නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති ඡන්ද දායකයන් කළ යුතු දේ

(04.08.2020 – 12:49 +0530 – lankaleadnews.com)

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවය.

මේ අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක දෙවන පිටපතක් භාගත කර ගත හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx

කෙසේවුවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුව ද ලියාපදිංචි ඡන්ද දායකයින්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ ෴

***************************************

STF වැටලූ ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට

(04.08.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක් වටිනා ගංජා හේන් හතරක් (4) සමග සැකකරුවන් දෙදෙනෙකු (2) සූරියවැවදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බෙගමුව, අළුත්වැව, කිළිඹුන්න කැලෑ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි මෙම ගංජා හේන් 04 සොයාගෙන ඇත්තේ.

අක්කර භාගය (½) බැගින් වු ඉඩම් කැබලි 04 ක ඉතා සූක්ෂම ලෙස සැකකරුවන් මෙම ගංජා හේන් වගාකර ඇති බැවයි වාර්තාවන්නේ.

සැකකරුවන් කෙසෙල් වගාකරන මුවාවෙන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී අඩි 10 ක් පමණ උසට වැඩී නෙලීමට ආසන්නව තිබුණු අක්කර භාගයක (½) එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දිමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කල අතර අඩි 4 හා 5 ප්‍රමාණයේ පැවති අනෙක් ගංජා හේන් තුන (3) විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගලවා ගිණි තබා විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අළුත්වැව පදිංචි 58 සහ 24 හැවිරිදි වියේ පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

මෙහෙයුම සිදුකළ සූරියවැව විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සැකකරුවන් වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බෙගමුව පොලිස් ස්ථානයට බාරදී තිබෙනවා.

***************************************

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් (2) වටලයි

(04.08.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක නිරෝධායන නීතියට පටහැනිව දඹුල්ල – ඉනාමලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් (2) වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

එහි සිටි කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු එම ස්ථානවලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි එහිදී පියවර ගෙන ඇත්තේ.

දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පැමිණ පසුගිය දිනවල සේවා ලබා ගත් පිරිසගේ නාම ලේඛන ලබාගෙන ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ ෴

***************************************

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට වසර දෙකක (2) සිරදඬුවම්

(04.08.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවේ කාර්යාල කාර්ය සහයකවරයෙකුට කොළඹ මහාධිකරණය වසර දෙකක (2) සිරදඬුවම් නියම කර තිබෙනවා.

මෙම පුද්ගලයා මොරටුව – ඉඳිබද්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව සඳහන්.

ඊට අදාළ නඩුව පසුගිය 28 වනදා කොළඹ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී ඇති අතර, එහිදී රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

ඊට අමතරව, එම චූදිතයාට අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල ලබා දුන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක අත්හිටවූ සිරදඩුවම් සහ රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ෴

***************************************

‘අංගොඩ ලොක්කා’ගේ ඡායාරූප සැසදේ

(04.08.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන ‘මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ එරටදී භාවිත කළ හැඳුනුම්පතේ ඡායාරූපය, ඔහුගේ සැබෑ ඡායාරූපය සමග සැසඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

කොයිම්බතූර් පොලීසියේ උසස් නිලධාරියෙකු ද අද (04) හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මොහු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකටයුතු ලෙස ඔහු මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ඊයේ (03) ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව ඔහු කියා සිටියා.

‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මියගොස් ඇති බවට මීට සති කිහිපයකට පෙර මෙරට මාධ්‍ය මගින් මුල් වරට වාර්තා කළ අතර, ඊයේ (03) ‘ද හින්දු පුවත්පත’ ඇතුළු ඉන්දීය මාධ්‍ය ද අනාවරණ කළේ ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ කොයිම්බතූර්හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 03 වනදා කොයිම්බතූර්හි සිය නිවසේ රැඳී සිටින අවස්ථාවක සිහිසුන්ව බිම ඇද වැටීම හේතුවෙන් ඔහු සමග සිටි ‘අමානි දාංජි’ නමැති කාන්තාව අංගොඩ ලොක්කාව රෝහල් ගත කර ඇති බව ඒවායේ දක්වා තිබුණා.

පසුගිය වසර 3 ක කාලය තුළ ඔහු සැබෑ නාමය වසන් කරමින් ‘ආර්.ප්‍රදීප් සිං’ යන නාමයෙන් පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍යය වාර්තා කළේ එම පුද්ගලයාගේ සමඟ රැඳී සිටි ‘අමානි දාංජි’ නමැති කාන්තාවට අමතරව, 37 හැවිරිදි ‘සිවාගම සුන්දරී’, 32 හැවිරිදි ‘දිනේෂ්වරන්’, යන සැකකරුවන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සත්‍යය වසන් කරමින් ‘අංගොඩ ලොක්කා’ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ද ලක් කරමින් ආදාහනය කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, ‘අංගොඩ ලොක්කා’ ඝාතනයට ලක්වූයේ ද, නැතහොත් ස්වභාවිකව ජිවිතක්ෂයට පත්වූයේ ද යන්න තවමත් හෙළි වී නැහැ.

මේ අතර, අප කළ විමසීමකදී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ ‘අංගොඩ ලොක්කා’ මියගිය බවට මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ෴

***************************************

කොමිසමේ සභාපතිගෙන් පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන ඉඟියක්

(04.08.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහමැතිවරණය හෙට (05) පෙරවරු 7 ට ආරම්භ වනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,62,63,885 ක්.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීමට පසු දින එනම්, අගෝස්තු 6 වනදා උදෑසන 7 ට සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77 කදීයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර මහමැතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු ඊයේ (03) සහ අද (04) සිදුකෙරුණා.

මේ අතර, මාතර මැතිවරණ කාර්යාලයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මහමැතිවරණයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, හෙට (05) පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000 බැගින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඩ් රූමි ද ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ 4 වන සැකකරුයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 376 ක් මේ වනවිට පොලීසිය වෙත වාර්තා වී තිබෙනවා.

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි නිහඬ කාලය තුළ අපරාධ පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති අතර, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පැමිණිලි 19 ක් පොලීසියට වාර්තා වී තිබෙනවා.

මේ අතර, මහමැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සමස්ත පොලිස් නිලධාරින් 82,091 දෙනෙකු යොදවා ඇති අතර, පොලිස් ජංගම මුර සංචාර අද (04) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

***************************************

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක්

(04.08.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනා එළඹෙන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (04) නියෝග කළා.

වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගනු ලැබූයේ පෙරේදා (02) දිනයේදීයි.

අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තුන්දෙනා (3) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත අද (04) රැගෙන එනු ලැබුවේ පස්වරු 1 ට පමණයි.

ඉන් අනතුරුව නඩු කටයුත්ත ආරම්භ වන තෙක් ඔවුන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කර කාන්තා සිරමැදිරිය තුල රඳවා තැබෙන ආකාරය දක්නට ලැබුණා.

මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සචින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ සැකකරුගේ බිරිඳ මෙම සිද්ධියෙන් පසුව විශාල මානසික ආතතියකට පත්ව ඇති බවයි.

ඇය අංශභාග තත්ත්වයේ පසුවන බව ද නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළා.

සැකකරුගේ දියණිය කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ද වන බව සඳහන් කළ නීතිඥවරයා ඉල්ලා සිටියේ සුදුසු ඇපයක් මත අධිකරණය පනවන කොන්දේසියකට අනුව ඇප ලබාදෙන ලෙසයි.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද ප්‍රකාශ කළේ තම සේවාදායකයන් විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ කරුණු දැක්වූ කිසිකෙනෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත් වී තිබූ වරෙන්තුව ගැන වචනයක් හෝ කතා නොකළ බවයි.

නඩුවෙහි පළමුවන සැකකාර අනුරුද්ධ සම්පායෝ වරෙන්තුව නිකුත් කර දින 11 කට පසුව කුරුණෑගල බාලිකා විද්‍යාලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගැණුනා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් තිබුණේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩ්‍රික් වුඩ්ලර් නම් නිලධාරියායි.

ඔහු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ තැබූ සටහනේ දැක්වෙන්නේ සාර්ථක බුද්ධි තොරතුරක් මත රතුපාට ජිප් රථයකින් කන්‍යාරාමය දෙසින් පැමිණි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම, අනුරුද්ධ සම්පායෝ තම පාසලේ ආදි සිසුවෙකු වූ බැවින් ඔහුට වරද කියා දී අත්අඩංගුවට ගත් බව ද අදාළ සටහනේ දැක්වෙනවා.

එමෙන්ම, අනුරුද්ධ සම්පායෝ පොලීසියට දුන් ප්‍රකාශයේ සටහන් වන්නේ තම පාසල් කාලයේ මිතුරෙකු වන ෆෙඩ්‍රික් වුඩ්ලර් නම් නිලධාරියා වරද කියා දුන් නිසා පොලීසියට භාර වූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට මීගමුව පොලිස් ස්ථානය රජදහනක් කර තැබීම ගැටලුවක් බවයි.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමුව පොලීසියට ගෙන ආ අවස්ථාවේ සැකකරුට සහ ඔහුගේ සහෝදරයෙකුට පොලීසිය තුළදී තේ පැන් සංග්‍රහයක් ලබාදීම පිළිබඳව ද සටහනක් තබා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත අනුරුද්ධ සම්පායෝ ඇතුලු සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව වරෙන්තු ලැබූ ජේලර් කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සෙසු ජේලර්වරුන් දෙදෙනා (2) වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න පසුව අත්අඩංගුවට ගැනුණා.

කෙසේ වෙතත්, චෝදනාව එල්ල වූ ප්‍රධාන සැකකරු වන මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වරෙන්තු නිකුත් කර දින 11 ක් යන තුරුත් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.

පසුව පසුගිය 2 වන දා පස්වරුවේ වරෙන්තු ලැබ සිටි 52 හැවිරිදි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, විශේෂ බුද්ධි මෙහෙයුමකින් අනතුරුවයි. ඉන් අනතුරුව අනුරුද්ධ සම්පායෝ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් අතර එම දෙපාර්තමේන්තුව මගින් ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.

එම අවස්ථාවේදී සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊට පළ කළේ දැඩි විරෝධයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සදහන් කළේ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ටයි කෝට් ඇඳ, එසේම ලංකා ඉතිහාසයේ පළමු වරට ද්විත්ව සැකකරුවෙකු පොලිස් ජීප් රථයක පසුපස සැප පහසු අසුනක හිඳගෙන මාධ්‍යයට ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම, සැකකරු අධිකරණයට පැමිණියේ මුඛ ආවරණයක් හෝ නොමැතිව බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය කිලෝමීටර් 72 ක් ගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම, ඊයේ (03) දිනයේදී අනුරුද්ධ සම්පායෝ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මාංචු දැමීම සහ මුව ආවරණ දැමීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, ඔහු අද (04) අධිකරණ පරිශ්‍රයට රැගෙන එනු ලැබුවේ මුව ආවරණ සහ මාංචු සහිතවයි.

ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනුරුද්ධ සම්පායෝ සිය මුව ආවරණ ගලවා විසි කරන අයුරු ද දක්නට ලැබුණු අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊයේ (03) දිනයේ ඒ පිළිබදව අධිකරණයේ අවදානය යොමු කළා.

***************************************

දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා

(04.08.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන පුද සත්කාර මඟහැරිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමා වූ බවට ජනාධිපතිවරයාට දැනුම්දීමේ උත්සවයට සහභාගි වෙමින්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍ය සාර්ථකව නිමාවට පත් වූ බව සැලකරමින් සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට භාර දෙන පෙරහැර සංදේශය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ නිලමේවරුන් විසින් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන්නා.

***************************************

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද – මැතිවරණ කොමිෂන් විශේෂ ඉල්ලීමක්

(05.08.2020 – 06:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07:00 ට ආරම්භ වනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සහ මුහුණු ආවරණ පැළඳගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් (1,62,63,885).

2020 මහමැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 කෙන් අපේක්ෂකයින් 7452 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාස 160 ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964 ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1709209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටිනවා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024ක්

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට පසුදින එනම් අගෝස්තු 6 වනදා උදෑසන 7 සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77 කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වෙන අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000 ක් අනියුක්ත කර සිටිනවා ෴

***************************************

‘කෙසෙල්වත්තේ රයිනා’ අත්අඩංගුවට

(05.08.2020 – 06:48 +0530 – sinhala.adaderana.lk)

පෑලියගොඩ පොලිස් වසමේ අධිවේගී පාලම අසළ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි සැකකරු ‘කෙසෙල්වත්තේ රයිනා’ බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක්, ජංගම දුරකථන 03 ක්, සිම් කාඩ්පත් 19 ක් හා යතුරු පැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

***************************************

2020 මහ මැතිවරණය – අවසන් ප්‍රතිඵලය දක්වා ගෙන ඒමට ‘දෙරණ මාධ්‍ය ජාලය’ සූදානම්

(04.08.2020 – 20:11 +0530 – sinhala.adaderana.lk)

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ සියලු තොරතුරු රූපවාහිනිය, ගුවන් විදුලිය, ජංගම දුරකථනය සහ අන්තර්ජාලය ඇතුළු වැඩිම මාධ්‍ය ගණනාවක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ‘දෙරණ මාධ්‍ය ජාලය’ මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර අවසන්.

‘අද දෙරණ විශේෂ සජීවි මැතිවරණ විකාශය’ ඔස්සේ හෙට (05) උදෑසන 7 ට ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට අවසාන ඡන්ද ප්‍රතිඵලය දක්වා ම සියලු තොරතුරු ගෙන ඒමට අප සූදානමින් සිටියි.

ඒ අනුව, හෙට (05) උදසෑන 06:30 ට ආරම්භ වන ‘දෙරණ අරුණ’ වැඩසටහනේ සිට අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වා සජීවී ව ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ සිංහල, දමිළ, සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්මය.

එසේම ‘ඩයලොග්’ සහ ‘පියෝ ටිවී නාලිකා අංක 14’ ඔස්සේ ‘අද දෙරණ 24 පැය’ නාලිකාව මගින් ද මහමැතිවරණයේ ඡන්ද විමසීමේ තොරතුරු ගෙන ඒමට සැලසුම් කර තිබේ.

එමෙන්ම එෆ්.එම්. 92.2, 92.4 ඔස්සේ ‘එෆ්.එම් දෙරණ’ ගුවන් විදුලි නාලිකාව මගින් ද මැතිවරණ ප්‍රතිඵල ගෙන එනු ලබයි.

අපගේ වෙඩි අඩවිය වන http://sinhala.adaderana.lk/ තුළින් දවසේ පැය 24 පුරාම භාෂා ත්‍රිත්වයෙන්ම හා ෆේස්බුක්, යූ ටියුබ් හා ට්විටර් සමාජ වෙඩ් අඩවි ඔස්සේ ද මැතිවරණ ප්‍රථිපල එසැණින් ඔබ වෙත ගෙන ඒමට ‘අද දෙරණ’ සුදානම්.

+++++++++++++++++++++++++++++++++++

2020 මහ මැතිවරණය – අපේක්ෂකයින් 7452 ක් තරග බිමේ

(04.08.2020 – 19:24 +0530 – lankaleadnews.com)

අගෝස්තු හය (06) වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත්, අගෝස්තු හත් වැනි දා (07) මනාප ප්‍රතිඵල නිකුත් කිරීමටත් හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (05) උදෑසන 07:00 සිට පස්වරු 05:00 දක්වා පැවැත්වීමට නියමිතය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි (1,62,63,885).

වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැටහතරකි (17,85,964).

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව සිටින්නේ වවුනියා, මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක 3 න් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දෙලක්ෂ අසූහත්දහස් විසිහතරකි (2,87,024).

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත අතර අදාළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (04) සිදුකෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

***************************************

අධිකරණයේදී දිග හැරුණු ‘හොරා පොලිස්’ සෙල්ලම

(04.08.2020 – 19:16 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ නිලධාරින් 13 දෙනා එළඹෙන 18 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය.

නඩුව අද (04) කැඳවූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුවන් සන්තකයේ තිබු රුපියල් තුන්කෝටි විසිහත්ලක්ෂ අනුතුන්දහසක (3,27,93,000) මුදලක් මේ වන විට විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බවය.

මෙරට ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු බවට චෝදනා ලැබ මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ නිලධාරින් ගණන 13 කි.

කෙසේ වෙතත් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා වන පියවර සැලකිල්ලට ගනිමින් අද (04) අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

සැකකරුවන් 13 දෙනාට එරෙහිව තනි තනි වශයෙන් චෝදනා ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔහු සඳහන් කළේ මෙපමණ කල් ‘හොරු සහ පොලිසිය’ අතර තිබු නීති කෘත්‍යයන් සම්බන්ධයෙන් කටයුතු කළ තමන්ට මේ වන විට ‘පොලීසිය සහ පොලීසිය’ අතර වූ නීති කෘත්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමට සිදුව ඇති බවය.

‘හොරා පොලිස්’ සෙල්ලමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ තමන්ට පළපුරුද්දක් තිබුණද, ‘පොලීසිය සහ පොලීසිය’ අතර පවතින මෙම නීති කෘත්‍යය සමාන්‍ය තත්ත්වයට වඩා සහමුලින්ම වෙනස් බව ඔහු පැවසුවේය.

මෙම චෝදනා මත අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංගට අයත් පෞද්ගලික වාහන 04 ක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර්වරයා ජනරාල්වරයා පැවසුවේ එම රථවල රියදුරු අසුන යට, ඉදිරිපස අනෙත් ආසනය යට, ඩිකියේ අමතර රෝදය දමන ස්ථානයේ කුහරය තුළ මත්ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කළ බවට රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වන බවය.

ඔහු ප්‍රශ්න කළේ චෝදනා ලත් මෙම නිලධාරින් සිය වැටලීම් සඳහා මෙම රථ යොදාගත්තේ යැයි පවසන්නේ නම්, වැටලීම්වලදී තම භාරයට ගන්නා මත්ද්‍රව්‍ය රථයේ සුක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කළේ මන්ද යන්නයි.

මෙම නිලධාරින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ අවස්ථා 04 ක් මේ වන විට විමර්ශකයින්ගේ අවධානයට යොමුව ඇති බව අධිකරණයේදී හෙළි කෙරුණේය.

ඉන්, නාවික හමුදාව සිය භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 281 යි ග්‍රෑම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 යි ග්‍රෑම් 500 ක් අවභාවිත කරමින් ලක්ෂ ගණන් මුදල් ඉපයූ බව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

ඔහු පැවසුවේ නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය නාකොටික් නිලධාරින්ට භාරදුන් පසු එම මත්ද්‍රව්‍ය සහිත අසුරන 23 න් 22 කම මුද්‍රා කඩා ඉවත් කර ඇති බවය.

විදේශවල සිට මෙරටට ශුද්ධ හෙරොයින් ගෙන ආවද අතරමැදියන් පිරිසක් ඉතා සුක්ෂමව, හෙරොයින්වල ශුද්ධ ප්‍රමාණය වෙනස් කරන බව විමර්ශනවලදී හෙළිවූයේ යැයි ද දිලීප පීරිස් මහතා කියා සිටියේය.

ඔහු පැවසුවේ මෙලෙස ශුද්ධ ප්‍රමාණය වෙනස් කිරීමට යොදාගෙන ඇත්තේ අජිනමොටෝ, ලුණු, පිටි වැනි ද්‍රව්‍ය බවත් ඒවා කිසිම අයුරකින් මිනිස් අඝ්‍රාණයට සුදුසු නොවන බවය.

එසේම මෙම නාකොටික් නිලධාරින් මත්ද්‍රව්‍ය සමඟ මෙරටට ගෙන්වන්නට ඇතැයි සැක කෙරෙන ගිනිඅවි 05 න් 04 ක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පසුගියදා අත්තිඩිය ප්‍රදේශයේදී සොයා ගැනුණු බව ඔහු අධිකරණයට දැනුම්දුන්නේය.

දිලීප පීරිස් මහතා පැවසුවේ එම ගිනි අවි 04 ට සමාන අනෙක් ගිනිඅවිය, අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන නාකොටික් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර සන්තකයේ තිබී සොයාගත් බවය.

මෙම නිලධාරින් 13 දෙනා සතුව තිබී සොයාගෙන මේ වන විට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති රුපියල් තුන්කෝටි විසිහත්ලක්ෂ අනුතුන්දහසක (3,27,93,000) මුදල රජයේ අධිකරණ ගිණුමකට බැර කිරීමටද දිලීප පීරිස් මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගෙන් අවසර ඉල්ලා සිටියේය.

මෙහිදි අධිකරණයට කරුණු දැක්වූ නාකොටික් නිලධාරින් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කිහිපදෙනෙකු ඉල්ලා සිටියේ තම සේවාදායකයින්ට අදාළ මත්ද්‍රව්‍ය තොගය රඳවා තැබු ස්ථානයට පිවිසීමටවත් අවසර නොතිබු බැවින් ඇප ලබා දෙන ලෙසය.

නමුත් එම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙස දැන්වූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් 13 දෙනා එළඹෙන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එසේම එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුන්නේය.

***************************************

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් අනතුරක – CCTV දර්ශන සහිතයි

(04.08.2020 – 18:08 +0530 – sinhala.adaderana.lk)

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් ගාල්ල, උඩුගම මාර්ගයේ හියාරේ හන්දිය අසළ දී ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත්ව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අද (04) උදෑසන 11:30 ට පමණ ගාල්ලේ සිට උඩුගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටෙන අයුරු සීසීටීවි කැමරාවක සටහන් ව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අක්මීමන පොලීසිය විසින් පවත්වයි.

***************************************

බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව ඇත්තේ විල්ගම් වෙහෙරේ

(04.08.2020 – 13:18 +0530 – lankadeepa.lk)

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන්කොට සෝමනම් නුවර කරවන ලදැයි කියන දාගැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල පුද බිමට කි.මී. 4 ක් පමණ උතුරු දෙසින් තිබෙන විල්ගම් වෙහෙර දාගැබ බවට පිළිගත හැකි සාධක අනුව නිගමනය කළ හැකි බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා පවසයි. උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය සේරුවිල විල්ගම් වෙහෙර රජ මහ විහාර පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ කෙරුණු අවස්ථාවට සහභාගි වූ තන්ත්‍රිගේ මහතා එසේ ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී අධිකාරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා :

“පුරාණයේ විල්ගම් වෙහෙර පිහිටි ප්‍රදේශය සෝමනුවර විය හැකියි. කාවන්තිස්ස මහ රජුගේ සහෝදරිය වන සෝමාවතියත් ඇය විවාහ කරගත් ගිරි අබා නම් ප්‍රාදේශීය රජුත් දකුණු දළදාව තැන්පත් කර දාගැබක් ඉදිකළ බවට ධාතුවංශයේ සඳහන් වෙනවා. එම ධාතුවංශයේ විස්තරයේම සේරු නම් විල කෙළවර ගිරි අබා නම් රජු විසින් කළ දාගැබ පිහිටි ස්ථානය බවට සඳහන් වෙනවා.

වර්තමානයේ සේරුවිල තිබෙන්නා වූ විල කෙළවර මෙන්ම සේරුවිල පුද බිමට උතුරු දෙසින් ඇති පෞරාණික එකම දාගැබ මෙම දාගැබ නිසාවෙන්, නිගමනය කළ හැකි වන්නේ එම දළදා වහන්සේ තැන්පත් දාගැබ මෙම විල්ගම්වෙහෙර දාගැබ වන්නට පිළිවන් බවයි.

ධාතුවංශයේ සඳහන් පරිදි සේරුවිල දාගැබ නිමවා සඟසතුකොට පූජා කිරීමේ උත්සවයට කාවන්තිස්ස රජු ඇතුළු පිරිස පිටත් වූයේ සෝමනුවර සිට බව සඳහන් වෙනවා. එහි මෙසේ ද සඳහන් වෙනවා.

‘ඉරු අවරට ගිය සැන්දෑ කාලයේ රජු ඇතුපිට නැගි ඇත්පෙරහරින් සේරුවිලට යන්න පිටත් වුණා. රජු ඇතුළු පිරිස සේරුවිලට ළඟා වන විට සේරුවිල සිටි පිරිස පහන් ආලෝක දල්වමින් සිටි’ බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ අනුව අපට සිතිය හැක්කේ මෙම විල්ගම් වෙහෙර පුරාණයේ සෝමනුවර නම් වූ මෙම නගරයෙන් සවස හතරට පමණ ඇත් ගමනින් රජු පිටත්වන්නට ඇති බවයි. සේරුවිල පුදබිමට සවස 6 ට පමණ පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ධාතුවංශයේ තොරතුරු අනුව සේරුවිල හා ගිරිඅබා රජුගේ ගිරිනුවර අතර දුර ඇතෙකුගේ ගමනින් පැය දෙකකින් පමණ යා හැකි වන්නට පුළුවන් ප්‍රදේශ දෙකකි.”

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා :

“වත්මන් ජනාධිපති දිවයින පුරා විද්‍යාත්මක සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. එය සතියෙන් සතිය රැස්ව තීන්දු තීරණ ගන්නවා පමණක් නොව, සක්‍රීයව ක්‍රියාත්මක කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මෙම සේරුවිල විල්ගම් වෙහෙර දාගැබ කැණිම් කටයුතු කරගෙන යනවා. මෙම දාගැබ අවධි 3 ක් යටතේ ඉදිකෙරුණු බවට සාක්ෂි තිබෙනවා. ක්‍රි.පූ . 1, 2 ශතවර්ෂවල මෙන්ම අනුරාධපුර මැදභාගයේ සහ පොළොන්නරු යුගයේ සහස්සමල්ල රජුගේ කාලයේ කාසි හමු වීම තුළින් ද පොළොන්නරු යුගයේ අගභාගයේ මෙහි ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බවට නිගමනය කර හැකිය.”

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර මහතා :

“මෙම දාගැබ් මළුව ගඩොල් ස්ථර 16 කින් සමන්විත වනවා. මෙහි කැණිම්වලින් පැරණි ඇත් පවුරක් හමු වී තිබෙනවා. එය දාගැබේ පළමු අවධියේ කර වූ අංගයක්. දෙවැනි අදියරේ විශාල කිරීම් නිසා එම ඇත් පවුර විනාශ වී තිබෙනවා. මහා වංශයේ 33 පරිච්ඡේදයේ සද්ධාතිස්ස රජු රුවන්වැලි සෑයට ඇත්පවුරක් එකතු කළ බව සඳහන් වෙනවා. ඉතා පැරණි දාගැබ්වල තිබුණු අංගයක් වශයෙන් ඇත් පවුර හඳුන්වන්න පුළුවන්. මෙහි කැණීම්වලින් ඡත්‍ර හතරක් හා ඡත්‍ර දණ්ඩක් හමුවී තිබෙනවා. පැරණි දාගැබ්වල කොත වෙනුවට ඡත්‍ර දණ්ඩ මත ඡත්‍රය තබා දාගැබ සකස් කර තිබෙනවා. වර්ග කි.මී. 400 පුරා මෙම චෛත්‍ය මළුව පිහිටා තිබෙනවා. ඉතා දියුණු වාස්තුවිද්‍යාත්මක තාක්ෂණයක් අනුව මෙහි ඉදිකිරීම් කර ඇති බව පෙනෙනවා. මෙහි කැණීම්වලින් දුර්ලභ පුන්කළස සහිත සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා. ගඩොලින් නිමවන ලද චෛත්‍ය මළුවක් ඇති මෙම දාගැබ සේරුවිල ස්තූපයටත් වඩා පැරැණි දාගැබක් වශයෙන් සිතන්න පුළුවන්.”

පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා :

“පුරාණයේ මෙරටට තම්බපණ්ණි යනුවෙන් හඳුවන්නට ඇත්තේ තඹ ලෝහවලට ප්‍රසිද්ධ නිසාය. මූලාශ්‍රවල අතීතයේ තඹ අපනයනය කළ බවට තොරතුරු සඳහන් වෙනවා. ආසියාවේ දැවැන්තම තඹ නිධිය තිබෙන්නේ සේරුවිල ප්‍රදේශයේ. මෙම විල්ගම් වෙහෙර දාගැබේ නම කුමක් දැයි ස්ථීර වශයෙන් ම ප්‍රකාශ කිරීමට තවම සාධක හමුවෙලා නෑ. නමුත් ක්‍රි.පූ. 1, 2 සියවස්වල ඉදිකරන ලද බවට නම් පැහැදිලිව කිව හැකියි.

මෙම පුරාවිද්‍යාත්මක භූමිය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ මෙන්ම පූජ්‍ය අළුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ ද මෙම විල්ගම් වෙහෙර පූජා භූමියේ වතාවත් කරමින් ආරක්ෂා කරගෙන සිටින පූජ්‍ය මොරටුවේ සමින්දි ස්වාමින් වහන්සේ ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලා මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

අප දෙපාර්තමේන්තුවේ කටයුතු කර ගෙන යාමට ප්‍රමාණවත් පුරා විදාඥයින්ගේ හිඟයක් තියෙනවා. පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරීන් දෙපාර්තමේන්තුවටම සිටින්නේ 20 යි. පුරාවිද්‍යා ආචාර්ය උපාධිය හැදෑරීමට මිලියන 5 පමණ මුදලක් වැය වෙනවා. කෙසේ නමුත් පවත්නා සම්පත් උපරිම යොදාගෙන අප රටේ උරුමය ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට අපි කටයුතු කරනවා”

දාගැබ සංරක්ෂණයට පෙර…
ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා නටබුන් පරීක්ෂා කරමින්…
මහාචාර්ය සෙනරත් දිසානායක මහතා අදහස් දක්වමින්…

– සේරුවිල සුගත් බද්දේගෙදර

***************************************

ජනප්‍රිය රංගන ශිල්පි ඩබ්ලිව්. ජයසිරි ICC ලොතරැයි දිනුම් වංචාවට හසුවෙලා සැකකරු මාට්ටු

(04.08.2020 – gossiplankanews.com)

ජනප්‍රිය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමක් ලැබී ඇතැයි පවසමින් ලැබුණ ඇමතුමකට ඔහු රැවටී ඇති අතර ඇමෙරිකානු ඩොලර් 85000 ක මුදල ලබාගැනීමට නම් පූර්ව වශයෙන් බැංකු 4 ක මුදල් තැන්පත් කළ යුතු බව කියූ එම ඇමතුම අනුව ඔහු රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් වරින්වර තැන්පත් කර තිබේ. පසුව කළ සොයා බැලීමේදී එම ඇමතුම මුළුමනින්ම අසත්‍යයක් බව වැටහීමෙන් පසු ඔහු ඒ ගැන පොලිසියට දන්වා ඇත.

පොලිසිය සිදු කළ විමර්ශන වලදී අදාළ බැංකු ගිණුම් හිමි පුද්ගලයා හසුකරගෙන තිබේ.

අයිසීසී ක්‍රිකට් තරගාවලියට සාපේක්ෂව පැවැත්වූ ලොතරැයි ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් 85,000 ක මුදලක් ඇදී ඇති බව පවසා තමන් සතු මුදල් වංචනික ලෙස තැන්පත් කරගත් තරුණයා අල්ලා දෙන ලෙස අපරාධ වංචා විමර්ශණ ඒකකය වෙත පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ඩබ්ලිව්. ජයසිරි නම් රංගන ශිල්පියා පැමිණිලි යොමු කර තිබුණි.

අයි.සී.සී. ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදීම අහම්බෙන් තෝරාගත් දුරකථන අංක අනුව සිදු කළ බවත් එම එක් අංකයක් ඔබේ අංකය බව පවසමින් කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජයසිරි මහතාට මුලින්ම කතා කර තිබේ. ඇමෙරිකානු ඩොලර් 85,000 ක මුදල ලබාගැනීමට නම් පියවර කිහිපයක් අනුගමනය කළ යුතු බවත් ලියාපදිංචිය සඳහා මුදල් අවශ්‍ය බවත් දන්වා ඇත.

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියා මෙම වංචාකරුගේ රංගනයට එම අවස්ථාවේ රැවටී තිබේ. බැංකු 4 කට වරින්වර මුදල් තැන්පත්කරන තුරුම මෙය අසත්‍යයක් ලෙස ඔහුට හැඟී ගොස් නැත. මුදල් තැන්පත් කළ පසුව දිගින් දිගටම වංචාකරු ජයසිරි මහතා මගහැර ඇති අතර පසුව පොලිසියට පැමිණිල්ලක් සිදු කරන්නට ඔහු කටයුතු කර තිබේ. පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් අපරාධ විමර්ශන අංශ එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් හරහා එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව තහවුරු කරගෙන තිබේ.

සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කරයි ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *