කොරෝනා රාජකාරීවලින් ඉවත් වූ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණාත්මක සාකච්ඡාවක

(18.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත පාලනයට අදාළව රාජකාරීවලින් ඊයේ (17) සිට ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මේ වන විට රැස්වී තිබෙනවා.

ඔවුන් මෙලෙස එම රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ කොරෝනා රාජකාරීවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

මේ අතර, පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (18) පස්වරුවේ නිවේදනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් පුද්ගලයින් 444 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් බවයි. තවත් 64 දෙනෙකු එහි කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින්.

ඉතිරි හතලිස් දෙදෙනා (40) ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වනවා.

එමෙන්ම, නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු (2) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 901 දක්වා ඉහළ යනවා.

තවත් නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායන කටයුතු අවසන් කළ 219 දෙනෙකු අද (18) පෙරවරුවේ නිවෙස් වෙත පිටව ගියා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් සියළු දෙනා මැදපෙරදිග රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 104 දෙනෙකු තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද (18) පිටව ගියා.

එමෙන්ම, ඊයේ දිනය තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ 1780 ක් සිදුකර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය එක්ලක්ෂ 32,796 ක්.

මේ අතර, මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති බහුතර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් පූර්ව රෝගී ලක්ෂණ පෙන්නුම් නොකළ පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය කියා සිටියා.

එසේම, මුඛ ආවරණ නොමැතිව බාහිර සමාජයේ ගැවසෙමින් සිට පොලිස් අවවාද කිරීම්වලට ලක්වූ පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු රටවල් 3 ක සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඊයේ (17) රාත්‍රියේ සහ අද (18) අලුයම ඔවුන් චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල සිට පැමිණි බවයි.

ඔවුන් සියළු දෙනා පෞද්ගලික රෝහල්වල සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එම වියදම් මෙන්ම ඔවුන් නිරෝධයන සමයේ වෙසෙන සංචාරක හෝටල් ගාස්තු ද මෙලෙස පැමිණි අයගේ ගුවන් ප්‍රවේශපත්‍රවලට එකතු කිරීම විශේෂත්වයක්.

මේ වන විට රජය මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72 ක නිරෝධායනය වන්නන් උපරිම සංඛ්‍යාවක් සිටින නිසා රජය මගින් ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

***************************************

ඩෝසර් කළ රාජ සභාව ගැන සොයන කමිටුව අද (18) කුරුණෑගලට

(18.07.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් සොයා බලන විශේෂඥ පරීක්ෂණ කමිටුව අද (18) ස්ථානීය පරීක්ෂණයක් සඳහා එම ස්ථානයට යාමට නියමිතයි.

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පංච පුද්ගල විශේෂඥ පරීක්ෂණ කමිටුවක් ඊයේ (17) පත් කෙරුණා.

එහි වාර්තාව ලබන 23 වන දා ලබාදීමට නියමිත අතර, ඒ අනුව අද (18) එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන බවයි එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ.

පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා තිබූ අතර, එහි කොටසක් පසුගිය දිනෙක කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 6 වන දා කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.

එසේ තිබියදීයි, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගරාධිපතිවරයා එක්ව පසුගිය 15 වන දා රාත්‍රියේ අදාළ රාජසභා මණ්ඩපය මුළුමනින්ම ඩෝසර් කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුණෑගල පොලීසියට තවත් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පැමිණිලි දෙකම සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පසුබිමක් තුළ ඒ පිළිබදව පොලිස්පතිවරයාට ලිඛිතව සහ වාචිකව දැනුම් දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම රාජ සභා මණ්ඩපය 2018 වසරේදී කුරුණෑගල මහනගර සභාවේ පාලනය යටතට බදු දී තිබූ බව සඳහන්.

මේ අතර, මෙම සිද්ධිය පිළිබඳව ඍජු චෝදනා එල්ල වී ඇති කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේ එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ස්ථානයක් බවයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් අප අද (18) ඒ පිළිබදව විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ අදාළ ස්ථානය ඓතිහාසික ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අතරට එක් කර ඇති බවයි. එය තහවුරු කිරීම සඳහා සාක්ෂි ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

කඩාදමා තියෙන්නේ ඉපැරණි ගොඩනැඟිල්ලක් තමයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

(18.07.2020 – 16:53 +0530 – lankadeepa.lk)

කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට අද (18) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.

මෙම ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.

එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටී.ජී. කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, සංස්කෘතික අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහත්ම මහත්මීහුද මෙම නිරීක්ෂණයට පැමිණ සිටියහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම මෙම ඉපැරැණි ගොඩනැගිල්ලට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් කරුණු රැසක් සොයා බැලූ අතර මේ සම්බන්ධයෙන් වන අංග සම්පූර්ණ නිවැරැදි අපක්ෂපාති වාර්තාවක් තම කණ්ඩායම හා එක්ව අග්‍රාමාත්‍යවරයා වෙත හැකි ඉක්මණින් ලබාදීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

නගර සභාවෙන් කැඩූ රාජසභාව ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි

(19.07.2020 – 08:50 +0530 – hirunews.lk/sinhala)

13 වන සියවසේ කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ සමයට අයත් බවට සැලකෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලීසිය පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇති බවයි.

මේ අතර, මෙම සිද්ධිය පිලිබඳව කුරුණෑගල පොලීසියට පැමිණිලි කර තිබියදී ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගෙන නැතැයි එල්ල වන චෝදනාව පිලිබඳව තවදුරටත් කරුණු සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

විශේෂයෙන්ම මෙම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ඉදිරිපත් වූ දිනයේ සිට එය බුල්ඩෝසර් කර විනාශ කර දැමීමේ දිනය දක්වා කාලය තුළ පොලීසිය සිදුකළ සොයා බැලීම් පිලිබඳව අද (19) දිනයේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල බුල්ඩෝසර් කර විනාශ කර තිබුණේ පසුගිය 15 වනදායි. එම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවේ මේ පිළිබඳව සොයා බැලීම සඳහායි.

එම කමිටුව ඊයේ (18) දිනයේදී කුරුණෑගලට පැමිණ විනාශයට ලක්වූ ඉපැරණි ගොඩනැගිල්ල නිරීක්ෂණයට ලක් කරනු ලැබුවා.

ඊට අදාළ වාර්තාව හෙට (20) දිනයේ ලබාදීමට නියමිතයි ෴

***************************************

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශවලට අනුව, කටයුතු කිරීමට ප්‍රධාන පක්ෂ සූදානම්

(18.07.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රධාන දේශපාලන පක්ෂ පවසනවා.

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

ඒ, මැතිවරණ ප්‍රචාරණය, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ රෙගුලාසි සම්බන්ධයෙන්.

නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුව ඡන්ද රැස්වීම් සම්බන්ධයෙන් පැය 24 කට පෙර එය පවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දිය යුතුයි.

එමෙන්ම, එම රැස්වීමකට 300 කට වැඩි පුද්ගලයන් සහභාගි කර නොගත යුතු බව එහි දැක්වෙනවා.

දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එවැනි රැස්වීමකට සහභාගි වුවද, එම සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුයි.

එමෙන්ම, රැස්වීම් සඳහා පැමිණෙන සෑම පුද්ගලයෙකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධතා අංක පිළිබද වාර්තාවක් ලබා ගත යුතු අතර, පැමිණෙන සියල්ලන්ට පරිශ්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැලසිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කථිකයා ඇතුළු රැස්වීම් සඳහා පැමිණෙන සෑම තැනැත්තන් දෙදෙනෙකු අතරම මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු අතර, සෑම තැනැත්තෙකුම සෑම විටම මුඛ ආවරණයක් පැළද සිටිය යුතු වනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කටයුතු කිරීම සඳහා සිය අපේක්ෂකයන්ට මේ වනවිටත් දැනුම් දී ඇති බවයි.

මේ, සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ අදාළ රෙගුලාසි සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමට තම පක්ෂය පියවර ගත් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ මැතිවරණ සෞඛ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට පෙර සිටම සිය අපේක්ෂකයන් ඒ පිළිබඳව දැනුවත් කර තිබූ බවයි.

***************************************

සෞඛ්‍යාරක්ෂණ ඇඟලුම් අපනයනයෙන් ඩො.මි. 106 ක්

(18.07.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2020) ජුනි මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 906 ක් ලෙස සටහන් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 26 ක පහත වැටීමක්.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමෙන් අපනයනය කැපී පෙනෙන ලෙස පහත වැටුණු අප්‍රේල් මාසය හා සසදන විට එය සියයට 327 ක වර්ධනයක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ.

එමෙන්ම, ජුනි මාසයේදී සෞඛ්‍යාරක්ෂණ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 106.46 ක් උපයා තිබෙනවා ෴

***************************************

අම්පාරට පැමිණි ජනපතිට, ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්

(18.07.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) සහභාගී වීමට නියමිතයි.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ජන හමුවලට ඊයේ (17) එක්වූ ජනාධිපතිවරයාට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.

මහඔය 69 හන්දිය ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ගම්වාසීන් සමග සුහද කතාබහක නිරතවුණා.

අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මහඔය සතිපොළ භූමියේ සංවිධානය කර තිබූ ජන හමුවටයි.

ඊට ආදීවාසීන් පිරිසක්ද සහභාගීවී සිටියා.

අම්පාර – නාමල්ඔය ප්‍ර දේශයේ සංවිධාන කර තිබූ ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

හිඟුරාන ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගෙන් ප්‍රසාදය හිමිවුණේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීම හේතුවෙන්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

(18.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

තමන් පොලිස්පතිවරයාව සිටි සමයේ මෙරට ක්‍රියාත්මක අන්තවාදය සහ සහරාන් හෂීම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂවරයා නිසි ලෙස තොරතුරු ලබා නොදුන් බව, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (18) අනාවරණ කළා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුලින් පත්කළ මලල්ගොඩ කමිටුවේ සමාජිකයෙකු වු හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා, පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (17) කැඳවා තිබුණා.

එහිදි සාක්ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතියද, 2015 වසරේ යහපාලන රජය පත්වීමත් සමග එම දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කෙරුණු බවයි.

එහිදී පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය අමාත්‍යාංශයට යටතට පත්වු අතර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළේ, ජෝන් අමරතුංග සහ සාගල රත්නායක යන මහත්වරුන්.

කොමිසම එහිදී විමසුවේ බලපෙරළියත් සමග ශ්‍රී ලංකා පොලිසිය වෙනත් අමාත්‍යාංශයක් යටතට පත්වීම, පොලිස්පතිවරයා ලෙස ඔබට යම් බලපෑමක් ඇති කළේද යන්නයි.

එම ක්‍රියාමාර්ගය තුළින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අතර තිබු සබඳතාව පළුදු වූ බව හිටපු පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසුවේ රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයා යටතේ පවතින ආයතනයක් නොවේද යන්නයි.

එය මුළුමනින්ම දෝෂ සහගත බව සාක්ෂිකරු පැවසුවා. (?)

බුද්ධි අධ්‍යක්ෂකවරයාට වැදගත් යැයි හැඟීයන තොරතුරු පොලිස්පතිවරයාට යොමු කිරීමක් සිදුවන බවත් තම සේවා කාලය තුළදී ද බුද්ධි අධ්‍යක්ෂකවරයාගෙන් එවැනි ලිපි ලැබුණු බවත් සාක්ෂිකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂකවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතා විසින් 2015 වර්ෂය දක්වා අන්තවාදය සම්බන්ධයෙන් තමන් වෙත යොමු කළේ, ලිපි 03 ක් හෝ 04 ක් පමණක් බව හිටපු පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලිපි කිහිපය තුළින් මෙරට අන්තවාදි කණ්ඩායමක් ප්‍රබල ලෙස වර්ධනය වනවා යැයි සඳහන් නොවූ අතර සහරාන් හෂිම් නැමැත්තෙකු සමාජ ජාලා තුළ වෛරී ප්‍රකාශ පතුරුවා හරින්නේ යැයි සුළු සඳහනක් පමණක් අන්තර්ගත වූ බවයි.

අනතුරුව පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස කටයුතු කරද්දී පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු පෙර දැනුවත් කිරීමේ ලිපි පෙන්වමින් කොමිසම ප්‍රශ්න කළේ, ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් ඔබට ලැබුනේනම් පොලිස්පතිවරයකු ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්නයි.

එහිදී ලිපිය පරීක්ෂා කර බැලු හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ ප්‍රථමයෙන් මෙහි බැරෑරුම් බව අවබෝධ කරගෙන ලිපියේ නම් සඳහන් අයගේ මෙතෙක් ලැබී ඇති සබැඳි තොරතුරු එක් රැස් කළ යුතු බවයි.

ඒ වනවිටත් මාවනැල්ලේ සහ වනාතවිල්ලුවේ, සිදුවීම් දෙකක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබූ නිසා අදාළ නිලධාරීන් කැඳවා පොලිස්පති විසින් සාකච්ඡාවක් පැවැත්විය යුතුව තිබූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

අනතුරුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හරහා සහරාන් අත්ඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ යුතු බව පෙන්වාදුන් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, එවිට සැකකරුවන් පළායාමට උත්සහ දරන බවයි.

ලිපියේ සඳහන්, තර්ජනයට ලක් වී ඇති ස්ථානවල ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඉන් අනතුරුව බවත් තර්ජනය පහව යන තෙක් නිරන්තර අධීක්ෂණයක් සිදුකළ යුතු බවත් සාක්ෂිකරු සඳහන් කළා.

හිටපු පොලිස්පතිවරයා සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසන් කරමින් අවධාරණය කළේ, ලිපිය ලද පසු පැවැත්වෙන සියලු බුද්ධි සමාලෝචන සහ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වල ප්‍රමුඛතම අවධානයක් ලක්කළ යුත්තේද මෙම කරුණ සම්බන්ධයෙන් බවයි.

+++++++++++++++++++++

***************************************

එළුවම්කුලම සපත්තු පාලම අබලන් වීම හේතුවෙන් ගම්වාසීන් දැඩි පිඩාවට

(18.07.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි එළුවම්කුලම සපත්තු පාලම අබලන් වීම හේතුවෙන් ගම්වාසීන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

කෘෂි කර්මන්තය සිය ජීවනෝපාය කරගත් ඔවුන්ට අවශ්‍ය කරන ජලය නොමැතිකම ඉන් ප්‍රධානතම ගැටලුවයි.

‘රතු මිනිත්තුවේ’ අද (18) අවධානය මෙම පුවත පිළිබඳවයි.

කෘෂිකර්මාන්තය සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවීන් විශාල පිරිසක් ජීවත්වන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි එළුවන්කුලම ගම්මානයයි මේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව ගලා බසිනා රමණීය කලා ඔය මතින් ඉදිකර තිබෙන සපත්තු පාලම අබලන්ව පැවතීම හේතුවෙන් මේ වනවිට ගම්මානයේ සංවර්ධනයට ඍජුව බලපාන අංශ තුනක් අකර්මන්‍ය වී ඇති බව ගම්වාසීන් පෙන්වා දෙනවා.

කුඹුරු අක්කර 700 කට ආසන්න ප්‍රමාණයකට අවශ්‍ය ජලය සැපයෙන්නේ මෙම කලා ඔය සපත්තු පාලම හරහායි.

එය අබලන් වීමත් සමග කුඹුරුවලට සැපයෙන ජලය ප්‍රමාණවත් නොමැතිවීමෙන් මේ වනවිට බොහෝමයක් ගොවීන් කුඹුරු වගාව අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසුම් මාර්ගයක් ලෙස ද යොදා ගැනෙන මෙම පාලම අබලන් වීම හේතුවෙන් සංචාරකයින්ට ගමන් කිරීමට අපහසු තත්ත්වයක් උදාවෙලා.

***************************************

අතපය වාරු නැතිව පිහිටක් සොයන නිවුන්නු

(18.07.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

නීරෝගී දරුවන් ලෙස උපත ලැබුවත් පසුකාලීනව ජාන විකෘතිතාවයක් නිසා පීඩාවට පත්ව සිටින දරුවන් දෙදෙනෙකු පිළිබඳව අපට අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

හිරාන් රුචිරංග සහ ප්‍රශාල් මෙනුරංග කියන මේ නිවුන් දරුවන් ජීවත්වෙන්නේ අගලවත්ත රත්මලේ ප්‍රදේශයේ.

උපතින් කිසිදු වෙනසක් නොපෙන්වමින් නීරෝගිමත්ව මෙලොවට බිහිවූ මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගන්නේ ඔවුනට වයස අවුරුදු 5 ක් පමණ වන විට.

එතැන් පටන්, තමන්ට ඇති එකම සම්පත වූ පුතුන් දෙදෙනා සුව කර ගැනීමට මේ දෙමාපියන් නොගත් උත්සාහයක් නැහැ.

තමන් සතුව තිබූ සියලු සේසත ඒ වෙනුවෙන් වියදම් කරමින් මේ දෙමාපියන් සිහින දුටුවේ තම පුතුන් දෙදෙනාගේ නීරෝගිභාවයයි.

කාලය දින සති ගෙවි ගොස් මේ දරුවන් දෙදෙනා දැන් 13 වැනි වියට පැමිණ ඇතත් ඔවුන් තවමත් අතපය වාරු නැතිව නිසොල්මනේ බලාසිටිනවා.

දරුවන්ගේ සියලු ඕනෑ එපාකම් ඔවුන්ගේ පියාගේ මැදිහත්වීමෙන් සිදුකිරීමට ඇති අද වන විට මේ පවුල ආර්ථික දුෂ්කරතා රැසකටද මුහුණ පා සිටිනවා.

මේ පියාට තම පුතුන් දෙදෙනා පිළිබඳව ඇත්තේ එකම සිහිනයක් පමණයි.

ඔහු ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් හැකි පමණ තමන්ට පිළිසරණක් වන ලෙසයි.

***************************************

කතරගම පෙරහර බැතිමතුන් සඳහා සීමා කෙරේ

(18.07.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රුහුණු – කතරගම මහා දේවාලයේ පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ එම පූජා භූමිය බැතිමතුන් සඳහා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

රුහුණු – කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සඳහන් කළේ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි ෴

***************************************

යුද හමුදාව මුලතිව් – පුන්කුඩිතිව් ප්‍රදේශයේ ඉදිකළ තවත් නිවාස 25 ක් ජනතාවට භාර දෙයි

(18.07.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් මුලතිව් – පුන්කුඩිතිව් ප්‍රදේශයේ යුද හමුදාව ඉදිකළ තවත් නිවාස 25 ක් ඔවුන් වෙත භාරදීම අද (18) සිදුකෙරුණා.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

කොස්ගොඩ තාරක සහ ගගනගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(18.07.2020 – 15:32 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරක සහ ගගන යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මහ පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී පෑලියගොඩ පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 170 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

පසුගිය වසරේ පෙබරවාරි 22 වනදා මහරගමදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයායි.

සැකකරු අද (18) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

සහරාන් මඟ හැරුණු තවත් අවස්ථාවක් හෙළිවේ

(18.07.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂිම් අඩපණ කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් විශේෂ අනුමැතියක් ඉල්ලා දෙන ලෙස පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළ බව පොලිස් විශේෂ කාර්යය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අනාවරණය කළා.

ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ එම ඉල්ලීමට අවස්ථාවක් හිමි නොවූ බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් විශේෂ කාර්යය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) සාක්ෂි ලබාදුන්නේ දෙවන දිනටයි.

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට 2018 වසරේ ලබාගත් වරෙන්තුවක් අනුව තම ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය මෙහෙයුම් 8 ක් පමණ සිදුකළ බව ඔහු කොමිසමට පැවුසවා.

කෙසේ වෙතත්, 2019 වසරේ සහරාන් හෂිම්ගේ බිරිදගේ නිවසට ගිය අවස්ථාවේදී එම විමර්ශනවලින් ඉවත් වන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙය වන බව පවසමින්.

කොමිසම ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර 2019 අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට ඔබ සහභාගි වුයේද යන්නයි.

තමන් වෙනත් රාජකාරියක් සඳහා එදින ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ සිටියදී එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් තමන්වද එම රැස්වීමට කැඳවාගෙන ගිය බව වරුණ ජයසුන්දර සඳහන් කළා.

තමන් මීට පෙර කිසිදු අවස්ථාවක එම රැස්වීමට සහභාගි වී නොතිබුණ බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රැස්වීමෙදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහරාන් හෂීම් පිළිබඳ අන් අයගේ අවධානය යොමු කිරීමට දැඩි උත්සහයක් ගත් බවයි.

එහෙත්, විදෙස් රටකින් ඔහුට ලැබී තිබු ප්‍රහාරය පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ ලිපිය පිළිබද එකඳු වචනයක් හෝ කතා නොකළ බව වරුණ ජයසුන්දර වැඩිදුරටත් අනාවරණය කළා.

ඔහු පැවසුවේ ප්‍රහාරය එල්ලවීමට දින දෙකකට පෙර එනම් අප්‍රේල් මස 19 දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කැළඹුණු ස්වරූපයකින් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බවයි.

“වරුණ, කාන්තන්කුඩියේ සිදුවීමක් වෙලා දන්නවාද? පොලිසිය කියන්නේ ඒ අකුණක් කියලා. ඒත් ඒක අකුණක් වෙන්න බැහැ. ඒක පිපිරීමක්” ලෙස නිලන්ත ජයවර්ධන පැවසු බවද සාක්ෂිකරු කියා සිටියා.

තොරතුරේ තිබු සංකීර්ණභාවය වටහා ගත් තමන් “සර් මට ජනාධිපතිගෙන් අවසර අරන් දෙන්න. ඔබතුමාට පුළුවන්නම් මට STF කණ්ඩායමක් අරන් දෙන්න, මම සහරාන්ව අඩපණ කරන්නම්”‍ යනුවෙන් ඉල්ලීමක් කළ ද එයට පිළිතුරක් නොලැබුණු බවයි සාක්ෂිකරු පැවසුවේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *