අපි කියන විදිහට වැඩ කරන්න නැත්තං පෙන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නෙ – FCID නිලධාරීන් කිව්වා

(13.07.2020 – 20:06 +0530 – sinhala.adaderana.lk)

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන කොමිසම හමුවට කැඳවා තිබුණි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක මහතා දේශපාලන කොමිසම හමුවේ කියා සිටියේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව තමන් අවස්ථා 4 කදී මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FCID) හමුවේ පෙනී සිටි බවය.

දිවිනැගුම සහනාධාරලාභීන්ට සිය නිවාස අලුත්වැඩියා කරගැනීමට රුපියල් 10,000 බැගින් ලබා දීම, දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී සිය කැමැත්තෙන් ඉවත් වූ සේවකයින්ට පිරිනැමූ වන්දි සහ පාරිතෝෂික මුදල් පිළිබඳ හා දිවිනැගුම ලිත් මුද්‍රණය කිරීම පිළිබඳ එහිදී කරුණු විමසූ බව ඔහු කියා සිටියේය.

“අපි කියන විදිහට වැඩ කරන්න ඕනේ , නැත්තං පෙන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නෙ” යනුවෙන් FCID නිලධාරීන් ප්‍රකාශ කළ බවත් ඔහු එහිදී පැවසුවේය.

එම විමර්ශන අතරතුර FCID නිලධාරීන් බැසිල් රාජපක්ෂ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එවක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ තමා අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රාත්‍රී 10 ට පමණ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.

කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා විමසුවේ රාත්‍රී 10 වන විටත් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටියේ ද යන්නයි.

මහෙස්ත්‍රාත්වරයා රැඳී සිටි බව සඳහන් කළ බව රණවක මහතා පැවසුවේ එදින තමා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවය.

එම මහෙස්ත්‍රාත්වරයා ධම්මික හේමපාල මහතා බවත් ඔහු පැවසුවේය.

මේ අතර, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසම හමුවේ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතාද අද (13) පෙනී සිටියේය.

සාක්ෂි ලබා දෙමින් ඒ මහතා පැවසුවේ 2015 වසරේදී ඇවන් ගාඩ් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට උපදෙස් ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවය.

පසුව එම ලිපිවල ඔහුගේ නම සඳහන් නොකරන ලෙස තමන්ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ද ඔහු කොමිසම හමුවේ පැවසීය.

සාක්ෂිකරු කියා සිටියේ ස්වයංක්‍රිය ගිනිඅවි ළඟ තබාගැනීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් තමාට සාවද්‍ය චෝදනා ගොනු කරමින් දේශපාලනික වශයෙන් පළිගැනීමක් සිදු කළ බවය.

***************************************

මුහුදේ ගිලී දැරියන් දෙදෙනෙක් (2) මරුට

(13.07.2020 – 17:15 +0530 – sinhala.adaderana.lk)

පයාගල, තුඩාව මුහුදු තීරයේ දියේ ගිලී දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්ව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් දෙදෙනා එකම පවුලේ සමාජිකයින් බවය.

මෙම දැරියන් දෙදෙනා ඇතුලු 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී එකවරම පැමිණි සැඩ රළ පහරකට අසුවී එම කණ්ඩායමෙන් 5 දෙනෙක් ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී තිදෙනෙකුගේ (3) දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී තිබේ.

අතුරුදන්ව ඇති දැරියන් දෙදෙනා (2) සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරමින් සිටියි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ අවුරුදු 10 ක් සහ අවුරුදු 5 ක් වයසැති දැරියන් දෙදෙනෙකි.

මෙම පිරිස බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විවාහ උත්සවයකට සහභාගිවීමට පැමිණි පිරිසක් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

+++++++++++++++++++++

මග්ගොන – උස්වැල්ල වෙරළ තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ දැරියන් දෙදෙනාගේ (2) සිරුරු සොයා ගැනේ

(14.07.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පයාගල – මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එකම පවුලේ දැරියන් දෙදෙනෙකු සිරුරු අද (14) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පයාගල වෙරළ තීරයේ එම සිරුරු ගොඩ ගසා තිබියදී පොලීසියට ලද තොරතුරකට අනුව ඒවා සොයා ගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 සහ 15 ක් වන දැරියන් දෙදෙනෙක්.

ඔවුන් ඊයේ (13) පස්වරුවේ සිය ඥාතියෙකු සහ තවත් දරු දැරියන් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට යාමේදී රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වුණා.

ඉන් අනතුරුව පොලීසිය සහ නාවික හමුදාව ඔවුන් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා ෴

***************************************

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි

(13.07.2020 – 12:32 +0530 – sinhala.adaderana.lk)

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි.

ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක් (½), කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් එක් දිනක් (1), කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක් (1½), කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් (2) වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි.

නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ද ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි ෴

***************************************

නාකොටික් ජාවාරමට අත්අඩංගුවට ගත් නිලධාරියෙකුගේ නිවස, රස පරීක්ෂක පිරික්සයි

(14.07.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ මේ විට රදවාගෙන ප්‍රශ්න කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ මිනුවන්ගොඩ – හොරැන්පැල්ල ප්‍රදේශයේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

එසේම සැකකරුවන් සහල් මළු තුළ මත්කුඩු ඇසුරූ ස්ථානයක් ද ඊයේ (13) පරීක්ෂාවට ලක්වුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේම පිහිටි මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අද (14) උදෑසන ඔවුන් පැය එක හමාරකට අධික කාලයක් අදාළ රහස් ප්‍රකාශය ලබාදී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් මෙම ජාවාරමට අදාළව ඔවුන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අද (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින්, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම හා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට යාත්‍රාවලින් හෙරොයින් තොග ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන් දන්නා තොරතුරු රහස්‍ය ප්‍රකාශ ලෙස ලබාදීමට කැමැත්තෙන් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

ඒ අනුවයි එම සාක්ෂිකරුවන් අද (14) සිය නිල මැදරියට කැදවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ රහස් ප්‍රකාශ ලබා ගත්තේ ෴

***************************************

මහින්ද දේශප්‍රියගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක්‌

(14.07.2020 – colombotoday.com)

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් පිටතට පැමිණ සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව පවසමින් සභාපතිවරයා අදාළ ලිපිය යොමුකර ඇති බව සඳහන්ය.

මෙහිදි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාළ ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුව ඇති බවය.

එම නිසා එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේ ද, යන්න පිළිබඳ සොයා බලන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

එලෙස හැකියාවක් පවතින්නේ නම් වහාම අදාළ ක්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ ෴

***************************************

රවී, ඇලෝසියස් ඇතුළු පාර්ශවකරුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න නීතිපතිගෙන් නියෝග

(14.07.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් 2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ප්‍රකාශක් ලබාගෙන එය ජුලි 25 වනදාට පෙර ඉදිරිපත්කරන ලෙසට නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

***************************************

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්

(14.07.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි ජාවාරම්කරුවන්ටම ලබාදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් භාරයේ තබාගෙන සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියේ 13 වන සැකකරු වන අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 12 දෙනෙකු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්, මත්කුඩු අලෙවි කළ බව කියන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොට්ටාවේ රජිත හසන්ත’ හෙවත් ‘ලොකූ’ නැමැත්තාට අයත් මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේදීයි ෴

***************************************

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා

(14.07.2020 – 14:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන් පිළිබඳ හිරු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් අප තොරතුරු අනාවරණ කළා.

ඊට අවධානය යොමු කරමින් පසුගියදා කර්මාන්තය නගා සිටුවීම සඳා නිසි වැඩපිළිවෙළක් සකසාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පෙරොන්දු වී තිබෙනවා.

***************************************

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්

(14.07.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනාව කඩිනමින් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (13) පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගලට මහතා උපදෙස් ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ 2019 වර්ෂයට අදාල දිරි දීමනා ගෙවීම සිදුකෙරෙනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැපවීමෙන් සිය සේවය ඉටුකිරීම රජයක් වශයෙන් අගය කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

කොවිඩ් අර්බුදය සමයේ වුවත් සේවකයින්ට හිමිවිය යුතු දිරි දිමනාව ලබාදීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු සේවකයින්ගේ ගෞරවය සහ ස්තූතිය පළකරන බව මෙහිදී දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.

***************************************

ගාල්ලේ හොර කච්චේරියක් වටලයි

(13.07.2020 – 22:36 +0530 – lankadeepa.lk)

රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජව සකස් කරන රහසිගතව ස්ථානයක්, ගාල්ල කරාපිටිය දෙමහල් නිවසක පවත්වාගෙන ගිය පුද්ගලයෙකු නිලමුද්‍රා ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන රාශියක් සමඟ එම ස්ථානය වටලා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

එම ස්ථානයේ තිබූ විවිධ රාජ්‍ය ආයතන වලට අයත් නිල මුද්‍රා 88 ක්, නිල මුද්‍රා සකසන යන්ත්‍රයක්, ව්‍යාජව සකස් කරන ලද ජාතික හැදුනුම්පත් 8 ක්, රියදුරු බලපත්‍රයක්, උප්පැන්න සහතික, මුද්‍රණ යන්ත්‍රයක්, විවාහ සහතික, ව්‍යාජ මාසික විදුලි බිල් ඇතුළු ලිපි ලේඛන මෙන්ම විදේශගත වන පුද්ගලයන්ගේ වත්කම් පෙන්විය හැකි ලිපි ලේඛන රැසක් පොලිස් භාරයට ගෙන ඇත .

ගාල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අයත් නිල මුද්‍රාවට සමාන නිල මුද්‍රාවක් ද ඒ අතර තිබී සොයා ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසීය.

***************************************

කොටි යළි හිස ඔසවන්න හදන හැටි

(10.07.2020 – aruna.lk කතුවැකිය)

කොටි සංවිධානය යළි සක්‍රීය බව සනාථ වන තවත් සිදුවීමක් පසුගිය සෙනසුරාදා (04 වැනිදා) යාපනය අයියකච්චි ප්‍රදේශයෙන් වාර්තා විය. බෝම්බයක් නිපදවමින් සිටි අයකු එය පුපුරා යෑමෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කළ අතර එම පුද්ගලයා ඊයේ (08 වැනිදා) අනුරාධපුර රෝහලේදී මිය ගියේය. මෙම පුද්ගලයා බෝම්බ නිපදවා ඇත්තේ ජූලි 05 දාට යෙදී තිබුණු කළු කොටි දිනය වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානයකදී පුපුරවා හරින්නට යැයි මේ වන විට අනාවරණය වී තිබේ. එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීම යාපනය හා ඒ අවට සුළු පිපිරවීම් කරනු ලැබුවේද තමන්ගේ මූලිකත්වයෙන් බව ඔහු ආරක්ෂක අංශ හමුවේ අනාවරණය කර තිබේ.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු යළි කොටි නැගිටීමක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැත. එසේ වුවත්, එවකට පැවති ආණ්ඩුව කොටි සංවිධානය හා එහි හිටපු සාමාජිකයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීම අත්හලේ නැත. යුද්ධයෙන් පසු දොළොස් දහසක (12,000) කොටි සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කොට සමාජයට මුදා හැරියත් ඔවුන් ගැන පරීක්ෂාවෙන් සිටීමට පියවර ගෙන තිබුණේ ඒ නිසාය. මේ අනුව පුනරුත්ථාපනය කොට සිවිල් ආරක්ෂක බළකායට පවා කොටි සාමාජිකයන් ඇතුළත් කරගත් නමුත් ඔවුන් සිය පදිංචිය වෙනස් කිරීම පවා, හමුදාවට වාර්තා කළ යුතුව තිබිණ.

ඩයස්පෝරාවට හා දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළත් දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂවලට උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීමට අවශ්‍ය වූයේ මේ නිසාය. 2015 වසරේ යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු පුනරුත්ථාපනය කෙරුණු කොටි සාමාජිකයන් පිළිබඳ සොයා බැලීම අත්හැර දමන ලද අතර උතුරේ යුද හමුදා බලයද අඩු කිරීමට පියවර ගත්තේය.

පසුගිය සෙනසුරාදා යාපනය අයියකච්චි හිදී පිපිරීමත්, එහි ප්‍රතිඵලයක් යැයි කිව හැකිය. මෙම පිපිරීමෙන් මියගිය පුද්ගලයා යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය කෙරුණු කොටි බුද්ධි අංශයේ කටයුතු කළ අයකු බව තොරතුරු අනාවරණය වී තිබේ. පිපිරීමෙන් පසු අත්අඩංගුවට ගත් තවත් අයකු සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකි. ඔහුද හිටපු කොටි සාමාජිකයෙකි.

මෙය යුද්ධය අවසන් වීමෙන් පසු වාර්තා වූ මෙවැනි 14 වැනි සිදුවීමය. වාර්තා නොවූ සිදුවීම් කොතෙක්දැයි කිව නොහැකිය. සෙනසුරාදා පිපිරීමෙන් මියගිය කොටි සාමාජිකයා මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේ සිට බවට ද තොරතුරු හෙළි වී තිබේ. මේ නිසා කොටි සංවිධානයට යළි පණ දෙන්නට අවශ්‍යතාව ඇත්තේ කාටදැයි යන කාරණයද පැහැදිලිය. යුද්ධයෙන් පසු කොටි සංවිධානයට සහය දැක්වූ සංවිධාන 16 ක පුද්ගලයන්ට රටට ඇතුළු වීමට පනවා තිබූ තහනම යහපාලන ආණ්ඩුව විසින් ඉවත් කිරීමද ඉබ්බා දියට දැමීමක් සේ වී තිබේ.

කෙසේ වෙතත් ඒ සියල්ල අතීතයට අයත් කාරණාය. ඒවා වෙනස් කිරීම දැන් කළ නොහැකි අතර, දැන් කළ යුතුව ඇත්තේ එවැනි අතපසුවීම් හෝ වැරදි යළි සිදු වන්නට ඉඩ නොතැබීමය.

ඒ සඳහා පළමුවෙන් කළ යුත්තේ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් යළිත් වරක් ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා යොමු වෙමින් සිටින බව පිළි ගැනීමය. පසුගිය කාලයේ එවැනි ප්‍රවෘත්තියක් වාර්තා කිරීම ඇතමකුගේ සිනහවටත්, ආණ්ඩුවේ විරෝධයටත් ලක්වීමට හේතුවක් විය. යුද්ධයෙන් විනාශ කළ මූල්‍ය. පරිපාලන, අධිකරණ ආදී ව්‍යූහයන් සහිත සංවිධිත කොටි සංවිධානයක් වහාම ඇතිවනු ඇතැයි අප විශ්වාස කරන්නේද නැත. එහෙත් දැනට පවතින තත්ත්වය සුළුකොට තැකීම නුවණට හුරු නොවන බවද කිව යුතුය. ප්‍රභාකරන් 1975 වර්ෂයේදී ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයට යොදා ගත්තේ ගිනිකූරුවලින් ලබාගත් වෙඩි බෙහෙත්වලින් තනාගත් උණ්ඩය. ඒ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය 1987 වන විට ඉන්දීය හමුදාව සමග සටන් කරන තරමට වර්ධනය වී තිබිණ.

හිටපු කොටි සාමාජිකයන් හෝ අලුතින් එක් වූ අය හෝ බෝම්බ හදන්නේත්, ඒවා තැන තැන පුපුරුවන්නට කටයුතු කරන්නේත්, දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීමෙන් බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් දෙමළ ඩයස්පෝරාව එසේ කරන්නේ දෙමළ ජනතාවට විමුක්තියක් උදා කිරීමට නොව තමන්ගේම සුබසිද්ධිය සඳහාය. උතුරු නැගෙනහිර යම් යම් සිදුවීම් ඇතිවන විට ඒවා පෙන්වමින් බටහිර රටවල තවදුරටත් රැඳී සිටින්නට අවස්ථාව ලබාගත හැකි බැවිනි.

මේ අයගේ මෙම සෙල්ලම නැවැත්වීමට නම් යළිත් වරක් හිටපු කොටි සාමාජිකයන් පිළිබඳ තොරතුරු සොයා බැලීම කළ යුතු වනු ඇත. අවශ්‍ය අය යළි පුනරුත්ථාපනය කිරීමටද සිදුවනු ඇත. එහෙත් සන්නද්ධ දේශපාලනයේ නිරත වූවකු පුනරුත්ථාපනය කිරීම යනු ඔහුට වඩුවැඩ හෝ මේසන් වැඩ හුරුවක් ලබා දීම නොවන බවද සිහිපත් කළ යුතුව තිබේ. ජීවන මාර්ගයක් සලසා දීම යනු පුනරුත්ථාපනයේ එක් අතිරේක කාරණයක් පමණකි. මූලික අවධානය යොමුවිය යුත්තේ සන්නද්ධ දේශපාලනයට, බෙදුම්වාදයට හුරුකොට ඇති අයගේ මනස ඉන් නිදහස් කර ගැනීම කෙරෙහිය. පුනරුත්ථාපනය කෙරුණු කොටි සාමාජිකයන් යළිත් සන්නද්ධ ක්‍රියාවන්ට යොමුවීමෙන් පෙනී යන්නේ ඔවුන් විෂයෙහි කෙරුණු පුනරුත්ථාපනය පූර්ණව සිදුව නොමැති බවය. ආයුධ සන්නද්ධ පිරිස් මැඬලීම ආරක්ෂක අංශවල වගකීම වුවත්, ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම ආරක්ෂක අංශවලට පමණක් කළ හැකි දෙයක් යැයි අප විශ්වාස කරන්නේ නැත.

පසුගිය සෙනසුරාදා අත්වැරදීමකින් බෝම්බය පුපුරා නොගියේ නම් එය පුපුරවා හරින්නට නියමිතව තිබුණේ ඊට පසු දිනය. එසේ වූයේ නම් එය නිපදවීමට මුල් වූ තැනැත්තා හෝ ඔහු සමග සම්බන්ධ වී සිටි කිසිවකු ගැන තොරතුරු අනාවරණය ‌නොවීමට ඉඩ තිබුණි. ඉන් කියැවෙන්නේ උතුරු නැගෙනහිර බුද්ධි අංශවල යම් දුර්වලතාවක් ඇති බවද? බෝම්බයක් අත්වැරදීමකින් පුපුරා ගිය පසු නොව ඊට පෙර මෙවැනි සිද්ධි ගැන තොරතුරු සොයා ගන්නට බුද්ධි අංශවලට හැකි විය යුතු බව ආරක්ෂක බලධාරින්ට සිහිපත් කළ යුතුව තිබේ.

කොටි ක්‍රියාකාරකම් මෙහෙයවන්නේ ඩයස්පෝරාව විසින් නම් ඔවුන්ට රට තුළ ක්‍රියාත්මක වීමට ඇති ඉඩ අහුරා දැමීමද අවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. ඩයස්පෝරාව සමග සම්බන්ධ කොටි හිතවාදී සංවිධාන 16 කට මෙරටට ඇතුළු වීමට තිබූ තහනම පසුගිය ආණ්ඩුව විසින් ඉවත් කෙරුණු බව අපි ඉහත සඳහන් කළෙමු. ඒ අවසරය තවමත් ක්‍රියාත්මකව පවතින අතර තවදුරටත් එය එසේම තිබෙන්නට හරින්නේද යන්න ආණ්ඩුව වහාම තීරණය කළ යුතු කාරණයකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *