තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

(14.07.2020 – colombotoday.com)

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් කලවාන ප‍්‍රදේහයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.

මෙම සිවු දෙනාම (4) කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ද රාජකාරිවල යෙදී සිටි අය වේ.

ඔවුන් සියලු දෙනාගේම සමීපතමයන් නිරෝධායන කදවුර වෙත යොමු කර ඇති බව ද කන්නන්ගර මහතා පවසයි.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ මොබිටෙල් මූලස්ථානය වසා දමයි

(14.07.2020 – colombotoday.com)

කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක් (2)… ස්ථාන කිහිපයකම සංචාරය කරලා

(14.07.2020 – colombotoday.com)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු (2) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු සහ ඔහු සමඟ ගමන් ගත් රියදුරෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

රියදුරා වශයෙන් කටයුතු කළ ආසාදිතයා පසුගියදා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකටද සාක්ෂි ලබාදී ඇති බව හෙළිවී තිබේ.

පසුව තම බිරිඳ සමඟ මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති අතර ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකම සංචාරය කර ඇත.

ඔහු සාද කිහිපයකට ද සහභාගි වී ඇතැයි ද හෙලිව තිබේ.

උපදේශකයෙකු වන අනෙක් ආසාදිතයා ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර දානමය පිංකමකටද සහභාගී වී ඇත.

ඔවුන්ගේ සමීප ආශි‍්‍රතයන් සියළු දෙනා මේ වනවිට ස්වයං නිරොදායනයට යොමු කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

හෝමාගම සහ ගොඩගමින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු (2) හමුවේ

(14.07.2020 – colombotoday.com)

කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු (2) හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.

ඔවුන් නිවාඩු ලබා නිවසට පැමිණ ගමන් බිමන් ගියේ ස්ථානයන්හි පුද්ගලයන්ද සොයා ස්වයං නිරෝධායනට ලක්කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

(14.07.2020 – colombotoday.com)

රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.

එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝනා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක් – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

(14.07.2020 – colombotoday.com)

“ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා” යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව රූපවාහිනි නාලිකාවක වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා පැවසුවේය.

“මේ සතිය ඉතාමත් වැදගත් වනවා. සතිය තුළ රටේ ජනතාවට කියන්නේ, එළියට යම් කොටසක් ඇවිල්ලා හිටියා මේ ගැන නොදැන නිවාඩු ඇවිල්ලා ඉඳලා. කන්දකාඩුවල වාර්තා වෙනකොට ම අපි ඔක්කෝම ඇතුළ ට ගත්තා. නමුත් ඔවුන් සමාජයේ ගැටුණ තැන් තියෙනවා. ඒ නිසා මේක සමාජයට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ.”

සියලු දෙනා බොහෝ කැපකිරීම් කර රැකගත් මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා එහිදී පැවසීය.

“යම්කිසි අවධානමක් ඊළඟ දින තුන හතර පහ තුළ තිබෙනවා” යනුවෙන් ද පැවසු යුද හමුදාපතිවරයා, “මුඛ ආවරණය නිකට ආවරණයක් කර නොගෙන, අපි රැකෙන්න. ආසාදිතයෙක් නොවෙන්න. තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න කටයුතු කරන්න” යැයි ඉල්ලා සිටින බවත් හමුදාපතිවරයා කියාසිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

කන්දකාඩු ආසාදිතයන් හා සම්බන්ධ වූ කුණ්ඩසාලේ දෙදෙනෙකුට (2) කොරෝනා

(14.07.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් දෙදෙනෙකු (2) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2653 දක්වා ඉහලගොස් තිබෙනවා.

ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ වූ කුණ්ඩසාලේ ප්‍රදේශයේ දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ ෴

+++++++++++++

තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2651 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයින්ගේ රාජාංගණය සහ ලංකාපුර ප්‍රදේශවල පදිංචි ආශ්‍රිතයින් දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

***************************************

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

(14.07.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මෙම අදහස් පළකර තිබෙනවා.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

“එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදු විය. මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබීය. නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබිණ. එය හඳුන්වා දුන්නේ අපය. අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි” ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

චීනයේ, වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමා සිහිපත් කළා.

රජය නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර රටවල් 74 ක සිට පුද්ගලයන් 16,279 දෙනෙකු මවුබිමට රැගෙන විත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර හැරීමත් නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් පවත්වාගෙන යමින් කළ මෙහෙය ද ජනාධිපතිතුමා මතකයට නංවා තිබෙනවා.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ.”

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර ඇති අතර ඒ ආශ්‍රිත වළලු 04 ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙසයි නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද (14) රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුර – රාජාංගණය යාය 1, 3 සහ 5 ප්‍රදේශවල දිනකට PCR පරීක්ෂණ 250 ක් සිදුකිරීමට සැලසුම්

(14.07.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුරට අදාළව පුද්ගලයින් 800 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ (13) වාර්තා වූ නව ආසාදිතයින් 29 දෙනා ද සමගින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගියා.

ඉන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ අතර තවත් 11 දෙනෙකු තහවුරු කර ගැනුණේ ඊට යාබද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

මීට අමතරව රාජාංගණය ප්‍රදේශයෙන් සහ මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වන දෙදෙනෙකු ද ඊයේ (13) ආසාදිතයින් ලෙස වාර්තා වුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් 519 දෙනාගෙන් 440 දෙනෙකම එහි රැදවියන් වන අතර උපදේශක හා කාර්ය මණ්ඩයේ 60 දෙනෙකු ද කොරෝනා ආසාදනය වූ පිරිසට අයත්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් හේතුවෙන් අනුරාධපුර – රාජාංගණය යාය 1,3 සහ 5 ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ ඊයේ කටයුතු කළා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී එච්.ඒ. අබේරත්න මහත්මිය සඳහන් කළේ එහි දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 250 ක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බව ද ඇය සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සියළු දෙනා මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර අවසන් බවයි.

මේ අතර, කැකිරාව – කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා.

ඒ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

අදාළ හමුදා නිලධාරියාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය තුළ අද (14) දිනයේදී රැදවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණු බව වාර්තා වනවා.

එසේම නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 898 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ. ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයන් 9 දෙනෙකු පමණයි.

මේ අතර, කොරෝනා මර්දනයට අදාළව පිහිටුවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් විශේෂ රැස්වීමක් මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11 ට පමණ ආරම්භ වූ මෙම රැස්වීමේදී කොරෝනා මර්දනයට අදාළ ඉදිරි තීන්දු තීරණවලට එළඹීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, හලාවත – වැල්ල – තාලඩිය ප්‍රදේශයේ කොරෝනා නීති උල්ලංගණය කරමින් මෘත ශරීරයක් ආදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මරණකරුගේ බිරිඳට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත රෝහලේ මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා හලාවත පොලීසියට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අනුරාධපුර – රාජාංගණය ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු ද කළමනාකරණ පීඨයේ අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

එම ශිෂ්‍යයා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන සිටින පවුලක අයෙකු බව සඳහන්.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයට ඇතුළුවීම ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමඟින්.

එසේම, කොරෝනා බවට සැක රෝගියෙකු හමුවීමේ සිද්ධියක් මත පදනම්ව රාගම පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ අනුව එම රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් වෙන් කිරීමේ සේවය ද නවතා දමා ඇති බව සඳහන්.

මේ අතර, මාලදිවයිනේ සිට හෙට පැමිණීමට නියමිත පිරිසෙන් පසු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු දින කිහිපයකට තාවකාලිකව අත්හිටුවූ බව විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව අසත්‍යයි – රජයෙන් විශේෂ නිවේදනයක්

(14.07.2020 – 21:44 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීමේ අරමුණින් මෙම කටකතා පැතිර යන බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇතිබවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් :

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු අදාළ ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශයන් හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.

මේ අයුරින්, අදාළ ස්පර්ශකයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඔවුන් නියත වශයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුන්වමින් සාවද්‍ය ප්‍රචාරයන් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී ගොස් ඇත. තවද, මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරයද දැකිය හැකිය. එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වේ. නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය විසින් අවධාරණය කරයි.

ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බවද පැහැදිළි වේ. මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. මෙහිදී, යම් පුද්ගලයකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් ඒ බව මෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජය දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව මහජනතාව වෙත දැනුම් දීමට රජය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

එබැවින්,අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් හා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ ෴

***************************************

නිදහස් පක්ෂයටත් පාට ප්‍රශ්නයක්

(14.07.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ණය වන නිල් පැහැය, වෙනත් දේශපාලන පක්ෂ මගින් භාවිත කිරීම තහනම් කිරීමට හෝ වැළැක්වීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, එම කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මැතිවරණයේදී ඇතැම් දේශපාලන පක්ෂ තම පක්ෂයේ වර්ණය නිල්පාට බවට ප්‍රකාශ කිරීම තුළින් නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන අනන්‍යතාවට බලපෑම් ඇතිවන බවයි.

මේ අතර නිදහස් පක්ෂ අපේක්ෂකයින්ට අපහාසයක් වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකරන පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහි නීතිඥ සංගමයේ ලේකම් බන්දුල වේල්ලාලගේ සහ භාණ්ඩාගාරික ජනජිත් ද සිල්වා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද මේ සම්බන්ධයෙන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබුණා.

***************************************

තැපැල් ඡන්දයේ දෙවන දිනය සාර්ථකව අවසන්

(14.07.2020 – 21:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) දෙවන දිනටත් සාර්ථකව අවසන් වුණා.

අද (14) දිනයේ මෙලෙස තැපැල් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන්ම මැතිවරණ කාර්යාල වල සේවයේ නියුතුවූවන් හැර සෙසු රාජ්‍ය නිලධාරින්.

අද (14) තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අතරතුර අම්බලංගොඩ ප්‍රදේශයේ පරිපාලන ග්‍රාම නිලධාරිවරයා තැපැල් ඡන්දය ප්‍රකාශ කරමින් එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

පසුව ඔහු පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක් අද (14) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ පවතින වාතාවරණය තුළ මහමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය උපරිම උත්සාහය ගන්නා බවයි.

එසේම මැතිවරණ නීතී උල්ලංඝනය කළ පුද්ගලයින් 164 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අතර අපේක්ෂකයන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++++++++++++++++

ජූනි මස මැතිවරණය පැවැත්වූවානම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබී අවසන් – ගම්මන්පිළ

(14.07.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණය මීට පෙර සැලසුම් කළ ආකාරයට ජූනි මස 20 වැනිදා පැවැත්වූවානම් මේ වන විට කොවිඩ් වසංගතයට පහසුවෙන් මුහුණදිය හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබී අවසන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (14) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=20TgL8henYo

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

සවලක් 25 ට කැපෙන මහා පරිමාන වැලි ජාවාරම ගැන ‘හිරු සී.අයි.ඒ.’ අණාවරණය

(14.07.2020 – 22:41 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සදහා කන්තලේ, මහියංගනය, මනම්පිටිය ආදී ප්‍රදේශවලින් ටිපර් රථවලින් රැගෙන එන වැලි තොග හරහා සිදුකරන මහා පරිමාන ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

පාරිභෝගික ජනතාව ඉල්ලුම් කරන නියමිත වැලි තොග හරහා සිදුකෙරෙන එම මහා පරිමාන වංචාව පිළිබදවයි අද (14) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *