නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන්, අධිකරණයට රහස් ප්‍රකාශ – කංජිපානි ඉම්රාන් මාරුවක් ඉල්ලයි

(13.07.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් මහා පරිමාණ ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම හා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට යාත්‍රාවලින් හෙරොයින් තොග ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු රහස්‍ය ප්‍රකාශ ලෙස ලබාදීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණා.

එම සාක්ෂිකරුවන් සිය නිල මැදරියට කැදවා ඒ පිළිබදව විමසීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ.

එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් මොහු හරහා අලෙවි කර ඇති බවට සැකයක් පවතින බැවින් ඒ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීම සලකා බලමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ.

මේ අතර, තමන් රදවා සිටින සිර කුටියට බන්ධනාගාර නිලධාරීන් හැර වෙනත් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් ඇතුළුවීම තහනම් කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්’ හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින තමා දකුණු පළාතෙන් පිට බන්ධනාගාරයකට මාරු කරන යවන ලෙස ද අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ‘කංජිපානි ඉම්රාන්’ ඉල්ලා තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා ඇතුලු 9 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, තම ජීවිතයට එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් මෙවැනි ඉල්ලීමක් සිදුකරන බවයි ඔහු සිය පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් පැය එකහමාරක ප්‍රකාශයක්

(14.07.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අද (14) උදෑසන ඔවුන් පැය එක හමාරකට අධික කාලයක් අදාළ රහස් ප්‍රකාශය ලබාදී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් මෙම ජාවාරමට අදාළව ඔවුන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අද (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් අද (14) සිය නිල මැදරියට කැදවා අදාළ රහස් ප්‍රකාශ ලබා ගත්තේ ෴

***************************************

මැතිවරණයේ දී විමල්ගේ සහයට ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එක්වෙයි

(13.07.2020 – 21:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට තීරණය කර තිබෙනවා.

ඔහු පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධාන්තවයෙන් පැවති දෙමළ ව්‍යාපාරික හමුවකටද එක්වුණා.

මෙම හමුවට කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් එක්ව සිටියා.

***************************************

නාවික හමුදාපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

(14.07.2020 – 06:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) සිට අද්මිරාල් නිලයට උසස් කර තිබෙනවා.

හෙට (15) දිනයේ දී විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදාපතිවරයා ඊයේ (13) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

මීට පෙර නාවිකා හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබුණා ෴

***************************************

පොලිස් මාර්ග බාධකයක රාජකාරී කළ කොස්තාපල්වරයෙක් යටකර ටිපර් රථක් පලා යයි

(14.07.2020 – 06:35 +0530 – hirunews.lk/sinhala)

හක්මන – කෝන්ගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් යට කරගෙන ටිපර් රථයක් ඊයේ (13) රාත්‍රියේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) තුවාල ලැබූ අතර ඉන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි නිලධාරියෙක්.

අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.

+++++++++++++++++++++

පොලිස් නිලධාරීන් යටකර පලාගිය ටිපර් රථය සොයා ගනී

(14.07.2020 – 11:43 +0530 – sinhala.adaderana.lk)

මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය, රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබේ.

රන්න, කට්ටකඩුව, ගෝටයිම්බරගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නතර කර තිබිය දී අදාළ ටිපර් රථය සොයාගෙන ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

ඊයේ (13) රාත්‍රියේ, ටිපර් රථ රියදුරෙකු සිදුකළ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු (2) බරපතළ තුවාල ලබා තිබුණි.

ටිපර් රථ රියදුරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

+++++++++++++++++++++

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ හක්මන අනතුර සිතා මතා සිදුකර ඇති බව හෙළිවෙයි

(14.07.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

හක්මන – කෝන්ගල – 13 කණුව මාර්ග බාධකයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් ටිපර් රථයක රියදුරු විසින් යටකර ඇත්තේ සිතාමතා ඔවුන් ඝාතනය කිරීමේ අරමුණින් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර සිට හක්මන දෙසට ධාවනය වූ මෙම වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය නතර කරන ලෙසට දැනුම් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ටිපර් රථය නොනවත්වා හක්මන දෙසට ධාවනය කිරීම නිසා ඉදිරියෙන් තිබූ මාර්ග බාධකයේ නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව හක්මන 13 කණුව මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂා කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටි නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ රියදුරුට අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දඬ කොළයක් නිකුත් කර මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් හක්මන දෙසට ධාවනය වූ එම ටිපර් රථය යලිත් විනාඩි 10 කට පමණ පසු මාතර දෙසට පැමිණ මාර්ග බාධකය අසල රාජකාරියේ යෙදී සිටි හක්මන පොලිසියට අනුයුක්ත සේවය කරන මෙම පොලිස් නිලධාරීන් තුන්දෙනා යට කර පළාගොස් තිබෙනවා.

අනතුරුව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇත්තේ.

මිය ගිය කොස්තාපල්වරයා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ දඩ කොළය ලබාදෙන අවස්ථාවේදී ටිපර් රථයේ රියදුරු විසින් “උඹලා යටකරලා මරලා හිරේ ගියත් කමක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට අනතුරට ලක්කර පළාගිය ටිපර් රථය හුංගම ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

එහි හිමිකරු හඳුනාගෙන ඇති අතර, රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 06 මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 519 දක්වා ඉහළට

(14.07.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 440 ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 800 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට ලක් කර ඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඊයේ (14) දිනයේදී අනුරාධපුර – රාජාංගණය යාය 1, 3 සහ 5 යන ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

දැනට රාජාංගණය ප්‍රදේශයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ (13) දිනයේදීත් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගියා.

ඉන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ 11 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයා ගනු ලැබූ අතර, රාජාංගණය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙකු (2) වාර්තා වුණා.

මීට අමතරව මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් දෙදෙනෙකුටත් (2) කොරෝනා ආසාදනය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 11 කට කොරෝනා

(13.07.2020 – 19:45 +0530 – sinhala.adaderana.lk)

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 11 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2642 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට ද අද (13) කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය.

කෙසේ වෙතත්, වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981 කි ෴

***************************************

මීගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී සැකකරුවකු ජීවිතක්ෂයට

(14.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ආ රැඳවියෙකු රෝහලෙන් පැන යාමට තැත් කිරීමේදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙනුයි මොහු බන්ධනාගාර ගත කර ඇත්තේ ෴

***************************************

තැපැල් ඡන්දය අද (14) දෙවන (2) දිනටත්

(14.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන (2) දිනය අදයි.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමයි අද (14) සිදු කෙරෙන්නේ.

ඊයේ (13) දිනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩල සඳහා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර, පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ මේ මස 16 සහ 17 වනදායි.

එම දිනවලදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ලබන 20 සහ 21 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

මෙවර මහමැතිවරණයට අදාලව තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් හත්ලක්ෂ පන්දහස් අසුපහක් (7,05,085)සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර, කල් දමනු ලැබූ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (15) මැතිවරණ කොමිසම රැස්වනවා.

ඒ අනුව බොහෝ විට එම ඡන්ද විමසීම කල් දැමුණු දින සිට දින 14 කට පසුව අදාළ ඡන්ද විමසීම පවත්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය සලකා බලා රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව නතර කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, වෙනත් නිරෝධායන කලාප හා ස්වයං නිරෝධානයට ලක් කර ඇති නිවෙස් වෙත නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතියට යටත්ව තීරණය කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය මැතිවරණය පැවැත්වීමට කිසිදු ගැටළුවක් නොවන බවයි ෴

***************************************

කොරෝනා, වාහන ලියාපදිංචියත් ඉහළ දමයි

(14.07.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පෞද්ගලික වාහන හිමිකාරත්වයක් දැරීමට වැඩි දෙනෙකු පෙළඹීම නිසා පසුගිය ජුනි මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මැයි මාසයේ ලියාපදිංචි කෙරුණු 17,313 ක් වූ මුළු වාහන සංඛ්‍යාවට සාපේක්ෂව ජුනි මාසයේදී එමෙන් දෙගුණයක් පමණ එනම් වාහන 32,123 ක් ලියාපදිංචි කර ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

එහිදී මැයි මාසයට සාපේක්ෂව අලුත් මෝටර් රථය ලියාපදිංචිය ද දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එලෙස ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 316 ක්.

ජුනි මාසයේදී වෑන් රථ, ත්‍රිරෝද රථ මෙන්ම යතුරුපැදි ලියාපදිංචිය ද මැයි මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂත්වයක් ෴

***************************************

ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ විභාග කල් දැමේ

(14.07.2020 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අනුරාධපුර – රාජාංගණය ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු ද කළමනාකරණ පීඨයේ අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

එම ශිෂ්‍යයා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන සිටින පවුලක අයෙකු බව සඳහන්.

සෞඛ්‍ය උපදේශන මත විභාගය පැවැත්වීමේදී දුරස්ථභාවය සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කියා සිටියා ෴

+++++++++++++++

යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චි තාක්ෂණික විද්‍යාපීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ සහෝදරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමඟ එම පීඨය සම්පූර්ණයෙන් වසාදමා තිබෙනවා.

එම ශිෂ්‍යාවද පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වර්තා වෙන්නේ ෴

***************************************

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම නවතී

(14.07.2020 – 10:59 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව නතර කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවය.

ඒ අනුව එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බව සඳහන් වේ.

ඇතැම් නඩු විභාග කටයුතුවල දිනයන් දිර්ඝ කිරිමට ද පියවර ගෙන තිබේ.

මේ අතර බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරිමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි ෴

***************************************

අනවශ්‍ය ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට එන්න එපා

(14.07.2020 – 10:34 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

“ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500 කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ ඇති අතර එහෙත් සේවාවන් සැපයිය හැක්කේ එක් දිනකට 1300 කට පමණි”.

මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.

රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සලසා ඇති බැවින්, සේවාලාභීන්ට එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාව ද පවතින බව අමාත්‍යාංශය පවසයි.

සාමන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී ෴

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද සිට තාවකාලිකව නවතයි

(14.07.2020 – 09:20 +0530 – sinhala.adaderana.lk)

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය තුළ නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තාවකාලිකව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම නතර කළ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

***************************************

තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීරණය

(14.07.2020 – 07:59 +0530 – sinhala.adaderana.lk)

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

‘අද දෙරණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලැබෙන තුරු අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම නවතා දැමීමට පියවර ගත් බවය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ (13) දිනයෙන් ආරම්භ කෙරුණු අතර සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන කිසිදු නිවසක් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරී සිදුනොකළ බව ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රදේශ සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඉදිරි දිනක දී සිදුකිරීමට නියමිතය.

මෙවර තැපැල් කාර්යාල 2000 කට වැඩි සංඛ්‍යාවක තැපැල් සේවකයින් 8000 කට ආසන්න සංඛ්‍යාවක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු සිදුකරයි.

පසුගිය 11 සහ 12 යන දෙදින තුළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුවට මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදුන් අතර මේ වන විටත් ඒවා තැපැල් කාර්යාල වෙත යවා ඇති බව සඳහන්ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් කටයුතු ලබන 29 වැනිදායින් අවසන් කිරීමට නියමිතය.

කෙසේවෙතත් 19 සහ 26 යන දිනයන් විශේෂ බෙදීම් දිනයන් ලෙස නම් කර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *