කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා – උපදේශිකාවක් පොදු ප්‍රවාහන සේවාත් භාවිත කර ඇතැයි හෙළිවේ

(09.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට සිදුකල පී.සී.ආර්. පරීක්ෂාවන්වලදී ඉන් 56 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එසේම, අද (09) උදෑසන නාත්තන්ඩිය – කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, එම කාන්තාව ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

25 හැවිරිදි මෙම කාන්තාව මාරවිල මූලික රෝහලෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඇය වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාට උපදේශන සේවා සපයා ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම කාන්තාව ඇසුරු කළ සමීපතමයින් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අදාළ උපදේශක කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.

අක්කර 70 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතින කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 472 දෙනෙකු සිටින අතර, නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 204 දෙනෙකු එහි සේවය කරනවා.

එය අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති මෙරට විශාලතම පුනරුත්ථාපන මධ්‍යස්ථානයයි.

අද (09) හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 57 දෙනා සහ කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තවත් පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2152 දක්වා ඉහළ ගියා.

මේ අතර, අද (09) දිනයේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 1979 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකර ලබන සංඛ්‍යාව 162 ක්.

මේ අතර, කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපලේදී අද (09) විවෘත කෙරුණා.

මගීන් 500 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ දිනයක් තුලදී සිදුකිරීමේ හැකියාව මෙහිදී පවතින අතර, මෙම වෛද්‍ය රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරනු ලැබුවේ දිවයිනේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ රසායනාගාර උපකරණ භාවිත කරමින්.

***************************************

මහමඟ දමාගිය සුනඛයින් 30 ට නිවසේ නවාතැන් දුන් විශ්‍රාමික හෙද නිලධාරිනිය

(09.07.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම ඈත අතීතය කරා දිවයනවා.

නමුත් මිනිසා, සතුන් කෙරෙහි අනුකම්පා විරහිතව හැසිරුණු ආකාරය පිලිබඳව පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්නට ලැබුණා.

එවන් කාලවකවානුවක තම විශ්‍රාම වැටුප පවා වියදම් කරමින් අයාලයේ යන සුනඛයන් වෙනුවෙන් සරණක් වන කාන්තාවක් පිලිබඳව අපට අරණායක ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇය නමින් ඒ.පී අශෝකා අමරකෝන්.

අරණායක බකුල්වල ප්‍රදේශයේ ජීවත්වන අශෝකා මහත්මිය විශ්‍රාමික හෙද නිලධාරිනියක්.

මහමඟ දමායන සතුන් කෙරෙහි දායාව අනුකම්පාව දක්වන්නට ඇය හුරුවී ඇත්තේ මිනිසා විසින්ම සිදු කළ අනුකම්පා විරහිත ක්‍රියාකලාපයක් නිසායි.

කිසිවෙකුගේ පිලිසරණක් නොමැති සුනඛයින් 30 දෙනෙකුට පමණ අද වනවිට මේ නිවසේ නවාතැන් ලබා දෙන්නට අශෝකා මහත්මිය කටයුතු කර තිබෙනවා.

මිනිසා තවකෙකුගේ ආදරය අපේක්ෂා කරන්නා සේම සතුන් ද මිනිසුන් වන අපේ ආදරය නොමදව බලාපොරොත්තු වනවා.

කුසගින්න, පිපාසය, වේදනාව අපට මෙන්ම ඔවුන්ට ද දැනෙන බව අප අවබෝධ කරගත යුතුය.

අශෝකා මහත්මිය පවසන්නේ මේ සුනඛයින් මිනිස් භාෂාව නොදන්නවා වුවද ආදරයේ, කරුණාවේ භාෂාව හොඳින් හඳුනන බවයි.

මානසික සහනයක් ලබමින් දවස සතුටින් ගෙවීමට මේ සතුන්ගෙන් අශෝකාට ලැබෙන පිටිවහල අසීමිතයි.

තමන් දක්වන දයාව ආදරය කරුණාව හමුවේ, මේ දක්වාම මේ සතුන්ගෙන් තමන්ටද පෙරළා ලැබී ඇත්තේ ආදරයම පමණක් බවයි අශෝකා මහත්මිය පවසන්නේ.

***************************************

වැවක් ගොඩවීම නිසා අසරණ වූ පවුල් 245 ක්

(09.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු හෙක්ටයාර 100 ක් පමණ පෝෂණය වූ දෙහිඅත්තකණ්ඩිය – පහළගම වැව වසර 25 ක පමණ කාලයක සිට ගොඩවීම හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකිව ගොවින් දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පවුල් 245 ක් පමණ මෙම වැවෙන් ජල අවශ්‍යතා සපුරන නමුත්, පිළිසකර කර නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි සෞඛ්‍ය ගැටලු රැසකටද මුහුණදී සිටින බවයි.

ජනතාව මුහුණදෙන මෙම ගැටලුව පිළිබඳව බලධාරීන්ට වසර ගණනාවක් තිස්සේ දැනුම්දුන්නද මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

විවිධ රජයන් යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතීන්වල නෙත නොගැටුණු පහළගම වැව ප්‍රතිසංස්කරණය කර ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන ගැටලුවලට නිසි විසඳුම් ලැබෙනතුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

රාජසන්තක කර ඇති මෝටර් රථ ගැන රජය හදිසියේම ගත් විශේෂ තීරණය මෙන්න

(09.07.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

විවිධ හේතූන් මත රාජසන්තක කර ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී බීඩිකොළ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලිබිල සඳහා සියයට 25 ක සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

එමෙන්ම, කිසිදු හේතුවක් මත විදුලිය විසන්ධි නොකිරීමටත්, ගෙවීම් සිදුකිරීම සඳහා අමතර මාස 3 ක කාලසීමාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලයට යෝජනා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර එම්.සී.සී. ගිවිසුම ගැන සොයා බැලූ කමිටුව ලබා දුන් වාර්තාව පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය වෙත තවත් සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා.

***************************************

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි

(09.07.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය (100,000) ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 93,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ.

කොරෝනා වසංගතයත් සමඟ රට තුළට රත්‍රං ආනයනය කිරීමේ අපහසුතා හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

හෙට්ටිවීදිය ඇතුළු රත්‍රං ආශ්‍රිත කර්මාන්තයේ යෙදෙන වෙළඳසැල් වලින් අප කළ විමසීමකදී සඳහන් කළේ රන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ වනවිට රත්‍රං හිඟයක් ද පවතින බවයි.

ඉදිරියේදී කැරට් 22 ක රන් පවුමක මිලද තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

ජීවිත 18 ක් බිළි ගත් අනතුර

(09.07.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු – වෙලික්කන්ඩල් මංසන්ධිය ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවු රිය අනතුරකින් ජීවිත 18 ක් අහිමි වි ඇති බව විශ්වමඩු ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ ටිපර් රථයක ගැටීමෙන් එළ ගවයින් 18 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම ගවයින්ගේ මළ සිරුරු මාර්ගය ආසන්නයේ තිබෙන බවයි.

අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගයේ සිටි ගවයින්ගේ ගැටීමෙන් අනතුරුව පළාගොස් ඇති බවයි විශ්වමඩු ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඉරණමඩු ජලාශයේ සිට පරන්තන් කුඹුරු ඉඩම් දක්වා ජලය රැගෙන යන ඇළ මාර්ගයන්ගෙන් ජලය බීමට පැමිණි ගවයින් රංචුවක් එලෙස අනතුරට ලක්වී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන මෙහෙයවනවා ෴

***************************************

ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට

(09.07.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස මට්ටක්කුලියේ ජනතාව අද (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටියා.

ඒ, මට්ටක්කුලිය – කාක දූපතේ පැවති ජනහමුවකට එක්වූ අවස්ථාවේදීයි.

ඉතිරිව ඇති පැල්පත් ඉවත් කර නිවාස ඉදිකර දෙන්නැයි මෙහිදී ජනතාව ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා අද (09) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ තවත් ජනහමුවක් විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය ඉදිරිපිටදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.

කඩුවෙල ආසනයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සංවිධාන කළ පැලවත්ත – බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ජනහමුවට පැමිණි ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද (09) පස්වරුවේ බත්තරමුල්ල දියත උයනේ පැවති ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ද එක්වුණා.

+++++++++++++++++++++

[ සේයාරූ ]

+++++++++++++++++++++

***************************************

රහස් පොලිසිය බදියුදීන්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි

(09.07.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

පෙරවරු 10 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, රාත්‍රි 08 ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැමිණියා.

ඔවුන් පැය 09 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බවයි එහි රැඳී සිටි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

නාකොටිකයන් සතු වාහන රැසක් සොයා ගනී

(09.07.2020 – 20:36 +0530 – sinhala.adaderana.lk)

= නාකොටික් නිලධාරීන් සතු වාහන රැසක් සොයා ගනී =

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුත්තව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (02) අයත් බව සැකකෙරෙන ලොරි රථ 04 ක්, වෑන් රථ 02 ක් සහ මෝටර් රථයක් (01) පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම වාහන අද (09) සවස පල්ලේවෙල පොලිස් වසමේ බාඳුරාගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ලද තොරතුරක් මත ගම්පහ කොට්ඨසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස සොයා ගත් ලොරි රථ 03 ක්, වෑන් රථ 02 ක් හා මෝටර් රථය (01) මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුටද, අනෙක් ලොරි රථය (01) දැනට අත්අඩංගුවට පත්ව සිටින පොලිස් සැරයන්වරයකුට අයත් බව පොලීසිය පවසයි.

මෙම සියලුම වාහන පල්ලෙවෙල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබා දී තිබීයදී පොලිස් බාරයට ගෙන ඇත.

වෑන් රථ 02 ක අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද දේපල වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව තිබෙන බවද පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

+++++++++++++++++++++

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07 ක් සොයා ගැනේ

(09.07.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුට අයත් වාහන 07 ක් මීරිගම සහ පල්ලෙවෙල යන ප්‍රදේශවලින් පොලිසිය සොයාගෙන තිබෙනවා.

විශාල ප්‍රමාණයේ ලොරි රථ 04 ක්, වෑන් රථ දෙකක් (02) සහ සුඛෝපභෝගී මෝටර් රථයක් (01) ඊට අයත් වනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලද තොරතුරකට අනුවයි පොලිසිය මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් සැරයන්වරයෙකුට ඒවා අයත් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අදාළ ලොරි රථ සහ වෑන් රථ පෞද්ගලික ආයතන වෙත කුලී පදනම යටතේ ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම සියලුම වාහන පල්ලෙවෙල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබාදී තිබියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වෑන් රථ දෙක අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව ද අනාවරණ වී ඇති කරුණක්.

අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (08) ලබාදුන් නියෝගයකට අනුවයි.

+++++++++++++++++++++

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවේ ඉතිරි මත්ද්‍රව්‍ය රස පරීක්ෂක භාරයට

***************************************

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි

(09.07.2020 – 21:15 +0530 – hirunews.lk/sinhala)

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලිකම අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මාවනැල්ලේ අද (09) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, තමා ජනපතිව සිටි රජය තුළත් මුස්ලිම් ජනතාව විකුණන් කෑ නායකයින් සිටි බවත් වර්තමානයේ පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් ජනතාව වත්මන් රජය සමගින් එක්විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගලදී මුස්ලිම් ප්‍රජාව අමතමින්.

කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනය ඊයේ (08) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආසන ක්‍රියාකාරිකයින් පිරිසක් එහිදි වත්මන් රජයට සහය පල කිරීමට එක්වුණා.

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *