පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව පාස්කු කොමිසමට ලබාදුන් සාක්ෂිය

(25.07.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගයින්ගේ ඩී.එන්.ඒ වාර්තා සමඟ තමන්ගේ ඩී.එන්.ඒ. වාර්තා නොසැසඳුණු බව පුලස්තිනීගේ මව වන රාසරත්නම් කවිතා ජනාධිපති කොමිසමට අද අනාවරණ කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් විසින් තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා කටුවපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නම් පුද්ගලයාට විවාහ කර දුන් බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදීමට පැමිණ තිබුණේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොම්මුදු හස්තූන්ගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මවවන වාසරත්නම් කවිතානම් තැනැත්තියයි.

1996 වසරේ මඩකලපුව ප්‍රදේශයේ උපත ලැබූ තම වැඩිමහල් දියණියවන පුලස්තිනී මහේන්ද්‍රන් සාමාන්‍ය පෙළ විභාගය A 8 යි B 1 ක සාමාර්ථයක් ලබා උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරාගෙන කල්මුණේ ප්‍රදේශයේ උපකාරක පංතියකට සහභාගි වූ බව සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් ඇය සඳහන් කළා.

එම වකවානුවේ තමන් අබුඩාබිහි රැකියාවක නිරත වූ බව පෙන්වා දුන් පුලස්තිනීගේ මව 2015 වසරේ ජූලි 29 වැනිදා තම දියණිය උපකාරක පංතියකට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කලවංචිකුලම පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලෙසට තම මවට දැන් වූ බව ඇය කියා සිටියා.

පසුව තම සහෝදරයාට අබ්දුල් රාසික් නම් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා යමක් ප්‍රකාශ කර තිබූ බවත් ඇය කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අනාවරණ කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී ඇයගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අබ්දුල් රාසික් නැමැත්තා ඔබේ සහෝදරයාට දුරකථනයෙන් අමතා ප්‍රකාශ කර තිබුණේ මොනවාද?

රාසරත්නම් කවිතා – අබ්දුල් රාසික් කියන පුද්ගලයා භාරයේ පුලස්තිනී සිටින බව සහ ඇයව ඉස්ලාම් ආගමට පරිවර්තනය කර ඇති බව මගේ සහෝදරයාට ඔහු කියා තිබුණා. මම ඒ සිද්ධියෙන් බොහෝ කලබලයට පත්වුණා. ඒ නිසා මම පුළුවන් ඉක්මනින් ලංකාවට පැමිණියා. ඇවිත් අබ්දුල් රාසික් රැඳී සිටි තවුහිද් ජමාත් සංවිධානයේ මාලිගාවත්ත කාර්යාලයට ගියා. එම අවස්ථාවේදී මම දැක්කා පුලස්තිනී අබායා ඇඳුමකින් සැරසී සිටිනවා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – එම අවස්ථාවේදී ඔබට පුලස්තිනී සමඟ කතා බහකිරීමට අවස්ථාව හිමි වුණාද?

රාසරත්නම් කවිතා – ඔව් මට පැය 4 ක පමණ කාලයක් ඇය සමඟ කතා බහ කිරීමට අවස්ථාව ලැබුණා. මම ඇයට යළි නිවසට යාමට කතා කළා. පුලස්තිනී ඊට කැමතිත් වුණා. නමුත් අපේ කතාබහ දෙස අබ්දුල් රාසික් සහ ඔහුගේ පුද්ගලයින් CCTV කැමරා ඔස්සේ නිරීක්ෂණය කරමින් සිටියේ. ඔවුන් විටින් විට අපි කතා බහ කළ ස්ථානයට පැමිණියා. ඒ නිසා යළි නිවසට යාමට නොහැකි බව පුලස්තිනී මට කියා සිටියා.

අනතුරුව තමන් මාලිගාවත්ත පොලිස් ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළ බවත් අබ්දුල් රාසික් පුලස්තිනී සමඟ පොලිස් ස්ථානයට පැමිණි බව ඇය සාක්ෂි ලබාදෙමින් අනාවරණ කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – පුලස්තිනී නැවත නිවසට යාමට ඔබ සමග පැමිණියාද?

රාසරත්නම් කවිතා – ඔව් ඇය මා සමඟ එදින පැමිණියාග ඇය හැද සිටි අබාය ඇඳුමත් ඇය විසින්ම ඉවත්කර දැමුවා. හින්දු ආගමික කටයුතු වල පවා ඇය නිරත වුණා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අබ්දුල් රාසික් නැවත ඔබට දුරකතනයෙන් ඇමතුවාද?

රාසරත්නම් කවිතා -ඔව් දින 15 අවසානයේ ඔහු මට දුරකතන ඇමතුමක් ගත්තාග අරන් මට කිව්වා ඔබට දුවව භාරදුන්නේ දින 15කට විතරයි කියලා. ඔහු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලත් කිව්වා. ඒ අවස්ථාවේදී මම අබ්දුල් රාසික්ට කිව්වා පුලස්තිනී හින්දු ආගමානුකූලව ඉන්නවා කියලා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -අබුදුල් රාසික් පුලස්තිනීට ඒ අවස්ථාවේ බලපෑම් කළාද?

රාසරත්නම් කවිතා – ඔව් ඔහු තර්ජනය කළා. ඔහු කිව්වා අපි දන්නවා ළමයව මෙහෙට හරව ගන්න ක්‍රමය කියලා. 2015 වසරේ සැපැතැම්බර් 24 වැනිදා අසනීපයක් හේතුවෙන් තමන් පුලස්තිනී සමඟ රෝහලට ගිය අවස්ථාවේ ඇය එකවරම සොයා ගැනීමට නොහැකි වූ බවත් මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක් එදිනම ගොනු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා. සිද්ධියෙන් පසුව දින අබ්දුල් රාසික් නැවතත් තමන්ට දුරකථන ඇමතුමක් ගෙනි ‘දුව අපි ළඟ ඉන්නවා. ඇයව අපි විවාහ කරලා දුන්නා’ යැයි පැවසූ බවත් ඉන් පසුදින තමන් යළි අබ්දුල් රාසික්ගේ කාර්යාලයට පැමිණි බවත් සාක්ෂිකාරිය පැවසුවා.

රාසරත්නම් කවිතා – මම අබ්දුල් රාසික්ගේ කාර්යාලයට ගියා. මම දැක්කා පුලස්තිනි සමඟ හස්තූන් නැමති පුද්ගලයෙක්ව. ඔවුන් සමඟ අබ්දුල් රාසික් සහ තව දෙදෙනෙකුත් සිටියා. මගේ දුව පුලස්තිනී මහේන්ද්‍රන්, නමුත් ඇයගේ නමත් සාරා ජෙස්මින් ලෙස වෙනස් කර තිබුණා. මම මාලිගාවත්ත පොලිසියට අබ්දුල් රාසික්ගේ මෙම ක්‍රියාව පැමිණිලි කළා. පොලිසිය කිව්වේ මේක නිත්‍යනුකූල විවාහයක් නිසා කිසිවක් කිරීමට නොහැකියි කියලයි. පසුව අබ්දුල් රාසික් මට නැවත නිවසට යන්න කිව්වා. සාරාට සහ හස්තූන්ට ඔහු නිවසක් මෙන්ම මුදල් ලබාදෙනවා කියලත් කිව්වා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – සාරා ජස්මින් කිසියම් දිනක ඔබට ඇමතුමක් ගෙන හස්තූන් සමඟ වාසය කළ නොහැකි බව පැවසුවාද?

රාසරත්නම් කවිතා -ඔව් ඇය නිරන්තරයෙන්ම ඒ බව මට පැවසුවා. ඒ නිසාම මම ඇයව 2016 ජනවාරි 6 වැනිදා අබුඩාබි වෙත ගෙන්වා ගත්තා. පසුව මාස 4 කට පසු ඇය නැවතත් ලංකාවට පැමිණියා.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් පුලස්තිනී නොහොත් සාරා ජස්මින්ගේ මව කියා සිටියේ නැවත ලංකාවට තම දියණිය පැමිණි පසු හස්තූන් විසින් කාත්තන්කුඩි පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සාරා ජස්මින් සහ ඔහුගේ සැමියාවන හස්තූන් නැමැත්තා කාත්තන්කුඩියේ පදිංචි කර වූ බවයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී සංවේදීව හඬ වැටුණු සාරා ජෙස්මින්ගේ මව පැවසුවේ 2019 පෙබරවාරි 19 වැනි දින සිය දියණිය තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී දින කිහිපයකට යළි ඇමතුම් නොගන්නා ලෙස පැවසූ බවයි. එම දිනයේ සිට අදවන තුරු සිය දියණියගේ කටහඬ හෝ රුව පවා තමන් නොදුටු බවයි හැඬු කඳුළින් ඇය කොමිසමට කියා සිටියේ.

රාසරත්නම් කවිතා – මම පසුගිය වසරේ අප්‍රේල් 7 වැනිදා ලංකාවට පැමිණියා. මම නාරම්මල පොලිසියට මගේ දියණිය සොයා දෙන ලෙස පැමිණිලි කළා. ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් බව පැවසූ රොෂාන් කියලා පුද්ගලයෙක් මාව මුණ ගැසුණා. සාරා ජෙස්මින්ව සෑම තැනකම සොයන බවටත් මට කිව්වා. එම පුද්ගලයා සාරාව සොයන බවට අබ්දුල් රාසික්ට ආරංචි වීම නිසා අබ්දුල් රාසික්ගේ නිලධාරියෙක් ඔහු හමුවී සහරාන්ගේ බිරිඳ සමඟ සාරා ඉන්නවා කියලා ඔහු පැසවූ බව මට රොෂාන් නැමති නිලධාරියා කියා සිටියා.

පසුගිය වසරේ අප්‍රේල් 21 මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යවම සිටි පුද්ගලයින් අතර තම දියණියගේ ඡායාරූපයද තිබූ බවට මාධ්‍ය හරහා දුටු බවයි සාක්ෂි ලබාදෙමින් ඇය සඳහන් කළේ.

අනතුරුව මෙම වසරේ ජනවාරි 10 වැනිදා තමන් අම්පාර පොලිසියට කැඳවා 2019 අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු නිවස තුළ සිදු වූ පිපිරීම් මාලාවෙන් පසු හමු වූ රත්‍රං ආභරණවල ඡායාරූප පෙන්වනු ලැබූවත් ඒ අතර තමන් විසින් දියණිය වෙත ලබාදුන් රන් ආභරණ නොතිබුණු බව සාක්ෂිකාරිය සදහන් කළා.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ එම සිද්ධියෙන් පසු DNA පරීක්ෂණයක් සිදු කළේද යන්නයි.

රාසරත්නම් කවිතා – DNA පරීක්ෂණයක් සිදු කළා. ඒ වුණත් සයින්දමරුදු නිවසේ මියගිය පුද්ගලයින්ගේ DNA වාර්තා සමඟ මගේ DNA වාර්තා සැසඳුණේ නැහැ.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවකදී සහරාන්ගේ බිරිඳ මුණ ගැසුණු බවත් සයින්දමරුදු නිවසට සාරා තමන් සමඟ පැමිණ සිටි බව සහරාන්ගේ බිරිඳ තමන්ට පැවසූ බවත් සාක්ෂිකාරිය සදහන් කළා.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(25.07.2020 – 20:40 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා .

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජන හමුවක් අමතමින් ඉල්ලා සිටියේ පක්ෂ මාරු කරන පුද්ගලයන් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්කර නොයවන ලෙසටයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අපේක්ෂක ලැයිස්තුවල සිටින බව කියන සතුන් පිළිබඳ අදහස් පළ කළා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් දියවන්නාවට හයක් ගසන බව ඩිලාන් පෙරේරා මහතා කියාසිටියේ පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටුමක් ඇතිවී ඇතැයි සමගි ජන බලවේගයේ අපේක්ෂක රංජිත් මද්දුමබණ්ඩාර කියාසිටියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පුරාවිද්‍යා ස්ථානයක් කැඩීම ගැන කුරුණෑගල නගරාධිපති කතා කරයි

(25.07.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

අද (25) ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන්.

***************************************

IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයා පැවසූ ගමන් මග බොරු – නිවසකින් ඇඳුම් සහ පාපැදියක් සොරකම් කළ බවත් හෙළිවේ

(25.07.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

අයි.ඩී.එච් රෝහලෙන් ඊයේ (24) පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහල දක්වා පැමිණි ගමන්මග සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අංශවල අවසරය මත යළි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ පුද්ගලයා රෝහලෙන් පැන යාමෙන් අනතුරුව අංගොඩ – හල්ගහදෙණිය – මණ්ඩවිල මාවතේ නිවසකට ඇතුළුවී ඔහු හැඳ සිටි ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් කිහිපයක් සොරා ගෙන එම ඇඳුමින් සැරසී පිටව යන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල තිබී පොලිසීය සොයා ගෙන තිබෙනවා.

පසුව පොලීසිය සහ සෞඛ්‍ය අංශ එම ප්‍රදේශය විෂබීජහරණයට ලක් කළා.

අදාළ පුද්ගලයා ඇඳුම් මාරු කිරීමට පෙර ඇඳ සිටි ඇඳුම් නිවසක වහලයක් මත තිබී සොයා ගත් අතර, පසුව ඒවා විනාශ කිරීමට ද පියවර ගත්තා.

එම නිවසේ පුද්ගලයින් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකිරීමටයි සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේ.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිරෝධායන රීතිවලට අකීකරුවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට අපේක්ෂාක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, චෙන්නායි සිට පැමිණි කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු අද (25) දිනයේ වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2768 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් 9 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

***************************************

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර සජීවීව

(25.07.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර මේ වන විට විථී සංචාරය කෙරෙනවා.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැඳැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැරේ සජීවී විකාශය :

***************************************

ධම්මික බණ්ඩාර මහතා :

++++++

***************************************

වසර ගණනක් පුරා ළමයින් අපයෝජනය කර වීඩියෝ සැකසූ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

(26.07.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක් පුරා ළමයින් අපයෝජනයට ලක් කරමින් වීඩියෝ පට නිර්මාණය කළ පුද්ගලයෙකු කොල්ලුපිටිය පොලීසිය සහ ජාතික ළමා රක්ෂක අධිකාරියේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු බවටයි වාර්තා වන්නේ.

වසර 10 කට ආසන්න කාලයක් අදාළ පුද්ගලයා විටින් විට කුඩා ළමයින් අපයෝජනයට ලක් කර ඇති බව මේ වනවිට සිදුකරන ලද විමර්ශනවලින් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහන් කළේ අපයෝජනයට ලක් වූ බව කියන ළමයින් තුන්දෙනෙකු (3) ඊයේ (25) දිනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබූ බවයි.

අදාළ පුද්ගලයා සතුව තිබී කුඩා ළමයින් අපයෝජනයට ලක් කරන ලද අවස්ථාවලදී පටිගත කරන ලද වීඩියෝ පට 20 කට ආසන්න ප්‍රමාණයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඇතැම් අවස්ථාවල ළමයින්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම් සිදුකර ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බවයි ජාතික ළමා රක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

උපකාරක පන්ති ගුරුවරයා අපයෝජනයට ලක්කළ ළමයින් තුන්දෙනෙකු (3) වෛද්‍ය පරීක්ෂණයට – සාක්ෂි සටහන් කරගැනීම වීඩියෝ තාක්ෂණයෙන්

(26.07.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකුගෙන් අපයෝජනයට ලක්වු බව කියන ළමයින් දෙදෙනෙකු (2) මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත යොමුකර තිබෙනවා.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ තවත් ළමයෙකුද වෛද්‍ය පරීක්ෂණ සදහා අද (26) දිනයේදි යොමුකිරීමට නියමිත බවයි.

වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ළමයින් අපයෝජනය කරමින් විඩියෝ පට නිර්මාණය කළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිළධාරින් එක්ව සිදුකළ වැටලීමකදීයි.

54 හැවිරිදි සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි නිවෙස් පලට යමින් ඉංග්‍රීසි භාෂාව පිළිබදව උපකාරක පංති පවත්වා තිබෙනවා.

සිදුකල විමර්ශණවලදී අනාවරණ වුයේ කුඩා ළමයින් අපයෝජනයට ලක් කර විඩියෝ පට නිර්මාණය කළ බවටයි.

එලෙස පටිගත කරන ලද විඩියෝ පට 20 කට ආසන්න ප්‍රමාණයක් ද පොලිසිය සොයාගෙන ඇති බව සදහන්.

ඇතැම් අවස්ථාවල පාසල් ළමුන්ට නිළ ඇදුම් අන්දවා අසභ්‍ය චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම් සිදුකර ඇති බවටද තොරතුරු හෙළිව ඇති බවයි පොලිසිය සදහන් කලේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සදහන් කළේ මීට අදාලව ඉදිරි නඩු කටයුතු සදහා අපයෝජනයට ලක්වු ළමුන්ගෙන් විඩියෝ සාක්ෂි පටිගත කිරීමට බලාපොරොත්තු වන බවයි.

+++++++++++++++++++++

ළමයින් අපයෝජනය කරමින් වීඩියෝ පට සැකසූ උපකාරක පංති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

(26.07.2020 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (26) දින නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර, අදාළ ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වු බව කියන ළමයින් තුන් දෙනෙකු (3) මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ළමයින් අපයෝජනය කරමින් ඔහු විසින් විඩියෝ පට නිර්මාණය කර ඇති අතර, ඒවා අන්තර්ජාලයට ද යොමු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔහු විසින් එලෙස අපයෝජනයට ලක් කරන අවස්ථාවේ ගත් ඡායාරූප සහ නිර්මාණය කරන ලද වීඩියෝපට 100 කට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගැනුණා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලද තොරතුරකට අනුවයි අදාළ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනුණේ.

54 හැවිරිදි ඔහු පන්නිපිටිය – දෙපානම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, නිවෙස් වලට යමින් ඉංග්‍රීසි භාෂාව පිළිබදව උපකාරක පංති පවත්වා ඇති බව සඳහන්.

එහිදී ඔහු විසින් ඉතා සූක්ෂම අයුරින් ළමයින් අපයෝජනයට ලක් කොට ඒවා වීඩියෝගත කර ඇති බව සඳහන්.

ඇතැම් අවස්ථාවල පාසල් ළමුන්ට නිළ ඇදුම් අන්දවා අසභ්‍ය චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම් සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

***************************************

ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 25 ක් ඉල්ලයි

(26.07.2020 – 07:22+0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ තෙල් මිල වෙනස් වන අවස්ථාවන්හිදී රජයට සහ ජනතාවට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම සඳහා ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි කිහිපයක් ලබා දෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි ටැංකි 25 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස එහිදී තමා ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලීම සඳහා වන සාකච්ඡා ඉදිරියටත් ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ද පත් කර ඇති බව සඳහන්.

2002 වසරේ එවකට පැවති රජය විසින් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පිහිටි තෙල් ටැංකි 100 ක පමණ ප්‍රමාණයක් බදු පදනම මත ඉන්දීය රජයට ලබා දී තිබුණා.

එම ගිවිසුම වසර 35 ක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට අයි.ඕ.සී. සමාගම එම තෙල් ටැංකිවල ඉන්ධන ගබඩා කිරීම සිදුකරනු ලබනවා.

තෙල් ටැංකි 25 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ඉන්දීය රජයෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණහොත් ඉදිරියේදී ඉන්ධන මිල වෙනස් වීම රජයට සහ ජනතාවට පීඩාවක් නොවනු ඇති බවටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශ්වාසය පළ කරන්නේ.

***************************************

අද (26), නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් – තේරීම් භාර නිලධාරීන් රාජගිරියට

(26.07.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

විශේෂ දිනයක් ලෙස සලකා අද (26) දිනයේදී මහ මැතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

මේ වනතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ගෙන් ඔහු ඉල්ලා සිටියේ හැකිතාක් දුරට අද (26) නිවෙස්වලම රැදී සිටීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, මැතිවරණ කොමිසම සහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් මෙන්ම, දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.

එහිදී මහමැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් කිරීම පිලිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම, මහමැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර, පැවැත්වෙන අවසන් සාකච්ඡාව ද හෙට (27) එම කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර මහමැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු ලබන අගෝස්තු 2 වනදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, සෑම දේශපාලන පක්ෂයකටම එක් ඡන්ද බලප්‍රදේශයක එක් කාර්යාලයක් බැගින් පිහිටුවා ගැනීමට අගෝස්තු 5 වනදා දක්වා අවස්ථාව හිමිවන අතර මහමැතිවරණ අපේක්ෂකයන්ගේ නිවෙස්වල ද පවතින කාර්යාල එදින දක්වා පවත්වා ගැනීමට හැකියාව පවතිනවා.

***************************************

වෙන්දේසියේදී පහත රට තේවලට ඉහළ ඉල්ලුමක්

(26.07.2020 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මේ මාසයේ අවසන් තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 6.7 ක් අලෙවි වී ඇති අතර, වතු යායන්හි තබා අලෙවි කළ තේ කිලෝග්‍රෑම් ලක්ෂ 9 යක්ද අලෙවි වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කළා.

එහිදී පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලුමක් පැවති අතර, කඳුකරයේ තේ කිලෝවක් විකිණුනු සාමාන්‍ය මිල රුපියල් 530 යි ශත 19 ක්.

කෙසේ නමුත් පහත රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 667 යි ශත 23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

කොළඹ තරුපහේ හෝටලයක් අසලදී හෙරොයින් සහ මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(26.07.2020 – 09:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව ප්‍රදේශයේ තරු පහේ හෝටලයක් ආසන්නයේදී හෙරොයින් සහ මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 400 ක් සහ මත්පෙති 5600 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

වත්තල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචි 20 හැවිරිදි සහ 29 හැවිරිදි සැකකරුවන් දෙදෙනා (2) අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 ක් අත්අඩංගුවට

(26.07.2020 – 09:48 +0530 – hirunews.lk/sinhala)

ෆේස් බුක් ඔස්සේ සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යතුරුපැදි 27 ක් ද සමගින්.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

අධික ශබ්ද නගමින් මධ්‍යම රාත්‍රී 12 ට පමණ ආරම්භ කර තිබූ මෙම යතුරුපැදි තරගයට සහභාගී වී තිබූ සියලු තරුණයන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මෙන්ම අපරීක්ෂාකාරීව සහ අනතුරුදායක ලෙසට ධාවනයේ යෙදෙන ආකාරය පොලිසිය රහසිගතව නිරීක්ෂණය කර තිබුනා.

අනතුරුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් පිළියන්දල, බණ්ඩාරගම, මහරගම, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම ඇතුලු ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් අද (26) කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (26) උදෑසන සංවිධාන කර තිබූ මෙම යතුරුපැදි ධාවන තරගය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු කර තිබූ බව සඳහන්.

+++++++++++++++++++++

***************************************

නිධන් හෑරූ 11 ක් පොලිස් අත්අඩංගුවට

(26.07.2020 – 11:26 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ රක්ෂිතයක් තුල නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව කන්දකැටිය පොලිසිය කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් නිධන් සෙවීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව සඳහන්.

කැණීම් සඳහා යොදාගත් උපකරණ මෙන්ම පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පිළියන්දල අනුරාධපුර සහ පොළාන්නරුව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *