අඟුලාන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ (3) වැඩ තහනම්

(12.07.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධියට සම්බන්ධ අඟුලාන පොලිස් නිලධාරින් 3 දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ නියෝග මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුවයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අගුලාන පොලීසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු, කොස්තාපල් රියදුරෙක්.

පෙරේදා (10) රාත්‍රී 12:25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව – ලුනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් (2) නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා.

එහිදී අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වූයේ.

සිද්ධියෙන් මියගියේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ද අඟුලාන පොලීසිය ඉදිරිපිට ඊට එරෙහිව විරෝධතා සිදුකළ අතර, පසුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණා.

ඒ අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් සිදුකළ අභ්‍යන්තර විමර්ශනවලදී අනාවරණ වූ කරුණු මත අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ෴

මොරටුව – ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රියේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුවයි ෴

***************************************

කළු මල්ලීගේ සොහොයුරියගේ නිවසේ කොස්ගොඩ තාරකගේ අත්බෝම්බයක් සහ දුරකථනයක්

(12.07.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ට අයත් බවට සැකකෙරෙන ජංගම දුරකථනයක් සහ අත්බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඒ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානතම පුද්ගලයා ලෙස සැලකෙන ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලී’ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ කර ගත් තොරතුරු අනුවයි.

ඕපනායක මුත්තෙට්ටුව ප්‍රදේශයේ පිහිටි ‘කළු මල්ලි’ගේ සහෝදරියකගේ නිවස පිහිටි ඉඩමේ වළදමා තිබියදීයි මෙම අත්බෝම්බය සහ ජංගම දුරකථනය සොයා ගෙන ඇත්තේ.

පසුගිය 9 වනදා රාත්‍රියේ මුල්ලේරියාව – මිහිරි පෙදෙසේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් මත ආදුරුප්පුවීදිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් කළු මල්ලී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 230 ක් සමගින්.

මේ අතර, හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) සහ ජීව උණ්ඩ 750 ක් සමග අත්අඩංගුවට ගත් පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් රියදුරා කිසියම් අපරාධයක් සඳහා මෙම ගිනි අවි දෙක සහ උණ්ඩ භාවිත කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා ෴

***************************************

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙටින් (13) ඇරඹේ

(12.07.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිට ආරම්භ වනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7 ක් වෙන් කර ඇති අතර, ඒ අනුව, 13, 14, 15, 16, 17 සහ 20, 21 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිතයි.

හෙට (13) දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සැලසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

ඒ, තැපැල් ඡන්ද සලකුණු කරනු ලබන සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල, ආරක්ෂක අංශයේ සේවා ස්ථානවල කොරෝනා වසංගතය පාලනය සඳහා ක්‍රියාවට නැංවිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අධීක්ෂණය කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලයට ඍජුවම පැවරී තිබීම හේතුවෙන්.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දිනවලදී සිදුකෙරෙනවා.

පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි.

එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජුලි මස 20 සහ 21 වනදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

ඊට අදාළව දැනුවත් කිරිමේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ තැපැල් ඡන්ද දායකයින් ස්වකීය ඡන්දය සලකුණු කර ඇති ආකාරය කිසිවෙකුටත් සොයා ගත නොහැකි අතර, එය නිදහස් සහ රහස්‍ය ලෙස සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

යම් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්දය අවලංගු කරන බව ද මැතිවරණ කොමිසම නිවේදනය කළා.

***************************************

කොවිඩ් 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පාලනය කළ හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

(12.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ තත්ත්වය පාලනය කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (12) එක්වෙමින්.

කෙසේ වෙතත් තවදුරටත් විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

‘දෙවන රැල්ලක්’ ලෙස තවමත් හඳුනාගෙන නැහැ – අවධානයෙන් සිටීම වැදගත් – වසංගත රෝග විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

(12.07.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් සහ එම ආශ්‍රිතයන්ගෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම මෙරට ‘කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල’ ලෙස තවමත් හැඳින්විය නොහැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ තත්ත්වය එසේ වුවද ඕනෑම අවස්ථාවක දෙවන රැල්ලක් ඉස්මතුවීමේ අවදානමක් පවතින බවයි.

රෝගීන් හඹායාම සහ ප්‍රතිකාර කිරීම මෙම අවස්ථාවේ පවතින හොඳම විසඳුම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එය නිසි පරිදි කළමනාකරණය කළහොත් තත්වය පාලනය කළ හැකි වනු ඇති බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ තත්වය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් සාමාන්‍ය දෛනික ජීවිතය ගතකරන අතරතුර අනවශ්‍ය සංචරණයන් සීමා කිරීම වැදගත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු අද (12) දිවයිනට පැමිණියා.

ඔවුන් රැගත් යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්‍රිත රැකියාවල නිරතව සිටි පිරිසක්.

අද (12) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 28,637 ක් වාර්තාවී තිබෙනවා.

එය ඉන්දියාවෙන් මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 850,000 ඉක්මවනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් මරණ 551 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 22,500 ඉක්මවනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 534,000 කට වැඩි සංඛ්‍යාවක් මේි වනවිට සුවය ලබා තිබෙනවා.

මහාරාෂ්ඨ, තමිල්නාඩු, දිල්ලි, තෙලංගානා, කර්නාටක, අසෑම් සහ බිහාර් වැඩිම කොරෝනා වෛරස් ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රාන්ත වන අතර, ඒවායේ ආසන සංඛ්‍යාව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 78 ක්.

මේ අතර කොරෝනා වෛරස් ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර නනවති රෝහලට ඇතුළත් කෙරුණු සුපිරි බොලිවුඩ් නළු, 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ ඔහුගේ 44 හැවිරිදි පුත් අභිෂේක් බච්චන්ගේ තත්වය ස්ථාවර බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

මුම්බායි ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්ති කේන්ද්‍රයක් වන අතර, එහි ආසාදිතයන් 92,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 5,244 ක් මේ වනවිට වාර්තාවනවා.

එමෙන්ම ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන චේටන් චව්හාන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

ඉන්දියාව වෙනුවෙන් 70 දශකයේදී ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කළ ඔහු සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීම විශේෂයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි විසිඅට ලක්ෂ 47,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 67,734 ක්.

ඉන් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, 3,355,646 ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන අතර, එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 37,403 ක්.

බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 18 ලක්ෂයක් සහ මරණ 71,000 ක් වාර්තාවුණා.

මේ අතර, කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ හි පිහිටි ඩිස්නිලන්තය ඊයේ (11) නැවතත් මහජනතාව සඳහා විවෘත කෙරුණා.

ඒ සමඟම මුහුණු ආවරණ පැළඳි සිය ගණනක් ජනයා ඩිස්නි – විස්මලන්තය නැරඹීම සඳහා සමාජ දුරස්ථභාවය රකිමින් පෙළගැසී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇතැම් අය සිය මුහුණු ආවරණ සමඟ ඩිස්නිලන්තයට ආවේනික මිකී මවුස්ගේ කන් පැළඳ සිටි බව සඳහන්.

ඩිස්නිලන්තය යළි විවෘත වූයේ ෆ්ලොරිඩා ඇතුලූ ඇමරිකාවේ ප්‍රාන්ත රැසක කොරෝනා වෛරස් ආසාදිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබියදියි.

වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගියද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එය පාලනය කිරීමේ හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා භච්චන්ට ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ අමිතා භච්චන්ගේ බිරිඳ වන ඡයා භච්චන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැළි තාවකාලිකව නතර කරයි

(12.07.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාන කරන සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නතර කිරීමට කටයුතු කරන ලෙසට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන 13, 14, 15 දින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැළි අත්හිටුවීමටයි තීරණය වී ඇත්තේ.

ඊට අමතරව මෙවර මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධාන කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධාන කරන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

ප්‍රචාරක රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු පිළිබඳ ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පෙම් යුවලක් පොලිස් දැළේ

(12.07.2020 – 11:59 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 137,020.00 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පෙම් යුවලක් කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලීසියට ලද තොරතුරක් අනුව කුරුවිට, දොඩම්පේ – මණ්ඩදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී.

සැකකරුවන් මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රය සහ ඔවුන් සතුව තිබු මෝටර් රථයක්, ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විටත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 21 ක්, රුපියල් පන්සීයේ ව්‍යාජ නෝට්ටු 34 ක්, රුපියල් දහයේ ව්‍යාජ නෝට්ටු 2 ක් ඔවුන් සන්තකයේ තිබූ බවයි.

සැකකාර තරුණයා අනුරාධපුර, ලේකොළවැව, මහගල්කඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ පෙම්වතිය බව කියන 21 හැවිරිදි තරුණියගේ නිවසේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සිදුකර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයයට සහ ව්‍යාජ මුදල් මාරු කිරීමට අනුබල දුන් සහ දායක වූ 44 හැවිරිදි සමාදාන විනිසුරුවරයෙක් ද අත්අඩංගුවට ගත් බවයි.

කුරුවිට පොලීසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

(11.07.2020 – news.navy.lk)

නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් (04) සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර යාත්‍රාවක් මගින් යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට මුහුදු සැතපුම් 11 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමනය වීමට උත්සහ දරා ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට පේදුරුතුඩුව ප්‍රදේශ‍යේ පදිංචි අනෙක් පුද්ගලයින් දෙදෙනා ඩිංගි යාත්‍රාවක් මගින් 2020 ජුලි 10 වන දින පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් ඉන්දියාව දෙසට ගමන් කර සංක්‍රමනිකයින් යාත්‍රාව වෙත නංවාගෙන ඇති බවත් අනාවරණය විය.

තවද, ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්‍රදේශයන් හි පදිංචි ව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවයකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්වයක් හේතුවෙන් යාපනය ශික්‍ෂණ රෝහල වෙත පොලිස් ආරක්‍ෂාව යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා අද (2020 ජුලි 12) දින එම පුද්ගලයා පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය. එසේම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට සැක පල කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවට අනාවරණය කර ගන්නා ලදි. මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා (03) සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්‍ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද පීසිආර් පරික්‍ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යාත්‍රාව පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.

***************************************

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාර පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන්

(12.07.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය තුළ වාර්තාවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාර පිළිබඳව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු වරදක් සිදුකර ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ ෴

***************************************

covid-19 වර්තමාන තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය – පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡාවකට බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

(12.07.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ සඳහා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ, පහත සඳහන් දුරකථන අංක සහ ෆැක්ස් අංක යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

ක්ෂණික ඇමතුම් : 1988
ෆැක්ස් අංකය : 011 278 5818
Email : info@moe.gov.lk

මෙම අංක අමතා විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු අධ්‍යාපන බළධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ covid-19 සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලු පළාත් කලාප හා කොට්ඨාස තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වල අදාල තොරතුරු රැස්කර ගන්නා අතර, එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බලන බැවින් මෙම තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත් වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිළව මැදිහත් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියේ.

මේ අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලුදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අයහපත් තත්ත්වයක් ඇතිවුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවලට නැවත නිවාඩු ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්ද අද (12) පස්වරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ෴

***************************************

කොකාවිල් 30 වන විරු සැමරුම

(12.07.2020 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කොකාවිල් 30 වන ඓතිහාසික විරු සැමරුම ඊයේ (11) දිනයට යෙදී තිබුණා.

මේ ඒ වෙනුවෙන් අප කළ සොයා බැලීමක්.

මෙරට යුද ඉතිහාසයේ බොහොමයක් පවතින්නේ ලෙයින් කදුලින් ලියවුණු කතායි.

කුරිරු ත්‍රස්තවාදය හමුවේ සිය රුදිරයෙන් හා ජීවිතයෙන් වන්දි ගෙවමින් මාතෘභූමිය එක්සේසත් කිරීමට උදාර රණවිරුවන් ලබා දුන් දායකත්වය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසිවෙකුටක් කිසිදා අමතක කළ නොහැකියි.

ඒ මන්ද එවන් උදාර කැපකිරීම් නොකරන්නට මේ මාතෘභූමිය තවමත් මරණයේ පාරාදිසයක් වන නිසායි.

1990 වසරේ යුද්ධය පැවති සමයේ කොකාවිල් ප්‍රදේශයෙන් වාර්තා වූයේ තවත් එවැනි සංවේදී කතාවක්.

උතුර දකුණ යා වුණු සන්නිවේදන මධ්‍යස්ථානය වූ කොකාවිල් එකල භාරව සිටියේ ලුතිනල් සාලිය අලදෙණිය මහතායි.

සෙබළුන් 63 දෙනෙක් එහි සේවය කරනු ලැබුවා.

සැපයුම් මාර්ග තීරණය වූ මේ සන්නිවේදන කුලුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිය ග්‍රහණයට ගන්නට උත්සාහ කළේ වරක් දෙවරක් නොවේ.

ඒ අනුව මේ සන්නිවේදන මධ්‍යස්ථානයට පළමු ප්‍රහාරය එල්ල වන්නේ 1985 වසරේදීයි.

එය සාර්ථකව ව්‍යාර්ථ වුවද දෙවන ප්‍රහාරය එල්ලවුයේ 1990 වසරේ ජුලි මස 11 වනදායි.

එම දරුණු ප්‍රහාර හමුවේ තම දිවි පරදුවට තබා ත්‍රස්තවාදීන්ට එරෙහිව මිය යනතුරුම සටන් කරන්නටල ලුතිනන් සාලිය අලදෙණිය මහතා සමඟින් නොසැලී සිටින්නට කඳවුරේ සිටි අනෙක් රණවිරුවාද කටයුතු කළා.

දින 4 ක් පුරාවට පැවති දරුණු සටන් හමුවේල සාලිය අලදෙණිය මහතා සමඟින් තවත් රණවිරුවන් 63 දෙනෙක් සිය දිවි පුදනු ලැබුවේ රට ජාතිය වෙනුවෙනුයි.

ඒ අනුව එම ජීවිත පූජාව, සම්ප්‍රේෂණාගාරය රැකගැනීමටත් වඩා ජාතියේ, රට වැසියාගේ ජීවිත වෙනුවෙන් කළ දිවි පිදුමක් ලෙසිනුයි ඉතිහාසයට එක්වුණේ.

ඒ අසමසම දිවි පිදීම සිහිපත් කරමින් කොකාවිල් සැමරුවේ 30 වන ඓතිහාසික විරු සැමරුම ඊයේ (11) පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් පහන් දැල්වීමක්ද සිදුවුණා.

***************************************

වල් බිහිවූ ප්‍රාදේශීය සභාව

(12.07.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල ප්‍රාදේශීය සභාවේ භාවිතය සඳහා මීට වසර 6 කට පමණ පෙර ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

නාය යාමේ අවදානාමක් හේතුවෙන් ගොඩනැගිල්ල භාවිතයට නොගෙනම අතහැර දමන්නට බලධාරීන්ට සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එකල සිටි බලධාරීන් නිසි පරිදි පරිසර අධ්‍යනයන් සිදු නොකිරීමෙන් නිරපරදේ මහජන මුදල් වැය කර මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බවටයි.

එමෙන්ම ඇල්ල ප්‍රාදේශීය සභා පැරණි ගොඩනැගිල්ලද කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මෙලෙස වසා දමා තිබෙනවා.

නිරපරාදේ මහජන මුදල් නාස්ති වීමට ඉඩ නොදී ප්‍රයෝජනවත් ක්‍රියාවක් සඳහා ගොඩනැගිලි ද්විත්වය යොදා ගන්නා ලෙසටයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් මෙම ගොඩනැගිළි මතු පරම්පරාව උදෙසා ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකස් කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක්

(12.07.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට මෙන්ම නිලධාරීන්ට මගහැරිය නොහැකි වගකීමක්.

එහෙත් බලධාරී – නිලධාරී සියලු පාර්ශ්වවල අවධානයට යොමු නොවීමෙන් වකුගඩු රෝගයට නිරන්තරයෙන් ගොදුරු වන වැල්ලවාය ගම්මානයක් පිළිබඳවයි මේ තොරුතරු.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙබරාර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සමගිපුර ගම්මානයේ වෙසෙන පවුල් සංඛ්‍යාව 80 කට අධිකයි.

ඔවුන් මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස 2015 වසරේ අවසාන භාගයේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නළ ජල ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුණදල එය එම ජනතාව කබලෙන් ලිපට වැටීමේ තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය මගින් පිරිසිදු පානීය ජලය නොලැබීම හේතුවෙන් මෙම ජනතාවට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇත්තේ වකුගඩු රෝගවලටයි.

මේ වනවිට අදාළ ව්‍යාපෘතිය හරහා ජලය සැපයෙන්නේල සතියක් එක් වරක් පමණයි.

ඇතැම් අවස්ථාවල එම ජලයට ද ගල්කුඩු මිශ්‍ර වී ඇති ආකාරයද දක්නට ලැබෙනවා.

සමගි ගම්වාසීන් පෙන්වා දෙන්නේ, තමන් මුහුණ දී ඇති මෙම ගැටලුව පිළිබඳව කොතෙකුත් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.

***************************************

ගොවීන්ගේ සිහින බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු

(12.07.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු නොවූ පරිදිල එලෙස සරු අස්වැන්නක් නොලැබී යනවා නම් එය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ? එවැනිම තත්ත්වයකට මඩාටුගම ගම්වැසියන්ට මුහුණ පාන්නට සිදුව තිබෙනවා.

මහවැලි එච් කලාපයේ මඩාටුගම ගම්වැසියන් යල කන්නයේදී තම ජීවිකාව සපුරා ගැනීම වෙනුවෙන් තෝරා ගත්තේ උඳු වගාවයි.

මීට මාස කිහිපයකට පෙරාතුව ප්‍රදේශයේ මහවැලි ගොවි සංවිධානය මගින් ලබා දුන් උඳු බීජල අක්කර 100 කට වඩා වැඩි භූමි ප්‍රදේශයක වගා කිරීමට ගම්මානයේ ගොවී පවුල් 70 ක පමණ පිරිසක් කටයුතු කලේ අලුත් බලපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමින්.

සිය කන කර පවා උකසට තබමින්ල තිබූ සියලු සේසත වියදමි කරමින් ගොවීන් මෙවර උඳු වගාවට යොමු වුණේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟ පත්ව තිබූ ජීවන අරගලයෙන් මිදීම සඳහායි.

වන අලින් ඇතුළු වගාවට හානි කරන වන සතුන්ගෙන් මේ වගාව ආරක්ෂා කරගන්නට ගෙවීන් කටයුතු කළේ දිවා රෑ නිදි නොලබායි.

මාස කිහිපයක් ගතව ගොස් උඳු ශාකය සරුවට වැඩී ආවේ ගොවීන්ගේ බලාපොරොත්තු දෙගුණ තෙගුණ කරමින්.

ක්‍රම ක්‍රමයෙන් මල් හටගත් උදු ශාකයෙන් කිසිදු ඵලයක් හට නොගන්නා තත්ත්වයක් ඇති වූයේ ගොවීන්ගේ හීන සියල්ල බොඳ කරමින්.

මඩාටුගම ගම්වැසියන් චෝදනා කරන්නේ බලධාරීන් පැමිණ මේ පිලිබඳ සොයා බැලුවද අද දක්වාම මේ සදහා කිසිදු පිළියමක් ලබා නොදුන් බවටයි.

කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවයල ගොවියාගේ ජීවන තත්වය උසස් කිරීම ආදිය පිලිබඳව පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවේ එකපෙළට කතා වුවද, මේ උඳු ගොවීන් මුහුණ පා සිටින අර්බුදය පිලිබඳව විසඳුම් ලබා දෙන්නේ කවුරුන්ද ?

***************************************

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි – ගෙවිඳු කුමාරතුංග

(11.07.2020 – 15:08 +0530 – sinhala.adaderana.lk)

රට ලබා ඇති සියලු ජයග්‍රහණ තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුව ඇති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

මේ වන විට ජනාධිපතිවරයාගේ හා අගැමැතිවරයාගේ නායකත්වය යටතේ රට සුරක්ෂිතව ඇති නමුත් හෙට දවස වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බවයි ඒ මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මතුගමදී ඊයේ (10) පැවති ජන හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *