බුවනෙකබා හෝටලයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම පිළිබඳ කමිටු වාර්තාව අගමැතිට

(22.07.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල – බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කළ පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංචපුද්ගල කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දි තිබෙනවා.

ඔවුන් විසින් සකස් කළ අන්තර්කාලීන වාර්තාව අද (22) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ අරලියගහ මන්දිරයේදියි.

එම අන්තර්කාලීන වාර්තාව මගින් පෙන්වාදී ඇත්තේ ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුව ඇත්තේ පියස්සේ කොටසකට සහ ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි.

මුලුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක සහ ගඩොල් ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව පවතින බව එමගින් පෙන්වාදී තිබෙනවා.

එබැවින් මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙසට වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බව ද අන්තර්කාලීන වාර්තාව මගින් සඳහන් කර තිබෙනවා.

එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණ කළ යුතු බවයි ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම, මෙම ස්ථානය පුලුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම, මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිවය යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම යන යෝජනා ද ඉදිරිපත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කළ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම කමිටුව නියෝජනය කරනවා.

මේ අතර කුරුණෑගල බුවනෙක හෝටලයට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු ආකාරය දැක්වෙන උපදෙස් ලිපියක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එහි උදෘත ලබන 31 වනදාට පෙර තමන් වෙත යොමුකරන ලෙසටද නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.

මේ අතර කුරුණෑගල බුවනෙක හෝටලයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ද මේ වනවිට විවිධ අදහස් පළවනවා.

හෝටලයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය තමන් අනුමත නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මීට පෙර කියා සිටියේ කුරුණෑගල දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභාව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට හානියක් සිදු කිරීමට කිසිවෙකුටත් තමන් ඉඩ ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් මොරටුව ප්‍රදේශයේ දී අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නා.

නමුත් වාරියපොළ ඊයේ (21) පැවති ජන හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම සිද්ධිය සම්බන්ධයෙන් යළිත් වරක් අදහස් පළ කළා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා, කඩා ඉවත් කරන ලද කුරුණෑගල රාජ සභාවේ නිරීක්ෂණ චාරිකාවක අද (22) නිරතවූ අතර, එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එමෙන්ම කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල ඉවත් කිරීමට එරෙහිව ජාතික සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අද (22) කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක නිරතවුණා.

මේ අතර ගොඩනැගිල්ල ඉවත් කිරීමට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව නමැති සංවිධානය ද අද (22) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

අදාළ නිවේදනය පහතින් :

%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7

+++++++++++++++++++++

***************************************

තවත් විදෙස් රැකියා ජාවාරමක් පිලිබඳව තොරතුරු හෙළිවේ

(22.07.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මුදල් වංචා කළ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ තායිලන්තයේ ආරක්ෂක සේවයේ රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් තෝරාගෙන ඊට මුදල් ලබාදුන් පසු පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදෙන බවට ලද පැමිණිලිවලට අනුව මෙම ජාවාරම අනාවරණ වූ බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවද එම කාර්යාංශය සඳහන් කළා.

මේ අතර සයිප්‍රසයට යන සියලු විගමණික ශ්‍රමිකයන්ට සහ එරටට ඇතුලුවන ශ්‍රමිකයන්ට සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ ගුවන් අවසර පත අනිවාර්ය කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා ෴

***************************************

මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරී ඇතුලු 4 ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(22.07.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

දැනට වැඩතහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරාධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුලූ සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) වරෙන්තු නිකුත් කළා.

ඒ, වරෙන්තු ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි.

හිටපු අධිකාරිවරයාට අමතරව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරුණේ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගලයි.

රැඳවියෙකුට ශීතකරණයක් ලබාදුන් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරාධ සම්පායෝ අභියාචනාධිකාරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණා.

මේ අතර බන්ධනාගාර තුළ දැනට පවතින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලත් සමඟ බන්ධනාගාර ගතකර සිටින ඇතැම් දරුණු ගණයේ අපරාධකරුවන් දැඩි පීඩනයකින් පසුවන බවට තොරතුරු වාර්තාවනවා.

ඒ, ඔවුන් මීට පෙර ලබාගෙන තිබූ ඇතැම් වරප්‍රසාද නොලැබීම සම්බන්ධයෙන්.

එමෙන්ම පසුගියදා බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ නැමැත්තා මේ වනවිට බියට පත්ව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඔහු බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතර, ඔවුන් ජංගම දුරකථන ඇතුලු අවශ්‍ය ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් අදාළ තර්ජන සිදුකර තිබූ බවයි වාර්තාවන්නේ.

මෙලෙස දැඩි ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරතුර මීගමුව බන්ධනාගාරය තාප්පයට ඉහළින් ඊයේ (21) දිනයේද කිසියම් පුද්ගලයෙකු විසින් පාර්සලයක් විසිකර තිබෙනවා.

සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී ජංගම දුරකථන 4 ක්, ඒ සඳහා භාවිත කරන චාජර්, ගංජා සහ හෙරොයින් සොයාගෙන තිබෙනවා.

***************************************

නිරෝධායන මධ්‍යස්ථානවලට වෙනම ඡන්ද දිනයක්

(22.07.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වෙනුවෙන් ලබන 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම කොමිෂන් සභාවේ අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් පස්දෙනෙකු (5) රෝහලේ

(22.07.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදනය වී ඇති පොකුරෙන් සමාජයට වෛරසය ව්‍යාප්ත විමක් සිදු නොවන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ එම කොරෝනා වෛරසය ආසාදනය වු පොකුර මේවනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවයි.

ඊයේ (21) දිනයේ සහ අද (22) මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ අතර, මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 655 ක්.

අද (22) දිනයේදී 16 දෙනෙකු සුවය ලබා පිටව ගිය අතර, ඒ අනුව 2,064 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා.

කොළඹ අද (22) පැවැති උත්සවයකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ වෛරස ආසාදනය වු සංඛ්‍යාව පිළිබඳ නිරන්තරයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන බවයි.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැදවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පස්දෙනෙකු (5) අද (22) වැලිකන්ද මුලික රෝහලට ඇතුලත් කළා.

පොලිසිය සදහන් කළේ ඔවුන් බරපතල තත්ත්වයේ පසු නොවන බවයි.

දිවයින පුරා පෙර පාසල්, අගෝස්තු 01 වනදායින් පසු යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

***************************************

ජනාධිපති කොමිසම සහරාන් අවි පුහුණුව ලබාදුන් නල්ලූර් වෙත යයි

(22.07.2020 – 19:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරින් සහරාන් හෂීම් අවි පුහුණුව ලබා දුන් නල්ලූර් හි තාන නගර් ප්‍රදේශයේ නිරීක්ෂණයට අද (22) එක්වුණා.

එහිදි අත්අඩංගුවේ පසුවන ‘ආමි මොහිදීන්’ නැමති සැකකරුගේ දියණියට අයත් සමරු පොතක් හමුවී තිබෙනවා.

මේ අතර, ප්‍රබල අන්තවාදී සාමාජිකයින් කිහිපදෙනෙකු පිළිබද නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර ඒකකය විසින් රහස් පොලිසියට ප්‍රහාරයට පෙර ලබා දී තිබුණද ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු ජනාධිපති කොමිෂම හමුවේ අද (22) අනාවරණය කළා.

සියලු තොරතුරු පිලිබද 2019 මාර්තු මුල රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබු බවත්, ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පසුගිය වසරේ මාර්තු මස 07 වනදි පාසිකුඩා වෙත පැමිණි බවත් ඔහු ප්‍රකාශකළා.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සිදුවු දිනයේ ‘ආමි මොහිදීන්’ නම් සැකකරු ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා තෙක් වෙනත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බවයි බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ‘ජාතික තවුහිද් ජමාත්’ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 94 දෙනෙකුගේ නම්, 2017 නොවැම්බර් මාසයේදි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දරටද, පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් 2018 ජනවාරි මාසයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලබා දී තිබු බවයි ෴

***************************************

නාකොටික් නිලධාරීන්ට සහය දුන් එස්.ටී.එෆ්. අය කවුද ?

(22.07.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට සහය ලබාදී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කිහිපදෙනෙකු ආරක්ෂාව සැපයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා එම බලකායේ අණදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබුණා.

ඒ සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු ගිනි අවි සහිත ආරක්ෂාව සපයා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21) අධිකරණය හමුවේ කළ අනාවරණය සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා එල්ලවී ඇති ‘ටයිල් චමින්ද’ නැමැත්තාගේ බැංකු ගිණුමට රුපියල් 373,725,304 ක් බැරවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

***************************************

හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට පහරදීමක්

(22.07.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා, මතුගම – වැල්කන්දල ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන ඉදිකිරීමක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඔහු එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

හිටපු මන්ත්‍රිවරයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

අන්තවාදින්ට උදවු කල කිසිවෙකුත් නව රජයට සම්බන්ධ කරගන්නේ නැහැ – නාමල්

(22.07.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට විසදුමක් ලබාදිය හැක්කේ දකුණේ දේශපාලන පක්ෂ උතුරේ දේශපාලනය කිරීමෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

හිරු , ‘ඇත්ත’ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවා.

උතුරේ දේශපාලන පක්ෂ මේවන තෙක් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසදුම් ලබාදී නොමැති බව ද ඔහු පවසනවා.

තමන් කිසිදාක මත්පැන් පානය කර නොමැති බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

දළදා මාලිගාව ඉදිරිපිට තමන් කිසිවිටකත් කාර් රේස් පැදීමට ක්‍රියා නොකළ බව පවසන ඔහු යහපාලන රජය තමන්ට එරෙහි දැමු බොරු නඩුවලට තමන් තවමත් පෙනී සිටින බව ද කියාසිටියා.

අන්ත්වාදිනට උදවු කල සහ ඔවුන් සමඟ එක්ව කටුයතු කළ යහපාලන රජයේ කිසිවෙකුත් නව රජයට සම්බන්ධ කර නොගන්නා බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මේ රට ගොඩ නැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලබා දීමෙන් බව පෙන්වාදෙන නාමල් රාජපක්ෂ මහතා යහපාලන රජය යටතේ විනාශ කළ රට නැවත ගොඩනගන බව ද සඳහන් කළා.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම කිසිසේත් සිදු නොවන බව ද ඔහු අවධාරණය කළා.

සම්පුර්ණ සාකච්ඡාව :

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

NTJ ක්‍රියාකාරීන් ගැන පොලිස්පතිටයි CIDයටයි තොරතුරු දුන්නා – බුද්ධි නිලධාරියෙක් කොමිසමට පවසයි

(22.07.2020 – 20:00 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු සැඟව සිටි ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර ඒකකය විසින් 2019 මාර්තු මස මුලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නත් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරු ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු ජනාධිපති කොමිසම හමුවේ අද (22) අනාවරණ කළේය.

එම නිලධාරියා සඳහන් කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 94 දෙනෙකුගේ නම් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද, 129 දෙනෙකුගේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ප්‍රහාරයට පෙර ලබා දී තිබු බවය.

රාජ්‍ය බුද්ධි සේවයට අනුබද්ධව නැගෙනහිර පළාතේ සේවයේ නියුතු බුද්ධි නිලධාරියා කොමිසමට පැවැසුවේ 2017 මාර්තු 10 වැනි දා කාත්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් සහරාන්, මොහොමඩ් රිල්වාන්, ආමි මොහිදින් සහ යූසුෆ් අන්වර් යන අයට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බවය.

අලියාර් ගැටුමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි සහරාන්ගේ සොයුරු රිල්වාන්, සිය බිරිඳ නෆ්නා සහ අලුත උපන් දරුවා බැලීමට 2019 දී අංක 309/D ෆරිනාස් පාර, 2වන හරස් වීදිය, අරියම්පති නැගෙනහිර, ලිපිනයේ වු නිවසට රාත්‍රී කාලයේ පැමිණ ගිය බවත් අනාවරණ වූ බව සාක්ෂිකරු පැවසීය.

එමෙන්ම යුසුෆ් අන්වර් වරෙන්තුවක් ලබා සිටියදී ද කාත්තන්කුඩි නගරයේ ඇඳුම් මසන ස්ථානයක් පවා පවත්වාගෙන ගියත් පොලීසිය ඔහු අත්අඩංගුවට නොගත් බව ඔහු කියා සිටියේය.

ආමි මොහිදින් කාත්තන්කුඩිහි සිය ස්ථිර නිවසෙන් බැහැරව පාසිකුඩාහි පාළු ඉඩමක තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව ද රාජ්‍ය බුද්ධි සේවය සොයාගෙන තිබූ බව සාක්ෂිකරු පැවසීය.

ඒ අනුව අදාළ ත්‍රස්තවාදින් සැඟව සිටි ස්ථාන පිළිබඳව සියලු තොරතුරු 2019 මාර්තු මස මුලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අතර ඒ අනුව එහි කණ්ඩායමක් එම වසරේ මාර්තු 07 වැනි දා පාසිකුඩා වෙත පැමිණි බවත් සාක්ෂිකරු පැහැදිලි කළේය.

එහිදී රාජ්‍ය බුද්ධි නිලධාරීන් රිල්වාන් හෂීම් සැඟව සිටින ස්ථානය නිශ්චිතව පැවසූ බවත් ඔවුන් එය සිතියමක ලකුණු කරගත් බවත්, සහරාන්ගේ අනෙක් සොහොයුරා වූ මොහොමඩ් ශෛයිනි සැඟව සිටි ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ද බුද්ධි නිලධාරින් ලබාදුන් බවත් සාක්ෂිකරු පැවසීය.

නමුත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බව බුද්ධි නිලධාරියා කියා සිටියේය.

මේ අතර සහරාන් ත්‍රිකුණාමලය, තෝපුර්හි තාහිද් ග්‍රාමයේ පවත්වාගන ගිය අවි පුහුණු කඳවුරක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින්ගේ ස්ථානීය පරීක්ෂාවට අද (22) ලක්වුණි.

එහි සිදුකළ පරීක්ෂණවලදී සටහන් පොතක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ගොවිපොළක් ලෙස පවත්වාගෙන ගිය අක්කර 15 කට ආසන්න විශාලත්වයකින් යුත් මෙම ඉඩම පිළිබඳ තොරතුරු හෙළිවූයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඊබ්‍රාහිම් සාදික් නැමැත්තාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

සහරාන් අවස්ථා කිහිපයක දී මෙම කඳවුරට පැමිණි බවත් තමන් ඇතුළු තවත් පස්දෙනෙකු මෙම ඉඩමේ අවි පුහුණුවීම් ලබා ඇති බවත් සාදීක් හෙළි කර තිබේ.

ඉඩමේ අයිතිකරු වන්නේ හාජා මොහිදීන් නම් තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

***************************************

සමහර අම්මලා බන්ධනාගාරයට එන්නේ කුඩුත් අරන් -බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

(22.07.2020 – 18:09 +0530 – sinhala.adaderana.lk)

ඇතැම් මව්වරුන් විසින් බන්ධනාගාර තුළට මත්‍ද්‍රව්‍ය ගෙනවිත් රැඳවියන්ට ලබාදීමට පෙළඹී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

“සමහර දරුවෝ දෙමාපියන්ට බල කරනවා, මට කුඩු ටිකක් ගෙනත් දෙන්න මට ඉන්න බෑ බන්ධනාගාරය ඇතුළේ කියලා.. එතකොට අම්මා පෙළඹෙනවා ළමයාට මේ මත්ද්‍රව්‍ය ගෙනත් දෙන්න” යනුවෙන් ඒ මහතා කියා සිටියේය.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපන වැඩපිළිවෙලට මෙය බාධාවක් වන බැවින් නීති විරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙනඒමෙන් වළකින ලෙස රැඳවියන් බැලීමට එන පිරිස් වෙත ඉල්ලීමක් කරන බව ද ඒ මහතා පවසයි.

අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම බන්ධනාගාර තුළ ඇති ඉඩ පහසුකම් වැඩි කිරීමේ අවශ්‍යතායක් පවතින බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී පැවසීය.

එසේ නොමැති වුවහොත් බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා යා හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

***************************************

ත්‍රස්තවාදීන්ට සැරිසරන්න ඉඩ දී, උන්ව පෙන්වා දුන් මාව ෆේස්බුක් එකෙන් බ්ලොක් කරලා. – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදුලි සංදේශන කොමිෂන් සභාවට

(22.07.2020 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, අපේ ජන බල පක්ෂයේ ජාතික නායක, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්වහන්සේගේ රූපය Facebook ආයතනය මගින් වාරණය කිරීම පිළිබඳව පැමිණිලි කිරීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත ඊයේ (21) දහවල් වැඩම කර සිටියා.

එහිදී උන්වහන්සේ දැක්වූ අදහස් :

***************************************

ඔන්චිල්ලාවක සාරි පොටක් ගෙලෙහි පැටලීමෙන් අවුරුදු 10 දරුවෙකු ජීවිතක්ෂයට

(22.07.2020 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශයේ නිවසක බාල්කයක සාරි පොටකින් සෑදූ ඔන්චිල්ලාවක් පදිමින් සිටි වයස අවුරුදු 10 දරුවෙකු සාරි පොට ගෙලෙහි පැටලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වතුපිටිවල රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් දරුවා මියගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

***************************************

‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී ඝාතනය වූවාදැයි පොලීසියෙන් විමර්ශනයක්

(23.07.2020 – 06:43 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායකයෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ කිසියම් විෂක් ශරීර ගතකර ඉන්දියාවේ බැංගලෝර් හිදි ඝාතනයට ලක් වූ බවට පළවන වාර්තා පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තා ලැබී නොමැති බවයි.

ජාතික පුවත්පත් රැසක් අද (23) ‘අංගොඩ ලොක්කා’ගේ ඝාතනය සම්බන්ධයෙන් වාර්තා පළ කර තිබුණා.

එහි දැක්වුණේ ඔහුට සමීපව කටයුතු කළ කාන්තාවකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි.

‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු ඝාතනය වීමත් සමඟ ‘රණාලේ සමයං’ ඇතුලු ඔහුගේ ගෝලයන් ඝාතනය කරන ලද්දේ කළුතර – එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයක් තුලදියි.

මෙම වෙඩි තැබීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද (2) ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, 2017 වසරේ පෙබරවාරි 27 වනදායි.

මෙම ඝාතනයට ‘අතුරුගිරියේ ලැරියා’ නැමැත්තාගෙන්ද ‘අංගොඩ ලොක්කා’ට සහය ලැබී තිබුණා.

‘අතුරුගිරියේ ලැරියා’ගේ සමීපතම ගෝලයෙකු වූ ‘සුනිල් බණ්ඩාර’ හෙවත් ‘බණ්ඩා’ අතුරුගිරියේ කොණ්ඩා කපන මධ්‍යස්ථානයකදී වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් ‘සමයං’ ඝාතනයට ‘අංගොඩ ලොක්කා’ට ‘ලැරියා’ සහය ලබාදී තිබූ බවයි වාර්තා වුණේ.

‘අංගොඩ ලොක්කා’ පසුව ‘අතුරුගිරියේ ලැරියා’ සමග බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් සිටි බවට වාර්තා පළවූ අතර ඔහු එහි සිට තවත් ඝාතන රැසක් මෙහෙයවා තිබුණා ෴

+++++++++++++++++++++

අංගොඩ ලොක්කා මියගිය බවට කෙරෙන ප්‍රචාරය ගැන රාජ්‍ය තාන්ත්‍රික අවධානය

(23.07.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඝාතනය කළ බවට මෙතෙක් තහවුරු වී නොමැති බව චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ සම්බන්යෙන් තවදුරටත් කරුණු සොයාබලන බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ‘අංගොඩ ලොක්කා’ ඝාතනය වූ බවට පැතිර යන රාවය, රූපය වෙනස් කර, ඔහු මෙරටට පැමිණීමේ උත්සහයක්දැයි සැක මතුව ඇති බවයි.

කෙසේ වෙතත් විෂ ශරීරගතවී ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ බැංගලෝර් හිදී මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම ඇතුලු දරුණු අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකදී ‘රණාලේ සමයං’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ඇතුලු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද ‘චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ නැමැත්තායි.

පසුකළකදී ඉන්දියාවට පලාගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදටද එරටදී ‘අංගොඩ ලොක්කා’ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර දරුණු අපරාධ රැසකට සම්බන්ධ බවට හෙළිවී ඇති එහෙත් මේ වනවිට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය සහ රතු නිවේදන ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර තිබෙනවා.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකරගෙන ගිය මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදි සඳහන් කළේ.

මේ අතර කැස්බෑව – ගුරුගම්මාන පාරේ පිහිටි හෝටලයක් තුලදී එහි හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් (2) එක් අයෙකු 2019 වසරේදී අදාළ හෝටලයේ සේවය කළ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වනවිට හෝටල් හිමිකරු ඝාතනයෙන් පසු රැගෙන ගිය පවුම් 37 ක රන් ආභරණ තොගයක්, කුඩා මැණික් ගල් 15 ක්, රුපියල් 1,65,000 ක මුදලක්, සැකකරුවන් පානය කළ හිස් බියර් බෝතල් දෙකක් (2) මෙන්ම ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

***************************************

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමකයෙකු අත්අඩංගුවට

(23.07.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සුරාබදු නියාමකවරයෙක් ඇතුලු අටදෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමේ ගණුදෙනුවකට පුත්තලම කලපුව ආසන්නයට පැමිණි අවස්ථාවේදියි.

පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබුණා. මෙම අවස්ථාවේ එම ස්ථානයේ සිටි සුරාබදු ස්ථානාධිපතිවරයෙකු පලාගොස් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

කාන්තාවන් සිව්දෙනෙකු (4) සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු (3) වෑන් රථයකින් කළපුව ආසන්නයට පැමිණ ඇත්තේ මෙම සුරාබදු නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබාදීම සඳහායි.

ඔවුන් පැමිණෙන විට සුරාබදු ස්ථානාධිපතිවරයා සහ නියාමකවරයා මෝටර් රථයකින් කළපුව ආසන්නයට පැමිණ සිට තිබෙනවා.

මෙම අවස්ථාවේ කලින් ලද බුද්ධි තොරතුරකට අනුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වැටලීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

සුරාබදු නිලධාරීන් පැමිණෙන අවස්ථාව වනවිට සුරාබදු නියාමකවරයා මෝටර් රථයෙන් බැස වෑන් රථයෙන් පැමිණි පිරිස සමඟ සාකච්ඡා කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ සුරාබදු ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් පලාගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *