගන්නා ලද්දක්ද නැතහොත් රජයට, හෝ සුනාමියෙන් අවතැන් වු ජනතාව රැදී සිටි ඉඩමක් දයන්නයි.

එහිදි සාක්ෂිකරු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් වැඩිදුර විමර්ශණයක් සිදු නොකළ බවයි.

***************************************

පාස්කු ප්‍රහාරයේ තවත් අසම්පූර්ණ විමර්ශන වාර්තා 38 ක් නීතිපති, පොලිස්පතිට හරවා යවයි

(07.07.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල තවත් අසම්පූර්ණ විමර්ශන වාර්තා 38 ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ විමර්ශන උදෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් එම දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එම කිසිදු විමර්ශන වාර්තාවක නීතිමය පියවර ගැනීමට තරම් විමර්ශන අවසන් කර නොමැති බව පෙනී යන බැවින් යළි ඒවා හරවා යැවීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙරද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල අසම්පූර්ණ වාර්තා 40 ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තා ෴

***************************************

කොත්මලා ඔයේ තිබු පුපුරන ද්‍රව්‍යය රැසක් හමුවෙයි – ඩෙටනේටර් තොගයක් පුපුරවා හරී

(07.07.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය පොලිස් වසමට අයත් මා වතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරන ද්‍රව්‍යය රැසක් (06) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

කොත්මලේ ජලාශයට පහලින් වු කොත්මලා ඔයේ ඉවුරේ ගල් බෙනයක පුපුරන ද්‍රව්‍යය රැසක් ඇති බවට එම ඔයේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක් විසින් දැක ඒ බැව් නාවලපිටිය පොලිසිය වෙත දැනුම්දිමෙන් පසු පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

ගල් බෙනයක තිබූ ඩෙටනේටර් 99 ක්, සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුධ හමුදා විසින් උත්සව අවස්තාවල භාවිතා කරනු ලබන දුම් බෝම්බ අටක්ද (8) සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ගල් බෙනයේ තිබී හමු වු ඩෙටනේටර් 99 මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ පොලිස් නිලධාරින් විසින් ආරක්ෂිත හේතුන් මත එම ස්ථානයේදිම පුපුරවා විනාශ කර තිබෙනවා.

හමු වු සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම් බෝම්බ 8 වැඩිදුර පරික්ෂණ සදහා නාවලපිටිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍යය කිසියම් පිරිසක් විසින් රැගෙන විත් සගවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් සැක කරනවා.

***************************************

කැඩී බිඳී ගිය තාර පාරක නටබුන්

(07.07.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කැඩී බිඳී ගිය තාර පාරක නටබුන් දක්නට ලැබෙන මාර්ගයක් පිළිබඳව දොම්පෙන් වර්තාවෙනවා.

මෙම ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 2 ක පමණ කොටසක් මෙලෙස දැඩි ලෙස අබලන්ව ඇත්තේ වසර ගණනාවක සිටයි.

ප්‍රාදේශීය දේශපාලනඥයින් මෙන්ම බලධාරීන්ද අවස්ථා ගණනාවකදී මාර්ගය සකස් කර දෙන බවට පොරොන්දු ලබා දුන්නද අදටත් ඒවා කඩවුණු පොරොන්දු බවට පත්ව තිබෙනවා.

හදිසි අවශ්‍යතාවකදී ත්‍රිරෝද රථයක් ඉතා අසීරුවෙන් මාර්ගය හරහා ගමන් ගන්නා අතර මාර්ගයේ අබලන් තත්ත්වය හේතුවෙන් ගම්වැසියන්ගේ බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමට සිදුව ඇත්තේ පාගමනින්.

වැසි කාලයේදී කිසිදු ආකාරයකින් මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කළ නොහැකි බවට ගම්වැසියන් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.

යහ පාලන රජය සමයේ මාර්ගය සකස් කිරීමේ කටයුතු ඇරඹීමට ප්‍රදේශයේ දේශපාලනඥයෙකු තැබූ මුල්ගලද කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර තිබෙනවා.

ගම්වැසියන් කොතෙක් ඉල්ලීම් කළද ඒවා තවමත් බීරි අලීන්ට වීණා වැයීමක් බවට පත්ව ඇති බවට ගම්මුන් චෝදනා කරනවා.

මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කර දීමට බලධාරීන් කටයුතු කළ හොත් ගම්මානයේ පවුල් 300 කට ආසන්න ප්‍රමාණයකට ඉන් සැළසෙන ප්‍රතිලාභ අති විශාලයි.

කඩිනමින් මාර්ගය සකස් කර දී ජනතාවට සෙත සලසන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියගේ මල සිරුරු දිවයිනට

(07.07.2020 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියකගේ මල සිරුරු දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 55 හැවිරිදි සහ 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් (2) බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එම පවුලේ පියා එරට කම්කරු රැකියාවක නිරතව සිට ඇති අතර මාර්තු 01 වනදා මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ගෙළ කපා තම මව පියා සහ නැගණිය ඝාතනය කර තිබූ බවට දැනගන්නට ලැබුණු බවයි එම පවුලේ මෙරට වාසය කරන දියණියක් අප සමඟ පැවසුවේ.

පවුලේ ඥාතීන් පවසන්නේ මෙම මරණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට හේතුව අනාවරණ කරදෙන ලෙසයි ෴

+++++++++++++++++++++

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට

(07.07.2020 – 17:14 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ එකම පවුලේ පියා, මව සහ දියණියකගේ සිරුරු අද (07) දිවයිනට රැගෙන ආවා.

කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් පියා 59 හැවිරිදි වියේ පසුවන අතර, මවගේ වයස අවුරුදු 55 ක්.

දියණිය 34 හැවිරිදි වියේ පසුවනවා.

දියණිය ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි කටාර් හි රැකියාවේ නිරතවූ විවාහක පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් මත, තියුණු ආයුධයකින් පහරදී පසුගිය මාර්තු 1 වනදා මෙම ඝාතන සිදුකර තිබූ අතර, ඔහු ඊට පසුදින ශ්‍රී ලංකාවට පලාවිත් තිබුණා.

+++++++++++++++++++++

කටාර් ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තාවක්

(07.07.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ එකම පවුලේ පියා, මව සහ දියණියකගේ සිරුරු අද (07) දිවයිනට රැගෙන ආවා.

කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් පියා 59 හැවිරිදි වියේ පසුවන අතර, මවගේ වයස අවුරුදු 55 ක්.

දියණිය 34 හැවිරිදි වියේ පසුවනවා.

දියණිය ප්‍රේමසබඳතාවක් පවත්වාගෙන ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි කටාර් හි රැකියාවේ නිරතවූ විවාහක පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් මත, තියුණු ආයුධයකින් පහරදී පසුගිය මාර්තු 01 වනදා මෙම ඝාතන සිදුකර තිබූ අතර, පසුව ඔහු ඊට පසුදින ශ්‍රී ලංකාවට පලාවිත් තිබුණා.

ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ඒම පමාවී තිබුණේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්.

මේ වනවිට එම සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පරීක්ෂණයක් සිදුකළ නොහැකි බැවින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලු බලධාරීන් වෙත ඒ පිළිබඳ වාර්තා කරන බවයි.

යම් හෙයකින් මෙම පරීක්ෂණවලට ශ්‍රී ලංකාවේ සහය අවශ්‍ය බවට කටාර් රාජ්‍යයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් ලදහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද පොලීසිය සඳහන් කළා.

එසේම අදාළ ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 4 ක්ද කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒවා ස්වභාවික හේතුන් මත මියගිය අයගේ බවටයි අනාවරණ වන්නේ.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්

(07.07.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ අපේක්ෂක හර්ෂ ද සිල්වා ජන හමුවකට එක් වෙමින් පැවසුවේ සජිත් ප්‍රේමදාසට සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න තේරුම් ගැනීමේ හැකියාවක් ඇති බවයි.

අට පාස් පුද්ගලයෙකුගේ හා විශ්වවිද්‍යාල උපාධිධාරියෙකුගේ අතර වෙනස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර ජනහමුවකට එක් වෙමින් පැහැදිළි කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා මේ මැතිවරණයේ සිහින සභාපතිවරු ගැන අදහස් පළකළේ ජනහමුවකට එක්වෙමින්.

කිසිදු පක්ෂ භේදයක් තමන්ට නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් පහතින් :

***************************************

නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී මිණිමුතු මෝරෙකු බේරා ගැනේ

(07.07.2020 – news.navy.lk)

නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි.

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයේ නාවික පිරිසක් විසින් කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මෙම මෝරා නිරීක්‍ෂණය කර ඇති අතර, ඒ අනුව ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය මහතාගේ උපදෙස් මත ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ එම නාවික පුද්ගලයින් විසින් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාවේද සහයෝගය ලබා ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරා දිගින් මීටර 3.5 ක් පමණ වන මෙම මෝරා ගැඹුරු මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදි.

මෝර පවුලට අයත් මෙම සත්වයින් සාමාන්‍ය‍යෙන් කිලෝ ග්‍රැම් 9000 ක් පමණ බරින් යුතු හා දිගින් මීටර් 9 පමණ විශාලව වැඩෙන විශාලතම මෝර විශේෂයකි. මොවුන් සාමාන්‍යයෙන් වසර 70- 100 ක් පමණ ජීවත් වන මෝර විශේෂයක් වන අතර, එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මුහුදු සම්මුති නීතියට අනුව (UNCLOS) වෙරළබඩ රාජ්‍යයන් විසින් සංරක්‍ෂණය කල යුතු මෝර විශේෂයන් අතර සිටින මෙම මිණිමුතු මෝරා (Whale shark – Rhincodon typus) ලෝකයේ වඳවී ගෙන යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති බැවින් ශ්‍රී ලංකාවේදී ඇල්ලීම තහනම් කර ඇත.

***************************************

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ

(07.07.2020 – 18:48 +0530 – hirunews.lk/sinhala)

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාවේ දුරකථන අංක 011 278 7136 මගින් විමසීම් කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන් ම ඒ ඒ පළාත්හි වෘත්තීය විෂය ධාරාව සහිත පාසල්වල පවත්නා වෘත්තීය විෂයයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක අමතා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින් ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති එම දුරකථන අංකයන් පහතින්.

• දකුණු පළාත – චමිල් ගනේගොඩ මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 091 223 3164 – 070 301 7401

• උතුරු පළාත – ටී තේවදාස් මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 077 234 2140

• ඌව පළාත – ඩී එම් ජී කේ දිසානායක මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 055 222 9827 – 077 761 4333

• මධ්‍යම පළාත – ඒ අබේවික්‍රම මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) – 081 222 4041- 071 978 3574

• උතුරුමැද පළාත – ඊ එම් බී එස් ඒකනායක මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) – 025 222 5222 – 071 807 7583

• සබරගමුව පළාත – සී ආර් මාතරආරච්චි මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) – 045 222 2403 – 071 802 7590

• බස්නාහිර පළාත – ප්‍රභාත් විතානගේ මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ) – 011 288 3470 – 071 861 7295

• නැගෙනහිර පළාත – එස් ෂාහිඩ් මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 026 222 2110 – 076 493 6661

• වයඹ පළාත – යූ ජී උයන්ගොඩ මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) – 037 222 1362 – 071 819 7307

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26 ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබීම විශේෂත්වයක්.

දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311 ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112 ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ න්‍යායික පුහුණුවක් ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ඇති.

ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය ද, උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රවීණතා සහතිකය ද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවනවා.

එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500/- ක් බැගින් වන දීමනාවක් ද හිමිවීම විශේෂත්වයක් ෴

***************************************

මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන්

(07.07.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු මෙරටදී මුල්වරට නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ, මින්නේරිය ජාතික උද්‍යානයේදී වනජීවීන් නිලධාරීන් සහ අලි සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්වතෙකු මෙන්ම හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින්.

සති තුනත් හතරත් අතර වයසේ පසුවන මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා, මව සමඟ සිටියදී මෙරටදී සොයාගත් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා බවයි වනජීවී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ලේ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සතුන් නිරීක්ෂණය සඳහා විශේෂ ආයාසයක් දැරීමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධාවක් විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

***************************************

දේශපාලන වේදිකාව උණුසුම් කළ දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණතුංග වාග් සංග්‍රාමය

(07.07.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍යයෙන් පක්ෂ විපක්ෂ මත ගැටෙන දේශපාලන වේදිකාවේ මේ දිනවල විශේෂ වාග් සංග්‍රාමයක්ද දැකගත හැකියි.

ඒ දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණතුංග යන එකම පාර්ශ්වයේ දේශපාලන නියෝජිතයින් දෙදෙනා අතරේයි.

ප්‍රසන්න රණතුංග මහතාට අද මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේ දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයායි.

+++++++++++++++++++++

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට අදත් දසතින් විරෝධය

(07.07.2020 – 22:28 +0530 – hirunews.lk/sinhala)

හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන ‘සූරියන් එෆ් එම්’ හී විලුදුගල් වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවේචන රැසක් එල්ල වුණා.

මේ අතර කිලිනොච්චියෙන් දේශීයව නිෂ්පාදනය කළ බෝම්බ හමුවීමත් සමඟ අද සිට යාපනය නගරය ඇතුළු උතුරු පළාතේ පොදු ස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබුනි.

***************************************

සුසානයක් වූ මක්කම විහාරය

(07.07.2020 – 22:43 +0530 – hirunews.lk/sinhala)

අද (07) ජාතික පුරා විද්‍යා දිනයයි.

1890 වසරේ අදවන් දිනක පිහිටවන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදට වසර 130 ක්.

අද (07) ‘හිරු CIA’ හෙලිදරව්ව ඊටත් යුග ගණනාවක් ඈත අතීතයට දිවෙන පුරාවිද්‍යාත්මක භූමියක් පිළිබඳවයි.

අවාසනාවට එම ඉතිහාසය අදූරදර්ශී දේශපාලන බලපෑමක් හමුවේ වැළලී ගොස් තිබෙනවා.

කලකට ඉහත කල්පිටිය – කප්පල්අඩි, අක්කර 90 ප්‍රදේශයේ තිබී පෞරාණික සිරිපතුලක් හා නටඹුන් හමු වී තිබෙනවා.

මෙරට නාමාවලිය ලෙස සැලකෙන ඉපැරණි ග්‍රන්ථයක් වන නම් පොතේ සඳහන් පරිදි මක්කම රජමහා විහාරය මෙම ස්ථානයේ පැවති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය රජයේ සිටි ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම භූමියේ අවතැන් වු වැසියන් පදිංචිකර ඇති අතර මේ වන විට මෙම භූමියේ දක්නට ඇත්තේ සුසාන භූමියක්.

එම ප්‍රදේශයේ සංචාරයකට එක් වූ ‘හිරු CIA’ කණ්ඩායමට ගම්වාසීන් ප්‍රකාශකළේ මෙම භූමිය ඩෝසර් යොදා සකස් කළ බවයි.

මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථනයක් නම් එහි කැනීම් සිදුකිරීමට තමන්ගේ කිසිඳු විරෝධයක් නොමැති බව එහි පදිංචිකරුවන්ද පවසනවා.

මෙම භූමිය මක්කම රජ මහා විහාරස්ථානය පැවති ස්ථානය නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහා සොයාබැලිය යුතු නොවේද?

පුරාවිද්‍යාවේ වරදින් කල්පිටිය මක්කම රජ මහා විහාරස්ථානය යටකර දැමුවාද?

***************************************

පරිසර අමාත්‍යාංශයට පැමිණි නාගයා

(07.07.2020 – 23:11 +0530 – hirunews.lk/sinhala)

පරිසර හානි වැළක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස ඉල්ලා සේනුජිත් හුණුකුඹුර නමැති පුද්ගලයෙක් නාගයෙකුද රැඟෙන අද (07) පරිසර අමාත්‍යංශයට පැමිණියා.

පසුව ඔහුට අමාත්‍යංශ ලේකම්වරයා මුණගැසී සාකච්ඡා කිරීමට ද අවස්ථාව හිමිවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *