උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි (උසස් පෙළ : ඔක්. 12 සිට නොවැ. 06) (ශිෂ්‍යත්ව විභාගය : ඔක්. 11)

(20.07.2020 – 11:44 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වනදා ආරම්භ වී නොවැම්බර් 06 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් මස 11 වනදා පැවැත්වෙන බවයි.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පවත්වන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (20) පෙරවරුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි අමාත්‍යාංශය ලේකම්වරයා මේ බව කියා සිටියේ.

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ සැප්තැම්බර් මාසය දක්වා කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ කිරීමටත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

එහෙත් කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා දැමීම සහ උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය සම්බන්ඛයෙන් ගැටළු පවතින බව දෙමාපියන් මෙන්ම උපකාරක පන්ති ආචාර්යවරුන්ගේ සංගමයද අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් යළිත් සළකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ අතර, පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි මෙම විභාග පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (20) ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

මේ අතර අගෝස්තු මාසයට නියමිතව තිබූ පාසල් වල දෙවන පාසල් වාර නිවාඩුව ඔක්තෝම්බර් මස 09 වනදා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ නොවැම්බර් මස 16 වනදායි.

***************************************

ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

(20.07.2020 – 10:54 +0530 – hirunews.lk/sinhala)

අද (20) අලුයම සිට පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ගාල්ල – නරාවල – පෝද්දල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++++++++++++++++++++++

මිලිමීටර 219 ක වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයට

(20.07.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (19) උදෑසන 08:30 සිට අද (20) උදෑසන 8 දක්වා කාලය තුළ මිලිමීටර 219 ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයට වන අතර, ගාල්ල – හියාරේ ප්‍රදේශයට මිලිමීටර 160 ක වර්ෂාවක් ඇද හැලී තිබෙනවා.

එමෙන්ම ගාල්ල – ඇත්කඳුර ප්‍රදේශයෙන්ද මිලිමීටර 137.5 ක වර්ෂාපතනයක් වාර්තාවන අතර, කළුතර – මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර 117 ක වර්ෂාවක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම රත්නපුර – පරකඩුව ප්‍රදේශයට මිලිමීටර 106 ක සහ ගම්පහ – පස්යාල ප්‍රදේශයට මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ඇද හැලුනා.

අද (20) උදෑසන සිට කොළඹ නගරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් මාර්ග බොහොමයක පැවතියේ දැඩි රථවාහන තදබදයක්.

වැසි තත්ත්වය හේතුවෙන් කිරුළපන බේස්ලයින් මංසන්ධිය, ජලයෙන් යටවීම නිසා හයිලෙවල් මාර්ගයේ පැවති වාහන තදබදය මේ වනවිට පහව ගොස් තිබෙනවා.

වර්ෂාවත් සමඟ දෙහිවල ප්‍රදේශයේ අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටවුණා.

ගාල්ල – දිස්ත්‍රික්කයටද මේ වනවිටත් දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර, ගාල්ල නගරයේ මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයද ජලයෙන් යටවීම නිසා එහි කටයුතුවලටද බාධා එල්ලවුණා.

ගාල්ල – බද්දේගම මාර්ගය හිරිඹුර සහ කහදූව වත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවුණා. එසේම ගාල්ල – නරාවල – පෝද්දල මාර්ගය ද ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කළුතර – අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය, දර්ගා නගරයට පිවිසෙන මාර්ගය ඇතුලු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව තිබුණා.

මොණරාගල දිස්ත්‍රික්කයටද මාස ගණනාවකට පසු වැසි ඇද හැලෙමින් පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු යූ.එස්.පී. බණ්ඩාර මහතා සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩාවැටීම නිසා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

බෙලිඅත්ත සිට කොළඹ දක්වා පැමිණෙන මෝටර් රථවලට ඉමදූවෙන් පිටවිය හැකි අතර, යලි පින්නදූවෙන් අධිවේගි මාර්ගයට පිවිසිය හැකි වනවා.

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන් ගන්නා මෝටර් රථ පින්නදූවෙන් පිටවී යළි ඉමදූවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලුවිය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට (5) නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට (21) උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි.

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බවයි.

***************************************

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 560 ක්

(20.07.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හමුවේ රට මුහුණදී ඇති තීරණාත්මක අවස්ථාවේ සිය පටු අරමුණු ඉටුකරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වර්ජනය හෙළා දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා පාලන රාජකාරිවලින් බැහැරව ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (20) පස්වන (5) දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් ඊයේ (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරිවලින්ද බැහැර වුණා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වූ අවස්ථා වාර්තාවුවද සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මැදිහත්වී එම කටයුතු සිදුකළ අවස්ථා වාර්තා වුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත දේශකයෙකු ලෙස කටයුතු කළ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට කොරෝනා ආසාදනය වීමත් සමඟ නිරෝධායනයට යොමු කර සිටි ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයාගේ බිරිඳට සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදිත බවයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරින් එක්ව අදාළ පිරිස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා සඳහන් කළේ.

එමෙන්ම පසුගියදා අනුරාධපුර – රාජාංගණය යාය පහ ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත 11 හැවිරිදි පාසල් දරුවාගේ අසල්වැසි නිවසක කාන්තාවන් දෙදෙනෙකුද (2) ඊයේ (19) රාත්‍රියේ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනුවත් කර තිබෙනවා.

එහෙත් වර්ජනය හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් එක්ව එම කාන්තාවන් දෙදෙනා (2) රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි රාජාංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ගාමිණී මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රට මේ මොහොතේ මුහුණදී ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරී සංගමය, කොරෝනා රෝග පාලනයට උපරිම දායකත්වයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් 500 ක පමණ පිරිසක් දිවයින පුරා සේවය කරනු ලබනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හෙළා දකින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායක ප්‍රකාශ කළේ.

ඊයේ (19) දිනයේදී නව ආසාදිතයන් 20 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 2,724 දක්වා ඉහළ ගිය අතර, 2035 දෙනෙකු ඉන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 560 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඉන් 451 දෙනෙකුම පුනරුත්ථාපනයට ලක්වෙමින් සිටි රැඳවියන් වන අතර, 63 දෙනෙකු කාර්ය මණ්ඩල සාමාජිකයන්.

තවත් පස්දෙනෙකු (5) ආරාධිත කාර්ය මණ්ඩල වන අතර, සෙසු 41 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක පුද්ගලයන් 6,052 කු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ හයදෙනෙකු (6) අද (20) ඉන් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,522 කුට ඊයේ (19) දිනයේදී අවවාද කර තිබෙනවා.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන්ද තවත් පුද්ගලයින් 1,340 දෙනෙකුට අවවාද කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(20.07.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

විපක්ෂයෙන් අගමැතිකෙනෙක් නොඑන බව මෛත්‍රීපල සිරිසේන මහතා ජන හමුවකට එක්වෙමින් මැතිවරණය ගැන අදහස් පළ කළා.

මේ අතර, පොදුජන පෙරමුණේ අපේක්ෂක ජනක වක්කුඹුර මහතා පවසන්නේ රනිල්ගේ ලණුවට සජිත් අහුවුණු බව ජන හමුවකට එක්වෙමින් පැවසුවා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ජලය නොමැතිව දුක් විදින වරාකැටියේ ජනතව

(20.07.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

බීමට දිය පොදක් නොමැතිව අසරණ වූ ජනතාවක් වෙසෙන මෙම වරාකැටිය ගම්මානය පිහිටා ඇත්තේ මොණරාගල මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොල්ලදෙණිය ග්‍රාම නිලධාරීන් වසමේයි.

පවුල් 200 කට ආසන්න පිරිසක් ජීවත් වන ගම්මානයේ වැසියන් උග්‍ර ජල හිඟයකට මුහුණ දී තිබෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් ජලය සපයා ගැනීමට මේ වනවිට ඇත්තේ එක් ළිඳක් පමණක්වීම හේතුවෙන්.

වසරේ වැඩි මාස ගණනක් වියළි කාලගුණයෙන් බැට කන ගම්වැසියන්ට බීමට පිරිසිදු වතුර ටිකක් ලබා ගැනීම ගලකින් පොත්තක් ගැනීම මෙන් අසීරු කරුණක් වී තිබෙනවා.

ගම්මුන් පවසන්නේ බොර ජලය පානය කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් මේ වනවිට විවිධ රෝගාබාධයන්ට ලක්ව ඇති බවයි.

එමෙන්ම වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ලිං මේ වනවිට සිඳී යාම හේතුවෙන් ජලය සොයා කිලෝ මීටර් 2 ක් පමණ යාමටද ගම්වාසීන්ට සිදුව තිබෙනවා.

විවිධ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා කෝටි ගණනින් මුදල් විනාශ කරන යුගයක වරාකැටිය ගම්වැසියන්ගේ පානීය ජල ගැටළුව පිළිබඳ මේ දක්වා කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්.

ඒ පිළිබඳ නිසි අවධානය යොමුවී ඔවුන්ගේ ජල ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

නාකොටික් භාරයේ තිබූ තවත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රස පරීක්ෂක වෙත

(20.07.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාව විසින් පසුගියදා ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කර තිබූ රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 330 ක් මෙලෙස භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය දින 14 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව පසුගියදා නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉරාන ජාතිකයින් 7 දෙනෙකු ද සමඟයි.

එසේම, අත්අඩංගුවට ගත් මත්කුඩු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් අලෙවි කළ බවට පැවසෙන කොට්ටාවේ රජිත හසන්ත හෙවත් ලොකූ නමැත්තාට අයත් මෝටර් රථයක් මෙන්ම ඔහුගේ අනියම් පෙම්වතියට අයත් බවට සැකකරන මෝටර් රථයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දුන්නා. ඒ මෙම මෝටර් රථවල මත්කුඩු ප්‍රවාහනය කළේදැයි සෙවීම සඳහායි ෴

***************************************

පාඨලී චම්පික සහ සුදත් අස්මඩල සිතාසි

(20.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුලු තුන්දෙනෙකුට (3) කොළඹ මහාධිකරණය විසින් අද (20) සිතාසි නිකුත් කරනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාට අමතරව, ඔහුගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට ද අගෝස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි එලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ.

රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගොනු කිරීම ඇතුළු අධි චෝදනා 16 ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ මීට පෙර නඩු පවරනු ලැබුවා.

ඒ අනුව, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද (20) කැඳවනු ලැබූ අතර, එහිදී ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණා ෴

***************************************

‘ඌරු ජුවා’ගේ සහ ‘සමයං’ ගේ ගෝලයන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(20.07.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු (2) මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙනඇති එක් අයෙකු ‘චමින්ද කුමාර’ නමැති පහල බෝමිරිය, කඩුවෙල පදිංචි පාතාල කල්ලි නායක ‘සමයං’ගේ ගෝලයෙකු බවයි වාර්තාවන්නේ.

ඔහු ‘සමයං’ නමැති පාතාල කල්ලි නායකයාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවන අතර මුදල් පරිපාලන කටයුතු ද මෙහෙයවා ඇති බවටයි වාර්තාවන්නේ.

42 හැවිරිදි මෙම සැකකරු මීට පෙර අවස්තාවක දෙමටගොඩ ප්‍රදේශයේදී ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩිදුර වාර්තාවල සඳහන් වන්නේ.

අනෙක් පුද්ගලයා සමඟි මාවත, දැදිගම ප්‍රදේශයේ පදිංචි ‘ජගත් කුෂාන් දිල්රුක්’ යන අයෙකු වන අතර ඔහු ‘ඌරු ජුවා’ගේ පාතාල කල්ලි සාමාජිකයෙකු බවයි සඳහන් වන්නේ.

22 හැවිරිදි මෙම සැකකරු රණාල ප්‍රදේශයේදී ‘චාමර’ නැමැත්තෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකපිට සිටි අයෙක්.

දැනට ‘ඌරු ජුවා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් හුවමාරු කිරීම සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද සැකපිට සිටි අයෙක් ෴

***************************************

රටම කතා වූ අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කැලණියේ කථිකාචාර්යවරිය ජීවිතක්ෂයට

(20.07.2020 – 18:15 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු පහරදීමෙන් රෝහල්ගතකර ප්‍රතිකාර ලැබූ කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැළණිය – කැළණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ කථිකාචාර්යවරියක්

වන අලි පහරදීමෙන් එම කථිකාචාර්යවරිය ඊයේ (19) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසූවේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චිය තාක්ෂණ පීඨය තුළ නවාතැන්ගෙන සිටි කථිකාචාර්යවරියකට අදාළ නවාතැන්පොළ ආසන්නයේදී මෙම වන අලියා පහරදි ඇති බවයි.

අනතුරට ලක්වූ කථිකාචාර්යවරිය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර සිටියදීයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජීවි කාර්යාලය දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ ෴

+++++++++++++++++++++

ගයත්‍රි දිල්රුක්ෂි නමැති එම කථිකාචාර්යවරිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවකි. ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිණියකි.
(20.07.2020 – mawbima.lk)

***************************************

ගම්මිරිස් වෙළෙඳපොළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජනපති මැදිහත් වෙයි

(20.07.2020 – 19:00 +0530 – sinhala.adaderana.lk)

අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්‍රධාන උපායමාර්ගයක් විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ගම්මිරිස් ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පහළ වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ.

2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300 – 1,500 ත් අතර මිලක් ලැබුණු අතර දැන් එය රුපියල් 450 ත් – 500 ත් දක්වා අඩු වී තිබේ.

අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 150 ත් – 175 ත් අතර වේ.

“ලොව ඉහළ ගුණාත්මක තත්ත්වයක් සහිත ගම්මිරිස් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතිණ. අපනයනයෙන් 75% ක පමණ ගැණුම්කරු වූයේ ඉන්දියාවයි. ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලින් ද ඉහළ ඉල්ලුමක් තිබූණා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අඩු ගුණාත්මක අගයෙන් යුත් ගම්මිරිස් වියට්නාමයෙන් ගෙන්වා දේශීය ගම්මිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළෙඳපොළට ප්‍රති අපනයනය කිරීම පසුගිය වසර කිහිපය තුළ සිදුව තිබේ.

මේ නිසා ඉන්දියාව ඇතුළු සෙසු රටවලින් ගම්මිරිස් සඳහා ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටිණ.

“මම බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කළා. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට නැවත අවස්ථාව උදා වුණා. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳ ව ගැණුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළෙඳපොළ දිනාගත යුතුයි” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීම කෙරෙහි ද අද (20) රැස්වීමේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර නව අපනයනකරුවන් බිහි කරමින් අපේ ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉල්ලුම වැඩි කිරීම සහ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

වියළීම, විෂබීජහරණය, දිස්ත්‍රික් මට්ටමින් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකිවන පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අවශ්‍ය යාන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කරනු ලැබීය.

වැඩි මිලක් ලබාගත හැකි ගම්මිරිස් වර්ග වගාවට ගොවීන් උනන්දු කිරීමටත්, අවශ්‍ය දැනුම ලබාදීමටත් ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.

ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සියලු තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි දෙවසර තුළ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබාගැනීම ඉලක්කය කරගත යුතු බව ද පැවසීය ෴

+++++++++++++++++++++

***************************************

කටුනායක ගුවන්තොටුපළේ ගමන් මලු පරීක්ෂාවට නව උපකරණ ගෙනෙයි

(20.07.2020 – 14:53 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මිලදී ගත් උපකරණ තොගයක් අද (20) ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

මෙම උපකරණ තොගය රුපියල් මිලියන 62 ක් පමණ වටිනාකමකින් යුක්ත බවත් ඒ අතර විශාල එක්ස් – කිරණ යන්ත්‍ර 06 ක්, තාප සංවේදී උෂ්ණත්වමාපක ඇතුළු තවත් උපකරණ කිහිපයක් ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මෙම එක්ස් – කිරණ යන්ත්‍ර යොදාගෙන ගුවන් මගීන්, ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලබන ගමන් මලු තුළ විද්‍යුත් උපාංග, පුපුරන ද්‍රව්‍ය, විදේශීය මුදල්, රත්‍රං, විවිධ මත්ද්‍රව්‍ය ඇත්නම් එම භාණ්ඩ නිවැරැදිව හඳුනාගැනීමට හැකියාව තිබේ.

ලෝකයේ කාර්යක්ෂම ගුවන්තොටුපළ වලින් 65% ක පමණ වර්තමානයේ මෙම උපකරණ භාවිතයට ගනු ලබන බව සඳහන් වේ ෴

***************************************

මෙතෙක් කල් සඟවාගෙන සිටි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාට පැවරීමේ හොර ගිවිසුම එළියට

(20.07.2020 – 17:56 +0530 – lankaleadnews.com)

පසුගිය රජය විසින් 2019 මැයි මාසයේදී ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කරන ලද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ සහයෝගිතා ගිවිසුම ‘ලංකා ලීඩ්’ වෙත ලැබී ඇත.

තොරතුරු දැන ගැනීම සඳහා මහජනයාට ඇති අයිතියට ගරු කරමින් එම ගිවිසුම ප්‍රසිද්ධ කෙරෙන බව සැලකිය යුතුය. එම ගිවිසුම මඟින් වරාය පර්යන්තය ඉන්දියාවට දීමට බැඳීමක් ඇති වී ඇති බැවින් දැන් ඊට අනුව කටයුතු කළ යුතු බවට රජයේ පාර්ශව වලින් මතයක් ඉදිරිපත් වී ඇතත් ගිවිසුමේ තාක්ෂණිකව එවැනි ප්‍රතිපාදන නොමැති බව ‘ලංකා ලීඩ්’ වෙත උපදෙස් ලබා දෙන නීතිඥවරු පවසති.

කෙසේ වෙතත් පසුගිය රජය සමයේදී එම සහයෝගීතා ගිවිසුම අනුව අවසන් නීතිමය ගිවිසුම අත්සන් කිරීමට නොහැකි වූයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළ කිරීම නිසාය.

සම්පූර්ණ ගිවිසුම :

***************************************

මැතිවරණ කොමිසම නීතිපතිගේ රාජකාරියත් පවරාගෙනද? – ජනතාව ප්‍රශ්ණ කරති

(21.07.2020 – 05:13 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් ගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ ජාතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙලේ ප්‍රහාරයක් බව ජනතාව පවසති.

‘ලංකා ලීඩ්’ වෙත දස දෙසින් ලැබෙන ඇමතුම් වලින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල වේ. මැතිවරණ කොමිසම නිවැරදි නම් රටේ නමගිය අපරාධ කාරයින් කළ යුත්තේ ‘ස්වාධීන කණ්ඩායමක් මඟින් හෝ මැතිවරණයකට තරඟ කිරීම’ මඟින් මුක්තියක් ලබා ගැනීමය.

එවිට මැතිවරණ කාලය යනු අපරාධකාරයින්ට නීතියට පිටින් නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස ලොව පුරා තහවුරු වනු ඇත. මෙම තත්වය අරාබි සල්ලි වල බලවත්කම ප්‍රදර්ශණය කරන බව ජනතාව පවසති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *