වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාලවෙයි

(01.08.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව ඊයේ (31) ඇරඹූ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කළ යුතු බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ සිදු කරන ලෙසට ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තීය එකමුතුව පසුගිය 29 වනදා ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

එම සත්‍යග්‍රහයට සහය පළ කරමින් වෘත්තිය සමිති ඊයේ (31) පස්වරුවේ වරාය ප්‍රධාන පිවිසුමේ සිට පාගමනින් පැමිණ විරෝධතාව පළ කළා.

***************************************

පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනපති මොණරාගලට

(01.08.2020 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවට ජනාධිපතිවරයා ඊයේ (31) එක් වුණා.

දොඹගහවෙල සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගීවූ ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

මෙහිදී තම ගැටළු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටද ජනතාවට අවස්ථාව උදාවුණා.

ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස කුඹුක්කන් ඔය ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන බවයි.

මඩුල්ල සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයා ජනතා ගැටළුවලට සවන් දෙමින් සදහන් කළේ ප්‍රදේශයේ පානීය සහ වගා ජල ගැටළුවට විසඳුම් දෙන බවයි.

මඩුලුමිනි ප්‍රාථමික විද්‍යාලයට රැස්වීම් ශාලාවක් දෙන ලෙස කළ ඉල්ලීම ඉටුකරදිමට මෙම ජන හමුවේදී ජනාධිපතිවරයා එකඟවුනා.

මෙහිදී වෙල්ලස්සේ පාරම්පරික අසිපතක ආකෘතියක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

මේ අතර, මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සංවර්ධනය කර දෙන ලෙසට සිසුන් පිරිසක් කළ ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා.

බිබිල, සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශයේ අඩු පාඩු පිලිබඳව ජනතා අදහස් විමසුවා.

හමුවට එක්ව සිටි ආදිවාසීහු පිරිසක් ඉඩම් ඔප්පු නොලැබීමේ ප්‍රශ්නය සහ දෛනික කටයුතු කරගෙන යාමේදී මතුව ඇති නීතිමය ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය 4 සහ 5 වැසේ

(01.08.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා බැවින් ලබන 4 සහ 5 යන දිනවල නාරාහේන්පිට – ඇල්විටිගල මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ලබන 5 වන දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළව එම දෙපාර්තමේන්තු කාර්යාලය නැගෙනහිර – කොළඹ ඡන්ද කොට්ඨාශයට අයත් අංක 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බව ගැසට් මගින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්.

ඒ හේතුවෙන් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව එම ඡන්ද මධ්‍යස්ථාන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම පියවර ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ ෴

***************************************

වෙළඳපොළක් නොමැතිව බැටකන වේවැල් කර්මාන්තකරුවන්ගේ කඳුළු කතාව

(01.08.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

නිසි වෙළඳපොළක් නොමැතිව පීඩාවට පත්ව සිටින වනාතවිල්ලුවේ වේවැල් කර්මාන්තකරුවන් පිලිබඳවයි මේ තොරතුරු.

නවා වියා හැඩවෙන වේවැල පුත්තලම දිස්තික්කයේ සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ගය බවට පත්ව තිබෙනවා.

කුකුළන් කර්මාන්තයට, කොප්පරා ආශ්‍රිත නිපැයුම් කර්මාන්තය, පතල් කර්මාන්තය, ධිවර කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත රැසක එදිනෙදා කටයුතු පහසුවෙන් කරගෙන යාම සදහා වේවැල් කර්මාන්තය තුළින් සැපයෙන නිෂ්පාදන ඉහළ දායකත්වයක් දක්වනවා.

නමුත් වනාතවිල්ලුව වේවැල් කර්මාන්තකරුවෝ මැසිවිලි නගන්නට පටන්ගෙන ඇත්තේ ඔවුන්ගේ ජීවිතවලට පණ පෙවූ වේවැල් කර්මාන්තයට ටික කලක සිට කණකොකා හඬන්නට පටන්ගෙන තිබීම නිසායි.

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා වැලිකඩට

(01.08.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරුණු රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා ඊයේ (31) රාත්‍රීයේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා.

2015 වසරේ කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස මරණ දඩුවම නියම වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභා හිටපු සභාපති වජිර දර්ශන සිල්වා යන අයටයි.

මරණ දඩුවම නියම කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙක්ද වනවා.

***************************************

ඡන්දපොළ සෞඛ්‍යාරක්ෂිතයි – නිරීක්ෂණ සංවිධාන කියයි

(01.08.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිතව සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම සකස් කර ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දපොළ වෙත පැමිණීමට ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ උදෑසනම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

අගෝස්තු 5 වන දා පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී ඡන්දදායකයන්ට තම ඡන්දය සලකුණු කිරීම සඳහා අවශ්‍ය නම්, නිල් හෝ කළු පැහැති බෝල්පොයින්ට් පෑනක් රැගෙන යා හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

එලෙස රැගෙන එන පෑන යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක්, වර්ණයක් හෝ ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකුණු කිරීම සඳහා පෑනක් රැගෙන ඒමට හැකි නොවුණහොත් එවැනි ඡන්දදායකයන්ට ඡන්ද මධ්‍යස්ථානය තුළ දී විෂබීජ හරණය කරන ලද පෑනක් සැපයීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ෴

***************************************

මහ මැතිවරණයේ අවසන් ජන හමුවලට ප්‍රධාන පක්ෂ සූදානම්

(01.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන තත්ත්වය හමුවේ ප්‍රධාන පක්ෂ තම අවසන් ජන හමු සඳහා මේ වන විට සූදානම් කරමින් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව හෙට (02) පස්වරු 5 ට එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල – කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තම පක්ෂයේ අවසන් ජන හමු හෙට (02) දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව හෙට (02) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මරදාන – ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් හෙට (02) ගාල්ල දිස්ත්‍රික්කයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව හෙට (02) පස්වරු 6 ට කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු හෙට (02) දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව හෙට (02) පැවැත්වීමට නියමිතව ඇත්තේ අලුත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

මහ මැතිවරණයට අදාළව සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජන හමු ද හෙට (02) පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ ෴

***************************************

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මුඛ ආවරණ පැළදීම අනිවාර්යයි – මන්ත්‍රීවරුන් 225ට එකවර රැස්වීමේ අවස්ථාව

(01.08.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ලබන පස්වනදා (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ලබන 20 වනදා පාර්ලිමේන්තුව රැස්වන බවට ප්‍රධාන පුවත්පතක පළ කර තිබූ පුවතක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ගැසට් කරන ලද දිනයකදී පාර්ලිමේන්තුව ආරම්භ වන බවයි.

අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය, පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙන දිනයේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම මීට පෙර සිදුකරනු ලැබුවද මෙවර කොවිඩ් 19 වසංගතයත් සමඟ ඇතිවූ තත්වය හේතුවෙන් එය වෙනස්වුණා.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලබන 06 වනදා නිකුත් කෙරෙන අතර, මනාප ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ හත්වනදා (07) යි.

ඒ අනුව තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන සති අන්තයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් විශේෂ රෙගුලාසි කිහිපයක් යොමුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෑම මන්ත්‍රීවරයෙකුටම මුඛ ආවරණයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් සභාව අමතන අවස්ථාවේත් එය පැළඳ සිටීම අනිවාර්ය වනවා.

ඒ අනුව සභා ගර්භය තුළ සිටින සෑම අවස්ථාවකදීම සියළුම මන්ත්‍රීවරුන් මුඛ ආවරණ පැළද සිටිය යුතුයි.

එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීමේදී උෂ්ණත්වය මැන බැලීම සහ විෂබීජනාශක දියර යොදා අත් පිරිසිදුකර ගැනීමද එම නිර්දේශවලට ඇතුලත්.

ඊට අමතරව තවත් මන්ත්‍රීවරයෙකුට සුබපැතීමේදී වැළඳගැනීම, සහ අතට අත දීමෙන් වැළකී සිටින ලෙස එමඟින් දන්වා තිබෙනවා.

ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ආසනයක් මුල සිටම ස්ථාපිත කර ඇත්තේ අඩි දෙකහමාරක් පමණ දුරින් බැවින් මන්ත්‍රීවරුන් 225 දෙනාටම එකවර පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ගැටළුවක් නොවන බවයි.

කෙසේ වෙතත්, කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය අසුන හැර වෙනත් අසුනක හිඳ ගැනීමෙන් වළකින ලෙස ද දැනුම්දීමක් කෙරෙනවා ෴

***************************************

ලංකාපුර පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත්

(01.08.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ලංකාපුර ප්‍රදේශයේ තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ, නිරෝධායනයට ලක් කර සිටි ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයාගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි.

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් 2815 ලෙස පවතින අතර සුවය ලැබූ සංඛ්‍යාව 2391 ක්.

එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 413 දෙනෙකු පමණයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 335 ක් රැගත් ගුවන් යානයක් ඊයේ (31) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මේ අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කළේ පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් 18 දෙනෙකු සහ උපදේශකයන් 12 දෙනෙකු ඇතුළත් එහි හදිසි සේවා කමිටුව ජිනිවා නුවර දී ඊයේ (31) රැස්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු 4 වන වතාවටයි.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

කෙසේ නමුත්, සියවසකට වරක් එළඹිය හැකි සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඞ් 19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

***************************************

කටුනායක ගුවන්තොටුපලේ දෙවන ගුවන් මගී පර්යන්තයේ ඉදිකිරීම් සැප්තැම්බරයේ ඇරඹේ

(01.08.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කර වසර 3 කින් නිමා කිරීමට සැලසුම් කෙරෙනවා.

ඒ බව ප්‍රකාශ කෙරුණේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගුවන්තොටුපල පැමිණීමේ ආලින්දයේදී අද (01) පැවති මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ආයෝජනය කරන මුදල යෙන් බිලියන 62 ක්.

ව්‍යාපෘතිය යටතේ ගුවන්තොටුපල තුළ වසරකට අමතර ගුවන් මගීන් මිලියන 9 ක පිරිසක් හැසිරවීමේ හැකියාව ලැබෙන අතර, වර්ග මීටර 180,000 ක විශාලත්වයකින් යුත් මෙම දෙවන පර්යන්තය ගුවන් මගී පාලම් දෙකකින් (2) ද සමන්විතයි ෴

***************************************

කුඩු අංජුගේ ගෝලයෙක් ගිනි අවියක් සමග CCD අත්අඩංගුවට

(01.08.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන ‘සිතුම් නිලංග පීරිස්’ නොහොත් ‘අසංක’ නැමති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අඟුලාන මුහුදුබඩ පාරේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ පංචිකාවත්ත ප්‍රදේශයේදීයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලට අනුව අපරාධ සඳහා යොදාගත් විදේශයක නිශ්පාදිත රිවොල්වරයක් සහ උණ්ඩ 10 ක් මීගොඩ දහම් මාවතේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

2016 වසරේදී පිලියන්දලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබලදීමේ චෝදනාවද සැකකරුට එල්ල වනවා.

සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

***************************************

හෙරොයින් සමඟ රාජගිරියේදී ඇල්ලූ සැකකරුවන්ගේ ගිණුම් 4 ක ලක්ෂ 750 ක්

(01.08.2020 – 16:46 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් සමග ඊයේ (31) රාජගිරියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකදී, ගිණුම් 4 කට රුපියල් ලක්ෂ 750 කට වැඩි මුදලක් බැරවී ඇති බව වැලිකඩ පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී තිබෙනවා.

ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවටයි සැක කෙරෙන්නේ.

හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 65 ක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මොවුන් තිදෙනා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ඊයේ (31) අත්අඩංගුවට ගත්තා.

එසේම, හෙරොයින් මත්ද්‍රව්‍ය හා විදේශීය මුදල් ද ඇතුළුව රුපියල් කෝටි 6 කට ආසන්න මුදල් සමග සැකකරුවෙකු කොළඹ වරාය පොලීසිය මගින් දෙමටගොඩදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබුණා.

එම මත් ජාවාරම්වලට සම්බන්ධ තවත් කෝටි හතහමාරක (7½) බැංකු ගිණුම් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ‘චන්දන ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ අනුදැනුම මත මුල්ලේරියාව කැළණි නදී මාවතේ පවත්වාගෙන ගිය අනවසර වැලි තොටුපලක් හා අඹතලේ මංසන්ධියේ අනවසරයෙන් ගොඩකරමින් තිබූ වගුරු බිමක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය ඊයේ (31) වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සතුව තිබී අත්බෝම්බයක් හා කඩුවක් ද පොලිස් භාරයට ගත් අතර, එම කඩුව සොයා ගෙන ඇත්තේ වැලි තොටුපල අසල උණ පදුරක් යට සඟවා තිබියදීයි.

සැකකරු අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනවසර ගොඩ කිරීම් හා වැලිතොටුපල පවත්වාගෙන යාමට අනුබල දුන් ‘සොල්ටා’ නම් අනෙක් පාතාල සාමාජිකයා ද සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කඳාන පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සහ රුපියල් ලක්ෂ එකහමාරක (1½) මුදලක් ද පොලිස් භාරයට ගැණුනා.

පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන කාන්තාවන් දෙදෙනා (2) ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද (01) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා(2)ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී පොලීසියට අවසර ලබා දුන්නා.

***************************************

බඹර ප්‍රහාරයකින් 14 දෙනෙකු රෝහලේ

(01.08.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

නෝර්ටන් බ්‍රිජ් – ඔස්බෝන් වතුයායේ – ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

වතු යායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමත් සමග බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන් ෴

***************************************

වරායේ සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්

(01.08.2020 – 18:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ වෘත්තිය සමිති 23 ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.

ඒ හේතුවෙන් වරායේ සියලු කටයුතු තවදුරටත් අඩාල වී ඇති බවයි ඊට එක්ව සිටින වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ.

පසුගිය 29 වනදා ඔවුන් එය ආරම්භ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලෙස ඉල්ලමින්.

මේ අතර, රජය නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (31) වරාය පරිශ්‍රයට පැමිණ විරෝධතාවයේ යෙදී සිටින වරාය සේවකයින් සමග සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ ලබන 06 වැනිදා වරාය වෘත්තීය සමිති නායකයින්ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙනතුරු සත්‍යග්‍රහය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම මෙන්ම මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු කිරීම වළක්වමින් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් වෙත අද (01) පස්වරුවේ අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ, වරාය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

++++++++

කොළඹ වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකිරීම, ඒ අවට රජයේ ආයතනවලට ඇතුළුවීම සහ මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම වළකාලමින් කටයුතු කරන ලෙසට ලැබුණු අධිකරණ නියෝගයට අනුව වරාය සේවකයන් මාර්ගය විවෘත කර තිබෙනවා.

කෙසේවෙතත් උද්ඝෝෂණය අඛණ්ඩ පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට තවත් අවස්ථාවක්

(01.08.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට තමාට අදාළ තැපැල් කාර්යාලයට ගොස් ලබන 04 වැනිදා මෙන්ම ඡන්ද දිනයේද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඒ පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 99% කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට බෙදාහැර ඇති බවයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000 කට ආසන්න මුදලක් වැය වනු ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ රුපියල් කෝටි 700 ක මුදලක් වැය වූ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර මහමහමැතිවරණයේදී අතිරේක වියදමක් දරන්නට සිදුව ඇති බව සඳහන්.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මහමැතිවරණය පැවැත්වීමේදි අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව සෞඛ්‍යාරක්ෂිතව මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

මෙවර මහමැතිවරණය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විෂ බීජ නාශක දියර භාවිතය, ඇගිලි වර්ණ ගැන්වීම සදහා ගිනිකූරු භාවිතය මෙන්ම මැතිවරණ රාජකාරි වල නිරත නිළධාරින්ගේ සෞඛ්‍යාරක්ෂිත උපකරණ ඇතුළු ද්‍රව්‍ය වලට අතිරේක වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

එමෙන්ම සමාජ දුරස්ථ භාවය පිළිබද උපදෙස් අනුගමනය කිරීමේ දි මැතිවරණ රාජකාරි සදහා මෙවර වැඩි නිළධාරින් ප්‍රමාණයක් යෙදවීමට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එළැඹෙන මහ මැතිවරණය සඳහාවන ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට (02) මධ්‍යම රාත්‍රියෙන්.

හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් පසු කවර ආකාරයකින් හෝ මනාප අංක සහ සළකුණු ප්‍රවර්ධනය කිරීම, ගෙයින් ගෙට යාම ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු තහනම් වනු ඇති.

++++++++

තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණු (අස්ථානගතවූ) අයෙකුට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාවේ පහත වෙබ්අඩවියෙන් ලබාගත හැක. (අමරසර)

[ https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *