ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සවස හතරන් (4) පසු අවස්ථාව

(15.07.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන සිටින පිරිස් වෙත, ඡන්දය පවත්වන දින පස්වරු 04:00 සිට 05:00 දක්වා කාලය තුල සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

යාපනය ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා ඊයේ (14) දිනයේ එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ගැටළුවලට පිළිතුරු ලබාදෙමින් සභාපතිවරයා මෙම අදහස් පළකර තිබෙනවා.

මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට උපරීම උත්සහයක නිරතවන බවත් මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණය පැවැත්වීමේ කටයුතු තවදුරටත් ඇදගෙන යාම අමාරු කාරණයක් වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව පැවතීම අවශ්‍ය බැවින් ජනතාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බවටද ඉල්ලීම් කරන බවයි සභාපතිවරයා සඳහන්කර සිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන ලෙසට සෞඛ්‍ය බළධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින අතර එය නොමැති වුවහොත් ඡන්දය පවත්වාගෙන යාම අපහසු බවද සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

***************************************

කළුතර බන්ධනාගාරයට පිටතින් ද්‍රව්‍ය විසි කිරීමට තැත් කළ 15 දෙනෙකු අත්අඩංගුවට

(15.07.2020 – 08:37 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයට පිටතින් ද්‍රව්‍ය විසිකිරීමට සූදානම් වූ පුද්ගලයින් 15 දෙනෙකු උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් රැඳවියන්ට විවිධ භාණ්ඩ ලබාදීමට උත්සාහ දරා ඇති බවයි.

අත්අඩගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12.5 ක්, දුම්කොළ 19 ක්, ජංගම දුරකථන 2 ක්, සිම් කාඩ් පත් හයක් (6) සහ චාජර් දෙකක්ද (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් කලක තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

ලබන වසරේ (2021) සිට රියදුරු බලපත්‍රය යුද හමුදාවට

(15.07.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2021) සිට රියදුරු බලපත්‍රය සකස් කිරීම යුද හමුදාවට පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඊයේ (14) ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි.

සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 1,340 ක මුදලක් ගෙවීමට සිදුවන බවත්, එය පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබීම හේතුවෙන් විදේශයන්ට අතිවිශාල මුදලක් යන බවද අමාත්‍යවරයා සඳහන් කළා ෴

***************************************

මහමැතිවරණයට යුද හමුදාව යොදවන්නේ නැහැ, හමුදාපති කියයි

(15.07.2020 – 09:32 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, දළදා මාළිඟාවේ වාර්ෂික ඇසල මංගල්‍ය වෙනුවෙන් යුද හමුදාව සිදුකරන කොප්පරා පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

***************************************

කන්දකාඩු ආශ්‍රිතයින් සොයා රට පුරා පී.සී.ආර්. පරීක්ෂණ

(15.07.2020 – 09:59 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්තාපන නිරෝධායන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝන පොකුර මේ වනවිට 532 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙරටින් ඊයේ (14) දිනයේදී පමණක් කොවිඩ් 19 ආසාදිතයින් 19 දෙනෙකු හමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (14) දිනට පමණක් රාජාංගනය ප්‍රදේශයේ තුන්සීයකට (300) අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියා.

මේ අතර රාජාංගනය ප්‍රදේශයේ තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන අතර ඒ ආශ්‍රිතයින් සිටින අනෙකුත් ප්‍රදේශ වලද PCR පරීක්ෂණ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් දිනපතා නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ මඟින් ප්‍රකාශයට පත්කරන අතර කටකතා සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු කෙරෙහි අවධානය යොමු නොකරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියා.

***************************************

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්කර කෙරේ

(15.07.2020 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, අද (15) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී ඔහු සිය ධුරයේ වැඩ භාර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නිශාන්ත උළුගෙතැන්න මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමට පෙර නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා.

රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ, උත්තම සේවා ආදි පදක්කම් ද හිමිකර ගත් ඔහු නාවික හමුදාවට බැඳී ඇත්තේ 1985 වසරේ ජනවාරි 7 වනදායි.

මේ අතර මෙරට 23 වන නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතයි.

+++++++++++++++++++++

නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නාවික හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව මෙලෙස ජනාධිපතිවරයා හමුවූ අතර, එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

+++++++++++++++++++++

= වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ධූරයට =

(15.07.2020 – news.navy.lk)

***************************************

ලබන ඉරිදා මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(15.07.2020 – 11:36 +0530 – hirunews.lk/sinhala)

මාතර – මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා (19) දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එදින (19) උදෑසන 8 සිට පස්වරු 5 දක්වා දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ ෴

***************************************

ශරීරය පුරා වෙඩි වැදුණු තුවාල සහිත අලියෙක් ගම්වදියි

(15.07.2020 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ගම්මාන ආශ්‍රිත කුඹුරු ඉඩම්වල සැරිසරණ වෙඩි වැදුන අලියෙකු පිළිබඳ පුවතක් මැදිරිගිරිය – හල්මිල්ලවැව ප්‍රදේශයෙන් අපට වර්තා වුණා.

අප වාර්තාකරු පවසන්නේ මෙම අලියාගේ ශරීරය පුරාම වෙඩි වැදුණු තුවාල දැකගත හැකි අතර එම සත්වයාගේ ඉදිරි පාදයකට දැඩි හානි සිදුව ඇති බවයි.

ඉතා වේදනාකරීව සිටින මෙම අලියා වයස අවුරුදු 35 ක් 40 ක් පමණ වන, අඩි 08 ක් පමණ උස සත්වයෙක්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබුනද මේවනතෙක් අලියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පැමිණ නැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.

***************************************

දිස්ත්‍රික් 16 ක කොරෝනා ආසාදිතයින් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

(15.07.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් සමඟ මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයන් හමු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙලෙස ආසාදිතයින් වාර්තා වන බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව පීසීආර් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

රාජංගනය ප්‍රදේශයේ සිටින ආසාදිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

අනුරාධපුර, රාජංගනය ප්‍රදේශයේ යාය 01, 03, 05 සහ 06 යන ප්‍රදේශ සඳහා තවදුරටත් සංචරණය සීමා කර ඇති අතර, ඒ හේතුවෙන් එහි සිටින ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් සැපයීම සිදු කරන බවයි දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තේජාන් සෝමතිලක මහතා සඳහන් කළේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මේ වනවිට පුද්ගලයින් 532 ක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි.

මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ වාර්ෂිත ඇසල මංගල්‍යට සමගාමීව යුධ හමුදාව සිදු කරන කොප්පරා පූජාවට අද (15) උදෑසන එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

දැනට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2665 ක් වාර්තා වනවා. ඊයේ (14) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගැණුනු අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 666 ක්.

එමෙන්ම පුද්ගලයින් 1988 ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

මේ අතර අද (15) දිනයේත් එක් නාවික හමුදා සාමාජිකයෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 899 ක් දක්වා ඉහල ගියා.

තවදුරටත් 07 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය යලි හිස එසවීමේ අවධානමක් පැවතීම නිසා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පොලිසිය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

***************************************

එජාප හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට

(15.07.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවට මේ වනවිට පැමිණ සිටිනවා.

ඒ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා විසින් යොමුකර තිබූ පැමිණිල්ලකට අදාළව එම කොමිසම නිකුත් කර තිබූ නොතීසියකට අනුවයි.

රංජිත් මද්දුම බණ්ඩාර, ඩී.එම්.ස්වාමිනාදන්, අජිත්.පී.පෙරේරා සහ රන්ජන් රාමනායක මෙලෙස දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

තරුණයන් පිරිසක් අතුරුදන් වීම සම්බන්ධයෙන් තමාට එරෙහිව පසුගිය යහපාලන රජය අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.

අදාළ හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ද අද (15) දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කෙරුණා.

***************************************

ටිපර් මාරයා බිලිගත් පොලිස් කොස්තාපල්, සහෝදර නිලධාරීන්ගේ කර මතින් නිවසට

(15.07.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

හක්මන – කෝංගල ප්‍රදේශයේදී ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය ඊයේ (14) රාත්‍රීයේ ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියැදුරු අද (15) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත් කිරීමට නියමිතයි.

අණ නොතකා ධාවනය වූ ටිපර් රථයක් හක්මන – කෝංගල – 13 කණුව මාර්ග බාධකයේදී නවත්වා ගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් පෙරේදා (13) රාත්‍රීයේ සමත් වුණා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රියැදුරු හට අන්තරාදායක ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත්කර, අවවාද කර මුදාහැර තිබුණා.

කෙසේ වෙතත්, හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10 කට පසු නැවත පැමිණ, මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් යටකර පලාගියා.

සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූයේ තාවකාලික රියදුරු බලපත්‍රය ලබාදුන් අවස්ථාවේදී ටිපර් රථයේ රියැදුරා විසින්, “උඹලා යටකරල මරලා හිරේ ගියත් කමක් නැහැ” යනුවෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි.

අනතුරින් හක්මන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් මාලිත ශාමේන් විතාරණ මහතා ජීවිතත්ෂයට පත්ව තවත් නිලධාරීන් දෙදෙනෙකු (2) බරපතළ තුවාල ලැබුවා.

ජීවිතත්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ල, මොරඳවාන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක්. ඔහුගේ දේහය ඊයේ (14) රාත්‍රීයේ නිවස වෙත රැගෙන ආවා.

අනතුරින් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාට ශල්‍යකර්මයක් සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනෙක් සැරයන්වරයා එම රෝහලේ 11 වාටුටාවේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදු කළ ටිපර් රථය හම්බන්තොට, හුංගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ඊයේ (14) සොයා ගත් අතර රථයේ රියදුරු හුංගම රණාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු පසුගිය 9 වැනිදා අපරීක්ෂාකාරීව රිය පදවා විදුලි කණුවකට හානි කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂයකට අධික වන්දියක් ගෙවීමටද සිදුව ඇති අතර ඔහු ලබන 16 වැනිදා ඔහුව මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය සඳහන් කළා.

***************************************

පාස්කු ප්‍රහාරය දැන සිටි ප්‍රභූන් 268 දෙනා

(15.07.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමෙ ලිපි මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධානීන්ට යවා තිබූ බවත් එලෙස ලිපි ලැබුණු බව ඇතැම් ප්‍රභූවරුන් විසින් ප්‍රහාරයෙන් පසු හෙළි නොකරන ලෙස දැනුම් දී තිබූ බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ එවක විශේෂ ආරක්ෂක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ඊයේ (14) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ විශේෂ ආරක්ෂක දිසාව භාරව සිට මේ වන විට විශ්‍රාම ගොස් සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතායි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රභූ ආරක්ෂක අංශය, අධිකරණ ආරක්ෂක අංශය, තානාපති ආරක්ෂක අංශය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශය 2018 වසරෙන් පසු තමන් යටතේ පැවති බවයි.

එසේනම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ඔබ වෙත ලැබුණේදැයි කොමිසම මෙහිදී විමසුවා.

සාක්ෂිකරු එහිදී සදහන් කළේ 2019.04.10 දින රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට එවූ ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් තමන්ට ද එවා තිබූ බවයි.

එම ලිපිය අනුව තමන් යටතේ ඇති ආරක්ෂක අංශ පහේ (5) අධ්‍යක්ෂවරුන් අමතා දැනුවත් කර පසු අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා පැවැත්වූ බව සාක්ෂිකරු මෙහිදී සදහන් කළා.

තානාපති ආරක්ෂක අංශය ඔබ යටතේ පැවති බැවින් ලිපියෙහි සඳහන් ඉලක්ක ගත ස්ථානයක් ලෙස හදුන්වා තිබූ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව සැලසුවේදැයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවා.

ඔහු එහිදී සඳහන් කළේ, තානාපති ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා හරහා ඒ වනවිට ලබාදී තිබූ ආරක්ෂාවට අමතරව නිල වාහනයක් සමඟ පරීක්ෂණ නිලධාරියකු ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු (5) ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ඇතුළත සහ පිටත රාජකාරි සඳහා යෙදවූ බවයි.

ඊට අමතරව කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙක් මහමාර්ගයේ ආරක්ෂාවට යොදවා තිබූ බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මුල් තොරතුරට අමතරව තවත් තොරතුරු ලැබුණේදැයි කොමිසම විමසූ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ එවැනි කිසිදු තොරතුරක් නොලැබුණු බවයි.

ඔබ විසින් අත්සන් කර අධ්‍යක්ෂවරුන් පස් දෙනා (5) වෙත යොමු කළ ලිපිය ප්‍රහාරයෙන් පසු අන්තර්ජාලයේ සහ මාධ්‍යවල හුවමාරු වූ බව මතකදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.

ඔහු එහිදී සඳහන් කළේ, එම ලිපිය අන්තර්ජාලයේ හා මාධ්‍යවල හුවමාරු වූ ආකාරය තමන් දුටු නමුත් එය එලෙස පිටතට ගියේ කෙලෙසදැයි තමන් නොදන්නා බවයි.

කෙසේවෙතත් තමන් යටතේ පැවති ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කිත්සිරි අපෝන්සු හරහා මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක අංශ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද අනතුරු ඇඟවීමේ ලිපිය පිළිබඳ දැනුවත් කළ බව ද විශේෂ ආරක්ෂක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා මෙහිදී කොමිසමට අනාවරණය කළා.

එලෙස දැනුවත් කළ ලිපියක් මාධ්‍ය වෙත නිකුත් වන්නට ඇතැයි තමන් සිතන බවද ඔහු වැඩිදුරත් සඳහන් කළා.

කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ, ප්‍රහාරය පිළිබඳ එම ප්‍රභූවරුන්ට ඔවුන්ගේ ආරක්ෂකයින් දන්වා තිබුණේද යන්නයි.

ඇතැම් ප්‍රභූවරුන්ට දැනුම් දී තිබුණත් ඔවුන්ට එය දැනුම් දුන් බව හෙළි නොකරන ලෙස ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ බව සාක්ෂිකරු මෙහිදී කොමිසමට හෙළි කළා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පියෙක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරක් ඇති නිසා පල්ලිවලට නොයන ලෙසද ආරක්ෂක නිලධාරීන්ටද පවසා තිබූ බවද සාක්ෂිකරු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

කොමිසම යළි විමසුවේ එවක කථානායකවරයාගේ ආරක්ෂක අංශය වෙතද මෙම අනතුරු ඇඟවීමෙ ලිපිය යොමුකර තිබුණේද යන්නයි.

+++++++++++++++++++++

15-07-2020

***************************************

බුත්තල – ජයසිංහකටුව වැව ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් කුඹුරු අක්කර 200 ක් විනාශයි

(15.07.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – කටුතලාරගම – ලුණුගල ජනපදයේ පිහිටි ජයසිංහකටුව වැවෙහි අද තත්ත්වයයි.

අක්කර 60 ක වපසරියක විහිදුනු පිහිටි වැවෙන් ලුණුගල ජනපදයේ ගොවි පවුල් 160 කට අයත් කුඹුරු අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් පෝෂණය වුණා.

වැව ප්‍රතිසංස්කරණය සඳහා අවස්ථා කිහිපයකදී රජයෙන් ප්‍රතිපාදන අනුමත වූවත් අතරමග නැවතුණු ව්‍යාපෘති නිසා යල මහ දෙකන්නය වගාකළ ගොවීන්ටඅද වන විට එක් කන්නයක් හෝ වගාකිරීමට නොහැකි වී තිබෙනවා.

අවස්ථා 5 කදී පමණ මුල්ගල් තැබුවත් ඉදිකිරීම් සඳහා රැගෙන ආ යන්ත්‍රෝපකරණ දිරාපත් වීම හැර වැවෙහි ප්‍රතිසංස්කරණයක් සිදු වී නැහැ.

වැව ප්‍රතිසංස්කරණය කරන බවට දේශපාලඥයින්ගෙන් ලැබුණු පොරොන්නදු කප්පරක් තරම්.

බුත්තල – ලුණුගල ජනපදයේ ගොවි ජීවිත පෝෂණය කෙරෙන ජයසිංහකටුව වැවෙහි අතරමග නැවතුණු සංවර්ධන කටයුතු යළි අරඹන්නට බලධාරීන්ගේ දෑස් යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(15.07.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *