පොලීසිය දැනුවත් කර තිබියදීත්, දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කෙරේ – විමර්ශනයට කමිටුවක්

(17.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

එම රාජ සභාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පසුගිය 6 වන දා පැමිණිල්ලක් කර තිබුණා.

එසේ තිබියදීත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගරාධිපතිවරයා එක්ව පෙරේදා රාත්‍රියේ අදාළ රාජසභා මණ්ඩපය මුළුමනින්ම ඩෝසර් කර ඇති බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ද පෙරේදා (15) දිනයේදීත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට තවත් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පැමිණිලි දෙකම සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පසුබිමක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබදව පොලිස්පතිවරයාට ලිඛිතව සහ වාචිකව දැනුම් දීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම රාජ සභා මණ්ඩපය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

+++++++++++++++++++++

කුරුණෑගල දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කිරීම පිළිබඳ අගමැති වාර්තාවක් කැඳවයි

(17.07.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පංච පුද්ගල විශේෂඥ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ සභාපතිත්වයට පත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මෙම ගොඩනැගිල්ලට හානි කිරීම පිළිබඳ වහාම සොයා බලා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපයේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පසුගිය 6 වන දා පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.

එසේ තිබියදීත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගරාධිපතිවරයා එක්ව පෙරේදා (15) රාත්‍රියේ අදාළ රාජසභා මණ්ඩපය මුළුමනින්ම ඩෝසර් කර ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ද පෙරේදා (15) දිනයේදීත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට තවත් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පැමිණිලි දෙකම සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පසුබිමක් තුළ ඒ පිළිබදව පොලිස්පතිවරයාට ලිඛිතව සහ වාචිකව දැනුම් දීමටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම රාජ සභා මණ්ඩපය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

කුරුණෑගල නගරාධිපති බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය විනාශ කර දමයි. ඇමති ජොන්ස්ටන්ගේ අනුහසින් නීතිය ක්‍රියාත්මක නොවෙයි

(17.07.2020 – colombotoday.com)

ප්‍රථම වරට කුරුණෑගල, රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගන ගොස් ඇති, ලීවලින් ඉදි කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි අට්ටාලය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණගේ උපදෙස් මත විනාශ කර දමා ඇති බව වාර්තා වෙනවා.

රාජ සභා මණ්ඩපයෙහි ආරක්ෂාව සඳහා පසු කාලයේදී ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක්සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුණි.

කුරුණෑගල මහ නගර සභාව විසින් කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගන ගොස් තිබුණි.

එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16 බ්‍රහස්පතින්දා) දිනයේ මුල පිරීමට නියමිතව තිබියදී මෙම ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර ඇත්තේ ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේදීය.

මේ අතර කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා පොලීසිය ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් මෙම අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින අතර නගරාධිපතිධූරය හොබවන තුෂාර සංජිව විතාරණ මීට ඉහතදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රියදුරෙකු, ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඔහු නගරාධිපති පුටුවේ ඉන්දවූ බවත් ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියි ෴

***************************************

මැතිවරණ කොමිසම ස්වාධීන නොමැති බවට ඇමති විමල්ගෙන් චෝදනාවක්

(17.07.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසම ස්වාධීන නොමැති බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

කොළඹ පැවති ජන හමුවකදී ඔහු සඳහන් කළේ කොමිසමේ සභාපතිවරයා දැන දැනම නිත්‍යනුකූලව වලංගු නැති පක්ෂයකට මෙවර මැතිවරණයට තරග කිරීමට අවස්ථාව දී ඇති බවයි.

***************************************

නවතම දත්ත වාර්තා අනුව ආණ්ඩුවේ තුනෙන් දෙකේ බහුතර බලය තහවුරු වී තිබෙනවා

(17.07.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දැනට ලැබී ඇති නවතම දත්ත වාර්තා අනුව ආණ්ඩුවේ තුනෙන් දෙකේ බහුතර බලය තහවුරු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

පදියතලාවට ගොස් ජනතා ප්‍රශ්න විසඳූ ජනපති

(17.07.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පදියතලාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ එක්වුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන තවත් ජනහමු කිහිපයකට ද ජනාධිපතිවරයා අද (17) සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කළ මෙම ජනහමුව පැවැත්වුණේ පදියතලාව – ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 11 ට පමණ ජනහමුවට එක්වුණා. එහිදී රැස්ව සිටි පිරිසගෙන් ජනාධිපතිවරයාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

***************************************

කබලෙන් ලිපට වැටුණු පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන්ගේ ඉරණම

(17.07.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

අතරමැදි වෙළෙන්දන් සිදුකරන අකටයුතුකම් නිසාත්, අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඇති අපහසුව නිසාත් පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන් අද වන විට දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

මේ ඒ පිළිබඳ කළ සොයා බැලීමක්.

අතීතයේ සිට පැවත එන කර්මාන්ත අතර ලෝහ කර්මාන්තය සදහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

පිත්තල කර්මාන්තය, එම ලෝහ කර්මාන්ත අතර පෙරමුණ ගන්නා කර්මාන්තයක්.

මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව- කිරිවවුල යන ප්‍රදේශවල සංස්කෘතිකමය කටයුතු සඳහා අවශ්‍ය වන පිත්තල භාණ්ඩ නිර්මාණය කිරීම සිදුවන්නේ දශක ගණනාවක සිටයි.

මෙය ගෘහාශ්‍රිත කර්මාන්තයක් වශයෙන් සිදු කෙරෙන අතර වර්තමානයේ වුව ද මෙම කර්මාන්තය පැවත එන්නේ පාරම්පරික තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින්.

රට තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යප්තිය හමුවේ අද වන විට මේ පාරම්පරික කර්මාන්තයේ නියැලෙන්නන්ට සිදුව ඇත්තේ ගැටළු රැසකට මුහුණ පෑමටයි.

කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම සහ ඒවායේ මිල ගණන් අධිකවීම‍ ඊට ප්‍රධාන හේතුවක්.

එමෙන්ම මහා පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැලෙන්න අතරමැදි වෙළෙන්දන් සිදු කරන අකටයුතුකම්ද මේ කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වැටීමට හේතුවක් වෙලා.

එසේම ඇලුමිනියම් හා ප්ලාස්ටික් ආදියෙන් නිර්මිත ආදේශක භාණ්ඩ කෙරෙහි වෙළඳපළ විවෘත වීම නිසාත් පිත්තල කර්මාන්තය තුළ යම් පසුබෑමක් ඇති වී ඇති බවටයි මේ කර්මානතයේ නියැලෙන්නන් චෝදනා කරන්නේ.

සිය කර්මාන්තය සදහා බලධාරීන්ගේ අවධානය යොමු කරමින් නිසි රාජ්‍ය අනුග්‍රය ලබා දෙන ලෙස මොවුන් ඉල්ලා සිටිනවා.

දෑ හිතකාමී රාජ්‍ය ප්‍රතිපත්තියක් සමඟින් මෙරට දේශීය කර්මාන්තයන්හි පුනරුදයක් ඇති කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය අපනයන වෙළඳ පොළ සදහා කරන්නාවූ දෑත් දිගු කිරීමක්.

***************************************

පාසල් යළි විවෘත කිරීම ගැන,අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න යන තීරණය

(17.07.2020 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පාසල් විවෘත කිරීම ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසයි.

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනය (18) වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමසා ඇති බවයි ෴

***************************************

හිඟුරක්ගොඩ ගම්මාන කිහිපයක් ඉරි තැලීම් සහ ගිලා බැසීම් හේතුවෙන් දැඩි අවදානමට ලක්වෙයි

(17.07.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

ඉරි තැලීම් සහ ගිලා බැසීම් හේතුවෙන් දැඩි අවදානමට ලක්ව ඇති ගම්මාන කිහිපයක් පිළිබඳව හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

හිඟුරක්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පාසියා වැව, බුබුල, උණගලාවෙහෙර බටහිර, හිඟුරක, රජ ඇළ, මින්නේරිය යන ග්‍රාමසේවා වසම්හි නිවාස හා ගොඩනැගිලි ඉරිතැලීම්වලට ලක්ව තිබෙන්නේ මේ ආකාරයෙන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අවස්ථා කිහිපයකදී ස්ථානීය පරීක්ෂා කිරීම් සිදු කර ඇති අතර එහිදී නිවාස 223 ක් අවධානම් සහ ඉන් නිවාස 67 අධි අවධානම් ලෙසට හදුනාගෙන තිබෙනවා.

ඉරිතැලීම් හා ගිලා බැසීම් නිසා වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ රජඇළ ප්‍රදේශයටයි.

එහි නිවාස 112 සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඉරිතැලීම් සිදුව ඇති නිවාසවල ජීවත්වන ජනතාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති විසදුම වන්නේ නිවාස ඉදිරිපිටම ඉදිකල තාවකලිකව මෙම කූඩාරම් කිහිපයයි.

නමුත් ඒවායෙහිද ජීවත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බවයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

ප්‍රදේශවාසීන් විශ්වාසය පළ කරන්නේ, නියඟය පවතින කාලයකදී වුවද නොඅඩුව ජලය සැපයෙන් දිය බුබුළ නිසා මෙලෙස ඉරිතැලීම් සිදුවන බවටයි.

වසර 10 කට පෙරාතුව ඉරිතැලීම් ආරම්භ වී පසුගිය වසර 4 ක කාලය තුළ එය ඉතා සීඝ්‍ර ලෙස ව්‍යාප්තවූ බව ගම්වැසියන් පවසනවා.

කෙසේ වෙතත් දැඩි අවදානම හමුවේ දිවි ගෙවන ජනතාව ඉල්ලා සිටින්නේ වැසි කාලය එළැඹීමට ප්‍රථම මේ ජීවිත අවධානමින් ගලවා ගෙන තමන්ට ආරක්ෂිත ස්ථානයක් සකසා දෙන ලෙසයි.

***************************************

බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග

(17.07.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි අභියාචනාධිකරණය පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඒ වැලි ප්‍රවාහනය කිරීම සඳහා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (17) සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණා.

එහිදී අමාත්‍ය මණ්ඩලය සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා සඳහන් කළේ වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ තිබූ බලපත් ක්‍රමය තවමත් එලෙස පවතින බවයි.

එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් වැරදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවට මතයක් පැතිරී ගිය බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ වැලි ප්‍රවාහනය කිරීම සඳහා පෙර තිබූ බලපත්‍ර ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම අවශ්‍ය බවයි.

ඒ අනුව වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ අනුගමනය කළ යුතු බලපත් ක්‍රමය ඒ ආකාරයටම ඉදිරියටත් ක්‍රියා කරන ලෙසට පොලිස්පතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළා.

එමෙන්ම, බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය විසින් නියෝග කළ අතර පෙත්සම යළි ඔක්තෝම්බර් 19 වනදා සලකා බැලීම සඳහා කල් තබනු ලැබුවා ෴

***************************************

හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 31 ක් නිරෝධායනයට

(17.07.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ සහ විශේෂ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු 31 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඔවුන් අත්තිඩිය සහ හබරාදූව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.

ඒ අතර පොලිසියේ විසි දෙදෙනෙකු (22) සහ සිවිල් පුද්ගලයින් 09 දෙනෙකු සිටින බවයි මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණා ෴

***************************************

ප්‍රචණ්ඩ ආගමික අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

(17.07.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

ප්‍රචණ්ඩ ආගමික අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට සංශෝදනවලට යටත්ව නීතිපතිවරයා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයා විසිනුයි මෙම කෙටුම්පත් ඉදිරිපත් කර තිබුණේ ෴

***************************************

අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කම්හල්වල නිෂ්පාදන නිසි පරීක්ෂණයකින් පසු අරඹන්නැයි අගමැතිගෙන් උපදෙස්

(17.07.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ නිෂ්පාදනය අත්හිටුවා ඇති තේ කම්හල් නිසි පරීක්ෂණයකින් පසු සතියත් ඇතුලත යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ තේ කම්හල් 13 ක නිෂ්පාදනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමට අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී මධ්‍යම පළාත් තේ කර්මාන්තකරුවන් පෙන්වාදී ඇත්තේ නිසි පරීක්ෂණයකින් තොරව මධ්‍යම පළාතේ තේ කම්හල් 13 ක නිෂ්පාදනය අත්හිටුවීමට තේ මණ්ඩලය පියවර ගැනීම හේතුවෙන් ලක්ෂයක පමණ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් පරීක්ෂණයක් කර එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසටයි තේ කර්මාන්තකරුවන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව අදාළ තේ කම්හල් සඳහා වෙන වෙනම පරීක්ෂණ සිදු කර ඉතා ඉක්මනින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් තේ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම නීති විරෝධී ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්ත ශාලා තුල සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසට ද අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මේ අතර රටේ සම්පත් විකිණීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසර පහක කාලය තුළ රට ආපස්සට ගමන් කළ බවයි.

***************************************

ජනපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

(17.07.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම් කරනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර, අම්පාර ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනහමු කිහිපයකට ද අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා.

+++++++++++++++++++++

***************************************

මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

(17.07.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (17) පැවැත්වුණා.

කොරෝනා වෛරසයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු, පක්ෂ කාර්යාල පවත්වාගෙන යෑම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායකද එම සාකච්ඡාවට එක්ව සිටියා.

***************************************

මහ මැතිවරණය ගැන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(17.07.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

තවත් දින 19 කින් පැවැත්වෙන 2020 මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

මේ දිනවල තමාගේ කාලයෙන් වැඩි කොටසක් ගතවන්නේ නිවසට පැමිණෙන එක්සත් ජාතික පාක්ෂිකයන් සමග කතා කිරීමට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මැතිවරණ ජන හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ගම්මානවල සිට බස් රථවලින් එක්සත් ජාතික පාක්ෂික ජනතාව තමා හමුවීමට පැමිණෙ බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක පියසේන ගමගේ කියාසිටියේ ඇතැම් අපේක්ෂකයන්ට මේවන විට තම පක්ෂය ද අමතක වී ඇති බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර සඳහන් කළේ මනාප වෙනුවෙන් විවිධ චෝදනා කරන අපේක්ෂකයන් මැතිවරණයෙන් අනතුරුව මිතුරන් වන බවයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂක නලින් බණ්ඩාර ද ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ දිනෙන් දින ආණ්ඩුවේ ඡන්ද අඩුවෙමින් පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *