මත්ද්‍රව්‍ය ජාවාරමට නාකොටික් හි 18 වෙනියාත් අත්අඩංගුවට – අයි.පී. පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(08.07.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (07) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.

රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මෙලෙස මෙම ජාවාරමට ඇල්ලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වන නිලධාරියා වනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත – ඉඳිගහමුල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට අනුවයි ඔහු මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කෙරෙන්නේ.

ඊයේ (07) සැකකාර පොලිස් පරික්ෂකවරයා කඩවත පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉඳිගහමුල ප්‍රදේශයේ ඔහු රැදී සිටින බවට ලද තොරතුරක් අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවස පෙරේදා පරීක්ෂා කර තිබූ අතර, සැකකාර පොලිස් පරීක්ෂකවරයා නිට්ටඹුව ප්‍රදේශයේ සිට පොලීසියට භාරවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කඩවතින් බැස ඇති ඔහු එහි ආපනශාලාවකට ගොස් නිවසට ඇමතුමක් ලබාගෙන ඇති අතර, එම ඇමතුම අතරතුර ඔහු හ‌ඬාවැටී තිබෙනවා. එම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ දැනගත් ආපනශාලාවේ හිමිකරු ඔහුට ඉන් පිටතට යන ලෙස දැනුම්දී ඇති අතර, අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. කඩවත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගමන් මළු දෙකක්ද ඔහු සතුව තිබූ බවයි.

49 හැවිරිදි ඔහු වැලිවේරිය – කිරිකත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මීට පෙර මෙම සිද්ධියට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන්ට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද (2) සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසුවනවා. ඔවුන් සියලුදෙනාද රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.

+++++++++++++++++++++++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13 දෙනා අධිකරණයට

(08.07.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සැකකරුවන් අතර ඊයේ (07) අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කළේ.

අත්අඩංගුවට ගත් මත්කුඩු සංවිධානාත්මක අපරාධකරුවන්ට අලෙවි කිරීමේ චෝදනා මත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21 ක්.

ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු සහ සිවිල් වැසියන් තුන්දෙනෙකුද (3) ඇතුළත්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට හෙළිවී ඇති තොරතුරු වලට අනුව අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරින් විදේශ රටවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් සමගද සබදතා පවත්වා ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි.

එමෙන්ම, රුපියල් කෝටි 05 කට ආසන්න මුදල්, වාහන 20 ක් පමණ සහ නිවාස, ඉඩම්, ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම් වලින් උපයාගත් දේපල රැසක්ද මේ වන විටත් සොයාගෙන තිබෙනවා.

මෙම ජාවාරම මෙහෙයවු පොලිස් පරීක්ෂකවරයා කඩවත පොලීසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්ණ කරමින් පවතිනවා.

එසේම ඊයේ (07) රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයාද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

ඒ, ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදියි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් හෙළිකරන තොරතුරුවලට අනුව ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුවනු ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 12 දෙනෙකු රිමාන්ඩ්

(08.07.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (07) අත්අඩංගුවට ගත් නිලධාරියා ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා ෴

+++++++++++++++++++++++++++++++++++

නාකොටික් 16 කගේ සහ සිවිල් 3 දෙනෙකුගේ ලක්ෂ 46 ක බැංකු ගිණුම් අත්හිටුවයි

(08.07.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකුගේ හා සිවිල් පුද්ගලයන් තිදෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 46 ක මුදලක් ඇති බැංකු ගිණුම් 43 ක් අත්හිටුවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

නාකොටික් නිලධාරින් 12 ක් රිමාන්ඩ් – නීතිවිරෝධී ගිනි අවි සහ මුදල් ජාවාරම් කළ බවටත් සැක – වැටලීම් සිදුකර රජයෙන් තෑගිත් අරන්

(08.07.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

තම භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු ලබන 21 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේ.

රාගම ප්‍රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගත් මෙම පොලිස් කොස්තාපල්වරයා ආඬිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

අද (08) නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ චෝදනා එල්ල වී සිටින පොලිස් නිලධාරින්ගෙන් පිරිසක් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවයි.

මත්කුඩු ජාවාරමට අමතරව, ඔවුන් නීතිවිරෝධී ගිනි අවි ජාවාරම් සිදුකරන බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, අත්අඩංගුවට ගත් ඇතැම් පොලිස් නිලධාරින් සතුව තිබී ගිනි අවි සොයා ගෙන ඇති බවත්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

10 වන සහ 11 වන පොලිස් කොස්තාපල්වරුන් භාරයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 32 ක් හමුවී ඇති බැවින් ඔවුන් ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ නිරත වී ඇත්ද යන්න පිලිබඳව ද සැකයක් පවතින බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

එමෙන්ම, ඊයේ (07) අත්අඩංගුවට ගත් පළමු සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ පෞද්ගලික ලොකරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක් සහ අනෙක් නිලධාරින් සතුව තිබී ටී-56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ සහ තවත් මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණා ව්‍යාජ වැටලීම් සිදුකොට පොලිස් අරමුදලෙන් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග සහ සම්මාන ද අත්අඩංගුවට ගෙන ඇති ඇතැම් පොලිස් නිලධාරින් ලබා ගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන 7 වන සැකකාර පොලිස් නිලධාරියා අතුරුගිරිය – පෝරේ ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 170 ක් පමණ වටිනා ඉඩම් දෙකක් ද, මිලදී ගෙන සුඛෝපභෝගි ජිවිත ගත කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දැනට අත්අඩංගුවට ගෙන ඇති 18 දෙනාට අමතරව, තවත් නිලධාරින් සම්බන්ධ වී ඇත් ද යන්න පිලිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරුවලට අනුව දැනට නඩු භාණ්ඩ ගබඩාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 700 ක් පමණ ඇති බැවින් එම ගබඩාවට මුද්‍රා තැබීමට ද පියවර ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍යවලට වෙනත් අමුද්‍රව්‍ය මිශ්‍ර කර ඇත්ද යන්න පිළිබඳව රස පරීක්ෂකවරයා හරහා වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ.

***************************************

ඊයේ (07) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ 186 ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

(08.07.2020 – 07:21 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේදී ආසාදිතයන් හතරදෙනෙකු (4) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගියා.

නාවික හමුදා සාමාජිකයෙකු, ඉතියෝපියාවේ සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (07) තහවුරු කර ගැණුනේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 114 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,955 ක්.

මේ අතර ආසාදිතයෙකු හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ වාර්තාවූ ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින් ඇතුලු පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි.

ඒ අනුව තවත් පිරිසකගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා.

ආසාදිතයා වාර්තාවීමත් සමඟ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා.

එමෙන්ම ඊයේ (07) රාත්‍රියේ 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මොවුන් බන්ධනාගාර බස් රථවලින්ම එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු (7) වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

සියලුම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(08.07.2020 – 12:25 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයට අමතරව දිවයිනේ සියලුම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගැනීමත් සමඟ ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙලෙස අමුත්තන් පැමිණීම අත්හිටවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැදවියන් ඇතුළු 105 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵල අද (08) පස්වරුවේ ලැබීමට නියමිතයි.

එමෙන්ම රැදවියන් 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඊට අමතරව බන්ධනාගර නිලධාරීන් 07 දෙනෙකු ද වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර බන්ධනාගාරයෙන් හමුවූ රැදවියා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පිරිසටද ඊයේ (07) රාත්‍රියේ සිට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී නිවෙස් වෙත ගිය රැඳවියන් සම්බන්ධයෙන්ද මේ වනවිට බුද්ධි අංශ තොරතුරු ලබාගනිමින් සිටිනවා. ඒ ඔවුන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සොයාබැලීම සඳහායි.

මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිටි 210 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට පසුව තහවුරු වුණා.

ආරක්ෂාරි පියවරක් ලෙස ඊයේ (07) සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සදහා අමුත්තන් පැමිණීමද තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා ආසාදනය වී තිබුණද පිටත සමාජය ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.

ඊයේ (07) දිනයේදී ආසාදිතයන් හතරදෙනෙකු (4) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 115 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,955 ක්.

මේ අතර නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් 04 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව ද 892 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවත් 13 දෙනෙකු පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අද (08) දිනයේත් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ රැකියාවල නිරතව සිටි ඉන්දියන් ජාතිකයින් 153 දෙනෙකු ද අද (08) උදෑසන නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5,46,737 ක්.

එමෙන්ම වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,19,00,000 අධිකයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මැදපෙරදිග රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (08) නාරාහේන්පිට දී විරෝධතාවයක නිරත වුණා.

+++++++++++++++++++++++++++++++++++

PCR පරීක්ෂණ කළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 315 දෙනාට කොරෝනා නෑ

(08.07.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 315 දෙනෙකුගේ PCR පරික්ෂණ වාර්තා මේවන විට නිකුත් වී ඇති අතර, ඔවුන් කිසිවෙකුත් වෛරස ආසාදිතයින් බවට තහවුරුවී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

***************************************

රාජ්‍ය ආයතන, සංස්ථා මණ්ඩල තුළ ඡන්ද ප්‍රචාරණ තහනම්

(08.07.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කිසිදු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයක මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ අත්පත්‍රිකා බෙදීම සහ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව සඳහන් කළේ පළාත් සභා කාර්යාල සහ පළාත්පාලන ආයතනද ඊට ඇතුළත් බවයි.

මේ සම්බන්ධයෙන් දේශපාලනඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අවධානය යොමු කළ යුතු බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 2084 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(08.07.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වනවා.

එමෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7 ක් ගතවනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්විය යුතු බවයි මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මැතිවරණ කාලසීමාවේදී යම් අපේක්ෂකයෙකුට ආධාර වශයෙන් පොදු ස්ථානවල අත්පත්‍රිකා, ප්‍රදර්ශන පත්‍ර, දැන්වීම්, චිත්‍ර, අපේක්ෂක ඡායාරූප සහ ලකුණු හෝ සළකුණු ප්‍රදර්ශනය නොකළ යුතු බවද එහි සඳහන්.

අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ පමණක් දැන්වීම් සහ කොඩි ප්‍රදර්ශනය කිරිමට හැකි බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.

එමෙන්ම එම රථයේ පසුපස වීදුරුව ආවරණය වන අයුරින් එම දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා.

මේ අතර ගාල්ල – ඇල්පිටිය – පිටිවල කණිෂ්ඨ විද්‍යාලයේ මෙතෙක් පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානය ඉන් ඉවත්කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ සියලුම පක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ 1948 වසරේ සිට මේ දක්වා මෙම පාසල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ පහසුව වෙනුවෙන් පිටිවල කණිෂ්ඨ විද්‍යාලයේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානය ඊට ආසන්න වෙනත් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කළ බවයි ෴

***************************************

උතුරු මාර්ගයේ දුම්රියක් පීලිපනී

(08.07.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

උතුරු මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී අද (08) පෙරවරුවේ දුම්රියක් පීලිපැන තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති අතර, මේ නිසා දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට සිදු වූ දේ

(08.07.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – පලෙයි අයියකච්චි ප්‍රදේශයේ සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී එය පුපුරා යාමෙන් පිළිස්සුම් තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අද (08) උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

44 හැවිරිදි මොහු පසුගිය තුන්වනදා (03) හිස් සැමන් ටින් එකක වෙඩි බෙහෙත් සහ කුඩා යකඩ බෝල යොදාගෙන බෝම්බයක් සකසමින් සිටියදියි මෙම අනතුරට ලක්වුණේ.

පසුව තුවාලකරුගේ බිරිඳ විසින් ඔහුව රෝහල් ගත කෙරුණු අතර, අද (08) අලුයම එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

අදාළ නිවස පොලීසිය පරීක්ෂාවට ලක් කළ අතර, බෝම්බය පිපිරී තුවාල සිදුවූ ස්ථානය සැකකරුගේ බිරිඳ විසින් සෝදා පවිත්‍ර කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

වැඩිදුර සිදුකළ පරීක්ෂාවේදී කළු කොටි දිනය සමරමු යැයි සඳහන් අතින් ලියන ලද කුඩා බැනරයක් ද පොලීසිය සොයාගනු ලැබුවේ ගෙවත්තේ වළදමා තිබියදියි.

මෙම පුද්ගලයා පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයෙකු බවට පසුව අනාවරණ වූ අතර, පසුගිය 5 වනදාට යෙදී තිබූ කළු කොටි සැමරුම් දිනයේදී කිසියම් විනාශකාරී සිද්ධියක් සිදුකිරීමේ අරමුණින් මෙම බෝම්බ සකස් කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

මියගිය පුද්ගලයාගේ 43 හැවිරිදි බිරිඳ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද (2) ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් වලිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි

(08.07.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසාන දිග ආසියානු කලාපීය රටවල් අතුරින් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ පළමු රටවල් දෙක (2) ලෙස ශ්‍රී ලංකාව හා මාලදිවයින නම් කර තිබෙනවා.

මීට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ ඒ සඳහා ඉලක්කය ලෙස සඳහන් කර තිබුණේ 2023 වසර බවයි.

වසර 3 ක් තුළ කිසිදු රුබෙල්ලා හා සරම්ප රෝගියෙකු වාර්තා නොවුණහොත් එම රට අදාළ රෝග තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනවා ෴

***************************************

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි

(08.07.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

අද (08) පාස්කු කොමිසමේදී ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකු කළ අනාවරණය

(08.07.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

2015 පසු බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය මන්දගාමීව සිදු වූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකු අනාවරණය කළා.

කොමිසම හමුවේ පෙනී සිටිමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ බුද්ධි අංශ නිලධාරීන් ඉලක්ක කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ ක්‍රියාකාරීත්වයටද තදින් බලපෑ බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ (07) යුධ හමුවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙක් පැමිණ සිටියා.

2015 නව ආණ්ඩුව පත්වීමෙන් පසු ජනවාරි සිට ජූලි දක්වා මාස 07 ක කාලයක් ජාතික බුද්ධි ප්‍රධානී තනතුර පුරප්පාඩුව පැවති බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා.

ඔහු කොමිසමට දැනුම් දුන්නේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය මන්දගාමීව සිදු වූ එම කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ පහල නිලධාරීන් නිකරුණේ කාලය ගත කළ බවයි.

පැවති රජය ‘බුද්ධි තොරතුරු මතම ක්‍රියාකළ යුතුයි’ යන ස්ථාවරයක නොසිටි බවද පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ එම කාලය තුළ බුද්ධි අංශ ඉලක්ක කරමින් යම් යම් නීතිමය කටයුතු පවා සිදුවූ බවයි.

එය ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයේ ක්‍රියාකාරිත්වයට තදින් බලපෑ බවද යුධ හමුදා ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා සඳහන් කළා.

යළි කොමිසම ප්‍රශ්න කළේ ‘ඔබට අයි.එස්.අයි.එස්. මර්දනයට විශේෂ රාජකාරියක් පැවරුනේද’ යන්නයි.

“අපි 2016 අගෝස්තු වෙනකොට අන්තවාදී ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කළා.

එම කාලය තුළ ඉරාකයේ සහ සිරියාවේ ශක්තිමත්ව තිබූ අයි.එස්. සංවිධානයේ තර්ජන අපටත් බලපාවි යන පදනම මත අපි සංකල්ප පත්‍රිකාවක් හැඳුවා.

‘අයි.එස්.අයි.එස්. මතවාදය ලංකාවට ආවොත් කුමක්ද අපි අනුගමනය කළ යුත්තේ’ යන්න ඊට ඇතුළත් කළා.

පසුව එය එවක ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හරහා 2016 අගෝස්තු මස එවක නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාට ලිපියක් මඟින් යොමුකළා.”

යනුවෙන් යුධ හමුදා ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා කොමිසම විමසූ පැනයට පිළිතුරු ලබාදුන්නා.

2017 වසරේ සිට බුද්ධි සමාලෝචන රැස්වීම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ ප්‍රමාණවත් සහභාගිත්වයක් නොතිබූ බවටද ඔහු කොමිසමට දැනුම් දුන්නා.

යුධ හමුදා ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2018 වසරේදී ආරක්ෂක ලේකම් ධූරය වරින්වර වෙනස්වීම හේතුවෙන් සති පතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම ඇතැම් විට පැවැත්වූයේ සති තුනකට (3) වරක් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හුවමාරු වූ ලිපිය පෙන්වමින් කොමිසම එහිදී ප්‍රශ්නකළේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ගතයුතුව තිබූ පියවර කුමක්ද යන්නයි.

අදාළ ලිපිය ජාතික බුද්ධි ප්‍රධානියා විසින් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාට යැවූ එකක් බැවින් ඔවුන් දෙදෙනා අනිවාර්යෙන්ම මුණ ගැසී හෝ අමතා ඒ ගැන සාකච්ඡා කළ යුතුව තිබූ බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ඔහු කොමිසමට පැවසුවේ සහරාන් සහ නැඟෙනහිර සම්බන්ධ තොරතුරු එහි ඇතුළත්ව තිබූ බැවින් යුධ හමුදා බුද්ධි අංශද දැනුවත් කළ යුතුව තිබූ බවයි.

ජාතික බුද්ධි ප්‍රධානියා යැවූ එම ලිපිය පිළිබඳ පොලිස්පතිවරයා කුමක් කළ යුතුව තිබුණේද යන්න එහිදී කොමිසම ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දැක්වූ යුධ හමුදා ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා පොලිසිය හා ඉදුරාම සම්බන්ධව කටයුතු කරන බැවින් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පොලිස්පතිවරයා ඔහුව හමුවිය යුතුව තිබූ බවයි.

මේ අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (08) පෙනී සිටියා.

+++++++++++++++++++++++++++++++++++

ප්‍රකාශයක් දී දිවගිය පොලිස්පති පූජිත්

(08.07.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අද (08) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියා.

ඒ, කොමිසම කළ කැඳවීමකට අනුවයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවූ බවයි.

ඒ අනුව, අද (080 උදෑසන 09:30 ට පමණ කොමිසම වෙත පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගියා.

එහිදී ඔහු මාධ්‍යවේදීන් මග හැර දිවගොස් මෝටර් රථයට නැග පිටව ගිය බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉස්ලාම් අන්තවාදය පිළිබදව දැනුවත් කළත් පැවති රජය කිසිවක් කළේ නෑ – යුද හමුදා බුද්ධි ප්‍රධානියෙක් පවසයි (08.07.2020)

***************************************

ප්‍රේමදාස රනිල් පිල් දෙකේ ගැටුම් උග්‍ර වෙලා – අගමැති

(08.07.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කිසියම් ආණ්ඩුවක් යම් රටක් සමග එළැඹුණු ගිවිසුමකින් ඉවත් වීම පහසු කාර්යයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කුලියාපිටියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සඳහා නම් අදාළ රටේ එකඟතාව අනිවාර්යෙන්ම තිබිය යුතු බවයි.

එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය – කඩහපොල දී ඊයේ (07) පැවැත්වුණා.

***************************************

ගම්පහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් කැළණි විහාරයට

(08.07.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී උගත්කමත් පමණක් ප්‍රමාණවත් නොවන බව කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සඳහන් කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති ආගමික වැඩසටහනකදී.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂකයින් පිරිසක් අද පෙරවරුවේ කැළණිය රජමහා විහාරස්ථානයට පැමිණියා.

එහිදී කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ගේ ප්‍රධනත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් …

***************************************

මස 8 ක සිට අබලන්ව තිබෙන වෙයන්ගල පාලම

(08.07.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මේ බුලත්සිංහල, වෙයන්ගල්ල – පොලේගොඩ මාර්ගය හරහා වැටී ඇති පාලම අද (08) පවතින තත්ත්වයයි.

මීට මාස 8 කට පමණ පෙර කඩා වැටී ඇති මේ පාලම මතින් වෙයන්ගල්ල මුස්ලිම් පාසල වෙත දිනකට ළමුන් 600 කට වැඩි පිරිසක් ගමන් කරනවා.

පාලමේ ඇති අනාරක්ෂිතභාවය නිසාම සිදු වූ අනතුරුද එමටයි.

පවතින අනාරක්ෂිත බව නිසාම විදුලි කණු යොදාගනිමින් ප්‍රදේශවාසීන් විසින් තාවකාලිකව පාලම පිළිසකර කර ගත්තද ස්ථිර ප්‍රතිසංස්කරණයකට ලක්කිරීම ඉටු නොවනා දේශපාලන පොරොන්දුවක් වී තිබෙනවා.

දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත නොකොට පාලම ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ගම්වැසියන් ඉල්ලා සිටිනවා.

***************************************

කිසිදා සතුටක් නොලැබූ ගලේවෙල අම්මාගේ දුක හිතෙන කතාව

(08.07.2020 – 14:31 +0530 – hirunews.lk/sinhala)

දරුවන් වෙනුවෙන් අම්මාවරු විදිනා දුක් ගැහැට සුළු පටු නැහැ.

දෑස නොපෙනෙන මානසික ආබාධයකින් පෙලෙන දරු දෙදෙනෙකු ජීවත්කරලීම සඳහා ජීවිතයම කැපකළ මවක් පිළිබඳව ගලේවෙල – කොරකහගොල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

ඇය නමින් ආර්.ඩී. මාලනී.

දඹුල්ල – පිබිදුනුගම – කොරකහගොල්ල – බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට ආබාධිත දියණියක සහ පුතා ජීවත්කරලීම සඳහා විදිනා දුක් අපමණයි.

30 හැවිරිදි ආබාධිත ඇගේ පුතා දෑස නොපෙනෙන, සිහි මද ගතියකින් සහ කථන ආබාධයකින් පෙලෙන්නෙක්. නිවසට වඩා දිවා රෑ දෙකෙහිම එළිමහනේ ගත කිරීමට දැඩි ඇල්මක් දක්වන ආබාධිත පුතාගේ සියලු ඕනෑ එපාකම් ඉටුවන්නේ මේ මවගේ දෑතීන්.

පිරිසිදු කිරීමට වුවමනා වූ තැන සෙල්ලම් දුරකතනයක් මගින් ඒ සඳහා උපක්‍රමශීලීව ඔහුගේ කැමැත්ත ලබාගැනීමට මව කටයුතු කරන ආකාරයයි මේ.

එවන් අවස්ථාවල ආබාධිත පුතාගේ පහරදීම්වලටද මේ මව ලක්වනවා.

ඇගේ ආබාධිත 27 හැවිරිදි දියණියටද තම පුතුට හා නොදෙවෙනිව මේ මවගේ රැකවරණය හිමිවනවා.

මාලනී මාතාව පවසන පරිදි විවාහ දිවියට ඇතුළු වූ දා පටන්ම මේ දුක්බර ජීවිතයට යොමු වී තිබෙනවා.

දිනකට එක වේලක් ආහාරගෙන කුස පුරවාගන්නා මේ මවට තවත් දරුවෙකු සහ ඥාතීන් සිටියත් ඇය ඔවුනට බරක් වීමට කිසි ලෙසකින්වත් සූදානම් නැහැ.

ජල පහසුකම්, වැසිකිලි කැසිකිලි පහසුකම් හෝ හරිහැටි නොමැති පරිසරයක ආබාධිත දරු දෙදෙනෙකු රැකබලා ගනිමින් අනේකවිද දුක් ගැහැට විදිනා මේ දිරිය මවට සරණක් වන්නට හැකිනම් එය ඉමහත් පිංකමක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *