නාලක සිල්වා දෙවන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

(17.07.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද ඒ පිලිබදව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත් නොකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරව සිට වැඩ තහනමට ලක්වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඊයේ (16) පිළිගත්තා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ දෙවන (2) දිනටත් සාක්ෂි ලබා දෙමින්.

2017 සැප්තැම්බර් 24 පැවති ආරක්ෂක සම්බන්ධිකරණ රැස්වීමේදි එවක ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න විසින් කළ දෝෂාරෝපණයක් නිසා තමන් එම රැස්වීමෙන් ඉවත් වු බව ද ඔහු එහිදී කියා සිටියා.

ඔහු තවදුරටත් සදහන් කලේ එම රැස්වීමේදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්, මෙරට තුළ ඒ වනවිටත් තුර්කි සංවිධානයක් වු ෆෙටෝ සංවිධානයේ ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු අනාවරණ කළ අතර ඒ පිළිබද සොයා නොබැලූවේදැයි පවසමින්, තමන්ට දෝෂාරෝපණය කළ බවයි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් එම අනාවරණය කරන තෙක් තමන් එවැන්නක් නොදැන සිටි බවත් එය බුද්ධි අංශ විසින් දැනුවත් කළ යුත්තක් බවත් පැවසූ නාලක ද සිල්වා “TID Director වුණු පළියට බුද්ධි තොරතුරු අහසෙන් කඩන් වැටෙන්නේ නැහැ”‍ යනුවෙන් පැවසුවා.

එවැනි තොරතුරු නොලැබීමට හේතුවූයේ එවකට පැවති රජයේ ප්‍රතිපත්තිවලට බලපෑමක් විය හැකි නිසා බවත්, එම ක්‍රියාදාමය සාර්ථකද යන්න පාස්කු ප්‍රහාරය හා සැසදීමේදී පෙනීයන බවත් නාලක ද සිල්වා කොමිසමට පැවසුවා.

අනතුරුව ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ 2018.07.09 දින තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගෙන ආවේක්ෂණ රාජකාරී සඳහා නිලධාරීයකු යෙදවූ බවයි.

කෙසේ වෙතත්, අදාළ විවෘත වරෙන්තුව පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් නොකොට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් පමණක් කටයුතු කළ බවද ඔහු මෙහිදී සඳහන් කළා.

කොමිසම මෙහිදී විමසුවේ අදාළ වරෙන්තුව ලබාගැනිමට පෙර හෝ පසු නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවේද යන්නයි.

වරෙන්තුව ලබා ගැනීමට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනුණද විශේෂ උපදෙසක් නොලැබුනු බවත්, වරෙන්තුව ලබා ගැනීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට ගොනු දෙකක් මගින් නීතිපතිගේ උපදෙස් ඉල්ලා සිටියත් ඊට උපදෙස් නොලැබුණු බවත් නාලක ද සිල්වා වැඩිදුරත් සදහන් කළා.

එහිදී කොමිසම පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ කටයුතු සම්බන්ධව නිලධාරියෙක් සිටි බැවින් ඔහු සමඟ සහරාන්ගේ වරෙන්තුව පිළිබඳ සාකච්ඡා නොකළේ ද යන්නයි.

ඒ ගැන තමන්ට විශේෂ මතකයක් නැතැයි නාලක සිල්වා එහිදී පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා ෴

***************************************

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(17.07.2020 – 06:52 +0530 – hirunews.lk/sinhala)

සෙනරත්ගම දී දුම්රියක් පීලි පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඊයේ (16) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ දුම්රිය, සෙනරත්ගම දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්වුණා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ගල්ගමුව දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

මේ වන විටත් අදාළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.

***************************************

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහ කළ කාන්තාවන් 09 ක් ඇතුළු 14 ක් පොලිස් අත්අඩංගුවට

(17.07.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 ක් සහ කාන්තාවන් 9 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (16) පස්වරුවේ පොලිසිය ඉදිරිපිට මෙලෙස උණුසුම් තත්ත්වයත් හට ගත්තේ පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

එහිදී, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට පියවර ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙම පහරදීමෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුව, ජනෙල්, වීදුරු ආදියට අලාභ හානි සිදුව තිබූ බවයි.

පොලිස් නිලධාරීන් 8 දෙනෙකු එහිදී තුවාල ලැබුවා ෴

+++++++++++++++++++++

අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරුණු 14 දෙනාට ඇප – පොලීසියට ගැසූ ගල් 1619 ක් උසාවියට

(17.07.2020 – 16:46 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු 14 දෙනාට ඇප නියම කෙරුණා.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අයුතු ජන රාශිය, රජයේ නිලධාරින්ට තුවාල සිදුකිරීම සහ අනර්ථය සිදුකිරීම යන චෝදනා අදාළ සැකකාර කාන්තාවන් 09 දෙනා ඇතුළු 14 දෙනාට එරෙහිව ගොනුකර තිබෙනවා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අගුලාන පොලීසියට පහරදුන් ගල් 1619 ක් ගෝනී දෙකක පුරවා අධිකරණයට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (16) පස්වරුවේ පොලිසිය ඉදිරිපිට මෙලෙස උණුසුම් තත්ත්වයත් හට ගත්තේ පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධියට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ෴

***************************************

දරුවන් ගැන සිතා ඩිජිටල් උප්පැන්නයෙන් විවාහක බව ඉවතට

(17.07.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස දෙක (2) තුළ හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ ‘දෙමව්පියන් විවාහක ද, නැද්ද’ යන කොටස ඉවත් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එම්.සී. විතානගේ මහතා ප්‍රකාශ කළා.

දරුවන්ට අගතිදායක බැවින් පැරණි උප්පැන්න සහතිකයේ තිබූ මෙම කොටස නව උප්පැන්න සහතිකයට ඇතුළත් නොකළ බවයි රෙජිස්ටාර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

ජනතාවගේ පහසුව උදෙසා මෙම මාසය අවසන් වීමට පෙර උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කරන කාර්යාලයක් ආගමන විගමන සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටි සුහුරුපායේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කළා ෴

[ http://www.rgd.gov.lk/web/index.php/si/ ]

***************************************

පඹහින්න ප්‍රදේශයේදී ලංගම බස් රථයක් නතර කළ බදුල්ල-කොළඹ පෞද්ගලික බස් චන්ඩි කළ දේ මෙන්න

(17.07.2020 – 08:09+0530 – hirunews.lk/sinhala)

බදුල්ල-කොළඹ පෞද්ගලික බස් රථයක් පඹහින්නේදී ලංගම බස් රථයක මග අවහිර කරමින් පෞද්ගලික බස් චන්ඩි කළ තර්ජනය.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකු සහ එහි සහායකවරයෙකු විසින් ලංගම බස් රථයක ධාවනයට මහමගදී බාධා එල්ලකළ පුවතක් වර්තාවනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ පඹහින්න ප්‍රදේශයෙන්.

මෙලෙස වැලිමඩ-කොළඹ ලංගම බස් රථයට ධාවනය කළ නොහැකි ලෙස මාර්ගය අවහිර කරමින් එහි රියදුරාට සහ සහායකවරයාට තර්ජනය කර ඇත්තේ බදුල්ල-කොළඹ පෞද්ගලික බස් රියදුරෙකු සහ එහි සහායක විසින් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

***************************************

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත්, කොරෝනා ආසාදනය වී නෑ

(17.07.2020 – 09:57 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ එම මධ්‍යස්ථානයට රැඳවියන් බැලීමට පැමිණි සියළු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදුකර අවසන්ව ඇති බවයි ෴

***************************************

සෙලින්කෝ සමාගමට එරෙහි රැල්ලක් රටපුරා – සෙලින්කෝ සමාගමේ භාණ්ඩ හා සේවාවර්ජනය කිරීමට සැරසේ – සිවිල් සංවිධාන එකතුවේ

(17.07.2020 – colombotoday.com)

මෙරට සිවිල් සංවිධාන මර්ධනය කිරීමට සෙලින්කෝ සමාගමට අනුබද්ධ සමාගම් කටයුතු කිරීම නිසා රට පුරා සෙලින්කෝ සමාගට විරුද්ධ රැල්ලක් ආරම්භකරන බව සිවිල් සංවිධාන නායකයින් කිහිපදෙනෙකු අප සමග පැවසීය. මීට හේතුව වී ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාට එරෙහිව කොළඔ දිසා අධිකරණයේ නඩු දෙකක් පසුගිය දිනක පවරා ඇති නිසා වන අතර එම නඩු පැවරීම සදහා වන නඩු නිමිත්ත පිළිබදව සිවිල් සංවිධාන සිය කණස්සල්ල පළකරයි. ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට නඩු පැවැරිමට අයිතියක් ඇති නමුත් කිසියම් සංවිධානයක් සමාගමක අඩුපාඩු හා දූෂණ පිළිබදව හෙළිකරන විට එම සංවිධානයේ කටයුතු මැඩපැවැත්වීම සදහා කටයුතු කිරීම පිළිගත නොහැකි බව ඔවුන් පවසයි. ද ෆිනෑන්ස් සමාගම බිද වැටී තැන්පත්කරුවන් අසරණ වී ඇති අවස්ථාවේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අගමැතිවරයාට ලිපියක් ලියා ඇත්තේ ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවනට මුදල් ගෙවන ක්‍රමවේදය පිළිබද සදහන් කරමින්ය. තම සමාගමට එරෙහිව අදාල ලිපිය යොමු කිරීම පිළිබදව සෙලින්කෝ සමාගමට අනුබද්ධ සමාගමක් හා ඊට අනුබද්ධ සමාගමක සභාපතිවරයෙක් විසින් මෙසේ නඩුපවරා ඇත.

අදාල එක් නඩුවක් පවරා ඇති ජගත් අල්විස් නැමැති අය සෙලින්කෝ ඉන්ෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂක ධුරයක්ද හොබවන අතර ඔහු සෙලින්කෝ සමාගමට අනුබද්ධ ICBT ආයතනයේ සභාපතිවරයාද වේ. ICBT ආයතනය විසින් නීතිවිරෝධී ආකාරයට HND පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් තෘයිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත හා අමාත්‍යවරයා වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පැමිණිලි කල පසු එසේ පාඨමාලා පැවැත්වීම අත්හිටවන ලෙස ICBT ආයතනයට තෘයිතික අධ්‍යාපන කොමිසම අවවාද කොට ලිපි නිකුත් කරන ලදී. තවද ICBT ආයතනය ඉදිරිපිට ඇති විදුලි දැන්වීම් පුවරුව නිසා රියදුරන්ට ඇති වන අපහසුතාවය පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී හෙළි වී ඇත්තේ අදාල දැන්වීම් පුවරුව සදහා කිසිදු අවසරයක් ලබා නොගෙන ඇති බවයි. ඒ අනුව පොලීසිය විසින් එම දැන්වීම් පුවරුව ක්‍රියාවිරහිත කිරීමට උපදෙස් ලබා දී ඇත. ඊට අමතරව ICBT ආයතනයේ අලෙවි විධායක විසින් එම ආයතනයේ ලේකම්වරියට කරන ලද ලිංගික අඩන්තේට්ටම් පිළිබදව අධිකරණයේ විභාගවන නඩුවක් පිළිබදවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිකරමින් කියාසිට ඇත්තේ එය අධ්‍යාපන ආයතනයක සිදුවීම බරපතල තත්වයක් බවයි.

Golden key සමාගමේ සියලුම වත්කම් විකුණා තැන්පත්කරුවනට මුදල් ගෙවීමට අධිකරණය නියෝග කොට තිබියදී Golden key සමාගමේ කොටස් ICBT ආයතනයේ සගවා ඇති බවට හෙළිදරව් කරන ලද්දේද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් වන අතර ඒ පිළිබදව මීට වසරකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවටද මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඔවුන් පැමිණිලි කර ඇත.

මෙරට මහාපරිමාණ සමාගම් විසින් හා කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් සූරා කෑමට එරෙහිව විශාල හඩක් නගන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැනි සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය නැවැත්වීම සදහා කටයුතු කිරීම මගින් සෙලින්කෝ සමාගම කරනු ලබන්නේ මෙරට පාරිභෝගිකයින්ට අගතියක් බව බොහෝ පාර්ශවවල මතය වී තිබේ. කෙසේ වෙතත් ඊට විරෝධය පළ කිරීම සදහා රට පුරා සෙළින්කෝ සමාගට එරෙහිව විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවත් සෙලින්කෝ සමාගමේ භාණ්ඩ හා සේවා වර්ජනය කිරීමේ රැල්ලක් ද ආරම්භ කරන බව සිවිල් සංවිධාන කිහිපයක් අප සමග පැවැසීය ෴

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (18) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට (18) පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

එමෙන්ම, අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද හෙට (18) පස්වරු 2 සිට පැය 16 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, සහ කොස්වත්ත යන ප්‍රදේශවලට එලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 09 දෙනෙක්

(17.07.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 09 දෙනෙකු පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන්වලට අනුකූලව මෙම පියවර ගත් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඊට අදාළ නිල උත්සවය ඊයේ (16) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කෙරේ

(17.07.2020 – 11:19 +0530 – hirunews.lk/sinhala)

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එල්ල වූ වන අලි ප්‍රහාරවලින් 3 දෙනෙකු මරුට

(17.07.2020 – 11:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපකදී වන අලි ප්‍රහාර එල්ල වීමෙන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන් එක් සිදුවීමක් වාර්තා වන්නේ මොණරාගල – ඔක්කම්පිටිය – දඹේයාය ප්‍රදේශයෙන්. අද (17) උදෑසන රබර් කිරි කැපීම සඳහා යමින් සිටි ප්‍රදේශයේ අඹු – සැමි යුවළකට වන අලියෙකු සිදුකළ පහරදීමකින් 60 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

62 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා ද පහරකෑමට ලක්වී ඇති අතර ඔහු ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඔක්කම්පිටිය – පළුකැළේ ප්‍රදේශයේදී ද ගොවිතැන් කරමින් සිටි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴

***************************************

තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් ලක්ෂ 25 ක් වටිනා ගවයින් සොරකම්කරයි

(17.07.2020 – 11:52 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ගවඝාතකාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී ගව ඝාතකාගාරය පවත්වාගෙනගොස් ඇත්තේ බේරුවල පොලිස් වසමට අයත් සමඩ් මාවත ප්‍රදේශයේයි.

එහි රඳවා සිටි එළ ගවයින් 18 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ගවයින් තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් සොරකම් කර රැගෙනවිත් ඇති බවයි.

මෙලෙස සොරකම් කර ඇති එල ගවයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් පමණවන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස 42 හා 37 වියේ පසුවන එම ප්‍රදේශයේම සැකකරුවන් බවයි සඳහන් වන්නේ.

කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

ඌරුජුවාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘රංග’ මුල්ලේරියාවේදී පොලිස් අත්අඩංගුවට

(17.07.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඌරුජුවා’ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘ධනුෂ්ක ආරියවංශ’ හෙවත් ‘රංග’ මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් හයක් සමඟ සැකකරු ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

ඔහුට එරෙහිව මේ වනවිටත් අධිකරණය හමුවේ මංකොල්ලකෑම්, මිනීමැරුම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට අදාළව නඩු විභාග වෙමින් පවතින බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

කුඩු අංජුගේ ගෝලයෙකු බැද්දගානේදී අත්අඩංගුවට

(17.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ අංජු’ගේ සමීපතමයෙකු වන ‘රුවන් සංජීව’ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 50 ක් සමඟ සැකකරු බැද්දගාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ෴

***************************************

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය රෙගුලාසි 3 කට නීතිපති අනුමැතිය – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් කොරෝනා රාජකාරිවලින් ඉවත් වෙයි

(17.07.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ සෞඛ්‍ය රෙගුලාසි 3 ක් සදහා නීතීපතිවරයා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ මැතිවරණ ප්‍රචාරණය, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම සඳහා පමණක් බවයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිණි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ.

අගෝස්තු 5 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කල ඊට අදාල රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජුනි 3 වනදා මැතිවරණ කොමිසමට භාර දුන්නා.

ඉන් අනතුරුව පසුගිය 15 වනදා අදාල රෙගුලාසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතීපතිවරයා වෙත යොමු කලා.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (16) මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ අදාළ සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය ලද විගස ඉදිරි දින දෙක තුළදී ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවයි.

නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිණි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය අද (17) සදහන් කළේ මෙවර මහ මැතිවරණයට අදාලව සෞඛ්‍ය රෙගුලාසි 3 ක් පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එම රෙගුලාසි 3 සදහා නීතීපතිවරයා අනුමැතිය ලබා දුන් බවයි.

සෞඛ්‍ය රෙගුලාසි 3 ක් පමණක් නීතිපතිවරයා වෙත යොමුකර තිබුණ ද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය ජුනි මස පළමු වැනිදා මැතිවරණ කොමිසමට ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ප්‍රධාන කරුණු 7 කින් සමන්විත වී තිබුණා.

මේ අතර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් තම සංගමය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පසුගියදා දිගින් දිගටම ප්‍රකාශ කර සිටියා.

එසේම, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අද (17) දහවල් 12:30 සිට කොවිඩ් 19 වසංගත පාලනයට අදාළ සිය රාජකාරියෙන් ඉවත් වුණා.

ඒ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත බල තල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කලේ යැයි පැවසෙන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් ෴

***************************************

මීගමුවේ හෝටලයකදී අවුරුද්දක් වයසැති දැරියක් දූෂණය කර අමානුෂික ලෙස වද දී ඝාතනය කරයි

(17.07.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

හෝටලයක වැසිකිලි කාමරයක් තුළදී වයස අවුරුද්දයි මාස 4 ක දැරියක් අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වර්තවනවා.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එහිදී දැරිය දූෂණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක් කර පහරදී ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 22 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

***************************************

අවශ්‍යවන්නේ දරුවන්ට හිමි දේපළ විකුණන රජයක් ද ? රැක ගන්නා රජයක් ද ? යන්න ජනතාව තීරණය කළ යුතුයි

(17.07.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට හිමි දේපළ විකුණන රජයක් පත්කරගන්නේද, නැත්නම් එම දේපළ රැක ගන්නා රජයක් බිහිකරගන්නවාද යන්න ජනතාව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රැවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ තවත් ජන හමුවක් ඊයේ (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *