කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

(06.08.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබුණු පිරිස වන්නේ :

  1. තුෂාර සංජිව විතාරණ (නගරාධිපති)
  2. නුවර පක්ෂගේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න (නාගරික කොමසාරිස්)
  3. චමින්ද බණ්ඩාර අධිකාරී (නාගරික ඉංජිනේරු)
  4. ඉලාලුඩීන් සුල්ෆිකා (වැඩ අධිකාරී /අනවශ්‍ය ඉදිකිරීම් ඉවත්කිරීමේ නිලධාරී)
  5. ලක්ෂ්මන් ප්‍රියන්ත (බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු)

+++++++++++++++++++++

බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(06.08.2020 – 14:12 +0530 – lankadeepa.lk)

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට (4) එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය.

‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත් කර ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී මෙම ගොඩනැඟිල්ල කඩා දමා ඇති බව හෙළිවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව වරෙන්තු ලබාගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියම කරන ලද්දේ නාගරික කොමසාරිස් නුවර පක්‍ෂගේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරී ඉලාලු ඩීන් සුල්ෆිකාර්, සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සුරිය පටබැඳිගේ ලක්‍ෂමන් ප්‍රියන්ත නමැත්තන්ය.

‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 6 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත්කර ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද යන්න කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ද ලබාගැනීමට මේ සම්බන්ධයෙන් විමිර්ශන කරන නිලධාරීන්ට නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබිණී.

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සිදුකිරීම අපරාධ විමර්ශනයට අදාළව එකී විමර්ශන වල ස්වභාවය හා ප්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා ඇතුළු නිලධාරීන් කැඳවා නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී සාකච්ඡාවක් කළ අතර එහිදී අනාවරණය වු කරුණු අනුව එම විමර්ශන පැවැත්විය යුතු ආකාරය හා විමර්ශන කළ යුතු කාරණා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පිටු 5 කින් යුත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබිණි.

‘බුවනෙක හෝටලය’ නමින් දැක්වෙන ගොඩනැගිල්ල කරුණෑගල රාජධානියේ රාජසභාව පැවැති ස්ථානය ලෙස හඳුන්වන බැවින් එය පුරාවස්තු ආඥා පනතට අනුව ස්මාරකයක් ලෙස සැළකිය යුතු බව මෙන්ම මෙම පැරණි ගොඩනැඟිලි මුල් ස්වරූපයෙන්ම සංරක්‍ෂණය කර ආරක්‍ෂා කිරීම සුදුසු බවද 2020 මැයි මාසයේදී පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නගරාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවද පැවසු නිශාරා ජයරත්න මෙනවිය මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම වයඔ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ කමිටුව දැනුවත් කර ඇති බවටත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලේඛන වලින් තහවුරු වන බවද පැවසුවාය.

එම ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති අවස්ථාවක එම ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මීට පෙර අවස්ථාවකදී උපදෙස් දී තිබු අතර කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාගැනීමටත්, අපරාධ ස්ථානය අවට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්‍ෂා කර බලා ඒවායින් සිද්ධියට අදාළ දර්ශන ලබාගැනීමටත්, ගොඩනැඟිල්ල කඩා දැමීමට තීරණය කිරීමේදී අනුගමනය කළ යුතුව තිබු ක්‍රියාපටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක කර ඇද්දැයි විමසීමක් කරන ලෙසද විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව පිටස්තර පුද්ගලයින්ට මෙම ස්ථානයට අතුල්වීම තහනම් කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් ද නිකුත් කරන ලදී.

– මනෝප්‍රිය ගුණසේකර

***************************************

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 8,657 ක් – දේශපාලන ආධාරකරුවන් 82 ක් අත්අඩංගුවට

(06.08.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 8657 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1566 ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 7091 ක්.

එමෙන්ම ඊයේ (05) දිනයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1053 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඉන් පැමිණිලි 288 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති අතර පැමිණිලි 765 වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.

මේ අතර, ඊයේ (05) දිනයේදී පමණක් පොලිස් මූලස්ථානයට මැතිවරණ පැමිණිලි 72 ක් වාර්තා වී තිබෙනවා.

එහිදී දේශපාලන ආධාරකරුවන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 19 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, මෙවර මැතිවරණය සාමකාමීව සිදුවූ මැතිවරණයක් බවට හැදින්විය හැකි බවයි පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා ෴

***************************************

ලෙබනනයේ පිපිරීමට හේතුව නොසැළකිල්ල බව හෙළිවේ

(06.08.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයන් 135 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්, 5,000 කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින්, තවත් සිය ගණනක් අතුරුදන් කරමින් බීරූට් වරාය පරිශ්‍රයේ සිදුවූ බෝම්බ පිපිරීමට හේතුව සාපරාධී නොසැළකිල්ල බව මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

විපතටට පත්වූවන් වෙනුවෙන් ලෙබනන අග්‍රාමාත්‍ය හසාන් ඩියාබ් මහතා තුන්දින (3) ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළා.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන් ට්විටර් මහතා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු දේශීය රාජ්‍ය නායකයන් රැසක් තමා අමතා සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කළ බවයි.

පිපිරීමෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වූ අතර, අවතැන්වූ සංඛ්‍යාව තුන්ලක්ෂයකට (3,00,000) අධිකයි.

මෙය න්‍යෂ්ටික පිපිරීමක් හැරුණු කොට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම පිපිරුම ලෙසයි සැළකෙන්නේ.

මේ අතර, ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට හැත්තෑ පස් (75) වසරක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් එම පළමු බෝම්බ ප්‍රහාරය එල්ලවූ ජපානයේ හිරෝෂිමා නගරවාසීන් මෙවර සිදුකරන අනුස්මරණ උත්සව සීමා කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ෴

+++++++++++++++++++++++++++++++++++

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 10 දක්වා ඉහළට

(06.08.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ – බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යානරත්න කරුණාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 5000 කට අධිකයි.

පුපුරාගිය ඇමෝනියම් නයිට්ට්‍රේට් තොගය ලෙබනන් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ නෞකාවල තිබී ලෙබනන් ආරක්ෂක අංශ 2013 වසරේදී සිය භාරයට ගෙන අනාරක්ෂිත අයුරින් බේරූට් වරායේ ගුදම් සංකීර්ණයක ගබඩා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා ෴

+++++++++++++++++++++

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ ජීවත් වන අතර බීරූට් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු බීරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 00961 5769585 යන දුරකථන අංකයෙන් සහ slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ තොරතුරු ලබා ගත හැකි බවද එම තානාපති කාර්යාලය සදහන් කර සිටී ෴

***************************************

අපූරු මැතිවරණ නිලධාරියා

(06.08.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ රාජකාරියේ යෙදෙන සුවිශේෂී පුද්ගලයෙකු පිලිබඳව අපට ගම්පහ – සියනෑ විද්‍යාපීඨයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා.

ඔහුගේ සුවිශේෂීත්වය වන්නේ දෘෂ්‍යාබාධිතව සිටියදීත් මැතිවරණ රාජකාරීවල නිරතවීමයි.

ඒ එස්.ඒ. මහේෂ් රත්නසිරි මහකා.

උපතින් දෘෂ්‍යාබාධිත මහේෂ් මහතා ගම්පහ කලගෙඩිහේන ධර්මාශෝක විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුව සාමාන්‍ය රාජය සේවකයෙකු ලෙස මැතිවරණ රාජකාරී සදහා පසුගියදා නම් කර තිබුණා.

මහේෂ් මහතාගේ දෘෂ්‍යාබාධිත තත්ත්වය දැනගැනීමෙන් පසුව ඔහුව මැතිවරන රාජකාරීවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළත් මහේෂ්ගේ ඉල්ලීම වුයේ තමන්ව මැතිවරණ රාජකාරීයේ යොදවන ලෙසයි.

සියනෑ විද්‍යාපීඨයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයට ඔහුව අනියුක්ත කෙරුණේ ඒ අනුවයි.

සියනෑ විද්‍යාපීඨයේ මැතිවරන රාජකාරියේ නිරත නිලධාරීන්ව දැනුවත් කිරීමේ කාර්ය භාරය ඉටු කරන්නේ මහේෂ් මහතා විසින්.

ඔහු කළගෙඩිහේන ධර්මාශෝක විද්‍යාලයේ මාධ්‍ය ඒකකය භාර ගුරුවරයා ලෙස කටයුතු කිරීම මැතිවරණ කාර්යාලයේ සේවය කිරීමට පහසුවක් වෙලා.

දෑස් නොපෙනුනත් සාමාන්‍ය පුද්ගලයන් හා සම සමව ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දෙන මහේෂ් මහතා ගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝමයි.

***************************************

මැටි කර්මාන්තකරුවන් ගැටලුවක

(06.08.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම – කුලිච්චන්කුලම ග්‍රාමයේ පවුල් 100 කට අධික පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ මැටි කර්මාන්තයයි.

නමුත් අද වන විට තම කර්මාන්තයේ නියැලීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බව ඔවුන් පවසනවා.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලිච්චන්කුලම ග්‍රාමයේ ජීවත්වන පවුල් 100 කට අධික ප්‍රමාණයකගේ ප්‍රධාන ජීවනෝපාය මැටි කර්මාන්තයයි.

එමෙන්ම දැනට ගෑස් වළං නිපදවන එකම ග්‍රාමය ලෙසද කුලිච්චන්කුලම ග්‍රාමය හඳුන්වනවා.

කර්මාන්තකරුවන් පවසන්නේ මැටි භාණ්ඩ නිපදවීම සඳහා පස් වර්ග දෙකක් අවශ්‍ය වන අතර එක් පසක් පන්නල ප්‍රදේශයෙනුත් අනෙක් පස දැදුරුඔය ප්‍රදේශයෙනුත් ලබාගන්නා බවයි.

නමුත් මෙම පස් වර්ග දෙක ලබාගැනීම සඳහා බලපත්‍ර නොමැති වීම හේතුවෙන් තම නිෂ්පාදන වල ප්‍රමිතිය අඩු වී ඇති බව කර්මාන්තකරුවන් පවසනවා.

***************************************

එජාපය හිස නමයි – ආණ්ඩුවේ හොඳ කියයි

(06.08.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ජනමතයට හිස නමන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

මීගමුව බන්ධනාගාර ප්‍රධානීන්ට සැඟවෙන්න උපකාර කළ අයත් සොයයි

(06.08.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරය තුළ තිබී සොයා ගත් ඉලෙක්ට්‍රෝනික තරාදිය උපයෝගි කර ගනිමින් එහි හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූයේ ද එසේ නොමැති නම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වෙනත් කිසිවෙකුට අනුබල දී ඇත්දැයි සොයා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

එසේම, වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මඟ හැර සැගව සිටීමට අනුබල දුන් පුද්ගලයින් සහ එලෙස සැගව සිටි ස්ථාන සම්බන්ධයෙන් ද පරීක්ෂා කරන ලෙස එමගින් උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ.

ඒ සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා උපයෝගි කර ගන්නා ලෙසට දැනුම්දී ඇති නීතිපතිවරයා හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ ද නැතහොත් පොලීසියට භාර වූයේ ද යන්න වෙනම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, බන්ධනාගාර මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා, හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. ඔහු කියා සිටියේ අනුරුද්ධ සම්පායෝට බන්ධනාගාරය තුළ කිසිදු පහසුකම් සැලසීමක් සිදුකර නොමැති බවයි ෴

***************************************

බිඳ වැටුණු විදුලි සැපයුම අද (06) රාත්‍රියට පෙර යථා තත්ත්වයට

(06.08.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම අද (06) රාත්‍රියට පෙර සියයට සියයකින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකින් ඊයේ (05) රාත්‍රියේ සහ අද (06) අලුයම විදුලිය බිද වැටීම් වාර්තා වූ බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ.

වැඩිම විදුලිය බිඳ වැටීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ නිරිතදිග බෑවුම් ප්‍රදේශවලින් වන අතර, එම ප්‍රදේශයන් හි ඇතැම් ස්ථානවලට ප්‍රවේශ වීමේ ඇති දුෂ්කරතා හේතුවෙන් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ විදුලි බිඳ වැටීම් ඇත්නම් 1987 අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර, පැවති වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 10 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

නිවාස 483 කට හානි සිදුව ඇති අතර, සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5 ක්.

කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට හෙට (07) දහවල් 12 දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

***************************************

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

(06.08.2020 – 19:20 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 පාලනය හමුවේ රටේ වත්මන් තත්ත්වය සුරක්ෂිත බැවින් දිවයිනේ කිසිදු ප්‍රදේශයක් හුදෙකලා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය දින 14 තුළ දී කොවිඩ් අසාදිතයින් හමු වී ඇත්තේ ලංකාපුර ප්‍රදේශයෙන් පමණක් බවය.

***************************************

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි

(06.08.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සමීපව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

***************************************

කොවිඩ් සටනේ නිහඬ විරුවා

(06.08.2020 – 22:03 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (05) පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය කළා.

කොවිඩ් 19 වෛරස තත්ත්වය හමුවේ මැතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ ලබාදෙමින් නිහඬ සේවයක් ඉටුකළ අයෙකු ලෙසයි ඔහු හඳුන්වා දුන්නේ.

හිරු ප්‍රවෘත්ති කණ්ඩායම ඒ සුවිශේෂී පුද්ගලයා සොයා ගියා.

***************************************

පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ඇති බව ජනපති පවසයි

(06.08.2020 – 22:16 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ප්‍රකාශිත නිළ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ :

“මේ වනවිට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන ඇත. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බව මාගේ විශ්වාසයයි.”

+++++++++++++++++++++

‘ගෝඨාභය HE ලොක්කා’ ‘අයෝමා ලොක්කී’ ගැන …

“වසර 40 මුළුල්ලේ ආදරණීය බිරිඳක්, මවක් , යෙහෙළියක් ලෙස මාගේ සෙවනැල්ල වූ ඔබ, නිතැතින්ම මා දිවියේ ලද ආශීර්වාදයකි” – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (06.08.2020 – විවාහ සංවත්සරය)

***************************************

රනිල්ගේ මනාප ප්‍රශ්නය

(06.08.2020 – 22:28 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන ඇද්දැයි ප්‍රශ්නයක්ව තිබියදී එම පක්ෂයේ නීතිඥයන් පිරිසක් එහි නායක රනිල් වික්‍රමසිංහගේ මනාප ගණන් කිරීමට උත්සාහ කරන බවට සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මැතිවරණ නීතිය ප්‍රකාරව මන්ත්‍රී අසුනකට හිමිකම් කීම සඳහා යම් කණ්ඩායමක් හෝ පක්ෂයක් 5% ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු බවයි.

නමුත් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කය තුළ 5% ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා නොමැති තත්ත්වයක් තුළ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත්වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සහා ගනිමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එහි සඳහන්.

මෙම උත්සහය පිළිබඳව සමගි ජන බලවේගයේ බලවත් විරෝධය පළකරන බවත්, මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් සමගි ජන බලවේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

***************************************

ගාල්ල දිස්ත්‍රික්කය – මනාප ඡන්ද ප්‍රතිඵලය

(06.08.2020 – 23:38 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කය – මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබෙනවා. ඒ අනුව :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  1. වෛද්‍ය රමේෂ් පතිරණ – 250,118
  2. සම්පත් අතුකෝරළ – 128,332
  3. මොහාන් පී. ද සිල්වා – 111,626
  4. චන්දිම වීරක්කොඩි – 84,984
  5. ඉසුරු දොඩංගොඩ – 71,266
  6. ශාන් විජේලාල් ද සිල්වා – 67,793
  7. ගීතා කුමාරසිංහ – 63,358

සමගි ජන බලවේගය

  1. ගයන්ත කරුණාතිලක – 50,097
  2. මනූෂ නානායක්කාර – 47,399

***************************************

Parliamentary Seats Distribution
– from [ https://election.newsfirst.lk/ ]

***************************************

යාපනය ගණන් කරන මධ්‍යස්ථානයක ගැටුමක්…. සුමන්දිරන්ට හොරා කියමින් හූ කියයි…

(07.08.2020 – 14:10 +0530 – lankacnews.com)

යාපනය මධ්‍යමහා විද්‍යාලයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව ප්‍රතිඵල ප්‍රකාශය කිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ අපෙක්ෂකයින් හා ආධාර කරුවන් අතර අද (07) අලුයම් කාලයේ ගැටුමක් ඇති වීමෙන් එම ස්ථානයට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු වූ බවට යාපනය පොලීසිය පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්‍රීක්කයේ ඡ්නද ප්‍රතිඵලයන්ට අනුව දෙමළ ජාතික සන්ධානයට හිමි වූ මන්ත්‍රී ආසන 3 න් දෙවන (2) ස්ථානය සඳහා මෙම ගැටුම ඇතිව තිබූ අතර එය එම පක්ෂයේ එම්.ඒ. සුමන්දිරන් හා ශෂිකලා රවිරාජ් මහත්මිය යන අය අතර උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී ආධාර කරුවන් පවසා සිටියේ පළමු මනාප ප්‍රතිඵලයන්ට අනුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් වූ එස්. ශ්‍රීධරන් පළමු ස්ථානයත් ශෂිකලා රවිරාජ් දෙවන ස්ථානයත් ධර්මලිංගම් සිද්ධාර්තන් තෙවන ස්ථානය හා මාවෙ සේනාධිරාජා සහ එම්.ඒ සුමන්දිරන් යන අය සිව් වන හා පස් වන ස්ථාන ලබා සිටි බවටය.

අනතුරුව දෙවන වර මනාප ගණන් කිරීමෙන් පසුව ශෂිකලා රවිරාජ් මහත්මිය පස්වන ස්ථානයත් එම්.ඒ. සුමන්දිරන් දෙවන ස්ථානයත් ලැබීම හේතුවෙන් මෙම ගැටුම ඇතිව තිබුණි.

එහිදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම් .ඒ. සුමන්දිරන් සිටි ස්ථානයට ශෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාර කරුවන් පිරිසක් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට හොරා හොරා යයැ පවසා කෑ ගැසීම හේතුවෙන් දෙපාර්සවයේ ආධාරකරුවන් හා අපේක්ෂකයින් අතර උණුසුම්කාරී තත්වයක් හට ගෙන ඇති අතර ඇතම් ආධාරකරුවන්ට සුලු තුවාලද ලැබීය.

අදාල සිදුවීම සිදු වූ ස්ථානයට පසුව පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කල අතර අවසාන අවසාන ප්‍රථඵලය වූවේ එස්. ශ්‍රීධරන් පළමු ස්ථානයත් , එම්.ඒ. සුමන්දිරන් දෙවනි ස්ථානයත් ධර්මලිංගම් සිද්ධාර්තන් තෙවැනි ස්ථානයත් වශයෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++

යාපනයේදී සුමන්තිරන්ට එරෙහිව ඇතිවූ උණුසුම් තත්ත්වයේ සජීවී දර්ශන

(07.08.2020 – 03:53 +0530 – hirunews.lk/sinhala)

දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විරෝධය පලකලා.

අද (07) අලුයම 01:40 ට පමණ මෙම තත්වය ඇතිවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පිරිස පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය සමත්ව තිබෙනවා.

***************************************

ඥානසාර හිමි පාර්ලිමේන්තු එයි

(07.08.2020 – 14:54 +0530 – lankaleadnews.com)

අපේ ජනබල පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන මහමැතිවරණයට තරඟ වැදීමට නොහැකි වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව හිමිව ඇත.

ඒ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙසටය.

සමස්ත ප්‍රතිපලය අනුව එම පක්ෂයට එක් ජාතික ලයිස්තු ආසනයක් හිමිව ඇත ෴

***************************************

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *