‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාරදෙයි

(20.07.2020 – 06:58 +0530 – lankaleadnews.com)

= සමස්ත ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරනවා – ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාර දෙමින් වෛද්‍ය ගුණදාස අමරසේකර කියයි =

‘නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය’ විසින් සකස් කරන ලද ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

පස් වැදෑරුම් යෝජනාවලියකින් සමන්විත මෙම සමාජ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ වසර පහකට පසුව සමස්ත ජනතාව වෙනුවෙන් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට පරිසරය සකස් වී තිබෙන බවයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත මෙම යෝජනා ඉදිරිපත් කරනුයේ ඒවා ක්‍රියාත්මක වනු ඇතැයි යන විශාල විශ්වාසයකින් බවද වෛද්‍ය ගුණදාස අමරසේකර පැවසීය.

මෙවැනි සමාජ ගිවිසුමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය වෙත අගමැතිවරයා සිය ප්‍රශංසාව පුද කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ‘නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය’ නියෝජනය කරන විද්වත්හු පිරිසක් එක් වූහ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීමට අදාල චක්‍රලේක නිකුත් වෙයි

(20.07.2020 – 06:29 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ වැරදි සම්බන්ධව නව විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා වන චක්‍රලේඛය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් නිකුත් කර තිබෙනවා.

පොලීසිය සිදුකරනු ලබන විමර්ශනවලදී අනාවරණ වන සැකකරුවන් හා ඒ හා සම්බන්ධිත බැංකු ගිණුම් පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහාත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් විසින් නීතිවිරෝධීව උපයා ඇති වත්කම් පිළිබදවත් එම ඒකකය මගින් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

අදාළ නව විමර්ශන ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ පොලිස් අධිකාරීවරයෙකු යටතේ කොළඹ – චැතම් වීදියේ අංක 54 දරණ ස්ථානයේ අද (20) සිට ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා ෴

***************************************

පුරාවිද්‍යා ස්මාරක ගැන චෝදනා කරන්නන්ට අගමැතිගෙන් පිළිතුරු

(20.07.2020 – 07:30 +0530 – hirunews.lk/sinhala)

බලයේ රැදී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ආරක්ෂා නොකළ ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් තමන්ට මඩ ගැසීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තම රජයක් පැවති සෑම අවස්ථාවකදීම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගත් බවයි.

***************************************

තැපැල් ඡන්ද දායකයන්ට අදත් (20) අවස්ථාව

(20.07.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද ඉල්ලුම් කර මෙතෙක් එය ප්‍රකාශ නොකළ තැපැල්ඡන්දදායකයන්ට අද (20) සහ හෙට (21) ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (20) දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පැමිණ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුනු කිරීමේ කටයුතු පසුගිය 13 වනදා ආරම්භ කෙරුණා. තැපැල් ඡන්දදායින් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට සියයට 90 ඉක්මවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

මේ අතර, මහමැතිවරණයට අදාළව ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් 210 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අපේක්ෂකයින් 3 දෙනෙකු ද ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

මුඛ ආවරණ නොපළඳින අයට පොලීසියෙන් පංති

(20.07.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන අය, පොලිස් ස්ථාන වෙත ගෙන්වා එහි වැදගත්කම පිළිබඳව වෛද්‍යවරයෙකු ලවා පංති පැවැත්වීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

***************************************

නුගේගොඩ ගුවන් පාලම මත අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

(20.07.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ ගුවන් පාලම මතදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (20) උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළා වන අතර තුවාල ලැබූ දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

නුගේගොඩ ගුවන් පාලම අනතුර : බස් රියදුරුට එරෙහිව මිනී මැරීමේ වරද යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරේ

(20.07.2020 – 18:11 +0530 – sinhala.adaderana.lk)

අද (20) උදෑසන නුගේගොඩ ගුවන් පාලම මත දී සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම අනතුරට හේතු වූ පෞද්ගලික බස් රථයේ රියදුරු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ සැකකාර රියදුරු විසින් සිදුකරන ලද ක්‍රියාව සැලකිල්ලට ගෙන මිනී මැරීමේ වරද යටතේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවය.

සැකකාර රියදුරා අධික රුධිර පීඩනය හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව, නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයාගේ දැනුම් දීම මත ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුව එම රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරු එම නියෝගය ලබා දීඇත.

අදාළ අනතුරෙන් හමුදා කපිතාන්වරයෙක් සහ සෙබළුන් දෙදෙනෙකු (2) තුවාල ලැබූ අතර කැබ් රථය පැදවූ යුද හමුදා සෙබළා ජීවිතක්ෂයට පත්විය.

කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නුගේගොඩ ගුවන් පාලම මත දී තවත් පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී අනතුර සිදුව තිබේ.

එහිදී නිවැරදි ධාවන තීරුව අනුගමනය කරමින් ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී තිබුණු අතර, එම අනතුර සිදුවන ආකාරය අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, වයස අවුරුදු 35 ක් වු වතුරවල, නින්දාන, අම්බලන්ගොඩ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් හමුදා සාමාජිකයින් දෙදෙනා (2) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

***************************************

දිස්ත්‍රික්ක පහකට (5) නායයෑම් අනතුරු ඇඟවීමක්

(20.07.2020 – 10:00 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට (5) නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට (21) උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴

***************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

(20.07.2020 – 10:11 +0530 – hirunews.lk/sinhala)

පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට යළි විවෘත කර තිබෙනවා.

මෙම කොටස පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණා.

***************************************

කොරෝනා මැඩලීමට උපරිමයෙන් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් කියයි

(20.07.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හමුවේ රට මුහුණදී ඇති තීරණාත්මක අවස්ථාවේ සිය පටු අරමුණු ඉටුකරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වර්ජනය හෙළා දකින බව ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන්’ පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයේ අද (20) නිරතවන්නේ පස්වන දිනට වන අතර, ඔවුන් සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින්ද ඊයේ (19) සිට ඉවත්වුණා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *