පළාගිය බවට සැක සහරාන් කල්ලියේ සාමාජිකාව සාරා ගැන අලුත්ම කතාව මෙන්න

(15.07.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

සයින්දමරුදු ප්‍රහාරය අතරතුර එම ස්ථානයෙන් පළාගිය බවට සැකකෙරෙන සහරාන් කල්ලියේ සාමාජිකාවක පිළිදව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පාස්කු දින කතෝලික, ක්‍රිස්තියානි පල්ලි දෙකක් හා ප්‍රමුඛ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 වනදා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක ප්‍රහාර මාලාවක් සිදුවුණා.

ඒ මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන කණ්ඩායමක් එම නිවසේ රැදී සිටි බවට ලද තොරතුරක් මත යුද හමුදාව එම නිවස සෝදිසිකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී.

එහිදී දෙපාර්ශවය අතර දරුණු වෙඩි හුවමාරුවකින් පසුව පිපිරීම් කිහිපයක් සිදුවුණා.

මෙම සිද්ධියෙන් එම නිවසේ සැගව සිටි සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ඇතුළු 14 දෙනෙකු මිය ගිය අතර සිදුවීමෙන් සහරාන් හෂීම්ගේ බිරිද සහ කුඩා දරුවා දිවි ගලවා ගෙන තිබුනා.

මියගිය පිරිස අතර කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්දුන් නැමැත්තාගේ බිරිද ද සිටි බවට කලින් පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු වාර්තා වී තිබුනා.

නමුත් සිද්ධියෙන් අනතුරුව මියගිය අයවලුන්ගේ අනන්‍යතාව සහතික කර ගැනීම සදහා සිදුකළ ඩී.එන්.ඒ.පරීක්ෂණවලදී මොහොමඩ් හස්දුන්ගේ බිරිද ලෙස සැලකූ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ.සාම්පල මියගිය කිසිවෙකුගේ ඩී.එන්.ඒ.සාම්පල සැසදුනේ නැහැ.

සිද්ධිය අතරතුර ඇය යම් ආකාරයකින් බෝම්බ පිපුරුණු ස්ථානයෙන් පළා ගිය බවට පරීක්ෂණ කණ්ඩායම්වලට සැක මතු වූයේ ඒ අනුවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ අතර සයින්දමරුදු පිපිරීමෙන් අනතුරුව සාරා එම ප්‍රදේශයේ සැරිසරනු දුටු කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද එම පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබුනා.

කොළඹ අපාරධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශෂණ වලින් පසුව පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා පළායාමට සහය දුන් බවට සැකපිට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහොමඩ් අබුබකර් සහ අදාළ කාන්තාවගේ ඥාතියෙකු වන සෙල්වකුමාර් දේවකුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම ඥාති පුද්ගලයා පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැති සැකකාරියට රටින් පළා යාමට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙනවා මේ වනවිට ඇය ඉන්දියාවේ සිටින බවට යම් තොරතුරු වාර්තා වී ඇති නමුත් ඒවා තවදුරටත් තහවුරු කළ යුතු බව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් දෙකක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ෆෙටෝ අනතුර ගැන ලැබුණු අලුත්ම ඉඟිය

(15.07.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

2016 තුර්කියේ ෆෙටෝ කුමන්ත්‍රණ උත්සාහය ව්‍යර්ථ වීම සමරමින් මෙරට තුර්කි තානාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ෆෙටෝ අන්තවාදී ආගමික සංවිධානය ලංකාව ඇතුළු රටවල් 160 ක පමණ සිය ජාලයන් පිහිටුවා ඇති බවයි.

පාසල්, ව්‍යාපාර සහ මාධ්‍ය ආයතන හරහා සිය ගෝලීය බලපෑම පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බැවින් ෆෙටෝ සංවිධානය ගැන අවධානයෙන් සිටීම වැදගත් බව ඇය එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

+++++++++++++++++++++

ලොව තවත් අන්තවාදී ආගමික සංවිධානයක් ලංකාවට – තුර්කිය අනතුරු අඟවයි

(16.07.2020 – 09:12 +0530 – lankaleadnews.com)

තුර්කියේ ආරම්භ වූ ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ සංවිධානය’ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 160 ක ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙරට තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය පවසයි.

පාසල්, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ආයතන හරහා ෆෙටෝ සංවිධානය තම ජාලය පිහිටුවා ඇති බව ඇය පෙන්වා දෙන්නීය.

තුර්කියේ කුමන්ත්‍රණ උත්සාහය ව්‍යාර්ථ කිරීමේ සිව්වන (4) වසර සැමරුම වෙනුවෙන් ලිපියක් යොමු කරමින් තුර්කි තානාපතිවරිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ෆෙටෝ සංවිධානය 1970 දශකයේ පුණ්‍ය ආයතනයක් ලෙස තුර්කිය තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ අතර පසුව ලොව පුරා පාසල් ද පිහිටවූ බව ඇය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ෆෙටෝ ව්‍යාපාරික ගණුදෙණු සහ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලින් සඳහා මැදිහත් වීම ආරම්භ කිරීමෙන් පසු මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී ලෙස මුදල් මාරු කිරීම සහ වෙනත් මූල්‍ය අපරාධ සිදුකිරීම සුපුරුදු පරිදි ව්‍යාපාරයක් බවට පත් වූ බව ද ඇය පෙන්වා දෙන්නීය.

අනතුරුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සඳහා සමාගම් සහ ව්‍යාපාරිකයින්ගෙන් පරිත්‍යාග ලෙස මුදල් ලබාගත් අතර මහජන මතය හැඩගැස්වීම සඳහා මාධ්‍ය ආයතන ද පිහිටවූ බව තුර්කි තානාපතිවරිය සඳහන් කළාය.

තුර්කිය තුළ මෙම සංවිධානය අකර්මණ්‍ය වී ඇති අතර එහෙත් වෙනත් රටවල සිය සංවිධාන පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද ඇය පෙන්වා දෙන්නීය.

ෆෙටෝහි ගෝලීය ආර්ථික හා දේශපාලන බලපෑම පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බැවින් එය ක්‍රියාත්මක වන ඕනෑම රටකට මෙම සංවිධානය සෘජු ආරක්ෂක තර්ජනයක් වනු ඇති බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සියලු ශ්‍රී ලාංකික බලධාරීන්ට දැනුම් දී ඇති අතර දිවයිනේ ෆෙටෝ අනුබද්ධ ආයතන සහ පුද්ගලයින්ගේ සියලු තොරතුරු ද ලබා දී ඇති බව තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය සඳහන් කළාය ෴

+++++++++++++++++++++

තුර්කි ත්‍රස්තයෝ 50 ක් ලංකාවට ඇවිත් – අවුරුදු දෙකකට (2) කලින් රජයට පැමිණිලි කළත් පියවරක් ගෙන නැහැ

(30.04.2019 – thecolombopost.net)

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනෙකු (50) මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙකෙකට පෙර ශ්‍රී ලංකාවේ තූර්කි තානාපති කාර්‍යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට දන්වා ඇත​.

මේ අනුව මෙරටට පැමිණියේ යැයි කියන ෆෙටෝ සංවිධානයේ සමාජිකයන් පනස්දෙනාගේ (50) නම් හා ගමන් බලපත්‍ර අංකද ඇතුලත් සවිස්තරාත්මක තොරතුරු තූර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආරක්‍ෂක ලේකම් අමාත්‍යාංශයට ලබා දී ඇත​.

එම රහස්‍ය වාර්තාවට අනුව ෆෙටෝ සංවිධානය සිය සුන්නි අන්තවාදී මතවාදය අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ ප්‍රචලිත කර ඇත​. ඩෙන්මාරකය, ග්‍රීසිය​, කැනඩාව​, ස්විට්සර්ලන්තය​, ඇල්බේනියාව​, ඕස්ටේලියාව​, චීනය​, ඉන්දියාව​, යේමනය වශයෙන් බටහිර රටවල් හා ආසියානු රටවල් රැසක එ වෙනුවෙන් පාසැල් රැසක් විවෘත කර ඇත​. පසුව තූර්කි රජය මෙය දැනුවත් වීමෙන් අනතුරුව පාසල් වසා දමන්නට තීරණය කර ඇත​.

මෙම ත්‍රස්ත සංවිධානයට අයත් කණ්ඩායම් පසු ගිය වසරවලදී ශ්‍රී ලංකවේද අධ්‍යාපනික වැඩසටහන් රැසක් පවත්වා ඇත​. පසුව තූර්කි රජය විසින් ෆෙටෝ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් හැටියට නම් කිරීමෙන් අනතුරුව එම වැඩසටහන් යටබිම්ගතව ඇතැයි ද විස්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමේදී අදාල රහස්‍ය වාර්තාව සත්‍ය යැයිද ඒ ගැන තමා ආරක්‍ෂක අමාත්‍යාංශයට දැන්වූ නමුත් රජය ඊට නිසි පියවර නොගත්තේ යැයි ද 2017-2018 සමයේ විදේශ කටයුතු රාජ්‍ය ඇමති ධූරය දැරූ වසන්ත සේනානායක මහතා ඊයේ (29) පැවසීය​.

වසන්ත සේනානායක මහතා

ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා සිව් වතාවක් (4) සිහි කැඳවීම් කර ඇති බවත් තමා ඊට අදාල සියලු ලිපි ලේඛණ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ෆැක්ස් මගින් යොමු කල බවද සේනානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලා.

ඉන්පසු ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාල විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්‍ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමක් කර ඇති බවද සේනානායක මහතා ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකා රජය මේ පිලිබඳව නිසි පියවරක් නොගැනීම නිසා තූර්කි තානාපතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයට ගොස් ඒ ගැන විමසා ඇති බවත් එහිදී මුස්ලිම් දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත් වීමක් නිසා එහි විමර්ශන කටයුතු අඩාල වී ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් තානාපතිවරයාට දන්වා ඇති බවත් සේනානායක මහතා වැඩි දුරටත් සඳහන් කලා.

ශ්‍රී ලංකා තුර්කි තානාපතිවරයාගෙන් මේ ගැන විමසීමේදී එතුමන් ප්‍රකාශ කර ඇත්තේ 2015 වසරේ සිට මේ පිලිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජයට දන්වූ බවයි.ෆෙටෝ සංවිධානයට අයත් සාමාජිකයින් ශ්‍රී ලංකාව තුල අධ්‍යාපන සහ ව්‍යාපාර වල සම්බන්ද වී සිටියේ යැයි ද තූර්කි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලා

අදාල රහස්‍ය ලේඛණ වල කෙනන් අවුසාර් (යු 12243311) ඊබ්‍රාහීම් ටොම්කිම් (යු 01847956) හකාන් අර්ස්ලාන් (යු 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන්ගේ සත්‍ය වාර්තා සහ එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන ශ්‍රී ලංකාවේ ආයතන නවයක (9) නම් හා ලිපිනයන් අන්තර්ගත බව සඳහන්.

මෙම සංවිධානයේ ප්‍රධානම නායකයා වන ෆටිතුල්ලා ගුලාන් මේ වන විට අමරිකා එක්සත් ජනපදයට පලා ගොස් ඇති බව වාර්තා වෙන්වා.

තූර්කියේ දැනට රාජ්‍ය පාලනය හොබවන ඒ.කේ.පී. පක්‍ෂයේ හවුල්කාර පාර්ශ්වයක් ලෙස කටයුතු කල ඇති ෆේටෝ හෙවත් ෆටිතුල්ලා සමාජිකයින් 2016 දී රාජ්‍ය බලය ඇල්ලීමට කල උත්සාහයක් අසාර්තකවී ඇති අතර ඉන් අනතුරුව එය නියෝජනය කරමින් රාජ්‍ය පාලනයට සම්බන්ද වී සිටි සිය දහස් ගණනක් පිරිස් තූර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ​ ෴

+++++++++++++++++++++

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුබිමේ තුර්කි ෆෙටෝ ත‍්‍රස්තයන් ?

(15.03.2020 – divaina.com)

ෆෙටෝ ත‍්‍රස්ත කණ්ඩායම ගැන වසර තුනක් (3) ගතවුවත් පරීක්‍ෂණ පවත්වා නැත.

2016 අගෝස්තු 24 වැනිදා මෙරට තුර්කි තානාපති ට‍්‍රන්කා ඔස් කියුහාදර් ශී‍්‍ර ලංකා රජය වෙත රහසිගත ලිපියක් භාරදෙමින් ෆෙටෝ (FETO) නමැති ත‍්‍රස්ත සංවිධානයේ පනහක කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇතැයි අනාවරණය කර තිබුණි. එහෙත් ඒ වනතෙක් හමුදා බුද්ධි අංශ හෝ ජාතික බුද්ධි සේවාවට මේ බව වාර්තා වී නොතිබුණි.

පිටු 121 කින් යුත් මේ ලිපියේ ෆෙටෝ ත‍්‍රස්තයන් 50 කගේ නම්ද සඳහන් විය. විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුවූ මේ රහස් ලිපිය එම අමාත්‍යාංශයේ බටහිර ඒකකය වෙත යැවීමට නිලධාරීන් කි‍්‍රයාකළත් එය යැවිය යුතුව තිබුණේ එම අමාත්‍යාංශයේම ත‍්‍රස්ත මර්දන ඒකකයටය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර ඒකකයේ ප‍්‍රධානියා වෙත යවා තිබූ එම ලිපියෙන් හෙළිවූ කරුණු ගැන විමර්ශනයක් සිදුවූයේ නැත. එහෙත් 2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් 30 දා එම තුර්කි තානාපතිනිගේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත‍්‍රස්ත මර්දන ඒකකය වෙත යොමුවිය. ඒ වසර තුනකට (3) පසුවය.

එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිව සිටි වසන්ත සේනානායක මහතා තුර්කි තානාපතිගේ ලිපිය ගැන මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකිරීමත් සමඟම එදාම එකී ලිපිය අමාත්‍යාංශයේ ත‍්‍රස්ත මර්දන ඒකකයට යොමුවීම මවිතයට හේතුවන කරුණක් නොවේද?

2016 අගෝස්තු මස 24 වැනිදා තුර්කි තානාපති ලබාදුන් ලිපිය ගැන 2019 අපේ‍්‍රල් මස පාස්කු ප‍්‍රහාරය සිදුවන තෙක්ම පියවරක් නොගැනීමෙන් එකල රටේ ජාතික ආරක්‍ෂාව ගැන තැකීමක් නොකළ අයුරු දැන් තහවුරු වී තිබේ.

එසේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය පිළිබඳ ඒකකයේ ලේකම්වරයා තුර්කි තානාපතිගේ අනතුරු ඇඟවීමේ ලිපිය ගැන දැනසිටි බවද හෙළිවිය.

තුර්කි තානාපතිගේ මේ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබූ අතර ඔහු දක්වා තිබුණේ ලිපියේ ඇති කරුණු ගැන නිරීක්‍ෂණයක් අවශ්‍ය බවයි. මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය 2020 වසරේ පෙබරවාරි 2 දා පොලිස්පතිගෙන් මේ ලිපිය ගැන තොරතුරු විමසා තිබූ අතර පෙබරවාරි 12 දා ඊට ප‍්‍රතිචාරයක් ලැබුණේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් බවද හෙළිවිය.

ඔහු දක්වා තිබුණේ එම ලිපිය රාජ්‍ය බුද්ධි සේවාවට යොමුකළ බවයි.

2016 අගෝස්තු 24 දා තුර්කි තානාපතිගෙන් ලත් එම රහස් ලිපිය ගැන වසර තුනකට (3) අධික කාලයක් ගතවුවත් පරීක්‍ෂණ පවත්වා එම ෆෙටෝ ත‍්‍රස්තයන් අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කිරීමට මෛත‍්‍රිපාල – රනිල් යහපාලන රජය කි‍්‍රයාකළේ නැත. එසේම මෙරට ජාතික ආරක්‍ෂාව උදෙසා විගස තුර්කි බුද්ධි සේවාව වෙතින් ෆෙටෝ ත‍්‍රස්තයන් ගැන තොරතුරු විමසීමටද මෙරට කිසිම බුද්ධි ඒකකයක් කි‍්‍රයාකළේ නැත.

එහෙත් 2016 ජුලි මස තුර්කි බුද්ධි සේවාව ෆෙටෝ ත‍්‍රස්තයන් පුහුණු කළේ ඇමරිකානු සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. පොලිසි බව සොයාගෙන තිබුණි. තුර්කි රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා අධිකරණය හමුවේ පැවසුවේ ෆෙටෝ සංවිධානයේ නායක පෙතුල්ලා ගුලනි තුර්කි රජය පෙරළා දැමීමට දියත් කළ කුමන්ත‍්‍රණය පිළිබඳ 43 ක් අත්අඩංගුවට ගත් බවත් එම කුමන්ත‍්‍රණ මෙහෙයුමේදී සිවිල් වැසියන් 250 කට අධික පිරිසක් මරුමුවට පත්වූ බවත්ය.

ෆෙටෝ කුමන්ත‍්‍රණය ගැන ශ‍්‍රී ලංකාවේ නායකයන් හෝ බුද්ධි අංශ අවධානය යොමුකර නොතිබූ බවද දැන් සනාථ වී ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුත් තුර්කි රජය සිය තානාපතිගේ මාර්ගයෙන් ශ‍්‍රී ලංකා රජයට ඉල්ලීමක් කරමින් ෆෙටෝ සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලා තිබුණි.

එහෙත් පසුගිය රජය හෝ මෛත‍්‍රිපාල සිරිසේන එවන් තහනමක් කි‍්‍රයාත්මක කළේ නැත. අධ්‍යාපන සහ පුණ්‍ය සංවිධානයක් යන තේමාව යටතේ කි‍්‍රයාත්මක වූ ෆෙටෝ සංවිධානය ගැන විමර්ශන සිදුකිරීම මුස්ලිම් දේශපාලකයන් දෙදෙනෙක් ව්‍යර්ථ කළ බව පසුව හෙලිවිය.

ෆෙටෝ ත‍්‍රස්තයන් ගැන තුර්කි රජය ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසකට අනතුරු අඟවා තිබූ අතර එම රටවල් විගස කි‍්‍රයාත්මක වී තම රටවල්වලට ඇතුළු වූ ෆෙටෝ ත‍්‍රස්තයන්ට එරෙහිව කි‍්‍රයාකරනු ලැබීය.

මේ ෆෙටෝ ත‍්‍රස්තයන් ගැන එදා සිටි ජනපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත දැනුම් දෙනු ලැබුවත් එයද බීරි අලින්ට වීණා වැයීමක් විය.

තුර්කි රජයට එරෙහිව කි‍්‍රයාකළ ෆෙටෝ ත‍්‍රස්තයන් මෙහෙයවන්නේ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය බව තුර්කි හමුදාවේ හිටපු මාණ්ඩලික ප‍්‍රධානී ඉල්කර් බැස්බර්ග්ද අනාවරණය කර තිබුණි.

මෙවන් පසුබිමක් මැද 2019 අපේ‍්‍රල් 21 සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවීමෙන් පසුත් ජනාධිපති හා රජය ෆෙටෝ ත‍්‍රස්ත කණ්ඩායම ගැන සෙවීමක් කළේ නැත. මින් සනාථ වන්නේ පසුගිය රජය සහ ජනාධිපති සමයේ රටේ ජාතික ආරක්‍ෂාව අරාජික වී තිබීමයි.

මෙලෙස ෆෙටෝ ත‍්‍රස්තයන් ගැන එවකට රජය විමර්ශනය නොකළේ එකල මුස්ලිම් දේශපාලකයන් රටේ බලවත් වීම නිසාය.

මේ තත්ත්වය මත තවත් පුදුමාකාර සිද්ධියක් අනාවරණය විය. ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව්මැදුරට මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළ අලාවුදින් අහමද් මුවාද් නමැති ත‍්‍රස්තයා භාවිත කළ ජංගම දුරකථන 2019 මැයි 8 දා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ඇමරිකානු එෆ්.බී.අයි. සහ ඔස්ටේ‍්‍රලියානු පෙඩරල් පොලිසියට භාරදීමයි.

ලොව කිසිදු රටක අපරාධ විමර්ශන ආයතනයක් තමන් සතු වැදගත් දත්ත වෙනත් රටක පොලිසියකට දෙන්නේ නැත.

විශේෂයෙන් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසියට එම ජංගම දුරකථන ලබාදීම දැඩි සැකයට තුඩුදෙන කාර්යයකි. මේ සඳහා පොලිස්පතිගෙන් හෝ ආරක්‍ෂක ලේකම්ගෙන්ද ඊට අවසරය ගෙන තිබුණේ නැත. ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය එම ජංගම දුරකථනය පිළිබඳව රහස් පොලිසියට දන්වා තිබුණේ කිසිදු දත්තයක් එම ජංගම දුරකථනවල නොතිබූ බවයි.

මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නොවේද?

2019 අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටියේ කවුද යන්න අදවනතුරු සොයාගැනීමට රහස් පොලිසියට නොහැකි වී ඇත. මේ ප‍්‍රහාරය පිටුපස ඇමරිකානු එෆ්.බී.අයි. සහ සී.අයි.ඒ. සංවිධාන සිටියේද? ෆෙටෝ සංවිධානය පුහුණු කළේ එකී සංවිධාන නම් පාස්කු ප‍්‍රහාරය දියත් කළවුන් අනාවරණය වේද?

පසුගිය රජය සහ ජනපති ෆෙටෝ ත‍්‍රස්තයන් ගැන විමර්ශනය නොකළේ මුස්ලිම් දේශපාලනයේ නිසා බව පැහැදිලිය.

ෆෙටෝ ත‍්‍රස්තයන් පනහක (50) කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණීම ගැන පසුගිය රජය සමයේ පැවැති ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත යොමුවූ බවත් ආරක්‍ෂක කවුන්සිලය මගින් තීරණයක් ගන්නා බවත් ප‍්‍රකාශ විය.

එහෙත් බලවත් රටක් සහ මුස්ලිම් දේශපාලනඥයන් දෙදෙනෙක් ෆෙටෝ ත‍්‍රස්ත කණ්ඩායමට එරෙහිව කි‍්‍රයාකිරීමෙන් වළකින ලෙස පසුගිය රජයට දන්වා සිටි බව වාර්තා විය.

මේ බලවත් රට ඇමරිකාව බව හෙළිවී ඇත. එසේම ෆෙටෝ නායකයාට දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේද ඇමරිකාවයි. ඔහු සෙතුල්ලා ගුලන්ය.

මේ පසුබිම මැද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු අන්තවාදීන්ට පුහුණුව ලබාදුන්නේ තුර්කියේ අන්තවාදීන්ද? යන ප‍්‍රශ්නය මතුවී ඇත.

පාස්කු ප‍්‍රහාරය සිදුවී වසරක් ගතවීමට තව ඇත්තේ කෙටි කාලයකි. එහෙත් රහස් පොලිසියට අන්තවාදීන් පුහුණුකළේ කවුදැයි යන්න සොයාගැනීමට නොහැකිවීම මවිතයකි ෴

***************************************

තිරිඟු පිටි මිශ්‍ර කළ කහ කුඩු සොයා මෙහෙයුම්

(15.07.2020 – 21:04 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ අලෙවිකරන කහ කුඩුවලට තිරිඟු පිටි මිශ්‍ර කර ඇති බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ දැනට වෙළඳපොලේ කහ කුඩු හිඟවීම නිසා මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර, කහ කුඩු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් දහසක් (1000) වැනි මුදලකටයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් කහකුඩු කිලෝවක් සඳහා රුපියල් 750 ක පාලන මිලක්ද පනවා තිබුණත් ඊට වැඩි මුදලකට කහ කුඩු අලෙවි වන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර වෙළඳපොලේ කහකුඩු හිඟව පවතින අවස්ථාවක කහකුඩු සඟවා තැබූ පිටකොටුවේ වෙළඳසැලක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (15) වටලනු ලැබුවා.

එහිදී කහකුඩු කිලෝග්‍රෑම් දහසක් (1000) සහ කහකෑලි කිලෝග්‍රෑම් 300 ක් සොයාගත් බවයි පරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ෴

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේදී මතු වූ කොරෝනා අවදානම ගැන සංවාදය

(15.07.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් ඇතිවිය හැකි කොරෝනා අවදානමක් ගැන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී අද (15) සංවාදයක් ඇතිවුණා.

ඒ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර්අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලුණු අවස්ථාවේදී.

කොළඹ දී තරුණයන් එකොළොස් දෙනෙකු (11) පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය තමාට එරෙහි අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහාධිකරණයේ නඩු පවරා ඇති බව රියර් අද්මිරාල් ඩී.කේ.පි දසනායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසමට පැමිණිලි කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර තිබූ වගඋත්තරකරුවන් වන ඩී.එම් ස්වාමිනාදන් , රංජන් රාමනායක, රංජිත් මද්දුමබණ්ඩාර සහ අජිත් පී පෙරේරා යන හිටපු මන්ත්‍රීවරුන් අද (15) කොමිසම හමුවේ පෙනී සිටියා.

නොතීසි නිකුත් කර තිබූ රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතායි.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රවි වෛද්‍යාලංකාර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ද අද කොමිසම හමුවේ පෙනී සිටියා.

කොමිසමේ කටයුතු ආරම්භයේදීම නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පෙන්වා දුන්නේ අඩි 12 යි 12 ප්‍රමාණයේ කාමරයක පුද්ගලයින් තිස් පස් දෙනකුට (35) වැඩි පිරිසක් රැඳී සිටීම හේතුවෙන් කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවයි.

ජීවිත අවදානමක් ගත නොහැකි බැවින් පැමිණිල්ල මෙහෙයවීම ඉඩකඩ ඇති වෙනත් ස්ථානයක සිදු කරන්නැයි ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වැඩි ඉඩකඩක් සහිත ස්ථානයක් ලබාගැනීම සඳහා ඉතා විශාල මුදලක් වැය වන බැවින් අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ ගැනීමේ න්‍යාය යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් හොඳින්ම දන්නා බවයි.

***************************************

රසවත් දේවල් රහස් ප්‍රදේශයේ සඟවාගත් පුද්ගලයා කොටුවූ හැටි

(15.07.2020 – 22:11 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සුපිරි වෙළඳසැල් වෙත ඇතුළුවී ඉහළවටිනාකමකින් යුතු චොක්ලට් වර්ග සොරගැනීමේ නිරත වූ සැකකරුවෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.

සැකකරු දඹුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකට ඇතුල්වී අවස්ථා ගණනාවකදී මෙලෙස චොක්ලට් වර්ග සොරකම් කිරීමේ නිරතව තිබෙනවා.

පසුව CCTV දර්ශන ඔස්සේ සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණ කරගත් එම වෙළඳසැලේ කළමනාකරු විසින් අද (15) දිනයේ සැකකරු වෙළඳසැලට පැමිණ සොරකම් කරන අවස්ථාවේ අල්ලාගෙන පොලිසියට භාරදී ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු විසින් මෙලෙස එම වෙළඳසැලෙන් සොරකම්කළ චොක්ලට් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 25,000 ක් බවයි සඳහන් වන්නේ.

ඔහු මහනුවර, කැලණිය, අකුරණ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මාතලේ යන පොලිස් බල ප්‍රදේශවල දීද මෙවැනි සොරකම් කිරීම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය, ගංජා ළඟ තබා ගැනීම්, හෙරොයින් ළඟ තබා ගැනීම, මංකොල්ලකෑම් ආදී චෝදනා යටතේ වරදකරුවකු ලෙස හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහුවිසින් මෙලෙස සොරකම් කරන ලද මිල අධික චොකලට් වර්ග අලෙවිකිරීමෙන් ලබාගන්නා මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදවන බවයි.

දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

කොමිසමේදී එළියට ආ ‘ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින්’ ගැන අලුත්ම හෙළිදරව්ව

(15.07.2020 – 22:15 +0530 – hirunews.lk/sinhala)

‘ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ වාර්ෂික බලපත්‍රය 2017 වසරේදී කල් ඉකුත් වී තිබූ බවත් ඒ පිළිබඳව ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ‘ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැන්වුවද 2018 ඔක්තෝම්බර් මාසය වනතෙක්ම වාර්ෂික බලපත්‍රය නොමැතිව විකාශන කටයුතු කරගෙන ගොස් ඇති බවත් තමන්ට දැනගැනීමට ලැබුණු බව ඊ.ටී.අයි. ආයතනයේ 2018 වසරේ විගණන කටයුතු කළ ආයතනයේ නීතීඥවරයා අද හෙළි කළා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන අයථා ක්‍රියාකාලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අද (15) රැස්වූ අවස්ථාවේදියි.

***************************************

කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසිකරන්න ගිය 15 ක් අත්අඩංගුවට

(15.07.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජංගම දුරකතන පාර්සල් ලෙස අසුරා කළුතර බන්ධනාගාරය තුළට විසි කිරීමේ ජාවාරමක් අනාවරණ කරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් සැකකරුවන් 15 දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

***************************************

කන්දකාඩු මධ්‍යස්ථානයේ සියලු පී.සී.ආර්. වාර්තා නිකුත් වෙයි

(16.07.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියලුදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ සමීපතම ආශ්‍රිතයන් 37 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව හමුදා කඳවුර වෙත ඊයේ (15) රැගෙන යනු ලැබුවා.

මේ අතර තවත් ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ (15) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,674 දක්වා ඉහළ ගියා.

ඊයේ (15) වාර්තාවූ 9 දෙනාගෙන් එක් අයෙකු බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වන අතර, ඔහු කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි හතරදෙනෙකු (4) ද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

කටාර් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි හතරදෙනෙකු (4) ද කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (15) තහවුරු කරගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 663 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,001 ක් ෴

***************************************

ස්වයං නිරෝධායනයේ යෙදෙන්නන්ට ඡන්දය දෙන්න පුළුවන් අලුත් ක්‍රමය මෙන්න

(16.07.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ස්වයං නිරෝධායනයේ යෙදෙන්නන්ට ඡන්දය දීමට විශේෂ ස්ථානයක්

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකරන්නේ නම් මහ මැතිවරණය පැවැත්වීම ගැටළු සහගත බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසන් සභාව ඊයේ (15) රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදියි.

ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනම විශේෂිත ඡන්ද මධ්‍යස්ථානයක් හෝ ජංගම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද (16) හතරවන (4) දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට අද (16)ඒ සඳහා අවස්ථාව පවතිනවා.

***************************************

පුදුකුඩිඉරිප්පු – මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමංවූ සිසුන් 9 දෙනෙකු බේරා ගැනේ

(16.07.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පුදුකුඩිඉරිප්පු – මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාවක් සඳහා ගොස් අතරමංවූ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 9 දෙනෙකු පොලිසිය සහ යුද හමුදාව සිදුකළ මෙහෙයුමකින් පසු බේරාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (15) මෙම පිරිස මෙලෙස රක්ෂිතය තුළ අතරමංව සිටි බවයි.

පසුව ඔඞ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බල සේනා මූලස්ථානයේ සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම පිරිස සොයාගෙන තිබුණා ෴

***************************************

ඉඩම් ප්‍රශ්නය දෙමළ ජාතිවාදීන්ට දේශපාලන අවියක් කරගන්න යළි ඉඩ දෙන්නේ නෑ

(16.07.2020 – mawbima.lk)

දෙමළ ජාතිවාදී දේශපාලකයන්ට ඉඩම් පිළිබඳ ගැටලුව දේශපාලන අවියක් කරගෙන කටයුතු කිරීමට මින් ඉදිරියට ඉඩ නොතබන බවත් උතුර හා නැඟෙනහිර ගොවීන්ට වගා කිරීමට ප්‍රථම අදියර යටතේ ඉඩම් අක්කර 200 ක් ලබා දීමට කටයුතු කරන බව කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

උතුර හා නැඟෙනහිර ගොවීන්ට වගා කිරීම සඳහා කජු සංස්ථාවට අයත් ඉඩම් අක්කර 200 ක් තල් සංවර්ධන මණ්ඩලයේ මැදිහත් වීම මඟින් ලබා දීමට අදාළ ගිවිසුම ඒ අනුව ඊයේ (15 දා) කර්මාන්තය සහ සැපැයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපිටදී අස්සන් තැබීය.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ කීය :

“උතුරේ ජාතිවාදී දේශපාලකයන්ට මෙහෙම වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාවට තියෙන හමුදා කඳවුර ඉවත් කරලා ඉඩම් ගන්න මිසක් වගා කිරීමට හැකි ඉඩම් ගන්න නෙවෙයි. නමුත් ඉදිරියේදී ඉඩම් ප්‍රශ්නය අපි නිරාකරණය කරනවා. කජු සංස්ථාවේ එකඟතාවයෙන් ගොවීන්ට මේ ලබා දෙන ඉඩම්වල අතරමැදියා ලෙස තල් සංවර්ධන මණ්ඩලය කටයුතු කරනවා. ඒ වගේම මේ අනුව වගා කිරීමට බෝග නියම කරලා තියෙනවා කජු වගාවට හානි නොවන මුං, කව්පි, උඳු, කහ, ලූනු, තල වගේ බෝග වවන්න කියලා.”

එහිදී අමාත්‍යවරයා රටේ පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳවද මෙසේ අදහස් ප්‍රකාශ කළේය :

“කොවිඩ්-19 අඩු වීම වැඩි වීම කොහොම වුණත් ඒ තත්ත්වය අපේ ආණ්ඩුව පාලනය කරලා අවසන්. මොකද මැරුණු 11 න් 10 දෙනකුම මැරුණෙ කොවිඩ්වලින්ම නෙවෙයි. අනික පිටරට ඉඳලා ආව අයට ඇරෙන්න අනෙක් හැම කෙනෙකුටම කොරෝනා සුව වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව ප්‍රකාශ කරනවා. නමුත් මේ බොර දියේ මාළු බාන විපක්ෂය ඡන්ද කල් දැමීමට කොවිඩ්-19 යොදා ගන්න හදනවා. නමුත් මේ මැතිවරණය අගෝස්තු 05 පැවැත්විය යුතුම වෙනවා. අනික මේ මැතිවරණය කලින් තියන්න තිබ්බ දවසේ තිබ්බා නම් රටේ මේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් දැන් විපක්ෂය කියන්නේ භාරකාර ආණ්ඩුවටම රට කරන්න කියලා නම් අපි ඒක කරනවා. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ජනතාවට අවශ්‍ය ජනමතයට අනුව රට පාලනය කිරීම. නැතිව විපක්ෂය කියන විදිහට කිරීම නොවෙයි.

ඒ වගේම පසුගිය රජය ඛනිජ වැලි පිළිබඳව ගවේෂණ කටයුතු සහ ඛනිජ වැලි කැණීම් කිරීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා. මොකද ඕස්ට්‍රේලියානු සමාගමකට මේ පිළිබඳව කටයුතු කිරීම තනි පුද්ගලයෙක් මඟින් අයිතිය ලබා දීමක් හා ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීමක් පිළිබඳව අපට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව සෙවීමට අපේ රජය කටයුතු කරන අතර එම නීත්‍යනුකූල නොවන ගිවිසුම් අහෝසි කිරීමටත් අපි කටයුතු කරනවා.”

***************************************

මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුව ඉදිරි දින දෙක තුළ

(16.07.2020 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක (2) තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය නීති කැඩූ බස්නාහිර පළාතේ සම්භාහන මධ්‍යස්ථාන පහක් (5) වටලයි

(16.07.2020 – 09:10 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5 ක් පොලීසිය වටලා තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ බියගම, බොරලැස්ගමුව, මීගමුව සහ කොච්චිකඬේ යන ප්‍රදේශවල මෙම සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒවායේ සේවය කළ කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුද (2) පොලීසිය ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් එක්ලක්ෂ 7,126 දෙනෙකු දැනුවත් කර ඉන් මුඛ ආවරණ පැළඳ නොසිටි 10,700 ක අවවාද කර මුදාහැරි බවද පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළා ෴

***************************************

ඉදිරි දින 4 ඉතාම වැදගත් – යුද්ධ හමුදාපති

(16.07.2020 – 11:49 +0530 – sinhala.adaderana.lk)

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේවන විට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (16) උදෑසන ‘දෙරණ අරුණ’ සමග එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, ඊයේ (15) දිනය වනවිට කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙක් පමණක් බවය.

“කන්දකාඩු සමග සම්බන්ධ වු පුද්ගලයින් සොයා ගැනීමේ හැකියාව ඒ අනුව හිමිවනවා” යනුවෙන් ද පවසා සිටි හමුදාපතිවරයා, එහි සිටි සියලු රැඳවියන් මේ වන විට පරීක්ෂණයට භාජනය කර අවසන් ඇති බවය.

මේ අතර එහි උපදේශකයින් සියලු දෙනා ද පරීක්ෂණයට යොමු කර ප්‍රතිඵල ලැබී අවසන් බවත් , මේ වන විට අදාළ පුද්ගලයින්ගේ පවුල්වල අයගේ පීසීආර් පරීක්ෂණ ලැබීමට නියමිත බව ද යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

පුනරුත්තාපනය වෙන අය බැලීමට ගිය 116 දෙනා සමග සම්බන්ධ 378 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව ද පැවසු ඔහු, ඉදිරි දින 4 ඉතාම වැදගත් වන බව ද කියා සිටියේය.

අනිවාර්යයෙන් ම සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නැයි නැවත වතාවක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසු හමුදාපතිවරයා ශාරීරික දුරස්ථභාවය පත්වා ගැනීමට වගබලා ගන්නා ලෙසත් පැවසීය.

‘හොඳ පුරුදු’ පවත්වා ගන්නේ නම් සාමාජයෙන් කොවිඩ් තුරන් කිරීමට හැකියාව පවතින බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

***************************************

අපේක්ෂා රෝහලට ඒමට බිය වෙන්න එපා – රෝහල් අධ්‍යක්ෂ

(15.07.2020 – 21:42 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයෙකු පිළිකා රෝහලට පැමිණ ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ පිළිකා රෝහලට පැමිණීමට කිසිදු රෝගියෙකු හෝ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඥාතීන් බියක් ඇතිකර ගත යුතු නොවන බව අධ්‍යක්ෂවරයා පැවසීය.

***************************************

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CID යෙන් කණ්ඩායම් තුනක් (3)

(16.07.2020 – colombotoday.com)

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින් 26 දෙනෙකු එම විමර්ශන සඳහා යොදවා ඇති බවය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිර්මාණය විමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

යම් කරුණක් පිළිබඳ ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම ‘දණ්ඩ නීති සංග්‍රහයේ 120 යන වගන්තිය’ අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව වසර 2 ක කාලයක් බන්ධනාගාර ගත කළ හැකි බව ද පැවසු අජිත් රෝහණ මහතා, විශේෂයෙන් මෙවැනි පුද්ගලයින් දඩයකට ලක් කළ හැකි බව ද කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන නීතින් අනුව ද මෙය වැරැද්දක් වන බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා, සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන තොරතුරු නිල වශයෙන් ම සත්‍යය බව නොදන්නේ නම් තම ගිණුම්වලින් එම පුවත් බෙදා හැරීමෙන් වළකින්න යැයි ද ඉල්ලා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *