ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

(05.08.2020 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 4000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර හයක (6) පමණ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

පිපිරීමෙන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, පිපිරීමේ ශබ්දයන්ගේ බලපෑම කිලෝමීටර් 254 ක දුරින් පිහිටි සයිප්‍රසය වෙත ද එල්ල වී තිබෙනවා.

පිපිරීමට මූලික හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර, ඔහු කියා සිටියේ බේරුට් වරායේ අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 කට අධික ප්‍රමාණයක් පුපුරා යාමෙන් මෙම ව්‍යවසනය සිදුව ඇති බවයි.

පිපිරීමට අදාළ නිශ්චිත හේතුව අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ලෙබනනයේ ඉහළ පෙලේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළා. එසේම, ඊට වගකිව යුත්තන්ට හැකි උපරිම දඬුවම ලබාදීමටද කටයුතු කරන බවද ඔවුන් පවසනවා.

පිපිරීම හේතුවෙන් දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ලෙබනන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ලෙබනන් රාජ්‍යයේ සිය ආහාර අවශ්‍යතාව විදේශයන් හි සිට ආනයනය කරන ආහාර මගින් සපුරා ගන්නා අතර, වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය ඇතුළු ආහාර ටොන් දහස් ගණනක් පිපිරීමෙන් විනාශ වී තිබෙනවා.

තුවාල ලැබූ රෝගීන්ගෙන් එරට රෝහල් පිරී ගොස් ඇති අතර, දැවැන්ත ලේ හිඟයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

(05.08.2020 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

එම පිපිරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් දුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එම පිපිරුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තාවනවා.

+++++++++++++++++++++

(05.08.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ බීරුට් අගනුවර ඊයේ (04) සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හානි සිදුව තිබෙනවා.

තානාපතිනී ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය කියා සිටියේ තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ගේ නිවෙස්වලට හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, තානාපති කාර්යාලයේ කිසිවෙකුටත් පිපිරීමෙන් තුවාල සිදුවී නොමැති අතර, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට (2) තුවාල සිදුවී ඇති බවට දැනට වාර්තා වී ඇති බව තානාපතිනිය කියා සිටියා.

ලෙබනනයේ මෙරට ශ්‍රමිකයින් 24,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී. වන්සේකර මහතා සඳහන් කළේ හානි සිදුවී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය සහ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

+++++++++++++++++++++

(05.08.2020 – 15:39 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.

දුරකථන අංකය : +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය : slemb.beirut@mfa.gov.lk

+++++++++++++++++++++

බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි

(05.08.2020 – 16:28 +0530 – lankadeepa.lk)

බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා කියයි.

“මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. අඟහරුවාදා පිපිරීමෙන් සිදුවූ හානිය සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 3.0 ත් 5.0 ත් අතර විය හැකියි” යැයි ආණ්ඩුකාර මාර්වන් අබූඩ් මහතා පැවසීය.

ඉංජිනේරුවන් සහ තාක්ෂණික කණ්ඩායම් තවමත් නිල තක්සේරුවක් කර නොමැති නමුත් වරාය ප්‍රදේශයේ ඇති වූ පිපිරීම නිසා නගරයෙන් අඩකටත් වඩා හානිවී ඇති බවක් පෙනේ ෴

++++++

බීරූට් වරායේදී සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසුව කරදරයට පත් ශ්‍රී ලාංකිකයන්ට සන්සුන්ව සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙසත් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී. ඒ සඳහා ඇමතීමට දුරකතන අංක 4 ක් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දී තිබේ.

***************************************

ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක් – පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ

(05.08.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද විමසීම සිදු කෙරෙන අද (05) දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 82,091 ක් සේවයේ යොදවා තිබෙනවා.

මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය බලය භාවිතා කිරීමට පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 7 සිට ආරම්භ වූ අතර එය පස්වරු 5 දක්වා පැවැත්වෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය

(05.08.2020 – 16:23 +0530 – hirunews.lk/sinhala)

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙකු හෘදයාබාදයකින් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි දෙදරු පියෙකු බවටයි වාර්තාවන්නේ.

ඔහු පානදුර රෝහලට ඇතුලත් කරන විටදී ජීවිතක්ෂයට පත්ව සිටි බවයි සඳහන් වන්නේ.

පානදුර රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පානදුර දකුණු පොලීසිය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි

(05.08.2020 – 18:20 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, අලුතැපොල – වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය යම් රෝගයකින් සිටි බවට මෙතෙක් කරන ලද පරික්ෂණවලදී අනාවරණය වු බවයි පොලීසිය පවසන්නේ ෴

+++++++++++++++++++++

අද (05) පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421 ක්

(05.08.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අද (05) පෙරවරු 7 ට ඇරඹි ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන්වීමට නියමිතයි.

පස්වරු දෙක (2) වනවිට දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත සියයට 60 ඉක්මවා තිබුණා.

සෙසු දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ද සියයට 50 ඉක්මවා තිබූ බවයි එම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් කියා සිටියේ.

එමෙන්ම අද (05) පෙරවරු හයේ (6) සිට 11 දක්වා කාලසීමාව තුළදී මැතිවරණ පැමිණිලි 421 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 370 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති තිබෙනවා.

ඒ අනුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 8,025 ක් ෴

+++++++++++++++++++++

ඡන්දය සලකුණු කළ අයුරු ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

(05.08.2020 – 12:33 +0530 – hirunews.lk/sinhala)

තමන් සලකුණු කළ ඡන්දය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 ඡන්ද මධ්‍යස්ථානයේ, ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කරමින් සිටි අවස්ථාවේ, ශාලාධිපති විසින් මෙම සැකකරු සහ ජංගම දුරකථනය සිය බාරයට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර බාරදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රම්බොඩ, හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්

(05.08.2020 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන් වුණා.

ඡන්ද විමසීම ආරම්භ කෙරුණේ අද (05) පෙරවරු 7 ටයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිව සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් (1,62,63,885).

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,785,964 ක්.

2020 මහ මැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් අපේක්ෂකයින් 7452 ක් ඉදිරිපත්ව සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාශ 160 ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,709,209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටියා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024 ක්.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට හෙට (06) වනදා උදෑසන ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77 කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වූ අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000 ක් අනියුක්ත කර සිටිනවා.

මේ අතර පස්වරු 5 වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 76 ක් බවට වාර්තා වුනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක් වූ අතර මාතර සියයට 70 ක් බවයි දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ.

කළුතර සියයට 65 ක්, මහනුවර 72 ක්, මාතලේ 72 ක්, නුවරඑළිය 75 ක්, වන්නි 74 ක්, මොණරාගල 73 ක් සහ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 67 ක් ලෙසයි දැක්වෙන්නේ.

දිගාමඩුල්ල සියයට 73 ක්, ත්‍රිකුණාමලය සියයට 74 ක්, අනුරාධපුරය සියයට 70 ක්, පුත්තලම සියයට 65 ක්, කෑගල්ල සියයට 70 ක්, රත්නපුර සියයට 72 ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශය සියයට 76 ක් ලෙසටයි දැක්වෙන්නේ.

කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 76 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 68 ක් බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 68 ක් ලෙස සටහන් වනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71 ක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා ෴

+++++++++++++++++++++

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කරයි

(05.08.2020 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහාන පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(05.08.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හම්බන්තොට මැදමුලන ඩි ඒ රාජපක්ෂ විද්‍යාලයේදී අද (05) පෙරවරුවේ සිය ඡන්දය ලබාදුන්නා.

උදෑසන කාල්ටන් නිවසට වැඩමවා වදාළ මහාසඟරුවනේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දිවංගත ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පොපාහාර පුද කළා. ඔවුන් සිය ඡන්දයලබාදුන්නේ ඉන් අනතුරුවයි.

දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කථාබස් වල නිරතවන්නට ද රාජපක්ෂවරු මෙහිදී අමතකලේ නැහැ.

***************************************

SF ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරේ

(05.08.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන තිබෙනවා.

+++++++++++++++++++++

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටියේ පෙම්වතිය

(05.08.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ අද (05) වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඒ, අනුරාධපුර – දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදියි.

යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ඝාතනයට ලක්වූ අතර, පසුව ඔහු ගමන් ගත් දෙමුහුන් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.

ඝාතනයට ලක්වූ ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ් ලොක්කා’ මියයනවිට 32 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර ‘එස්.එෆ් ලොක්කා’ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, ප්‍රධාන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි.

ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 8 ක් පමණ ඔහුට එල්ල කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, ප්‍රධාන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි.

ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 7ක් පමණ ඔහුට එල්ල කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එස්.එෆ්. ලොක්කා, කරළියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා අනුරාධපුර – කඩපණහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමඟයි.

පසුව පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියා ෴

+++++++++++++++++++++

‘SF ලොක්කා’ට වෙඩි ප්‍රහාර 8 ක් වැදිලා – දර්ශන සහිතයි

(05.08.2020 – 16:28 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඉරෝන් රණසිංහ’ නොහොත් ‘එස්.එෆ්.ලොක්කා’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස ‘එස්.එෆ්.ලොක්කා’ නම් කර සිටි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට අද (05) මෙම නියෝගය ලබා දී තිබේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත්තේ‍, මෙම වෙඩි තැබීම සිදුකළ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

‘එස්.එෆ්.ලොක්කා’ ටී 56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් (8) එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග මොහු ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මුලුමනින්ම දැවී ගොස් ඇති බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය මත ගිනි ගෙන දැවී තිබූ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ප්‍රධාන මාර්ගය වාහන ගමනා ගමනය සඳහා යළි විවෘත කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේනක ප්‍රසන්න මහතාට නියෝග කෙරිණි.

යතුරු පැදියකින් පැමිණි දෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදු කර ඇති බව සිද්ධිය පිළිබඳ ව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දයාන් සමරකෝන් මහතා මෙහිදී මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබේ.

අද (05) උදෑසන 11:45 ට පමණ මෙය සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු ගමන් ගත් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ‘එස්.එෆ්.ලොක්කා’ මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://www.youtube.com/watch?v=T7hfPuM-3os#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++

(05.08.2020 – gossiplankanews.com)

+++++++++++++++++++++

https://streamable.com/e/8ooiwm

+++++++++++++++++++++

‘SF ලොක්කා’ ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග

(05.08.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ අද (05) වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඒ, අනුරාධපුර – දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදියි.

යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ඝාතනයට ලක්වූ අතර, පසුව ඔහු ගමන් ගත් දෙමුහුන් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.

ඝාතනයට ලක්වූ ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ මියයනවිට 32 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර ‘එස්.එෆ්. ලොක්කා’ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, ප්‍රධාන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි.

ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 7 ක් පමණ ඔහුට එල්ල කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

‘එස්.එෆ්. ලොක්කා’, කරළියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා අනුරාධපුර – කඩපණහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමඟයි.

පසුව පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියා.

***************************************

පදික මාරුව මත සිදුවූ අනතුර – දර්ශන සහිතයි

(05.08.2020 – 14:19 +0530 – sinhala.adaderana.lk)

හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති පදික මාරුවේ දී සිදුවූ අනතුරකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (05) උදෑසන 11:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එම අනතුර සිදුවන ආකාරය අසළ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

https://www.youtube.com/watch?v=UC5NV6Q21TM#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *