කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය

(05.08.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන රටේ ජනතාව වෙත සිය ස්තූතිය පුදකරමින් ජනපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම සටහන පහතින් :

“අද (5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි.”

9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71 ක් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 71 ඉක්මවා තිබූ බවයි.

ඒ අනුව වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.

එහි අගය සියයට 75 ක්. ත්‍රිකුණාමලය, මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 74 ක් වන අතර, හම්බන්තොට, වන්නි සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 74 ක් ලෙසයි.

සියයට 72 ක ඡන්ද ප්‍රතිශතයක් කොළඹ, මඩකලපුව සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවනවා.

කළුතර, මහනුවර, මාතලේ, මාතර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවන ඡන්ද ප්‍රතිශතය සියයට 71 ක්.

කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 69 ක් වන අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය සියයට 64 ක්.

අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. එහි අගය සියයට 63 ක්.

අද (05) පස්වරු පහට (05:00) ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමත් සමඟ හෙට (06) පෙරවරු හතේ (07:00) සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනවා.

දිවයින පුරා ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථාන 77 ක් තුළ ගණන් කිරීමේ කටයුතු සිදුකරන අතර, මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන විත් අවසන්.

මෙවර මහමැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් 1,62,63,885 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ සමඟින්ද තවත් 3,800 ක් ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින්ද මැතිවරණයට ඉදිරිපත් වුණා.

අද (05) පැවැත්වූ මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ඒමේ වගකීමද ඉටු කිරීමට මේ වනවිට හිරු සියළු කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව පෙර මැතිවරණවලදී මෙන්ම, නිවැරදි, නිළ ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ විගස ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ඒමට හිරු මාධ්‍ය ජාලය කටයුතු කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකුට (2) ක්ලාන්තය හැදිලා

(05.08.2020 – 21:14 +0530 – lankadeepa.lk)

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු (2) අද (05) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති අතර කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මගින් එම ඡන්ද මධ්‍යස්ථානයන්හි ඉදිරි කටයුතු සිදුකළ බව මැතිවරණ කටයුතු භාර නිලධාරියෙක් පැවසීය.

වත්තල නගරෙය් සහ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ වටද්දර ඡන්ද මධ්‍යස්ථාන බාරව කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මෙසේ රෝගී වී ඇත. එක් ස්ථානාධිපතිවරයෙක් රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි රාජකාරියට වාර්තා කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

අනෙක් ස්ථානාධිපතිවරයා බාහිර ප්‍රතිකාර පමණක් ලබා ඇත. ඔවුන් රෝගී වූ වහාම කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ගේ මාර්ගයෙන් ඉදිරි කටයුතු සාර්ථකව සිදුකළ බවද මෙම නිලධාරීන් බොහෝ වෙලාවක් මුඛ ආවරණ දමාගෙන සිටීම හේතුවෙන් මෙසේ රෝගී වන්නට ඇතැයි සැකකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක්

(05.08.2020 – 23:16 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද (05) ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා.

ඔහු එහිදී තමන් සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් පිළිබඳව ඉඟියක්ද පළකළා.

+++++++++++++++++++++++++++++++++++

නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට

(05.08.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය’ සහ ‘දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන’ වලට අද (05) දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 337 ක් ලැබී ඇති බව ‘මැතිවරණ කොමිෂන් සභාව’ ප්‍රකාශ කළා.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 8362 ක්.

මේ අතර, නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, වේයන්ගොඩ – පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් පොලිස් පරීක්ෂකවරයෙකුගේද සේවය අත්හිටුවා තිබෙනවා.

රාගම – කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශාන්ත ලාසරස් දේවස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ලබාදීමට අද (05) දහවල් පැමිණි අවස්ථාවේ ඇයගේ ඡන්දය වෙනත් අයෙකු ප්‍රකාශ කර තිබුණා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගත් බව අද (05) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත

(05.08.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් ප්‍රකාශ කළා.

ප්‍රවාහන අපහසුතා පවතින ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි පමණක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ළඟාවීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

වයස 100 දීත් ඡන්දය දුන් ජොන් පිලිප් ලුවිස්

(05.08.2020 – 20:28 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය නගරයේ පදිංචි වයස අවුරුදු 100 ඉක්ම වු පුද්ගලයෙකු අද (05) පෙරවරුවේ ශාන්ත මේරි විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජොන් පිලිප් ලුවිස් නම් ඔහුගේ වයස අවුරුදු 100 යි මාස 08 කි.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු පැවසුවේ තමා 1947 සිට ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවය.

“සෑම අවුරුද්දකම මම ඡන්දය දාලා තියෙනවා. ඡන්දය එක මගේ වටිනා යුතුකම.” යනුවෙන් ‘අද දෙරණ’ සමග ඔහු පැවසීය.

***************************************

‘අංගොඩ ලොක්කා’ ගැන ඉන්දියාවේ CIDයෙන DNA පරීක්ෂණයක්

(06.08.2020 – mawbima.lk)

ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මියගිය ‘අංගොඩ ලොක්කා’ හෙවත් ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ ලේ ඥාතීන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහු නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරියකු ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත්තේ DNA පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන ‘අංගොඩ ලොක්කා’ගේ සොහොයුරා සහ ‘අංගොඩ ලොක්කා’ගේ පළමු බිරියට දාව උපන් පුත්‍රයා යොදාගැනීම වඩාත් සුදුසු බවය.

‘අංගොඩ ලොක්කා’ මියයෑමෙන් දින දෙකකට (2) පසු එනම් ජූලි 5 වැනිදා මදුරෙයිහිදී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ සිරුරු කොටස් ලබාගෙන තිබීම හේතුවෙන් DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව පවතින බව ඉන්දීය පොලිසිය පවසයි.

වෝහාරික ශල්‍ය වෛද්‍යවරයකු ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත්තේ, DNA පරීක්ෂණය සඳහා ‘අංගොඩ ලොක්කා’ගේ මවුපියන්ගේ DNA සාම්පල වඩාත් යෝග්‍ය වුවද, ඔවුන් පිළිබඳව තොරතුරු සොයාගැනීමට අපහසු නම් සොහොයුරාගේ හෝ පුත්‍රයාගේ සාම්පල් ද ප්‍රමාණවත් බවය.

මේ සඳහා කෙරෙන විමර්ශන කටයුතුවල අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ සහාය ලබාගැනීමට අපේක්ෂා කරන අතර මේ වන විට මූලික විමර්ශනවලට අදාළව ‘අංගොඩ ලොක්කා’ සහ ඔහුට සහාය දුන් පුද්ගලයන් පිළිබඳ තොරතුරු එකරැස් කරමින් සිටී.

මෙම පරීක්ෂණ හරහා ‘අංගොඩ ලොක්කා’ගේ මරණය නිශ්චිතව තහවුරු කරගැනීමට අවධානය යොමු වී ඇතැයි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කේ. ශංකර් මහතා පවසයි.

ඔහු මෙම විමර්ශන කටයුතුවල නිරත විශේෂ කණ්ඩායම් 7 ක සාමාජිකයන් ඊයේ (05) හමුවී සාකච්ඡා කළේය.

‘අංගොඩ ලොක්කා’ සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු ගොනු දෙකක් (2) ලේඛනගත කර තිබේ. එක් විමර්ශනයක් වන්නේ, මියගිය පුද්ගලයා ‘අංගොඩ ලොක්කා’ බව නිශ්චිතව තහවුරු කර ගැනීමය. අනෙක අත්අඩංගුවට පත්වී සිටින සැකකරුවන් තිදෙනා (3) ඔහුට ව්‍යාජ ලේඛන සැකසීම, ආධාර කාඩ්පතක් සකසා දීම සහ ඔහුට ඉන්දියාවේ රැඳී සිටීමට සහාය දීම යන කරුණු සම්බන්ධවය.

ඉන්දීය පොලිසිය පැවැසුවේ, එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ‘අංගොඩ ලොක්කා’ වාසය කළ බව කියන ‘චෙරන් මා නගර්’හි පිහිටි නිවෙස අඟහරුවාදා (අගෝස්තු 04) පරීක්ෂා කළ බවය. ඔහු කොයිම්බතූර්හි සරවනම්පට්ටි ප්‍රදේශයේ මහල් නිවාසයක ද රැඳී සිට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ.

‘අංගොඩ ලොක්කා’ පිළිබඳ විමර්ශන කටයුතු ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පෙර ඔහුට සහාය දුන් ඉන්දීය වැසියන් තිදෙනකු (3) අමානි තාන්ජි නමැති ‘අංගොඩ ලොක්කා’ගේ ශ්‍රී ලාංකික අනියම් බිරිය හා ඇගේ මිතුරකු බව කියන ඊ. රෝඩ්හි පදිංචි දියනේස්වරන් නමැත්තකු සහ ඩී. සිවකාමසුන්දරි නමැති නීතිඥයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

***************************************

මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම ඇරඹේ – ලද සැනින් ප්‍රතිඵල හිරු වෙතින්

(06.08.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පස්වරු 02:30 න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අද (06) උදෑසන 7 ට ආරම්භ කෙරුණු බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ.

දහවල් 12 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේද ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළා.

ප්‍රදේශයට මේ වනවිට වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ලවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණ නිලධාරීන් පැමිණීමේදී බාධා මතුව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු නිසි පරිදි අඛන්ඩව සිදුකරමින් පවතින බවද මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ඊයේ (05) පස්වරු පහට (05:00) ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළා.

මීට පෙර මැතිවරණවලදී සිදුවූ පරිදි මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ (05) රාත්‍රියේ සිදුවූයේ නැහැ.

ඊයේ (05) පස්වරු 05:00 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ආරම්භ වුණා.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමල දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථාන 77 කදී සිදුකෙරෙනවා.

වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර, එම සංඛ්‍යාව 07 ක්.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථන 04 ක් ස්ථාපනය කර තිබෙනවා.

ඒ කොළඹ රාජකීය, ඩී.එස්. සේනානායක, ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාල තුළයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබූ ඡන්ද පෙට්ටි අවසරලත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඉදිරියේ තවත් බහාලුමක සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තැබුනා.

සියයට 71 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ මෙවර මහ මැතිවරණයේදී එක්කෝටි දස ලක්ෂයකට (1,10,00,000)ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම ඊයේ (05) පස්වරු පහට (05:00) අවසන් වුණා.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් 1,62,63,885 දෙනෙකු ඊයේ (05) පැවති මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර, එක්කෝටි දස ලක්ෂයකට (1,10,00,000)ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ඉන් ලක්ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක් තැපැල් ඡන්ද බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟ වැදුණා.

ස්වාධීන කණ්ඩායම් හරහා මැතිවරණයට තරඟ වැදුණු සංඛ්‍යාව සටහන් වුණේ 3800 ක් ලෙසයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඊයේ (05) මැතිවරණය පැවති අතර, ඒ අනුව සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71 ක් වූ බවයි මැතිවරණ කොමිමේ සභාපතිවරයා සඳහන් කළේ.

මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අතින් වැඩිම ප්‍රතිශතයක් සටහන්ව තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි.

එම ප්‍රතිශතය සියයට 75 ක්. අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 63 ක් වූ අතර, එම ප්‍රතිශතය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.

මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සමස්ථයක් ලෙස කිසිදු ගැටළුවකින් තොරව පැවති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (05) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඡන්ද ශූන්‍ය කිරීමකට ලක් කිරීම වැනි බරපතල ගණයේ කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවයි.

පළමු ඡන්ද ප්‍රතිඵලය කුමන ප්‍රදේශයෙන් නිකුත් වේදැයි මාධ්‍යවේදීන් එහිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් විමසීමක් කළ අතර, ඊට පිළිතුරු ලබාදීමෙන් අනතුරුව කොමිසමේ සභාපතිවරයා අවසාන වශයෙන් සඳහන් කළේ තමන් යළි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස සිය කාර්යාලය තුළ මාධ්‍ය හමුවක් නොපවත්වන බවයි.

සියලු තොරතුරු සහ මුල්ම ඡන්ද ප්‍රතිඵලයේ සිට සියලු නිල ඡන්ද ප්‍රතිඵල සඳහා, හිරුTV, හිරු FM, Gold FM, Sooriyan FM, Shaa FM, Hirunews.lk , Hiru Gossip.lk සමඟ රැඳෙන්න ෴

***************************************

SF ලොක්කාට වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු රැසක්

(06.08.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙඩි තබා පලාගිය යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අනුරාධපුර – දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදී ඊයේ (05) දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

පසුව ඔහු ගමන් ගත් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන තිබුණේ වෙඩි ප්‍රහාර එල්ලවීම හේතුවෙන්.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.

පොලීසිය සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයේ වේගය අඩු කළ අවස්ථාවේදී මෝටර් රථය ඉදිරිපස යතුරුපැදිය නවතා එම පුද්ගලයා විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෝටර් රථය ඉදිරිපසින් වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා රියදුරු අසුන ආසන්නයට පැමිණ තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එලෙස වෙඩි ප්‍රහාර හතක් (7) පමණ එල්ලවී ඇති බවයි.

වෙඩි වැදුණු ‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ගේ දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

‘එස්.එෆ්. ලොක්කා’ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (05) දිනයේම පොලීසියට නියෝග කළා.

කෙසේ වෙතත් ඔහුට වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

‘එස්.එෆ්. ලොක්කා’, කරළියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා අනුරාධපුර – කඩපණහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමඟයි.

පසුව පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියා ෴

+++++++++++++++++++++

පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා.. ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි

(06.08.2020 – 06:56 +0530 – truenews.lk)

අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ඉරෝන් රණසිංහ’ (ලොකු මල්ලි) හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (05) ඝාතනය කර ඇත්තේ කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු (2) විසින් බව වාර්තා වනවා.

ඊයේ (05) දවල් 12:30 ට පමණ කළු පැහැති කබාවලින් සහ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හිස් වැසුම් සහ මුහුණු ආවරණ පැලඳ සැකකරුවන් දෙදෙනා (02) යතුරුපැදියෙන් පැමිණ තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගමන් ගත් ‘එස්.එෆ්. ලොක්කා’ගේ පෙම්වතියට කිසිදු අනතුරක් සිදුවී නැති වීම විශේෂත්වයක්.

‘ඉරෝන් රණසිංහ’ නමැති මියගිය අය තම පෙම්වතිය සමග අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයකට මෝටර් රථයෙන් ගොස් පසුව පෙම්වතිය දහයියාගම හන්දියේ වෙළෙඳසලකින් එළවළු මිලදී ගෙන නිවස වෙත ගමන් ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයේ වේගය අඩු කරනවාත් සමගම යතුරුපැදිය ​මෝටර් රථයේ රියැදුරු අසුන අසලටම ළංකොට වෙඩි තබා තිබුණා.

තුවාලකරු අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති අතර වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා (2) යතුරුපැදියෙන්ම අනුරාධපුර අභය මාවත ඔස්සේ නගරය දෙසට පලා ගොස් තිබෙන බව වාර්තා වනවා ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=I5fCT2pggaY

***************************************

සම්පායෝගේ සිරමැදිරිය නිලධාරීන්ගේ කාමරයක් – අලුත් කොමසාරිස් ජනරාල් පරණ පාරේම

(06.08.2020 – 08:30 +0530 – truenews.lk)

දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිල්ලෙහි රඳවා සිටින සම්පායෝගේ සිරමැදිරිය වී තිබෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ කාමරයක් බව පැවසෙනවා.

එමෙන්ම සැකකාර සම්පායෝ දුම්බර බන්ධනාගාරයට ගෙනගිය අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලෙහි තිබී ජංගම දුරකථන චාජරයක් සොයාගැනීමට ද එහි නිලධාරියෙක් සමත් වුණා.

එලෙස සම්පායෝගේ ගමන් මල්ල පරීක්ෂා කිරීම ගැන උරණ වූ උසස් නිලධාරියකු අදාළ බන්ධනාගාර නිලධාරියාට දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වනවා.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ නිරෝධායනයට යොමු කළ රැඳවූවන් වෙනම රඳවා සිටින නමුත් සම්පායෝට කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබාදී නැති බවකි. නීතියට අනුව සියලු කටයුතු කරන ලෙස දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට විශේෂ වරප්‍රසාද (ශීතකරණ, විදුලි උදුන්) ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සම්පායෝ මෙසේ බන්ධනාගාරගත කෙරුණා ෴

***************************************

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇණහිටී

(06.08.2020 – 09:05 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලි සැපයුම ඇණහිට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කඩිනමින් විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

මෙලෙස විදුලිය විසන්ධිවී ඇත්තේ රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවලයි.

මේ අතර පුත්තලම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sampayo … I agree that the new commissioner is continuing with the old corrupt system. We have not seen any new changes to the attitudes, policies and processes within the Prison Dept or their officials. Perpetuation of the system was aptly demonstrated by Sampayo’ds arrogant and contemptuous behaviour in public, while the new commissioner remained mum regarding such behaviour and the officials subservience to this criminal.

    @ SF lokka, no criminal should assume that they are invincible. What they dish out to others, sooner or later return to claim them. Let this be a salutory lesson to those that think they are above the law of karma.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *