සයින්දමරුදු පිපිරීම ගැන විමර්ශන ඇරඹෙයි

(21.07.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දු නිවසක් තුළ සිදුවූ පිපිරීම හා සම්බන්ධ සාක්ෂි විමසීමේ කටයුතු, ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (20) ආරම්භ කළා.

පසුගිය සතිය තුළ එම ප්‍රදේශවල ජනාධිපති කොමිසම නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම සාක්ෂි විමසීම ආරම්භ කිරීම විශේෂත්වයක්.

පසුගිය වසරේ අප්‍රේල් 26 වනදින සයින්දමර්දු නිවසකදී සහරාන් හෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් හෂීම් ඇතුළු පිරිස බෝම්බ පුපුරවා ගත් අවස්ථාව වන විට අම්පාර කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත දීපාල්වි ජේසේකර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

සාක්ෂි දීම ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ, 2019.04.24 දින රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත අක්කරෙයිපත්තුව පොලිසියේ සහය ඇතිව අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ බවයි.

එම නිවස තුළ තිබී ‘පෙන් ඩ්‍රයිව්’ එකක්, දෘඩ තැටි සහ සහරාන්ගේ දේශන සහිත ‘මෙමරි චිප්’ එකක් සොයාගත් අතර සහරාන් හෂීම්ගේ සොහොයුරකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෂෙයිනි යන අයගේ උප්පැන්න සහ විවාහ සහතික ද සොයාගත් බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

පාස්කු ප්‍රහාරකයන් ආරක්ෂිත නිවාස ලෙස භාවිත කළ බවට මේ වනවිට අනාවරණය වී ඇති පානදුර සහ මීගමුව නිවෙස්වල සිට සයින්දමර්දු වෙත රැගෙන ආ භාණ්ඩ ගබඩා කර තිබූ ස්ථාන දෙකක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා 2019.04.26 දින, තොරතුරු ලබාදුන් බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව ප්‍රථමයෙන් අංක 77/A, සමතුරෙයි, සෙන්දල්ගාම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කළ බවත් එහි ගරාජයක තිබී බෝම්බ සෑදීමට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව සාක්ෂිකරු පැවසුවා.

ඒ අතර සයිකල් බෝල, සැකසූ සහ අර්ධ ලෙස සැකසු විදුලි පරිපථ, යූරියා 50kg මිටි පහක් (5), නයිට්‍රික් ඇසිඩ් බූලි 4 ක්, පිපිරීම් සඳහා භාවිත කරන ජෙලග්නයිට් කූරු 181 මෙන්ම සහරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට පෙර දිවුරුම ලබාදුන් අවස්ථාවේදී හැඳ සිටි කළු පැහැති ඇඳුමක් සහ පසුබිමේ එල්ලා තිබූ අරාබි අක්ෂර සහිත කොඩිය සොයාගත් බව සාක්ෂිකරු අනාවරණය කළා.

ඔහු වැඩිදුරත් සදහන් කළේ මෙම ද්‍රව්‍ය සොයාගත් නිවස නියාස් නම් පුද්ගලයකු විසින් කුලියට ලබාගෙන තිබූ එකක් බවටද අනාවරණ වූ බවයි.

අනතුරුව අංක 48, දෙවන හරස් වීදිය, නින්දවූර් 07 යන ප්‍රදේශයේ ද මෙලෙස පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ලබා දුන් තොරතුර මත තමන් ඇතුළු කණ්ඩායම එහි ගිය බව සාක්ෂිකරු සදහන් කළා.

ඔහු එහිදී සඳහන් කළේ, එම නිවසද සමන්තුරේ සෙන්දල්ගාම නිවස කුලියට ගෙන සිටි නියාස් නම් පුද්ගලයා විසින්ම කුලියට ගත් තවත් නිවසක් බවයි.

එම නිවස තිබී බයිසිකල් බෝල 23,880 ක්, ජෙනරේටයක්, ස්වයංඝාතන සඳහා භාවිත කරන ඇදුම් කට්ටලවලට ඇතුළත් කරන බොත්තම් 9 ක්, රම්බෝ පිහි කිහිපයක්, යූරියා 50kg මිටියක් (1), නයිට්‍රික් ඇසිඩ් බූලි කිහිපයක්, විෂ්කම්භය අඩියක පමණ වන බයිසිකල් බෝල ඇතිරූ අච්චුවක් මෙන්ම දේශීය සහ විදේශීය සිම් කාඩ්පත් කිහිපයක් වූ බව සාක්ෂිකරු අනාවරණය කළා.

මෙම නිවස පරීක්ෂා කරන අතරතුර කල්මුණේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වූ බවත් අනතුරුව තමන් ඇතුළු තවත් කණ්ඩායමක් එම ස්ථානයට පිටව ගිය බවත් සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

+++++++++++++++++++++++++++++++++++

සයින්දමරුදු පිපිරීම ගැන විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ට ලැබුණු මාරුව ගැන කොමිසමේ අවධානය

(21.07.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

අම්පාර සයින්දමරුදු පිපිරීම සම්බන්ධයෙන් මුල සිට විමර්ශන කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) හදිසියේ ලබාදුන් ස්ථාන මාරු සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය විමසන ජනපති කොමිසමේ අවධානය යොමුකෙරුණා.

ඉකුත් වසරේ අප්‍රේල් 26 වන දින අම්පාර සයින්දමර්දු හී නිවසක් තුළ සිදුවු පිපිරීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම කොමිසම විසින් ඊයේ (20) ආරම්භ කළ අතර එහිදි පළමුව සාක්ෂි ලබාදුන්නේ පිපිරීම් සිදුවන අවස්ථාවේ අම්පාර පොලිස් කොට්ඨාසය භාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතායි.

***************************************

කොච්චිකඩේ ප්‍රදේශයේදී ගිනි අවිත් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(21.07.2020 – 10:58 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කොච්චිකඩේ – දළුවකොටුව ප්‍රදේශයේදී ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘නීල් අරුණ ප්‍රනාන්දු පුල්ලේ’ හෙවත් ‘දළුකොටුවේ නීල්’ නැමති පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වරයක්, වායු රයිෆලයක් සහ ජීව උණ්ඩ 26 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු යම් අපරාධ ක්‍රියාවකට මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබාගෙන සිටියේ ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

+++++++++++++++++++++

ඇල්පිටිය ගනේගොඩදී ගිනි අවි 2 ක් ජීව උණ්ඩ, අත් බෝම්බයක් සහ හමුදා නිල ඇඳුම් කිහිපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. සංඛ්‍යාව 1,39,591 ක්

(21.07.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින්, අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 2730 ක් ලෙස පවතිනවා.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2041 ක්.

එසේම වෛරසය ආසාදිතව තවදුරටත් 678 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක පුද්ගලයින් 5819 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

දැනට පුද්ගලයින් 24,460 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඊයේ (20) දිනය තුළ මෙරට දී පී.සී.ආර්. පරීක්ෂණ 1130 ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. සංඛ්‍යාව 1,39,591 ක්.

එසේම දෝහා – කටාර් සිට තවත් පුද්ගලයින් 30 දෙනෙකු අද (21) උදෑසන දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2048 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (21) පෙරවරුව වනවිට වෛරසය ආසාදනය වී සුව වූ රෝගීන් 7 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමඟයි.

විදේශ ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාවද මේ වනවිට 830 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 671 ක් ෴

***************************************

ජනපති නුවරඑළියට

(21.07.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රිකිල්ගස්කඩ නගරයේ අද (21) පැවති ජන හමුවකට එක්වුණා.

එහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිවරයා ජනතාව හමුවට පැමිණියා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Hd-QL71li90

***************************************

මහමැතිවරණයට අදාළව පැමිණිලි 224 ක්

(21.07.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයට අදාළව පොලීසිය වෙත මෙතෙක් ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 224 ක්.

අපේක්ෂකයින් තුන්දෙනෙකු (3) සහ පුද්ගලයින් 223 දෙනෙකු මෙන්ම වාහන 64 ක් එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර, මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට අද (21) පස්වරු 4 තෙක් ඡන්ද සලකුණු කිරීමේ අවසන් අවස්ථාව හිමිවනවා.

අදියර කිහිපයක් යටතේ රාජ්‍ය සේවකයින්ට මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූයේ පසුගිය 13 වැනිදායි.

කෙසේ වෙතත්, රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග කල්දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දිනය අද (21) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

***************************************

කුරුණෑගල රාජසභාව විනාශ කිරීම ගැන, පෙර දැනුවත් කිරීමක් නැහැ – පුරාවිද්‍යා අධ්‍යක්ෂ කියයි – නගරාධිපතිගෙන් අලුත් මතයක්

(21.07.2020 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජ සභාව අයත් ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට පෙර දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් දැනුවත් කර නොතිබූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

කෙසේ වුවත් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ (20) සඳහන් කළේ මෙය බුවනෙක හෝටලය ලෙස හඳුන්වමින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා 2019 වසරේදී ලේඛණයක් නිකුත් කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද (21) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ සම්බන්ධයෙන් අගමැතිතුමා පත්කළ කමිටුවේ මූලික වාර්තාව අනිද්දා (23) ලබා දීමට කටයුතු කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

දළඹු විශේෂයක් ව්‍යාප්තවිමෙන් මැදිරිගිරිය – දම්සෝපුර ජනතාව දැඩි දුෂ්කරතාවයක

(21.07.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

දළඹු විශේෂයක් ව්‍යාප්තවිම හේතුවෙන් මේ වනවිට මැදිරිගිරිය – දම්සෝපුර ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

එම ප්‍රදේශවාසින් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් මුහුණ දෙන මෙම දළඹු ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

මැදිරිගිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ දම්සෝපුර ගම්මානය අවට දළඹු විශේෂයක් ව්‍යාප්තවෙමින් පවතින බව එම ප්‍රදේශවාසින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දළඹුවන් නිවෙස් තුළට පැමිණිම හේතුවෙන් තමන් දැඩි ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති බවයි.

දින කිහිපයක සිට ව්‍යාප්ත වන මෙම දළඹු විශේෂය ප්‍රදේශයේ ලොකු කුඩා ශාක සියල්ලම විනාශකර තිබෙනවා.

දම්සෝපුර ජනතාවගේ ප්‍රධාන ජීවන උපාය ගොවිතැන කටයුතු වන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ සිය ගොවිතැනටද දළඹුන්ගේ බලපැම් එල්ල වී ඇති බවයි.

තමන් මුහුණ දෙන මෙම දළඹු ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදි මෙම දළඹු ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

ගානියා බැනිස්ටර්ගේ විමර්ශනවලට බාධාකළ මාධ්‍යවේදිනියක් ගැන හොයන්න අධිකරණයෙන් නියෝගයක්

(21.07.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගත් බව කියන සිද්ධියේ විමර්ශනවලට බාධා කළ මාධ්‍යවේදිනියක් ගැන රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් පැහැර ගෙන ගිය බවට පැවසෙන සිද්ධියේ විමර්ශනවලට, විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීශා බැස්ටියන් බාධා කර තිබේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද (21) කැදවූ අවස්ථාවේදියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ දරීශා බැස්ටියන් මාධ්‍යවේදිනිය ආරම්භයේ පටන් මෙම විමර්ශනවලට බාධාකාරි ලෙස කටයුතු කර ඇති බව අනාවරණ වන බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිලිගනිමිනුයි මහේස්ත්‍රාත්වරිය විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කළේ.

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 8 වනදා කැඳවීමට නියෝග කළ අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ට රහස් පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි අධිකරණයෙන් නොතීසි

(21.07.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 27 වනදා උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් අද (21) කරුණු දැක්වූ අවස්ථාවේදියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම්දී සිදුකර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ ෴

***************************************

සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි අගමැතිගෙන් වනජීවියට උපදෙස්

(21.07.2020 – 17:14 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ආකාරයට සිදුවන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

දුර්ලභ ඝනයේ සතුන් ආරක්ෂා කරගැනීම රජයක වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාට දැනුම්දී ඇත්තේ.

ඊයේ (20) නල්ලතන්නිය – මාපකන්ද ප්‍රදේශයේදී පැන්තරා පාදුස් වර්ගයේ කොටි දෙනක් මන්දකට හසුව මියයාම සම්බන්ධයෙන් සහ පසුගිය සමයේ කළු කොටියෙකුද මන්දකට හසුව මියයාමේ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එසේම නීතිවිරෝධී ආකාරයට සතුන් දඩයම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසත්, යළිත් එවැනි සිදුවීම් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

ඡන්දය ප්‍රකාශ කිරීම සහ මනාප ලකුණු කිරීම කළයුත්තේ මෙහෙමයි

(21.07.2020 – 18:00 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද හිමියන් වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සහ මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිළි කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා තවත් විශේෂ දින දෙකක් (2) ප්‍රකාශයට පත්කරයි

(21.07.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 24 හා 25 වැනිදා විශේෂ දින දෙකක් (2) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙතෙක් තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල මෙම පහසුකම සලසා ඇති බවයි.

මේ අතර මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු හයවනදා (06) පස්වරුව වනවිට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

එම කොමිසන් සභාවේ අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

***************************************

පාස්කු ප්‍රහාරයේ පළමු චූදිතයා ගැන ඇසූ ප්‍රශ්නයට හිටපු අගමැති රනිල් දුන් පිළිතුර

(21.07.2020 – 18:38 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ආණ්ඩුවට මිදිය නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

සේනාවිධායකයා හැටියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ පළමු චූදිතයා බවට පත්විය යුතුදැයි විමසූ අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අමාත්‍යවරයා ලෙස ඔහුද ඊට වගකිව යුතු බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) රාත්‍රියේ හිරු TV ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

එහිදී අදහස් පලකළ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ :

***************************************

Udaya Gammanpila (20-07-2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *