මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(11.07.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

ඊයේ (10) රාත්‍රී 12:25 ට පමණ රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු (3) විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් (2) පරීක්ෂා කිරීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

එම අවස්ථාවේ ත්‍රිරෝද දෙකෙහි (2) සිටි පිරිස බීමත්ව සිට ඇති අතර, එහි සිටි එක් පුද්ගලයෙකු පොලිස් ජංගම මුර සංචාරයේ නිරත රථයට සහ රියදුරුට ගල් මුල්වලින් පහර දී තිබෙනවා.

එහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා කළ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තාවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එහිදී මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි සිව්දරු පියෙක්.

අදාළ පිරිස ධීවර රැකියාව සඳහා පිටත්ව යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් කළහකාරීව පොලීසියට පහරදීමට උත්සාහ ගෙන ඇති අතර, මේ වනවිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අඟුලාන මංසන්ධියේ සිට ලුනාව දක්වා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා දැඩි ආරක්ෂාව ලබාදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++

අඟුලානේ සිද්ධිය ගැන විශේෂ පොලිස් විමර්ශනයක් – වෙඩි තැබූ නිලධාරියා වැරදි නම් නීතිමය සහ විනය පියවර

(11.07.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සිදුවීමේදී සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගෙන් වරදක් සිදුව ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය සහ විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඊයේ (10) රාත්‍රී 12:25 ට පමණ රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු (3) විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් (2) පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පැමිණි එක් ත්‍රිරෝද රථයක ආදායම් බලපත්‍ර නොමැති බවට පොලීසිය දන්වා ඇති අතර, පසුව ඔවුන් ළඟ මත්ද්‍රව්‍ය ඇත්දැයි පොලීසිය විමසීමත් සමඟයි මෙම බහින්බස්වීම දුරදිග ගොස් ඇත්තේ.

පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථයේ පැමිණි එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මොවුන් ධීවරයන් පිරිසක් වන අතර, රාත්‍රියේ රැකියාවට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් කළහකාරීව පොලීසියට පහරදීමට උත්සාහ ගෙන ඇති අතර පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ආරක්ෂාව යොදා තිබුණා.

***************************************

රංගජීව ගෙන් මාධ්‍යවේදියාට වූ තර්ජනය ගැන, පාර්ශව රැසකින් විරෝධය

(11.07.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව විසින් ඊයේ (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර බලපෑම් එල්ල කළ සිද්ධිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වී කටයුතු කරන බවයි.

අදාළ ඡායාරූප මාධ්‍යවේදියා පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ඡායාරූපයක් ලබා ගෙන තිබෙනවා.

එහිදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව එම මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන අධිකරණ පරිශ්‍රයේ පිහිටි පොලිස් මුරපොල වෙත රැගෙන ගියා.

එම මාධ්‍යවේදියා අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි පොලිස් මුරපොලට සහ කොළඹ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

අවු 05 ක දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙක් සවල් පහරින් මරුට

(11.07.2020 – 09:58 +0530 – hirunews.lk/sinhala)

වයස අවු 05 ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පානදුර – මොරොන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ (10) රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබෙනවා.

පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

***************************************

කන්දකාඩු කොරෝනා පොකුර දෙවන රැල්ලක ආරම්භයක්ද ?

(11.07.2020 – 10:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවෙනි රැල්ලක අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (11) උදෑසන ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

වැලිකඩින් ඊයේ (10) වාර්තා වූ ආසාදිතයා කරණවෑමියෙක්

(11.07.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිත රැදවියා එම බන්ධනාගාරය තුළ කොණ්ඩා කපන අංශයේ කරණවෑමියෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් 170 කට ආසන්න පිරිසක් ද ඔහුගෙන් සේවය ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අදාළ බන්ධනාගාර අංශ සහ බන්ධනාගාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ තවත් කාන්තාවක කිරින්ද – මාරද්ද ප්‍රදේශයේ ද සංචාරය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණිය සමඟ ආශ්‍රිත සබඳතා පැවැත්වූ බවට හඳුනා ගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ 29 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂාවන් අද සිදුකෙරුණා.

එහි ප්‍රතිඵල අද (11) පස්වරුවේ ලැබීමට නියමිත අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ විමර්ශන සිදුකරනවා.

ඊයේ (10) වාර්තා වූ අවසන් ආසාදිතයන් තුන් දෙනා (3) කන්දනාඩු පුනරුත්ථාපන කදවුරේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා බව අනාවරණ වනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී එච්.ඒ. අබේරත්න සඳහන් කළේ ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු ඉන් පිටව ගොස් තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා සඳහන් කළේ මැදපෙරදිග සිට මෙරටට පැමිණ නිරෝධානයට ලක්වූ පිරිසක් එලෙස අද (11) දිනයේ නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු ද අද (11) උදෑසන දිවයිනට පැමිණියා.

කෙසේ නමුත්, විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තාවකාලිකව අඩාල කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමිත වීම ඇතුළු කරුණු කිහිපයක් සලකා මෙම තීරණයට එළඹි බවයි.

***************************************

ජල ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙනවා – අගමැති

(11.07.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ ​වාද්දූවේ පැවති ජනහමුවකදී.

වාද්දූව – තල්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ මෙම ජනහමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී, සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න – මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(11.07.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරතවීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්දේශ අනුගමනය කිරීම සියලු පාර්ශවවල වගකීමක් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ජනහමු පැවැත්වීමේදී මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ඇතුලු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මහජන නියෝජිතයන්ගේ, අපේක්ෂකයන්ගේ සහ සංවිධායකයන්ගේ සමාජ වගකීමක් බවයි.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළද තවමත් එම ගැසට් නිවේදනය නිකුත් කර නැහැ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිවරණ කොමිසන් සභාව වෙත ලබාදී තිබුණා.

කෙසේ වෙතත් එම මාර්ගෝපදේශන, නෛතිකව බලාත්මක වීමට නම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ නව ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන නෛතිකව ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

මේ අතර, ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද (11) සිට සිදුකෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම කටයුතු අද (11), හෙට (12) සහ අනිද්දා (13) යන දින තුනේදී සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 29 වනදායින් අවසන් වීමට නියමිතයි.

එදිනට පසු නිල ඡන්ද දැන්වීමක් නොලැබූ ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රය ලබා ගත හැකියි ෴

***************************************

අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ඇඳුම්, පැළදුම් සහිතව ගෙන් ගෙට යන පුද්ගලයින්ට නීතිය දැඩිවෙයි

(11.07.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ ඇඳුම් පැළදුම් සහිතව ගෙන් ගෙට යමින් ප්‍රචාරණ කටයුතුවල නිරතවීම නීතිවිරෝධී බැවින් එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියළු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මැතිවරණ පනතට අනුව එය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රචාරක දැන්වීමක් බවයි.

එසේම, එම වරද සම්බන්ධයෙන් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

***************************************

පිටරටට හුරු, ලංකාවට නුහුරු අලුත්ම විනයක් ළඟදීම මහ මඟට

(11.07.2020 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මංතීරු විනය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ වෛද්‍ය සායන අවස්ථාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පල කර සිටියා.

***************************************

ව්‍යාජ බාස්මතී සහල් වෙළඳපොළේ – පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීමක්

(11.07.2020 – 10:58 +0530 – hirunews.lk/sinhala)

බාස්මතී සහල් බවට ප්‍රකාශ කර, විදේශ රටවල සිට මෙරටට ගෙන්වා වෙනත් සහල් වර්ග අලෙවි කරන බව අනාවරණ වී තිබෙනවා.

ඒ, පාරිභෝගික අධිකාරියට ලද පැමිණිලි කිහිපයක් අනුව ලබා ගත් සහල් පිළිබඳ සිදුකළ රසායනාගාර පරීක්ෂණයේදී එම සහල් බාස්මතී නොවන බව තහවුරු වීමත් සමඟයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ එම රසායනාගාර වාර්තා මත පදනම්ව අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

තොග වශයෙන් සහල් ආනයනය කර අලෙවි කරන මෙවැනි පුද්ගලයන් හෝ ආයතනවලින් සහල් මිලදී ගන්නා වෙළදසැල් හිමිකරුවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පෙන්වා දෙනවා.

එමෙන්ම, බාස්මතී සහල් මිලදී ගැනීමේදී ඒවා බාස්මතී සහල් බවට තහවුරු කර ගැනිමෙන් පසු මිලදී ගැනීමට විමසිලිමත් වන ලෙසයි එම අධිකාරිය, පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ ෴

***************************************

කුඩු ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි

(11.07.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් එය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ නාවල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

***************************************

විදුලි සංදේශ කුළුණක් නිසා පීඩාවට පත්ව සිටින තැටිල්ලවල ජනතාව

(11.07.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, කන්දෙකැටිය – තැටිල්ලවල ගම්මානයේ කඳුමුදුනක ඉදිකර තිබෙන විදුලි සංදේශ කුලුණක් හේතුවෙන් ගම්මානයේ ජනතාවගේ ජීවිත මෙන්ම දේපලවලටද හානි සිදුවන පුවතක් අපට වාර්තා වුණා.

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ වසර කිහිපයක සිට පවතින මෙම අවදානමෙන් තමන් මුදවාගන්නා ලෙසයි.

‘රතු මිනිත්තුවේ’ අද (11) අවධානය ඒ පිළිබඳවයි.

කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම්ව පිහිටි තැටිල්ලවල ගම්මානයයි මේ.

2018 වර්ෂයේ දී මේ ගම්මානයේ කඳු මුදුනක විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමත් සමග ගම්මානයට අකුණුවලින් සිදුවන අනතුරු ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත ගම්වැසියන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයකටයි.

වැසි කාලය එළැඹීමත් සමග එම අවදානම තවත් උග්‍රවන බව ඔවුන් පෙන්වා දෙනවා.

එදිනෙදා ජීවිතය දැඩි පරිශ්‍රමයක් දරා සරි කරගන්නා තැටිල්ලවල ගම්මානයේ ජනතාව උපයාගත් සොච්චම් මුදලින් ගත් විදුලි උපකරණ බොහෝමයකට අද අත්ව ඇති ඉරණමයි මේ.

ඒ නිසා ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම විදුලි කුලුණ ඉවත් කර දෙන ලෙසයි.

***************************************

ශ‍්‍රී ලංකා විද්‍යාඥයන් පිළිකාවට බෙහෙතක් සොයාගනී.. ඇමරිකාවේ පේටන්ට් බලබත‍්‍රයත් ගනී…

(05.06.2020 – 22:12 +0530 – lankacnews.com)

අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි.

ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ‘ෆුල්විෆෝර්ම්ස් ෆස්ටුඕසස්’ (Fulviformes fastuosus) නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.

වසර 3 ක් තිස්සේ පර්යේෂණයේ නිරත ඔවුන්ට 2015 දී එහි ප්‍රතිපළ අත්විඳීමට හැකි වෙයි.

ඒ ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය.

ඉන් නොනැවතුණු එම කණ්ඩායම තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට සමත්වෙයි.

ඒ, අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සොයා ගන්නා ලද මෙම නව සංයෝගයෙන් මිනිස් ශරීරයේ නිරෝගී සෛල විනාශ නොවේ.

ෙලෝක ජනගහණයෙන් මිලියන 22 ක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙයි.

ඊට වාර්ෂිකව එක්වන ලාංකිකයින් ගණන 25,000 කි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව ඉන් වාර්ෂිකව මියයන පිරිස 14,000 කි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *