වහා හීලෑ කළ යුතු රාජ්‍ය නොවන සංවිධාන

(21.07.2020 – dinamina.lk)

රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ සමාජ සුභසාධනය බව පැවසුව ද වර්තමානයේදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට සෘජුව බලපෑම් කරන තත්ත්වයක් උදා වී වී තිබේ. එහි ප්‍රතිඵලයවී වී ඇත්තේ නිසි නීති රාමුවකින් තොරව තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසීම ය. එවැනි සංවිධාන නියාමනයකින් තොරව දීර්ඝ කාලීනව ලංකාව තුළ ක්‍රියාත්මක වුව හොත් මෙරට රාජ්‍ය යන්ත්‍රණයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇත.

මේ වන තෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියාත්මක වීම පිළිබඳ විධිමත් අවධානයක් යොමු වී නොමැති නමුත් විදේශ රටවල රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගෙන යෑම සදහා විධිමත් නීතී පද්ධතියක් තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතකි.ලෝකයේ සෑම රටකම රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීමට ඉඩ ලබා දෙන්නේ සුභසාධන සේවා සඳහා ය. 1931 දී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන සංවිධාන වන සෞඛ්‍ය සහ ආර්ථිකය පිළිබඳව කාන්තාවන්ගේ සංවිධානය බිහි විය. මෙම සංවිධානය ද බිහි වුයේ සුබ සාධන කටයුතු වෙනුවෙනි. මෙහිදී ආර්ථිකය වශයෙන් හඳුන්වා දී ඇත්තේ මූල්‍යමය ආධාර ලබා දීම ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පනතට අනුව රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යා යුත්තේ ද සුභසාධන සේවා සඳහා පමණි. එම පනතෙහි මූලික හරය වන්නේ ද එයයි.

රටක දරිද්‍රතාව නැති කිරීම, සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, ජල සම්පාදනය වැනි සුබ සාධන සේවා සඳහා පමණක් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කළ යුතු ය. දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන 153 ක් පමණ පමණ ලියාපදිංචි වී තිබේ. මීට අමතරව මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් දැක ගත හැකි නමුත් ඒ පිළිබඳ සොයා බැලීමට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් වී නෑ. එය වර්තමානයේදී ගැටලු කිහිපයකට තුඩු දෙන කාරණයක් වී ඇත.

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකට විදේශ රටක ඕනෑම කෙනකුට සම්බන්ධ වීමට හැකි නමුත් සංවිධානයේ ප්‍රධානත්වය ලබා දිය යුත්තේ ශ්‍රී ලාංකිකයකුට පමණි. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ රාජ්‍ය පද්ධතියට ඇතුළත් වී කටයුතු කළ නොහැකිය. එහෙත් පසුගිය කාලයේදී එවැනි දෑ සිදු විය. උදාහරණ ලෙස එවැනි එක් සංවිධානයක් මැතිවරණ කල් දැමීම සඳහා මැදිහත් වී කටයුතු කිරීම පෙන්වා දීමට පුළුවන. එසේ වුව සුභසාධන කටයුතු සඳහා පමණක් ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නොවන සංවිධාන රටක ව්‍යවස්ථාවට හෝ රාජ්‍ය පද්ධතියට සම්බන්ධ වී කටයුතු කිරීම, උසාවි යාම වැනි ක්‍රියා සිදු නොකළ යුතු ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිෂ්පාදන ආර්ථිකයෙන් සහ කර්මාන්ත ආර්ථිකයෙන් සොයා ගත් අතිරික්ත ධනස්කන්ධයෙන් අමෙරිකාව, යුරෝපය වැනි රටවල් මුදල්, තුන් වැනි ලෝකයේ රටවල සුභ සාධන කටයුතු සඳහා මූල්‍යමය ආධාර වශයෙන් ලබා දුණි. 1960-1970 වර්ෂවල වාමාංශික දේශපාලන පක්ෂ සමඟ ද රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළේය. අතීතයේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාවට සහ රාජ්‍ය යන්ත්‍රණයට සම්බන්ධ නොවී යම් සීමාවක සිටිමින් සුබ සාධනය වෙනුවෙන් කටයුතු කළද පසුකාලීනව රාජ්‍ය නොවන සංවිධාන පුද්ගලයන්ට රැකියා දෙන විශාල බලයක් පවතින බලාධිකාරියක් වී තිබේ. නමුත් අදටත් සර්වෝදය, රතු කුරුස, යුනෙස්කෝ, යුනිසෙෆ් වැනි සංවිධාන නිසි නීති රාමුවක් තුළ සමාජ සුබ සිද්ධිය සඳහා පවත්වා ගෙන යන බව මතක් කළ යුතුය. එවැනි සංවිධාන කිසි දිනෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට අනිසි බලපෑම් සිදු නොකරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ කාන්තා හා ළමා අමාත්‍යංශය තුළින් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය සඳහා කටයුතු කරද්දී රාජ්‍ය නොවන සංවිධාන මඟින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීමට පියවර ගැනීම අනවශ්‍ය කාර්යයකි. අමෙරිකාවෙහි පවා රාජ්‍ය නොවන සංවිධාන කිසි දිනෙක රාජ්‍ය යන්ත්‍රණයට බලපෑමක් සිදු කර නැත. එය අපේ රටට ද කදිම පූර්වාදර්ශයකි.

ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුකාරී තත්ත්වඇති වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ රටවලට ගොස් ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් පෙන්වා දීම හේතුවෙනි.උදාරහණ ලෙස ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ජීනිවා ගොස් ශ්‍රී ලංකාව පිළිබඳ කරන වැරදි ප්‍රකාශ පෙන්වා දීමට පුළුවන. සහරාන්ලාගේ බෝම්බ සිදුවීම පිටුපස සිටින්නේ ද රාජ්‍ය නොවන සංවිධාන වේ. අයි.එස්.අයි.එස්, එල්.ටී.ටී.ඊ යන සංවිධාන නඩත්තු වුයේ ද රාජ්‍ය නොවන සංවිධාන මඟිනි.

පසුගිය රජය සමයෙ ජනාධිපතිතුමාගේ බලතල යටතේ කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරයාට ආණ්ඩුකාර තනතුරක් ලබා දුනි. එවැනි සිදු වීමක් ලෝකයේ මීට පෙර සිදුව නැත. එවැනි දෑ මින් ඉදිරියට සිදු නොවීමට කටයුතු කිරීමට අදාළ බලධාරින් වග බලා ගත යුතු ය. රාජ්‍ය නොවන සංවිධානවලට වැඩි බලයක් ලබා දීම කිසිසේත්ම සුදුසු නොවේ. රට අභ්‍යන්තරයේ ප්‍රශ්න , ගැටලු ඇති කිරීමට සහ බලය පවත්වා ගැනීම අරමුණ කර ගනිමින් පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන යම් පාලනයකට නතු කළ යුතු ය.

සෑම රාජ්‍ය නොවන සංවිධානයක් ම ආණ්ඩුවට වාර්ෂික වාර්තාවක් ලබා දිය යුතු ය. එම වාර්ෂික වාර්තාව මඟින් කොතරම් වියදම් කර තිබෙනවා ද? ආධාර ලබා දී තිබෙන රටවල් මොනවා ද? යනාදී කරුණු විධිමත්ව දැන ගැනීමට පුළුවන. මව් ශාඛාවලට කොතරම් වාර්තා ප්‍රමාණයක් ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවේ රජයට නිරවුල් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් වේ. මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකරනු ලබයි. එවැනි දෑ සොයා බැලීමට ද කිසිවකු නොමැත. ඒ නිසා බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හිතුමතේ කටයුතු කරනු ලබයි. ඒ හේතුවෙන් රජය මඟින් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කරන ආකාරය, සිදු කරනු ලබන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් පත් කළ යුතු ය. ස්වේඡ්ජා සමාජ සේවා සංවිධාන පනත යාවත්කාලීන කිරීම ද වඩාත් වැදගත් ය. රාජ්‍ය නොවන සංවිධානවලට තිබෙන නීති තුළ රටේ ප්‍රශ්නවලට සම්බන්ධ නොවීම පිළිබඳ නීතීයක් ද සම්පාදනය කිරීම වඩාත් වැදගත් ය.

අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන, පශ්චාත් නූතන තත්ත්වය යටතේ විදේශ රටවල වැඩිපුර තිබෙන මුදල් වැය කර එම රටවල ප්‍රශ්න අපේ රට අභ්‍යන්තරයට ගෙන එමින්, අනිසි බලපෑම් සිදු කරන පිරිසක් බවට පත්ව ඇත. එනිසා අනවශ්‍ය වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමත්, සේවයක් සිදු කර ඇති සංවිධාන පිළිබද සොයා ලැබීමත් කළ යුතු ය. රටට හානි කරන රාජ්‍ය නොවන සංවිධාන වහා අත්හිටුවිය යුතු ය.

සාකච්චාකළේ : මදාරා මුදලිගේ

***************************************

ගෝඨාභය කියන්නේ දේශපාලනඥයෙක් නොවන නිසා ඔහු ගැන විශ්වාසයි – මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහණ බැද්දගේ

(22.07.2020 – aruna.lk)

‘දන්නා තරම් පද කස්තිරම් නටලා මට දැන් එපා වෙලා…..’ බන්දුල වි​ජේවීර සමග එසේ ගී කී රෝහණ බැද්දගේ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස වැඩ භාර ගනිමින් රටින් පිටව ගියේය. දැන් නටලා එපා වෙලාදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.

පද කස්තිරම් නටලා එපා වෙන්නේ නැහැ.. ඒත් ඊට අවශ්‍ය ජවය දැන් තමන් තුළ නැති බවයි ඔහු කියන්නේ.

මේ මාලදිවයිනට ගොස් තනතුරේ වැඩ භාර ගැනීමට මත්තෙන් ඔහු ‘සති අග අරුණ’ සමග කළ සාකච්ඡාවකි.

මේ ඔබ බලාපොරොත්තු වූ තනතුරක්ද..?

නෑ…මම කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු වුණේ නැහැ. දවසක් මමත් මගේ නෝනාත් ගියා වෙද මහත්තයා හමුවෙන්න. වෙද ගෙදර ළඟ කාර් එක නතර කරද්දී මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවා.

“හලෝ කවුද..?” කියලා මං ඇහුවා.

“මම ගෝඨාභය..” කියලා අනෙක් අන්තයෙන් උත්තර දුන්නා.

“අනේ සමාවෙන්න ජනාධිපතිතුමා .. මුලින්ම කවුද කියල හඳුනගත්තේ නැහැ.. මම මේ වෙද ගෙදරට ආවා..” කියා මං කිව්වා.

“බැද්දගේ මහත්තයා කැමැතිද මාලදිවයිනේ මහ කොමසාරිස් තනතුර භාර ගන්න..” කියා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා.

“අනේ ජනාධිපතිතුමනි මට දැන්ම මොකුත් කියන්න බැහැ.. මගේ නෝනාගෙන්, දරුවන්ගෙන් අහලා කියන්නම්..” මම කිව්වා.

“හොඳයි එහෙමනං සතියක් ඇතුළත මට කියන්න” කියලා ජනාධිපතිතුමා මට දුරකතන අංකයක් දුන්නා.

මම ඒ වෙලාවෙම මගේ නෝනට කිව්වා.

“දරුවන්ගෙනුත් අහන්න” ඈ කිව්වා. ගෙදර ගිහින් දරුවන්ට මේ ගැන කිව්වා.

“හැම කෙනකුටම ලැබෙන අවස්ථාවක් නෙවෙයිනේ.. තාත්තා යන්න” කියලා දරුවො කිව්වා. නෝනා මහත්තයත් කැමැති වුණා. සතියකින් මම ජනාධිපතිතුමාට දුරකතන ඇමතුමක් දුන්නා.

“බැද්දගේ මහත්තයගෙ තීරණේ මොකද්ද.. මාලදිවයින හොඳ රටක්.. ගැටුම් නැහැ. ජනතාවත් හොඳයි. අනෙක පැය භාගෙක, විනාඩි හතළිස් පහක ගමන.. බැද්දගේ මහත්තයට ඕක කරන්න බැරිකමක් නැහැ..” කියලා ජනාධිපතිතුමා කිව්වා.

“කැමැතියි ..” කියලා මං කිව්වා.

“එහෙමනං බැද්දගේ මහත්තයාගේ ‘බයෝ ඩේටා’ එකක් ලේකම්තුමාට එවන්නකෝ..” එතුමා කිව්වා.

ජනාධිපතිතුමාම ඔබව මෙවැනි තනතුරකට යෝජනා කිරීම ගැන ඔබ විමතියට පත්වෙන්න ඇති..?

ඔව්. පස්සෙ මං සොයා බැලුවා ජනාධිපතිතුමා මට මේ ආකාරයට කතා කරන්න හේතුව. මට කීප දෙනෙක්ම කිව්වා ජනාධිපතිතුමා දින ගණනාවක සිට කීපදෙනකුගෙන්ම මා ගැන තොරතුරු විමසා ඇති බව. ශ්‍රියන්ත මෙන්ඩිස් ගෙනුත් එතුමා මා ගැන අසා තිබෙනවා. ශ්‍රියන්තත් මාව ‘රෙක්මන්ඩ්’ කර තිබෙනවා.

මේ වගේ තනතුරක් ලබන්න ඔබ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන සහයෝගය ලබා දෙන්න ඇති..

මම හොඳ වැඩේට හොඳයි කියනවා.. නරක වැඩක් නම් නරකයි කියනවා. ඒක තමයි මගේ දේශපාලනය. ඇත්තටම මට ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන තද බල විශ්වාසයක් තියෙනවා. මට වගේම එතුමව මුළු රටටම විශ්වාසයි. ඒ ගෝඨාභය කියන්නේ දේශපාලනඥයෙක් නොවන නිසා. ඔහු දේශපාලන පක්ෂයක කෙනෙක් නොවේ. එතුමන් විනය ගරුක කෙනෙක්. එවැන්නෙක් මගෙන් ඉල්ලීමක් කළාම එකඟ නොවන්නේ කොහොමද. මම ඒ කාලේ එතුමන් වෙනුවෙන් යම් යම් රැස්වීම්වලට සහයෝගය දැක්වූවා. ඇත්තම කිව්වොත් ජනාධිපතිවරණයේදී මම එතුමාට සහාය දුන්නා. ඒ වෙනුවෙන් එතුමන් කෘතගුණ දැක්වීමක් වෙන්නත් ඇති මේ තනතුර. රට වෙනුවෙන් යම් සේවයක් වෙනවා නම් ඒ සඳහා මගේ සහාය දෙනවා. දේශපාලනය කිරීමේ අයිතිය හැම කෙනකුටම තියෙනවනේ.

හොඳයි. ඔබ එදා ඔබේ ජීව දත්ත තොරතුරු (බයෝ ඩේටා එකක්) ජනාධිපති ලේකම්ට යවන්න ඇතිනේ. ඉන් පස්සේ මොනවද වුණේ..?

ඉන් පස්සේ දවසක් මාව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳෙව්වා. එතැනදී සම්මුඛ පරීක්ෂණයකට මාව ලක් කළා. ඒ කාරක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය වගේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් හිටියා. ඒ අය මාව බොහෝම හිතවත් විදිහට පිළිගත්තා.

“මාලදිවයිනේ මහ කොමසාරිස් වු​ණොත් රට වෙනුවෙන් බැද්දගේ මහත්තයගෙ සැලසුම් මොනවද..” කියා ඒ අය විමසුවා.

මම කිව්වේ මගේ ක්ෂේත්‍රය සංස්කෘතිය. මට පුළුවන් ඒ පැත්ත දියුණු කරන්න. සංස්කෘතික හුවමාරු වැඩ සටහන් කරන්න. විදුලි ආලෝකය නිවි නිවි පත්තුවෙද්දී කරන නැටුම්වලට මිසක් අපේ පාරම්පරික නැටුම් සහ සංගීත ශිල්පීන්ට ජාත්‍යන්තර වේදිකාවක් නැහැ. අපේ තෙල්මේ නැටුම්වලට, පන්දම් නැටුමට, ලෝකේ තැනක් නැහැ. අපේ දෙවොල් මඩුව, බෙර හඬ , තම්මැට්ටම ලෝකේ කිසිම රටක නැහැ. අපේ කෝළම් මඩුව, පහතරට බෙර හඬට සංචාරකයන් හුරු කළ යුතුයි. අපට පුළුවන් මේ හැංගිලා ඉන්න කලා ශිල්පීන්ව ලෝකයට හඳුන්වා දෙන්න. අපේ රට විදේශීය සංචාරකයන් ආකර්ෂණය වන රටක්. අපේ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ දිනපතා අපට පුළුවන් අපේ සංස්කෘතික සංදර්ශන පවත්වන්න. අපට පුළුවන් ඒ රටේ අය අපේ රටට එවන්න. අපේ ශිල්පීන්ගේ දස්කම් ඒ රටේ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කරන්න. රටට විදේශ විනිමය උපයා ගන්නත් හැකිවෙනවා. මේ සඳහා සංචාරක මණ්ඩලයේ සහායත් ලබාගතයුතු වෙනවා. මම මේ විස්තරය උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවේ පැවැසුවා. කරු ජයසූරිය මහතා පැවැසුවා එය ‘හොඳ අදහසක්’ කියා. ඒ වගේම එහි සිටි ජෝන් අමරතුංග මහත්තයා කිව්වා ‘අපේ ධීවරයන් කුණාටුවලට හසු වෙලා නිතරම මාලදිවයිනේ දූපත්වලට ගසාගෙන යනවා.. ඒ අය ගැනත් බලන්න වෙනවා’ කියලා. ‘ඒ අය නැවත ලංකාවට එවීමේ කටයුත්ත මම කරන්නම්’ කියා මං කිව්වා.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඔබව සමත් කළාට පස්සේ මොකද වුණේ..?

ඉන් පස්සේ මට ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට නියම කළා. කිසිම ලෙඩක් නෑ. ඔක්කොම හොඳයි කියලා වාර්තාවක් ලැබුණා. ඊට දවස් කීපයකට පස්සේ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ සතියක වැඩමුළුවක් පැවැත්වූවා. මා ඇතුළුව රටවල් දහයකට අලුතින් පත්කරන තානාපතිවරුන් මේ වැඩමුළුවට සහභාගී වුණා.

මොනවද ඉගැන්වූවේ…?

ඒ ඒ රටවල ආර්ථිකය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ආනයන අපනයන ගැන, සංස්කෘතීන් ගැන ඉගැන්නුවා. අපි ඒ රටට ගියාට පස්සේ එහි සිටින අපේ රටේ මිනිසුන් පිළිබඳ වගකීම භාර ගතයුතුයි. ඒ රටේ ඉන්න අපේ රටේ කෙනෙකුට දරුවෙක් ඉපදුණොත් රෙජිස්ට්‍රාර්ගේ කටයුත්ත පවා තානාපති ලෙස මා විසින් කළ යුතුයි. ඒ දරුවා ලංකාවේ ළමයෙක් බවට උප්පැන්නය ලියාපදිංචි කළ යුතුයි කියන කාරණා අපට කියා දුන්නා. ඒ රටවල අපේ අයගේ හැසිරීම්, චාරිත්‍ර විධි වගේම චර්යා රටාවන් පිළිබඳවත් විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒත් ඊට කලින් තමන් චරිතවත් විය යුතුවීම වැදගත්.

ඔබ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්. මින් ඉදිරියට රොහණ බැද්දගේ කියන කලා ශිල්පියාට මොනවා වේවිද..?

අමරදේව මහත්තයා පවා අවසාන කාලයේ ගෙදරට වෙලානේ හිටියේ. වයසට ගියාම ගයන්න නටන්න බැහැ. මම මේ තරම් කාලයක් කලා ජීවිතය තුළ ගත කළානේ. දැන් මටත් ගීයක් ගයද්දී පිච් එක හොයා ගන්න බැහැ. මම නැටුම් ශිල්පයේ නියැළුණු කෙනෙක්. ඒත් අද මට නටන්න ජවය නැහැ. එහෙම අය වේදිකාවට ආවම කැතයි. මාලක්කම ගහන්න දැන් මට බැහැ. ඒත් ඒක කරන ආකාරය මට කියා දෙන්න පුළුවනි. ‘පුළුවන්නම් කරපන් නැත්තන් උගන්නාපන්’ කියලා කතාවක් තියෙනවනේ. මම කලාකරුවකු ලෙස මේ තරම් කාලයක් කළ දේ මට පුළුවන් විදිහට උගන්නනවා. සමහරු කියයි කලාකරුවකු විදිහටම හිටපං කියලා. ඒත් මට කරන්න බැරිදේ බැහැම තමයි. මට බැරිදේ මගේ වරිගේ අනෙක් අය ලවා කරවන්න දිරිමත් කළ හැකියි. මගේ වයසට අනුව රට වෙනුවෙන් කළ හැකි යමක් තියේනම් මං ඒක කරනවා. මට මගේ නම පවත්වාගෙන යන්න දඟලන්න ඕන නැහැ. මම හොඳින් අනිත්‍ය ගැන දන්නවා.

පැවරෙන වගකීම් අනුව මහ කොමසාරිස් තනතුර අභියෝගයක් ලෙස ඔබ සලකනවද..?

සමහරු නම් එක එක දේ කියනවා. මම ඕනෑම අභියෝගයක් භාර ගන්නවා. පාසල් කාලයේ මම කෙඩෙට් නිලධාරියෙක්. අහස් යාත්‍රාවලට වෙඩි තියන්න පවා මං පුරුදු වුණා. මෝදර කෑම්ප් එකේ යුද්ධ පුහුණුවත් ලැබුවා. හමුදා පුහුණුවක් ඇති අයකු තුළ ස්වයං විනයක් තියෙනවා. සෑම ළමයකුටම අවුරුද්දකට හය මාසයක්වත් යුද පුහුණුව ලබා දෙනවා නම් හොඳයි කියන මතයේ තමයි මම ඉන්නේ. අනෙක පාසල් විෂය තුළ අනිවාර්යයෙන්ම ආචාර ධර්ම ඉගැන්විය යුතුයි. රටක ජනතාව තුළ ස්වයං විනයක් ඇත්නම් ඒ රටට උසාවි අවශ්‍ය නැහැ. වරදක් කරලා මම කිසිම දවසක පොලිසියට හසුව නෑ. මේ කරුණු එක්ක මම හිතනවා මට තානාපතිකමක් කරන්න පුළුවන් කියලා.

සමහරු කියනවා තානාපතිකම් කරන්නේ කොහොමද බැද්දගේ මහත්තයට ඉංග්‍රීසිත් බැහැනේ කියලා…?

ඔව්..ඔව්.. මුහුණු පොතේ එහෙම සමහරු කියලා තිබ්බා. බැද්දගේට ඉංග්‍රීසි පුළුවන්ද කියලා. ඒවා විකාර කතානේ. මම එස්.සී.සී. විභාගය කළේත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මම බොහෝ රටවලට ගිහින් තියෙනවා. ඒත් සුද්දන්ට ‘ගුඩ් මෝර්නින්’ කියලනම් කියන්නෙ නැහැ. මම සුද්දන්ට පවා ‘ආයුබෝවන්’ කියලා කියන මිනිහෙක්. මම රට රටවලට යන්නේ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය කටයුතු කර තිබෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කර තිබෙනවා. ඕනෑම තැනකට ඒ තැනට ඔබින විදිහට ‘සෙට්’ වෙන්න මට පුළුවන්. අධ්‍යාපනය යනු ජීවිතයේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඇති ශක්තියයි. සමහරු කියා තිබුණා මට මාලේ භාෂාව දන්නෙත් නැහැ කියලා. දැන් ජර්මන් යන අය ඒ රටට යන්නේ ජර්මන් දැනගෙනද. අපේ රටට එන පිට රටවල තානාපතිවරුන්ට සිංහල පුළුවන්ද. අනෙක මාලදිවයිනේ මුල් පදිංචිකරුවන් සිංහල බවයි මම ආසා ඇත්තේ. ඒ කාලේ සිංහල භාෂාව කතා කළ බවට නෂ්ටාවශේෂ තියෙන බවත් දැන ගන්න තියෙනවා. මහාචාර්ය ජේ.බී. දිසානායක කළා වගේම මමත් මේ පිළිබඳ පර්‌යේෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ මින් පෙර මාලදිවයිනට ගොස් තිබෙනවද..?

නෑ. මම මාලදිවයිනට ගිහින් නැහැ. මම පළමුවරට මාලදිවයිනට යන්නේ ඒ රටේ ශ්‍රී ලංකා මහ කොමසාරිවරයා හැටියටයි. ඒක ලොකු අත්දැකීමක්.

ඔබ ගැමිකම, අපේකම අගයමින් ගහකොළ, වෙල්යායෙ, කමතෙ සුළං පහස විඳින ගැමියෙක්. මේ ගැමි සුන්දරත්වය අතහැරලා මාලදිවයින වැනි සාගරයෙන් වටවූ දූපතක ජීවත් වෙන්න ඔබේ සිත ඔබට ඉඩ දෙයිද?

ඒකනේ මම කිව්වේ.. තැනට ගැළපෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. ඔය ඔබ කියූ සුන්දරත්වය විඳින කෙනෙක්ව හිරේ දැම්මොත් ඒ පරිසරය එහි තියෙනවද.. පාර්ලිමේන්තුවට ගියොත් එතැන තියෙනවද ඔය පරිසරය. මම පරිසරයේ සුන්දරත්වය හොඳින් අත්විඳපු කෙනෙක්. මගේ ගෙදර ඉදිරිපස තියෙන මේ බෙලි ගහ හැමදාමත් මගේ හිතේ සටහන්වෙලා තියෙනවා. ඒ වගේ තමයි ගමේ සුන්දරත්වය මගේ හිතෙන් මැකෙන්නේ නැහැ. භෞතික ලෙස සලකද්දී හැම දේම අනිත්‍යයිනේ. කොහොම වුණත් මේ අලුත් කටයුත්ත මට ‘චැලෙන්ජ්’ එකක්. ඒක රට වෙනුවෙන් හැකි උපරිමයෙන් නිවැරදිව කරනවා. බැරි වුණොත් ආපහු එනවා.

පවුලේ සියලුම දෙනා ඔබ සමග මාලදිවයිනට යන්නද සූදානම..?

නෑ.. මමයි මගේ බිරිඳයි විතරයි යන්නේ. අපේ උදව්වට කෙනෙක් ගෙන යන්න පුළුවන්. අපි ශ්‍රී ලංකාවේ වගේම ඒ රටේත් චාම් විදිහට ජීවත් වෙනවා. තානාපති විදිහට සැප විඳින්න වුවමනාවක් මට නැහැ. මම සැර බීම ජාති පාවිච්චියකුත් නැහැනේ. අපි චරිතයක් හදා ගත්තු උදවිය. ඒ චරිතවත් බවට අභියෝග කරන්න හෝ හානියක් කරන්න කිසිම කෙනකුට බැහැ. ඒත් මං ගැන කතාකරන සමහරුන්ගේ චරිතය ගැනනම් මම දන්නේ නැහැ. කෙනකුගේ චරිතය ඔහු භාවිත කරන වචනවලින් ප්‍රදර්ශනය වෙනවා.

ඔබ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාර ගන්නේ ප්‍රශ්න සහගත කාලයක. කොරෝනා උවදුර නිසා එහි සිටින ශ්‍රී ලාංකිකයිනුත් පීඩාවට පත්ව සිටිනවා..

ඒක නම් ඇත්ත. මා මහ කොමසාරිස් ලෙස පත්වන බව ආරංචි වූ බොහෝ දෙනෙක් පහුගිය කාලයේ අපේ ගෙදරට ආවා. මේ අය ඉල්ලා සිටියා එහි සිටින තමන්ගේ දූ දරුවන් ලංකාවට ගෙන්වා දෙන්න කියලා. මම තවම එහි ගොස් රාජකාරී භාර ගත්තේ නැහැ. ඒත් වැඩ බලන මහ කොමසාරිස්තුමන්ට දැනුම්දීලා මම එහි සිටින ලංකාවේ අය පනස් අටදෙනකු (58) ගෙන්වා දුන්නා. මම හිතනවා එහි ගිය පසු මට හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් වේවි කියලා. ඒ රටේ ඉන්න අපේ අයව හොඳින් බලාගන්න මට පුළුවන් වේවි. හැම සිකුරාදාවකම සංස්කෘතික ප්‍රසංගයක් එහි පවත්වනවා. අපේ රටේ ශිල්පීන් ගෙන්වා ගන්නත් මට පුළුවන් වේවි. සංචාරක මණ්ඩලය මට ඒ සඳහා සහයෝගය දෙන්න එකඟ වුණා. මම හිතන්නේ මේක රෝහණ බැද්දගේට ලැබුණු පෞද්ගලික වාසියක් නොවේ.. අපේ රටේ සමස්ත කලාකරුවාටම ජනාධිපතිතුමා විසින් ලබා දුන් ගෞරවයක්.

– අජිත් අලහකෝන්

***************************************

යක්කල අනතුරකින් අඹුසැමි යුවළක් මරුට

(24.07.2020 – 09:44 +0530 – lankadeepa.lk)

යක්කල – කිරිදිවැල මාර්ගයේ යක්කල පොල ඉදිරිපිට විදුලි රැහැන් කණුවක මෝටර් රථයක් ගැටී රථය දෙකඩ වීමෙන් එහි ගමන්ගත් අඹු සැමි යුවළ මිය ගොස් දරු දෙදෙනා (2) සහ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යක්කල, කිනිගම පදිංචි 43 සහ 40 හැවිරිදි වයස්වල පසුවන අඹුසැමි යුවළකි.

අඹුසැමි යුවළ සමඟ දරු දෙදෙනා බදුල්ලේ සිට බස් රථයකින් පැමිණ යක්කල නගරයෙන් බැස ඥාතියකුගේ කාරයකින් නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

රථය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ 13 සහ 20 හැවිරිදි දියණියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් රියදුරා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවත් යක්කල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතා පැවසීය.

මියගිය අයගේ සිරුරු ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (24) සිදු කිරීමට නියමිතය.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=pB0wCK9MIJA#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *