සහරාන්ගේ කල්ලියේ සාමාජිකයන් CID ය සමඟ සබඳතා පැවති බවට පාස්කු කොමිසමේදී හෙලි වේ

(23.07.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට නොගත්තේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සැකකරු සමඟ සබඳතා පැවැත්වූ නිසාවෙන් බවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ, එම කොමිසම හමුවේ ඊයේ (22) සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු කළ ප්‍රකාශයකට අනුවයි.

එහිදී ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරයට පෙර වරෙන්තු නිකුත් වී තිබූ සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ‘ආමි මොහිදීන්’ කාත්තන්කුඩියේ පිහිටි සිය නිවසින් පිටව ගොස් පාසිකුඩා ප්‍රදේශයේ පාළු ඉඩමක සැඟව සිටින බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබූ බවයි.

එහෙත් රාජ්‍ය බුද්ධි සේවයට ඔහු අත්අඩංගුවට ගැනිමට නෛතික බලයක් නොමැති නිසා ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩයස් සහ පොලිස් සැරයන් නන්දලාල් ඇතුලු කණ්ඩායමක් පසුගිය වසරේ මාර්තු හත්වනදා (07) එම ප්‍රදේශයට පැමිණියත් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව සාක්ෂිකරු එහිදී අනාවරණ කළා.

පසුව පාස්කු ප්‍රහාරයෙන් පසු සැකකරු රාජ්‍ය බුද්ධි සේවය ලද විශේෂ බලතල ප්‍රකාරව පසුගිය වසරේ අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ වනවිටත් ඔහු සිය ජංගම දුරකථනයේ සියලු තොරතුරු මකා දමා තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ.

+++++++++++++++++++++

***************************************

ගාල්ල – හිරිඹුර තරුණියකගේ මුදල් වංචා කළ සැකකරුවෙකු සොයා විමර්ශන

(23.07.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ තරුණියකගෙන් රුපියල් 3,75,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධ සැකකරුවෙකුගේ බැංකු ගිණුම් වාර්තාවක් ලබාගැනීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

පසුගිය දිනක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඇමරිකානු ඩොලර් 7,50,000 ක මුදලක් දිනා ඇති බව පවසමිනුයි සැකකරු මෙම වංචා කර ඇත්තේ.

පසුගිය මස 24 වනදා එංගලන්තයේ සිට සිය නියෝජිතයෙකු අදාළ ත්‍යාගය සහිත චෙක්පත රැගෙන මෙරටට පැමිණෙන බවත්, ඔහුට රේගු ගාස්තු සඳහා රුපියල් 90,245 ක මුදලක් නිට්ටඹුව ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කරන ලෙස සහ තවත් අවස්ථා කිහිපයකදී පෞද්ගලික බැංකු කිහිපයක මුදල් තැන්පත් කරන ලෙසත් සැකකරු සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ.

අදාළ සැකකරු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් හිමියන්ගේ වාර්තා ඔස්සේ පරීක්ෂණ සිදුකෙරෙනවා ෴

***************************************

බත්තරමුල්ල අවට අද (23) ජල කප්පාදුවක්

(23.07.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) රාත්‍රී 10 සිට පැය අටක (8) කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මේ අතර තවත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (24) පෙරවරු අටේ (08:00) සිට පැය 12 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල සහ මග්ගොන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

මීට අමතරව, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද හෙට (24) පෙරවරු අටේ (08:00) සිට පැය 12 ක් මෙලෙස ජලය අත්හිටුවනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(23.07.2020 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) රාත්‍රී 10 සිට හෙට (24) මධ්‍යහ්න 12 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අඹතලේ සිට කෝට්ටේ ජුබිලි ජල තටාකය දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන්.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල, රාජගිරිය, කොළඹ 5, 7, 8 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

එමෙන්ම කොළඹ 4, 6 සහ මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

මාරවිලදී මුදල් පැහැරගත් බවට ඇල්ලූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) රිමාන්ඩ්

(23.07.2020 – 11:21 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – මහවැව පොලිස් මාර්ග බාධකයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් අනූ දෙදහසක (92,000) මුදලක් බලෙන් ලබාගැනීමට උත්සහ කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා (2) හෙට (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ඊයේ (22) මාරවිල දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා ෴

***************************************

රාජිත සේනාරත්නගේ පුතා විසින් පැහැරගැණුනු තරුණියගේ පියා ජනපති කොමිසමෙන් සාධාරණයක් ඉල්ලයි

(23.07.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

තමාගේ දුව බාල වයස්කාර දැරියක්ව සිටි සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න විසින් පැහැර ගෙන ගිය බවත්, දේශපාලන බලපෑම් හේතුවෙන් තමාට සාධාරණයක් ඉටු නොවූ බවත් එම දැරියගේ පියා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පැය 8 ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් ගමන්වලින් වැළකී සිටින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

(23.07.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

තවදුරටත් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් ගමන්වලින් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු අවවාද කර මුදාහැර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මුඛ ආවරණ නොපැළඳී 1,471 දෙනෙකු ට සහ දුරස්ථභාවය තබා නොගත් 1,023 කට මෙලෙස අවවාද කර මුදාහැරි බවයි.

ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 126 දෙනෙකු අද (23) නිරෝධායනය අවසන් කර පිටත්ව ගියා.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,752 ක් ලෙස සටහන් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2064 ක්.

තවදුරටත් කොරෝනා ආසාදිතයන් 677 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් 1,53,80,140 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6,30,343 ක් ලෙසයි.

***************************************

දේශීය ලොකු ලූණු ගොවීන් අසීරුතාවක

(23.07.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

දේශීය ලොකු ලූණු සඳහා වෙළෙඳපොළේ සාධාරණ මිලක් නොමැතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු ගොවීන් දැඩි අසීරුතාවකට මුහුණදී සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙසයි.

දඹුල්ල සහ අවට ප්‍රදේශවල ගොවීන් මේ දිනවල ලොකු ලූණු අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.

පසුගිය සමයේ පැවති ජල හිඟය සහ පොහොර හිඟයත් සමග ගොවීන් තම වගාවන් සිදුකර ඇත්තේ ඉහළ පිරිවැයක් දරමින්.

නමුත් මේවන විට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති බවට ගොවින් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනික ලොකු ලූණු වෙළෙඳපොළේ අඩු මිලකට අලෙවි වීම දේශීය ලොකු ලූණුවල මිල පහත යාමට හේතුවී ඇති බවයි.

***************************************

කැස්බෑව හෝටල් හිමිකරුගේ ඝාතනයේ සුළමුල හෙළිවෙයි

(23.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව ගුරුගම්මාන ප්‍රදේශයේදී හෝටල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ දේපළ කොල්ලකෑමේ පරමාර්ථයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

කැස්බෑව ගුරුගම්මාන ප්‍රදේශයේ පදිංචිව සිටි හෝටල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ පසුගිය 7 වැනිදා අලුයම් කාලයේදීයි.

50 හැවිරිදි අදාළ පුද්ගලයා සිය ඇඳ මත නිදා සිටිය දී ඝාතනයට ලක් ව තිබූ අතර එහි දී ඔහුගේ බිරිඳට ද තුවාල සිදු වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසය මගින් විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර පසුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට විමර්ශන කටයුතු භාර දෙනු ලැබුවා.

එම විමර්ශන සඳහා CCTV දර්ශනද උපයෝගී කරගෙන තිබුණා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් ආයුධ, සහ තවත් උපකරණ මෙන්ම සොරාගත් රන් භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් එම ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (23) මිරිහාන පොලිසියට පැමිණියා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කලා.

+++++++++++++++++++++

***************************************

වසර 10 ක සිට අත්හැර දමා ඇති රංගභූමිය

(23.07.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

මේ පුත්තලම ආනමඩුව නගරයේ ඉදිකිරීම් ආරම්භ කර අඩක් නිම කොට අතහැර දමා ඇති රංග ශාලා භූමියයි.

ගොඩනැගිල්ලේ වැඩකටයුතු ආරම්භ කර තිබෙන්නේ 2010 වසරේ ඔයාමඩුව දැයට කිරුළ වැඩසටහනට සමගාමීවයි.

ඒ සඳහා ඇස්තමේන්තුගත කර තිබූ මුදල රුපියල් ලක්ෂ 500 ක්.

10 වසරක් ඉක්ම යමින් පැවතියද බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් මේ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවසන් කිරීමට තවමත් පියවර ගෙන නැහැ.

කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීමෙන් විනාශ මුඛයට යමින් පවතින මෙම ගොඩනැගිල්ලේ අද වනවිට විවිධ අපචාර ක්‍රියා සිදුවන බවටද ගම්වැසියන් චෝදනා කරනවා.

ජනතා මුදලින් නඩත්තු වන බලධාරීන් නිසි අවධානයක් යොමු කර මෙම රංගශාලා භූමියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ජනසතු කරන තෙක් තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවතත්

(23.07.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

නොසැළකිලිමත්ව සිදුවන මාර්ග අනතුරු වළක්වාගැනීම සඳහා රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිනකට සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නොසැළකිලිමත්ව රිය ධාවනය කරන්නන්ගේ රියදුරු බලපත්‍රවලට බින්දුවේ සිට 24 දක්වා ලකුණු ලබාදීමේ ක්‍රමය යළි ආරම්භ කරන බවයි.

මෙම ක්‍රමය යටතේ රියදුරු බලපත්‍ර සඳහා ලකුණු 24 සිට පහළ අගයන්වලට ලකුණු ලැබෙන අතර, සිදුවන රිය අනතුරුවලදී එම ලකුණු ක්‍රමයෙන් අඩු වනවා.

ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ එලෙස ලකුණු අඩුවන රියදුරු බලපත්‍ර අහෝසි වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

කඩා බිඳ දැමූ, කුරුණෑගල පුරාවිද්‍යා බිමට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

(23.07.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල – බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුලුවීම වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ අධිකරණ නියෝගය ලබා ගත් බවයි ෴

+++++++++++++++++++++

***************************************

සංශෝධිත උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නැහැ

(23.07.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ආකාරයෙන් ආරක්ෂිත ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රමිතින්ට අනුකූලව සකස් කළ උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නොමැති බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘උප්පැන්න සහතිකය’ වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය’ ලෙස එය ඉදිරියේදී හඳුන්වන බවයි. ඩිජිටල් ක්‍රමයට සැකසෙන ආරක්ෂිත කඩදාසියක ද්වි භාෂාවෙන් එය සකස් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, එහි ජාතිකත්වය සටහන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මේ දිනවල දැඩි සංවාදයක් මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා කියා සිටියේ නව උප්පැන්න සහතිකයේද ජාතියට අමතරව පියාගේ සහ මවගේ ජන වර්ගය ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණවීමෙන් පසු ‘ජාතික උප්පැන්න සහතිකය’ ඉදිරියේදී ජනගත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *