ප්‍රහාරයක සැලසුම හෙළි කළේ මාස 6 කට පෙරයි – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපති කොමිසමේදී කියයි

(29.07.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂිම් මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කරමින් සිටින බව තමන් පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර හිටපු ජාතික බුද්ධි ප්‍රධාන සිසිර මෙන්ඩිස් දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසමේදි අනාවරණය කළා.

ඒ ඊයේ (28) දෙවන (2) දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

ඔහු සඳහන් කළේ, 2016 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට පෙර අවස්ථාවකදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලසුන ගත් මෙන්ම එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සහභාගි වූ ජාතික ආරක්ෂක කවුන්සල කිහිපයකදිම ‘කුරාසන්’ යනුවෙන් අයි.එස්. ත්‍රස්තයන් හඳුන්වන ඉස්ලාම් රාජ්‍යයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සිතියම් ගත කර ඇති බව දැනුම් දුන් බවයි.

අයි.එස්. ත්‍රස්තයින්ගේ එම හැඳින්වීම අනුව සහරාන් හෂීම්ව හදුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීයා ලෙස ‘අමීර්’ යන නමින් වූවද එම ක්‍රියාකාරී සංවිධානයේ නිර්මාතෘවරයා සහරාන් නොව ‘නවුෆර් මවුලවි’ නම් තැනැත්තා බවද සාක්ෂිකරු පැවසුවා.

නිලන්ත ජයවර්ධන වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ සිට අයි.එස්. සංවිධානයට සම්බන්ධවීම සඳහා සිරියාවට ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා ජාලය පිළිබඳවද ජාතික ආරක්ෂක කවුන්සලයට ඉතා සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදුකළ බවයි.

මෙහිදී කොමිසම විමසුවේ අයි.එස්. ත්‍රස්තවාදය මෙරට තුළට පැමිණිමේ අවධානම පිළිබද ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ විට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන සඳහන් කළේ මාධ්‍යවේදින් නොමැතිව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ජනාධිපති කොමිසමේ සමාජිකයින් පමණක් සිටින අවස්ථාවක එම ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බවයි.

“මේ කොමිසම හමුවේ මේ වෙද්දිත් කරුණු ගොඩාක් අනාවරණය වෙලා තියෙනවා. අපි ප්‍රශ්න කරන්නේ ඒවා මතයි. ඔබට පෙර මේ කොමිසම හමුවේ සාක්ෂිකරුවන් 255 දෙනෙකු සාක්ෂි දී තිබෙනවා. ඔබ 256 වෙනියා. ඒ නිසා කියන්න තියෙන දේවල් කියන්න” යනුවෙන් එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් ඉල්ලා සිටියා.“වෙන අය කිව්වට මට කියන්න බැහැ. මම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා. ඒ කරුණු විවෘතව කීමෙන් දේශපාලනික සහ පෞද්ගලික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.”‍ යනුවෙන් නිලන්ත ජයවර්ධන ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

+++++++++++++++++++++

***************************************

යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(29.07.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල පොලිස් වසමේ වැලියාය ප්‍රදේශයේදී යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (2) හෙරොයින් ග්රෑම් 4 යි මිලි ග්රෑම් 400 ක් සමඟ මොණරාගල මූලස්ථාන පොලිස් වැටලීම් ඒකකය ඊයේ අත්අඩංගුවට ගත්තා.

***************************************

නගරාධිපති වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් දීමට තමා විරුද්ධ නැහැ

(29.07.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකට අත තියන්න දෙන්නැහැ කියලා තමා කිවේ ඔහුට පහර දෙන්න හදන විරුද්ධ දේශපාලනඥයන්ට බව වරාය නාවික කටුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඇමතිවරයා එම අදහස් පැවසුවේ හිරු ‘ඇත්ත’ සමඟ විශේෂ සාකචාවකට එක්වෙමින්.

නගරාධිපති උවත් වරදක් කර ඇත්නම් ඔහුට දඩුවන් දීමට තමා විරුද්ධ නොවන බව පවසන ඔහු බුවනෙක බාහු රජතුමාට අයත් රාජසභා ගොඩනැගිල්ලක් මෙම ස්ථානයේ තිබුණු බවට කිසිදු සාක්ෂියක් පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුව මෙතෙක් ඉදිරිපත් නොකරන බව ද පෙන්වා දෙනවා.

කුරුණෑගල බුවනෙක හෝටලය බදු ගෙන සිටි අයිතිකරුගේ පුතාගේ නම බුවනෙක නිසා මෙය බුවනෙකබාහු රජුගේ ගොඩනැගිල්ලක් යැයි පවසමින් ඇතමුන් දේශපාලන වාසිගන්න හදන බවද ඔහු පවසනවා.

බුවනෙක හෝටලයේ තිබු අනවසර ඉදි කිරීම් නගරසභාව විසින් ඉවත් කර ඇත්තේ නගර සභාවගත් ඒක මතික තීරණයක් මත බවත් ඔහු පවසනවා.

මෙම ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැල්ලක් බව පිළිගන්න බව පවසන ඔහු එය යළි ගොඩනැන්වියුතු බව පවසනවා.

මේ වන විටත් මිට අදාළව පරීක්ෂණයක් පැවවෙන බැවින් ඇත්ත ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවද පවසනවා.

***************************************

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක්

(29.07.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක් සමග පැයක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරාගතයුතු වරණ 4, 3 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

***************************************

මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරුන් තුන්දෙනා (3) ලබන මස 4 දක්වා රිමාන්ඩ්

(29.07.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලබා සිට අධිකරණයට භාරවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (29) මීගමුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා ඇතුලු සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

වරෙන්තු නිකුත් කරනු ලැබූ ජේලර් කාලිංග කළුඅග්ගල මීට පෙර අධිකරණයට භාර වූ අතර, ඔහුද අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු හතරවනදා (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය අද (29) යළි නියෝග කළේ ෴

***************************************

සම්පායෝ නිදැල්ලේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලීසියට දෝස් මුරයක්

(29.07.2020 – 16:40 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (29) යළි නියෝග කළේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනුකර ඇති අතර, එය ලබන මස 5 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කර දින හතක (7) පමණ කාලයක් ගතවී ඇතත්, තවමත් හිටපු බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (29) අධිකරණය හමුවේ කියා සිටියා.

කොරෝනා වසංගතය ව්‍යාප්ත කරන පුද්ගලයන් මෙහෙයුමක් සිදුකර අත්අඩංගුවට ගත් ලෙස, සමාජයට වසංගතයක් වී ඇති මෙවැනි පුද්ගලයන්ද අත්අඩංගුවට ගත යුතු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

එල්.ටී.ටී.ටී. ත්‍රස්ත සංවිධානයට අරමුදල් සැපයූ කුමරන් පද්මනාදන්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් වන මාකඳුරේ මධුෂ් වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිනම්, කුඩා දූපතක සිටින පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවීම පුදුමයට කරුණක් බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

අද (29) අධිකරණයට භාරවූ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා (2) මාවතගම සහ මාතලේ ප්‍රදේශවල සිට මීගමුවට පැමිණ ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලීසියේ අනුදැනුමකින් තොරව ඔවුන් පැමිණියේ කෙසේදැයි විමසා සිටියා.

පොලිස් ආඥාපනතේ 56 වන වගන්තියට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා බැඳී සිටිනවා.

එසේ නොවන්නේ නම් එය, පොලිස් ආඥාපනතේ 82 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.

ඊට අදාළව මාස තුනක (3) සිර දඬුවමක් හෝ දඩයක් පැනවිය හැකි අතර, බරපතල චෝදනා එල්ලවූ මෙවැනි පුද්ගලයන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අවධාරණය කළා.

ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව වැඩබලන පොලිස්පතිවරයාට අනිද්දා (31) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවස්ථා තුනකදී (3) එම ඉල්ලීම සිදුකළ අතර, එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අදාළ ඉල්ලීම සිදුකරන ලෙසටයි.

ඒ අනුව ලබන අගෝස්තු මස 4 වනදා යළි නඩුව කැඳවන අවස්ථාවේදී එම ඉල්ලීම සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

අද (29) වනවිට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පුද්ගලයින් අධිකරණයට පැමිණ භාරවීම රැල්ලක් බවට පත්ව ඇති බවට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය අධිකරණයට අගෞරවයක් බවටද සඳහන් කළා.

එමෙන්ම රටක නීතිය හෑල්ලුවට ලක් කිරීම, නීතියේ ආධිපත්‍යයේ මළගම ලෙස සටහන් වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අවධාරණය කළේ.

මීට අමතරව මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති අක්‍රමිකතා සහ විවිධ දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද (29) අධිකරණයේදී හෙළි කළා.

පසුගිය වසරේ නත්තල් සමයේ මීගමුව බන්ධනාගාරය තුළ මහා පරිමාණයෙන් මත්පැන් සහ ගංජා සාදයක් පවත්වා ඇති බව සඳහන් කළ ඔහු, රජයේ වරප්‍රසාද භුක්ති විඳිමින් චෝදනා එල්ලවී ඇති බන්ධනාගාර නිලධාරීන් එය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවද කියා සිටියා.

එමෙන්ම වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් පවා කප්පම් ලබාගෙන ඇති බවට හෙළිවී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ස්ථාන මාරු ලබාදෙන බව පවසමින් ඇතැම් නිලධාරීන්ගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගෙන ඇති බව එහිදී ඔහු හෙළි කළා.

එවැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම විමතියට කරුණක් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා මීගමුව බන්ධනාගාරයේ වර්තමාන අධිකාරිවරයාට නියෝග කළේ සිර මැදිරි තුළ තිබී සොයාගත් ශීතකරණ ඇතුලු උපකරණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අනුරුද්ධ සම්පායෝ මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මේ වනවිට ඔවුන්ගේ නිවෙස් හැරගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) අධිකරණයට දැනුම් දුන්නා.

+++++++++++++++++++++

***************************************

වරාය සේවකයින් සත්‍යග්‍රහයක

(29.07.2020 – 16:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙසට බලකරමින් එහි වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

වරාය අධිකාරියේ ලෝඩන් බැස්ටියන් හෙවත් එල්.බී.දොරටුව ඉදිරිපිට මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇති අතර, වරාය සේවකයින් අද (29) දහවල් කෑම පැයේ විරෝධතාවකද නිරතවුණා ෴

+++++++++++++++++++++

***************************************

මහ මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවට අනිද්දා (31) සිට විශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක්

(29.07.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අනිද්දා (31) සිට ලබන මස 10 වනදා දක්වා විශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මේ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

එසේම ජාතික ගමනාගමන කොමිසම විසින් අන්තර් පළාත් බස් රථ පමණක් නොව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ, දැනටමත් අවශ්‍ය වුවහොත් ධාවනය සඳහා සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කළා.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව සියලු දුම්රියද මෙම විශේෂ පොදු ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති අතර, ඇතැම් ගමනාන්තයන් පවා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

***************************************

2020 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අගෝස්තු 04 සිට 07 දක්වා පාසල් නිවාඩු

(29.07.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් මෙලෙස පාසල් වසා තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ජූලි මස 27 වෙනිදා සඳුදා දින සිට 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 වෙනිදා සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.

1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගනු ඇති.

තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පැවරීමටයි තීරණය කර ඇත්තේ.

ප.ව. 03:30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 07:30 සිට ප.ව 01:30 දක්වා වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබීම විශේෂත්වයක්.

එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

පාසල් ආරම්භවන අයුරු පහතින් :

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ :

+++++++++++++++++++++

***************************************

ඩෙංගු පරීක්ෂාව සඳහා උපරිම මිලක් නියම කරයි

(29.07.2020 – 18:02 +0530 – hirunews.lk/sinhala)

රසායනාගාර තුළ සිදු කෙරෙන ඩෙංගු සඳහා වන එන්.එස්.අයි. ප්‍රතිදේහ ජනක පරීක්ෂණය සඳහා රුපියල් 1,200 ක් සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා රුපියල් 400 ක උපරිම ගාස්තුවක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර තිබෙනවා ෴

***************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස පත්කෙරේ

(29.07.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව කේ. මතිවානන් මහතා අද (29) ප්‍රකාශ කළා.

වසර 15 ක් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමන් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් වත්මන් ක්‍රිකට් පරිපාලනය නොදැක්වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ෴

***************************************

අලුතින් සැකසෙන නීතියක් ගැන අගමැති හෙළි කරයි

(29.07.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් එකඟතා අත්සන් කිරීමට පෙර එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන ආකාරයට නීති සකසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (29) පැවති වෘත්තීයවේදීන්ගේ හමුවකට එක්වෙමින්.

***************************************

රුපියල් 5000 ක අල්ලසක් ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අල්ලස් දැලේ

(29.07.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 5,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරියෙකුයි.

පැමිණිලිකරුට රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ලිඛිත විභාගය සමත් කරදීමට හා ඊට අදාළ වෙනත් කටයුතු වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි හෙළිවී ඇත්තේ ෴

***************************************

මෙවර මහ මැතිවරණයේ රාජකාරිවලට වැඩි පොලිස් නිලධාරින් පිරිසක්

(29.07.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

පෙර පැවති මැතිවරණවලට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේදි සියයට 25 කට වැඩි පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට සිදුව ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ අපරාධ හා සංවිධානාත්මක අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, පුර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සදහා මේ වන විට සියලු කටයුතු යොදා අවසන් බවයි.

මේ අතර මහ මැතිවරණය සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අනිද්දා (31) සිට ලබන මස 10 වනදා දක්වා විශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටවූ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී අද (29) සාර්ථකව සිදු වුණා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි

(29.07.2020 – 20:03 +0530 – sinhala.adaderana.lk)

කළුතර දකුණ මහ හීනටියන්ගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී විකිණීමට සූදානම් කළ හා නොකළ නීති විරෝධී මත්පැන් ලීටර් 4000 ක් ද සිය බාරයට ගෙන තිබේ.

ඉතා දියුණු තාක්ෂණයක් යටතේ මෙම ස්ථානයේ මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය ෴

+++++++++++++++++++++

CCD ය කළුතරදී වැටලූ මහා පරිමාණ ස්කාගාරය මෙන්න

(29.07.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

= CCD ය කළුතරදී කළ වැටලීමකදී එතනෝල් ලීටර 4000 ක් සමඟ සැකකරුවන් 7 ක් අත්අඩංගුවට =

කොළඹ අපරාධ කොට්ඨාසය කළුතර-දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ කළ වැටලීමකදී මහා පරිමාණ ස්කාගාරයක් වටලා තිබෙනවා.

එහිදී එතනෝල් ලීටර 4000 ක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

+++++++++++++++++++++

***************************************

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම – අගමැතිගෙන් උපදේශක කමිටුවක්

(29.07.2020 – 16:55 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

උපදේශක කමිටුව මඟින් දිවයිනේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම මෙම උපදේශක කමිටුව මඟින් අපේක්ෂිතය.

පත්කරන ලද උපදේශක කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වේ :

  1. පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහානිකායේ අස්ගිරිමහා විහාරපාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ධර්ම කිර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමි
  2. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි
  3. අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි
  4. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
  5. පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි
  6. අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි
  7. සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි
  8. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
  9. ආචාර්ය පූජ්‍ය මාඳුරුඔයේ ධම්මිස්සර හිමි
  10. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල
  11. පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග
  12. ආචාර්ය ගාමිණී විජේසූරිය
  13. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා
  14. විද්‍යා ජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා
  15. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග
  16. වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්
  17. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව
  18. ඩබ්.එම්.එස්.වීරසේකර
  19. සිරිනිමල් ලද්දුසිංහ
  20. මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර

***************************************

මුඛ පිළිකාව මුල් අවස්ථාවේ දී හඳුනාගැනීම වැදගත් – වෛද්‍ය ජානකී විදානපතිරණ

(29.07.2020 – 15:39 +0530 – sinhala.adaderana.lk)

මුඛ පිළිකා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇය මේ බව පවසා ඇත.

මුල් අවස්ථාවේ දී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත් වීම හේතුවෙන් පහසුවෙන් වළක්වාගත හැකි මුඛ පිළිකාවෙන් රෝගීන් මිය යන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම ප්‍රතිකාර සඳහා පැමිණීමේදීත් ශ්‍රී ලංකාවේ 70% ක්ම රෝගීන් පැමිණෙන්නේ මුඛ පිළිකාව අවසන් අදියරට පැමිණීමෙන් පසු බවත් එම අදියරේ දී ප්‍රතිකාර කිරීම අසීරු බවත් ඇය පැවසුවාය ෴

***************************************

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට පණ දෙන්න මම සූදානම් – අමාත්‍ය විමල් වීරවංශ

(28.07.2020 – 19:44 +0530 – lankadeepa.lk)

ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණදීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.

වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දිය හැකි යැයි කිසිවකුත් විශ්වාස නොකළ බව කී අමාත්‍යවරයා වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50 කට ආසන්න ප්‍රථම කඩදාසි තොගය මෙම මාසයේ අගදී වෙළඳපොළට නිකුත් කරන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික කඩදාසි සමාගමට අයත් දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වාලච්චේන කම්හලේ යන්ත්‍රසූත්‍ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වූ බව කී ඇමති විමල් වීරවංශ මහතා ඒ වෙත ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් අලුතින් ගැනීමටත් ගොඩනැගිලි සියල්ල යළි පිළිසකර කිරීමටත් සිදුවූ බව ද කීවේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල, වාලච්චේන කම්හලට සාපේක්ෂව ආරක්ෂිතව තිබූ බව කී ඇමතිවරයා එහි යන්ත්‍ර සූත්‍ර හොඳින් පවතින නමුත් විදුලි පද්ධතියට තඹ කම්බි සොරාගත් පිරිස් විසින් හානිකර ඇතැයි ද පැවසීය.

ඒවා ප්‍රතිසංස්කරණය කර එම කම්හලේ වැඩ කටයුතු ඇරඹිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වාලච්චේන කඩදාසි කම්හල ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට සූදානම් බව ද කී ඇමතිවරයා එය කළ හැක්කක් බව ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු කර පෙන්වන බව ද ප්‍රකාශ කළේය.

***************************************

එතනෝල් සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා අගෝස්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ්

(29.07.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

පමුණුව – උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මත්පැන් සහ එතනෝල් ස්ප්‍රීතු සමඟින් සුරාබදු නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (29) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

***************************************

වාද්දුවේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරේ CCTV දර්ශන මෙන්න

(29.07.2020 – 22:21 +0530 – hirunews.lk/sinhala)

වාද්දූව නගරය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථයක් ගැටී අනතුරට ලක්වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර අනතුරින් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ ගේට්ටු මුරකරු එහි සිටියේ නැති බවයි.

(Re-load the page for re-play the video)

***************************************

කේරළ ගංජා කිලෝ 33 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(30.07.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා කිලෝග්රැම් 33 ක් සමඟ සැකකරුවෙක් ඊයේ (29) යාපනය, අයින්දු මංසන්ධිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුත්තලම ප්‍රදේශයේ ස්ථිර පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අතහැරදමා තිබූ ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රැම් 33 යි ග්රැම් 450 ක් තිබි සොයාගත් අතර, සොයාගත් ගංජා තොගය රුපියල් ලක්ෂ 40 කට වැඩි වටිනාකමින් යුතු වන බවද පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

***************************************

නිව්මන්ගේ ඔත්තුවෙන් තවත් හෙරොයින් තොගයක් බෝකුන්දරින් එළියට ආ හැටි මෙන්න

(30.07.2020 – 06:56 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝ 1 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් හෙරොයින් ග්‍රෑම් 535 ක් සොයාගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු නිව්මන් යන අයගෙන් කල ප්‍රශ්න කිරීම්වලට අනුව බෝකුන්දර නිවසක වලලා තිබියදීයි මෙම හෙරොයින් තොගය හමුව ඇත්තේ.

***************************************

රිමාන්ඩ් කළ මීගමුවේ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනාත් බූස්සට

(30.07.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතකළ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න බූස්ස බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වරෙන්තු ලබා සිටි මොවුන් ඊයේ (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ අතර, පසුව නියෝග කෙරුණේ ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

වරෙන්තු නිකුත් කරනු ලැබූ ජේලර් කාලිංග කළුඅග්ගල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර, ඔහුද ඊයේ (29) යලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස හතරවනදා (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ජේලර් කාලිංග කළුඅග්ගල, මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු මීගමුව බන්ධනාගාරය හෝ මහර බන්ධනාගාරය වෙත යොමු නොකර බූස්ස බන්ධනාගාරය වෙත යොමුකරන ලෙසයි.

ඒ පිළිබඳ තීරණය ගැනීමේ බලය ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට බව එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණා.

කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ආසන්නතම අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරය වන මීගමුව බන්ධනාගාරයේ සැකකරු රඳවා තැබීමට නියෝග කළ අතර, අවශ්‍ය නෛතික කටයුතුවලින් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ තීරණය කරනු ඇති බවයි සඳහන් කළේ.

පසුව සැකකරු බූස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් ඊයේ (29) රක්ෂිත බන්ධනාගාර ගත කළ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා (2) සම්බන්ධයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවුවද ඔවුන්ද බූස්ස බන්ධනාගාරය වෙත යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියා ෴

***************************************

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද (30)

(30.07.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (30) වීථි සංචාරය කිරීමට නියමිතයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි.

මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ මහ පෙරහර ලබන 03 වනදා පැවැත්වෙනවා ෴

***************************************

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

(30.07.2020 – 09:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන් 10,000 කගේ පමණ රැකියා අහිමිවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා කියා සිටියේ රැකියා අහිමිවී, මෙරටට පැමිණීමට අපේකෂා කරන පිරිස් ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.

මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රමිකයන් 40,000 ක් පමණ ඉල්ලුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව පසුගියදා විශාල කතාබහක් ඇතිවූවා.

කෙසේ වෙතත් මෙය සැලසුම්සහගත සිද්ධියක් නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

ජෝර්දානයේ අල්ඛරාක් කර්මාන්තපුරයේදී මෙම සිද්ධිය වාර්තා වූයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදීයි.

පසුව 350 කට ආසන්න මෙම පිරිස කලහකාරී ලෙස හැසිරීමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දානයේ ආරක්ෂක අංශ කටයුතු කළා.

කෙසේ වෙතත්, පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය තම කාර්යාංශයේ හෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවයි ෴

***************************************

තමන්ගේම අම්මාට අමානුෂිකව පහරදී නූලකින් ගෙළ සිරකළ මිනුවන්ගොඩ අජාසත් පුතා

(30.07.2020 – 09:39 +0530 – hirunews.lk/sinhala)

තමන්ගේම අම්මාට අමානුෂිකව පහරදී නූලකින් ගෙළ සිරකළ මිනුවන්ගොඩ අජාසත් පුතා රිමාන්ඩ්.

80 හැවිරිදි වියේ පසුවන තම මවට අමානුෂික ලෙස පහරදුන් සැකකරුවෙක් 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ සැකකාර පුත්‍රයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ.සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ මිනුවන්ගොඩ උතුරු වැලියේ පදිංචි 36 හැවිරිදි අවිවාහක සැකකරුවෙක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

නිවස පිතිටි ඉඩම ලියාදෙන ලෙසට බලකරමින් සැකකරු තම මවට මෙලෙස අමානුෂිකව පහරදී ඇති බවටයි අධිකරණයේදී කරුණු අනාවරණ වී ඇත්තේ.

එහිදී සැකකාර පුතු විසින් තම මව නිවස තුලට ගෙන නිවසේ දොර ජනෙල් වසාදමා රීප්පයක් කැඩෙනතුරු පහරදී ඇති බවද අනාවරණ වී තිබෙනවා.

ඝාතනය කරන බවට තර්ජනය කිරීමෙන්අනතුරුව සැකකරු විසින් මවගේ ගෙළ නූලකින් සිරකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මවගේ කෑගැසීම හේතුවෙන් පැමිණි අසල්වැසියන් විසින් ඇය ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර මේ වනවිට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ.

මිනුවන්ගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *