පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ – ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම අනිද්දා (20)

(18.07.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩාත් සුදුසු දිනය බවට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණයි.

මහමැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වනදා පාසල් වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

එහෙත්, රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට ප්‍රථම ආරම්භ නොකරන ලෙස ද අදාල පළාත් බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන 20 වන සඳුදා සිදුකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

+++++++++++++++++++++

***************************************

වලංගු හැඳුනුම්පතක් නොමැති අය ඡන්ද දිනට පෙර කළ යුතු දේ

(18.07.2020 – 15:46 +0530 – sinhala.adaderana.lk)

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම අනන්‍යතාව තහවුරු කිරීමේ දී වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසම පැවසීය.

එම හැඳුනුම්පත සඳහා වන අයදුම්පත්‍ර, ග්‍රාම නිලධාරීවරයා මඟින් ලබාගෙන එය සම්පූර්ණ කර ඡන්ද දායකයාගේ ඡායාරූප පිටපත් දෙකක් (2) ද සමග ඡන්ද විමසීමට දින 7 කට පෙර භාර දිය යුතු බව සඳහන් වේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියපදිංචි දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූජ්‍ය හැඳුනුම්පත සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය අතුරින් එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ ෴

***************************************

කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ‘බඹරු ඇවිත්’

(17.07.2020 – 16:09 +0530 – lankadeepa.lk)

ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ (The Wasps Are Here) චිත්‍රපටයද ඇතුළත් කර තිබේ.

ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25 ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඔක්තෝම්බර් 10 සිට 18 දක්වා කාලය තුළ ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙහිදී මෙම කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. මෙම උළෙළේදී තිරගත කෙරෙනුයේ 4K තාක්ෂණය ඔස්සේ නවීන ප්‍රතිසංස්කරණය කළ සිනමාපටයක් ලෙසිනි.

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ බඹරු ඇවිත් චිත්‍රපටය ලංකාවේ තිරගත වූයේ 1978 අගෝස්තු 11 වැනිදාය.

මේ සඳහා විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විමල් කුමාර ද කොස්තා, අමරිසිරි කලංසූරිය, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

1979දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපය, අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම සිනමාපටය සම්මානයෙන් පිදුම්ලැබීය. 1978 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද්දේද බඹරු ඇවිත් සිනමාපටයයි.

‘උදුම්බරා හිනැහෙනවා’, ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැනි ගීත බඹරු ඇවිත් සිනමාපටයේ ජනප්‍රිය ගීත වේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මීට සංගීතයෙන් දායක වී ඇත ෴

***************************************

රන් භාණ්ඩ සොරකම CCTV වලින් හසුවේ

(18.07.2020 – 16:40 +0530 – lankacnews.com)

රන් මාලයක ගාන්චුවක් පෙන්වා රු. පනස් පන්දහසක් වටිනා රන් මාලයක් රැගෙන පලා ගිය සැකකරුවන් තිදෙනෙක් සහ මොටර් රථයක් සමග (17) දින බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් 17 දින ඉන් එක් සැකකරුවෙකු බගවන්තලාව නගරයට පැමිණ නගරයේ ස්වර්ණාභරණ වෙලදසැලකට ගොස් තමන් සතුව ගෙල බැදි රන්මාලයක ගාන්චුවක් ඇති බවත් එය නියම රත්තරං දැයි පරික්ෂා කරදෙන ලෙස ඉල්ලිමක් කර ඇත.

එම ඉල්ලිම අනුව ස්වර්ණභරණ වෙලදසැල් හිමියා විසින් සැකකරු විසින් ලබාදුන් ගෙල බැදි මාලයේ ගාන්චුව රත්තරංදැයි පරික්ෂා කර එය රු. පනස්දහසක් වටිනා බව පැවසිමෙන් පසු සැකකරු විසින් එම මුදලට සරිලන රන් මාලයකට එය මාරු කරදෙන ලෙස ඉල්ලිමක් කර ඇත.

එම ඉල්ලිම මත වෙලදසැල් හිමියා විසින් වෙලදසැලේ අලෙවි කිරිමට තිබු රු. පනස් පන්දහසක් වටිනා රන් මාලයක් සැකකරුට පෙන්වා ඇති අතර එහිදි සැකකරු විසින් වැඩි මුදල වෙලදසැල් හිමියා වෙත ලබා දි වෙලදසැල් හිමියාට ලබාදුන් රන් මාලයේ ගාන්චුව යලිත් සැකකරු අතට ගෙන සැකකරු විසින් ඉතා සුක්ෂම ලෙස එහා සමාන රන් ආලේපිත රන් මාලයක ගාන්චුවක් වෙලදසැල් හිමියාට ලබා දි පිට ගොස් ඇත.

සැකකරු වෙලදසැලෙන් පිටවිමෙන් පසු වෙලදසැල් හිමියා විසින් සැකකරු ලබාදුන් ගාන්චුව යලි පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ රත්තරං බවට තහවුරු වු පසු එ පිලිබදව වෙලදසැල් හිමියා විසින් බගවන්තලාව පොලිසියට දන්වා ඇත.

බගවන්තලාව පොලිසිය විසින් සැකකරු පලා ගිය මොටර් රථයේ තොරතුරු ලබාගෙන ඒ පිලිබදව බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පිහිටි පෙට්‍රොසෝ පොලිස් මුරපොල වෙත දැනුම් දිමෙන් පසු මොටර් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරුවන් සන්තකයේ තිබි අත්පලදනාවක්, පෙන්ඩන් 4 ක්, ගාන්චු 3 ක් හමු වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයින පුරා මෙවැනි වංචාවන් සිදු කර ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 37 – 38 වයස් කාණ්ඩ වල පසුවන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

(18.07.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයන් සඳහා මේ වසර අග දක්වා වාරික 6 කින් ජල බිල්පත් සඳහා වන හිඟ ගාස්තු ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත මහතා සඳහන් කළේ කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු පුද්ගලයන්ට මුහුණදීමට සිදුව ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

මේ අතර, මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව, දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (18) රාත්‍රී 8 සිට හෙට (19) පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

මෙරට ආසාදිතයින් 2703 දක්වා ඉහළට

(18.07.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු අද (18) දිනයේදී හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 2703 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි ආශ්‍රිතයින් 04 දෙනෙකු සහ පිලිපීනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු අද (18) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ වූ සංඛ්‍යාව 2023 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 668 ක් පමණයි.

මේ අතර, පසුගියදා කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනයක පුද්ගලයින් 6 දෙනෙකු සහ ඔහු සැරිසැරූ ස්ථාන කිහිපයක හඳුනාගත් පුද්ගලයින් 18 දෙනෙකු අද පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළා.

ඒ අතර, විහාරස්ථානයක හිමිනමක් ද සිටින බවයි වාර්තා වන්නේ. එසේම, රුහුණු – කතරගම මහා දේවාලයේ පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ එම පූජා භූමිය බැතිමතුන් සඳහා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, යාපනයේදී අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ප්‍රකාශ කළේ නල්ලූර් කෝවිලට පැමිණ බැතිමතුන් සීමා කිරීමට කටයුතු කර ඇති බවයි.

දින කිහිපයකට තාවකාලිකව නතර කළ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.

මේ අතර, මුඛ ආවරණ නොමැතිව බාහිර සමාජයේ ගැවසෙමින් සිට පොලිස් අවවාද කිරීම්වලට ලක්වූ පුද්ගලයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද (18) පැවැත්වුණා.

ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

‘කොස්ගොඩ තාරක’ගේ සහ ‘ගගන’ගේ ගෝලයෙකු වන ‘හෝකන්දර රයිඩර්’ මහරගමදී අල්ලයි; රඳවාගෙන ප්‍රශ්න කරයි

(18.07.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘කොස්ගොඩ තාරක’ සහ ‘ගගන’ යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී පෑලියගොඩ පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1.1 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

පසුගිය වසරේ පෙබරවාරි 22 වනදා මහරගමදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයායි.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර, අතුරුගිරිය පොලීසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මාලඹේ – අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ‘හෝකන්දර රයිඩර්’ නමැත්තා සහ ඔහු සමඟ සිටි තවත් සැකකරුවෙකු අද (18) සිට දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අද (18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5.8 ක් සහ ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයෙකු සතුව තිබී හොරොයින් මිලිග්‍රෑම් 460 ක් ද පොලීසිය භාරයට ගෙන තිබුණා.

‘හෝකන්දර රයිඩර්’ නමැත්තාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෝකන්දර – උතුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී යුද හමුදා විශේෂ කාර්ය බලකා ඇදුම් කට්ටල, රම්බෝ වර්ගයේ පිහි දෙකක්, ජීව උණ්ඩ දෙකක් සහ හිස් උණ්ඩ කොපු 3 ක් මෙන්ම, රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

කොරෝනා රාජකාරියෙන් ඉවත් වූ පී.එච්.අයි. ලා හෙට (19) සිට බෝවන රෝගත් අත්හරී

(18.07.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

සියලු බෝවන රෝග පාලන කටයුතුවලින් ද හෙට (19) සිට ඉවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කඩවත අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ කොවිඞ් 19 ඇතුළු බෝවන රෝග පාලනය සඳහා නීතිමය බලය ස්ථාපිත කර දිය යුතු බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වසංගත පාලනයට අදාළව ඊයේ (17) සිට රාජකාරි වලින් ඉවත් වූ අතර, ඔවුන් අද (18) මෙම තීරණයට එළඹියේ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔවුන් මෙලෙස රාජකාරිවලින් ඉවත් වීමට හේතුව වන්නේ කොරෝනා රාජකාරීවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කිරීමයි.

මේ අතර, එළඹෙන මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වා ගෙන යාමට අවශ්‍ය රෙගුලාසි එහි අන්තර්ගතයි.

මේ අතර, ඊයේ (17) පස්වරුවේ සිට රාජකාරිවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ හෙට (19) සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ද ඉවත් වන බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (18) සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් යවමින් සඳහන් කළේ අනිසි බලතල ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමකට ලක් නොවන අයුරින් පවත්වා ගැනීමට යෝජනා 3 ක් ඉදිරිපත් කරන බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සිදුකරනු ලබන බව සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා වන සියලු පහසුකම් ඔවුන් වෙත ලබාදීම, අවශ්‍යතාවයක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වෙත වෛද්‍යවරුන් වැඩිපුර අනුයුත්ක කිරීම සහ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය වන මානව සම්පත් හඳුනාගෙන ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ ඍජු අධීක්ෂණය යටතේ සේවයේ යෙදවීම ඊට ඇතුළත්.

***************************************

සමගි ජනබලවේගයේ රැස්වීමකට ලිපි යවමින් තැපෑලට වංචා කළ හිටපු මන්ත්‍රී නිමල් ආර්. පීරිස් අත්අඩංගුවට

(18.07.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

තැපැල් දෙපාර්තමේන්තුවට සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන නිමල් ආර්. පීරිස් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ලිපි 7,564 ක් සඳහා අයවිය යුතු රුපියල් 113,460 ක මුදලක් එම දෙපාර්තමේන්තුවට නොගෙවා වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.

1999 වසරේදී හිටපු මන්ත්‍රීවරයාට ලබාදී තිබූ මුද්දරය වෙනුවට මුද්‍රාව තබන තැපැල් මුද්‍රා යන්ත්‍රය භාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඔහු දැරූ මන්ත්‍රී ධුරයට අදාළ කාලසීමාව අවසන් වුවද තැපැල් මුද්‍රා තැබීමේ යන්ත්‍රය යළි භාරදී තිබුණේ නැහැ.

ඔහු මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවට වංචා කරමින් යොමුකර ඇත්තේ සමගි ජනබලවේගයේ ජනහමුවක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරන ලද ලිපි තොගයක්.

මීට දින කිහිපයකට පෙර මධ්‍යම තැපැල් හුවමාරුවට මෙම ලිපි භාරදී ඇති අතර, ඉන් කිහිපයක් තලවතුගොඩ තැපැල් ස්ථානයට ද ලැබී තිබෙනවා.

එහිදී අදාළ ලිපි පරීක්ෂා කිරීමේදී මතුවූ සැකය මත තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

පසුව ඒ පිළිබඳව මූලික විමර්ශනයක් සිදුකළ තලංගම පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර හිටපු මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමට අවසරයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුවයි, තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හිටපු මන්ත්‍රී නිමල් ආර්. පීරිස්ගේ නිවස පරීක්ෂා කරනු ලැබුවේ.

එහිදී අදාළ තැපැල් මුද්‍රා යන්ත්‍රය සොයා ගත් අතර, එහිදී මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණ වුණා.

පසුව හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත අතර, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

2020 මහ මැතිවරණය ගැන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(18.07.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

තවත් දින 18 කින් පැවැත්වෙන 2020 මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට සහයෝගය ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය අමතමින් කියාසිටියා.

එම බලයත් සමග ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකිවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වජිර අබේවර්ධන ජන හමුවක් අමතමින් සඳහන් කළේ තමන්ගෙන් විමසීමක් කළේ නම් තුනෙන් දෙකක බලය ලබාගන්නා ආකාරය ප්‍රකාශ කරන බවයි.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් පෙන්වා දුන්නේ සාමාන්‍ය තර්කය නම් අධික බලය අධික විනාශය බවයි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවී කරුණානායක ද මැතිවරණ ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ ඇතැම් අමාත්‍යවරුන් හම්බන්තොටින් තරුණයන් රැකියාවලට රැගෙන ආව ද ඔවුන්ට වැටුප් ගෙවීමක් සිදු කර නොමැති බවයි.

එවැනි පුද්ගලයන් දැන් සෑම පවුලකටම රුපියල් විසිදහසක් ලබාදීමට සූදානම් වන බවයි රවි කරුණානායක කියාසිටියේ.

+++++++++++++++++++++

***************************************

නීතිවිරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ සොයාබැලීමට විශේෂ විමර්ශන ඒකකයක්

(19.07.2020 – 07:05 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (19) දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

මෙම විශේෂ ඒකකය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සැකකරුවන් නීතිවිරෝධීව රැස් කරන දේපල සහ වත්කම් පිළිබඳව සොයා බැලෙනු ඇති.

එලෙස සොයා බලන දේපල සහ වත්කම් රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමේ වගකීමද මෙම විශේෂ විමර්ශන ඒකකය වෙත පැවරෙනවා.

මීට පෙර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ පිළිබඳ පරීක්ෂණ කටයුතු අදාළ පොලිස් ස්ථාන මගින් වෙන් වෙන්ව සිදුකළ අතර, ඒවා වඩාත් විධිමත් කිරීම නව ඒකකය පිහිටුවීමේ අරමුණයි ෴

***************************************

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමකින් 1563 ක් අත්අඩංගුවට

(19.07.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 771 දෙනෙකු ඇතුලු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම හෙරොයින්, අයිස් ඇතුලු වෙනත් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 792 කු ද ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 3,061 දෙනෙකුට අවවාද කර තිබෙනවා ෴

***************************************

කෑගල්ලේ නායයෑම්වලින් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක්

(19.07.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නායයාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එම දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකට ඊයේ (18) එක්වෙමින්.

බුලත්කොහුපිටිය, මාවනැල්ල, රඹුක්කන, කෑගල්ල, ගලිගමුව, වරකාපොල ඇතුළු ප්‍රදේශ රැසක පැවති ජනහමුවලට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමග කතාබහක නිරත වුණා.

ඒ අධික වර්ෂාව ද නොතකමින්.

බුලත්කොහුපිටිය – යටියන්තොට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ද ඉටු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු, සමුපකාර ව්‍යාපාරයේ යල් පැන ගිය නීති සංශෝධනය කිරීම, මාවනැල්ල නගරයට බස් නැවතුම්පොලක් ඉදිකිරිම, මාවනැල්ල – මයුරපාද විද්‍යාලයේ අඩුපාඩු ඇතුළු ප්‍රදේශයේ ගැටලු ගණනාවක් පිලිබඳව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවුණා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මහමැතිවරණයේදී වත්මන් රජයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට කැපවී සිටින බව රැස්ව සිටින ජනතාව අවධාරණය කළ බවයි ෴

***************************************

දේශපාලන ආධාරකරුවන් අතර ගැටුම් – CCTV දර්ශන සහිතයි

(18.07.2020 – 21:21 +0530 – sinhala.adaderana.lk)

තංගල්ලේ සහ අනුරාධපුරයේ ස්ථාන දෙකක දී මෙවර තරගවදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන්ට සිදු වූ පහරදීම්වලින් දෙදෙනකු රෝහල්ගත කර තිබේ.

මින් එක් ගැටුමක් සිදුව ඇත්තේ එකම පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතරය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අධාරකරුවන් පිරිසකට තවත් පිරිසක් පහර දෙන අකාරය සි.සි.ටි.වී. කැමරාවක සටහන්ව තිබුණි.

පහරකෑමෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අධාරකරුවෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාරගේ රියදුරුට එම අපේක්ෂකයාගේ නිවස ඉදිරිපටදී පහර දී තිබේ.

ඊයේ (17) රාත්‍රි හතට පමණ පහරදීම සිදුව ඇති අතර එය දිනේෂ් කුමාරගේ නිවසේ සි.සි.ටි.වී කැමරාවල සටහන්ව තිබුණි.

පහර කෑමෙන් තුවාල ලැබු රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තංගල්ල මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

***************************************

ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කරන්න ‘රෝ’ පිරිසක් ලංකාවට එති

(19.07.2020 – divaina.com)

මෙවර මහ මැතිවරණය සඳහා ඉන්දීය රෝ බුද්ධි සේවාවේ ඒජන්තවරු කණ්ඩායමක් මෙරටට රහසිගතව පැමිණ ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් සහ හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් යාපනයේදී හා ත‍්‍රිකුණාමලයේ පැවැති මැතිවරණ ජනහමු කිහිපයකදී ඉන්දියාව මෙම මැතිවරණ පසුබිම නිරීක්‍ෂණය කරන බව හෙළිකිරීමෙනි.

ඉන්දීය රෝ බුද්ධි සේවාව මැතිවරණයට මැදිහත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය චීනය සමග දැඩි සබඳතා පැවැත්වීම සහ චීන ආධාර ලබාගැනීම නිසයි.

පසුගිය ජනාධිපතිවරණයට ද ඉන්දීය බුද්ධි සේවාව මැදිහත් වී තිබුණි.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය රෝ බුද්ධි සේවාවට සම්බන්ධ ද්‍රවිඩ දේශපාලනඥයන් සිවුදෙනෙක් සහ ඒජන්තවරු 10 ක් රෝ කණ්ඩායමට තොරතුරු සපයන බවයි.

– කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++

රෝ…(හතර වටේටම වැනීම)

(19.07.2020 – divaina.com කතුවැකිය)

බලගතු රටක් අසල පිහිටි කුඩා රටවලට, එම බලගතු රටේ ඔත්තු සේවාවලින් ඇත්තේ පුදුම කරදරයකි. ඊශ‍්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවයෙන් යාබදව පිහිටි පලස්තීනයට සෑහෙන්නට කරදරය. රුසියාවේ ජාතික ඔත්තු සේවයෙන් යාබදව පිහිටි සියලු රටවලට මහත් සේ කරදර ය. ඇමරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවය මුළු ලෝකයටම වාතයකි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මුළු කලාපයටම එනම් චීනය, නේපාලය, භූතානය, මාලදිවයින, පකිස්ථානය හා ශ‍්‍රී ලංකාවට මල ලෙඩකි.

ළඟ එන මහ ඡන්දයේ ප‍්‍රතිපල වෙනස් කිරීම සඳහා ඉන්දියානු රෝ ඔත්තු සේවයේ සාමාජිකයන් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව මෙවර ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ මුල් පුවත ලෙස සඳහන්ය. නිදහස් ලංකාවේ මැතිවරණ දෙස හොරෙන් බලා සිටීම පමණක් නොව ඡන්ද ප‍්‍රතිපල වෙනස් කිරීමට දායක වීම රෝ සංවිධානය හැමදාම හැකි පමණින් කළේය. ශ‍්‍රී ලංකාවේ පළමුවන පළාත් සභා ඡන්දය තනිකරම පවත්වන ලද්දේ රෝ සංවිධානයේ මැදිහත්වීම හරහාය. නිවැසියන් ගත කරන ජීවිතය දෙස යට ලීයේ එල්ලී බලා සිටින ගෙවලයකු පරිද්දෙන් රෝ සංවිධානය ශ‍්‍රී ලංකාව ගැන නිතර උනන්දු විය. මෙය අල්ලපු ගෙදර කාන්තාව ඇඳුම් මාරු කරනු බැලීම සඳහා ඇගේ කාමරයෙහි හිලක් සාදනවා හා සමාන කුණු වැඩකි. මේ කුණු වැඬේ කුණුම කුණු වැඩක් වන්නේ ඡන්ද දෙස බලා සිටීමෙන් නොනැවතී ඡන්ද ප‍්‍රතිපල වෙනස් කිරීමටද රෝ සංවිධානය උත්සාහ කිරීමේ හේතුවෙනි.

මෙයට අවුරුදු කිහිපයකට පෙර නේපාලයේ රජ පවුල එම පවුලේම සාමාජිකයකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මේ සංහාරය සිදුවීමට පළමුව ඒ බව රෝ සංවිධානය දැන සිටියේය. සංහාරය සිදුවීමට පැය කිහිපයකට පෙර ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමාවේ හමුදා මුරකාවල් ඉන්දියාව විසින් දැඩි කරන ලදී. එයින් හැඟී ගියේ ඉදිරි පැය කිහිපය තුළ නේපාලය තුළ තීරණාත්මක යමක් සිදුවන බව ඉන්දියාව දැන සිටීමය.

උමා මහේෂ්වරන් කුලී හේවායින් පිරිසක් සමග ගොස් මාලදිවයිනේ බලය අල්ලන්නට තැත් කළ අවස්ථාවේදී ඉන්දියානු හමුදාව වහා එහි දිව ගොස් කුමන්ත‍්‍රණකරුවන්ගෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන කුමන්ත‍්‍රණය ව්‍යර්ථ කළේය. ඉන්පසු රෝ සංවිධානයේ පිරිසක් මාලදිවයිනට බැස සෑහෙන කලක් එහි පදිංචිව සිටියහ. මාලදිවයින් කුමන්ත‍්‍රණය සිදුවන අවස්ථාවේදී එරටට හමුදාව යවා කුමන්ත‍්‍රණය මැඬපැවැත්වීමට මුලින්ම උත්සහ කළේ එවකට පැවති එ.ජා.ප. ආණ්ඩුවේ නායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. එහෙත් ඉන්දියාව ඊට තරයේ විරුද්ධ විය. එයට හේතුව වූයේ කුමන්ත‍්‍රණය මාර්ගයෙන් මාලදිවයිනට බැස ඒ රටේත් අහල පහල රටවලත් ඔත්තු විචාරණය කිරීමට රෝ සංවිධානය තුළ තිබූ අවශ්‍යතාවය ය.

යුද හමුදාව විසින් දිගින් දිගටම පාලනය කෙරුණු බංගලාදේශය මුල් වරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යන්නේ 1972 දී ය. 1973 දී ඒ රටේ පැවති ඡන්දයෙන් පසු ෂෙයික් මුජිබර් රහමන් නමැති සමාජවාදී නායකයා අගමැති ලෙස පත්විය. මේ වෙනස සඳහා මුජිබර් රහමන්ට ආධාර කරන ලද්දේ රෝ සංවිධානයයි. ස්වල්ප කලකට පසු ඉන්දියාව කළ සියලු උපකාර අමතක කළ මුජිබර් රහමන් තමන්ට අභිමත පරිදි රට පාලනය කිරීමට පටන් ගත්තේය. ඔහු තවදුරටත් ඉන්දියාවට හෝ ඒ රටේ ව්‍යාප්තවාදී දේශපාලනයට අවනත වුණේ නැත. මේ අතර රෝ සංවිධානයේ පළමුවන සහ එවක ප‍්‍රධානියා වු ආර්.එන්. කා ඕ රෙදි වෙළෙන්දකු ලෙස වෙස් වළාගෙන බංගලාදේශයට ගොඩබැස දින කිහිපයක් එහි ගතකොට ඉන්දියාවට ආපසු ගියේය. ඉන් දින කිහිපයකට පසු බංගලාදේශය තුළ හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වූ අතර ෂෙයික් මුජිබර් රහමන්ටත් ඔහුගේ පවුලේ අයටත් වෙඩි තබා මරන ලද්දේය. මේ සංහාරය පිටුපස ඉන්දියාව කොපමණ දුරකට සිටියේද යන්න අදටත් හරියටම පැහැදිලි නැත. එනමුත් රෝ සංවිධානයේ ප‍්‍රධානියා, රෙදි වෙළෙන්දකුට ඇඳගෙන බංගලාදේශයට යෑම විශාල ලෙස සැක උපදවන අවස්ථාවකි.

ශ‍්‍රී ලංකාවේ උතුරේ යුද්ධය පවත්වාගෙන යෑම, නඩත්තු කිරීම සහ සර්විස් කිරීම යන කාරණාවලදී රෝ සංවිධානය සෑහෙන සපෝට් එකක් දුන්නේය. ප‍්‍රභාකරන් ඉන්දියාව සමග මිතුරුව සිටි අවස්ථාවලදී මෙන්ම සතුරුව සිටි අවස්ථාවලදී ද රෝ සංවිධානය සමග වෙනම චැනල් එකක් හරහා සම්බන්ධකම් පැවැත්වීය. 1983 ජූලි වර්ගවාදී කෝලාහලයේදී ශ‍්‍රී ලංකාව මෙල්ල කිරීමට තනිකරම කටයුතු කළේ රෝ සංවිධානය ය. 1983 න් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනයා කුපිත කරනු පිණිස රෝ සංවිධානය විසින් කඩාකප්පල්කාරීන් කුලියට ගන්නා ලද අවස්ථා රැසක් තිබේ.

2010 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී එම ප‍්‍රතිපලය වෙනස් කරන්නට රෝ සංවිධානය මහත් උනන්දුවෙන් කටයුතු කළේය. 2015 දී මහින්දට කෙළවා යහපාලන ආණ්ඩුව පත්කරන ලද්දේ රෝ සංවිධානය විසිනි. වාසනාවකට මෙන් මේ දිනවල ඉන්දියාවට සල්ලි නැත. ඒ නිසා වෙන රටවල ආණ්ඩු පෙරළීම සඳහා ලොකුවට කටයුතු කරනු පිණිස රෝ සංවිධානයට මුදල් දීමට ඉන්දියාවට නොහැක. එබැවින් තුනෙන් දෙක කෙසේ වෙතත් සරල බහුතරයකින් හෝ පොහොට්ටුව ජය ගැනීම නියතය. එහෙත් ඡන්දයෙන් පසුව ඉන්දියාව අතට සල්ලියක් ආවොත් යළිත් අප අනතුරේය ෴

***************************************

මල්වතු මහ නාහිමිගේ කටහඬින් කතාකර ලක්‍ෂ ගණන් සල්ලි ගැරූ හොර ඉංජිනේරුවා… ගාල්ලේ ඉපිද මහනුවරින් සිපිරි ගෙදර ගිය සිරිමල්

(19.07.2020 – divaina.com)

මල්වතු මහානායක ස්වාමින්වහන්සේගේ කටහඬ අනුකරණය කරමින් ව්‍යාජ ලෙස දුරකථන ඇමතුම් දෙමින්, පුද්ගලයන් රැසක් රවටා මුදලින් රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් වංචා කළ හතළිස් අට (48) වියැති පුද්ගලයෙක් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් දහතුන් (13) වැනිදාය.

කලක සිට ඉතා සූක්ෂම අයුරින් මේ වංචනික ක‍්‍රියාව සිදුකරමින් සිට ඇති මොහු සතුව මහනුවර ප‍්‍රිම්රෝස් වත්ත, පිටකන්ද, ඔගෙස්ටාවත්ත, පේරාදෙණිය මී වතුර ආදි ප‍්‍රදේශවලත් රටේ තවත් ස්ථාන කිහිපයකත් කුලියට ලබා ගත් නිවාස හතකට (7) වැඩි සංඛ්‍යාවක් තිබී ඇත. තට්ටු ලොරියක් සහ කාර් රථයක්ද, ජංගම දුරකථන අටක් (8) සහ සිම්පත් විසි දෙදකට (22) වැඩි සංඛ්‍යාවක් ද ජාතික හැඳුනුම්පත් දෙකක් (2) ද මොහු සතුව තිබී ඒ සියල්ල මේ වන විට පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේය.

සිගරට් අරක්කු හෝ වෙනත් කිසිදු මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරන මෙම පුද්ගලයා මස් මාළු හෝ කිසිදු මාංශයක් ආහාරයට නොගන්නා අයෙකි. සෑම බදාදා සෙනසුරාදා දිනකදිම බෞද්ධ සිද්ධස්ථාන සතර මහ දේවාල සහ කෝවිල් වෙත ගොස් භාර හාර පුද පූජා පවත්වමින් ආරූඩ කරගත් දැඩි ආගම්වාදි බෞද්ධ දර්ශනයෙන් වචන හැසිරවීමට අති දක්ෂතාවක් දැක්වූ බවට ද තොරතුරු ලැබී ඇත්තේය.

වසර 2018 සිට කොළඹ වංචා විමර්ශන අංශය මගින් මේ වනතුරුම සොයමින් සිටි මෙම සැකකරු ‘ගම්මලගුරුගේ සිරිමල් ප‍්‍රියන්ත’ ය. වසර 1972 උපන් අයෙක් බවට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා මගින් හැඳුනුම්පත සකසා තිබී ඇති බැවින්ද, සෙසු ලේඛන පරීක්ෂාවේදී ද සනාථ වූ කරුණු මත ඒ නම ඔහුගේ සත්‍යය නම විය හැකි බවට දැනට පොලිසිය විසින් සැක කරන්නේය. සුනාමියෙන් සියලු ලේඛන විනාශ වී ඇති බවට කියන ලද මුසාවකට අනුව මොහු නැවත 1979 වසරේදි උපන්නකු ලෙස සියලු ලේඛන සකසා පෙර හැඳුනුම්පත තිබියදීම නැවත ජාතික හැඳුනුම්පතක් සකසා ඇත්තේය. එහි සඳහන් පරිදි ඔහුගේ නම වන්නේ, ‘හලඹගුරුගේ මහේෂ් ජානක’ ලෙසය. රියැදුරු බලපත‍්‍රය අස්ථානගත වී ඇති බවට ලියකියවිලි පෙන්නා සිටියද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ මොහු කට ඇරියොත් බොරුවක් පමණක්ම කටින් පිටවන බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇති නිසාය.

මොහු ශ‍්‍රී ලංකාවාසියකු බවට සනාථ කර ගන්නට පොලිසිය දැඩි වෙහෙසක් ගෙන ඇත්තේය. මන්ද ඔහු පදිංචි ස්ථිර වාසස්ථානයක් හෝ ඡන්ද නාමලේඛනයක නම ඇතුළත් කර ඇති අවස්ථාවක් හෝ ගෙවන ලද ස්ථිර බිල්පතක් කොතැනක හෝ නැති නිසාය.

සිරිමල් ප‍්‍රියන්ත නම් වූ මෙම සැකකරුගේ උපන්ගම ගාල්ලය. අම්මා තාත්තා සහ බාල සහෝදරයන් තිදෙනෙක් සහ නැගනියක ඇති මොහු පවුලේ වැඩිමලාය. කංකොක්කාවල ශ‍්‍රී සුමංගල විද්‍යාලයෙන් දහවැනි වසරින් පාසල හැර ගිය බවට සහතික පත් තිබුණද, ඔහු පවසන පරිදි ඉගෙනුම ලබා ඇත්තේ අට (8) වසරට පමණි. ඉගෙනුම අවසන් කළ සිරිමල් නිවාස ඉදිකරන ස්ථානයන්හි අත්උදව් කරුවකු ලෙස සේවය කර ඇත. ඒ අතර ඔහු නිවාස ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් පලපුරුද්දක් අත්දැකීමක් ගන්නේ තමන්ගේ අනාගතය සකසා ගැනීමේ අධිෂ්ඨානය නිසාම විය යුතුය.

ඔහු විවාහ වන්නේ දෙදහස් එක (2001) වසරේදීය. ඔවුනට දියණියක් ලැබෙන අතර ඔහු පවසන පරිදි බිරිඳ වෙනත් විවාහයක් කරගනිමින් මොහුගෙන් වෙන්ව තිබේ. දියණිය සහ ඔහු සමග සතුටින් වාසය කිරීමට කැමති කාන්තාවකට පුවත්පත් දැන්වීම් ඔස්සේ ආරාධනය කරන සිරිමල් හට දෙවැනි බිරිඳක් මුණ ගැසෙයි. ඇය හොරණ වරකාගොඩ පදිංචි කාන්තාවක බවට තොරතුරු ලැබී තිබුණද, ඇයගේ නිවසේ උදවිය පවසන්නේ ඇය හිතුවක්කාර විවාහයක් කර ගෙන ගිය බවය. සිටිනා තැනක් නොදන්නා බවද ඇයගේ දෙමව්පියන් කියයි. සිරිමල් රටපුරා සොයා නැති තැන පේරාදෙණිය මීවතුර කුලී නිවසේදී පළමුව අත්අඩංගුවට පත්වන්නේ එම බිරිඳය.

වසර දෙදහස් දහහත (2017) වන විට සිරිමල් තනිව කොන්ත‍්‍රාත් භාර ගනිමින් නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරයි. ‘ලංකා හෝම්ස්’ ඉංජිනේරු කොන්ත‍්‍රාත් ආයතනය මගින් තමන්ගේ නිවස ඉදිකරගන්නැයි දන්වමින් ජාතික පුවත්පත් ඔස්සේ රුපියල් ලක්ෂ ගණන් වියදම් කරමින් දැන්වීම් පළකොට වැඩ භාර ගන්නා ඔහු ඉංජිනේරුවකු ලෙස පෙනී සිටින්නට පටන් ගන්නේ ය. තමන් ගේ SLHEC ආයතනයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන සේවාදායකයින් සමග කතා කරද්දි මොහු උපාධිධාරි ඉංජිනේරුවකු බව අඟවමින් දැහැමි පුද්ගලයකු ලෙස කතා කළ අන්දම කියන්නට මේ වන විට පැමිණිලිකරුවන් රැසක් පොලිසියේ පෙල ගැසී සිටින්නේය. මොහු භාරගත් නිවාස ගොඩනැගිලි සියල්ල වැඩ නිම නොකොට අතරමග නතර කර ඇති බවටය දැනට සාක්ෂි ඇත්තේ.

මොහු සිය දියණියගේ ඇසේ රෝගි තත්ත්වයකට ප‍්‍රතිකාර ලබා ගන්නට යන්නේ අක්ෂි විශේෂඥ වෛද්‍ය මකුලොළුව මහතා ළඟටය. විශේෂඥ වෛද්‍යවරයාගේ හැසිරීම කතා බහ ඉතා හොඳින් නිරීක්ෂණය කර ගන්නා සිරිමල් අනාගත සැලසුම් සඳහා සියල්ල මොළයේ ගබඩා කරගන්නේ වෛද්‍යවරයකු ලෙස කතාබහ පුද්ගල සබඳතා පවත්වා ගත යුත්තේ කෙලෙසකද යන වග හරිහැටි අවබෝධ කරගනිමින්ය.

එතැනින් අනතුරුව ඔහු දෙදහස් දහඅට (2018) අවසන් කාර්තුවේදි නව වැඩසටහනක් ආරම්භ කරයි.

පුවත් පත් දැන්වීම්වල සදහන් කර ඇති දුරකතන අංක ඔස්සේ ඇමතුම් දෙමින් සූක්ෂම ලෙස පුද්ගලයින් රටවා ගන්නට ඔහු ට හැකි වී ඇත්තේ දුරකතන ඇමතුමක් ඔස්සේ වුවද පණ වුවත් පුදන්නට සූදානම් ඇතැම් ලංකාවාසි මෝඩ පිරිසක් සිටින නිසාය. දිගින් දිගට දින කිහිපයකදි දුරකතන ඇමතුම් ලබා දි ඇත්තේ මල්වතු මහ නා හිමි ගේ කටහඩ අනුකරණය කරමින් ඉතා සිල්වත් අන්දමටය. රටේ ජනතාවට යහපතක් ඇති වන පරිදි කටයුතු කරන්නට සැලසුම් කර ඇති බවත් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරිම සදහා ඉඩම් මිලදි ගන්නට සූදානම් බවත් ඔහු කියා ඇත.

මේ සදහා නියෝජිතයින් කිහිප දෙනකු ඉඩම හෝ ගොඩනැගිල්ල බැලීමට එවන බවත් දුරකතන ඇමතුම ඔස්සේ දන්වා ඇත. පෙර කීවාක් මෙන් දින කිහිපයකදි දුරකතන ඇමතුම් ලැබෙන විට ඇතැමුන් තමන්ගේ ආත්මය පවා පාවා දෙන්නට සූදානම් මේ රටේ මෝඩ මිනිසුන් පිළිබදව සිරිමල් හොඳ නිරික්ෂණයක සිට ඇති බැවින්, මල්වතු විහාරය මගින් සමාජ සේවාවන් ක‍්‍රියාත්මක වන බවද ඒ ඔස්සේ විදේශ රටවල් වෙත යා හැකි බවද දන්වා තිබේ. මේ වචන පෙල ඇසෙත්ම ඉඩම විකිණිම හෝ වාහන විකිණිම හෝ ගොඩනැගිලි විකිණිම අමතක කර දමන මේ රටේ ඇතැමුන් රට පැන ගන්නට සිරිමල් හා තව තවත් කුළු පගවී ඇත. ඒ අනුව මහනායක ස්වාමින් වහන්සේගේ කටහඩ අනුකරණයෙන්ම මොහු පවසා ඇත්තේ, විදෙස් ගතවීමට අපේක්ෂා කරන අයගේ හැඳුනුම්පතේ සහ ග‍්‍රාමසේවා පදිංචි සහතිකයේ ඡායා පිටපත් සහ ඉල්ලුම්පත එවන ලෙසය. අනතුරුව එය විදෙස් රැකියා සපයන රජයේ ආයතනයෙන් සමත් වූ බවත්, සේවා පලපුරුද්දක් නොමැති නම් පුද්ගලිකව එම සේවා පුහුණුව ලබා දෙන බවට පවසමින් ඒ සඳහා වන රුපියල් ලක්ෂය ඉක්මවු මුදලක් ගිණුමට බැරකරන ලෙස ද දන්වා ඇත. එසේ මුදල් බැර කළ ලංකාවාසීන් ද අප අතර සිටී.

අනතුරුව විදෙස්ගත වීම සඳහා රුපියල් හැටහත්දහසක (67,000) මුදලක් අවශ්‍ය බවත් ඉන් හත්දහස (7000) පමණක් ආයතනය මගින් ලබා ගෙන සෙසු හැටදහස (60,000) නැවත ලබා දෙන බවටත් ඒ ඒ පුද්ගලයන් වෙත දන්වා ඇත. මෙහිදී ඇතැමුන් හැටහත්දහස ගිණුමට බැර නොකිරීමට වග බලා ගෙන ඇත. ඒ උදවියට සිදුව ඇත්තේ මුදල අහිමි වූවාටද වඩා එහා ගිය කරදර ගොන්නකට පැටලෙන්නටය.

මොවුන් එවන ලද ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත් ලබා දෙමින් සිරිමල් සිම්පත් මිලදි ගෙන ඇත්තේ දුරකථන ආයතන රැසක් ඔස්සේය. ඒ අනුව ඔහු සිම්පත් මාරු කරමින් ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දෙමින් මහජනතාව රවටා ඇති අතර මුදල් ද වංචනික ලෙස ගිණුම්වලට බැරකරගෙන ඇත. විශේෂඥ වෛද්‍ය මකුලොළුව සහ වෛද්‍ය ගමගේ යන මහත්වරුන්ගේ හඬ අනුකරණයෙන්ද මොහු විවිධ වංචනික ක‍්‍රියා සිදු කොට ඇති බව සනාථ වන අතර කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත පැමිණිල්ල සිදු කරන්නේ ද වෛද්‍ය මකුලොළුව මහතා විසිනි.

තම මුදල් අහිමි වූ ඇතැමුන් රටේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කරන්නේ තමන් වෙත පැමිණි දුරකථන අංක ද ලබා දෙමිනි. එවිට ඒ ඒ පොලිස් ස්ථාන මගින් දුරකථන අංක පරීක්ෂාවේදී හමුවන්නේ පෙර සුනිමල් වෙත හැඳුනුම්පත්වල ඡායා පිටපත් යැවූ නිවැරදි මිනිසුන්ය. මේ අවුල් ජාලාව විසඳුනේ සිරිමල් අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුවය.

සිරිමල් මහනාහිමි සේ ව්‍යාජව පෙනී සිට මුදල් ගෙන්වා ගෙන ඇත්තේ කාන්තාවන් සිව් දෙනකුගේ (4) බැංකු ගිණුම්වලටය. ප‍්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක කොට්ටාව ශාඛාව වෙත මුදල් ගෙන්වාගෙන ඇති අතර අවස්ථා ගණනකදි ගෙන්වා ගෙන ඇති මුදල්වල වටිනාකම රුපියල් කෝටි දෙකක් (2) පමණ වේ. මෙයට අමතර තවත් ගිණුම් ඇති බවට සැක මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවත් පොලිසිය කියා සිටී.

සිරිමල්ගේ සැලසුම් අතර වන තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ රටේ සියලුම ප‍්‍රභූවරුන්ගේ දුරකථන අංක තමන්ගේ ඇඳුම්වල යටි පැත්තේ ලියා තැබීමයි. මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර ජනතාව දැනුවත් කරන පොලිස් බලධාරීන් පමණක් නොව ජනාධිපති, අගමැති ඇතුළු විවිධ ඇමැතිවරුන්ගේ අංක ද ඔහු සතුව ඇත. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, රජයේ විවිධ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් රැසකගේ සබඳතා ඇති බවට අඟවන දුරකථන අංක ඔහු සතුව ඇත.

පොහොට්ටුවට සහාය ලබා දෙන බවට සනාථ කරන ‘රිගින් ටෝන්’ සහිත දුරකථන මොහු පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ දිනවල සුනිමල් ගේ දුරකථන අංකය නාද වන විට හැඬවෙන්නේ එම ගීතයය.

මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හිදී මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේට තොරතුරු ලැබී තිබිණි. උන්වහන්සේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති රණවීර මහතා වෙත අවස්ථා කිහිපයකදීම මේවග දන්වා මේ වංචනික ක‍්‍රියාව සිදුකරන්නේ කවුදැයි සොයා දෙන ලෙස පවසා තිබිණි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර දිසා අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන ගොඩමුන්න සහ ආරියරත්න යන මහත්වරුත්, පොලිස් සැරයන් වරුන් වන (2174) ධම්මික, (3459) නිශාන්ත, (54414) ධර්මරත්න, (32865) සමරදිවාකර, (8305) සමරකෝන්, (46971) අතුල, (45189) ලලිත්, යන මහත්වරු සහ කාන්තා පොලිස් සැරයන් වරුන් වන (3712) කුමාරි, (4958) රම්‍යා, (4580) දර්ශී නිලධාරිනියන් ද පොලිස් කොස්තාපල් රියැදුරු (38442) ඉලංගසිංහ යන නිලධාරි කණ්ඩායම යොදවා සිරිමල් අත්අඩංගුවට ගැනීමට දිවා රෑ වෙහෙස වී කටයුතු කළහ.

ඒ අනුව, බෙලිඅත්ත, මාතර, අම්බලගොඩ, හික්කඩුව, පානදුර, මතුගම, මීටීයාගොඩ, මිරිහාන, බලංගොඩ, තෙල්දෙණිය, දඹුල්ල, අනුරාධපුර, කඳාන, අලුත්ගම, නාරහේන්පිට, මිනුවන්ගොඩ, සපුගස්කන්ද, නවගමුව, කැකිරාව, කොම්පඤ්ඤවීදිය සහ කොළඹ යන ප‍්‍රදේශවල පුද්ගලයන් රැසක් සිරිමල්ගේ වහසි බස් හා වහවැටී මුදල් අහිමි කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. ඇතැමුන් රුපියල් හයලක්ෂ පනස් දෙදහසක්, හාරලක්ෂ අසූදහසක්, පන්ලක්ෂ අසූදෙදහසක්, පන්ලක්ෂ දහ දහසක්, දෙලක්ෂයක් මුදල් කාන්තාවන් සිව්දෙනකුගේ (4) බැංකු ගිණුම් වලට බැරකර ඇති බවද අනාවරණය වී ඇත.

මෙයට අමතරව ගලගෙදර නුගවෙල කටුගස්තොට ඇතුළු ප‍්‍රදේශවල පුද්ගලයන් රැසක්, කොන්ත‍්‍රාත් භාරගැනීමට සහ විදේශ රැකියා සඳහා යෑමට බව කියමින් මුදල් බැංකු ගිණුම් වෙත බැර කර තිබිණි. තවදුරටත් මෙවන් අකටයුත්තකට දායකත්වය ලබා දුන් පිරිස් රට පුරා ඇත්නම් ළඟම ඇති පොලිසිය වෙත ගොස් ඒ බව පැමිණිලි කරන ලෙස පොලිස් පරීක්ෂක ධම්මික විජේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉදිරියේදී හෝ මෙවන් වංචනිකයන්ට හසු නොවන්නට තරම් මිනිසුන් බුද්ධිමත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමන් සතුව කිසියම් වත්කමක් ඇත්නම්, බුද්ධිමත් ලෙස එය යොදවා කටයුතු කරනවා විනා වංචනිකයන්ට හසුවන්නට තරම් පහත් මට්ටමකට නොවැටී සිටීමට කවුරු කවුරුත් වග බලා ගත යුතුය.

– සමන්තී වීරසේකර

***************************************

ධාවනය අඩකින් අඩු කරන බවට බස් සංගම්වලින් රතු එළියක් – ගාස්තු වැඩිවීමකට ඉඩනොදෙන බව ඇමති යළි අවධාරණය කරයි

(19.07.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා සිට පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ පෞද්ගලික බස් රථ කර්මාන්තයට එල්ලවූ බලපෑම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් නොලැබීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත කර්මාන්තය පවත්වාගෙන යෑමට නම් ඉන්ධන සහනාධාරයක් හෝ ගාස්තු වැඩිකිරීමක් අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ මගීන් අපහසුතාවට පත්වන ලෙස ගාස්තු වැඩිකිරීමක් සිදු නොකළ යුතු බවයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ කැඳවුම්කරු අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

හිරු ප්‍රවෘත්ති අංශය, ඒ සම්බන්ධයෙන් මගී ප්‍රවාහන විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති අර්බුදයට තවදුරටත් විසඳුම් ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් ගාස්තු වැඩිකිරීමකට ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථ භාවිත කිරීමට ජනතාවගේ උනන්දුව අඩුවීම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායමටද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සාමාන්‍යයෙන් දෛනිකව මිලියන 10 ක පමණ ආදායමක් ලංගමයට අහිමිවන බවයි.

***************************************

සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ප්‍රමාද කිරීමට එල්ලවූ බලපෑම් ගැන හිටපු සභාපති හෙළිකරයි

(19.07.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ප්‍රමාද කිරීමට තමන්ට පසුගිය ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් බලපෑම් එල්ලවූ බව සීමා නිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *