කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

(27.07.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂාව සපයා දුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු පොලීසිය අද (27) වට ගනු ලැබුවා.

තිමිර සුලෝචන දයානන්ද නැමති 36 හැවිරිදි වියේ පසුවන මොහු අරණායක – පෝඩාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල් හැසිර වූ බවට සැකපිට පසුගිය දා ආදුරුප්පුවීදිය පොලීසිය මගින් ඩී.කේ. රොහාන් ප්‍රදීප් නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් ලද තොරතුරුවලට අනුවයි මෙම බන්ධනාගාර සැරයන්වරයා බස්නාහිර – උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඇඳිරි නීතිය පැවති පසුගිය කාලසීමාවේ මොහු රොහාන් ප්‍රදීප් නැමැත්තාට මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා නිළ ඇඳුමෙන් සැරසී ආරක්ෂාව සපයා දී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරාධ සම්පායෝ ගොනුකළ පෙත්සම සළකා බැලීම හෙට (28) 02:30 දක්වා කල් දැමුණා.

ඒ, එම පෙත්සම අද (27) අභියාචනාධිකරණයේදී සළකා බැලූ අවස්ථාවේදීයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත මොහු සහ තවත් නිලධාරීන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ඊට එරෙහිවයි සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.

+++++++++++++++++++++

***************************************

දහම් පාසල් අදියර දෙකක් (2) යටතේ යළි ඇරඹේ

(27.07.2020 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ යළි ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා අගෝස්තු මස 16 වන දාත්, 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අගෝස්තු මස 23 වන දා ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සෞඛ්‍ය උපදෙස්වලට අනුව දහම් පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ද දැනුවත් කර තිබෙනවා ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ගෙන් සී.අයි.ඩී.යට පැය 5 ක ප්‍රකාශයක්

(27.07.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් අද (27) වවුනියාව – ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණියා.

පෙරවරු 09:45 ට පමණ එහි පැමිණි හිටපු අමාත්‍යවරයා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ නොතීසියකට අනුව වන අතර, අවස්ථා දෙකකදී (2) ඔහු ප්‍රකාශ ලබාදීමට නොපැමිණි බවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා කැදවූ අවස්ථාවේදී එක් විනිසුරුවරයෙකු ඉන් ඉවත් වී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ පෙත්සම සලකා බැලීම අගෝස්තු මස 7 වන දා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

අදාළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (27) මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත්, එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කර ඇත්තේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මිය ගිය ඉන්සාෆ් අහමඩ්ට අයත් කර්මාන්තශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් තඹ මෙටි‍්‍රක් ටොන් 500 ක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටයි.

***************************************

පාසල් වෑන් රථවල ලීසිං වාරික ගෙවීමට තවත් මාස 6 ක සහන කාලයක්

(27.07.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අනුව පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරිකය ගෙවීමට තවත් මාස 6 ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා තම සංගමයේ නියෝජිතයින් ලීසිං වාරිකය ගෙවීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මීට පෙර ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව කරුණු සලකා බලමින් ජනාධිපතිවරයා අදාළ තීරණය ගෙන තිබෙනවා.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසෙහි ඉදිකිරීම් අඩාල වී ඇති බැවින් ඊට කඩිනම් විසදුම් දී අධිවේගී මාර්ගය නිම කරන ලෙසටයි ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරන ජනාධිපතිවරයා අද (27) මාවතගම මහජන පොළ භූමියේ පැවති ජන හමුවට එක්වුණා.

ඊට එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සියළු උපදෙස් සහ එකඟතාවන් පළ කර ඇත්තේ.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද අද (27) එක්ව සිටියා.

මීට අමතරව ජනාධිපතිවරයා දඹදෙණිය, නාරම්මල සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති ජන හමුවට ද එක්වූ අතර එහිදී ජනතාව සිය ගැටළු ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කළ ආධුනික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

(27.07.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කළ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු කඩුවෙල – පහළ බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇයගේ සැමියාට අදාළ මහාධිකරණයේ පවතින නඩුවක් සුළු නඩුවක් බවට පත් කිරීමට සහ ඊට අදාළව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ලබා දීමටයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් ඊයේ (26) රාත්‍රියේ අදාළ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා පහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු බියගම පොලීසියට අනුයුක්තව සේවය කරන ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ෴

***************************************

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – CCTV දර්ශන

(27.07.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ටින්සින් නගරයේදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි රියදුරු තුවාල ලබා තිබෙනවා.

අද (27) පස්වරුවේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රියදුරු බගවන්තලාව මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ධාවනය වෙමින් තිබු ටිපර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් පසුකර ධාවනය වන අවස්තාවේදීයි මෙලෙස ප්‍රපාතයට පෙරළිගොස් ඇත්තේ.

අනතුරට හේතුව ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් බවයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

බගවන්තලාව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ.

***************************************

යතුරුපැදි සවාරි නිසා පුත්තලමට එස්.ටී.එෆ්. ආරක්ෂාව

(27.07.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස්වලට ලබන 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ වැඩසටහන ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මේ අතර, මැතිවරණ නීති උල්ලංගණය කරමින් පුත්තලම ප්‍රදේශයේ යතුරුපැදි පෙළපාලියක් පැවැත්වෙන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

ඒ පිළිබදව ද මාධ්‍යවේදීන් එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගැටළු සැලකිල්ලට ගෙන පුත්තලම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස දැනුම් දුන් බවයි.

+++++

(28.07.2020 – 07:33 +0530)

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ තාවකාලිකව අත්හිට වූ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම හෙට (29) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ අනුව හෙට (29) පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි. රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මේ අතර, රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 2 වන දා දක්වා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

වික්ටෝරියා වේල්ලේ හැඩය වෙනස් වෙයි

(27.07.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව ආරුක්කු හැඩයට මුළුමනින් කොන්ක්‍රීට් යොදා මෙරට ඉදිකරන ලද පළමු වේල්ල වන වික්ටෝරියා වේල්ලෙහි හැඩය මේ වන විට වෙනස් වී ඇති බව හෙළි වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා කියා සිටියේ වේල්ලේ සවි කරන ලද උපකරණ මාර්ගයෙන් චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ සිදුකළ සැසදීමේදී මේ බව අනාවරණ වූ බවයි.

මීටර් 500 ක් පමණ උසැති වේල්ලේ විශාල පැල්මක් පවතින බවට ජාතික පුවත්පතක් අද (27) වාර්තා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, අදාළ පැල්ම වසර කිහිපයක සිට පවතින බව ද ජලාශයේ කාර්ය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

1985 වසරේ විවෘත කරන ලද වික්ටෝරියා ජලාශය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය මූල්‍යාධාර උපයෝගී කර ගනිමින්.

කෙසේ වෙතත්, අනවසරයෙන් පුද්ගලයින් ජලාශයට අයත් රක්ෂිතය අල්ලා ගැනීම ඇතුළු විවිධ හේතූන් මත ජලාශයේ ජල ධාරිතාව මේ වන විට අඩුවෙමින් පවතින බවයි වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පෙන්වා දුන්නේ ෴

***************************************

‘බුවනෙක ගොඩනැගිල්ල’ යළි ඉදිකිරීමට ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක්

(27.07.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල – බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලක් වියදම් වනු ඇති බවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කළ එම දළ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අනුනායක හිමිවරුන්, සංස්කෘතික හා පුරාවිද්‍යා විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ හමුවකදී වැඩිදුර සාකච්ඡා වූ බවයි.

ඒ අනුව අදාළ මුදල් කුරුණෑගල මහ නගර සභාවෙන්, වයඹ පළාත් සභාවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද අය කර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා සඳහන් කළා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත අදාළ ගොඩනැගිල්ල පිහිටි ඉඩමට ඇතුළුවීම මේ වන විට අධිකරණය විසින් තහනම් කර ඇති අතර, නීතිපතිවරයා කරන ලද දැනුම්දීමකට අනුව කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව ගෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

+++++++++++

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉපැරණි ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා ෴

නගරාධිපතියා

***************************************

පාස්කු ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම මුලින්ම ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂගෙන් කොමිසම සාක්ෂි විමසීම අරඹයි

(27.07.2020 – 22:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ තොරතුර මුල්වරට ලැබී තිබූ එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්‍ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීම පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසම අද (27) ආරම්භ කළා.

නිලන්ත ජයවර්ධන මහතාගේ සහ කොමිසමට සහය පළකරන නීතිපති දෙපාර්තමේන්තුවේද ඉල්ලීම මත එම සාක්ෂි විමසීම සිදුවූයේ මාධ්‍යට අනාවරණය නොවන ලෙසයි.

කෙසේවෙතත් මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍ය වෙත විවෘත කළ යුතු බව ජනාධිපති කොමිසමෙහි බහුතර කොමසාරිස්වරුන්ගේ මතය වුණා.

+++++++++++++++++++++

***************************************

ඊයේ (27) හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න

(28.07.2020 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රාජාංගණයේ – යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ.

ඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2805 දක්වා ඉහළ ගියා.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර, අනෙක් 5 දෙනා කටාර් රාජ්‍යයෙන් සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 673 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2,121 ක්.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න මහත්මිය සඳහන් කළා. කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියා.

මේ අතර, කොරෝනා මර්දන කටයුතු ඇතුළු බෝවන රෝග මර්දනය කිරිමේ කටයුතුවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (28) විශේෂ සාකච්ඡාවක් පවත්වනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ පෙරවරු 10:30 ට අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ෴

***************************************

ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(28.07.2020 – 08:11 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ශ්‍රී ලාංකිකයින් 340 කට ආසන්න පිරිසක් නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

“ජෝර්දාන්, අල්කාරා ප්‍රදේශයේ කර්මාන්ත පුරවරයේ පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩකරන ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසකට තමයි මේ ප්‍රශ්නයට මුහුණදෙන්නට සිදුවෙලා තියෙන්නේ. කොරෝනා තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටලා තියෙන නිසා රැකියා අහිමිවෙන තත්ත්වයක් උදාවෙලා” ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

“ඒ අයට අවශ්‍ය පහසුකම් සපයන්න තමයි ඊයේ (27) තානාපති කාර්යාල නිලධාරීන් එම ස්ථානයට ගියේ. ඒ වෙලාවේ ඇතිවුණ යම් කථාබහක් හේතුවෙන් ඇති වූ යම් කළහාකාරී තත්ත්වයක් සමනය කරන්න තමයි ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේ” ඒ මහතා සඳහන් කළේය.

කලහකාරී අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරීන්ද යම් අපහසුතාවයන්ට ලක් වූ බවත් මේ වන විට සියල්ල සමනයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++

(hirunews.lk/sinhala)

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල පීඩා විදින හා විවිධ ගැටළුවලට මුහුණ පා ඇති මෙරට පුරවැසියන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා ෴

***************************************

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

(28.07.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම තමන් පසුගිය දිනවල චාරිකා කළ සියළු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් එල්ල කර ඇති බැවින් ඊට විසදුම් ලෙස විධිමත් මෙන්ම නිසි ප්‍රමිතිගත සැලැස්මක් ඇතිව සියළු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගණයේ ඊයේ (28) පැවති ජන හමුවකට ද එක්වුණා.

ඊට අමතරව බිංගිරිය – දුම්මලසූරිය – නෙරළුගම ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ තවත් ජන හමුවකට ද ජනාධිපතිවරයා එක්වූ අතර, එහිදී මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස් තමන් මුහුණ දී ඇති ගැටළු පිළිබදව ජනතාව අවධානය යොමු කළා ෴

***************************************

බන්ධනාගාර රැදවියන්ට, නීතිවිරෝධීව ද්‍රව්‍ය සැපයීමේ නව උපක්‍රමයක් හෙලිවේ

(28.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින රැදවියන්ට නීතිවිරෝධී ද්‍රව්‍ය පිටතින් ලබාදීමේ නව ක්‍රමයක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර බස් රථවලින් රැදවියන් අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදී එම බස් රථ තුළට අදාළ ද්‍රව්‍ය ඇසුරුම් කොට පාර්සල් ලෙස විසි කරන බවයි.

ඊයේ (27) දිනයේදී එවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ බන්ධනාගාරගත රැදවියන් පිරිසක් කළුතර නගරය හරහා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යන අවස්ථාවේදීයි.

නගරයේ රැදී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මෙලෙස පාර්සල් 3 ක් බන්ධනාගාර බස් රථයට විසි කර ඇති අතර ඉන් එක් පාර්සලක් බස් රථය තුළටත් අනෙක් දෙක පිටතටත් වැටී තිබෙනවා.

එහිදී බන්ධනාගාර බස් රථයේ සිටි නිලධාරීන් පාර්සල් විසි කරන ලද පුද්ගලයින් හඹා ගොස් එක් අයෙකු අත්අඩංගුවට ගෙන කළුතර – දකුණ පොලීසියට භාර දුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ පාර්සලය විවෘත කිරීමේදී එහි තිබී දුම්කොළ සහ ජංගම දුරකතන කිහිපයක් හමුවී තිබෙනවා. මීට පෙර ද බන්ධනාගාර තුළට පිටතින් පාර්සල් විසි කිරීමේ අවස්ථා පිළිබදව තොරතුරු අනාවරණ කරගෙන තිබුණා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට බන්ධනාගාර අවට දැඩි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බැවින් බස් රථ තුළට පාර්සල් විසි කිරීමේ නව ක්‍රම ඔවුන් මෙලෙස අත්හදා බලන බවයි ෴

++++++

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද (28) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බන්ධනාගාරය අසළ දී සැකකරු අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී ද ඔහු සතුව එලෙස විසි කිරීමට සකස් කර තිබූ පාර්සලයක් ද හමුවී ඇති බවයි.

ජංගම දුරකථන 4 ක්, ඒ සඳහා භාවිතා කරන චාජර් සහ දුම්කොළ තොගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා ෴

***************************************

රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් ග්‍රාමනිලධාරිනියකට වැඩ වරදී

(28.07.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට සැකපිට ග්‍රාමනිලධාරිනියක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 174 , වනාතමුල්ල වසමේ ග්‍රාමනිලධාරිනියක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පදිංචි සහතිකයක් ලබා දීමට සඳහා මෙම අල්ලස ගෙන ඇති බවයි සඳහන් වන්නේ ෴

***************************************

කෙසෙල්වත්තේ දිනුක සහ මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(28.07.2020 – 08:50 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසකට සම්බන්ධ ‘කෙසෙල්වත්තේ දිනුක’ සහ මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා (2) කොළඹ කෙසෙල්වත්ත පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

ළමා අපයෝජන නතර කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ක්‍රමවේදයක්

(28.07.2020 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ළමාරක්ෂක අධිකාරිය සමඟ එක්ව තිබෙනවා.

2015 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 47,177ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති රැස්වීමකදී අනාවරණ වුණේ ෴

***************************************

‘සිලෝන් ටී’ නාමයෙන් ‘කසළ තේ’ ඉරාකයට යවලා

(28.07.2020 – 09:35 +0530 – sinhala.adaderana.lk)

මහා පරිමාණ ‘කසළ තේ’ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විසින් රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බව වාර්තා වේ.

මෙරට ක්‍රියාත්මක වූ මහ පරිමාණ ‘කසළ තේ’ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රේගු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

එම තොරතුරුවලට අනුව 2017 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් කාලය දක්වා මෙරටින් ‘කසළ තේ’ කන්ටේනර් 252 ක් ඉරාකයට අපනයනය කර ඇති බව වාර්තා වේ.

එක් කන්ටේනරයකින් ‘කසළ තේ’ කිලෝග්‍රෑම් 18,000 ක් මෙලෙස අපනයනය කර ඇති අතර ‘සිලෝන් ටී’ නාමයෙන් එය ඉරාකයේ වෙළෙඳපොළ ට ලබාදී ඇති බව ද රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කොහුබත් අපනයනය කරන මුවාවෙන් අදාළ ජාවාරම්කරුවන් විසින් මෙම ‘කසළ තේ’ ඉරාකයට අපනයන කර ඇති අතර අදාළ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් අට දෙනෙකු (8) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා දිගින් දිගටම රේගුව මගහරිමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ද රේගුව විසින් පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ ජාවාරම්කරු මේ වන විටත් රේගු දෙපාර්තමේන්තුවේ ‘කසළ තේ’ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ‘අවදානම් කළමනාකරණ ඒකකයේ’ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් ගොනුකර ඇති බව වාර්තා වේ.

‘කසළ තේ’ ජාවාරම සම්බන්ධයෙන් රේගුව විසින් සිදුකරනු ලබන විමර්ශන අත්හිටුවා ගැනීම සහ එහි සුළමුල අනාවරණය කරගැනීම නතර කරගැනීම මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අරමුණ වන බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය ෴

***************************************

පිරිමි ළමුන් අපයෝජනයට ලක් කළ ටියුෂන් ගුරුවරයා ගැන තවත් තොරතුරු හෙළිවේ

(27.07.2020 – 17:28 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 16 ට අඩු කුඩා පිරිමි ළමුන් අපයෝජනයට ලක් කර ඒවා ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස් මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම සැකකරු දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති පවත්වන 54 හැවිරිදි පුද්ගලයෙකු බවත් රූපවාහිනී වැඩසටහන්වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

එම සැකකරු විසින් 2018 වසරේ සිට ළමුන් නිවසට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කර ඇති බවය.

සැකකරු පසුගිය දා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඊයේ (26) ඔහු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී අධිකරණය විසින් සැකකරුව අගෝස්තු 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

“යම් දෙමවුපියෙකුට මෙවැනි ළමා අපයෝජනයක් සිදුවී ඇති බවට සැකයක් ඇති නම් ඒ පිළිබඳව තොරුතුරු පොලීසිය වෙත ලබා දිය හැකි බවත් ළමා අපයෝජන සම්බන්ධ දුරකථන අංකය වන 1929 ට පැමිණිලි කළ හැකි බවත්” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

ටියුෂන් මුවාවෙන් දරුවන් අපයෝජනය කළ ගුරුවරයාගේ පැටිකිරිය මෙන්න..

(28.07.2020 – 09:26 +0530 – lankaleadnews.com)

පිරිමි දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙම අපාරධයට අදාළව පොලිසිය දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු වට්ස්-ඇප් පණිවිඩයකට අනුව කොල්ලුපිටිය පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ද කොළඹට කැඳවා තිබුණේ විමර්ශනවලට සහය ලබා ගැනීම සඳහායි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා :

“අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 56 ක් පමණ වන මහරගම පොලිස් වසමේ දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2018 වර්ෂයේ ඉදලා මේ පුද්ගලයා මේ අපයෝජනයට කටයුතු සිද්ධ කර තිබෙන බව තමයි දැනට සොයාගෙන තිබෙන්නේ. මේ පුද්ගලයා සතුව තිබි මේ වනවිට පරිගණක ඩෙක්ස්ටොප් එකක් ඒ වගේම කැමරා 2 ක්, පෙන්ඩ්‍රයිව් එකක් සංයුක්ත තැටි 137 ක් ඒවගේම විවිධ ප්‍රමාණයේ ඡායාරූප 7 ක් සහ දුරකතනයක් විමර්ශනය සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. දේපොළවල අන්තර්ගත වෙලා තියෙන තොරතුරු පිළිබඳව වාර්තා ලබා ගැනීම සදහා ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා.”

මේ දක්වා සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු පිළිබඳව ද එහිදී පැහැදිලි කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා :

“මේ සැකකරු පුද්ගලික උපකාරක පංති පවත්වන පුද්ගලයෙක්. ඒ වගේම රූපවාහිනි වැඩසටහන්වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. ඒ අවස්ථාවලදි ඇතිකරගත් දැනහැඳුනුම් මත මේ දරුවන් ඔහුගේ නිවසට ගෙන්වාගෙන ඔහුගේ නිවසේදි අපයෝජනයට ලක්කර තිබෙන බවයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් දරුවන් ගණනාවකගේ ඡායාරුප මොහු සන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනට අනාවරණය කරගෙන සියලුම දරුවන් පිරිමි දරුවන්. ඒ වගේම වසස අවුරුදු 16 ට අඩු කුඩා ළමුන්. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශනය කටයුතු සිද්ධ කෙරෙනවා. ඒ විමර්ශනවලදි ඒ දරුවන් මේ වෙනකොට ආරක්ෂිතව දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරලා රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු සිද්ධ කරන්න දරුවන්ට අපයෝජනය සිද්ධ වෙලා ද කියන කාරණය යම්කිසි දෙමව්පියෙකුට මේ සම්බන්ධයෙන් මෙවැනි අපයෝජන සිද්ධ වෙලා තියෙනවායද කියන සැකයක් තියනවා නම් ඒ පිළිබඳව අපට තොරතුරු අපට ලබාදෙන්න පුළුවන්.”

සෑම පැය දෙකකටම (2) වරක්ම අපේ රටේ දරුවෙකු අපයෝජනයට ලක් වන බව පොලීසිය පවසයි.

විමර්ශන වාර්තා උපුටා දක්වන පොලීසිය පෙන්වා දෙන්නේ ළමා අපයෝජනයන්ගෙන් සියයට 70 ක් ම ළඟම ඥාතීන් හෝ ළඟම හිතවතුන් අතින් සිදුවන බවය ෴

+++++++++++++++++++++

රූපවාහිනී රියලටි වැඩසටහන්වලට ගිය ළමුන් අවදානමේ – දරුවන් යොදා අසභ්‍ය වීඩියෝපට 137 ක් නිපදවලා

(27.07.2020 – 08:46 +0530 – truenews.lk)

පාසල් සිසුන් යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට තැනුවායැයි කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා අගෝස්තු 5 වැනිදා දක්වා රිමාන්ඩ් කළ ගුරුවරයාට එරෙහිව දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගැනීමට ජාතික ළමාරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හතර (54) හැවිරිදි නිරත්ත එදිරිසිංහ නමැති අයෙකි.

සැකකරුට අයත් ‘පෙන් ඩ්‍රයිව්’ එකක් අස්ථානගත වීමෙන් අනතුරුව එහි තිබූ බව කියන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබෙනවා.

එම වීඩියෝවේ පාසල් සිසුන්ගේ අසැබි දර්ශන තිබී ඇති අතර ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයෙන් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් ළමයින්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

සැකකරුගේ නිවෙසේ තිබී දරුවන්ගේ පාසල් ඇඳුම් රැසක් ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම සැකකරුගේ ජංගම දුරකතනයේ ද දරුවන් යොදා තැනූ අසැබි වීඩියෝ රැසක් තිබී ඇති බව වාර්තා වනවා.

දැනට ඔහු විසින් වීඩියෝ කරන ලද අසභ්‍ය වීඩියෝපට 137 ක් හමු වී ඇති අතර රූපවාහිනි ළමා වැඩසටහන් පැවැත්වෙන තැන්වලට ගොස් දරුවන්ගේ ඡායාරූප ලබාදෙමින් සහ ඩ්‍රෝන කැමරා තෑගි දෙමින් දරුවන් මේ සඳහා පොලඹවාගෙන ඇතැයි පැවැසෙනවා ෴

***************************************

වතුපිටිවල රෝහලේ කාන්තා වාට්ටුවට ආ ‘හොර දොස්තර’

(27.07.2020 – 10:14 +0530 – sinhala.adaderana.lk)

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට නිට්ටඹුව පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබි, වෙද නලාවක්, ව්‍යාජ රබර් සීල් එකක්, බෙහෙත් විදින සිරින්ජරයක්, සේලයින් බටයක්, ඊ.සී.ජී රෝල් 05 ක්, ලැප්ටොප් එකක්, දුරකතනයක් සහ යතුරුපැදියක් හමු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29 ක් වු දර්ගා මාවත , තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයෙ (26) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

යතුරුපැදි ආනයන තහනම ඉවත් කරන්නැයි ව්‍යාපාරිකයෝ ඉල්ලති

(27.07.2020 – 19:21 +0530 – lankadeepa.lk)

යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05 කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ දැනට මාස තුනකට (3) පමණ පෙර රජය විසින් මෙම තහනම පනවා තිබේ.

යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසන්නේ කඩකාමර කුලී ගෙවීම්, සේවක පඩිනඩි ගෙවීම්, බැංකු ණය සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දරුණු ඛේදවාචකයකට පත්ව ඇති බවයි.

ඔවුන් මේ බව පවසා සිටියේ යතුරුපැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය විසින් අද (27) ගාල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු පළාතේ සියලුම යතුරුපැදි අලෙවි නියෝජිත ආයතන නියෝජනය කරමින් 350 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දක්වමින් දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අසිත පෙරේරා මහතා මෙසේ පැවසීය.

“රජයේ මෙම තීරණය නිසා දිවයින පුරා විසිරී සිටින යතුරු පැදි අලෙවි නියෝජිතයන්, සේවා ආයතන, කඩ හිමියන් සහ යැපෙන්නන් ඇතුළු විශාල පිරිසකගේ ජීවනෝපාය දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.

හෙල්මට් නිෂ්පාදකයින්, සීට් කවර නිපදවන්නන් ඇතුළුව මෙම ව්‍යාපාරයේ වක්‍රාකාරව ඇති රැකියා අවස්ථා සියල්ල කඩා වැටිලා.

දැනට තිබෙන යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මාසයේ අලෙවි කිරීමට පමණයි. අගෝස්තු මාසයේ සිට ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට දැඩි අපහසු තත්ත්වයක් උදාවී තිනෙවා.

අපගේ මව් සමාගම් මේ තත්ත්වය සම්බන්ධව අදාල බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් මෙතෙක් කිසිම විසඳුමක් ලැබී නැහැ.

මේ සමස්ථ ව්‍යාපාරය මගින් වාර්ෂිකව ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 122 ක පමණ දායකත්වයක් ලබා දෙනවා. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.”

***************************************

රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි

(27.07.2020 – 15:05 +0530 – lankadeepa.lk)

නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටීමෙන් වූ අනතුරින් ඇය මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

දියණියට ඇයගේ මව බත් කවමින් සිට ඇති අතර, අත් සේදීම සඳහා ඇය නිවසේ මුළුතැන්ගෙයට ගිය අතරතුරදී දියණිය නිවසේ සාලයේ තබා තිබූ පැරණි රූපවාහිනීයක රඳවනයෙහි එල්ලී සෙල්ලම් කර ඇත. එම අවස්ථාවේදී එක්වරම රූපවාහිනී යන්ත්‍රය පෙරලෙන ශබ්දය ඇසී මව පැමිණ බලනවිට බරපතල තුවාල සහිතව ඇය ඊට යට වී සිටිනු දැක රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි. එසේ යන අතරතුරදී ඇය මිය ගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ රාජපක්ෂ ලියනගේ ලිනුකි වාර්ෂිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු පහමාරක (5½) පෙර පාසල් දැරියකි.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි කඩුවෙල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩබ්.ඒ.කේ. නිමල් මහතා විසින් මූලික පරීක්ෂණ කටයුතු කරන ලද අතර නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *