බැඳුම්කර වංචාවට වඩා නාකොටික් ගේම බරපතලද? – ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(19.07.2020 – divaina.com)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග එක්වී තම භාරයේ තිබූ හෙරොයින් බෙදාහැරීම සමාන කළ හැක්කේ මහබැංකු බැඳුම්කර කොල්ලයට පමණි. මහබැංකු වංචා හරහා ජනතාව දෙවරක් කොල්ලකෑ, එජාපය නායකත්වය දුන් යහපාලන රජය කළ ‘හපන්කමට’ පොලිසිය අභියෝග කර තිබේ.

මහ බැංකුව කොල්ලකාපු රටක පොලිසිය හෙරොයින් විකිණීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබලවීය යුතු නැත. මහබැංකු බැඳුම්කර වංචාකරුවන්ට වසර ගණනාවක් තිස්සේ කට්ටිපැනීමට අවස්ථාව දී ඇති ආකාරය දකින ඕනෑම පුද්ගලයකු වංචාවක්, දූෂණයක් හෝ අක‍්‍රමිකතාවයක් කිරීමට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට උත්සුක වනු ඇත. ඊට දිය හැකි හොඳම උදාහරණය තම අත්අඩංගුවේ තිබූ හෙරොයින් තොග පාතාලය හරහා විකුණා දැමූ පොලිස් නිලධාරීන් පිරිසයි. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නා රාජ්‍ය නිලධාරීන් මහ බැංකුවට තට්ටු කළා, හෙරොයින් තොග විකුණා දැම්මා. මෙවැනි අසික්කිත ක‍්‍රියා ශ‍්‍රී ලංකාවේ පරිහානිය පෙන්නුම් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග එක්වී තම භාරයේ තිබූ හෙරොයින් බෙදාහැරීම සංසන්දනය කළ යුත්තේ මහබැංකු බැඳුම්කර කොල්ලය සමග පමණයි.

රටේ තිබෙන දූෂිතම ආයතනය පාර්ලිමේන්තුව බවට හිටපු අධිකරණ ඇමැති ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා 2019 ජුලි 30 දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසීය. එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, හම්බන්තොට වරාය චීනයට 99 වසර බද්දට පැවරීමට, මහබැංකු බැඳුම්කර වංචා සහ අනෙකුත් මතභේදාත්මක කරුණු කාරණා හේතුවෙන් එජාපයෙන් වෙන්වී සිටින මන්ත‍්‍රීවරයා සමග එම මාධ්‍ය සාකච්චාවට පූජ්‍ය උලපනේ ශ‍්‍රී සුමංගල හිමියන්ද සහභාගි විය.

පළමුවන බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි මාසයේ 27 දින සිදුකළා. සියලු වංචනිකයන් හෙළිවිය. එම කණ්ඩායමම 2016 මාර්තු අග වඩාත් බරපතළ දෙවැනි මහබැංකු කොල්ලය සිදුකළා. ජනතා විමුක්ති පෙරමුණ මැතකදී පෙන්වා දුන්නේ මහබැංකු බැඳුම්කර වංචාවට අසුවූ, තවමත් තහනම් කර ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 (2015 අගෝස්තු – 2020 මාර්තු) 2020 අගෝස්තු 05 මහමැතිවරණයටද තරඟ කරන බවයි. පාර්ලිමේන්තුව එවැනි තත්ත්වයකට අද වැටෙන විට පොලිසිය පාතාලය සමග මධුසමය ගතකිරීම සම්බන්ධයෙන් ජනතාව පුදුම විය යුතුද?

ජවිපෙ පවසන්නේ එම මහජන නියෝජිතයන් මෙවර මහමැතිවරණයට එජාපය, සමගි ජන බලවේගය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී ඇති බවයි.

පළමුවන මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළ පසුබිම ඉතාමත් ගැඹුරින් විමසා බැලිය යුතුය. එවකට ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා එජාපයට පහර ගැසුවේ මහ දවල් මහබැංකු කොල්ලය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිවය. මහබැංකු කොල්ලය ක‍්‍රියාත්මක කිරීමට යහපාලන රජය පෙළඹවූ කරුණු විමසා බැලිය යුතුය. පාර්ලිමේන්තුව වගකිවයුතු පළමුවන මූල්‍ය අක‍්‍රමිකතාව 2015 මහබැංකු කොල්ලය නම් ප‍්‍රශ්නය මෙතරම් බරපතළ නැත.

වසර 30 පමණ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ වර්ධනය වෙමින් පවතින වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් මහා බැංකු බැඳුම්කර වංචාවට අවශ්‍ය පසුබිම අපූරුවට සාදා දෙනුලැබීය. ඕනෑම වංචාවක් සිදුකර නීතියෙන් රිංගා යෑමේ අවස්ථාව මෙරටේ තිබෙන බව සාක්ෂාත් කරගත් පිරිසක් පළමුවන මහාබැංකු කොල්ලය සිදු කළෝය. මෙවැනි තත්ත්වයක් යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ‘සුපිරි’ අපරාධයක් කිරීම පුදුම විය යුතු නැත. මහබැංකු බැඳුම්කර සොරුන් මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයද පවතින තත්ත්වය තම කූට මෙහෙයුමට උපරිම ආකාරයෙන් යොදාගත් බව පැහැදිලිය.

පාර්ලිමේන්තුව, මහබැංකුව මෙන්ම පොලිසියද මහජන විශ්වාසය සුනු විසුණු කර ඇත. දේශපාලන අධිකාරිය මෙම තත්ත්වයට වගකිව යුතුය. එලෙසම වගවිය යුතුය. මහබැංකුව දෙවරක් කොල්ලකාපු රටේ පොලිසිය හෙරොයින් කිලෝ 100 ක් විකිණීම සම්බන්ධයෙන් ජනතාව පුදුම විය යුතුද? මහබැංකු බැඳුම්කර වංචනිකයන්ගෙන් මුදල් ලබාගත් අපේක්ෂකයන් 118 මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් පුදුම විය යුතුද? අපේක්ෂකයන්ට තම මනාප අංක අනවසර ස්ථානවල ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන මැතිවරණ කොමිසම ඉහත සඳහන් බරපතළ චෝදනා සම්බන්ධයෙන් නිශ්ශබ්දය.

දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා රජ කරනා ශ‍්‍රී ලංකාවේ ජනතාව තව දුරටත් කිසිදු පුවතකින් මවිතයට පත්කළ නොහැක. පළමුවන මහබැංකු වංචාව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සකස් කළ වාර්තාව ජනතාව අතරට යෑම වැළැක්වීමට එවකට යහපාලනය පාර්ලිමේන්තුව 2015 ජුනි මාසයේ විසුරුවා හරිනු ලැබීය. එජාපය පළමුවන මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළ බවට අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ ශ‍්‍රීලනිපය 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසු එජාපය සමග යහපාලන ආණ්ඩුව පිහිටුවේය.

එජාප – ශ‍්‍රීලනිප හවුල් පාලනය යටතේ දෙවැනි – වඩාත් විනාශකාරී මහා බැංකු කොල්ලය 2016 සිදුවිය. මෙම වංචා දෙක සම්බන්ධයෙන් 2017 ජනවාරි මාසයේ ජනාධිපති කොමිසමක් පත්කරන තුරු නිසියාකාර පොලිස් පරීක්ෂණයක් සිදුනොවීය. ජනාධිපති කොමිසමේ වාර්තාව 2017 දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරයාට භාරදෙන විට සිංගප්පූරු ජාතික මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් (ජාත්‍යන්තර පොලිසිය පවසන්නේ සැකකරු තම නම වෙනස් කර ඇති බවයි) රටේත් නැත. පාර්ලිමේන්තුවට ලැබුණ ජනාධිපති කොමිසමේ වාර්තාව අදටත් හමස් පෙට්ටියේය. පාර්ලිමේන්තුව සුපුරුදු ලෙස එම වාර්තාව වාද විවාදයට ගත්තේද නැත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙන්ම සියලුම ආයතනවල පිරිහීම විමසා බැලිය යුත්තේ පාර්ලිමේන්තුව පත්වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මහබැංකුව දෙවරක් කොල්ලකාපු ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ද නැවතත් මෙවැනි අසික්කිත ක‍්‍රියාව සිදුකළ හැක. එසේ කළත් කවුරුත් පුදුම විය යුතු නැත. පොලිස් මූලස්ථානයේදී ජුලි 10 හදිසියේ කැඳවූ මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු ඇසූ ප‍්‍රශ්නයකට මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායම පාතාලය සමග ජාවාරම ආරම්භ කර ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේ සිට බවයි. එම ප්‍රකාශය පිළිගත හැකිද? මේ වසරේ මාර්තු මාසයේ පාතාලය සමග හෙරොයින් ජාවාරම ආරම්භ කළා නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමට අදහාගන නොහැකි මහත් ධනස්කන්දයක් මෙවැනි කෙටි කාලයක් තුළ රැස්කර ගැනීමට හැකියාවක් තිබේද ?

ජුලි 10 වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 18 දෙනෙක් අත්අඩංගුවේ සිටී. එම සැකකරුවන් අතරින්, උප පොලිස් පරීක්ෂකවරයකුට සහ සාජන්වරයකුට හිමි, කුලී පදනම යටතේ පල්ලෙවල පොලිස් වසමේ බාඳුරාගොඩ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට ලබාදී තිබූ ලොරි හතරක්, වෑන් දෙකක් සහ නවීන මෝටර් රථයක් පොලිසිය අත්අඩංගුවට පත්විය. ඊට අමතරව අත්අඩංගුවේ සිටින පොලිස් කණ්ඩායම ඉඩම් කට්ටි 18 ක් මිලදී ගෙන තිබිණි. වළලා දමා තිබූ සහ සැකකරුවන්ගේ නමින් නොයෙකුත් බැංකුවල තැන්පත් කර තිබූ මුදල් සෑහෙන ප‍්‍රමාණයක්ද සොයාගෙන ඇත. දූෂිත මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ, එම කටයුත්තට අනුබල සහ ආරක්ෂාව සැපයූ පුද්ගලයන් සහ දූෂිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අතර වෙනසක් නැත. කණ්ඩායම් දෙකම මහජන විශ්වාසය උපරිම ආකාරයෙන් නැති කර ඇත.

තත්ත්වය බරපතළය. නැති කළ විශ්වාසය නැවත කිසිදු ආකාරයකින් ඇතිකර ගත නොහැක. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කිරීමෙන් අදාළ අංශය යථා තත්ත්වයට පත්කළ නොහැක. ආණ්ඩු වෙනස් වූ පමණින් පාර්ලිමේන්තුව වෙනස් වන්නේද නැත. මහබැංකුව සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය.

මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ප‍්‍රධානීන්ට තම කාර්ය ඉටු නොකිරීම සම්බන්ධයෙන් දොස් පැවරූ අවස්ථාවේ මහබැංකු බැඳුම්කර වංචාව කාලයේ එහි සේවය කළ සමහර පුද්ගලයන් තවමත් සිටින බව පැවසීය. වරද කාගේද ?

නීතිය නමන බවට චෝදනාවට ලක්වූයේ අපකීර්තිමත් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරය. ඒ දේශපාලන අධිකාරියේ සහ පොලිසියේ ප‍්‍රධානීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් තව්හිත් ජමාත් ත‍්‍රස්තවාදීන් 2019 පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට බොහෝ කලකට පෙරය.

අපේ අපූරු පාර්ලිමේන්තු පාලන ක‍්‍රමය තුළ ‘නීතිය’ මහජන නියෝජිතයන්ගේ සහ ඉහළ නිලධාරී පැලැන්තිය ග‍්‍රහණයේය. නීතිය නැවීමට හැකි අවස්ථාවක් ඇති සෑම පුද්ගලයෙක්ම බලය අයුතු ලෙස පාවිච්චි කිරීම පුරුද්දට මෙන් කරයි. මහජන නියෝජිතයෙක්ට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවරෙන නඩු කටයුත්තක අවසානයක් නැත. මාසයකට පාර්ලිමේන්තුව දින 8 රැස්වේ. එම දින අට තුළ නිසියාකාරව තම වගකීම ඉටුනොකරන මන්ත‍්‍රීවරු, තමන් අපහසුතාවයට ලක්වන උසාවි ක‍්‍රියාමාර්ග මගහැරීමට පාර්ලිමේන්තුව අපයෝජනය කරයි. උසාවිය තමන් කැඳවූ දිනය පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම්, මහජන නියෝජිතයන් මැතිසබය පෙන්වා උසාවිය මග හරියි.

නීතිය නමනවා නොව ඇත්ත වශයෙන්ම අඹරනවාය. නීතිය නැමීම, ඇඹරීම නොකරනවුන් ඇත්තේම නැත. මහබැංකු අන්දරය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමේ යෙදිම ඡන්දය දෙන ජනතාවට රටේ සැබෑ තත්ත්වය පෙන්වා දෙයි. වසර ගණනාවකට පෙර පකිස්ථානයෙන් ආනයනය කළ හෙරොයින් පිරවූ කන්ටේනරයක් නිදහස් කරවා ගැනීමට එවකට අගමැති දි මු ජයරත්නගේ කාර්යාලයෙන් ලිපියක් නිකුත් කිරීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.

අගමැති කාර්යාලයේ ‘කීර්ති’ නමැති නිලධාරියකු අදාළ ලිපිය නිකුත් කළ බව අගමැතිවරයාම 2013 අගදී ප‍්‍රකාශ කළේය. කන්ටේනරයේ හෙරොයින් කිලෝ 131 තිබූ බවට මාධ්‍ය වාර්තා කළේය. අගමැතිවරයා හෙරොයින් ආනයනකරුවන්ට කිසිදු ආකාරයකට දැනුවත්ව උපකාර කළ බවට සාක්ෂි නැත. නමුත් පවතින දූෂිත ක‍්‍රමය තුළ අගමැති කාර්යාලයෙන් පවා පාතාලයට අවශ්‍ය රේගුවට ඉදිරිපත් කළ හැකි ලිපියක් ලබාගැනීමේ අවස්ථාව තිබී ඇත. එදා අගමැති කාර්යාලය පාවිච්චි කරමින් මුදා ගැනීමට උත්සහා කළ හෙරොයින් කන්ටේනරයට සිදුවූ දේ දන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පමණි.

පකිස්තානයෙන් ගෙනා කුඩු කන්ටේනරය 2013 අගෝස්තු මාසයේ රේගුවට හසුවීමට පෙර හෙරොයින් ආනයනකරු අගමැතිවරයා හඳුනන පුද්ගලයකු සමග ඔහුගේ නිවසට පැමිණ ආහාර ගත් බව එතුමාම පිළිගත්තේය. පාතාලයේ ග‍්‍රහණයට මහජන නියෝජිතයන් අසුවී ඇත්ද?

මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් මහජන නියෝජිතයන් පරාජය වන්නේ නැත. නමුත් එවැනි අවස්ථාවක් මෑතකදී උදාවිය. හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහනුවර පළාතෙන් මහමැතිවරණයට ඉදිරිපත්වී ඇත. කටකාර පොහොට්ටු අපේක්ෂකයා පූර්ණ මාධ්‍ය අවධානය මැතකදී තමන් වෙත ආකර්ශනය කර ගත්තේ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව චේතාන්විතව ඉන්දියාවට පරාජය වීමට තරග කළාදැයි ප‍්‍රශ්නය මතු කරමිනි. අලුත්ගමගේ මෙම ප‍්‍රශ්නය නැඟීමට 2020 මහමැතිවරණයට දින ප‍්‍රකාශ කරන තුරු සිටියේ ඇයි? තමන් ක‍්‍රීඩා ඇමැති ධුරය දැරූ කාලයේ සිදුවූ බලවත් අකටයුත්තක් පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලීමට වසර 9 බලා සිටියේ ඇයි? කෙසේ වෙතත් අලුත්ගමගේ කළ ප‍්‍රකාශය හේතුවෙන් තවත් අපූරු පොලිස් දක්ෂතාවක් හෙළිදරව් විය. ජනාධිපති කොමිෂන් අවශ්‍ය වූයේ නැත. ක‍්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ස්ථාපිත කර ඇති පොලිස් කණ්ඩායම හිටපු ඇමැතිවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කළ විශේෂ පරීක්ෂණය විදුලි වේගයෙන් නිමා කරේ ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහවද පුදුමයට පත් කළ හැකි වේගයකිනි. එම පොලිස් ප‍්‍රකාශයත් සමගම ලෝක ක‍්‍රිකට් බලධාරීන්ද 2011 අවසන් තරගයේදී කිසිදු අයථා ක‍්‍රියාවක් සිදුනොවූ බව මාධ්‍ය දැනුවත් කළේය.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක සියලු විශේෂ විමර්ශන මේ ආකාරයටම වේගයෙන් සහ ‘සාර්ථකව’ සිදුවෙනවා නම් අපූරුය.

හිටපු ඇමැතිවරයෙක් මතක ඇති කාලයක පරාජයක් ලැබුවාමය. මහබැංකු බැඳුම්කර වංචාව, පොලිසිය හෙරොයින් ජාවාරම්කරුවන් වීම මෙන්ම ජාත්‍යාන්තර ක‍්‍රිකට් තරගයක් පාවාදීමක් සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශනය සතියක් තුළ නිමා කිරීම අදහාගත නොහැක. මෙය වෙනමම විමර්ශනයක් කළ යුතු අභිරහසකි. පුවත්පතක පිටු සැකසුම් අංශයේ සේවය කරන වජිර සංජීව ‘එන්න එන්නම හොඳ වෙනවා’ යැයි පවසන්නේ අවඥාවටය. නරක තත්ත්වයක් වඩාත් අයහපත් අතට හැරීම අවධාරණය කිරීමට ‘එන්න එන්නම හොඳ වෙනවා’ යැයි ඔහු පවසයි. රට යන අත නිවැරදි විය යුතුය. එය එසේ නොවන බව පැහැදිලිය. මහබැංකු බැඳුම්කර වංචාවෙන් ආරම්භවී පොලිසිය හෙරොයින් ජාවාරම් කිරීම සහ අරුම පුදුම ලෙස ක‍්‍රිකට් ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් සතියක් තුළ අවසන් කිරීම බරපතළ අර්බුදයක් පෙන්නුම් කරයි.

පසුගිය ජුලි 5 දින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් අධික වේගයෙන් ධාවනය කළ සැප වාහනය පානදුර පොලිස් වසමේදී 64 වයසැති දෙදරු පියෙකු යටකර පළා ගියේය. අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ ක‍්‍රිකට් ක‍්‍රීඩක අවිශ්ක ප‍්‍රනාන්දු ද විය. වැල්ලවත්තේ රාත‍්‍රි සමාජ ශාලාවක පැය කීපයක් ගතකර, ක‍්‍රිකට් ‘තරු’ විදුලි වේගයෙන් මාර්ගයේ වැරදි පැත්තෙන් පානදුර පසුකරනා විට අහිංසකයකු යටකර දැම්මේය. මග දෙපස සවිකර තිබෙන පෞද්ගලික ආරක්ෂක කැමරා පද්ධති නොවන්නට මිනීමරු රියැදුරා හසු නොවීමට තිබිණි. අනතුරකින් තුවාල ලබා සිටින පුද්ගලයකු රෝහලේදී මියගිය විට පොලිසිය ඇප මත සිටින රියැදුරු වහාම අත්අඩංගුවට ගනී. නමුත් මෙම අවස්ථාවේ කුසල් මෙන්ඩිස්ට ඇප ලැබිණි. නීතියේ අදාළ ප‍්‍රතිපාදන තිබේ නම් එලෙස ඇප දීමේ වරදක් නැත. නමුත් අනෙකුත් රියැදුරන්ට එම අවස්ථාව නොලැබීම ප‍්‍රශ්නයකි. මෙවැනි තත්ත්වයක් තුළ 2016 අනතුරක් කර පලායෑම ඇතුළු නීති විරෝධී ක‍්‍රියා කීපයකටම එරෙහිව නීතිපති හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට කොළඹ මහ අධිකරණයේ ආදී චෝදනා පත‍්‍ර භාර දීම විමසා බැලිය යුතුය. නීතිය ක‍්‍රියාත්මක වීම තීන්දු තීරණය වන්නේ කවර ආකාරයකටද? ප‍්‍රමාද වී හෝ නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක වීම පිළිබඳව සතුටු විය හැක. නමුත් නීතිය කාටත් සාධාරණව ක‍්‍රියාත්මක විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ සිදුවීමට නොහැකි දෙයක් නැත. මහබැංකුව පවා සුරක්ෂිත නොමැති රටක තත්ත්වය තේරුම්ගත හැක. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම මෙම ලියුම්කරුට එතරම් පුදුමයක් නොවුයේ ඒ නිසාය.

හිටපු අගමැති දි මු ජයරත්නගේ කාර්ය මණ්ඩලයේ සේවකයකු පකිස්ථානයෙන් ආනයනය කළ හෙරොයින් තොගය රේගුවෙන් නිදහස් කර ගැනීමට ලිවූ ලිපියට නොදෙවෙනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ශිර්ෂය යටතේ හිටපු කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර 2018 ජුනි 6 දින කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිව්වේය. ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස බණ්ඩාර කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ වැල්ලම්පිටියේ කොලෝසස් තඹ කර්මාන්ත ශාලාවට තඹ ටොන් 500 ක් ලිහිල් තත්ත්වයක් යටතේ ලබා දෙන ලෙසයි. ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු විදෙස් විනිමය ගෙනෙන මෙම ආයතනයේ පාලනාධිකාරිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් ලෙස තමන් මෙම ලිපිය යොමු කරන බව සඳහන් විය. මෙම ලිපිය බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මිනිස් ජීවිත 270 ක් බිලිගත් 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසුවය.

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු ඉන්සාෆ් අහමඩ්ය. ඔහු මිනීමරු තව්හිත් ජමාත් වෙනුවෙන් සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මිනිස් බෝම්බකරුය. වයස 38 කි. ඔහුගේ 36 හැවිරිදි සහෝදර ඉල්හාම් ඉබ‍්‍රහිම්, සහාරන් හෂීම් සමග ෂෑන්ග‍්‍රිලා හෝටලය ඉලක්ක කළ මිනිස් බෝම්බකරුවන්ය. ඉන්සාෆ් සහ ඉල්හාම් ඉබ‍්‍රහිම් ගේ පියා කෝටිපති කුළුබඩු ව්‍යාපාරික මොහමඞ් යුසුෆ් ඉබ‍්‍රහිම්ය. ඔහු 2015 අගෝස්තු මහමැතිවරණයේදී ජවිපෙ 29 දෙනාගේ ජාතික ලයිස්තුවේ සිටියේය. මොහමඞ් යුසුෆ් ඉබ‍්‍රහිම් ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවේ. ශාන්ත බණ්ඩාර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරඟ කරයි.

සිංගප්පූරු ජාතිකයෙක් මහබැංකුවේ අධිපති ලෙස පත්කළේම බැඳුම්කර කොල්ලය සිදුකිරීමටමද? පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග හවුල් හෙරොයින් ව්‍යාපාරයක යෙදීම ඉහළ නිලධාරීන්ට රහසක් වූවාද? රුපියල් කෝටි ගණනක් වටිනා යාන වාහන, ඉඩම් කට්ටි, මුදල් පොදි රහසින් රැස් කළේ කෙසේද? පසුගිය ජුලි 10 දින පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් ප‍්‍රකාශක ජාලිය සේනාරත්න, වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවෙන් උපයාගත් ලාභයෙන් කොටසක් පාස්කු ප‍්‍රහාරය සඳහා ආයෝජනය කළ බව පැවසීය. හිටපු කර්මාන්ත සහ වාණිජ ඇමැති (2010 – 2019 නොවැම්බර්) රිෂාඞ් බදියුදීන් ගෙන් අදාළ ප‍්‍රහාරයට චේතාන්විතව, එලෙසම එම ප‍්‍රතිඵලය පිළිබඳව අවබෝධයෙන් උදව් කළාද යන කරුණ සම්බන්ධයෙන් රහස් පොලිසිය ජුලි 9 දා ප‍්‍රශ්න කළ බව පැවසීය. මෙම ලියුම්කරු ඒ අවස්ථාවේ නීතිඥ පොලිස් ප‍්‍රකාශකගෙන් විමසා සිටියා හිටපු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාරගෙන් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාව වෙනුවෙන් ලිවූ ලිපිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරනවාද කියා. ශාන්ත බණ්ඩාර එවැනි ලිපියක් ලිවූ බව සනාථ කළ පොලිස් නිලධාරියා පැවසුවේ අදාළ ඉල්ලීම අනුව තඹ නිකුත් කර නොමැති බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පාතාලය සමග කළ හවුල් ව්‍යාපාරය ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කිරීම විශේෂ තත්ත්වයකි. එහිදී වැරදිකරුවන් වන නිලධාරීන්ට 1976 සිට ක‍්‍රියාත්මක කර නොමැති මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පොලිසිය තීරණය කර ඇත. ඇත්ත වශයෙන්ම පොලිසියට ‘හෙරොයින් පොලිසිය’ නිසා ඇති වූ බලවත් ලැජ්ජාව නිසා මෙවැනි තීරණයක් ගත් බව පැහැදලිය. මහජන නියෝජිතයන්ට ලැජ්ජාවක් තිබේ නම් බිංදුවට වැටී ඇති පාර්ලිමේන්තුවේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට අවංක උත්සහයක් ගනු ඇත. පෙර වැරදි නිවැරදි කළ නොහැක. නමුත් ඉදිරියේදී වැරදි නොකර සිටිය හැක.

– ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

***************************************

ග‍්‍රීස් යකා හැදුවේ ගෝඨාභයද නැත්නම් සහරාන්ද?

(19.07.2020 – divaina.com)

කොටි ඩයස්පෝරාව සතු අතිවිශාල මුදලක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සුප‍්‍රසිද්ධ බැංකුවක ඇත. එසේම ස්විට්සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා එම බැංකු ගිණුමෙන් ඕනෑම අවස්ථාවක මුදල් ලබාගැනීමට ඩයස්පෝරා ක‍්‍රියාකාරීන්ට හැකි වේ. සෑම වසරකම ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළු තුන සඳහා සමාන්තර රැස්වීම් පැවැත්වීමට හා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ‍්‍රී ලංකා විරෝධී විරෝධතාවලට වැයකරන්නේත් එම බැංකු මුදල්ය.

එසේම කොටි ඩයස්පෝරාවට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක වේ. ඔහු මරියදාස් බොස්කෝයි.

බොස්කෝ රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙහෙයවයි. භාරතී – ලාම්පුනර් යන සංවිධාන ඒ අතර වේ.

එහෙත් කිසිදු ද්‍රවිඩයෙක් බොස්කෝට මෙතරම් මුදල් සම්භාරයක් ලැබෙන්නේ කොහෙන්දැයි නොදනී.

එසේ වුවත් ස්විට්සර්ලන්තයේ ලූසෝන් ප‍්‍රදේශයේ හිටපු කොටි කි‍්‍රයාකාරිකයකු පැවසුවේ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ජාත්‍යන්තර කොටි ජාලයේ බැංකු ගිණුම් පාලනය කරන්නේ බොස්කෝ බවයි.

මානව හිමිකම් කවුන්සිලය තුළ කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුම් ඇතිකර නොගන්නා බොස්කෝ මුළුමනින්ම අබිරහස් චරිතයකි. උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනි ආනන්දි සසිතරන් ඇතුළු ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල කිරීම සඳහා ද්‍රවිඩ තරුණ තරුණියන් ජිනීවා නුවරට ගෙන එන්නේ බොස්කෝයි.

මෙවන් පසුබිමක් මැද කළුකොටි ත‍්‍රස්තවාදය පසුගිය ජුලි 4 දා යළි මතුවිය. මේ සඳහා අතිශයින්ම රහසිගත මෙහෙයුම දියත්වූයේ ප‍්‍රංශයේ සිට බවට තොරතුරු වාර්තා විය.

මේ මෙහෙයුමට යොදාගනු ලැබුවේ හිටපු කොටි බුද්ධි නායක පොට්ටු අම්මාන්ගේ හිතවතකු වූ කවින්දන් හෙවත් ගංගයි ඇන්මාන්ය. එහෙත් ඔහුගේ නියම නම තෙවනාෂන් කටගරායායි.

එසේ වුවත් ගංගයි ඇන්මාන්ගේ රහස් මෙහෙයුම ව්‍යර්ථ වූයේ ඔහු සකස්කළ සී-4 බෝම්බය පිපිරී බරපතළ තුවාල ලබා මරුමුවට පත්වීමෙනි.

මෙයට පෙර ස්විස් සන්තෝෂම් මාස්ටර් දැරූ උත්සාහය අසාර්ථක වූයේ ගෝපි පසුපස හඹාගිය ආරක්‍ෂක හමුදාව ඔහු මරාදැමීම නිසාය.

ගෝපිගේ බිරිය ජයකුමාර් ස්විට්සර්ලන්තයට පලායෑමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ත‍්‍රස්ත මර්දන නිලධාරීන් ඇය කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීම නිසාය.

එම අවස්ථාවේ ඇයට වීසා බලපත‍්‍ර නිකුත්කර තිබූ කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරියකු පැමිණ ඇය මුදාහරින ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප විය.

මේ අතර බෝම්බ පිපිරවීමෙන් මියගිය තෙවතාෂන් හිටපු කොටි කි‍්‍රයාකාරීන් විසින් පිහිටුවාගෙන තිබූ ‘ක්රුසේවර්ස් ඔප් ඩිමෝක‍්‍රසි’ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබූ බවද විමර්ශනවලදී හෙළිවිය.

කිලිනොච්චියේ ඉයක්කච්චිහිදී මේ හිටපු කළුකොටියා බෝම්බ පිපිරීමෙන් මියයෑමෙන් පසු සංහිඳියාවට මුවාවී මංගල සමරවීර ප‍්‍රමුඛ යහපාලන රජය තහනම ඉවත්කළ කොටි ඩයස්පෝරා සංවිධාන යළි තහනම් කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුවිය.

මුලතිව්හි කොටි බංකරයක තිබී අසුවූ කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන 16 ක සහ විදේශ රටවල කොටි ඒජන්තවරුන් 426 කගේ නාම ලේඛනයද වත්මන් රජය යළි විමර්ශනයට ලක්කිරීමෙන් සංවිධාන රැසක් සිය බෙදුම්වාදී පිළිවෙත දිගටම කි‍්‍රයාත්මක කරන බව සනාථ විය.

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ අවශ්‍යතාව මත ලන්ඩන් නුවර සිට කි‍්‍රයාත්මක වන එමානුවෙල් පියනම හා සුරෙන් සුරේන්ද්‍රන් මෙහෙයවන ගෝලීය ද්‍රවිඩ සංසදය, බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ කවුන්සිලය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, කැනඩා ද්‍රවිඩ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ කොංග‍්‍රසය සහ ද්‍රවිඩ ජාතික කවුන්සිලය යන සංවිධානවල තහනම ඉවත් කරනු ලැබීය.

එහෙත් 2019 වසරේදී කැනඩාවේ ඔන්ටාරියෝ නුවර ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව වෙත ශ‍්‍රී ලංකාවට එරෙහි ද්‍රවිඩ සමූල ඝාතන පනත ගෙන ඒමට සහාය වූයේ කැනඩා ද්‍රවිඩ කවුන්සිලය බව අනාවරණය විය.

මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු බුරුතු පිටින් උතුරට පැමිණ හිටපු කොටි ක‍්‍රියාකාරීන් සමඟ රහස් සාකච්ඡා පවත්වද්දී යහපාලන රජය බලාසිටියේය.

කැනඩාවේ කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරී සහ හිටපු මන්ත‍්‍රී නෙක්ස් ශාන් සහ රාධිකා සිතාසබෙයියන්ද උතුරට පැමිණි පිරිස අතර විය.

මේ අතර ස්විස් අධිකරණය කොටි සංවිධානය අපරාධකාරි සංවිධානයක් නොවන බවට තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළ අතර ඊට එරෙහිව යහපාලන රජය ස්විස් බලධාරීන් වෙත විරෝධය දැක්වූයේ නැත.

ශ‍්‍රී ලංකාවේ රජයට එරෙහිව යුද කිරීම සඳහා අවිආයුධ මිලයට ගැනීමට ස්විස් බැංකුවකින් මුදල් ලබාගැනීම ගැන චෝදනා ලත් කොටි කි‍්‍රයාකාරීන් පිරිස නිදහස් කළ ස්විස් අධිකරණය ඔවුන්ට වන්දි ගෙවන ලෙස රජයට නියෝග කළේය.

මේ තීන්දුවෙන් කොටි සංවිධානයට ස්විට්සර්ලන්තය තුළ නීත්‍යනුකූල බව ලැබිණි.

කොටි ඩයස්පෝරාව යුරෝපය තුළ බලවත්වී ඇත්තේ ස්විස් අධිකරණය දුන් මෙම දීන තීන්දුව නිසාය.

ඉන් සිදු වූයේ කොටි ත‍්‍රස්තවාදයට නව පණක් ලැබීමයි.

එසේම යහපාලන රජය විදේශගත කොටි කි‍්‍රයාකාරීන් 144 කගේ රතු වරෙන්තු අඩංගු ඉන්ටර්පෝල් ලැයිස්තුවද අහෝසි කිරීමට මුල්විය.

එවන් පසුබිමක් මත පී.ආර්.ඕ. සංවිධානය, ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටු, ලෝක ද්‍රවිඩ සංවිධානය, රටින් පිටත ඊළාම් ආණ්ඩුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සභාව, ලෝක ද්‍රවිඩ සහන අරමුදල, මූලස්ථාන කණ්ඩායම යන කොටි හිතවාදී සංවිධාන තවදුරටත් කි‍්‍රයාත්මක වෙයි.

කැනඩාව, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ, ස්වීඩනය, ප‍්‍රංශය යන රටවල් තවදුරටත් කොටි කි‍්‍රයාකාරීන්ට සිය බෙදුම්වාදී කි‍්‍රයා මෙහෙයවීමට ඉඩදී තිබේ.

2019 මැයි 18 දා කොටි සංවිධානය පරාජය වුවත් යුරෝපා කොටි ජාලය පැරදී නැත. ඒ බව සනාථ වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පමණක් නොව එය මෙහෙයවන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ද කොටි කි‍්‍රයාකාරීන්ගේ පාලනයට නතුවීමයි.

මෙය තවදුරටත් සනාථ වන්නේ වන්නි මෙහෙයුමෙන් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 6000 ත් 7000 ත් අතර යැයි මෙරට සිටි බි‍්‍රතාන්‍ය හමුදා උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්පේ ගේ රහස් වාර්තාව පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීමයි.

මේ හැර ජිනීවා යෝජනාවට අත්සන් කළ හැක්කේ විදේශ ඇමැතිට නොව රටේ නායකයාවූ ජනපතිට පමණක් යැයි බි‍්‍රතාන්‍ය රාජ නීතිඥ ජෙප්රි නයිස් ඉදිරිපත් කළ වාර්තාවද මානව හිමිකම් කවුන්සිලය ඉවත දැමීය.

මෙම තත්ත්වය මැද විදෙස්ගත කොටි ඩයස්පෝරාව යළි ශ‍්‍රී ලංකාව තුළ කොටි කි‍්‍රයාකාරකම් නඟාසිටුවීමට උත්සාහ කරන්නේ අවි ආයුධ පුහුණුව, බෝට්ටු එකලස් කිරීම ඇතුළු ත‍්‍රස්ත කි‍්‍රයා කළ හැකි හිටපු ත‍්‍රස්තයන් 14,550 ක් උතුරේ සිටින නිසාය.

මේ අතර නව වසරකට පෙර ප‍්‍රචාරය වූ බොරු ග‍්‍රීස් යකා නිර්මාණය කළේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් බව අනාවරණය විය.

2011 වසරේ අගෝස්තු සිට රාජ්‍ය නොවන සංවිධාන, බී.බී.සී. සේවය සහ විදේශ මාධ්‍ය මෙම බොරු ග‍්‍රීස් යකා යුද හමුදාව දියත්කර ඇති මෙහෙයුමක් බවට ප‍්‍රචාරය කළහ.

මෙරට අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මෙම ග‍්‍රීස් යකා ගැන අතිශයෝක්තියෙන් යුත් තොරතුරු සමාජ වෙබ් අඩවි සහ ට්විටර් ගිණුම් ඔස්සේ විශාල ලෙස ප‍්‍රචාරය කරනු ලැබීය.

2011 අගෝස්තු 29 දා මෙරට සිටි බී.බී.සී. වාර්තාකරු චාල්ස් හැචිලන්ඩ් නමැත්තා ශ‍්‍රී ලංකාවේ ග‍්‍රීස් යකුන්ගේ අබිරහස මැයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත සාවද්‍ය ප‍්‍රචාරයක් දියත් කළේය.

“පුත්තලමේ මොහමඩ් සලේ නෝනා පාරිස් මේ ග‍්‍රීස් යකා දුටුවා. ඔහු ගෝරිල්ලකුට සමානයි. හිසේ සිට දෙපතුල දක්වාම ඔහු වසාගෙන සිටියා. ගම්වාසීන් පැවසුවේ ග‍්‍රීස් යකුන් ආරක්‍ෂක හමුදාවට සම්බන්ධ බවයි. පුත්තලමේ පමණක් ග‍්‍රීස් යකුන්ට අදාළ සිද්ධි 12 ක් වාර්තා වුණා” යයි බී.බී.සී. වාර්තාකරු පවසා තිබිණි.

මේ බොරු ග‍්‍රීස් යකුන්ගේ ප‍්‍රචාරයත් සමඟ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් පාරවල් වල ටයර් පුළුස්සමින් හැසිරී ඇත.

එහෙත් 2020 ජුලි මස අනාවරණය වූයේ ග‍්‍රීස් යකුන් නිර්මාණය කර ඇත්තේ සහරාන් ප‍්‍රමුඛ අන්තවාදී කණ්ඩායම් බවය.

මෙම ග‍්‍රීස් යකුන් සිද්ධිය විගස කොළඹ මුස්ලිම් රටවල තානාපතිවරුන්ටද දන්වන ලද්දේ මුස්ලිම් සංවිධානයක නායකයෙකි.

එසේ වුවත් එදා සහරාන් ප‍්‍රමුඛ අන්තවාදී කණ්ඩායම් කෙරේ නිරීක්‍ෂණයක් නොවුණි.

මේ හැර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ගූගල් නිරීක්‍ෂණ ඔස්සේ ග‍්‍රීස් යකුන් සිටි ස්ථාන 24 ක්ද ජාත්‍යන්තර ප‍්‍රජාවට පෙන්නුම් කරනු ලැබීය.

එහෙත් කිසිදු ග‍්‍රීස් යකෙක් ආරක්‍ෂක අංශවලට අසුවූයේ නැත.

එම බොරු ග‍්‍රීස් යකා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නිර්මාණයක් බවට ද ප‍්‍රචාරය විය. ඉන්පසු ආවා කල්ලිය උතුරෙන් මතු විය. ආවා කල්ලිය ගෝඨාභයගේ වැඩක් බව දූෂිත දේශපාලකයෙන් කියා සිටියේය. මෙවන් බොරු ප‍්‍රචාර දියත්වන අවස්ථාවේ සහරාන් ප‍්‍රමුඛ ඉස්ලාමීය අන්තවාදීහු අවස්ථාව පැමිණෙන තුරු බලා සිටියහ. 2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ප‍්‍රමුඛ අන්තවාදී කල්ලියේ බිහිසුණු මෙහෙයුම දියත් වී 246 කට අහිංසකයන් ඝාතනය වීමෙන් පසු කොළඹ කොල්ලුපිටියේදී විරෝධතාවයක් දියත් විය. ඒ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කාරිනියන් පිරිසක් පාස්කු ප‍්‍රහාරය ගෝඨාභයගේ වැඩක් බවට පැවසීමයි.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් ජනපති ලෙස පත්වීමෙන් පසු උතුරේ ආරක්‍ෂාව සහ බුද්ධි අංශ තර කරනු ලැබීය.

ඉන් රාජ්‍ය නොවන සංවිධාන කෝපයට පත්වූහ. රනිල් – මෛත‍්‍රිපාල යහපාලන රජය යටතේ රටේ බලවත්ම පිරිස් වූයේ එන්.ජී.ඕ. ක‍්‍රියාකාරීන්ය. එම සමයේදී නීතිරීති කඩකරමින් රාජ්‍ය නොවන සංවිධාන රැසක් ලියාපදිංචි විය. දැනට රාජ්‍ය නොවන සංවිධාන 1439 ක් ක‍්‍රියාත්මක වේ. එම සංවිධාන ලබන ආදායම වසරකට රුපියල් බිලියනයකට අධිකය.

එහෙත් යහපාලන රජය මේ සංවිධාන එම මුදල් වැය කරන්නේ කුමකට දැයි විමර්ශනය නොකළේ ඔවුන් එම රජයේ ආධාරකරුවන් වීම නිසාය.

එසේ වූවත් මෙවර මැතිවරණයෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන කටයුතු විමර්ශනය කරන බව අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් ඔහුගේ හමුදාව සහ බුද්ධි අංශ ද්‍රවිඩයන් ගැන දැඩි විමර්ශනයක යෙදෙන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලේමන්ට් වවුලේ වෙත පැමිණිලි කළහ.

මෙම පැමිණිල්ල ගැන ප‍්‍රතිචාර දැක් වූ වවුලේ ශ‍්‍රී ලංකා රජයට චෝදනා කරමින් ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා රජය වෙනස් වී ඇති බවත් සුළු වාර්ගිකයින්ට වෙනස් කම් සිදු කරන බවත් කියා සිටියේය.

එසේම ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ප‍්‍රතිසංස්කරණයට ලක්විය යුතු බවත් වවුලේ කළ ප‍්‍රකාශය රජය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කළේය.

මේ හැර මුල්වරට ශ‍්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා, යථාර්ථය අවබෝධ කරගෙන ප‍්‍රකාශයන් කළ යුතු බව රජය සඳහන් කළේය. 2015 වසරේ සිට 2019 දක්වා යහපාලන රජය එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට හිස නැමූ අතර මුල්වරට වත්මන් රජය ක්ලේමන්ට් මවුලේ නැමැති විශේෂ නියෝජිතයා වෙත ප‍්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර කොරෝනා වසංගතය රටේ ජනතාව වෙනුවෙන් යහපතක් කිරීමට ද මුල්විය. එනම් එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා අධික මුදලක් වැය කරමින් මෙරට සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට දේශපාලකයන් ඔවුන්ගේ හිතවතුන් සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සංචාරය නතර කිරීමයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පැවැත් වූයේ අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේය.

පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිය දූතපිරිසකට දේශපාලකයන්ගේ සහචරයන් පවා ඇතුළත් වී තිබුණි.

මොවුහු එහිදී නයගරා දිය ඇල්ල ඇතුළු විවිධ සංචාරක ස්ථාන ද නැරඹීමට ගියහ. මේ සඳහා වැය වූයේ ජනතාවගේ බදු මුදල්ය. එහෙත් කොරෝනා ඔවුන්ගේ නිව්යෝර්ක් සංචාරය සුන් කළේය. පසුගිය මාර්තු මස සිට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වසා දමා ඇති අතර ආරක්‍ෂක සමුළුව පවා පවත්වනු ලැබුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේය.

මේ අතර යහපාලන රජය මගින් කෙටුම්පත් කළ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනය සහ 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම සහ ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය අගමැති මෝදි වෙත යොමු විය.

මේ බව හෙළි වූයේ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් යාපනයේ පැවැති ඡන්ද රැස්වීමකදී කළ ප‍්‍රකාශයකිනි.

“මෙවර ආසන 20 ක් වත් ලබා ගත යුතු බව ඉන්දීය රජය අපට උපදෙස් දුන්නා. කඳුකරයේ පක්‍ෂ සමඟ එක්ව කටයුතු කිරීමෙන් ආසන සංඛ්‍යාව වැඩි කර ගත හැකි බවත් එවිට ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාව උදාවන බව ඉන්දීය බලධාරීන් අපට කියා සිටියා යැයි ශ‍්‍රීධරන් පැවසීය.

එම ප‍්‍රකාශයට සමගාමීව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ත‍්‍රිකුණාමලයේ පැවැති ඡන්ද රැස්වීමකදී පැවසූවේ මෙවර මැතිවරණයේදී ඉන්දීය අගමැති මෝදි ද්‍රවිඩ සන්ධානය පසුපස සිටින බවයි.

සම්බන්ධන්ගේ මේ ප‍්‍රකාශයෙන් තහවුරු වූයේ ඉන්දීය රෝ බුද්ධි කණ්ඩායමක් උතුරට හා කඳුකරයට පැමිණ ඇති බවයි. පසුගිය මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා රෝ ඔත්තු සේවාව ක‍්‍රියා කර තිබුණි. මේ රෝ බුද්ධි සේවා කණ්ඩායමට තොරතුරු සපයන ඒජන්තලා පිරිසක් ද මෙරට සිටිති. ඉහල පෙලේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ රෝ ඒජන්තවරු ලෙස ක‍්‍රියා කරන කණ්ඩායමක් හඳුනාගෙන ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසුවේ විද්‍යුත් නාළිකාවක සේවය කරන ද්‍රවිඩයෙක් මෙරට ප‍්‍රධානතම රෝ ඒජන්තවරයකු ලෙස ක‍්‍රියා කරන බවයි.

මෙම සතියේ ආරක්‍ෂක කරළිය තුළ මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ මෙරටින් ඔස්ටේ‍්‍රලියාවට පැන ගොස් දේශපාලන රැකවරණ ලැබූ හිටපු කැරලිකරුවකු වූ ලයනල් බෝපගේ නැමැත්තා ද ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට සහ රටේ පාලනයට මැදිහත් වී රට පාලනය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් දීමට ද ඉදිරිපත් වී ඇත.

ඉදිරියේදී සිවිල් පරිපාලන සේවාව හමුදාකරණයට ලක්වන බවත් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වන බවත් මේ හිටපු කැරලි කරුවා තවදුරටත් පවසා ඇත.

ඔස්ටේ‍්‍රලියාවේදී ගෝලීය ද්‍රවිඩ සන්සදයේ සමුළුවකට සහභාගී වූ මොහු දැන් ආචාර්ය පට්ටමක් ද ලබාගෙන ඇත.

ඔස්ටේ‍්‍රලියානු පුරවැසියකු වූ බෝපගේ සහ ස්විස් පුරවැසියකු වූ සුනන්ද දේශප‍්‍රිය ද සිදු කරන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි එදිරිවාදීකම්ය.

මේ අතර කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ඝාතනය කළ යාපනයේ නගරාධිපති ඇල්ප‍්‍රඩ් දෝරේඅප්පාගේ මුණුබුරු නිශාන් දෝරේඅප්පා කැනඩාවේ පිල් නගරයේ පොලිස් බළකායේ ප‍්‍රධානියා ලෙස පත්කිරීම කැනඩා කොටි ජාලයට එල්ල වූ අතුල් පහරකි.

43 වැනි ජීනීවා මානව හිමිකම් සමුළුවද පසුගිය 16 වැනිදා අවසන් විය. මෙවර පෙර මෙන් නොව, කොටි හිතවාදීන් සුළු පිරිසක් පමණක් ඊට සහභාගී විය.

43 වැනි ජීනීවා මානව හිමිකම් සමුළුවේදී මානව හිමිකම් කොමසාරිස් මිචේලි බැචලට් නැගෙනහිර කොටිනායක කරුණා ගැන සිහිපත් විය. ඒ සෙබළුන් 3000 ක් මරා දැමූ බවට කරුණා කළ ප‍්‍රකාශයන් නිසාය.

එහෙත් සෙබළුන් ඝාතනය ගැන කරුණා ගැන විමර්ශනයක් කළ යුතු බව මිචෙල් බැචලට් පැවසූවේ නැත. ඒ වෙනුවට ඇය සඳහන් කළේ ළමා සෙබළුන් බඳවා ගැනීම ගැන කරුණා වගකිවයුතු නිසා පරීක්‍ෂණයක් කළ යුතු බවයි.

මෙම පසුබිම මැද රජය ජිනීවා යෝජනාවට එකඟවිය යුතු බව මානව හිමිකම් කොමසාරිස් කවුන්සිලය යළි කළ ඉල්ලීම ද ප‍්‍රතික්‍ෂේප විය.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *