බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

(23.07.2020 – 18:37 +0530 – lankadeepa.lk)

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය වන බව කියමින් නීතීපතිවරයාගේ උපදෙස් මත සකස් කරන ලද ප්‍රශ්නාවලි දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීම සඳහා එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලි දෙකේ මෙම ගොඩනැඟිල්ලට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? නැත්නම් මෙය ස්වභාවිකව සිදුවූ හානියක්ද? යන්න වාර්තා කරන ලෙසද ඉන් සිදුවු හානිය මෙන්ම මෙම ගොඩනැඟිල්ල යළි පිළිසකර කිරීම සඳහා ගතවන කාලය දැනුම් දෙන ලෙසද නියම කොට ඇත.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට වැඩිදුරටත් නියම කොට ඇත ෴

+++++++++++++++++++++

***************************************

උප්පැන්න – ලේඛන කඩිනමින් නිකුත් කිරිමේ කාර්යාලයක් බිම් මහලේ

(23.07.2020 – 15:52 +0530 – lankadeepa.lk)

ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණෙන අයට උප්පැන්න සහතික ඇතුළු ලේඛන නිකුත් කිරිමේ කාර්යාලයක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටුවා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට පැමිණීමේ දී මාස 6 ක් ඇතුළත නිකුත් කළ උප්පැන්න සහතික අවශ්‍ය වන අතර ඒවා ලබාගැනීමේ දී මහජනයා අපහසුවට පත්වීම හේතුවෙන් මෙම කාර්යාලය පිහිටුවා තිබේ.

මෙම කාර්යාලය මගින් ක්ෂණිකව උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් ලබාගත හැකි බවත්, ඒ සඳහා සාමාන්‍ය සේවා ගාස්තුව වන රුපියල් 100 ක මුදලක් එක් පිටපතක් සඳහා අයකරන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් සී.විතාන මහතා පවසයි ෴

+++++++++++++++++++++

[ http://www.rgd.gov.lk/web/index.php/si/ ]

***************************************

රූපවාහිනී සංස්ථාවේ ඉල්ලීම මැකො ඉවත දමයි

(23.07.2020 – 17:35 +0530 – lankadeepa.lk)

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු ‘සිහිනයකි රෑ’ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ 11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත ප්‍රචාරය කිරිමට රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.

ඒ සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් ද යොමු කරන ලැබූ අතර, එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.

රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්‍රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.

එබැවින් බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ ‘සිහිනයකි රෑ’ වැඩසටහන මුදල් ගෙවා නැවත ප්‍රචාරය කිරිමට ඉඩදිය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත ෴

+++++++++++++++++++++

[ http://www.rupavahini.lk/programmes/musical/sihinayaki-re/2052-sihinayaki-re-2020-02-23-sunday-10-30pm-musical-programme ]

***************************************

පහර කෑමට ලක්වූ පාලිත තෙවරප්පෙරුම ශල්‍යකර්මයකට

(23.07.2020 – 18:55 +0530 – lankadeepa.lk)

හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කරයි.

ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ ඊයේ (22) බහින් බස් වීමක් ඇතිවීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍යවරයා අසල ඇති කාණුවකට ඇද වැටී කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

+++++++++++++++++++++++++++++++++++

පාලිත තෙවරප්පෙරුම සවලකින් ගහයි.. අත බිදී අයෙක් රෝහලේ..

(24.07.2020 – 10:40 +0530 – lankacnews.com)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.

වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.

මෙම පුද්ගලයා ජල නල එලන කොන්ත‍්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙකි.

එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත ෴

***************************************

රුසියානු සරසවි තුනක (3) වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කරයි

(24.07.2020 – 07:09 +0530 – lankaleadnews.com)

මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් (3) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත් කර තිබේ.

අතීතයේ ලුමුම්බා නමින් පැවති විශ්වවිද්‍යාලයද මේ අතර වෙයි. එම විශ්වවිද්‍යාලය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය’ නමිනි. ලෝක ශ්‍රේණිගත ලේඛනයේ 392 වැනි ස්ථානයේ මෙම විශ්වවිද්‍යාලය පවතී.

අනුමත විදෙස් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වසර පහකට (5) වරක් කරන පසු විපරමකින් පසු කවර විශ්වවිද්‍යාල ඉවත් කර කවර විශ්වවිද්‍යාල තවදුරටත් තබාගත යුතුද යන්න තීරණය කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා පැවසීය.

එලෙස ඉවත් කරන දිනය වන විටත් අධ්‍යාපන ලබමින් සිටින සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවද ලේඛකාධිකාරීවරයා කීවේය ෴

***************************************

ශ්‍රී ලංකාවේ කල්ලියක් බැංකු දෙකකින් කෝටි ගණන් සල්ලි අදී

(24.07.2020 – aruna.lk)

ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික බැංකුවක තිබූ රුපියල් කෝටි ගණනක මුදල් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් මගින් රහසිගතව ලබාගැනීමේ සංවිධානාත්මක කල්ලි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

‌ජාත්‍යන්තර හැකර්වරුන් හා ශ්‍රී ලාංකික කණ්ඩායමක් එක්ව කළ බවට සැක මෙම ජාවාරමේදී අදාළ බැංකු දෙකෙන් වසර ගණනක සිට මුදල් ඇද ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

එම බැංකු දෙක කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මූලික විමර්ශන අරඹා තිබේ.

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ට මෙම බැංකුවලින් නිකුත් කරන ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ හා මුදල් ලබා ගනිමින් මෙම වංචාව සිදුකර ඇතැයි ද දැනට අනාවරණය වී ඇත.

විදෙස් රැකියා සොයා ජපානයට ගිය කණ්ඩායමක් මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි ද පැවසේ.

කාඩ්පත්වලින් මුදල් ගනුදෙනු සිදු කළ පසු අදාළ රටවලින් එන දත්ත ස්වයංක්‍රීයව ගිණුම්වලට එක්වන ක්‍රමවේදයක් මේ බැංකුවල තිබී නැත. ඒ වෙනුවට බැංකු නිලධාරීන් යොදවා දත්ත ගිණුම්වලට එක්කිරීමේ (manual) සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔවුන් ක්‍රියාත්මක කර තිබේ.

එලෙස බැංකු නිලධාරීන් යොදවා දත්ත එක්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් හඳුනාගෙන මෙම ජාවාරම් කල්ලි කාඩ්පත් ඔස්සේ ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි ද කියයි.

බැංකු ගිණුම්වල මුදල් පියවීමේදී වංචාවක් සිදුවන බවට මෙම බැංකුවලට තේරුම් ගොස් ඇතත් එම වංචාව සොයාගත නොහැකිව සිටි ඇත. බැංකුවේ මෘදුකාංගවල වරදකින් මෙය සිදුවන්නට ඇතැයි නිලධාරීන් සැකකර තිබේ.

බැංකු නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සහ අතපසුවීම් හේතුවෙන් මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව තහවුරු වී ඇත.

වංචාවට සම්බන්ධ පිරිස් හඳුනා ගැනීමට ජාත්‍යන්තර බැංකුවල සහාය ගැනීමටද තීරණය කර තිබේ ෴

***************************************

මහින්ද ලංකා වාර්තාවක් ආසන්නයේ.. ලෝක වාර්තාවක්ද විය හැකියි.. – උදය ගම්මන්පිල

(24.07.2020 – 12:00 +0530 – lankacnews.com)

හැමදාමත් හරි පැත්තේ හිටගත් නීතිඥ උදය ගම්මන්පිල මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණ සදහා නම්කිරීමේ දී ද මූලිකත්වයක් දැරුබව තම විශ්වාසය යැයි අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සදහන් කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොලොන්නාව සාලමුල්ලේ දී පැවති ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය :

“අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා එක පැත්තකින්. මේ දෙකට කැඩිලා දෙපැත්තට වෙලා සජිත්ගෙ පිලයි රනිල්ගේ පිළයි කියලා එනවා. එකට ඉඳලා දිනන්න බැරි නම් දෙකට කැඩිලා දිනන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තමයි අපිට අහන්න තියෙන්නෙ. මේ දෙන්න දෙපැත්තට වෙලා අද ගහගන්නවා. අපිට පේනවා සජිත් ප්‍රේමදාස මේ පැත්තට ආවේ හම්බන්තොට අත්හැරලා. හම්බන්තොට අත්හැරියේ – එතුමා දැනගත්තා හම්බන්තොටින් ඉල්ලුවොත් පැරදෙනවා කියලා. දැන් එයා හිතනවා කොළඹට ඇවිල්ල දිනාගන්න පුලුවන් වෙයි කියලා. මේ මැතිවරණය අපි ජයග්‍රහණය කිරීම සඳහා කිසිම ගැටලුවක් නෑ. ඒත් අපිට ඕනෑ තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න. කොළඹ දිස්ත්‍රික්කය තුළත් මන්ත්‍රී සංඛ්‍යාව තුනෙන් දෙකක් ලබා ලබාගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි සටන් වදින්නේ.

අපි සන්තෝෂ වෙනවා ගම්මන්පිල මහත්තයා ගැන. හැමදාම අපිත් එක්ක හිටියා. නිවැරදි පිලේ. මහින්ද සුළඟ ආපු අවස්ථාවේ නුගේගොඩ රැලියේදී විතරක් නෙවෙයි ඊට ප්‍රථම මාව මුණගැහිලා මේකට තරඟ කරන්න ඕන කියලා එතුමාගේ අදහස් ප්‍රකාශ කලා. මං හිතන්නේ මුලින්ම ප්‍රකාශ කරපු අයගෙන් එක්කෙනෙක් තමයි ගම්මන්පිල මහත්තයා.

ගම්මන්පිල මහත්තයා නිවැරදි පැත්තෙ හැමදාම හිටගත්තා. විශේෂයෙන්ම මෙතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කිරීමේ දී මූලිකත්වයක් දැරුවයි කියලයි මං විශ්වාස කරන්නේ.

අපි ඉන්නකොට අපිට නඩු දැම්මා. මේ මෙතුමාටත් නඩුවක් දැම්මා. කවුරුවත් අත ඇරියේ නෑ. පලිගැනීම විතරයි කලේ. වෙන කිසි දෙයක් පහුගිය ආණ්ඩුවෙන් කරයි කියලා කියන්න බෑ. හැම විටම කළේ පලිගැනීමක්, තමන්ට වචනෙකින් හරි විරුද්ධ වුණා නම්. මම හිතන්නේ මම කොමිසන් දෙකකට ගියා. ඔබතුමත් ඇවිල්ල පෙනී සිටියා. ඉතිං ඒ විදිහට තමයි අපිට පහර දුන්නේ. ගිය ආණ්ඩුවේ කාලය පුරාම කළේ අපෙන් පලිගැනීම. පෞද්ගලිකව පවුලෙන්. අපිත් එක්ක හිටපු හැම ඇමතිවරයෙකුම අධිකරණය ඉදිරියට ගේන්න හිරේ දාන්න පියවර ගන්න ඔවුන් පසුබට උනේ නෑ. ඉතින් මෙවැනි තත්වයක් තමයි තිබුනෙ අපිට. මෙවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම අධිකරණයේදී අපේ අය වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන් වෙනුවෙන් කතා කරපු නායකයෙක් තමයි උදය ගම්මන්පිල කියන්නේ. ඒ නිසා උදය ගම්මන්පිළ අපිත් එක්ක ඉන්න ඕන. උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. පාර්ලිමේන්තුවේ ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ කතා කරන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකදී නැගිටලා උත්තර දෙන්න පුළුවන් මන්ත්‍රිවරයෙක් වශයෙන් විපක්ෂයේ ඉන්න කාලයේ ඔප්පු කරල තියෙනවා. ඒ වගේම ඔහු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක්. පරිසරය පිළිබඳ කතා කරලා තියෙනවා හැකි හැම අවස්ථාවකම. පරිසරය රැකගන්න පරිසරය ආරක්ෂා කරන්න ඔහු හැම වෙලාවෙම පෙනී හිටියා කියන එකත් අමතක කරන්න එපා.”

නීතිඥ උදය ගම්මන්පිල මහතා :

“ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබ තුමා මේ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ අගමැති වෙන්න යන්නේ තුන්වැනි වතාවටයි. ඔබතුමා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවන්න ඔන්න මෙන්න ඉන්නේ. සමහර විට ගරු අග්‍රාමාත්‍යතුමනි මෙය ලෝක වාර්තාවක් වෙන්නත් බැරි නෑ. එකිනෙකට ලඟින් තියෙන වසර තුනක් අඛණ්ඩව අගමැති කෙනෙක් වූ කෙනෙක් ලක් ඉතිහාසයේ නෑ. ලෝක ඉතිහාසයේත් නෑ. 2018 අගෝස්තු මාසෙ 26 වෙනිද ඔබතුමා මේ රටේ අගමැති ධූරයට පත් වුණා. 2019 නොවැම්බර් මාසේ 19 වැනිදා ඔබතුමා මේ රටේ අගමැති ධුරයට පත් වුණා. ගරු අග්‍රාමාත්‍යතුමනි අගෝස්තු මාසේ 07 වෙනිදාට නියත අගමැති ඔබතුමා කියල හරි විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.

ඇත්තෙන්ම ඔබතුමාත් බලාපොරොත්තු නොවන ගමනක් ආවේ. ඔබතුමා ඒ පැමිණි ගමනට මට දායක වෙන්න හැකි වීම ගැන මම සතුටු වෙනවා. පුංචි සිද්ධියක් මතක් කලොත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්මයා ඒක සිහිපත් කළා. මම මුලින්ම 2015 ජනවාරි 13 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ අගමැති අපේක්ෂකයා කරගන්නවා කියලා කිව්වම ඒක රාත්‍රී ප්‍රවෘත්තිවල ගිහිල්ලා ජනතාව මෙතුමාගෙන් අහද්දි රෑ දහයට විතර මෙතුමා මට කතා කළා. උදය ඔයා ‘මම මේ අගමැති අපේක්ෂකයා විදියට ගේනවා’ කියලා කියලා තියෙනවා. මගේ නම් අදහසක් නෑ ආයෙ දේශපාලනයට එන්න. ආයෙත් නම් ඔය කතාව කියන්න එපා කියලා කිව්වා. මම එතකොට පුංචි නීති ගැටයක් ගහලා කිව්වා ජනාධිපති තුමනි මම කිව්වේ නෑ ඔබතුමාගේ අදහසක් තියෙනවා කියලා. මං කිව්වේ මගේ අදහසක් තියෙනවා කියලා. මං මගේ අදහස දිගටම කියාගෙන යන්නම්. ඔබතුමා එන්නෙ නෑ කියන අදහස ඔබතුමා දිගටම කියාගෙන යන්න. ඡන්දය ආවහම දෙකෙන් එකක් වෙයිනෙ කියලා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි වරක් නොව අපිට පුළුවන් වුණා ජාතියේ අපේක්ෂාව ඉටු කරන්නට ඔබතුමාව තුන් වරක්ම මේ දේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න.

ජාතියේ පිනටයි ඔබතුමා මේ රටේ අගමැති වුනේ. 19 සංශෝධනය ගෙනාපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා 19 සංශෝධනය නිසා ජනාධිපති අගමැති අතර ගැටුමක් මිසක් රට ඉදිරියට යන්නේ නෑ කියලා. දහනව වැනි සංශෝධනය කෙටුම්පත් කරපු එම්. ඒ. සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා කියනවා 19 සංශෝධනය අසම්පූර්ණ වැඩක්; ඒකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා කියලා. 19 පීතෘවරුන්ටම අද 19 ප්‍රශ්නයක් වෙලා. 19 කියන්නේ අවජාතක දරුවෙක්. මේකෙන් විධායක ජනාධිපතිතුමන්ට තිබුණු බලය කොටස් තුනකට බෙදලා ටිකක් ජනාධිපතිට තියලා තව ටිකක් අගමැතිට තියලා තවත් ටිකක් කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවට දීලා. අපි අහල තියෙනවා හිස් දෙකේ පක්ෂියෙක් ඉන්නවා කියලා බේරුන්ඩ පක්ෂියා කියා හඳුන්වන. මේකාට හිස් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. කොයි පැත්තට වත් ගමන් කරන්න බෑ. ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් වන Heritage foundation කියනවා පහුගිය අවුරුදු පහේ ලංකාව එක තැන පල් වුනේ ජනාධිපති ගේ සහ අගමැතිගේ කඹ ඇදිල්ල නිසා කියලා. ජාතියේ වාසනාවට අයියා මලෝ දෙදෙනෙක් තෝරාගත්තා ජනාධිපති සහ අගමැති විදියට. සමහර අයියලා මල්ලිලා ඉන්නවා ඉනි වැටටත් මිනී මරාගන්නවා. නමුත් ඔබතුමා හා ජනාධිපතිතුමාත් මම ඉතාමත් පෞද්ගලිකවම දන්නවා මේ හැත්තෑ එක් වසර තුලම කවදාවත්ම මතභේදයක් ඇති කරගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමන්ට තිබෙන ආදරය බලාගන්න ඕනි නම් එතුමට බෝම්බය වැදුණු වෙලාවේ බදාගෙන ඉන්න පින්තූරයේ මෙතුමාගේ මූනේ තියෙන හැඟීම් දෙස බලන්න. එතුමා තමන්ගේ දරුවෙක්ට වඩා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. හැබැයි හැමදාමත් මෙතුමන්ලා දෙන්නට ජනාධිපතිධූරයේ සහ අගමැති ධූරයේ ඉන්න බෑ. අනාගතයට ගැලපෙන්න අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන.

මේ ව්‍යවස්ථාව වෙනස් කරන ස්වර්ණමය යුගය අද උදාවෙලා තිබෙනවා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙළ නිසා. අද විපක්ෂයත් ඉන්නෙ ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන්. විපක්ෂය දෙකට කැඩිලා ඒ නිසාම එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඡන්දය නොදෙන්න තීරණය කරලා. තවත් පිරිසක් අද අපිට එකතු වෙලා. ඒ නිසා තුනෙන් දෙකේ බලයක් අරගෙන මේ 19 වැනි සංශෝධනය විතරක් නෙවෙයි, සජිත්ගේ තාත්තා විරුද්ධ වුණු ඒත් සජිත් රකින්න පොරොන්දු වෙන දහතුන්වැනි සංශෝධනයේ විසකුරු දත් විතරක් නෙවෙයි, මේ රටට බහුබූත ව්‍යවස්ථාවක් කියලා හැමෝම කිව්ව පවතින ව්‍යවස්ථාව උස්සලා පොලේ ගහලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිඥාව අපි ජනතාවට ලබා දෙනවා. ඒ දේ ඉටු කරන්න නම් ‘කොහොමත් දිනන ඡන්දය’ කියලා නිශ්ශබ්දව ඉන්නේ නැතුව හැමෝම ඡන්දපොළට ගිහිල්ල ඔබේ ඡන්දය දුන්නොත් පමණමයි ජනතා අභිලාෂයන් ඉටු කරන, එක රටක් එක නීතියක් කියන එක යථාර්ථයක් කරන නැවුම් ව්‍යවස්ථාවක් අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා :

“අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වරක් නොව දෙවරක්ම මා හා පවසා තිබෙනවා අර වසර පහක් බලය නැතුව අපි හිටපු එක හොඳ දෙයක් කියලා. බොහොම වටිනා අත්දැකීමක් කියලා. මම ඇහුවා ඔබතුමා ඇයි එහෙම කියන්නේ කියලා. එයට එතුමා දුන්න පිළිතුර තමයි බලය නැති විට තමයි අපට අපේ කල්‍යාණ මිතුරන් කවුද කියලා හදුනාගන්න පුළුවන් කියන එකයි. බලය තියෙන විට හැමෝම අප වටා එකතු වෙනවා. නමුත් බලය අහිමි වීමේ දී එකිනෙකා අතහැරලා යනවා. ඒ අමිහිරි කටුක අත්දැකීම් සහිත අතීතය තුළ මහින්ද රාජපක්ෂ මහතා තනි කරලා නොගිය චරිතයක් තමයි උදය ගම්මන්පිල මැතිතුමා.”

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය :

“නීතිඥ උදය ගම්මන්පිල මහතා රටේ නායකයන් තැනූ මහින්ද සුළඟේ පටන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති බවට පත්කිරීමටත්, නැවත මේ රජය පිහිටුවන්නටත් කොන්දේසි විරහිතව තනතුරු තානාන්තර බලාපොරොත්තු නොවී කළ කැපවීම අප අගය කරනවා. ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වය ඉදිරියට ගෙනයන්න පුළුවන් බලඇණියක් ඔබ ගොඩනඟන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළ. අන්න එතැනදී තමයි ජාතිකවාදී එහෙම නැත්නම් රටට ජාතියට ආගමට ආදරේ කරන සියලු දහමට ගරු කරන, ලාභ ප්‍රයෝජන උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙන, අනතුරේදී තමන්ගේ නායකයා අත් නොහැර යන මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්නට ඕනෑ. ඒ නිසා මා ඔබෙන් ඉල්ලා සිටිනවා ඉදිරියේ ද යම් ව්‍යසනයක් පැමිණිය හොත් එයට ශක්තිමත්ව මුහුණ දිය හැකි උදය ගම්මන්පිල වැනි මිනිසුන් පාර්ලිමේන්තුවට යවන මෙන්.”

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නාවලගේ බැනට් කුරේ, හිටපු පළාත් සභා මන්ත්‍රිනි අශෝකා ලංකාතිලක, කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ යන මහත්ම-මහත්මීන්ද ජන හමුව ඇමතූ අතර මහා සංඝරත්නය සහ ‍කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශිය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා ඇතුළු අතිවිශාල ජනතාවක් මේ අවස්ථාවට එක්වීය.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=H25kaPemJG4
23-07-2020

+++++++++++++++++++++++++++++++++++

22-07-2020

***************************************

පාසැල් එන සදුදා (27) විවෘතයි.. – අධ්‍යාපන ඇමති ප‍්‍රකාශ කරයි..

(24.07.2020 – 14:10 +0530 – lankacnews.com)

‘ගුරුවරයෙකුට අද ලැබෙන්නේ රුපියල් 31,000/- ක අන්තිම සොච්ඡම් වැටුපක්. ඒ නිසාම ඉදිරියේදී අපේ රජය ඉදිරිපත් කරන පළමු අය වැයෙන්ම ගුරුවරුන්ට හොද ආකර්ෂණීය වැටුපක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා’ යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24) මාතර, මිල්ලවැවදී ප්‍රකාශ කළේය.

දික්වැල්ලේ මහජන කැෆේ කඩේ කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් ලැබෙන බවද ප්‍රකාශ කල ඩලස් අලහප්පෙරුම මහතා, සෑම ගුරුවරයෙකුටම උපාධියක් දක්වා යෑමට හැකි පසුබිමද සකස් කරන බව අවධාරණය කළේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, මිල්ලවැවදී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා :

“ලබන සදුදා (27) පාසැල් පටන් ගන්නවා. දැන් ඇදිරි නීතිය නැහැ. ඇදිරි නීතිය තිබෙන කාලේ ජනතාව ගෙදර හිටපු නිසා කොරෝනා බෝවෙන්න විදිහක් තිබුණේ නැහැ. තමන්ගේ දුවල පුතාලට සෞඛ්‍යය පුරුදු අත් හරින්න ඉඩ දෙන්න එපා. දරුවන් වෙනුවෙන් වැඩිහිටියනුත් උපරිමයෙන් සෞඛ්‍යය පුරුදු පිළිපදින්න. පැසැලේදී කිසිදු අනතුරක් නොවන්න අපි දරුවන් රැක බලා ගන්නවා. ගෙදරදී බස් රථයේදී දරුවන් බලා ගැනීම දෙමාපියන්ගේ වගකීමයි.

කඩින් කඩ පාසැල් ආරම්භ කරන්න මමයි, තීරණය කළේ. ඒ සම්බන්ධයෙන් මට නොයෙක් දෙනා චෝදනා කළා. බස් සංගම් පවා විවිධ විරෝධතා දැක්වූවා. එහෙම නොකලා නම් රාජාංගණයේ මුළු පාසැලේම දරුවන් නිරෝධායනයට ලක් කරන්න වෙනවා. දැන් නිරෝධායනයට ලක්කර තිබෙන්නේ 05 ශ්‍රේණියේ දරුවන් හා ගුරුවරුන් පමණයි.

කිසිවෙක් මේ රටේ දරුවන් ගැන බියක් ඇතිකර ගතයුතු නැහැ. ආදරණීය තාත්තා කෙනෙක් රටේ ජනාධිපති වෙලා තිබෙනවා. අපේ රටේ ජනතාවගේ අප්පච්චි අගමැති වෙලා ඉන්නවා. මේ තාත්තාත් අප්පච්චිත් යටතේ ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපන ඇමති ධූරය මාතරට ලැබිල තිබෙනවා. මාතර බුද්ධිමතුන් විශාල වශයෙන් සිටියත් ඉතිහාසයේ කිසිදා අධ්‍යාපන ඇමතිකම මාතරට ලැබුණේ නැහැ. කට පාඩම් කර උත්තර ලියන විභාග ක්‍රමය වෙනුවට ලෝකයේ දියුණු විභාග ක්‍රමයක් ගේන්න අපි සැලසුම් කර තිබෙනවා.

ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 31,000/- ක වගේ අන්තිම සොච්ඡම් වැටුපක්. දික්වැල්ලේ මහජන කැෆේ කඩේ කොත්තු බාස්ට ඊට වඩා වැඩි වැටුපක් ලැබෙනවා. අපේ රජය ඉදිරිපත් කරන පළමු අය වැයෙන් ගුරුවරුන්ට හොද වැටුපක් දෙන්න අපි තීරණය කර තිබෙනවා. සෑම ගුරුවරයෙකුටම උපාධියක් දක්වා යන්න අවශ්‍යය පසුබිම සකස් කරන්නත් අපි පියවර ගන්නවා.

ලෝකයේ දියුණු රටවල කුඩා දරුවන් වෙනුවෙන් විභාග පවත්වන්නේ නැහැ. අපේ රටේත් 1, 2, 3, 4 ශ්‍රේණිවල දරුවන් විභාග පීඩනයෙන් මුදවා ගත යුතුයි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවා වෙනස් විය යුතුයි. දරුවන්ට පීඩනයක් නොවන ආකාරයෙන් විභාග පැවැත්විය යුතු වෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයෙක් නොවන අයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තිබෙනවා. අන් සෑම නායකයෙකුටම වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙනවා. දැන් පාතාලය කොනක සිට සොයා ගෙන යනවා. කුඩු උල්පත වෙලා තිබෙන්නේ මත් දව්‍ය නාශක කාර්යාංශයය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොහිටින්න පොලීසියේ ලොක්කෝ කුඩු ජාවාරමේ යෙදෙන බව හෙලිකර ගන්න ලැබෙන්නේ නැහැ. ආයේ කිසි දිනක සහරාන්ලට මේ පොලොවේ ඉඩක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වේ නැහැ, සරල ජීවිතයක් ගත කරනවා කියල. බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරන කතා, කෙසෙල් කොලේ බත්කන කතා එතුමා කිව්වේ නැහැ. නමුත් අද එතුමා කොතරම් සරල ජීවිතයක්ද ගත කරන්නේ කියල අපි දන්නවා. වෙවර මැතිවරණ ව්‍යාපාරය දිහා වුණත් බලන්න. පෝස්ටර්, කටවුට් කිසි තැනක දක්නට නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්නුම් කළා පරිසර හිතකාමී මැතිවරණයක් කරන්නේ කොහොමද කියල. පසුගිය මැතිවරණ වලදී පන්සලේ තාප්පයක්වත් බේරා ගන්න පුළුවන් වුණේ නැහැ. දැන් තාප්ප වල විරිත්තගෙන ඉන්න පිංතූර නැහැ.

ජනාධිපති, අගමැති හැර අද රටේ ඉන්නේ ඇමතිවරු 13 දෙනයි. එයින් එකෙක් මෙතන ඉන්නවා. ආමි එක පොලීසිය ඉන්නවා ඔබ දැක්කද? ටී-56 ක් තියා කැටපෝලයක්වත් තියන් ඉන්න කෙනෙක් ඉන්නවා දැක්කද? ඉස්සර ඇමතිවරයාගේ ඩිෆෙන්ඩර් එකට කලර් ලයිට් අදාල වුණේ නැහැ. අද ජනාධිපතිවරයා පවා රෙඩ් ලයිට් එකට වාහනය නතර කරන් ඉන්නවා.

මම, මෙතනට ආවේ මනාප ඉල්ලන්න නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට ගොඩ නගන්න, එතුමාට ශක්තියක් වෙන මිනිස්සු පාර්ලිමේන්තු යවන්න කියන්නයි. ගෝඨාභය මහත්තයගේ අඩි පාරේ යන කාට ඡන්දය දුන්නත් එය මට ලබාදුන් ඡන්දයක් ලෙස මා සලකනවා යැයි ද ඩලස් අලහප්පෙරු මහතා ප්‍රකාශ කළේය.

දෙවිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ආරියවංශ මහතාද මෙහිදී කතා කළේය.

– ජයකාන්ත ලියනගේ

***************************************

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් වන සමාජ බෙදීම අහෝසි කරන්න වහාම මැදිහත් වෙන්න – රතන හිමියෝ උලමා සභාවට දන්වති

(24.07.2020 – 11:33 +0530 – lankaleadnews.com)

ඉස්ලාම් ආගමික අන්තවාදයෙන් සිදුවන සමාජ බෙදීම අහෝසි කිරීමට වහා මැදිහත් වන ලෙස දන්වමින් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව වෙත ඊයේ (23 වැනිදා) ලිපියක් යොමු කළහ.

මෙම දන්වා සිටීම සම්බන්ධයෙන් ජමෙයිතුල්ලා උලමා සභාවේ ස්ථාවරය හැකි ඉක්මනින් දන්වන ලෙසත් එසේ නොවුණහොත් සමාජයට බාධා වන ක‍්‍රියාවන් නතර කිරීමට අවිහිංසාවාදී ක‍්‍රියාමාර්ගයක් ඔස්සේ මැදිහත් වන බවත් එකී ලිපියේ දැක්වෙයි.

ජමෙයිතුල් උලමා සභාව යනු මුස්ලිම් ජනතාවගේ සමාජ ජීවිතයට ඉමහත් බලපෑමක් කරනු ලබන ඉස්ලාම් ආගමේ ප‍්‍රධාන ආගමික සංවිධානය බවත් සඳහන් කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහෙයින් ඉස්ලාම් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් එම සංවිධානයට වගකීමක් ඇතැයි ද සඳහන් කරති.

අන්‍ය සංස්කෘතික අනන්‍යතාවන් පිළිගැනීමට තමන් වහන්සේලා සූදානම් නමුත් ආගමික අන්තවාදයන් පිළිගැනීමට සූදානම් නැති බවත් සඳහන් කරන පූජ්‍ය රතන හිමියෝ සිංහල, මුස්ලිම් සමාජය අතර බෙදීමට තුඩු දෙන ආගමික ප‍්‍රවනතා මෑත කාලයේ මතුවීමට ජමෙයිතුල්ලා උලමා සංවිධානය වගකිවයුතු බවටත් චෝදනා කරති.

මුස්ලිම් රටවල පවා ඇඳීම අධෛර්යමත් කර ඇති බුර්කාව හා නිකාබය වැනි ඇඳුම් ඇඳීමේ අන්තවාදී තත්ත්වයන් වෙනස් කළ යුතු බවත් මද්‍රාසා පාසල් තහනම් කළ යුතු බවත් එකී ලිපියේ දැක්වෙයි.

එසේම බාලවයස්කාර දරුවන් විවාහ කර ගැනීමේ නීති වෙනස් කර රටේ පවතින පොදු විවාහ නීතියට අනුගත විය යුතු බවත් ‘අල්ලා දෙවියන්’ විශ්වාස නොකරන අය හෙළා දැකීමත්, බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ආගමට ගැනීමත්, ඒ සඳහා හිංසනය යොදා ගැනීමත්, පිළිබඳව අදහස් පැතිරවීම නතර කළ යුතු බවත් රතන හිමියන් ජමෙයිතුල් උලමා සභාව වෙත යොමු කළ ලිපියෙහි දැක්වෙයි ෴

***************************************

නව උප්පැන්න සහතිකය යහපාලන ආණ්ඩුව සිංහල ජාතිය නසන්න අටවපු උගුලක් – පූජ්‍ය මැඳගොඩ අභයතිස්ස හිමි

(24.07.2020 – 11:19 +0530 – lankaleadnews.com)

උප්පැන්න සහතිකය වෙනස් කිරීම සහ රටේ ඓතිහාසික නටබුන් කඩා දැමීම මගින් සිදුකරනු ලබන්නේ ගෝඪාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස පත්කරගත් 69 ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට නොහැකි වන ලෙස සුළුතර ආණ්ඩුවක් පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව පූජ්‍ය මැදගොඩ අභියතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් දැක්වූයේ ඊයේ (23) විද්වත් භික්ෂු සංසදය කොලඹ දැවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අභයතිස්ස හිමියන් පැවසුවේ උප්පැන්න සහතිකය වෙනස් කිරීමේ කටයුතු පැවති පාලනය විසින් සිදුකරන ලද්දක් බවත්, එය යම්කිසි කුමන්ත්‍රණයක් ලෙස මෙම අවස්ථාවේදීද ඉදිරියට පැමිණ ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම සොයා බලා කිසියම් පියවරක් ගතයුතු බවද උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *