රටම කළඹමින් IDH රෝහලෙන් පැන්න සැකකරු ඇල්ලූ ජාතික රෝහල් සේවකයන් දෙදෙනා (2) මෙන්න

(24.07.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම පළා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත යළි රැගෙන යාමට අවශ්‍ය පියවර ගනු ලැබූ බවයි.

මොහු හඳුනා ගැනීමට සහය වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් (2).

මෙම මත්ලෝලී කොරෝනා ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලෙන් පළා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියා.

මෙලෙස අයි.ඩී.එච්. රෝහලෙන් පළා ගියේ ත්‍රිකුණාමලය – වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නැමති 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණා.

මොහු අයි.ඩී.එච්. රෝහලෙන් පළා යාමෙන් පසු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට සිටියදී හඳුනා ගැනුණේ අද (24) පෙරවරු 10 ට පමණයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රෝහල් කාර්ය මණ්ඩලය විසින් අදාළ පුද්ගලයා යුද හමුදාව වෙත භාරදීමට කටයුතු කළ අතර, ඔහු කොළඹ ජාතික රෝහල වෙත පැමිණි බව කියන ත්‍රිරෝද රථයේ රියදුරු ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අදාළ පළා ගිය කොරෝනා ආසාදිතයා හඳුනා ගැනීම සඳහා සහය වූ කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියා.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2753 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 2077 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 665 දෙනෙකු පමණක් බවයි.

***************************************

හෙට (25) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(24.07.2020 – 10:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) රාත්‍රී 8 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ඉරිදා පෙරවරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

අංගොඩ ලොක්කාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී

(24.07.2020 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මියගිය බවට වාර්තා වුණු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ‘මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ පවුලේ සාමාජිකයන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඔහු ලබාදුන් ඇමතුම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ ලබාගැනීමට අදහස් කරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී විෂක් ශරීරගත කර ඝාතනය කර ඇති බවට ඊයේ (23) ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බවයි.

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැසකට ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ ට චෝදනා එල්ල වන්නේ කලක සිටයි ෴

***************************************

ඔත්තුකරුවෙකුට දුන් තෑගි මුදලින් ලක්ෂ 75 ක්, නාකොටික් නිලධාරියෙකුට – සී.අයි.ඩී. වාර්තාවකින් හෙළිවේ

(24.07.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ඔත්තුකරුවෙකුට ලැබුණු තෑගි මුදලෙන් රුපියල් ලක්ෂ 75 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක තාරක සුබෝධ නැමැත්තා ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

විමර්ශන වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඔත්තුකරු කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ඔහු 2016 වසරේ සිට 2019 දක්වා කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම කටුනායක ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝ 20 ක් ගෙන්වීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලබාදී තිබෙනවා.

එලෙස සාර්ථක තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මෙම ඔත්තුකරුට රුපියල් 2,75,00,000 පිරිනමා ඇති බව සඳහන්.

ඉන් රුපියල් 75 ලක්ෂයක මුදලක් පොලිස් පරීක්ෂක තාරක සුබෝධ නැමැත්තා ණයක් ලෙස ලබා ගත් බවට අදාළ ඔත්තුකරු ප්‍රකාශයක් ලබාදී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබදතා පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන ප්‍රශ්න කරන උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග නැමැත්තා සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය පෞද්ගලික වාහනවලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

එලෙස ප්‍රවාහනය කළ මත්ද්‍රව්‍ය පරෙවි සුදා හා ලොකූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බවයි විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයට පෙන්වා දී ඇත්තේ ෴

***************************************

විජයදාස රාජපක්ෂට දේශපාලන පළි ගැනීම් සොයන ජනපති කොමිසමෙන් කැදවීමක්

(24.07.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂට අගෝස්තු 12 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසී නිකුත් කර තිබෙනවා.

ඒ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහායි.

ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහනාධාර මුදල් ලබාදීම සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරිමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වු සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීමේ සිද්ධීන් වලට අදාලව, තමා අත්අඩංගුවට ගැනීම දේශපාලන බලපෑම් මත සිදුකර ඇතැයි වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාල සාක්ෂි විමසීම ඊයේ (23) සිදුවුණා.

සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කලේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව, අදාළ සිද්ධියට කෙසේ හෝ සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවය යහපාලන ආණ්ඩුව පැවති බවයි.

අමාත්‍යවරයා සෘජුව සම්බන්ධ කල නොහැකි බැවින් අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි තමාටද පදනම් විරහිත චෝදනා ගොනු කරමින්, අත්අඩංගුවට ගැනීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු කරනු ලැබුවේ දුෂණ විරෝධි කමිටුව කල පැමිණිල්ලකට ආදාලව බව සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

කොමිසම සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ‘ජාතික විධායක සභාවේ’ අනුමැතියට යටත්ව දුෂණ විරෝධි කමිටුව පිහිටුවා ඇති බවයි.

‘ජාතික විධායක සභාව’ යනු කුමක්දැයි කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහිදී විමසා සිටියා.

නීතිඥවරුන් සහ සාක්ෂිකරු එහිදි දැනුම් දුන්නේ මීට පෙර එවැනි ආයතනයක් පිළිබද අසා නොමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි ආයතනයක් සඳහන් නොවීම හේතුවෙන් එහි නෛතිකභාවය පිළිබද ගැටළුවක් මතුවන බැවින් ඒ පිළිබද විමසීමට සාක්ෂිකරුවෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමට කැඳවීමට එහිදී තීරණය කලා.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තමා අත්අඩංගුවට ගෙන රාත්‍රි කාලයේ කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී ධම්මික හේමපාල මහේස්ත්‍රාත්වරයා එහි කටයුතු කළ බවයි.

***************************************

වරෙන්තු නිකුත්කර තිබියදී සහරාන්ගේ ප්‍රබල සාමාජිකයෙක් අත්අඩංගුවට නොගත් බවට හෙළිදරව්වක්

(24.07.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ ත්‍රස්‍ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වූ ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත්ව තිබීයදී, සැකකරු සිටින ස්ථානය අනාවරණය වූ පසුත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු ජනපති කොමිසම හමුවේ ඊයේ (23) පිළිගත්තා.

මෙලෙස සාක්ෂි ලබාදුන්නේ, ප්‍රහාරයට පෙර සිට සහරාන් ඇතුළු පිරිස ගැන විමර්ශන කරමින් සිටි නිලධාරියෙක්.

***************************************

ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි

(24.07.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 07:30 සිට ප.ව 03:30 තෙක් පාසල් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කර තිබෙනවා.

2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28, 29, 30, 31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා.

මෙම කාලසිමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර, මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද විදුහල්පතිවරුන් වෙත එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ජුලි 22 සිට අගෝස්තු 31 දක්වා – මෙවර අයදුම්පත් online ක්‍රමයෙන් පමණයි

(24.07.2020 – 17:19 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර භාරගනු ලබන්නේ ජුලි මස 22 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පමණක් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් සෑම අපේක්ෂකයෙකුම සිය අයදුම්පත්‍ර යොමු කළ යුත්තේ මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වනවා.

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතෙහි අදාළ ඉතිරි කොටස් සම්පූර්ණ කර තැපෑල මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත්‍ර පිරිවෙනේ / පාසලේ අදාළ පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ හෝ විදුහල්පති මගින් යොමු කළ යුතු වනවා.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේවන විට සියලුම පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා සහ විදුහල්පතිවරුන් වෙත තැපෑල මගින් යවා ඇති අතර එම උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ද පළකර තිබෙනවා.

පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන උපදෙස් ද එම වෙබ් අඩවියෙහි පළකර ඇති අතර එම අයදුම්කරුවන් ඍජුවම www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර සම්පූර්ණ කර යොමු කළ යුතුයි.

අනතුරුව එහි මුද්‍රිත පිටපතෙහි ඉතිරි කොටස් සම්පූර්ණ කර තැපෑල මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් මෙම දුරක්ථන අංක මගින් විමසීම් කළ හැකියි.

011 278 4537 ,
011 278 4208 ,
011 318 8350 ,
011 314 0314 හෝ
1911 ක්ෂණික ඇමතුම් අංශයෙන් තොරතුරු ලබාගත හැකියි ෴

***************************************

අයිස් සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා සේවයෙන් ඉවතට

(24.07.2020 – 14:45 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා සේවයෙන් පහ කිරීමට සුරාබදු අධිකාරිය තීරණය කර තිබෙනවා ෴

***************************************

රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙලට එක්වන්නැයි සියලු ජාතීන්ට අගමැතිගෙන් ආරාධනා

(24.07.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙලට එක්වන ලෙස තමන් සියලු ජාතීන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ත්‍රිකුණාමලයේදී පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

වසර ගණනාවක් තිස්සේ අලින්ගෙන් බැටකන කෝන්කැටිය ගම්වාසීන්

(24.07.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත් කරන සංසිද්ධියක් බවට පත්ව තිබෙනවා. නමුත් තවමත් මේ ගැටළුවට නිසි විසඳුම් ලැබී නැහැ.

වසර ගණනාවක් තිස්සේ මේ සියලු හානිවලට නොඅඩුව මුහුණපාන බුත්තල කෝන්කැටිය ගම්මානය සොයා අප පසුගියදා ගමන් ආරම්භ කළා.

අප එහි යන විටත් ගම්වැසියන්ගේ වගාබිම් වන අලින් තම සින්නක්කරයට ගෙන තිබුණේ මේ ආකාරයෙන්.

***************************************

පාස්කු කොමිසමේ නිලධාරින් වනාතවිල්ලූවට

(24.07.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් අද (24) වනාවිල්ලූව – කරතිව් අරාබි විද්‍යාලය නිරීක්ෂණය කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවන්ට පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබාදී ඇති බවටයි ෴

+++++++++++++++++++++

සහරාන් දරුවන්ට අවි පුහුණුව දුන් බව පැවසෙන කරතිව් අරාබි පාසල

(24.07.2020 – 17:23 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (24) වනාතවිල්ලුව ‘කරතිව් අල් සුහරියා’ අරාබි විද්‍යාලය නිරීක්ෂණය සඳහා එහි ගොස් තිබේ.

එම කොමිසමේ නිලධාරීන් පාසල් භූමිය නිරීක්ෂණයට ලක්කර ඇති අතර ‘කරතිව් අල් සුහරියා’ අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීම් ද සිදුකර ඇත.

මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ දරුවන් පිරිසකට පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

සහරාන් දරුවන්ට අවි පුහුණුව දුන් බව පැවසෙන කරතිව් අරාබි පාසල

***************************************

ආරක්ෂක ලේකම්ගෙන් පාතාලයට රතු එළියක්

(24.07.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

පාතාල ක්‍රියාකාරකම් නිර්මාණය වීමට හේතුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

රජරට විශ්ව විද්‍යාලයේ අද (24) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගතවූ වසර කිහිපය තුල පැවති ආකාරයෙන් රට තවදුරටත් පැවතියේ නම් කාන්තාවකට හෝ මාර්ගයක නිදහසේ ගමන් කිරීමට අවස්ථාවක් හිමි නොවන බවයි.

ජීවිත තර්ජන එල්ල වුව ද පාතාලය මර්දනය කිරීමට ආරම්භ කළ සටන අත් නොහරින බව ඔහු කියාසිටියා.

***************************************

දැරියක්ව දූෂණයකර ඝාතනය කළ සැකකරු සොයාගැනීමට මහජන සහය පතයි

(24.07.2020 – 16:54 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම පොලිස් වසමේ ආසිරිගම, සිරම්බිඅඩිය ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10 ක දැරියක් දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

සැකකරු, අලීයා මරික්කාර් වත්ත ආසිරිගම, සිරම්ඹිඅඩිය ලිපිනයේ පදිංචිව සිටි ලෝමු මුදියන්සේලාගේ සිමියොන් ඇලෝසියස් නම් අවුරුදු 41 ක පුද්ගලයෙකි.

ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 791975050V වේ. එය නිකුත් කර ඇත්තේ 2011.08.29 වන දා ය.

සැකකරුගේ හැඳුනුම්පතේ ලිපිනය වන්නේ අංක 144/1, පෙරියකුලම, පාලවිය, පුත්තලම වේ.

මොහු සම්බන්ධ තොරතුරක් වෙතොත්
119 / 071 859 1292 / 032 226 5222 / 032 226 5422 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති ෴

***************************************

රංචුවෙන් මගහැරුණු අලි පැටවා

(24.07.2020 – 16:47 +0530 – sinhala.adaderana.lk)

ගල්ගමුව, පාලුකඩවල වැව් ඉස්මත්තේ සැරිසරන වන අලි රංචුවකට අයත් අලි පැටවෙකු රංචුවෙන් මගහැරී නාකොළගනේ ගම්මානයට පැමිණ ඇති බව වාර්තා වේ.

ගල්ගමුව, පාලුකඩවල වැව් ඉස්මත්තේ සැරිසරන වන අලි රංචු නිරන්තරයෙන් ආහාර සොයා අසළ පිහිටි ගම්මානවලට ගමන් කරන බව වාර්තා වේ.

රාත්‍රී කාලයේ ආහාර සොයා ගිය එම වන අලි රංචුවට අයත් අලි පැටවෙකු මෙසේ රංචුවෙන් මගහැරී නාකොළගනේ ගම්මානයට පැමිණ තිබේ.

අලි පැටවා දුටු ගම්වාසීන් ඒ පිළිබඳ ගල්ගමුව වනජීවී කාර්යාලය දැනුම්වත් කර ඇති අතර වනජීවී නිලධාරීන් පැමිණ අලි පැටවා පාලුකඩවල වැව් ඉස්මත්තේ සිටින අලි රංචුවට එක්කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

වන ජීවී නිලධාරීන් අතරමං වූ අලි පැටවාද රැගෙන වන අලි රංචුව ජලය පානය කිරීම සඳහා පැමිණෙන තෙක් බලා සිටියද අලි රංචුව එදින පාලුකඩවල වැව් ඉස්මත්තට නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ හේතුවෙන් අලි පැටවා අනුරාධපුර පන්ඩුලගම පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණි.

***************************************

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට (25)

(24.07.2020 – 12:20 +0530 – sinhala.adaderana.lk)

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ තැන්පත්කරුවන් 38,000 කට සහ සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් 9000 කට ද රක්ෂණ වන්දි ගෙවීම හෙට (25) දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා මගින් මගින් සිදුකෙරෙන බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් 146,000 ක් පමණ වූ “ද ෆිනෑන්ස්” සමාගමේ තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම සිදුකරනු ලබයි.

මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත් ව වන්දි මුදල් ලබා දෙනු ලබන බව ද මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 46 ක් මඟින් එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කරනු ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *