මහ බැංකුවට හෙළි නොකළ ETI ගිණුම් ගැන කරුණු අනාවරණය වෙයි

(17.07.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ඊ.ටී.අයි. සමාගමට අනුබද්ධ ආයතනවල පෞද්ගලික පරිහරණය සදහා යොදා ගෙන ඇති බවට අද (17) කරුණු අනාවරණය වුණා.

ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීයි.

අද (17) සාක්ෂි ලබාදීමට කොමිසම හමුවට පැමිණ සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ ප්‍රධාන ශාඛාවේ සේවය කරමින් සිටින සහකාර කළමනාකාරවරියක්.

2003 වසරේ ETI ආයතනයේ ගිණුම් අංශයේ සේවයට පැමිණ දින කිහිපයක් තුළ ETI ආයතනය ගිණුම් වර්ග 2ක් පවත්වාගෙන යන බව තමන්ට දැන ගන්නට ලැබුණු බව ඇය පැවසුවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වන ගිණුම් N ලෙසත්, මහ බැංකුවට නොදන්වන ගිණුම් P ලෙස ද ETI ආයතනය තුළ ව්‍යවහාර වන බවත් ඇය සඳහන් කළා.

P ලෙස සඳහන් කළ ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වන ගිණුම් බහුතරයක තොරතුරු පරිගණක ගත කර ඇත්තේ ඇයයි.

එම ගිණුමෙන් රුපියල් මිලියන 113.8 ක මුදලක් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් යන පුද්ගලයින් සහ ETI අනුබද්ධ ආයතනවලටත්, රත්‍රන් ණය සඳහාත් ලබාගෙන තිබෙන බව ඇය අනාවරණය කළා.

එමෙන්ම නාලක එදිරිසිංහ පෞද්ගලික ණයක් ලෙස එම ගිණුමෙන් රුපියල් මිලියන 11 ක මුදලක් ලබාගෙන තිබෙනවා.

එම මුදල් නැවත ගෙවූ බව කිසිම සටහනක්ද හමු වී නැහැ.

මේ අතර මෙම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළහොත් ඒ පිළිබඳව කොමිසමට දන්වන ලෙසත් යම් පුද්ගලයෙකු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදුකළහොත් වසර 10 ක සිරදඬුවමක් වුවත් ලබාදිය හැකි බවත් කොමිසම සඳහන් කළා.

***************************************

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(17.07.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

(17.07.2020 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි ‘කැෆේ සංවිධානය’ ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ පැමිණිලි ඒකකය විසින් ඊට අදාළ පැමිණිලි බාරගන්නා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි.

අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එලෙස ලැබෙන පැමිණිලිවලට විසදුම් ලබාදීමට කටයුතු කර බව ද ඒ මහතා පැවසීය.

සෑම මැතිවරණයදීම බොහෝ පෞද්ගලික ආයතන සිය සේවකයින්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙන්වා දෙමින් ඔහු කියා සිටින්නේ මෙය බරපතළ තත්ත්වයක් බවය.

නිසි පරිදි මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එක් එක් සේවකයා පදිංචි ප්‍රදේශය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගැනීම සේවක අයිතියක් බවත් එලෙස නිවාඩු ලබාදීමට ආයතන ප්‍රධානීන් බැදී සිටින බවත් ඒ හෙතෙම පෙන්වා දුන්නේය ෴

***************************************

බිමේ සටන් දහසක් තියෙන රටක සටන අතට ගන්න අපේ පාර්ලිමේන්තුවේ දේශපාලකයෙක් නෑ – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(17.07.2020 – 15:00 +0530 – lankaleadnews.com)

මෙරට පාර්ලිමේන්තුවට පත්ව එන මන්ත්‍රීවරු තමන්ට ආසනයක් වෙන්කර ගැනීම හැර ඉදිරි වැඩපිළිවෙලක් සහ දැක්මක් නොමැති පද්ගලයන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස සිමියෝ පවසති.

ඊයේ (16) කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ‘නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ’ සමාජ ගිවිසුම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

රට, ජාතිය , ආගම වෙනුවෙන්, අපේ සංස්කෘතිකඋරුමයන් වෙනුවෙන් මෙන්ම රටේ ඒකීය භාවය වෙනුවෙන් බිමේ සටන් දහසක් පැවතියත් අපේ දේශපාලකයන්ට සටනක් නොමැති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

එවැනි සටන් අතට ගත හැකි සමාජ ගිවිසුම්ගත පුද්ගලයන් මෙවර පාර්ලිමේතුවට තෝරා පත්කර ගත යුතු බවත් , ඔවුන් ජාතිය වහල් භාවයට පත්කරන කිසිදු විදෙස් ගිවිසුමකට තම අත දිගු නොකරන පුද්ගලයන් විය යුතු බවත් අභයතිස්ස හිමි වැඩිදරටත් පවසා සිටියහ.

සම්පූර්ණ වීඩියෝව :

+++++++++++++++++++++

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කළ සමාජ ගිවිසුමට අගමැති මහින්ද එකඟවේ

(17.07.2020 – 23:54 +0530 – lankaleadnews.com)

69 ලක්ෂයේ ප්‍රාර්ථනාව සඵල කරන ජනපතිදුන්ගේ අපේක්ෂාව ඉටු කරන ජාතිවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ, ආගම්වාදීන්ගේ ප්‍රාණ ඇපයට ගොදුරු නොවන නොවැම්බර් 16 ජනවරම රකින බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකඟතාවය ඵල කර ඇත.

ඊයේ (16) දින සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජන ගත කෙරුණු නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් සම්පාදනය කළ සමාජ ගිවිසුම අද (17) අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදි.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ජනාධිපති නීතිඥ ඩබ්.රොද්‍රිගෝ මහතා, මහාචාර්ය මාලනී ඇදගම මහත්මිය ඇතුළු ජාතික සංවිධාන නියෝජිතයින් තිහක පමණ පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇති අතර අනතුරුව ඔවුන් සමග කරන ලද දීර්ඝ සාච්ඡාවෙන් අනතුරුව අගමැතිවරයා එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට එකගතාවය පළ කර ඇතිබව වාර්තාවේ.‍‍

[ බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම කියවන්න / බාගතකරන්න ]

***************************************

කුඩු විකුණා කප් ගැසූ පොලිසිය ‘ අහිංසක පියෙක් පුතාගේ දෑස් ඉදිරිපිට ‘ මැරූ හැටි

(18.07.2020 – 10:47 +0530 – truenews.lk)

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියා සහ අකටයුතුකම් නිසා මේ දිනවල මුළු ශ්‍රී ලංකා පොලිසියටම දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා රැසක් දිගින් දිගටම හෙළි කිරීමත් සමඟ පොලිසියට එක්වූ කළු පැල්ලම තවත් ලොකු කරමින් පසුගියදා පොලිස් වෙඩි පහරින් සිවුදරු පියකු ජීවිතක්‍ෂයට පත්විය.

ඒ පොලිස් මුර සංචාරක නිලධාරීන් හා ධීවරයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක් නිසාය.

මොරටුව, ලුනාව, අඟුලාන ප්‍රදේශවල ඔඩුදුවා ඇති පාතාල ක්‍රියාකාරකම් මැඬලන්නට පොලිසිය මේ දිනවල මහත් වෙහෙසක් දරන බව පෙනේ. පසුගියදා ඇරැඹුණු පාතාල මෙහෙයුම් ක්‍රියාකාරකම් නිසා මෙම ප්‍රදේශ ආවරණය වන පරිද්දෙන් මාර්ග බාධක, වැටලීම්, හදිසි මුර සංචාර හා සෝදිසි කිරීම් නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ.

අඟුලාන හා ලුනාව කේන්ද්‍රකොට පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමත් රොහාගේ කල්ලියේ හා අංජුගේ කල්ලියේ පාතාල සාමාජිකයන් පසුගිය දිනවල ඒ අවට ප්‍රදේශවල සිදුකළ වෙඩි තැබීම්, පහරදීම් හා මිනිස් ඝාතන නිසාත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙසින් අඟුලාන, ලුනාව, මොරටුව ආදී පොලිස් ස්ථානවල නිලධාරීන් මෙම ක්‍රියාකාරකම් නතර කිරීම සහ පාතාලයන් කොටුකර ගැනීමේ මෙහෙයුම් අරඹා තිබිණි.

ඉකුත් 11 වැනිදා රාත්‍රියේදී ලුනාව, අඟුලාන යා කරන පාලම අසල පිහිටි මෝය කට ආසන්නයේද පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස ජංගම මුර සංචාරයේ යෙදී සිටියේ සැකසහිත පුද්ගලයන් සෝදිසි කරමිනි.

අඟුලාන පොලිසියට අනුයුක්ත මෙම නිලධාරීහු ගිනි අවි සහිතව රාජකාරියේ යෙදී සිටියහ.

වේලාව රාත්‍රි ‍ෙදාළහට ආසන්න වී තිබිණි. ත්‍රිරෝද රථ දෙකක් ඉදිරියට පැමිණෙන අයුරු දුටු මොවුහු එම රථ නතර කරන්නට අණ කළහ. ඒ එම රිය තුළ සිටින්නවුන් සෝදිසි කරනු පිණිසය.

ත්‍රිරෝද රථ දෙකේ පැමිණියේ ධීවර රැකියාවේ නියැළෙන පිරිසකි. ඔවුන් මොරටුව දෙසට යමින් සිටියේ ඇළක මාළු බෑමේ අදහසිනි.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීම සහ ප්‍රශ්න කිරීම ගැන මෙම පිරිස එතරම් කැමැත්තක් නොදැක්වූ අතර පැමිණි ත්‍රීවීලර් රථ දෙකෙන් එකක ආදායම් බලපත්‍රය නොතිබීම නිසා දෙපිරිස අතර ප්‍රශ්නයක් පැනනැඟිණි. ඒ සමඟ ඇතිවූයේ පොරබැදීමකි. පොලිස් රාජකාරියට බාධා කරමින් ඇතිවූ මෙම සිද්ධියත් සමඟ එතැන සිටි එක් නිලධාරියකුගේ ගිනි අවියක් ධීවරයකුට එල්ල වීමත් සමඟ ඇතිවූයේ වෙඩි තැබීමකි.

වෙඩි පහරත් සමඟ ධීවරයකු එතැනම බිම ඇද වැටිණි. ඒ සමඟ සෙස්සෝ නොසන්සුන් වූහ. කෙසේ වෙතත් පිරිස වෙඩි වැදී වැටුණු පුද්ගලයා ලුනාව රෝහලට ගෙන ගියහ. රෝගියාගේ තත්ත්වය බරපතළ බව තේරුම් ගත් ලුනාව රෝහලේ වෛද්‍යවරුන් ඔහු වහා කළුබෝවිල රෝහල කරා රැගෙන යෑමට උත්සාහ කළද අවාසනාවකට මෙන් ඔහු ඒ වන විටත් මියගොස් සිටියේය.

වෙඩි තැබීමෙන් මියගියේ මොරටුව ලුනාව හත්වැනි පටුමඟේ පදිංචිව සිටි කස්තුරිආරච්චිගේ අමිත් කරුණාරත්න නමැති තිස්නව හැවිරිදි සිවුදරු පියෙකි. ඔහුගේ වැඩිමල් දරුවා අසිත නිලංක 21 හැවිරිදිය. දෙවැන්නා අකිඳ උදේශාන්. 16 හැවිරිදිය. අවිශ්ක චතුරංග 12 හැවිරිදිය. එකම දියණිය හසනි නවෝද්‍යා නව හැවිරිදිය.

මේ මරණයත් සමඟ අඟුලාන, ලුනාව හා ඒ අවට ප්‍රදේශ නොසන්සුන් විය. ප්‍රකෝපවූ ඇතැම් පිරිස් මහ රෑම අඟුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණ ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ අඟුලාන පොලිස් නිලධාරීහු ඒ ගැන ඉහළට දැනුම් දුන්හ.

මේ සම්බන්ධයෙන් දැනුවත් වූ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහාන් ප්‍රේමරත්න මහතා එය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දුන්නේය. ඔහුගේ උපදෙස් පරිදි අඟුලාන අවට පොලිස් ස්ථානවල සියලු නිලධාරීන් අඟුලාන පොලිසියට කැඳවුණු අතර ඒ සමඟම පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවිණි. ඒ සමඟම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණයක්ද ඇරැඹිණි. ඒ අනුව මෙම වෙඩි තැබීම එල්ල කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවිය. පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනකු මෙම කණ්ඩායමට අයත් වූ අතර මොවුන් ධීවරයන් පැමිණි ත්‍රිරෝද රථ නතර කොට ඔවුන් ළඟ හෙරොයින්, ගංජා ආදිය ඇතිදැයි අසා ඔවුන්ගේ කලිසම්වල, සාක්කුවලට අත දමා පරික්‍ෂා කර ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනගත හැකිවිණි. මියගිය පුද්ගලයා ඊට විරෝධය පළකර ඇත. ඒ සමඟ දෙපිරිස අතර ඇතිවූයේ නොසන්සුන්තාවකි. කෙසේ හෝ තත්ත්වය සමථයට පත්වී ධීවරයන් යළි පිටත්වීමට සූදානම් වෙද්දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වැටහිණි. වෙඩි තැබීමේ සිද්ධියත් සමඟම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීහු අඟුලාන ප්‍රදේශයට පැමිණ මියගිය පුද්ගලයාගේ බිරිය හා ඥාතීන්ද හමුවූහ.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ සොහොයුරෙක් පැවැසුවේ “මගේ අයියා රත්තරන් මනුස්සයෙක්. එයා කාටවත් කරදරයක් නැතිව අහිංසකව ජීවත් වුණු කෙනෙක්. එයා අරක්කු, සිගරට් බොන්නේ නැහැ. පොලිසියේ අය අයියගේ සාක්කුවට අත දාලා හොයන කොට ‘මහත්තයො මම අරක්කු සිගරට් බොන්නේ නැහැ. ඇයි මෙහෙම බලන්නේ?’ කියලා ඇහැව්වා. එතකොටම එක්කෙනෙක් පටස් ගාලා කනේ පාරක් ගැහැව්වා. එයා අයියට වෙඩි තිබ්බා. අයියා එක පාරම ඇදගෙන වැටුණා” කියාය.

මියගිය පුද්ගලයාගේ බිරිය නිලන්ති ෆොන්සේකා මහත්මිය මෙසේ කීවාය.

“මගේ මහත්තයා ළමයින්ට සැලකුවේ තාත්තා කෙනෙක් විධියට නොවේ. දෙවියෙක් විධියටයි. ඒ දෙවියා අද අපිට නැති වුණා. මේ දවස්වල වාරකන් හින්දා මුහුදු යන්න බෑ. ගඟේ මාළු ටිකක් අල්ලලා විකුණලා කීයක් හරි හොයාගන්න ඕන ජීවත්වෙන්න කියලා එයා මට කිව්වා. සෙනසුරාදා පාන්දරින්ම රාජගිරියේ ඇළට යනවා කියලත් කිව්වා.

ඒත් ඒ පැත්තේ මිනිස්සු ඇළේ මාළු අල්ලනවට කැමැති නැහැ. බැරිවෙලා හරි ගැහැව්වොත්! ඒ හින්දා පුතාවයි, මල්ලිවයි එක්ක යන්නේ නෑ කියලා කියන කොට මල්ලි කිව්වා ‘එහෙම වෙන්නේ නැහැ මාත් එනවා යන්න’ කියලා. කට්ටිය ඔක්කොටම එක ත්‍රීවීල් එකේ යන්න බැරි නිසයි ත්‍රීවීල් දෙකක ගිහින් තිබුණේ.”

රේල් පාර ආසන්නයේ ලෑලි අසුරා කුඩාවට තනා තිබූ නිවෙසේ අමිත්ගේ දේහය තැන්පත් කර තිබූ අතර ඒ අවට දැඩි රැකවල් යොදා තිබිණි.

මෙහිදී මියගිය අයගේ පුතකු කීවේ “එක් නිලධාරියෙක් තාත්තාගේ සාක්කුවට අත දැම්මා. එතකොට තාත්තා කිව්වා ‘සාක්කුවට අත දාන්න එපා! මම සාක්කුව පෙන්වන්නම්’ කියලා. පස්සේ තාත්තාම සාක්කුවේ තිබුණු ෆෝන් එකයි සල්ලියි එයාලට දුන්නා. එතකොට එයා උඹගේ කට වැඩියි කියලා කුණුහරුපයකුත් කියලා තාත්තට ගැහැව්වා. ‘සර් කතා කරන්න දැනගන්න! අපි වැරැද්දක් කළේ නැහැනේ’ කියලා තාත්තා කියන කොටම එක්කෙනෙක් තාත්තගේ ඔළුවට තුවක්කුව තියලා ‘ඔළුව කුඩුවෙන්න තියනවා කියලා කිව්වා. මම තාත්තාට කිව්වා ‘මෙයාලා එක්ක වාද කරලා වැඩක් නැහැ’ කියලා. මම තාත්තව එතැනින් එක්කර ගෙන යද්දී තමයි පොලිසියෙන් වෙඩි තිබ්බේ. ඒත් එක්කම තාත්තා වැටුණා.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මරණයට පත්වූ අයගේ බිරිය, දරුවන් හා ඥාතීන්ට සිය කනගාටුව පළ කළේය.

“මේක පොලිසියේ එක්කෙනකුගේ ක්‍රියාවක්. ඒ නිසා මුළු පොලිසියටම මේකට වරද පටවන්න බැහැ. අපි අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරනවා. නිලධාරීන් වරදක් කරලා තියෙනවා නම් ඒ අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.’ ඒ වගේම මේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් හොයලා බලනවා. පුළුවන් හැම උපකාරයක්ම කරනවා.”

දේශබන්ධු තෙන්නකෝන් මහතා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හමුවේ පොරොන්දු වූයේය.

මේ ප්‍රදේශයන්හි තදින් පැතිරී තියෙන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව පැවැසූ හෙතෙම මාර්ග බාධක හා ජංගම මුර සංචාර යොදවා දිවා රාත්‍රි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද කීවේය.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි මොරටුව වැඩබලන මහෙස්ත්‍රාත් චතුර ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකෙරිණි. අමිත් කරුණාරත්න මහතාගේ මරණය වෙඩි තැබීමකින් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී නිගමනය කෙරිණි. එක් වෙඩි පහරක් පමණ ඔහුට වැදී තිබූ බවත් එහිදී අනාවරණය විය.

මොරටුව වැඩබලන මහෙස්ත්‍රාත් චතුර ද සිල්වා මහතා ඉදිරියේ සාක්‍ෂි දුන් අමිල මහේෂ් කරුණාරත්න නමැති අය මෙසේ කියා සිටියේය.

“අපි මාළු අල්ලන රස්සාවයි කරන්නේ. අපි පස්දෙනෙක් ත්‍රීවීලර් දෙකකින් ඔය සිද්ධිය වුණු ස්ථානය පසුකර යන්නට හදන කොට පොලිසියේ අය අපිව නැවැත්තුවා. පොලිසියේ අය හොඳටම බීලයි හිටියේ. එයාලා අපේ ත්‍රීවීලර්වල බලපත්‍ර පරික්‍ෂා කළා. ‘කෝ උඹලා ළඟ තියෙන ගංජා, කුඩු කියලා අහ අහ මගේ අයියාගේ කලිසම් සාක්කුව පරික්‍ෂා කළා. අයියට දෙපාරක් ගැහැව්වා. අයියා ඇහැව්වා ඇයි ගහන්නේ කියලා. පස්සේ තමයි අයියට වෙඩි තිබ්බේ. මගේ නළලටත් තුවක්කුව තිබ්බා. මම පහත් වුණා. අයියට ගැහැව්වෙත් වෙඩි තිබ්බෙත් නිකරුණේ.”

මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් නදීෂ් ප්‍රනාන්දු යන අයද මෙසේ කියා සිටියේය.

“ආදායම් බලපත්‍ර පරික්‍ෂා කරන්න කියලා තමයි අපිව පරික්‍ෂා කළේ. එක ත්‍රීවීලර් එකක ආදායම් බලපත්‍රය තිබුණේ නැහැ. ඒ නිසා දඩ කොළයක් දෙන්න ඕනෑ කියලා පොලිසියේ එක්කෙනෙක් මාව ජීප් එක ළඟට එක්කගෙන ගියා. ඒත් දඩ කොළයක් දුන්නේ නැහැ. ඒත් එක්කම තමයි එයාලා වෙඩි තිබ්බේ. මම දුවලා ගිහින් වෙඩි වැදුණු අයියව ඉස්පිරිතාලෙට අරගෙන ගියා.”

***************************************

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(17.07.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා.

මැතිවරණ ප්‍රචාරණය, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා අද (17) පෙරවරුවේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවුණා.

අගෝස්තු 5 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කල ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසමට භාර දුන්නා.

ඉන් අනතුරුව පසුගිය ජූලි 15 වැනිදා එම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතීපතිවරයා වෙත යොමු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදනය නිකුත් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් උද්ගත වන බවයි.

මේ අතර ඊයේ (16) මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයා සමග අරලිය ගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදීද මේ සමබන්ධයෙන් අවධානය යොමු වුණා.

මේ අතර නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිණි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය අද (17) සදහන් කළේ මහ මැතිවරණයට අදාලව සෞඛ්‍ය රෙගුලාසි 3 ක් පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එම රෙගුලාසි 3 සදහා නීතීපතිවරයා අනුමැතිය ලබා දුන් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි 01 වැනිදා මැතිවරණ කොමිසමට ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ප්‍රධාන කරුණු 7 කින් සමන්විත වී තිබුණා.

***************************************

මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අරමුණ ගැන අගමැති කියයි

(17.07.2020 – 22:59 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය මෙවර මැතිවරණයට තරග කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට හෝ විපක්ෂයේ බලය ලබා ගැනීමට නොව සිරිකොතේ බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කෝට්ටේ අද (17) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

***************************************

කොවිඩ් වැළඳී මිය ගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වන්දි

(18.07.2020 – 06:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ව රැකියා සඳහා විදේශගතව සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වූ ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනමන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසනවා.

ඒ සඳහා මේ වනවිටත් 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කෙරෙමින් පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ.

එම කාර්යාංශයේ ලියාපදිංචි ව විදෙස්ගතව රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයක දී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 05 ක මුදල කොවිඩ් 19 රෝගය වැළදී මියයන ශ්‍රමිකයින් වෙනුවෙන් ගෙවන අතර, 2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශගත වූ ශ්‍රමිකයින් වෙනුවෙන් එම වන්දිය රුපියල් ලක්ෂ 06 දක්වා වැඩිකර තිබෙනවා.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ රටවල රැකියාවල නියුතුව සිටි 40 දෙනෙකු පමණ මිය ගොස් අති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව සෞදි අරාබියෙන් මරණ 18 ක්, කුවේට් හි 09 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 08 ක්, ඕමාන් සහ කටාර් රාජ්‍යයෙන් මරණ දෙක (02) බැගින් සහ ලෙබනන්වලින් එක් (01) මරණයක් වාර්තා වනවා ෴

***************************************

මාලඹේ – අරංගල ප්‍රදේශයේදී ඇල්ලූ ‘හෝකන්දර රයිඩර්’

(18.07.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථයකින් ගොස් හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු මාලඹේ, අරංගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘හෝකන්දර රයිඩර්’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අතුරුගිරිය පොලිසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අද (18) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 860 ක ප්‍රමාණයක් සොයා ගැනුණා.

සැකකරු සමඟ තවත් පුද්ගලයෙකු ද හෙරොයින් මිලි ග්‍රෑම් 460 ක් ද සමඟින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ‘හෝකන්දර රයිඩර්’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු මීට පෙර විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු ලෙස සේවය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

‘හෝකන්දර රයිඩර්’ගේ, හොකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි නිවස පරික්ෂා කිරීමේදී යුධ හමුදා විශේෂ බලකා ඇදුම් කට්ටල තොගයක්, රම්බෝ වර්ගයේ පිහි දෙකක් (02), ජීව උණ්ඩ 02 ක්, හිස් පතොරම් කොපු තුනක් (03) සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 96,160 ක මුදක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිව මැතිවරණ තැබීම අපහසු බව, කොමිසමේ සභාපති කියයි

(18.07.2020 – 08:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වයක් නොපැවතිය ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහය නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට අපහසු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඊයේ (17) දහවල් 12:30 සිට කොවිඩ් 19 වසංගත පාලනයට අදාළ සිය රාජකාරියෙන් ඉවත් වුණා.

ඒ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත බල තල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළේ යැයි පැවසෙන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

මේ අතර මහමැතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කෙරුණා.

ඒ, මැතිවරණ ප්‍රචාරණය, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ රෙගුලාසි සම්බන්ධයෙන්.

ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ සෞඛ්‍ය රෙගුලාසි 3 ක් සඳහා නීතිපතිවරයා ඊයේ (17) අනුමැතිය ලබා දෙනු ලැබුවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ අදාළ රෙගුලාසි 3 පමණක් බවයි.

දැන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුව ඡන්ද රැස්වීම් සම්බන්ධයෙන් පැය 24 කට පෙර එය පවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දිය යුතුයි.

එමෙන්ම, එම රැස්වීමකට 300 කට වැඩි පුද්ගලයන් සහභාගි කර නොගත යුතු බව එහි දැක්වෙනවා.

දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එවැනි රැස්වීමකට සහභාගි වුවද, එම සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුයි.

එමෙන්ම, රැස්වීම් සඳහා පැමිණෙන සෑම පුද්ගලයෙකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධතා අංක පිළිබද වාර්තාවක් ලබා ගත යුතු අතර, පැමිණෙන සියල්ලන්ට පරිශ්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැලසිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කථිකයා ඇතුළු රැස්වීම් සඳහා පැමිණෙන සෑම තැනැත්තන් දෙදෙනෙකු අතරම මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු අතර, සෑම තැනැත්තෙකුම සෑම විටම මුඛ ආවරණයක් පැළද සිටිය යුතු වනවා ෴

***************************************

අගමැති සහ බැංකු සේවක සංගමය අතර සාකච්ඡාවක්

(18.07.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අරලියගහ මන්දිරයේදී ඊයේ (17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

රාජ්‍ය බැංකුවල සේවක විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ වැඩි කිරීම මෙන්ම, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අහිමි අනෙකුත් රාජ්‍ය බැංකුවල ද විශ්‍රාම වැටුප් ස්ථාපිත කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එසේම, බැංකු ණය පොලී අනුපාතය අඩු කිරීම සහ සේවක සුබසාධනය සම්බන්ධයෙන් ද ප්‍රගති බැංකු සේවක සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකර තිබෙනවා ෴

***************************************

මැතිවරණ ව්‍යාපාරය සඳහා සිය ඡායාරූපය අවසරයකින් තොරව යොදාගන්නා බව කාදිනල් හිමිපාණන් කියයි

(18.07.2020 – 09:34 +0530 – hirunews.lk/sinhala)

තමන්ගේ අවසරයක් හෝ කැමැත්තක් ලබාගැනීමෙන් තොරව ඇතැම් අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සහ පත්‍රිකාවල තමන්ගේ ඡායාරූපය භාවිත කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ තමන් හමුවීමට පැමිණි අවස්ථාවලදී ලබාගත් ඡායාරූප මෙලෙස ඔවුන් මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන බවයි.

තමන් හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් හෝ සමඟ පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බව උන්වහන්සේ අවධාරණය කරනවා.

එමෙන්ම, තම හෘද සාක්ෂිය අනුව තමන් කැමති අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

පදික වේදිකාවේ රථ වාහන නතර කළ 287 කට දැඩි අවවාද

(18.07.2020 – 10:14 +0530 – hirunews.lk/sinhala)

පදික වේදිකා මත රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 287 දෙනෙකුට දැඩි අවවාද කර මුදා හළ බව පොලීසිය පවසනවා.

පදික වේදිකාවේ රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පොලීසිය ඊයේ (17) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *