ගමන් කළ මාර්ගය ගැන IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ලබාදී ඇත්තේ ව්‍යාජ තොරතුරු බවට හෙළිවෙයි

(25.07.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ඊයේ පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහල දක්වා පැමිණි ගමන්මග සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු ව්‍යාජ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අංශ වල අවසරය මත යළි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම, නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිරෝධායන රීතිවලට අකීකරුවීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට අපේක්ෂාක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා ෴

***************************************

‘මීටියාගොඩ පොඩි සුදූ’ STF අත්අඩංගුවට

(25.07.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසකට සම්බන්ධ ‘මීටියාගොඩ පොඩි සුදූ’ නොහොත් ‘හික්කඩු පල්ලියගුරුගේ චමින්ද’ නමැත්තා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ 10 ක් සමග මීටියාගොඩ – මලවැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

33 හැවිරිදි සැකකරු මීටියාගොඩ – මලවැන්න – හේවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

(25.07.2020 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා සිදුකළ ජන හමුවලදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ, පෙර පාසල් ගුරුවරුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මාතර – වෙරළ උද්‍යානයේදී අද (25) පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි ෴

***************************************

මැතිවරණ සමයේ PHI ලාට උපදෙස් ඇතුළත් චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනියි – නීතිපති දන්වයි

(25.07.2020 – 15:16 +0530 – sinhala.adaderana.lk)

මහ මැතිවරණ සමයේ කොවිඩ්-19 පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇත.

ප‍්‍රචාරක රැස්වීම්වලට සහ ඡන්ද මධ්‍යස්ථානවලට සෘජුවම ඇතුළු වී පුද්ගලයින් සිය බාරයට ගැනීමට හා නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පවරා ඇති බල තල ඉවත් කර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතට පවරා තිබීම ඊට හේතු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි ෴

***************************************

ස්වයං නිරෝධායනයට ලක්වන අයට විශේෂ අවස්ථාවක්

(25.07.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර මහමැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලබන 31 වනදා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් සදහා ද එදින ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සළසා දී ඇති බවයි ෴

***************************************

රුවන්වැල්ලේ ගිනි අවි අලුත්වැඩියා කරන ස්ථානයක් STF වටලයි

(25.07.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල – රත්තාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි අලුත්වැඩියා කරන ස්ථානයක් වටලා ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

ලද තොරතුරකට අනුව අද (25) පෙරවරුවේ ඔවුන් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී බෝර 12 සහ ගල්කටස් ඇතුළු ගිනි අවි 8 ක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක්, ඩෙටනේටර් සහ වෙඩි බෙහෙත් තොගයක් මෙන්ම උණ්ඩ තොගයක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එම වැටලීමේදී අත් මාංචු යුගලක් ද සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් 50 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත මෙම ස්ථානයෙන් ගිනි අවි ලබාදී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ ෴

***************************************

බතික් කර්මාන්තකරුවන් දැඩි අසරණ තත්ත්වයකට

(25.07.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ස්වයං රැකියාවක් ලෙස මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන කර්මාන්තයක් ලෙස බතික් කර්මාන්තය සැලකිය හැකියි.

ප්‍රදේශ රැසක ක්‍රියාත්මක එම කර්මාන්තය තුළින් බොහෝ පිරිසක් සිය ජීවිකාව සරි කරගන්නවා.

මෙලෙස බතික් කර්මාන්තය ක්‍රියාත්මක වන ප්‍රදේශ අතරට මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාලය, තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශද ඇතුළත්.

එහෙත් එම කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ, පසුගිය සමයේ තමන් ලද ආදායම වර්තමාන්තය වනවිට බොහෝ සෙයින් පහළ ගොස් ඇති බවයි.

නිසි පුහුණුවක් ලබාගැනීමට ආයතන නොමැතිකම, අමුද්‍රව්‍ය සොයා ගැනීමේ සහ මූල්‍ය පහසුකම් සපයා ගැනීමේ අපහසුතා මේ වනවිට බතික් කර්මාන්තය පහත වැටීමට හේතු වී ඇති කරුණු අතර ප්‍රමුඛ වනවා.

කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්වූ බවයි.

මෙම කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ, සිය කර්මාන්ත අපහසුවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා රජයේ අවධානය යොමු කරන ලෙසයි.

***************************************

මූල්‍ය පනත උල්ලංගණය කළ මූල්‍යායතනවලට මිලියන 6 ක් දඩ

(25.07.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත උල්ලංගණය කරමින් කටයුතු කළ මූල්‍ය ආයතන සඳහා පසුගිය වසරේදී රුපියල් මිලියන 5 ක දඩ නියම කළ අතර, මේ වසරේ මැයි මාසය දක්වා එලෙස රුපියල් මිලියනයක දඩ පැනවූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් මෙලෙස බැංකු දෙකකට (2) සහ මූල්‍ය ආයතන 3 කට දඩ පනවා ඇති බවයි එමගින් නිවේදනය කළේ.

ප්‍රධාන වශයෙන් තුන්වන පාර්ශවයේ තැන්පතු, දේශපාලන වශයෙන් අනාවරණ වූ තැනැත්තන් සඳහා අනුමැතිය ලබා ගැනීම මෙන්ම මුදල් ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන නීති උල්ලංගණය කිරීම වෙනුවෙන් මෙම දඩ පනවා තිබෙනවා.

***************************************

කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වල, ආරක්ෂාව තර කෙරේ

(25.07.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ (24) ඉන් පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි.

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (24) අලුයම පළා ගිය එම කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබුණා.

පසුව අදාළ පුද්ගලයා යළි අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යාමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළා. මොහු හඳුනා ගැනීමට සහය වී තිබුණේ කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් (2).

ඊයේ (24) මෙම පුද්ගලයා පළා යාමේ සිද්ධියට, විවිධ අංශවල පැවති යම් යම් දුර්වලතා හඳුනා ගැනීමට හැකි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ සිට ජාතික රෝහලට පැමිණි ගමන් මාර්ගය පිළිබද තවදුරටත් තහවුරු කර ගැනීම සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මත්ලෝලී මෙම කොරෝනා ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලෙන් පළා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියා. ඔහු ත්‍රිකුණාමලය – වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නැමති 41 හැවිරිදි පුද්ගලයෙක්.

එසේම ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම ආසාදිතයාගෙන් රෝගය සමාජයට පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බවයි.

මේ අතර, ඊයේ (24) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 11 දෙනා සමඟ මෙරට දී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2764 දක්වා ඉහළ ගියා. එසේම, ඉන් 2094 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 659 ක් ලෙසටයි දැක්වෙන්නේ.

මේ අතර, අද (25) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ද ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 48,916 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 13,36,861 ක් වන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ මරණ 757 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 31,358 දක්වා ඉහළ යනවා.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දැන් ලොව 6 වන ඉහළම මරණ සංඛ්‍යාවයි.

කෙසේ නමුත්, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 63.53 ක් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 2 වන දා සිට සති 3 ක කාලයක් තුළ දෙගුණයක් වීම විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ඇලහැර වැලි ජාවාරම

(25.07.2020 – 16:44 +0530 – sinhala.adaderana.lk)

ලෝක උරුම ස්ථානයක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇති ඓතිහාසික ඇලහැර අමුණ ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරමක් හේතුවෙන් මේවන විට අමුණ අවට විශාල පරිසර හානියක් සිදුව තිබේ.

ඇලහැර ප්‍රදේශයෙන් අඹන් ගඟ හරස් කරමින් ඉපැරණි රජ සමයේ ඉදිකළ ඇලහැර අමුණ 2018 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කෙරුණි.

මෙම අමුණෙන්, පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල යන වැව් වලටද ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ හා වෙනිරාසකුලම් වැව් වලටද ජලය සපයයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ කලක සිට අමුණ ආශ්‍රිතව සිදුකෙරන වැලි ජාවාරමක් හේතුවෙන් ඒ අවට පරිසරයට දැඩිලෙස හානි සිදුවී ඇති බවය.

***************************************

ෂීල් පෙති සමග අයෙක් අත්අඩංගුවට

(25.07.2020 – 12:30 +0530 – lankadeepa.lk)

අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා ෂීල් නැමැති අධිසැර ඩාන්සින් පෙති 305 ක් සමග එක් පුද්ගලයෙකු ගල්කිස්ස බඩඕවිට 5 වැනි අදියරේදී අද (25) ගල්කිස්ස දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ෂණයේදී මෙම මත්පෙති තොගය සැකකරු විසින් දුරකතන ඇමතුමක් අනුව පුද්ගලයෙකුට අලෙවිය සදහා රැගෙන යමින් සිටියදී වැටලීම සිදුකර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්පෙති වැඩි වශයෙන් වෙරළ තීරය ආශ්‍රිත හෝටල්වල හා රාත්‍රී සමාජ ශාලාවල නර්තනය සඳහා පුද්ගලයින් භාවිතා කරනු ලබන අතර එක් පෙත්තක් රුපියල් 4500 සිට 5000 දක්වා වන මිල ගණන්වලට අලෙවි කරනු ලබන බවත් පොලීසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස පොලිස් නිලධාරිහු සිදුකරති ෴

***************************************

කෝටි 300 ක් වටිනා හෙරොයින් ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නියෝග

(24.07.2020 – 23:27 +0530 – lankadeepa.lk)

කොල්ලුපිටිය ‘මරීනා මෝල්’ සුපිරි වෙළද සංකීර්ණයේ රථ ගාලේදී රුපියල් කෝටි 300 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් අධිකරණය වෙත වහාම ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත අද (24) නියෝග කළේය.

සැකකාර නාකොටික් නිලධාරීන් විසින් මෙම වැටලීමද නිර්මාණය කරනු ලැබූ එකක් බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බැවින් මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම වැටලීම සිදුකරනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර නැමැති නිලධාරියා ඇතුළු කණ්ඩායම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් වන බව ද එම නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) අධීකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර සැකකරුවන් වන කෙසෙල්වත්තේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් අජ්මි සහ මොහොමඩ් රිලාන් අහමඩ් රුස්කි යන අයවලුන් කොරෝනා තත්ත්වය හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන බවත් එහිදී පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකාර නාකොටික් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් මත්ද්‍රව්‍ය එම කාර්යාංශයේ ම තබාගෙන සිට ඒවා නැවත කලවම්කර, පැකට් කර ජාවාරම්කරුවන් වෙත විකුණා ඇති බවට එම අධිකරණයේදී කරුණු අනාවරණය වී ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද එසේම සිදුවී ඇති බවට දැන් කරුණු තහවුරු වෙමින් පවතින බව ද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

තම සේවාදායකයින් දෙදෙනා වසරකට වැඩි කාලයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බවත් මේ වැටලීමද නාකොටික් නිලධාරීන්ගේ ව්‍යාජ වැටලීමක් වන බැවින් වහාම ඔවුන් දෙදෙනා මෙම නඩුවෙන් මුදා හරින ලෙස නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තියෙන් ප්‍රකාශ කරන අන්දමට මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බැවින් වහාම එම වැටලීම සම්බන්ධයෙන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් සැකකරුවන් ලබන 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවේ ඉකුත් 2019 වර්ෂයේ පෙබරවාරි මස 23 වැනිදාය. කොල්ලුපිටියේ පිහිටි ‘මරීනා මෝල්’ නැමැති සුපිරි වෙළෙද සංකීර්ණයේ රථ ගාලේදී මෙම වැටලීම සිදුව තිබිණී ෴

***************************************

කැලණිය වඳින්න ගිය විවාහක රූමත් කතට රුපියල් දෙලක්ෂ තිස්තුන්දාහක කනකර අහිමි වෙයි

(24.07.2020 – mawbima.lk)

එක් දිනක් පමණක් දුටු පිරිමියකු සමඟ දුරකථන සංවාද පවත්වමින් මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන ඔහු ඇරයුම් කළ පරිදි කැලණි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගොස් තමා සතුව තිබූ කනකර හා ස්මාර්ට් වර්ගයේ සැම්සුන් දුරකථනයක්ද, අත් බෑගයේ තිබූ රුපියල් හැත්තෑ දහසක මුදලක්ද අහිමි කරගත් කාන්තාවක් විසින් කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළ නඩුවක් පසුගියදා (23දා) මහර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

විවාහක රූමත් කාන්තාවක් වන වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන පැමිණිලිකාරිය පසුගිය 21 වැනිදා දැරණියගල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට ගොස් ආපසු පැමිණ පිටකොටුවේ සිට මාර්ග අංක 261 බස් රථ නතර කරන ස්ථානය සොයමින් යන අවස්ථාවේදී නාඳුනන පුරුෂයකුගෙන් බස් නැවතුම කොහිදැයි විමසා ඇත. බස් නවත්වන ස්ථානය පෙන්වූ ඔහු කාන්තාව සමඟ මිතුරුවී එකම අසුනේ හිඳ ගමනාන්තය දක්වා පැමිණ දුරකථන අංක හුවමාරු කරගෙන වෙන්ව ගොස් ඇත.

එදින රාත්‍රියේ දෙදෙනා දුරකථන ඔස්සේ කතා බහ කරමින් සිටියදී කැලණි විහාරස්ථානය වැඳීමට එන ලෙස පුරුෂයා කාන්තාවට යෝජනා කර තිබේ. ඇයද යෝජනාවට කැමැති වී පසුදා එනම් 22 වැනිදා උදෑසන 09:00 ට කැලණි විහාරස්ථානය වෙත ගොස් ඔහු මුණගැසී දෙදෙනා එක්ව විහාරස්ථානය වැඳ පුදා ගත්හ. පසුව පුරුෂයා ගෝල්ෆේස් යෑමට ඇයට යෝජනා කළද කාන්තාව අකැමැත්ත පළ කළ හෙයින් අසල ඇති කඩයකින් රෝල්ස් දෙකක් සහ යෝගට් පානය බෝතල් දෙකක් ගෙන කාබී මාර්ග අංක 230 බස් රථයකට ගොඩ වී ඇත. එකම අසුනේ හිඳ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් එන අතර කාන්තාවට තද නින්දක් ගොස් ඇති අතර බස් රථයද කිරිබත්ගොඩට ළඟා වී ඇත. ඇස් හැර බලද්දී තමන් සමඟ කැලණි ගිය පුද්ගලයා තමා අසල නොමැති බවත් මුදල් පසුම්බිය, කරමාලය, අත් පළඳනාව හා රුපියල් 38,000 ක් වටිනා සැම්සුන් වර්ගයේ දුරකථනය අතුරුදන්වී ඇති බව ඇය දැනගත්තාය.

වහාම කැලණිය පොලිසිය වෙත ගිය ඇය සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර ඇති අතර 23 වැනිදා කැලණිය පොලිසිය ඉදිරි නීතිමය කරුණු සඳහා අධිකරණ සහාය ලබාගැනීමට මහර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සිද්ධිය පිළිබඳව අවධානය යොමු කළ මහර අංක 2 අධිකරණයේ මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුගේ ජංගම දුරකථන දත්ත වාර්තාවක් ලබා ගන්නා ලෙසත් කාන්තාවට දී තිබූ ඔවුන් කතාබහ කළ දුරකථන අංක දෙක අයත් සමාගම් දෙක ඔස්සේ දුරකථන වාර්තා කැඳවන ලෙසත් කැලණිය පොලිසියට නියෝග කළේය. සැකකරු තමා සිහිමුර්ජා වන ද්‍රව්‍යයක් යෝගට් පානයට මුසු කර බීමට දී ඇතැයි සැකකරන බවත් ඇයගෙන් පැහැරගෙන ගිය භාණ්ඩ සහ මුදල්ද ඇතුළුව මුළු වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්තුන්දහසකට අධික බව ඇගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කැලණිය පොලිසියේ සැරයන් උපුල් ජයන්ත (22814) පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර අගතියට පත් කාන්තාව වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *