පෙබරවාරි විදුලි බිලේ අගයම මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලටත්

= විදුලි බිලට ලැබෙන සහනය මෙන්න =

(15.07.2020 – 15:53 +0530 – sinhala.adaderana.lk)

2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට සහනයක් ලබාදීමට රජය තීරණය කළ බව විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ විදුලි බිල්පත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවත් යෝජිත සහන සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක්ද පත් කරනු ලැබූ බවය.

එම කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද (15) තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක (2) සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ අනුව ඉහත සඳහන් කළ මාස 3 ට ලබාදුන් බිල්පත් අනුව යම් පාරිභෝගිකයෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය ෴

***************************************

වලේබොඩ අබලන් පාලම නිසා ජනතාව අපහසුතාවක

(15.07.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මාර්ග පහසුකම් ජන ජීවිතය පහසුකර ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් බව අවිවාදාත්මකයි.

එසේවුවත් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරමින් පාලමක් මතින් ගමන්කිරීමට සිදුව ඇති මේ පුවත වාර්තා වුණේ බලංගොඩ වලේබොඩ ප්‍රදේශයෙන්.

මේ බලංගොඩ – වලේබොඩ ප්‍රදේශයේ‍ වලවේ ගඟ මතින් ගමන් කිරීමට ඇති කම්බි පාලමයි.

වලේබොඩ තෝරවෙල – රාවණාකන්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව එගොඩ මෙගොඩ ගමන් කරන්නේ මෙම පාලම මතින්.

නමුත් පාලම දිරාපත්වීම හේතුවෙන් එහි ගමන් කිරීම මේ වන විට අතුරේ යෑමට වඩා අවදානම් වී තිබෙනවා.

දිනකට පුද්ගලයන් 200 ක් පමණ එගොඩ මෙගොඩ වෙන මේ පාලම ප්‍රතිසංස්කරණ කරදෙන ලෙස බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම්කලද පලක් නොවුණු බව ජනතාවගේ චෝදනාවයි.

***************************************

පොලිස් නිලධාරින් යට කළ රියදුරා රිමාන්ඩ්

(15.07.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

හක්මන – කිරින්ද – 13 කණුව මාර්ග බාධකයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීයෙකු යටකර තවත් දෙදෙනෙකුට (2) තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු අද (15) දහවල් මාතර අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා (13) රාත්‍රියේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් තුන්දෙනෙකු (3) ටිපර් රථයකින් යටකර පලාගොස් සිටි සැකකරු ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබුවේ හුංගම – රනාල ප්‍රදේශයේදීයි.

අනතුරෙන් මියගිය හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා ෴

++++++++++++

හක්මන – කෝංගල – 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී ටිපර් රථ රියදුරෙකු විසින් අනතුරට ලක්කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පසුගිය 13 වනදා සිට මෙය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

බාලවයස්කාර දරුවන් මැතිවරණයට යොදා නොගන්නැයි ඉල්ලීමක්

(15.07.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කාලසීමාවේදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා වන වීඩියෝ පට, වෙළඳ නිවේදන, පෝස්ටර් සහ දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවට නිරීක්ෂණ සංවිධාන කිහිපයක් කොමිසම වෙත කර ඇති දැනුම්දීමකට අනුවයි.

මෙවැනි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම මගින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට මෙන්ම මානසික මට්ටමට ද අහිතකර බලපෑමක් සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා ෴

***************************************

වැලිකඩ ඝාතන නඩුවේ තුන්වන චූදිතයා නිදොස් කොට නිදහස්

(15.07.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ තුන්වන චූදිතයා වන ඉමදූවගේ ඉන්දික සම්පත් නැමැත්තා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදියි.

මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඉල්ලා සිටියේ චූදිතයාට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළ අතර, නඩුව මේ මස 30 වනදා යළි කැඳවීමටද නියෝග කළා ෴

***************************************

බේරුවල සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ ගොඩබිමට පැමිණීම ගැන විමසිලිමත් වන්න

(15.07.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

මුහුදු රළ ඉහළයාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස මුහුදු රළ ගොඩබිමට පැමිණීම පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ බේරුවල සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල ජනතාවයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ක පමණ ඉහළයාමක් දැකිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම උස මට්ටම ගොඩබිමට එන රළ උස නොවන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර එම මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට තරමක් රළු විය හැකි බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව ධීවර සහ නාවුක ප්‍රජාව සහ ආසන්න වෙරළබඩ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලාසිටින්නේ ෴

***************************************

මෙරට මාධ්‍යයට රිංගූ තුර්කි ත්‍රස්තයෝ

(15.07.2020 – 20:36 +0530 – sinhala.adaderana.lk)

තුර්කියේ ආරම්භ වූ ත්‍රස්ත සංවිධානයක් වන “ෆෙටෝ සංවිධානය” ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 160 ක ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙරට තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය පවසයි.

පාසල්, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ආයතන හරහා ෆෙටෝ සංවිධානය තම ජාලය පිහිටුවා ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

තුර්කියේ කුමන්ත්‍රණ උත්සාහය ව්‍යාර්ථ කිරීමේ සිව්වන වසර සැමරුම වෙනුවෙන් ලිපියක් යොමු කරමින් තුර්කි තානාපතිවරිය මේ බව ප්‍රකාශ කර ඇත.

ඇය පෙන්වාදෙන්නේ ෆෙටෝ සංවිධානය 1970 දශකයේ පුණ්‍ය ආයතනයක් ලෙස තුර්කිය තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ අතර පසුව ලොව පුරා පාසල් ද පිහිටවූ බවය.

කෙසේවෙතත් ෆෙටෝ ව්‍යාපාරික ගණුදෙණු සහ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලින් සඳහා මැදිහත් වීම ආරම්භ කිරීමෙන් පසු මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී ලෙස මුදල් මාරු කිරීම සහ වෙනත් මූල්‍ය අපරාධ සිදුකිරීම සුපුරුදු පරිදි ව්‍යාපාරයක් බවට පත් වූ බව ද ඇය පෙන්වාදෙයි.

අනතුරුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, සමාගම් සහ ව්‍යාපාරිකයින්ගෙන් පරිත්‍යාග කිරීම් මගින් ලබාගත් අතර මහජන මතය හැඩගැස්වීම් සඳහා මාධ්‍ය ආයතන ද පිහිටවූ බවයි තුර්කි තානාපතිවරිය සඳහන් කළේ.

තුර්කිය තුළ මෙම සංවිධානය අකර්මණ්‍ය වී ඇති අතර එහෙත් වෙනත් රටවල සිය සංවිධාන පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද ඇය පෙන්වා දෙයි.

ෆෙටෝහි ගෝලීය ආර්ථික හා දේශපාලන බලපෑම පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බැවින් එය ක්‍රියාත්මක වන ඕනෑම රටකට මෙම සංවිධානය සෘජු ආරක්ෂක තර්ජනයක් වනු ඇති බව ද සඳහන්.

කෙසේවෙතත් මේ වන විට මෙම ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සියලු ශ්‍රී ලාංකික බලධාරීන්ට දැනුම් දී ඇති අතර දිවයිනේ ෆෙටෝ අනුබද්ධ ආයතන සහ පුද්ගලයින්ගේ සියලු තොරතුරුද ලබා දී ඇති බවයි තුර්කි තානාපතිවරිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය සඳහන් කළේ ෴

***************************************

කොවිඩ් ආසාදිතයින් හමුවීම නිසා රාජාංගනය, පිළියන්දල සහ දඹුල්ලේ වෙන දේ

(15.07.2020 – 16:50 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදනය වූ කිහිපදෙනෙක් හමු වීමෙන් පසු රාජාංගනය ප්‍රදේශයේ යාය 1, 3 සහ 5 කලාපවල ජීවත්වන පවුල් 12,000 ක් පමණ හුදකලා කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 532 ක් වාර්තා වි ඇති බවය.

මේ අතර රට තුළ පවත්නා වත්මන් තත්ත්වය තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ අතර බාහිර සමාජයෙන් ආසාදිතයින් හමුවිම නිසා අද වන විට හුදකලා කර ඇති අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (14) 320 කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂණ සිදු කර තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කරන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි පිළියන්දල දැල්තර ප්‍රදේශයේ යුද හමුදා නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය විම නිසා ඔහු සංචාරය කළ පිළියන්දල නගරයේ කඩ සාප්පු කිහිපයක් වසා දමා එහි පිරිස් නිරෝධායනයට යොමු කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොවිඩ් ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ඇසුරු කිරීම හේතුවෙන් සීගිරිය පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙකු හා ඔහුගේ පවුලේ පිරිස් නිරෝධායනයට යොමු කර තිබේ.

සීගිරිය පොලීසියේ දෛනික වැඩ කටයුතුවලදී එම පොලිස් ස්ථානයේ නිලධාරින් යොදා ගැනිම අවදානම් විම හේතුවෙන් ඒ සඳහා දඹුල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් සීගිරිය පොලීසියට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

14-07-2020

***************************************

නාකොටික් ගොඩනැගිල්ල පැය 5 ක් පුරා පරීක්ෂා කෙරේ

(14.07.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනා (12) සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනෙකු (04) අද (14) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දුන්හ.

ඔවුන් එසේ රහස් ප්‍රකාශ ලබා දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුළදීය.

පැය එකහමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කළ බව අප වාර්තාකරු පැවසීය.

මෙම සාක්ෂිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මොවුන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි

මේ අතර, පසුගියදා රාගමදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා අද (14) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් ආදායම්වලින් මෙම සැකකරු 2018 වසරේ වාහනයක් මිලදී ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් මත තම සේවාදායකයා අත්අඩංගුට ගෙන ඇති බවය.

තම සේවාදායකයා වාහනයක් මිලදී ගත්තේ ඔහු විසින් ලබාගන්නා ලද ණය මුදලකින් බව නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

අනතුරුව අදාළ සැකකරු ජූලි 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ ගොඩනැගිල්ල අද දිනයේදී විශේෂ කාර්යය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් නිල සුනඛ අංශය විසින් පැය 05 කට අධික කාලයක් පුරා පරීක්ෂා කීරීමකට ලක් කරන ලදි.

***************************************

පාතාල ක්‍රියාවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ලියූ අරුණ පුවත්පතේ මාධ්‍යවේදීන්ට තර්ජන

(14.07.2020 – 19:04 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ සිදුවන පාතාල ක්‍රියාවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ සම්බන්ධයෙන් වාර්තා කළ අරුණ පුවත්පතේ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල වී තිබේ.

පසුගියදා විදෙස් දුරකථන අංකයකින් ඇමතූ පුද්ගලයෙක් ඔවුන් ට තර්ජනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔවුන් අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

අදාළ කැඳවීම කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනි මැරුම් අංශය විසිනි.

මෙහිදී පැය පහ හමාරකට ආසන්න කාලයක් අරුණ පුවත්පතේ මාධ්‍යවේදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *