යළි රිමාන්ඩ් කළ නාකොටික් නිලධාරීන් 13 දෙනාගේ දේපළ තක්සේරු වාර්තාවක් කැඳවයි

(21.07.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala)

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ලබන මස 4 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ තිබි ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තා කරන ලෙසද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒවා ව්‍යාජ මුදල් නෝට්ටු ද? යන්න තීරණය කළ හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් බව මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණ වාර්තා කරමින් කියා සිටියේ සැකකරුවන් 2017 වසරේ සිට බෝට්ටු කරුවන් යොදා ගනිමින් ජාත්‍යන්තර මුහුදට ගොස් ජාවාරම්කරුවන් ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන රැගෙන විත් ජාවාරම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඔවුන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පමණක් නොව මෑතකදී නාවික හමුදාව මගින් ඉරාන ජාතිකයින් සමග අත් අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 279 න් කොටසක්ද වෙනත් ද්‍රව්‍ය සමඟ ‍මිශ්‍ර කර ජාවාරම් කර ඇති බවට අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කළා.

2013 වසරේ සිට විටින් විට මොවුන් විසින් මෙම ජාවාරම් කර ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බව ප්‍රකාශ කළ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සිද්ධිය කෙරෙහි නිසි අධීක්ෂණයක් නොකිරීම පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව සිටි ජේෂ්ඨ නිලධාරීන් වගකිව යුතු බවද කියා සිටියා.

සිද්ධිය පිළිබඳව මාධ්‍ය මගින් සක්‍රිය ප්‍රචාරණයක් ලබා දී නොතිබුණානම් විමර්ශනය වෙනත් මාර්ගයක ගමන් කර යටපත් වීමට ඉඩකඩ තිබුණු බවද ඔහු එහිදී අවධාරණය කළා.

සැකකරුවන් භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද දේපලවල වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයින් ට එරෙහිව විෂ ද්‍රව්‍ය, අබිං හෝ අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඇප ලබා ගැනීම වැළැක්වීම සඳහා පොලිසිය අදාළ පනත යටතේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතැයි ඔවුන් සඳහන් කළා.

අදාළ සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කර නොතිබූ අතර, ඔවුන් මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

***************************************

හිටපු සංස්කෘතික ඇමතිගෙන් පුරා විද්‍යා ප්‍රධානියාට බලපෑම්

(21.07.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

තමන්ට පසුගිය රජය සමයේ සංස්කෘතික අමාත්‍යවරයාගෙන් විවිධ බලපෑම් එල්ල වූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජසභාවට අයත්ව තිබූ බව කියන ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් අද (21) මාධ්‍ය හමුවක් කැඳවමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය නොවූ බවයි.

+++++++++++++++++++++++++++++++++++

නගරාධිපතිවරයා වරදක් කර ඇත්නම් ඔහුට ඉහළම දඬුවම ලබාදිය යුතුයි – උදය ගම්මන්පිළ

(21.07.2020 – 21:30 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා.

තමන් දිස්ත්‍රික් නායකයා ලෙස සිටින තුරු කුරුණෑගල නගරාධිපතිවරයාට අත තියන්න කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

මේ අතර අද (21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළේ ජොන්ස්ටන් ඇමතිවරයා බුවනෙක යන නම නොහඳුනන බවයි.

රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වීම හෙළාදකින බව ප්‍රකාශ කළේ කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් අදහස් පලකල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින්.

කුරුණෑගල සිද්ධිය වෙනුවෙන් හඬනගන බොහෝ පිරිසක් පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ බොහෝ සිද්ධිවලදී නිහඬව සිටි බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින්.

නගරාධිපතිවරයා වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා ඔහුට ඉහළම දඬුවම ලබාදිය යුතු බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

21-07-2020

+++++++++++++++++++++

20-07-2020

***************************************

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ජම්ඉයියතුල් උලමාවට අභියෝග 3 ක්

(21.07.2020 – 16:32 +0530 – lankaleadnews.com)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් බුර්කාව තහනම් කිරීමට සහය වනවාද නැද්ද යන්න මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතුව ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

ඒ අපේ ජන බල පක්ෂයේ සඟ සමුළුවකට ඊයේ (20) සහභාගී වෙමින්.

“ජම්ඉයියතුල් උලමාව බුර්කාව අයින් කරනවද නැද්ද? සහරන්ලා හදන බෝම්බකරුවො හදන බෞද්ධයන් මරන්න උගන්වන මද්‍රසා පාසල් වහලා පොදු ඉස්කෝලෙ ඉගෙන ගන්නවද නැද්ද ? ඒ වගේම මේගොල්ලො පාසල් පොත් වලට දාපු වගන්ති ඉවත් කරනවද නැද්ද?

ජම්ඉයියතුල් උලමාව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නැත්තන් අපි සහරාන්ලා වගේ බෝම්බ බැඳන් යන්නෙ නෑ. ඒ වගේ අන්තවාදයකට අපේ ධර්‍මයේ ඉඩ නෑ. අපි අවිහිංසාවාදීව සියලුම මුස්ලිම් කඩ වර්ජනය කිරීමට තීරණයක් ගන්නවා.

මේක ජාතියේ අනාගතය ගැන තීරණයක්. තවත් වසර 2500 කට මේ සංස්කෘතිය රැක ගන්න ඕනෙ. ඒක ආධ්‍යාත්මික-අවිහිංසාවාදී අරගලයක්. මේක සාමන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහි අරගලයක් නෙවෙයි. ජම්ඉයියතුල් උලමාවෙ අන්තවාදයට එරෙහි අරගලයක්” යැයි උන්වහන්සේ පවසයි.

***************************************

සාක්‍ෂි ඇතිව රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න යද්දී මැකො වලක්වයි…

(22.07.2020 – 06:24 +0530 – lankacnews.com)

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා :

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද? කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්‍රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්‍රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්‍රියාත්මක ආයතනවලට ලිපි යවනවා, ‘මැතිවරණය අවසන් වන තෙක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද, කියා නියෝග දීමට ද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ?

මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට දැන් එළියට ඇවිත් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඒ ගැන හෙළිදරව් කරන්නේ නැහැ. ‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ කලිසම ගැලවෙයි’ කියලා ඔවුන් බියයි. මොකද එක්තරා මාධ්‍ය ආයතයනයක් ඔහුට මීට ඉහත දී ‘හොඳම රාජ්‍ය සේවකයා’ ලෙස සම්මානයක් ද ලබා දී තිබෙනවා. ඒ හඬපටවල තියෙනවා, ‘සජිත් ප්‍රේමදාසගේ පක්ෂය නිත්‍යනුකූලව වලංගු නැහැ’ කියා ඔහු පවසන අයුරු. ඒත් එයා නිත්‍යනුකූලව වලංගු නැති පක්ෂයකට අද ඡන්දය ඉල්ලන්න දීලා තිබෙනවා. ඒක එතකොට නිත්‍යනුකූලද?

තුසිත හල්ලොලුව කියන කතාව

තවත් ඊට අදාළ හඬපටයක මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වූ තුසිත හල්ලොලුව ඉහත හඬපට එළියට දමපු කෙනාට කියනවා, ‘මහින්ද දේශප්‍රිය අපට කොතරම් උදව් කළාද? එයාගේ උදව් නැත්නම් අපට අණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා. ඇයි එයාට මේ විදියට ගහන්නේ?’ කියලා. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ගෙන් සමන්විත කොමිෂන් සභා ස්වාධීනද? අද ‘රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියා කියන සභාපති ඊළඟට කියාවි ‘රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි එළියට දාන්න. එයාට අයියා වෙනුවෙන් ඡන්දෙට වැඩ කරන්න තියෙනවා’ කියා. මේ විදියට පක්ෂග්‍රාහී කොමිෂන් සභා හදාගෙන, ස්වාධීන වෙස්මුහුණු දමාගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වමින් තිබෙන්නේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බහුතර ජනතාව විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයිග”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් මහතාගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ නීතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙළේ ප්‍රහාරයක් බව ජනතාව පවසති. අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල ක්‍රියාවලියට බලපෑම් කළ හැක්කේ අධිකරණයට පමණි. එම ක්‍රියාවලිය අත්හිටුවීමට ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට කිසිදු බලයක් ලබා දී නොමැති බව නීතිඥයෝ පවසති.

21-07-2020

***************************************

දළදා මාලිගාවට – ජනපති මන්දිරයට ඩ්‍රෝන යැවූ යුක්රේනුවා අල්ලයි

(22.07.2020 – mawbima.lk)

මහනුවර නගරයේ අධි ආරක්ෂක කලාප හා සුවිශේෂී ස්ථාන අධි තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ආධාරයෙන් රූපගත කළ බව කියන තිස් හතර හැවිරිදි යුක්රේන ජාතිකයකු මහනුවර පොලිස් මූලස්ථානයේ සංචාරක පොලිස් ඒකකය මඟින් ඊයේ (21 දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

යුක්රේන ජාතික සැකකරු ශ්‍රී දළදා මාලිගාව වෙත බූවැලිකඩ ප්‍රදේශයේ උස බිමක පිහිටි නවාතැනක සිට මේ ඩ්‍රෝන කැමරාව පසුගිය දින කිහිපයේදී හා පෙරේදා (20 දා) රාත්‍රියේ ගුවන් ගතකර ශ්‍රී දළදා මාලිගාව, ජනාධිපති මන්දිරය හා තවත් වැදගත් ස්ථාන රැසක් රූගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන තිබේ.

අධි ආරක්ෂක කලාපයේ පිහිටි මහනුවර ජනපති මන්දිරය හා දළදා මාලිගාව ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි යුක්රේන ජාතිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් සංචාරක ඒකකයට භාරදී තිබේ.

දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කළ ඩ්‍රෝන කැමරාව හිටි හැටියේ තම පාලනයෙන් ගිලිහුණු බවත් එය සෙවීම සඳහා ජනපති මන්දිරය අසලට පැමිණි බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසිය ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයට ගොස් පරික්ෂා කළ අවස්ථාවේ එහි තිබී අධි බලැති ඩ්‍රෝන කැමරාව හමුවී තිබේ. ගුවන්ගත කළ ඩ්‍රෝන කැමරාව හදිසියේ පාලනයෙන් මිදුණහොත් එය ගුවන් ගත කළ ස්ථානයටම ස්වයංක්‍රියව යළි පැමිණෙන ආකාරයේ මෘදුකාංගයක් භාගතකර තිබෙන බවත් ඒ අනුව එය නවාතැන වෙත පැමිණ තිබෙන බවත් සැකකරු පොලිසියට පවසා ඇත.

මොහු මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ජනපති මන්දිරය ඇතුළු වැදගත් ස්ථාන රැසක් එම කැමරාවෙන් රූප ගතකර තිබෙන බව පොලිසිය පවසයි. ඊට අදාළ දර්ශන ගබඩා කර තිබූ ලැප්ටොප් පරිගණකයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. ඔහු එම ස්ථාන රූගත කර තිබෙන්නේ කුමක් සඳහාදැයි ප්‍රකාශ කොට නැත.

මෙම සැකකරු සතුව විදේශ ගමන් බලපත්‍රය හෝ මෙරට රැඳී සිටීමට අවශ්‍ය වීසා බලපත්‍ර හෝ තිබී නොමැත. ඒවා මාතර, වැලිගම ප්‍රදේශයේ තම හිතවතකුට ලබාදුන් බව මොහු පොලිසියට පවසා ඇත. මොහු පසුගිය වසරේ අග භාගයේදී මෙරටට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඩ්‍රෝන කැමරාව රාත්‍රී දර්ශන පවා ඉතා පැහැදිලිව ලබාගත හැකි අධි බලැති එකක් බව පොලිසිය පවසයි.

කුමන කරුණක් උදෙසා දළදා පෙරහර සමයේ මෙම රූගත කිරීම් සිදුකළේද යන්න පිළිබඳව සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සහාය ලබා ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති එල්.කේ. රණවීර, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ, සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දගොඩ, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන්වරුන් වන නවරත්න (6097), ඉන්ද්‍රජිත් (47018), සමරසිංහ (27127), තලගුණේ (46978) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත ෴

***************************************

නාකොටික් කුඩු ජාවාරමුන්ට STF සෙට් එකක් ගාඩ්එක දීලා

(22.07.2020 – mawbima.lk)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන්ට, මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවි ආයුධ සහිතව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඔවුන් පිළිබඳව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (21 දා) කරුණු අනාවරණය කළේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ (21) දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සෞඛ්‍ය ආරක්ෂක හේතුන් මත මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින බැවින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අධිනීතිඥ තිවංක ආටිගල, අධිනීතිඥ කසුන් සරත්චන්ද්‍ර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර, පොලිස් පරීක්ෂක රණසිංහ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : මේ වනවිට අධිකරණ නියෝග මත රැඳවුම් භාරයේ සිටින මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් නමැති නිලධාරියා සන්තකයේ තිබී ගිනි අවියක් හා උණ්ඩ සොයා ගනු ලැබුවා. එය අද අධිකරණය වෙත ඉදිරිපත් කරනවා රස පරීක්ෂක වාර්තා සඳහා යොමු කිරීමට. පසුගිය නඩු දින අපි අධිකරණයට කරුණු වාර්තා කළා ප්‍රධාන වැටලීම් දෙකකට අදාළ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු නොකර මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ ගබඩාවේ තබා ගෙන සිටිය බවට. එය විත්තිය විසිනුත් පිළිගැනීමට සූදානම් වුණේ නෑ.

පසුගිය අප්‍රේල් මස 15 වැනි දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබු ඉරාන ජාතිකයන් සමඟ එම නැවේ හෙරොයින් කිලෝ 279 ග්‍රෑම් 591 ක ප්‍රමාණයක් ගෝනි පහළොවක අඩංගු කර තිබුණා. පසුව මැයි 15 වැනි දින ඇල්ලූ සහල් උරවල හෙරොයින් කිලෝ 225 ග්‍රෑම් 569 ක ප්‍රමාණයක් ගෝනි අටක අසුරා තිබුණා. ඒ අනුව කිලෝ පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළා.

සහල් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 243 ප්‍රමාණයකින් 43 ප්‍රමාණයක් අතුරුදන් වී තියෙනවා. මොවුන්ට විලා කියලා ඉතා සුඛෝපභෝගී නිවෙසක් තියෙනවා. එම සුඛෝපභෝගී නිවෙසේ රැඳී සිට තමයි මොවුන් 2017 – 2018 වසරවල සිට මෙම වැටලීම් කරන්නේ.

පාකිස්තානයේ සිට බෙදාහරින මත්ද්‍රව්‍ය මෙහිදී බෝට්ටුකරුවන් යොදවාගෙන හතර වතාවක් (4) මුහුදට ගොස් තියෙනවා මෙම මත්ද්‍රව්‍ය කිලෝ 243 ගෙන ඒමට. දැනට රැඳවුම් භාරයේ සිටින නිලධාරීනුත් එම මෙහෙයුමට අන්තර්ජාතික මුහුදු සීමාවට ගොස් තිබෙනවා. එහිදී ගිනි අවි පහක් (5) අත්අඩංගුවට ගෙන තිබෙන අතර එයින් එකක් (1) මේ වන විට සමන් කියන නිලධාරියා සන්තකයේ තිබී සොයාගෙන තියෙනවා.

මේ වන විට අධිකරණයේ වරදකරුවකු වී මරණ දඬුවම නියම වී සිටින කැමිලස් පිල්ලේ කියන සිරකරුවා තමයි ඔහුගේ ගෝලයන්ගේ මාර්ගයෙන් මෙය මෙහෙයවා තියෙන්නේ. එම ගෝලයන් හා මෙම නිලධාරීන් සම්බන්ධ වී තිබෙනවා. මෑතකදී කැමිලස් පිල්ලේගේ ගෝලයෙක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබුණා. මෙයට පසුබිම් වූ කරුණු යටපත් කර තිබුණා.

එසේම මෙම කිලෝ 243 ක හෙරොයින් ගෙන ආ නැව ලංකාවට පමණක් හෙරොයින් බෙදා හරිනවා පමණක් නොවෙයි. ලංකාව ඇතුළු මුළු කලාපයටම මත්ද්‍රව්‍ය බෙදා හරිනවා. මෙලෙස රටවල් ගණනාවක් ඇතුළු මුළු කලාපයකටම මත්ද්‍රව්‍ය මෙලෙස බෙදාහරින විට ඇයි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ නැත්තේ? මොවුන් අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට තුළට ඇතුළු වීමට උදවු කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බෝට්ටුවක කපිතාන් කෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අවස්ථා දෙකක (2) දී ඔහුට රුපියල් කෝටියක මුදලක් ලබාදී තියෙනවා. උපාය දූතයාට තවත් කෝටියක මුදලක් ලබාදී තිබෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

බෝට්ටු මඟින් මුහුදු ගියේ මාළු ගෙනාවා කියා පෙන්වන්න. රුපියල් ලක්ෂ පහළොවක් (15) ගෙවා තිබෙන බවත් ඉන්ධනවලට තවත් ලක්ෂ පහක (5) මුදලක් ලබාදී ඇති බවත් එම ප්‍රකාශවල සඳහන් වෙනවා. මෙම නිලධාරීන් සැටලයිට් දුරකථන භාවිත කර තිබුණා. ඒවා පාවිච්චි කිරීමට විශාල මුදලක් වියදම් වෙනවා. එයට මුදල් ලැබෙන්නේ කෙසේද? බිල් ගෙවන්නේ කොහොමද? විමර්ශනවලදී අනාවරණය වන පරිදි එහි බිල් වශයෙන් දිනකට ලොකු මුදලක් ඩුබායි සිට ගෙවා තිබෙනවා.

නිලධාරීන්ට සැටලයිට් දුරකථන භාවිත කරන්න පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබෙන්නේ නෑ. කොහොමද රාජකාරි කිරීමට මෙම නිලධාරීන් සැටලයිට් දුරකථන භාවිත කරන්නේ?

මේ වැටලීම්වලට තොරතුරු ලබාදුන්න පුද්ගලයාට රුපියල් ලක්ෂ සියයක (100) මුදලක්ද බෝට්ටුකරුටද ලක්ෂ සියයක (100) මුදලක් ලබාදී තිබෙනවා. එසේම හාල් උරවලට රුපියල් ලක්ෂ පහක (5) මුදලක් යොදවා තිබෙනවා.

මෙලෙස කොහොමද මේවාට විශාල මුදලක් ලබා දෙන්නේ. දෙපාර්තමේන්තුවේ එපමණ පහසුකම් නෑ. මොවුන් වැටලීම්වලට භාවිත කරන්නේ මොවුන්ගේම පෞද්ගලික වාහන. දැනට වාහන 15 ක් පමණ සොයාගෙන තියෙනවා. ලක්ෂ තුන්සිය විස්සක (320) මුදලක් සොයාගෙන තියෙනවා. රජයේ නිලධාරීන්ට මෙලෙස වියදම් කිරීමට ක්‍රියාපටිපාටි රැසක් අනුගමනය කර ගත යුතුයි. එසේ කළ පසුවයි අවශ්‍ය මුදල් අනුමත වන්නේ.

මෙතරම් වැටලීම් කිරීමට මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නේ කෙසේද? මොවුන් ඉන්නේ ‘විලා’ එකේ. ඔවුන් එහි සිටයි වැටලීම් කරන්නේ. මෙම වැටලීම් කරන බෝට්ටුවට මාළු කිලෝ 1500 ක් පැටවිය හැකියි. නමුත් මොවුන් අන්තර්ජාතික මුහුදට යනවා හතර (4) වතාවක් කිලෝ දෙසීයක (200) හෙරොයින් ගේන්න. අපට පේන විධියට මේ කිලෝ දෙසීය (200) නිකම් ඇස් බැන්දුමක් විතරයි. හතර (4) වතාවක් යන්න ඕන නෑනේ කිලෝ දෙසීයක් (200) ගේන්න. මහ පරිමාණ ජාවාරම්කරුවන් නෙවෙයි අල්ලන්නේ පොඩි පොඩි ගෝලයන් විතරයි.

කොට්ටාව ප්‍රදේශයේ පාතාල සාමාජික ‘ලොකු’ ළඟ තිබී රුපියල් ලක්ෂ දෙකක (2) හෙරොයින් හොයාගෙන තිබුණා. මේ වන විට ඔහු සැඟවිලා සිටිනවා.

මෙම නඩුවේ පළමුවැනි සැකකරු වන ලයනල් කියන නිලධාරියා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දෙන මත්ද්‍රව්‍යවලින් පැකට් 11 ක් හදා තිබෙනවා.

ස්වාමිනී රස පරීක්ෂකවරයාගේ බැලූ බැල්මට නඩු භාණ්ඩ ලෙස යොමු කළ ඒවායේ මුද්‍රාවල වෙනසක් ඇති බවට අනාවරණය වීමක් වෙනවා. ඒ පිළිබඳව තවම සියයට සියයක් කරුණු තහවුරු කර නොහැකියි. ඉදිරියේදී වාර්තා ලද විට ඒ පිළිබඳව දැනුම් දෙනවා.

මෙම අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය පාර්සල් කඩා ඒවා පැකට් කළාම ඒක භාර දීමට කියා වෙනම ගැනුම්කරුවන් ඉන්නවා. පොඩිම නිලධාරියාට රුපියල් ලක්ෂ හතක (7) මුදලක් ලැබෙනවා. ඉහළ නිලධාරීන්ට එයට වඩා වැඩි මුදලක් ලැබෙනවා.

අන්තර්ජාතික විකුණුම්කරුවන් විසින් එවන ලද හෙරොයින් 90% ශුද්ධ බර හෙරොයින් අඩංගු වෙනවා. ඒවා ලබා ගෙන මෙහෙදී තමයි පැකට් කරලා කවලම් කරන්නේ. හෙරොයින් ග්‍රෑම් එකක මිල රුපියල් ‍දොළොස් දහස් අටසියයක් (12,800)පමණ වෙනවා. මේ කිලෝ පන්සීයක් (500) වගේ හැදුවොත් කොච්චර ආදායමක් එයිද කියලා හිතාගන්න බෑ.

මේ වගේ එක සාර්ථක වැටලීමකින් පසුව වීරසිංහ කියන නිලධාරියා විසින් බෝට්ටුකරුවන් සමඟ කතරගම වන්දනාවේ ගොස් තියෙනවා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ පවා දමා තිබෙනවා. මෙලෙස වැටලීම් කරන නිලධාරීන් තම අනන්‍යතාව පෙන්වීම සුදුසු නෑ නේද?

මෙම නිලධාරීන් කණ්ඩායම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම සෑදූ කණ්ඩායමක්. මෙම සැකකරුවන්ගේ සන්තකයේ තිබී උපයාගෙන ඇති වත්කම් මිලියන 105, භෞතික මුදල් මිලියන 33, බැංකු ගිණුම් 43 ක මිලියන හයක (6) මුදලක්, රන් පවුම් 20 ක්, වාහන 14 ක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වුණා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියන්නේ විශිෂ්ට නිලධාරීන් එහි ඉන්න ආයතනයක්. තම ජීවිතය පරදුවට තබා සේවය කරන නිලධාරීන් සිටිනවා එහි. නමුත් මේකෙත් ඉන්නවා චෞර අය. ඔවුන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනු දැනුම යටතේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඇස වසා මෙය කර තිබෙනවා.

කරන ලද විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අවි ආයුධ සහිතව මෙම කටයුතුවලට ආරක්ෂාව ලබා දී තියෙනවා. ඔවුන් පිළිබඳව ඉදිරියේදී අධිකරණ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

ඉරාන ජාතිකයන් ළඟ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් පාර්සල් කඩා ඒවා පැකට් කර ‘කොට්ටාවේ ලොකූ’ට ලබා දීමට ලයනල් නමැති නිලධාරියා කටයුතු කර තියෙනවා. එයින් ලැබුණු මුදල් මොවුන් අතර බෙදාගෙන තියෙනවා. පොලිස් කොස්තාපල්වරයකු විසින් තමයි මෙම මුදල් ගනුදෙනු කර තියෙන්නේ. ඔහු මෙහිදී ගණකාධිකාරිවරයකුගේ භූමිකාව කර තියෙනවා.

මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිණුමේ තිබී ලක්ෂ හාරසිය අනූවක් (490) සොයා ගැනීමට හැකි වුණා. මොවුන් මුදල් එක තැනක තියාගන්නේ නෑ. මාරු කරනවා. ගොඩක් වෙලාවට අතින් තමයි මුදල් ගනුදෙනු කරන්නේ.

මේ ගෙනාපු මත්ද්‍රව්‍ය ප්‍රමාණය හා තවත් ප්‍රමාණයක් ඔවුන්ගේ සන්තකයේ ඇති. රත්නායක හා වීරසේකර යන සැකකරුවන් ළඟ තිබිලා මුදල් සොයාගෙන තිබුණා. තවත් අයකුගේ වත්තේ මුදල් වළ දමා තිබුණා.

මොවුන් මෙම ක්‍රියාව 2013 සිට අරඹා කර ඇති බව අනාවරණය වනවා. මෙය ලොකු ව්‍යාපාරයක් ලෙසට කිරීමට පටන් ගෙන තියෙන්නේ 2017 වසරේ සිටයි. අවුරුදු තුනක (3) කාලයක සිට මෙය මොවුන් මහා පරිමාණව කර තියෙනවා.

මෙම සියලු පුද්ගලයන් එක්ව කුමන්ත්‍රණය කර තියෙනවා ආධාර අනුබලදී තියෙනවා මෙම වැරැදි සම්බන්ධව. මෙම සැකකරුවන් මිලදී ගත් ඉඩම්වල එකම නීතිඥවරයකු තමයි අත්සන් තබා තියෙන්නේ. ඉඩම් 14 හොයාගෙන තියෙනවා. එක් අයකුගේ වාහන අටක් (8) තියෙනවා. බම්බලපිටියේ පදිංචි වෙලා හිටිය වීරසේකර කියන නිලධාරියා කෝච්චියේ තමයි මුලින් වැඩට ඇවිත් තියෙන්නේ. දැන් ඔහුට කාර් දෙකක් (2) තියෙනවා. මොහු තවම පොලිස් කොස්තාපල්වරයෙක්. මේ පිළිබඳව ඉහළ නිලධාරීන් පවා සොයා බලා නෑ. මෙම දැවැන්ත ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තියෙනවා.

මෙය පොලිස් ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් එක් කරන නඩුවක්. හරි නම් මේ අවස්ථාවේදී පොලිස්පතිවරයා හෝ ඉහළ නිලධාරියකු අධිකරණයට පැමිණ සිටිය යුතුයි.

මහෙස්ත්‍රාත්වරිය, මාද එය පිළිගන්නවා. ඉහළ නිලධාරීන් මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

අද (21) දින අධිකරණයට ඉදිරිපත් කළ උණ්ඩ හා ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කරමි.

විතිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ, නීතිඥ ශිරන්ත ජයවර්ධන, නීතිඥ දිළුම් බණ්ඩාර, නීතිඥ අතුල මල්වත්තේ, නීතිඥ නිර්මල ඩයස්, නීතිඥ මධුර, නීතිඥ වසන්ත පිටිගල, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි, නීතිඥ ධම්මික රත්නායක, නීතිඥ නුවන් රත්නායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා : මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ මේ වන විට රැඳවුම් භාරයේ සිටින වීරසිංහ කියන නිලධාරියාගේ ප්‍රකාශ අනුව. රැඳවුම් නියෝග මත සිටින සැකකරුවකුගේ ප්‍රකාශවල වටිනාකමක් තියෙනවද?

නීතිඥ නුවන් රත්නායක මහතා : මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශාල හොර නෝට්ටු ප්‍රමාණයක් මුද්‍රණය කර තබා තිබෙනවා ගෝණිවල. ඒ බව මා හට මගේ සේවාදායකයා විසින් උපදෙස් ලබාදී තියෙනවා. වැටලීම්වලට මුදල් දෙන විට හොඳ නෝට්ටු සමඟ හොර නෝට්ටු කලවම් කර දීමට තමයි එලෙස හොර නෝට්ටු ගෝණි තබා ගෙන තියෙන්නේ කියා මට උපදෙස් ලැබුණා. මේ බව මගේ සේවාදායකයා පොලිසිය වෙත ප්‍රකාශ දීමට උත්සාහ කළත් එය සටහන් කරගෙන නෑ. මේ ගැන ඉහළ නිලධාරීන් පවා දන්නවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව : පොලිස් දෙපාර්තමේන්තුව තුළ තියෙන්නේ නීත්‍යනුකූල මුදල් පමණයි.

විත්තියේ නීතිඥවරයා : පහළ නිලධාරීන් පිළිබඳව පමණයි විමර්ශනය කරන්නේ.

මහෙස්ත්‍රාවරිය : කොහොමද මෙහෙම හොර සල්ලි ආවේ කියා විමර්ශනය කළ යුතුයි. මීට පෙර අධිකරණයට දැනුම් දුන්නනේ සැකකරුවන් දෙදෙනකු ළඟ තිබී ව්‍යාජ නෝට්ටු සොයාගත්තා කියා. ඒ පිළිබඳව විමර්ශනය කළ යුතුයි. ඒවා රජයේ රස පරීක්ෂක වෙත යැවිය යුතුයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව : අපි පොලිස් නිල සුනඛයන් හා විශේෂ කාර්ය බළකාය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සෝදිසි කරනු ලැබුවා. එහිදී එහෙම හොර නෝට්ටු ගෝණි හමු වුණේ නෑ.

මේ අනුව සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන අගෝස්තු මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර එදිනට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිල්මිණි මාවත, බටුවත්ත, රාගම පදිංචි පොලිස් පරීක්ෂක විමලසේනගේ ලයනල්, නාගොඩ කළුතර පදිංචි උප පොලිස් පරීක්ෂක සික්කුවා වසම් ගයාන් තරංග ප්‍රේමරත්න, මාලබේ පදිංචි පොලිස් සැරයන් මුතුබන්දාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, කෑගල්ල පදිංචි පොලිස් සැරයන් ජයසිංහගේ සමන් කුමාර, පාදුක්ක පදිංචි පොලිස් සැරයන් වතුකාරගේ විමල ප්‍රසාද්, දිවුලපිටිය පදිංචි පොලිස් කොස්තාපල් විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියංකර ජයසේන, පන්නිපිටිය පදිංචි පොලිස් කොස්තාපල් බටුවත්තගේ රුවන් පුෂ්ප කුමාර, බින්ගිරිය පදිංචි පොලිස් කොස්තාපල් රතුගමගේ අසංක ඉන්ද්‍රජිත්, තිරප්පනේ පදිංචි පොලිස් කොස්තාපල් චිත්‍රා ආචාරිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි, ගැටලාව පදිංචි පොලිස් කොස්තාපල් හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයවර්ධන, ගන්තුන පදිංචි උප පොලිස් පරීක්ෂක දහනක රාලලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් කොස්තාපල් සුභසිංහ ආරච්චිලාගේ දිනේෂ් නිර්මල යන සැකකරුවන් මෙලෙස අධිකරණය මඟින් බන්ධනාගාරගත කෙරිණි ෴

***************************************

කුවේටයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුවේට් එම්බසියට

(22.07.2020 – colombotoday.com)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිඩාවට ලක්වී ඇති කුවේටයේ සිංහලයන් සඳහා සහන කාලයක් ලබා දෙන මෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා සිටියා.

ඊයේ (22) උදෑසන කුවේට් තානාපති කාර්යාලයට පැමිණි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තානාපති නිලධාරීන් හමුවී මෙම ඉල්ලීම සිදු කල අතර වලංගු වීසා බලපත්‍ර නොමැතිව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අවම වශයෙන් දින 5 ක වත් සහන කාලයක් ලබාදෙන ලෙසයි උන්වහන්සේ මෙහිදී ඉල්ලා සිටියේ.

***************************************

නුවරඑළියේ පාසල්වල ගැටළු විසදන්න ජනපතිගෙන් උපදෙස්

(22.07.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය ඇතුලු අඩුපාඩු විමර්ශනය කර විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ගුරු හිඟය පියවීමට නුවරඑළියෙන් සහ ආසන්න දිස්ත්‍රික්කවලින් ගුරුවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා තලවකැලේ නගරයේ ඊයේ (21) පැවති ජන හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීමේදී පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ ගැටළු වහා විසඳීමට සැළසුම් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කළා.

මේ අතර, කොටගල නගරයේ පැවති ජන හමුවේදී ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, නෝවුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවටද ජනාධිපතිවරයා එක්වුණා.

එහිදී නෝවුඩ් නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

පොලිස් විශේෂ කාර්ය බලකාය ඇල්පිටියේදී ඇල්ලූ පාතාල සාමාජිකයා අද (22) අධිකරණයට

(22.07.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – ගනේගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ගිනි අවි, ජීව උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 6 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 23 ක්, ටී 56 මැගසීනයක්, කඩු තුනක්, යුද හමුදා නිල ඇඳුමක් සහ යුද හමුදා නිල ඇඳුම් කමිස 3 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

28 හැවිරිදි ගනේගොඩ ප්‍රදේශයේම පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇල්පිටිය පොලීසියට භාරදී ඇති අතර, ඔහු අද (22) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වලස්මුල්ල – බෝවල ප්‍රදේශයේ භූගත බංකරයක සඟවා තිබූ හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ගිනි අවි, ජීව උණ්ඩ සහ තියුණු ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

***************************************

ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් වංචා කළ බවට, පොලීසියේ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(22.07.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – මහවැව පොලිස් මාර්ග බාධකයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් අනූ දෙදහසක (92,000) මුදලක් බලෙන් ලබාගැනීමට උත්සහ කළ මාරවිල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මාරවිල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහවැව පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් ගත් යතුරුපැදිකරුවෙකු එම මාර්ගබාධකයේ ගැටීම හේතුවෙන් එහි තිබූ විදුලි පහනකට හානි සිදුව තිබුණේ පසුගිය 20 වනදායි.

පසුව එම විදුලිපහන අදාළ පුද්ගලයා විසින් ගෙනවිත් සවිකර ඇති අතර, එහිදී උප පොලිස් පරීක්ෂකවරයා, යතුරුපැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

පසුව තමන් සතුව මුදල් නොමැති බව පවසා ඇති ඔහු තමන් සතුව තිබූ රුපියල් අනූ දෙදහසක (92,000) මුදලක් අස්ථානගතවී ඇති බවත්, එය ආපසු ලබාදෙන ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලයාට බැණ වැදීමක් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාරවිල පොලීසියට පැමිණිල්ලක් සිදුකර නැහැ.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු මේ සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම්දී තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන්ටද රුපියල් 30,000 ක මුදලක් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ලබාදුන් බවයි.

පසුව එම මුදල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාරදී ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ලක්ද සටහන් කරගනිමින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

***************************************

ඊයේ (21) කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ

(22.07.2020 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ අතර, මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවන්නේ 2,730 ක් ලෙසයි.

සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 2,048 ක් වන අතර, තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා වෛරස ආසාදිතවූවන් 671 ක් ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද (22) උදෑසන වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 561 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් 451 දෙනෙකු රැදවියන් වන අතර 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වන බවයි.

එමෙන්ම, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5 දෙනෙකු සහ ඔවුන් ළගින් ඇසුරු කළ පුද්ගලයින් 42 කු කොවිඩ් ආසාදිතයින් බවට පත්ව තිබෙනවා.

මේ අතර, කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සඳහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට අද (22) අලුයම දිවයිනට පැමිණියා.

මේ අතර, තමන්ට නීතිමය බලතල පවරාදෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරිවලින් බැහැර වී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (22) 7 වන දිනටත් ක්‍රියාත්මකයි.

ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (22) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා ඩෙංගු මර්දන සහයකයින් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති 18 ක් එක්වී සිටිනවා ෴

***************************************

ඝාතන ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු හොරණ දී අත්අඩංගුවට

(22.07.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

හොරණ – ඉලිඹ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් ඊයේ (21) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි නීලක සදරුවන් නමැති පාතාල කල්ලි සාමාජිකයෙක්.

සැකකරු සතුව තිබූ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ 5 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 24 වන දා එම ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා දේපළවලට අලාභ හානි සිදුකිරීම හා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා රැසක් මොහුට එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

***************************************

මුඛ ආවරණ පැළඳ නොසිටි සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 2521 දෙනෙකුට අවවාද

(22.07.2020 – 09:56 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් 1406 දෙනෙකුට සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 1115 දෙනෙකුට අවවාද කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

එමෙන්ම, බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත 393 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ (21) පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළදී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් 166 දෙනෙකුට හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *