‘කොස්ගොඩ තාරක’ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන

(20.07.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් තුන්දෙනෙකුට (3) බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ නමැත්තා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි නිලධාරින් කණ්ඩායමක් අදාළ බන්ධනාගාර නිලධාරින්ගෙන් අද (20) ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

‘කොස්ගොඩ තාරක’ නමැත්තා ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු පසුගියදා ආහාර වර්ජනයක නිරත වුණේ තමන්ට සිරමැදිරියෙන් පිටත රැඳී සිටීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලමින්.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර කොමසාරිස් – පාලන චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් – මෙහෙයුම් තුසිත උඩුවර සහ සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරු බූස්ස බන්ධනාගාරයට ගොස් තිබුණා.

එහිදී අදාළ රැඳවියන් සමග මෙම නිලධාරින් වෙන වෙනම සාකච්ඡා කර ඇති අතර, එම අවස්ථාවේදී “මට තුවක්කු තිබෙනවා. මට මිනිස්සු ඉන්නවා. මගේ ජාලය ක්‍රියාත්මකයි. ඉහළ සිට පහළටම ඝාතනය කරනවා යනුවෙන්” ‘කොස්ගොඩ තාරක’ නමැත්තා මෙම නිලධාරින්ට මරණ තර්ජන කර තිබුණා.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බන්ධනාගාර ගතව සිටින ‘පොඩි තිලිණ’ නමැත්තාගේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ ‘රොඩා’ සහ ‘නලියා’ නමැති පුද්ගලයින් දෙදෙනෙකු (2) හෙරොයින් මත්කුඩු සමග මිරිහාන කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ 32 සහ 35 යන වයස්වල පසුවන මොවුන් හංවැල්ල – දිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

+++++++++++++++++++++

***************************************

බලය නීතිගත කරන තුරු පී.එච්.අයි. වර්ජනය අඛණ්ඩව

(20.07.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

තමන්ට නීතිමය බලතල පවරාදෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරිවලින් බැහැර වී, සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (20) පස්වන (5) දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය හමුවේ රට මුහුණදී ඇති තීරණාත්මක අවස්ථාවේ සිය පටු අරමුණු ඉටුකරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වර්ජනය හෙළා දකින බව ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන්’ පවසනවා.

ඒ අනුව, රට මුහුණදී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන කොරෝනා වෛරසය පාලනයට උපරිම දායකත්වයක් ලබාදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ ෴

***************************************

යුද හමුදා ඇඳුම් තොගයක් ඇතුළු ආයුධ රැසක් වලස්මුල්ලෙන් සොයාගනී

(20.07.2020 – 20:34 +0530 – lankadeepa.lk)

වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ බව කියන විවිධ වර්ගයේ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක්, ලාංඡන, පතුරොම් තොගයක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, කඩු දෙකක් සහ ජීව අත් බෝම්බයක් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පාතාල කල්ලි සාමාජිකයකුගේ සමීපතමයකු අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පදිංචි ‘උදේනි’ නොහොත් ‘කිරියා’ නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන 58 හැවිරිදි පුද්ගලයකු බවත් මොහු ‘බැරල් සුනිල්’ගේ සමීපතමයකු වන බවට හඳුනාගෙන ඇතැයි නිලධාරිහු කියති. මොහු යුද හමුදාවේ සේවය හැර ගිය අයකු බවද විශේෂ කාර්යය බළකායේ නිලධාරිහු කියති.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පිහිටි නිවෙසෙහි කාමරයක අල්මාරියක් යට බංකරයක් සාදා මෙම භාණ්ඩ තොගය සඟවා තිබියදී සොයාගෙන තිබිණි.

මෙලෙස සොයාගත් භාණ්ඩ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පතුරොම් දමන ගිනිඅවියක්, ටී56 ජීව උණ්ඩ 105 ක්, ටී56 පුහුණු වීම් සඳහා යොදාගන්නා උණ්ඩ 21 ක්, එල්එම්ජී අවි පුහුණුවීම් සඳහා යොදන උණ්ඩ 2 ක්, එස්ජී වර්ගයේ ජීව පතුරොම් 8 ක්, කඩු 2 ක්, කෙටේරියක්, බයිනෙත්තු පිහියක්, ටී56 අවි සඳහා යොදන අවි පටි 3 ක්, යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටල 5 ක්, යුද හමුදාවේ ගැමුණු බළකාය භාවිතා කරන ඇඳුම් කට්ටලයක්, යුද හමුදාවේ ඇඳුම් සඳහා භාවිත කරන කොළ පැහැ රෙදි යාර 12 ක්, හමුදා බෙර තොප්පි 8 ක්, කොළ පැහැ නිල ඇඳුම් කට්ටල 6 ක්, කැමා වර්ගයේ ටී ෂර්ට් 5 ක්, යුද හමුදාවේ නිලධාරින් භාවිතා කරන කෑම පෙට්ටි 5 ක්, කෑලෑ නිල ඇඳුම් තොප්පියක්, ගැමුණු බළකායේ නිල ඇඳුම් සඳහා භාවිත කරන තොප්පියේ ලාංඡන 3 ක්, බඳ පටි 4 ක්, ආර්ටි හිස් කොපු 3 ක්, ටී56 අවි පිරිසුදු කිරීමේ කට්ටලයක්, යුද හමුදා නිලධාරින් කැලෑ ගමන් සඳහා ගමන්කරන වතුර බෝතලයක්, කොළ පැහැ යුද හමුදා කොට කලිසමක්, ලාජ් බැජ් 3 ක්, යුද හමුදා බූට් සපත්තු ජෝඩුවක් විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබිණි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

වලස්මුල්ලේ භූගත බංකරය පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බව හෙළිවෙයි

(21.07.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල – බෝවල ප්‍රදේශයේ නිවසක භූ ගත බංකරයක සඟවා තිබූ හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ගිනි අවි, ජීව උණ්ඩ සහ තියුණු ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) සිදුකළ වැටලීමකදී සොයා ගැනුණා.

යුද හමුදා ඇඳුම් කට්ටල වලට අමතරව ලාංඡන, ටී-56 වර්ගයේ උණ්ඩ 103 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, තියුණු ආයුධ සහ ජීව අත්බෝම්බයක් ඒ අතර වනවා.

මෙම බංකරය සහිත නිවස පාතාල කල්ලි සාමාජිකයෙකුට අයත් බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු ද ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි එම සැකකරු අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

වලස්මුල්ලේ ආයුධ බංකරයේ සුලමුල හෙළිවේ

(21.07.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල – බෝවල ප්‍රදේශයේ නිවසක භූ ගත බංකරයක සඟවා තිබියදී සොයා ගත් යුද හමුදා ඇඳුම් කට්ටල සහ ගිනි අවි ඇතුළු අවි ආයුධ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) සිදුකළ වැටලීමකදී යුද හමුදා ඇඳුම් කට්ටල වලට අමතරව ලාංඡුන, ටී-56 වර්ගයේ උණ්ඩ 103 ක්, ටී-56 පුහුණු උණ්ඩ 21, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, තියුණු ආයුධ සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනුණා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘බැරල් සුනිල්’ නැමැත්තාගේ ගෝලයෙකු බවටයි.

ඔහු ‘උදේනි’ හෙවත් ‘කිරියා’ නමින් හඳුන්වනු ලබනවා.

එමෙන්ම, ඔහු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බවට ද අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු විසින් මෙම යුද හමුදා ඇඳුම් කට්ටල ඇතුළු අවි ආයුධ ගෙනවිත් සඟවා තිබී ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ ෴

***************************************

කුරුණෑගල පෞරාණික නටබුන් විනාශ කළ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නවා – අගමැති

(20.07.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරයේ පෞරාණික නටබුන් විනාශ කිරීමට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේදී.

+++++++++++++++++++++++++++++++++++

***************************************

කුරුණෑගල රාජ සභා මණ්ඩපය විනාශකළ සියළු පිරිස් වහාම තනතුරු වලින් ඉවත්කළ යුතුයි – වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක හිමි

(20.07.2020 – 22:18 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ සියළු පිරිස් වහාම සිය තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කළයුතු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක තිස්සව රජමහා විහාරාධිපති පූජ්‍ය මුගුණුවටවන සිද්දත්ත හිමියන් පවසනවා.

අද (20) කුරුණෑගල ප්‍රදේශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

ගමේ බණ්ඩයියාට ක්‍රියාත්මකවන පුරාවිදු නීතිය ලොක්කන්ට ක්‍රියාත්මක නැත්තේ ඇයි? – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(20.07.2020 – gossiplankanews.com)

පුරාවිද්‍යා ස්මාරකවලට සිදුකරන හානි සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි අහිසංක පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පෙරේදා (18) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදු බල සේනා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදුකර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ ප්‍රශ්නය නැගූහ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන බෞද්ධ පුරාවස්තූ අන්‍යාගමිකයන් විසින් ඉවක් බවක් නැතිව ඩෝසර් කොට විනාශ කරද්දි ඒ විනාශයම දකුණේ බෞද්ධ දේශපාලඥයින් විසින් සිදු කිරීම දැඩි සංවේගයට කරුණක් බව ද ඥානසාර හිමියෝ පැවසූහ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

“අපි අද මෙතැනට ආවේ නැගෙනහිර පළාතේ ඉඳලා. ඊයේ (19) අපි හිටියේ අම්පාර දීඝවාපී රක්‍ෂිතයේ. අපි දීඝවාපියට යන කොටත් දීඝවාපී පරිවාර චෛත්‍යය දක්වා රක්ෂිතයේ ඒ පළාතේ මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර් කරලා ඉවරයි. ඒ අතරේ දී තමයි කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය කියන ගොඩනැගිල්ලට හානි කරලා කියන ආරංචිය ආවේ.

පුරාවෘත ගණනාවක්ම ගැන කියැවෙන ඓතිහාසික ස්ථානයක් මේක. කුරුණෑගල ඓතිහාසික රාජධානිය ගැන අද වන විට දකින්නට ලැබෙන එකම සලකුණ යි. මේ ඉපැරැණි ගොඩනැගිල්ල කුරුණෑගල නගරයට කොයිතරම් අලංකාරයක් ගෙන දෙනවා ද?

අපි අහන්නේ එකම දෙයයි. නොදන්නාකමට සීගිරියේ කුරුටුගී පවුරේ හැට්ට කට්ටකින් ඉරක් ඇඳපු දමිළ දරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඊළගට පිදුරංගල ගලේ ඉඳලා කොල්ලෝ කොලුකමට පස්ස පෙන්නුවා කියලා නීතිය ක්‍රියාත්මක කළා. එහෙම තියෙද්දී මේ ඓතිහාසික රාජ සභාව බිමට සමතලා කරන්න උත්සාහ කරපු අයට කෝ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා ? අපි අහන්නේ කෝ මේ රටේ නීතිය ?

මේ රටේ නීතිය ක්‍රියාත්මක දුප්පත් මිනිස්සුන්ට විතර ද ? පාලකයන්ට නැද්ද ? එහෙම නම් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඉල්ලනවා දැන් තමුන්නාන්සේගේ වැඩ පෙන්වන්න කියලා. නැගෙනහිර එහෙම වනසද්දී කුරුණෑගල බෞද්ධයන් මෙහෙම කරනවා නම් අපට ඉතින් අබ සරණයි. ඒ නිසා මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. අර බලය මේ බලය ඇවිල්ලා මෙතන උද්ඝෝෂණ කරන්නේ දේශපාලන වාසි ගන්න මිසක් මේ ගැන කැක්කුමකින් නොවෙයි. අද ඔය කෑ ගහන එකෙක්වත් නැගෙනහිර පුරා වස්තු වනසද්දී කතා කළේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ දී කූරගල වනසද්දී, දෙවනගල වනසද්දී, මුහුදු මහා විහාරස්ථානය වනසද්දී අද කෑ ගහන ඔය චම්පිකලා ඒ වගේ ඒ ආණ්ඩුවේ හිටිය එකෙක් කතා කළේ නැහැ.

අපි කියනවා රට්ටු හිනස්සන්නේ නැතිව නගරාධිපතිවරයා වහාම මේ තනතුරෙන් අයින් වෙලා අපේ උරුමයන් තියෙන මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.

කුරුණෑගල රාජ සභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන්ට පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බව ද උන් වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවට පූජ්‍ය උලපනේ සුමංගල, පූජ්‍ය වනවාසී රාහුල, කුරුණෑගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගිරිහාගම මුණිරතන, නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය වීරපොකුණේ සුමංගල යන හිමිවරු ද සහභාගි වූහ.

– පුෂ්පකුමාර ජයරත්න

***************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයට එක්වරම පැනපු වන අලියා

(20.07.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයට එක්වරම වන අලියෙක් පිවිසෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

මෙම සිදුවීම මත්තල අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදුවූ සිදුවීමක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

***************************************

අවස්ථා 3 කදී ලිඛිත දැනුම්දීමක් කලත් රිෂාඩ් CID යට ඇවිත් නෑ

(20.07.2020 – 22:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අවස්ථාගත කරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති නමුත් අවස්ථා 3 කදී ඒ සඳහා පැමිණ නොමැති රිෂාඩ් බදියුදීන් හිටපු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබුණත් අදත් (20) ඔහු එහි පෙනී සිටියේ නැහැ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙක් වන රිෂාඩ් බදියුදීන් මහතා නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම හේතුවෙන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට බාධා එල්ලවන බවට පැමිණිලි කර ඇති හෙයින් ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මැතිවරණය අවසන් වන තුරු කල් තබන ලෙසයි.

+++++++++++++++++++++

මැතිවරණ කොමිසමෙන් පාස්කු කොමිසමට දැනුම් දීමක්

(20.07.2020 – 21:05 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් වන්නි දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ලෙස තරග වදින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව කැඳවීම අගෝස්තු 10 වනදා තෙක් කල් තබන ලෙස මැතිවරණ කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවත්, මෙම තීරණය ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට දැනුම් දුන් බවත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසන් සභාව කියා සිටී.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අද (20) දින ඉකුත් වසරේ අප්‍රේල් මස 26 වන දා සයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කරනු ලැබුවේ.

මීට සති දෙකකට පෙර ජනාධිපති කොමිසම අදාළ පිපිරීමට සම්බන්ධ ස්ථානවල සිදුකරනු ලැබු නීරික්ෂණ චාරිකාවෙන් පසු මෙම සාක්ෂි විමසීම ආරම්භ කිරීම විශේෂත්වයකි.

ඒ අනුව පිපිරීම සිදුවන අවස්ථාවේ අම්පාර පොලිස් කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් පැවසුවේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 24 වන දින අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සැකකටයුතු නිවසක් පිළිබද රාජ්‍ය බුද්ධි සේවය දැනුවත් කර තිබු බවය.

ඒ අනුව තමන් ඇතුළු කණ්ඩායමක් එම නිවස පරික්ෂාවට ලක් කළ අතර එහි තිබි සහරාන් හෂීම්ගේ සොහොයුරු මොහොමඩ් කාසිම් මොහොමඩ් ශෛයිනිගේ උප්පැන්න සහතිකය සහ විවාහ සහතිකය සහ සහරාන් හෂිම්ගේ දේශන ඇතුළත් දෘඩ තැටි කිහිපයක් එහි තිබී සොයාගත් බව සාක්ෂිකරු කියා සිටියේය.

රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් මස 26 වන දින සිදුකළ දැනුවත් කිරීමක් අනුව සමන්තුරෛයි සෙන්දල්ගාම ප්‍රදේශයේ ෆාවුස් පටුමග අංක 77/A නිවසෙහි ගරාජයක් තමන් ඇතුළු කණ්ඩායමකගේ පරික්ෂාවට ලක්වු බව විජේසේකර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ ස්ථානය පරික්ෂා කිරීමට යාමෙදි එය කුළියට ගෙන තිබු නියාස් නැමැත්තාට දුරකතන ඇමතුමක් දුන් විට ඔහු එම ස්ථානයට පැමිණෙන බව පැවසුවද, පසුව ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබු නිසා එම ගරාජයේ දොරටුව කැඩීමට සිදුවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

පසුව අදාළ ගරාජය පරික්ෂා කිරීමෙදි එහි තිබී බෝම්බ සැදීමට යොදාගන්නා උපකරණ, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 119 ක් සොයාගත් බව ඔහු කියා සිටියේය.

ඒ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදින් දිවුරුම් දුන් අවස්ථාවේ ඇද සිටි ඇඳුමක් මෙන්ම එම අවස්ථාවේ පිටුපස තිරයට දමා තිබු අයි.එස්.අයි.එස් සංවිධානයේ ධජය ද හමුවු බව සාක්ෂිකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුන් තොරතුරකට අනුව නින්දවුර් ප්‍රදේශයේ තවත් නිවසක් පරික්ෂාවට ලක්කළ බව විජේසේකර මහතා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

කෙසේ වෙතත් අදාළ නිවස ඉදිරිපිට එව්රි වර්ගයේ අළු පැහැති කුඩා වෑන් රථයක් හමුවු අතර එම රථයද නියාස් නැමැත්තා විසින් මිලදි ගෙන තිබු අතර නින්දවුර් නිවස කුලියට ගෙන ඇත්තේ ද නියාස් නැමැත්තා විසින්ම බව සාක්ෂිකරු අනාවරණය කළේය.

පසුව සිදුකළ විමර්ශන ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථය නියාස් නැමැත්තා විසින් අක්කරෛයිපත්තුව ප්‍රදේශයෙන් ලක්ෂ 25 ක මුදලකට පසුගිය වසරේ අප්‍රේල් මස 19 දින මිලට ගෙන ඇති බවය.

පසුව නින්දවුර් අදාළ නිවස පරික්ෂා කිරීමේදි අධි ශීතකරණයක්, 12.5 Kg ගෑස් සිලින්ඩරයක්, 4.5 Kg ගෑස් සිලින්ඩරයක් ජංගම දුරකතන 07 ක්, දෘඩ තැටි 04 ක්, දේශිය සිම්පතක් සහ විදේශිය සිම්පත් 05 ක් හමුවු බව සාක්ෂිකරු කියා සිටියේය.

එසේම එහි තිබි බයිසිකල් බෝල 23,880 ක්, සයිකල් බෝල 6940 ක් පමණ රැදවු අඩියක පමණ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සඳහා යොදාගනු ලබන අච්චුවක්, ස්විච් 09 ක් ඇතුළු භාණ්ඩ 91 ක් ද එහි තිබී සොයාගත් බව සාක්ෂිකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම නිවස පරික්ෂා කරන අතරතුර කල්මුණේ නිවසක් තුළින් පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණු අතර එත් සමගම වෙනත් නිලධාරින් පිරිසක් නින්දවුර් නිවසේ රදවා තමා කල්මුණේ ප්‍රදේශයට පිටත් වු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය ෴

***************************************

නාවික හමුදා කොරෝනා පොකුර අවසන්

(21.07.2020 – 06:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ සියළු දෙනා මේ වන විට සුවය ලබා තිබෙනවා.

අවසන් ආසාදිතයන් තිදෙනා ද ඊයේ (20) දිනයේදී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා අවසන්.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වැලිසර නාවික හමුදා කදවුර ද තාවකාලිකව හුදෙකලා කෙරුනු අතර පසුව එය පසුගිය දා යළිත් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා ෴

***************************************

තැපැල් ඡන්දය අදින් අවසන් – ආගමික ස්ථාන, ප්‍රචාරක කටයුතුවලට, යොදා නොගන්නැයි ඉල්ලීමක්

(21.07.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ලබන අගෝස්තු 5 වන දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා.

ඒ, අනුව මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට අද (21) දිනයේදී ද ඒ සඳහා අවස්ථාව සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 13 වන දා ඇරඹි අතර ඊට දින 7 ක් වෙන් කර තිබුණා.

එමෙන්ම, රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ කල් දැමුණු රාජාංගණය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම සිදුකරන දිනය අද (21) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර, ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල එලෙස ආගමික ස්ථාන යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබදව පැමිණිලි රැසක් ලැබී තිබීම හේතුවෙනුයි මැතිවරණ කොමිෂන් සභාව මෙම දැනුම් දීම කර ඇත්තේ.

1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තිය යටතේ ආගමික ස්ථානයක සිදුකරන ප්‍රචාරක කටයුත්තක් හෝ ආගමික රැස්වීමකදී පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධන වන ආකාරයෙන් හෝ අගතියට පත්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම වරදක්.

එය අයුතු බලපෑමක් ලෙස සලකා දඬුවම් පැමිණවිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම, එවැනි කටයුතුවලින් වැළැක්වීමට පියවර ගන්නා ලෙස එම කොමිෂන් සභාව සියළුම භික්ෂූන් වහන්සේලාගෙන් සහ සියළු ආගමික පූජකවරුන්ගෙන් ඉල්ලීමක් කළා ෴

***************************************

ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් එන්නතින් සාර්ථක ප්‍රතිඵල

(21.07.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සංවර්ධනය කරන ලද කොවිඩ් 19 එන්නත මූලික අදියරේ සායනික අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් ‘ඇස්ට්‍රාසෙනිකා ඖෂධ නිෂ්පාදන සමාගම’ සමඟ එක්ව නිපදවා ඇති ‘ඒ ඉසෙඩ් ඩී 1222’ ලෙස නම් කෙරුණු මෙම එන්නත ලබාදී ඇත්තේ ස්වේඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ටයි.

එහිදී ඔවුන් කිසිදු බරපතල අතුරු විපාක පෙන්නුම් කර නොමැති අතර, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා ඇති බවයි බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ඊයේ (20) ප්‍රකාශයට පත් කෙරුණේ.

මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය පිළිබදව සටහනක් තබා ගනිමින් දිගුකාලීනව ඉන් රැකවරණ සලසන බව ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාඥයන්ගේ මතයයි.

කෙසේ නමුත් මෙම එන්නත මගින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි සාධනීය ආරක්ෂාවක් ලබාදෙන්නේ ද යන්න සහ එය කොතෙක් කල් පවතින්නේ ද යන්න පිළිබදව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බව ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥ ඇන්ඩෲ පොලාඩ් සඳහන් කළා.

ඔක්ස්ෆර්ඩ් සරසවි කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 100 ක් බ්‍රිතාන්‍ය විසින් දැනටමත් ඇනවුම් කර ඇති අතර, එන්නත නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රසීල සහ ඉන්දීය සමාගම් එකඟතා ගිවිසුම්වලට එළඹී ඇති බව සඳහන්.

එහි ඉන්දීය පාර්ශවකරු සඳහන් කර ඇත්තේ ඉන්දීය රජයෙන් බලපත්‍රය ලබා ගත් වහාම එහි එන්නත් පරීක්ෂාවන් ආරම්භ කිරීමට සූදානම් බවයි.

එමෙන්ම, එන්නත කඩිනමින් ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට ද ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100 ක් පමණ සංවර්ධනය කරමින් පවතින අතර, ඉන් පෙරමුණ ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් 19 එන්නතයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 1,48,00,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 6,12,500 කට අධිකයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 මරණ අනුපාතය අවම කරන නව ප්‍රතිකර්මයක්

(21.07.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මරණ අනුපාතය අඩු කරන ඒරසොල් හෙවත් කුඩා අංශු විසුරුම් ඖෂධයක් පිළිබදව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

අහඹු ලෙස තෝරා ගත් කොවිඩ් 19 ආසාදිතයන් 100 දෙනෙකුට මෙම ඖෂධය ලබාදීමෙන් ඉන් 79 දෙනෙකුටම බරපතල තත්ත්වයක් ඇති වීම වැළකුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, කොවිඩ් 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ අය අතුරින් මෙම ඖෂධය ලබාදුන් රෝගීන් ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව සඳහන්.

එය අනෙකුත් ඖෂධ ලබාදී සුවය ලැබූවන් මෙන් දෙගුණයක්.

එස්.එන්.ජී. 001 ලෙස නම් කර ඇති මෙම ඖෂධය නාසය හරහා ඍජුවම පෙනහළුවලට ලබාදීමෙන් කොවිඩ් 19 වෛරසය නිසා පෙනහළු දුර්වල වූ රෝගීන් පවා ප්‍රකෘතිමත් වූ බවයි සිනර්ජන් නැමති ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක රිචඩ් මාස්ඩෙන් ප්‍රකාශ කළේ ෴

***************************************

කොරෝනාවලින් බේරෙන හැටි දේශීය වෛද්‍යවරුන් කියයි

(20.07.2020 – 19:33 +0530 – sinhala.adaderana.lk)

මේ දක්වා අද (20) දිනය තුළ දී කොවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරටින් මේ දක්වා හමු වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2,730 කි.

ඉන් 2,041 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 676 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ අතර, කොවිඩ් වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා කොවිඩ් ව්‍යාප්ති මුල් අදියරේ භාවිත කළ ආකාරයෙන් දේශීය ඖෂධවලට නැඹුරුවන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය මගින් තමන්ට නිසි බලතල පවරන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අද (20) තවත් වෘත්තීය සමිති කිහිපයක් සහය පළ කළහ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය,අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය හා රජයේ ඛන්තු රේඛන ශිල්පීන්ගේ සංගමයද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දෙන බව පවසති.

***************************************

ජීවිතේ අපි නොහිතන සමහර සිදුවීම් දරාගැනීමට කලාව හොදම බෙහෙතක් (10-11-2019) – ධම්මික බණ්ඩාර මහතා

+++++++++++++++++++++

[ Ape Sinduwa from rupavahini.lk ]

***************************************

සමගි ජන බලවේගයේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(21.07.2020 – 10:42 +0530 – hirunews.lk/sinhala)

තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ අභියාචනයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා එම අභියාචනය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසයි.

සම්පත් අබේකෝන් සහ මොහොමඞ් ලෆාර් යන බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රුපියල් 25,000 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද සමගි ජනබලවේගයේ මහලේකම්වරයාට නියෝග කළා.

සිය පෙත්සම මගින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර තිබුණේ සිය පක්ෂය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේ ගනු ලැබූ තීන්දුවකට අනුව බවයි.

ඒ අනුව තමා ඇතුළු පිරිස පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගණය කර නොමැති බවත්, කෘත්‍යාකාරී මණ්ඩලයේ තීරණයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත්, ඊට එරෙහිව කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ සමගි ජනබලවේගය නැමති පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු අවස්ථාවක අනුමැතියක් ලබානොදුන් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *