සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 06 වනදා මැදියම් රැයට පෙර – මනාප ප්‍රතිඵලත් හත්වනදා (07) මධ්‍යම රාත්‍රිය වනවිට

(04.08.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ අනුව බොහෝ දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවටයි වාර්තාවන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි, නිලධාරීන්ද සමග පිටත් කර හැරීමේ කටයුතුද සිදු කෙරුණු අතර, කළුතර දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කෙරුණේ පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේදියි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය, සමුපකාර විද්‍යාලය සහ පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යා පීඨය යන ස්ථානවලදී අද (04) පෙරවරුවේ ආරම්භ වුණා.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදු කෙරුණේ නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ත්‍රිත්ව විද්‍යාලය සහ කාර්මික විද්‍යාලයේ සිටයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි ක්‍රිස්තුදේව විද්‍යාලය සහ සංඝමිත්තා විද්‍යාලයේ සිට බෙදාහැරීම සිදු කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ශාන්ත ඇලෝසියස් සහ සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලවලදී සිදු කෙරුණා.

මේ අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමඟ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමේ කටයුතු අද (04) පෙරවරුවේ සිදු කෙරුණේ අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලයේදියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 634 සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තාක්ෂණ විද්‍යාලය සහ සුමන බාලිකා විද්‍යාලය යන ස්ථානවල පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදියි.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි වෙත අදාළ නිලධාරීන් සමග පිටත් කර හැරීමේ කටයුතු කෑගල්ල බාලිකා විද්‍යාලයේදී සහ ස්වර්ණජයන්ති විද්‍යාලයේදී සිදු කෙරුණා.

වවුනියාව – ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය දෙබර වද හේතුවෙන් ඉරට්ටපෙරියකුලම ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත මාරු කිරීමට තීරණය කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළා.

ගම්පහ – සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ අවස්ථාවට මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක්ව සිටියා.

ඔහු කියා සිටියේ මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනිද්දා (06) මධ්‍යම රාත්‍රියට පෙර සහ මනාප ප්‍රතිඵල හත්වනදා (07) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එසේම සියලු ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අද (04) පස්වරු තුනට (03:00) මැතිවරණ පෙරහුරුවක් පැවැත්වීමට නියමිත බවද මැතිවරණ කොමිසම් සභාපතිවරයා සඳහන් කළා.

එසේම අද (04) සිට ලබන හත්වනදා (07) දක්වා කාලය තුළ ආපදා කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ මැතිවරණ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

මේ අතර දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල කිහිපයක් අද (04) සහ හෙට (05) අතිරේක පැය කිහිපයක් විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ගේ පහසුව වෙනුවෙන් අදාළ තැපැල් කාර්යාල අද (04) රාත්‍රී 8 වනතුරු විවෘත කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (05)

(04.08.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (05) පෙරවරු 07:00 ට ආරම්භ වනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් (1,62,63,885).

2020 මහමැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 කෙන් අපේක්ෂකයින් 7452 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාස 160 ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964 ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,709,209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටිනවා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024 ක්

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට පසුදින එනම් අගෝස්තු 6 වනදා උදෑසන 7 සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77 කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වෙන අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු ඊයේ (03) සහ අද (04) සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000 ක් අනියුක්ත කර සිටිනවා.

මේ අතර ප්‍රදේශ කිහිපයක අනවසර මැතිවරන ප්‍රචාරක දැන්විම් සහ පොස්ටර් ඉවත් කිරිමට පොලිසිය ඊයේ (03) රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි

(04.08.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට යාමට පෙර ඔබ ඉටු කළයුතු සෞඛ්‍ය පිළිවෙත් මොනවාද කියල ඊයේ (03) අප ඔබව දැනුවත් කළා.

ඡන්ද පොළ තුළදී සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් නිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ කොහොමද..? අප ඒ ගැන අද විමසා බලමු.

  1. ඡන්ද පොලට යන ඔබට ඔබේ පැරණි මිතුරන්, දන්න හදුනන අය මහමඟදී මුණගැසෙන්න පුළුවන්.
  2. නමුත් ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි.
  3. එනිසා හැකි ඉක්මණින් ඔබ පැමිණි කාර්යය ඉටු කරන්න මහන්සිගන්න.
  4. ඡන්ද පොල තුලට ගිය පසූ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් සිටින්න.
  5. ඒ සඳහා ඔබව හසුරුවන රජයේ නිලධාරීන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න වගබලා ගන්න.
  6. ඡන්ද පොලේ පළමු නිලධාරීයා අසලට යාමට පෙර ඔබට ලැබෙන විෂබීජනාශක දියර වලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසුව ඔබේ අනන්‍යතාව මෙලෙස තහවුරු කළ හැකියි.
  7. ඒ මොහොතේම මුහුණු ආවරණය පසෙකට කර ඔබේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමත් අවශ්‍යයි.
  8. ඔබේ නම ලේඛණයේ ඇති බවට අදාල නිලධාරියා හඩ නගා ප්‍රකාශ කරන අතර ඉන්පසුව ඡන්ද කාඩ්පත ඒ සඳහා වෙන් කර ඇති බදුනට දමන්න.
  9. පසුව නැවතත් විශබීජනාශක දියරවලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසුව එම ස්ථානයේ ඇති ටිෂූ කඩදාසියෙන් දෑත් වියලා ගැනීමට කටයුතු කරන්න.
  10. ඔබේ ඇඟිල්ලේ පාට තවරන්නේ ඉන් පසුවයි.
  11. තම ඇඟිලි අනෙකාගේ ඇඟිලිවලට ස්පර්ශ නොවන සේ තබා ගත යුතු අතර ඔබට එලෙස ඇගිල්ල ඔසවා තබා ගත නොහැකි නම් එහි ඇති ටිෂු කඩදාසියක් ගෙන එය මේසය මත දිගහැර ඒ මත අත තබා පාට තැවරීමට ඉඩදෙන්න.
  12. පසුව එම ටිෂූ කඩදාසිය ඔබ විසින්ම ඒ අසල ඇති බදුනට දමන්න.
  13. අනතුරුව ඡන්ද පත්‍රිකාව ඔබට ලැබෙන අතර ඔබේ අතේ ඇති පෑනෙන් ඡන්දය ලකුණු කර ඡන්ද පෙට්ටියට දමන්න.
  14. ඔබ පෑනක් රැගෙන නොගියොත් ඔබට විෂබීජහරණය කළ පෑනක් පාවිච්චිය සඳහා ලබාදෙනවා.
  15. එම ස්ථානයෙන් බැහැරව යාමට පෙර ලැබෙන විශබීජහරණ දියර වලින් දෑත් පිරිසිදු කරගැනීමටද අමතක කරන්න එපා.
  16. ඡන්ද පොලෙන් නික්ම යන ඔබ තැන තැන කල්ලි ගැසී, මිතුරන් සමඟ මාර්ගයේ නොරැඳී හැකි ඉක්මණින් නිවෙස හෝ රාජකාරී ස්ථානයට යාමට කටයුතු කරන්න.
  17. නිවෙස තුලට හෝ රාජකාරී ස්ථානයට ඇතුළු වීමට පෙර නැවතත් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම තුලින් ඔබේ ආදරණීයන් වගේම ඔබවත් කොවිඩ් වෛරසයෙන් ඈත් කර තබාවි.

***************************************

ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

(04.08.2020 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකෙරුණා.

අවසන් රන්දෝලි පෙරහර ඊයේ (03) රාත්‍රී 07:14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණා. සෑම වසරකදිම දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන රන්දෝලි පෙරහර කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පැවැත්වූයේ ජන සහභාගීත්වයෙන් තොරවයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර මංගල්‍යය අවසන් වන්නේ අද (04) දහවල් පෙරහරින්.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇති.

***************************************

කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලට සිදු වූ දේ

(04.08.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස දෙක (2) තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වූ බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

විශේෂයෙන් විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුනා.

එමෙන්ම පසුගිය ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් (2) විසි වතාවක් (20) මත්තලට පැමිණ තිබෙනවා. එලෙස මත්තලට පැමිණි ගුවන් සේවාවන් කොරෝනා වසංගත තත්ත්වයෙන් ඔබ්බට සිය මෙහෙයුම් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.

ඒ සඳහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අමතරව එයාර් ඉන්දියා, එයාර් ඒෂියා, එලායන්ස් එයාර් සහ මියන්මාර් ගුවන් සේවය මේ වනවිටත් මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

මාතර – අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු (2) මරුට

(04.08.2020 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ වෑන් රථයක් මාතර – තිහගොඩ – අපරැක්ක ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

අද (04) උදෑසන 06:10 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් තවත් ඇගලුම් සේවිකාවන් 5 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 35 සහ 43 ක් වන වයස්වල පසුවන බෙලිඅත්ත සහ පුහුල්වැල්ල ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා (2) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර, අද (04) උදෑසන සීදුව – කුරණ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු, ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 3 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කුලී නිවසක සිටි පිරිසක් ඉන් ඉවත් කිරීමට නිවසෙහි අයිතිකරු මෙලෙස පිරිසක් සමඟ පැමිණ ඔවුන්ට පහර දී ඇති බවයි ෴

***************************************

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

(04.08.2020 – 10:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පෝද්දල ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සැකකරු ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු ලබන හත්වනදා (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

(04.08.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (04) පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පෝද්දල ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලැබිමෙන් අනතුරුව ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර, ලබන හත්වනදා (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴

***************************************

වගා ළිඳකට වැටී සිටි අලි ගොඩගත් මෙහෙයුම

(04.08.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, වැලිකන්ද, වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි අලියෙක් සහ පැටවෙකු බේරාගැනීමට සමත්ව තිබෙනවා.

වැලිකන්ද වනජීවී නිලධාරීන් සහ මහවැලි නිලධාරී එක්ව ඊයේ (03) සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් පසු මෙම සතුන් දෙදෙනා ඉන් ගොඩ ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්

(04.08.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි, සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් කැෆේ සංවිධානය ඉල්ලීමක් කරනවා.

බොහෝ දේශපාලන පක්ෂ මෙම නිහඬ කාල සීමාව උපක්‍රමශිලී ලෙස අපේක්ෂකත්ව ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මැතිවරණයේ දී සෑම පක්ෂයකට හා සංවිධානයකටම සමබිමක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම ජනමතයට සිදුවිය හැකි අයුතු බලපෑම් වළක්වා ගැනීමටත් මැතිවරණ කටයුතු නිදහස් හා සාමකාමී ලෙස පවත්වාගෙන යාම සඳහාත් මෙලෙස මැතිවරණයට පෙර නිහඩ කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එවන් පසුබිමක ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණයට සහ අපේක්ෂකයින්ට සෙත්පතා ආගමික වතාවත් ආදිය සංවිධානය කිරීම වැනි විවිධ කටයුතු මාර්ගයෙන් අපේක්ෂකත්ව සහ පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ කටයුත්වල නියැලෙන බවට තොරතුරු ලැබී ඇති බව කැෆේ සංවිධානය වැඩිදුරත් කියා සිටියා ෴

***************************************

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

(04.08.2020 – 11:52 +0530 – hirunews.lk/sinhala)

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළ අතර, බන්ධනාගාර ගත කළ සැකකරුවන් 13 දෙනා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.

බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණය වෙත වාර්තාවක් එවමින් ප්‍රකාශ කළේ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුවන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අද (04) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි.

ඔවුන් පසුගිය මස 21 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.

නඩුව කැදවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප ඉල්ලා සිටි අතර එහිදි මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සැකකරුවන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක් අද (04) අධිකරණයට ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දුන්නා ෴

***************************************

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය

(04.08.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද වැළැක්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, බළලෙකුගේ ගෙලේ බැඳ කොළඹ මැගසින් බන්ධනාගාරයට මත් කුඩු එවා තිබීමේ සිද්ධියක් අනාවරණය වීමත් සමඟයි.

මෙය ජාත්‍යන්තර මාධ්‍යයේ පවා කතා බහට ලක්වන ප්‍රවෘත්තියක් වී ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ මෙම බළලා බන්ධනාගාරයේ ඇති දැඩි කළ සත්වයෙකු නොවන බවයි.

බන්ධනාගාර ආඥා පණත අනුව බන්ධනාගාර තුළ සතුන් ඇති කිරීම වරදක් වන අතර බන්ධනාගාරය අවටින් මෙවැනි සතුන් පැමිණෙන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ වනවිට බන්ධනාගාර තුළට මත් කුඩු රැගෙන ඒම වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ඊට සම්බන්ධ පිරිස් මෙවැනි විකල්ප ක්‍රමවේදයන්ට යොමුවිය හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහලින් දැල් ආවරණයක් සවි කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කෑගල්ල බන්ධනාගාර ප්‍රධානියාව සිටියදී රැදවියෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිළධාරීන් 03 දෙනෙකුට සහ ජේලර්වරුන් 02 කට චෝදනා පත්‍ර යොමු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද (04) පස්වරුවේ යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සදහා ඔහු අද (04) උදෑසන දුම්බර බන්ධනාගාරයෙන් රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට ඊයේ (03) ඉදිරිපත් කිරීමෙන් පසු අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව දුම්බර බන්ධනාගාරය වෙත යොමු කෙරුණු ඔහු එහි අලුත් රැදවියන් රදවන ස්ථානයේ රදවා සිටි බවටයි වාර්තා වන්නේ.

මේ අතර අද (04) දිනයේදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා (3) ද අද (04) දිනයේදී මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

***************************************

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

(04.08.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර දැනට පවතින නව තාක්ෂණය අනුව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණ සිදුකිරීම සදහා යාවත්කාලීන නවීන උපකරණ ලබා දිය යුතු බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ විද්වත් කමිටුව පවසනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ එවැනි පහසුකම් ලබා දෙන්නේ නම් අදාල පරීක්ෂණ අඩු කාලයකදී සිදුකිරීමට හැකි වන බවයි.

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති වෛද්‍ය පරීක්ෂණ රසායනාගාරයට ලබා දිය යුතු ස්වයංක්‍රීය පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය මෙතෙක් ලබාදී නොමැති බවද ඔහු කියා සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා නොමැති බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබදතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ලබන 08 වන දා ඩුබායි සිට තවත් ශ්‍රී ලාංකිකයින් 800 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි.

මේ අතර නව අසාදිතයින් 05 දෙනෙකු ඊයේ (03) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2828 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා අසාදනය වී සිටි 2517 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් 300 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,84,00,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හයලක්ෂ 97,000 කට අධිකයි.

එමෙන්ම වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉදිරි සති තුන (3) තුළ කොරෝනා මරණ 19,000 ක් සිදුවිය හැකි බවට එරට වසංගත රෝග විද්‍යා අංශ අනතුරු අඟවනවා.

***************************************

ගොයමට වඩා වල් පැලවෙන අක්මීමන කුඹුරු

(04.08.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – අක්මීමන ආදී ප්‍රදේශවල කුඹුරු ගොවීන් මුහුණු දී ඇති ගැටලුවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා.

ගාල්ල -අක්මීමන -තල්ගම්පොළ ආදී ප්‍රදේශයන්හි කුඹුරුවල ගොයම් වෙනුවට වැඩියෙන් වැවී ඇත්තේ වල් පැලයි.

ගොවීන් පවසන්නේ තමන් නිවසේදීම සාදා ගත් වී පැල කිරීමෙන් තම කුඹුරුවලට යෙදූ බවයි.

ගොයම සඳහා භාවිත කළ පොහොර වල මෙම වල් බීජ තිබෙන්නට ඇති බවට ගොවීන් සැක පළ කරනවා.

එම පොහොර නොයැදූ කුඹුරුවල මෙම තත්ත්වය දක්නට නොලැබෙන බවට ගොවීන් පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *