කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි

(09.07.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි.

මාළඹේ – තලාහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජනාශක දියර නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම විෂබීජ නාශක සකස් කර ඇති අතර ඒවා කල් ඉකුත් වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වර්ග 3 කින් විෂබීජ නාශක වෙළඳපොලට නිකුත් කිරීමට ඇසුරුම් කර තිබූ බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

මෙලෙස සොයාගත් විෂබීජ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක්.

+++++++++++++++++++++

[ https://www.finishol.com/finishol99.html ]

***************************************

ටයර් අනතුරින් මාස 4 කට පසු සරසවි බිමට ආ පසිඳු අවදිකළ සංවේදී මතකය

(09.07.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී ටයරයක් හිසේ වැඳීමෙන් බරපතල තුවාල ලබා සුව වූ පසිඳු හිරුෂාන් සිසුවා මාස 4 කට පමණ පසු ඊයේ (08) එම විශ්ව විද්‍යාලය වෙත පැමිණියා.

එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී ඔහු තමන්ට උදව් උපකාර කළ පිරිසට ස්තූතිය පුදකරමින් කතාවක්ද සිදුකළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=EROFF3OE1OU

***************************************

කොරෝනා වසංගතය හේතුවෙන් එකතු වූ විදුලිබිල ගෙවාගන්න බැරුව ඉන්න ජනතාවට සුබ ආරංචියක්

(09.07.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මාර්තු සහ අප්‍රේල් මාසයන්හි විදුලි බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය ඉහළ යාම නිසා ජනතාවට ගෙවීමට සිදුව ඇති අපහසුතා සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවා.

මේ සඳහා කරුණු සොයාබැලීමට පත් කළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු වාර්තාව ඊයේ (08) පැවති කැබිනට් හමුවට අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි පාරිභෝගිකයන් සඳහා විශාල පිරිවැයක් දරා සහන මල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතිබව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අතර 0 සිට 90 දක්වා ඒකක භාවිත කරන පාරිභෝගිකයන්ට මාර්තු, අප්‍රේල්, මැයි මාස සඳහා සියයට 25 ක ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමද එම යෝජනාවල ඇතුලත්.

එසේම එම බිල්පත ගෙවීම සඳහා තවත් මාස තුනක අතිරේක කාලයක් පාරිභෝගිකයන්ට ලබාදීමට ද එමගින් යෝජනා වී තිබෙනවා.

මේ අතර පමා කාලය වෙනුවෙන් කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ද එමගින් යෝජනා වී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

එසේම කිසිදු හේතුවක් නිසා හෝ පාරිභෝගික විදුලි සම්බන්ධතා විසන්දි නොකිරීමට ද මෙම විදුලි පාරිභෝගික සහන මල්ලට ඇතුලත්වනවා.

කෙසේ වෙතත් එම කැබිනට් හමුවේදී සාකච්ඡාවී ඇත්තේ මෙම විදුලි පාරිභෝගික සහන මල්ලට තවත් සහනයන් එක්කිරීමටයි.

ඒ අනුව ජනපති සහ අගමැති දැනුම්දී ඇත්තේ ඉහතකී මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලට පෙර දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසවල බිල්පත් සම්බන්ධයෙන් ද සැලකිල්ලක් දක්වන ලෙසයි.

අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් ලබන සතියේදී මෙම තවත් සහනයන් එම විදුලි සහන පැකේජයට එක්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමටයි එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ෴

***************************************

ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි සේවකයෙකු හදිසියේ මරුට – ඔහු රැගෙන ඒමට ගිය 6 ක් නිරෝධායනයට

(09.07.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

ගාලුවරායට ආසන්න දකුණු මුහුදේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක විධායක නිලධාරියෙකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීම සඳහා ගාලුවරාය වෙත රැගෙන එමින් සිටියදී හදිසියේ මියගොස් තිබෙනවා.

ගාල්ල වරාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා 53 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු බවයි.

ඔහු මෙම නෞකාවේ තුන්වන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර, නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තායිවානය දක්වා ගමන් කරමින් තිබුණා.

මියගිය පුද්ගලයා රෝගාතුර වී ඇති බවට නෞකාවෙන් කළ දැනුම්දීමට අනුව ඔහු රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ නිලධාරින් දෙදෙනෙකු (2) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 4 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ට තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදුකෙරුණු අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි ෴

***************************************

හුංගමදී හෙරොයින් සහ පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(09.07.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

හුංගම – බටඅත සහ නිදහස්ගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ සජීවී පතොරම් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 52 යි මිලිග්‍රෑම් 615 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයකට යොදන සජීවී පතොරම් දෙකක්, මැගසීනයක්, බෝට්ටු සමඟ සම්බන්ධ වන සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 28, 32 සහ 33 යන වයස්වල පසුවනවා ෴

***************************************

මැතිවරණ කොමිසමෙන් නැවත අවධාරණයක්

(09.07.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට වෙන් කළ නිල වාහන දේශපාලනමය ප්‍රවර්ධන කටයුතු සඳහා හෝ දේශපාලන ප්‍රචාරණ රැස්වීම් සඳහා භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නැවතත් අවධාරණය කරනවා.

යම් පළාත් පාලන ආයතන ප්‍රධානියෙකු දේශපාලන කටයුතුවලට නිල වාහනය යොදා ගැනීම රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් සේ සලකනු ලබන බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේම, අපේක්ෂකයින් ප්‍රවර්ධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී එය සනාථ වුවහොත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලනය භාර නිලධාරින්ට එරෙහිව කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ෴

***************************************

කෝටියට අධික මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

(09.07.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ රැකියා සඳහා පිටත් කර යවන බවට පවසමින් රුපියල් 1,04,22,535 ක මුදලක් වංචා කළ ඉන්දීය ජාතිකයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බම්බලපිටිය ප්‍රදේශයේදි ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන බවයි ෴

***************************************

කටුනායක ගුවන්තොටුපලට යන එන ගුවන් මගීන්ට අලුත්ම ආරංචියක් – කටුනායක ගුවන්තොටුපලට නව වෛද්‍ය රසායනාගාරයක්

(09.07.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපලේදී අද (09) විවෘත කෙරුණා.

මගීන් 500 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ දිනයක් තුලදී සිදුකිරීමේ හැකියාව මෙහිදී පවතින අතර, මෙම වෛද්‍ය රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරනු ලැබුවේ දිවයිනේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ භාවිත කරමින්.

***************************************

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවමත් නාකොටික් නඩු ගබඩාව පිරික්සයි

(09.07.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මේ වනවිට පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (08) ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලේම තුන්වන මහලේ ස්ථාපිත කර තිබෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත පැමිණි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එය පරීක්ෂාවට ලක් කරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගත් හෙරොයින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ රඳවාගෙන සිට ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.

වැටලීමක් සිදුකළ පසු නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළ යුතු නමුත් සැකකරුවන් මේවා තබාගෙන ඇත්තේ කුමන හේතුවක් මතද යන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් රහස් පොලීසිය සඳහන් කළේ නඩු භාණ්ඩ කාමරයේ හෙරොයින් කිලෝ 700 ක් පමණ ඇති බවට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව නඩු භාණ්ඩවල මුද්‍රා කඩා තිබුණේද, ඒවාට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබේද, විෂ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල්වල ආවරණ කඩා නැවත පාර්සල් කර තිබේද, පසුව නැවත ඒවා සීල් කර ඇත්ද යන්න වශයෙන් කරුණු හයකින් සමන්විත ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවට පසුගිය මස 28 වනදා මුද්‍රා තැබූ අතර, එය භාරව සිටි පොලිස් නිලධාරියාද අත්අඩංගුවට ගැනුනා ෴

***************************************

පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් ප්‍රජාවට වත්මන් රජය හා එක්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(09.07.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ භේදයකින් තොරව රටේ මුස්ලිම් ප්‍රජාවට වත්මන් රජය හා එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනයට ඊයේ (08) එක්වෙමින්.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තම පාලන සමය තුළ කිසිවිටෙකත් මුස්ලිම් ජනතාව මුදලට නොවිකිණූ බවයි.

***************************************

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

(09.07.2020 – 12:34 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

මෙම විද්‍යායතනය මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවතී.

එමඟින් ආයුර්වේද හා ඊට අනුබද්ධ විද්‍යාවන්හි උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි.

ඒ අනුව, මෙරට සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය උසස් කිරීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත ෴

***************************************

මසක් තුළ ගිනි අවි 176 ක් සොයාගනී

(09.07.2020 – 11:26 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ පොලිස් ස්ථාන රැසක අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

2020.06.06 වන දින සිට 2020.07.08 වන දින දක්වා මෙම වැටලීම් සිදු කර ඇත.

ඒ අනුව ටී 56 ගිනි අවි 11 ක්, ටී 81 ගිනි අවියක්, බෝර 12 ගිනි අවි 42 ක්, පිස්තෝල 4 ක්, ගල්කටස් 29 ක්, රීපිටර් 74 ක් හා වෙනත් ගිනි අවි 15 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 89 ක්.

හෙරොයින් කිලෝ 10 යි ග්‍රෑම් 750 ක් සමග සැකකරුවන් 8087 ක් ද, ගංජා කිලෝ 608 ක් සමග සැකකරුවන් 6006 ක් හා අයිස් කිලෝ 3 යි ග්‍රෑම් 390 ක් සමග සැකකරුවන් 515 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367 ක් හා ඩෙටනේටර් 23 ක්, අත්බෝම්බ 21 ක් ළඟ තබා ගත් සැකකරුවන් 11 ක් ද අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව සැකකරුවන් 12,186 ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

වෙනත් වැරදි සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 23,446 කි ෴

***************************************

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කිසිවෙකුටත් පවරන්නේ නෑ – නාමල් රාජපක්ෂ

(09.07.2020 – 09:53 +0530 – sinhala.adaderana.lk)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කැලෑබද ඉඩම් පුද්ගලික අංශයට පැවරීමේ කිසිදු සැළසුමක් රජය සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ඇතැම් ප්‍රදේශවල මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු ඇති බවය.

අද වන විට පාරම්පරික හේන් ගොවියන්ට ගොවිතැන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසු ඔහු, ගොවීන් ගොවිතැන් සඳහා කැලෑ හෙළි කිරීම හේතුවෙන් නීතියෙන් දඬුවම් විදින අවස්ථා ද ඇති බව පැවසීය.

එවැනි ප්‍රායෝගික කාරණා සම්බන්ධයෙන් පමණක් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *