අඟුලානේ පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වය පාලනය කරයි – ආරක්ෂාවට එස්.ටී.එෆ් කැඳවයි

(16.07.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala)

අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳ හා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා.

පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16) පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.

එය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ප්‍රදේශවාසීන් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් පොලීස් ස්ථානයට හානි සිදුව තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළ නඩුව අද (16) කැඳවීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවක නිරත වුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ikbO3Z1pfS0#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++

අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු 13 ක් අත්අඩංගුවට

(16.07.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් ද ඇතුලුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අඟුලාන පොලීසිය ඉදිරිපිට අද (16) පස්වරුවේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් හට ගත්තේ පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

එහිදී, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමටයි පියවර ගෙන තිබුණේ.

ඔවුන් මෙලෙස පොලීසිය ඉදිරිපිටට ගොස් කලහකාරි ලෙස හැසිරීමට පෙර මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වුණා.

ඒ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද (16) මහේස්ත්‍රාත් අධිකරණය කැඳවන අතරතුරදීයි.

එහිදී මියගිය පුද්ගලයාගේ මව ඇතුළු පවුලේ ඥාතීන් ඊට එක්ව සිටියා.

එම විරෝධතාවයෙන් අනතුරුවයි ඔවුන් අඟුලාන පොලීසිය ඉදිරිපිටට ගොස් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙම පහරදීමෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුව, ජනෙල්, වීදුරු ආදියට අලාභ හානි සිදුව ඇති බවයි.

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 100 ක පමණ පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය 10 වනදා රාත්‍රී 12:25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව – ලුනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් (2) නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා.

එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් අඟුලාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පසුව සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කිරීමටයි කටයුතු කර තිබුණේ. සිද්ධියේ විමර්ශන කටයුතු අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියෝග කර ඇති අතර, යළි නඩුව කැඳවීම මේ මස 30 වනදා දක්වා කල් තබා තිබෙනවා ෴

***************************************

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් පී.සී.ආර් පරීක්ෂණ 36,101 ක්

(16.07.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය සහ මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ඒ සඳහා පත් කර ඇති විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (16) රැස්වුණා.

ඒ විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 18 වනදා සිට ජූලි මස 15 වනදා දක්වා දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 131,527 ක් සිදුකර ඇති අතර ඉන් වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකර තිබෙනවා.

එය 36,101 ක් ෴

***************************************

මාස එකහමාරකදී හෙරොයින් සමඟ 9648 දෙනෙකු අත්අඩංගුවට

(16.07.2020 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී හෙරොයින් සමඟ පුද්ගලයින් 9648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 6 වනදා සිට මේ මස 15 වනදා දක්වා දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලීම් වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එහිදී වරෙන්තුකරුවන් 15,152 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවි ආයුධ සමඟ සැකකරුවන් 154 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ටී-56 ගිනි අවි 11 ක්, බෝර 12 ගිනි අවි 48 ක්, රිපීටර් 74 ක් සහ ජීව උණ්ඩ 838 ක් පොලිස් භාරයට ගැණුනා ෴

***************************************

අනිද්දා (18) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(16.07.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (18) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අනිද්දා (18) පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

එමෙන්ම, අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද අනිද්දා (18) දිනයේදීම පස්වරු 2 සිට පසුදා පස්වරු 6 දක්වා පැය 16 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, සහ කොස්වත්ත යන ප්‍රදේශවලට එලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට පෝෂණ මල්ලක්

(16.07.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

හඳුනාගත් පාසල් 7716 ක පළමු (1) ශ්‍රේණියේ සිට පස්වන (5) ශ්‍රේණිය දක්වා සිසු දරුවන්ට පෝෂණ මළු බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන සමඟ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, එහි සමාරම්භක අවස්ථාව ඊයේ (15) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කලපලුවාව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේදී පැවැත්වුණා.

දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන් මිලියන 1.7 කට ආසන්න පිරිසක් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

පාසල් පෝෂණ මුළු රටපුරා දරුවන් වෙත බෙදා හැරීමේ ක්‍රියාවලියට සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ද එක්ව සිටිනවා ෴

***************************************

පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි

(17.07.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

අනවසර ස්ථානවල සහ පදික වේදිකාවන් හි නවතා තබන යතුරුපැදි මෙන්ම වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.

අනවසර ස්ථානවල රථ වාහන නවතන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා අතර, ජාතික මංමාවත් පනත යටතේ රුපියල් 50,000 දක්වා දඩයකට යටත් කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මුහුදු රළ ඉහළ යාම ගැන කාලගුණයෙන් නිවේදනයක්

(16.07.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (17) පස්වරු 5 දක්වා වලංගු වන පරිදියි.

කළුතර සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව එම ප්‍රදේශවල වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2 ත් 2.5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන උස් රළ නොවන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම ආසන්න වෙරළබඩ ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළට

(16.07.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) තවත් ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ අතර මෙරට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය පවසනවා.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුර පිළිබඳව අදහස් දක්වමින්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,686 දෙනෙකු වාර්තා වන අතර, අද (16) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 12 ක්.

ඔවුන්ගෙන් 08 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර, අනෙක් 04 දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකළ අයවලූන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) දිනයේදී තවත් ආසාදිතයන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

ඒ අනුව, වෛරසය ආසාදිත 664 දෙනෙකු පමණක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

කන්දකාඩු පොකුරෙන් හඳුනා ගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 541 ක්.

ඉන් 444 දෙනෙකුම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වනවා.

මේ අතර, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබලෙකු මොණරාගල – බඩල්කුඹුර – ගල්ලබ පිරිවෙනේ ආගමික වැඩසටහනකට සහභාගි වී තිබීම හේතුවෙන් එම පිරිවෙනේ ස්වාමින් වහන්සේ 45 නමක ඇතුළු 75 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස ස්වයං නිරෝධායනයට යොමුකළා.

එමෙන්ම, කන්දකාඩු පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගත් කුරුණෑගල – තෝරවතුර ප්‍රදේශයේ සහ පැල්මඩුල්ල – නාරංගොඩ සහ ඇන්දාන ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් මෙන්ම, හෝමාගම රජයේ ආයතනයක නිලධාරින් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ ඉතාම ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය ප්‍රකාශ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, කොරෝනා වෛරසය පාලනය සහ මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ඒ සඳහා පත් කර ඇති විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (16) රැස්වුණා.

ඒ, විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

(16.07.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම ඔප්පු වී තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළා.

ඒ, රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවට අදාළ නීතිපතිවරයාගේ දේශන අවසන් කරමින්.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණුනා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රන්ජන් රාමනායක අවස්ථා 4 කදී සපථ කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනුකළ පසු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුලදීම මාධ්‍ය වෙත අදහස් දක්වමින්, අදාළ අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියා.

“මම කියපු මතය ඉවත් කර ගන්නේ නැහැ. ජිවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැහැ.” යනුවෙන් සඳහන් කරමින් ඔහු තමන් මුලින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ.

“අධිකරණය හොරු ධෛර්යමත් කරනවා. අධිකරණය හොරු උත්තේජනය කරනවා.” යනුවෙන් ඔහු අධිකරණ පරිශ්‍රය තුළ සිදුකර ඇති ප්‍රකාශවලින් විනිසුරුවරුන් නිසා දූෂිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවට මහජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා.

මෙහිදී අදාළ ප්‍රකාශ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ආධාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අවධානයට යොමු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරනු ලබන මෙවැනි ප්‍රකාශ හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවටයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අනතුරු අඟවා සිටියේ.

මෙම ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාස කිරීම සඳහා වගඋත්තරකාර රන්ජන් රාමනායක තුළ තිබූ චේතනාව මනාව පැහැදිලි වන බවත්, අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් වෙත ප්‍රහාර එල්ල කිරීමට දේශපාලනඥයන්ට අවසරයක් හෝ බලපත්‍රයක් හිමිවී නොමැති බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2018 වසරේ අගෝස්තු 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බවට ප්‍රකාශ කර තිබුණා.

එමගින් ඔහු අධිකරණයට අපහාස කළ බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා සිදුකළ පැමිණිල්ල අනුව නීතිපතිවරයා මීට අදාළ චෝදනා ගොනුකර තිබෙනවා.

නඩුව යළිත් අගෝස්තු 24 වනදා කැඳවීමට නියමිතයි ෴

***************************************

හොරකම් වහගන්න ETI සමාගම ලක්ෂ 1130 ක් ගෙවූ බව හෙලිවේ

(16.07.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවීම වැළැක්වීම සඳහා අදාළ නියාමන ආයතනවල ඉහළ නිලධාරීන්ට රුපියල් මිලියන 113.8 ක මුදලක් ගෙවා ඇති බව, අද (16) අනාවරණය වුණා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීයි.

කොමිෂන් සභාව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද (16) සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන වෙත ගොස් පරීක්ෂණ සිදුකරන අංශය හෙවත් ‘එතැන් පරීක්ෂණ අංශයේ’ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ බවත් 2012 වසරේ පෙබරවාරි මාසයේදී එම ආයතනයේ පරීක්ෂණයක් සඳහා සහභාගී වූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහිදී ETI ආයතනය අනාවරණය නොකළ ගිණුම් පොත්ද පවත්වාගෙන යන බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඔහු කියා සිටියා.

2012 වසරේ අනාවරණය කළ ගිණුම්වල රුපියල් බිලියන 12 ක් තිබෙන විට අනාවරණය නොකළ ගිණුම්වල රුපියල් බිලියන 8.6 ක මුදලක් තිබූ බවද සාක්ෂිකරු කොමිසමට පෙන්වා දුන්නා.

ETI ආයතනයේ ද්‍රවශීලීතාවය, වත්කම් ආදිය සැලකිල්ලට ගැනීමේදී මූල්‍ය තත්වය ඉතාමත් පහත් මට්ටමක තිබීම නිසා එම ආයතනයේ අඛණ්ඩ පැවැත්ම අවිනිශ්චිත බව තමන් විසින් සිදු කළ එතැන් පරීක්ෂණ වාර්තාව අවසානයේ සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

අනාවරණය නොකළ ගිණුම් මගින් 2012 වසර වන විට අනුබද්ධ ආයතනවලට ETI ආයතනය ලබාදුන් ණයවල වටිනාකම රුපියල් බිලියන 1 යි මිලියන 455 ක් බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

සාක්ෂිකරු සඳහන් කළේ ETI ආයතනයේ අනාවරණය නොකළ ගිණුම් අතර තිබූ විශේෂ ගිණුමක් මගින් රුපියල් මිලියන 113.8 ක මුදලක් නියාමන ආයතනවල බලධාරීන්ට සහ අනෙකුත් ආයතනවල බලපෑමක් කළ හැකි බලගතු පුද්ගලයින්ට ගෙවා තිබුණු බවයි.

මෙම තොරතුරු තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූයේ එවකට ETI ආයතනයේ සිටි ගණකාධිකාරීවරයෙකුගෙන් බවද සාක්ෂිකරු පැවසුවා.

තවත් එවැනි අපැහැදිලි ගිණුම් කිහිපයක්ම තිබූ බවත් ඒවා කුමන ආකාරයේ ගෙවීම් සිදු කිරීමට භාවිතා කළාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබා දීමට ETI ගණකාධිකාරීවරයා අපොහොසත් වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

මෝටර් රථයක් ගෙන්වීම සඳහා රුපියල් මිලියන 33.4 ක් ගෙවා තිබුණත් එය ETI ආයතනයේ නමින් ලියාපදිංචි කර නොතිබූ බවද සාක්ෂිකරු අනාවරණය කළා.

ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 94.9 ක මුදලක් ගෙවා තිබුණත් ලබා ගත් දේපලක් පිළිබඳ සාක්ෂි තමන්ට හමු නොවූ බව සාක්ෂිකරු පැවසුවා.

තැන්පත්කරුවන්ගේ මුදල් අනාවරණය නොකළ ගිණුම් පොත්වල සටහන් වී තිබීම නිසා එම මුදල් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීම ද ගැටළු සහගත බව සාක්ෂිකරු කොමිසමට පෙන්වා දුන්නා ෴

***************************************

මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් අනුව ජාඇල පොලිස් ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කෙරේ

(16.07.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ජාඇල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීම අනුව පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම පියවර ගෙන ඇති බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ෴

***************************************

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාගත් ක්ෂේත්‍ර ආවේක්ෂණ වෑන් රථයට සිදුවුණ දේ

(16.07.2020 – 20:04 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට 2018 ජුලි මාසයේදී තමන් විවෘත වරෙන්තුවක් ලබාගත්තද, ඒ පිළිබඳ ව දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන දැනුවත් නොකළ බව ත්‍රස්‍ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (16) පිළිගත්තේය.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසම හමුවේදී.

එහිදී විශේෂ හෙළිදරව්වක් කරමින් ඔහු සඳහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයේ සිට 2015 දී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තමන් ලද ස්ථාන මාරුව දේශපාලනික මාරුවක් බවය.

වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොමිසමට පැවසුවේ තමා රාජ්‍ය බුද්ධි සේවයේ සිටි 2005 – 2015 කාල පරාසය තුළ සෞදි අරාබියේ සිට පැමිණි දේශකයින් මෙරට මද්‍රසා පාසල්වල අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බව දැනගත් බවය.

ඔවුන්ට වීසා නිකුත් කර තිබුණේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව බවයි සාක්ෂිකරු අනාවරණ කළේය.

එම නිසා ඔවුන්ට වීසා ලබාදීම පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දැනුවත් කරන්නැයි තමන් වගකිවයුත්තන්ට දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

නමුත් 2015 පෙබරවාරි 25 වැනිදා තමන්ව රාජ්‍ය බුද්ධි සේවයේ සිට පොලිස් ත්‍රස්ත විම‍ර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළේය.

කොමිසමට විශේෂ අනාවරණයක් කරමින් ඔහු කියා සිටියේ එම ස්ථාන මාරුව පිළිබඳ ව තමන් කිසිඳු කැමැත්තකින් නොසිටි බවත් එය මුලුමනින්ම දේශපාලනික වුවමනාවක් මත සිදුවූ මාරුවක් බවය.

නමුත් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණයේ පැවති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රතිව්‍යුහගත කර ආගමික අන්තවාදය පිළිබඳ ව අධ්‍යයනය සඳහා වෙනම ඒකකයක් පිහිට වූ බවත් නාලක ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ යටතේ, නවීන තාක්ෂණයෙන් යුත් ජපානයේ නිෂ්පාදිත ක්ෂේත්‍ර ආවේක්ෂණ වෑන් රථයක් 2018 දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාගත් බව ද ඔහු කියා සිටියේය.

සැකකරුවෙකුගේ ඡායාරූපයක් ලබාදුන් විට භූමිය තුළ ඔහු සිටින ස්ථානය සොයාගැනීමේ හැකියාව එම උපාංග පද්ධතියට තිබූ බව ඔහු හෙළි කළේය.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ සහරාන් හෂීම්ගේ ඡායාරූපයක් එම රථයට ලැබුණහොත් ඔහු සිටින ස්ථානය සොයාගැනීමේ පහසුකමක් එහි පැවතියේද යන්නය.

ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු පැවසුවේ එම පහසුකම එහි පැවතිය ද, එම රථය තම කොට්ඨාසයට ලැබී මාස 02 ක් තුළ තමා අත්අඩංගුවට පත් වූ බැවින් එවැනි ප්‍රයෝජනවත් ක්‍රියාවකට එම රථය යෙදවීමට නොහැකි වූ බවය.

තමා අත්අඩංගුවට පත්වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝගයක් මත මෙම රථය මෙහෙයුම් සඳහා යොදා ගැනීම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තහනම් කළ බවත් ඔහු හෙළි කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිටිය දී සාක්ෂිකරු අඟහරුවාදා දිනවල පැවති ආරක්ෂක සම්බන්ධීකරණ රැස්වීම්වලට සහභාගි වූයේ ද යන්නය.

2017 සැප්තැම්බර් මස 24 වැනිදායින් පසු විශේෂ හේතුවක් මත එම රැස්වීමට සහභාගී නොවූ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.

එදින පැවති ආරක්ෂක සම්බන්ධිකරණ රැස්වීමේදී එවකට ආරක්ෂක ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතා සමග ඇතිකරගත් මතභේදයක් ඊට හේතු වු බව ඔහු පැවසුවේය.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම්ට විරුද්ධව තමා 2018 ජුලි 09 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ නිලධාරියෙකු ආවේක්ෂණ රාජකාරි සඳහා යෙදවු බවය.

කොමිසම ප්‍රශ්න කළේ එම විවෘත වරෙන්තුව පිළිබඳ සියලු පොලිස් ස්ථාන දැනුවත් කළේද යන්නය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්ම සිදුකෙරෙන මෙහෙයුමකින් සහරාන් අත්අඩංගුවට ගැනීම අරමුණ කරගෙන සිටි බැවින් එම වරෙන්තුව පිළිබඳ අනෙකුත් පාර්ශ්ව දැනුවත් නොකළ බවයි ඊට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේය.

මේ අතර තමන් වසරකට වැඩි කාලයක් වැඩ තහනමකට ලක්ව සිටීම සහ මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන් ඇතැම් කරුණු තමන්ට අමතක බව නාලක ද සිල්වා මහතා කොමිසම හමුවේ අදත් (16) කිහිප වරක්ම පැවසීම විශේෂත්වයකි.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අද (16) 5 වන දිනටත් කැඳවා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා ද අද (16) එම පොලිස් ඒකකටය වෙත පැමිණ සිටියේය.

***************************************

පන්නල බිහිසුණු බස් අනතුර

(16.07.2020 – 18:18 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ භටයන් පිරිසක් තැපැල් ඡන්දය භාවිත කිරීමට ප්‍රවාහනය තිබු බස් රථයක් පන්නල නගරයේදී ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක ගැටී තිබේ.

එම අනතුරින් ඇඟලුම් කම්හලේ සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ බව අප වාර්තාකරු පැවසීය.

බස් දෙක එකිනෙක ගැටීමෙන් පසු ඇඟලුම් කම්හලේ සේවිකාවන් පිරිස ප්‍රවාහනය කළ බසය තවත් ටිපර් රථයක ගැටී ඇති අතර ගුවන් හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ බසය මාර්ගය අසළ පිහිටි ගොඩනැගිල්ලක ද ගැටී තිබුණි.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස්

(16.07.2020 – 22:08 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ තමා පොළොන්නරුවට කළ සංවර්ධනය පිළිබඳ තවත් වසර 25 කින් පසු ජනතාව කතා කරනු ඇති බවයි.

අද චෝදනා කරන පිරිස් තමා මියගිය දිනක තමා පිළිබඳ කතා කරනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක පෙන්වා දුන්නේ බුද්ධි අංශවලින් වාර්තා 97 ක් යවා තිබියදීත් මාස 3 කින් ආරක්ෂක මණ්ඩලය රැස්කර නොතිබූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ රජයක් නිර්මාණය කර මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන එන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අරමුණ බවයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආශු මාරසිංහ කියාසිටියේ.

මාස 8 ක් ගතවී ඇතත් මහ බැංකු සොරුන් අත්අඩංගුවට ගැනීමට රජයට නොහැකිවී ඇතැයි කුමාර වෙල්ගම කියාසිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *