මැතිවරණයේ පසු විපරම

(07.08.2020 – 08:21 +0530 – sinhala.adaderana.lk)

2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09 ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145 ක් දිනාගැනීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේ දී ඡන්ද 6,853,690 ක් ලබාගැනීමට සමත් වුණි.

ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 19 ක බලය හිමිකරගත් අතර එහිදි මන්ත්‍රී ආසන 128 ක් ලබාගත්තේය.

ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17 කි.

සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද 2,771,980 ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.9 ක් වේ.

ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ත් සමග සමස්ත මන්ත්‍රී ආසන 54 ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ 10 ක් ජයග්‍රහණය කළේය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 327,168 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 10 ක් හිමිකර ගැනීමට සමත් වුණි.

ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 445,958 ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.84 ක් වේ.

ඔවුන් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද සමග ඔවුන් ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 කි.

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය සහ ඊපිඩිපි පක්ෂය මෙවර මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙක (02) බැගින් දිනාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට මෙවර දිවයිනෙන්ම ලබාගත හැකි වුයේ ඡන්ද 249,435 ක් පමණයි.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.15 ක් වන අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවේ.

අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත් වුණි.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටි.එම්.ටි.කේ.පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07 ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන දෙකක් (02) හිමිවුණි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 06 ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 06 කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් (01) මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05 ක් දිනාගැනීමේ දී සමගි ජන බලවේගයට හිමි වුයේ එක් මන්ත්‍රී ආසනයක් (01) පමණයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 06 ක් හිමි වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 03 ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 04 ක්, දිනාගත් අතර සමගි ජන බලවේගය එක් (01) ආසනයක් දිනා ගැනීමට සමත් වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 07 කි.

සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 02 ක් හිමිවුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 04 ක් සහ සමගි ජන බලවේගය එක් (01) මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රී ආසන 04 ක් පමණයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 07 ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 02 ක් දිනාගත්තේය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07 ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02 ක් හිමිවුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08 ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් දිනාගත් ආසන සංඛ්‍යාව 02 කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08 ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04 ක් ලබා ගැනීමට සමත් වුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05 ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රී ආසන 03 ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය ආසන 03 ක් දිනාගැනිමට සමත් වුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී ආසන 05 න් 04 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණි.

සෙසු මන්ත්‍රී ධුරය දිනාගත්තේ සමගි ජන බලවේගය පක්ෂය යි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 12 ක් හිමිකර ගෙන තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ආසන 06 ක් ද ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් ද හිමිවුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 13 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04 ක් සහ ජාතික ජන බලවේගය එක් (01) මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 03 ක් සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ආසනය (01) බැගින් දිනා ගැනීමට සමත් වුණි.

සමගි ජන බලවේගය ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන 02 බැගින් ද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් (01) මන්ත්‍රී ආසනයක් ද දිනාගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ටි.එම්.වි.පි, ටි.එම්.ටි.කේ., ඒ.සි.එම්.සි, එම්.එම්.ඒ සහ එන්.සි යන දේශපාලන පක්ෂ ද එක් (01) මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනිමට සමත් වුණි.

+++++++++++++++++++++

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ලබන ඉරිදා (09) දින උදෑසන 08:30 ට කැලණිය රජමහා විහාරස්ථානයේදී දිවුරුම්දීමට නියමිතයි. (hirunews.lk/sinhala)

+++++++++++++++++++++++++++++++++++

විපක්ෂයේ යුතුකම මහනායක හිමිවරුන් පහදයි

(07.08.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ලැබුණු බලය ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් භාවිත කරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ශක්තිමත් විපක්ෂයක් ලෙස රටේ සුබ සුද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට කැප වන ලෙස උන්වහන්සේ විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

+++++++++++++++++++++++++++++++++++

පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමඟ රට පුරා සැමරුම්

(07.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමඟ දිවයින පුරා විවිධ සැමරුම් පැවැත්වුණා.

ඊට එක්වූ ජනතාව රතිඤ්ඤා දල්වමින් සහ කිරිබත් පිසිමින් සිය සතුට පළ කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට සිය සතුට පළ කරමින් ජය සැමරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, බදුල්ල ප්‍රදේශයේද එවැනිම සැමරුම් පැවති අතර, හම්බන්තොට, ගාල්ල, කළුතර, මහනුවර, මාතලේ, මාතර, පොලොන්නරුව, පුත්තලම සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලද ජනතාව ජයග්‍රහණය සමරනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමඟ එය සංකේතවත් කිරීම සඳහා කොළඹ නෙළුම් කුළුණ ඊයේ (06) රාත්‍රියේ ආලෝකවත් කෙරුණා.

+++++++++++++++++++++++++++++++++++

මනාප ලැයිස්තුවල මුල් තැනට නවක මන්ත්‍රීවරුන් – රනිල් ඇතුලු හිටපු මන්ත්‍රිවරුන් පිරිසකට ආසන අහිමි වෙයි

(07.08.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට සිය ධුර අහිමිවී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික දයා ගමගේට සිය පාර්ලිමේන්තු අසුන් අහිමිවුණා.

කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලද පරාජයට පත්වූ අතර, සමගි ජනබලවේගයෙන් තරග කළ ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්ම සුජීව සේනසිංහ ද පරාජයට පත්වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුලිප් විජේසේකර මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහට තරග කළ රුවන් විජේවර්ධනට සහ අර්ජුන රණතුංගටද සිය ආසන අහිමිවුණා.

අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා, චතුර සේනාරත්න, එඩ්වඩ් ගුණසේකර ද මෙලෙස ආසන අහිමිවූවන් අතර වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් පෙර පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්නටද සිය මන්ත්‍රි ධුර අහිමිවුණා.

මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර අහිමිවී ඇත්තේ පොදුජන පෙරමුණෙන් තරග කළ ලක්ෂ්මන් යාපාටයි. ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්තිටද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමන් දැරූ මන්ත්‍රි ධුරය අහිමිවී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ වජිර අබේවර්ධන, සමගි ජනබලවේගයෙන් තරග කළ විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේට ද සිය මන්ත්‍රී ධුර අහිමිවුණා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට සිය මන්ත්‍රි ධුරය අහිමිවූ අතර, පොදුජන පෙරමුණෙන් එම පක්ෂයට තරග කළ තාරනාත් බස්නායක, ටී.බී. ඒකනායක මෙන්ම ඉන්දික බණ්ඩාරනායකටද ආසන අහිමිවුණා.

පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පාලිත රංගේ බණ්ඩාරටද සිය මන්ත්‍රි ආසනය අහිමිවූ අතර, යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, පී සරවනබවන් සහ විජයකලා මහේෂ්වරන්ටද සිය ආසන අහිමිවීම විශේෂත්වයක්.

***************************************

පිටිපනින් සොයාගත් අවි සම්බන්ධයෙන් යුද හමුදාවේ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(07.08.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන ප්‍රදේශයෙන් ටී-56 වර්ගයේ ගිනි අවි 12 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

සිදුකරන ලද විමර්ශනවලට අනුව යුද හමුදා පොලීසිය මගින් අදාළ සෙබලුන් දෙදෙනා (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ෴

***************************************

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

(07.08.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් (3) විවෘත කර තිබුණා.

අද (07) පෙරවරුවේ අඩි දෙක (2) බැගින් එම වාන් දොරටු විවෘත කර ඇති බවයි ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

මේ අතර කන්කසන්තුරේ සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(07.08.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළා.

ඒ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙනිය සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම පසුගිය 27 වනදා ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණු අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පෞද්ගලික හේතුවක් ඉන් ඉවත් වුණා.

මේ නිසා අදාළ පෙත්සම සලකා බැලීම අද (07) දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ෴

***************************************

කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු

(07.08.2020 – 16:10 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, එහි නාගරික කොමසරිස්වරයා, විදුලි ඉංජිනේරුවරයා ඇතුළු තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සදහා කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා නියෝග කිරීමෙන් පසු පොලිසිය අධිකරණයෙන් සිදුකල ඉල්ලීමකට අනුවයි.

ලබන සඳුදා (10) වනවිට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ යුතු බව අදාල වරෙන්තුවේ දැක්වෙනවා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණැගල බුවනෙක හෝටලට කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකරුවන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නිතීපතිවරයා නියෝග කරනු ලැබුවේ ඊයේ (06) දිනයේදියි ෴

+++++++++++++++++++++

***************************************

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

(07.08.2020 – 08:24 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

“අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ,” යනුවෙන් පැවසීය.

“නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි,” යනුවෙන්ද ඔවුන් පවසයි.

රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකානු තානාපති කාර්යාලය කීය ෴

***************************************

වෙඩි පහරවල් එල්ල වෙනවාත් එක්කම ‘SF ලොක්කා’ රියේ අනිත් අසුන පැත්තට කඩා වැටුණා

(07.08.2020 – mawbima.lk)

දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ඝාතනයට ලක්වූ ‘ආර්. එම්. ඉරෝන් රණසිංහ’ නොහොත් ‘එස්.එෆ්. ලොක්කා’ගේ පපුව දෙසට වෙඩි ප්‍රහාර පහකට (5) ආසන්න ප්‍රමාණයක් වැදී ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

පෙරේදා (05 දා) දහවල් 11:55 ට පමණ පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වශයෙන් හා ගිනස් ලෝක වාර්තාලාභී ‘වසන්ත සොයිසා’ව අමානුෂිකව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වූ ‘ඉරෝන් රණසිංහ’ නොහොත් ‘එස්.එෆ්. ලොක්කා’ දක්ෂ වෙඩික්කරුවකුගේ ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා ඔහු ගමන් කළ මෝටර් රථයේ රියැදුරු අසුන තුළදීම ජීවිතක්ෂයට පත්වී තිබිණි.

බරපතළ තුවාල ලැබූ ‘ඉරෝන් රණසිංහ’ව මහත් ආයාසයකින් මෝටර් රථයෙන් ඉවතට ගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්වී සිටි බව රෝහල තහවුරු කර තිබිණි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා විසින් සිද්ධිය වූ ස්ථානයට 05 දා සවස පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර එහිදී වෙඩික්කරු විසින් රථයේ දකුණු පස පැති කණ්ණාඩිය අතරින් ‍දොරෙහි වීදුරුව (ෂටරය) පසාරු කරමින් යන ලෙස පළමු වෙඩිල්ල එල්ලකර ඇති අයුරක් නිරීක්ෂණයට ලක් කළේය.

එම වෙඩිල්ල ඔහුගේ පපුව දෙසට වැදී ඇති අතර පසුව වෙඩි ප්‍රහාර හතරක පහක (4 – 5) ප්‍රමාණයක් එල්ලවී ඇති බවත් නිරීක්ෂණය විය. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතාට විනිසුරුවරයා නියෝග කළ අතර වෛද්‍යරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාව අධිකරණයට යොමු කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට යොමු කර තිබිණි.

මරණකරුට ඝාතකයා විසින් වෙඩි ප්‍රහාර හතරක් හෝ පහක් (4 – 5) ශරීරයේ පපුව දෙසට එල්ලකර ඇති බවත් ඒවා පපුව දෙසට වැදී සිරුර අභ්‍යන්තරයට කිඳා බැසීම නිසා පෙණහැල්ලට බරපතළ තුවාල සිදුවීමෙන් මරණය සිදුවී ඇති බව නිගමනය සිදුකර තිබිණි. මරණකරුට වෙඩි වැදීම නිසා ඔහුගෙන් සිරුරෙන් අධික ලෙස රුධිරය වහනයවී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේදී ඔහුගේ සිරුරේ තිබී සැලකිය යුතු අන්දමින් පතරොම් මූනිස්සම් කොටස් හමුවී නැති අතර මූනිස්සම් කොටස් කිහිපයක් ශරීරයේ තිබී වෛද්‍ය පරීක්ෂණයේදී හමුවී තිබේ. ඔහු ගමන්ගත් රථයට ටී-56 වර්ගයේ ගිනි අවියක් බවට සැකකරන අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ලකර තිබූ අතර හිස් පතරොම් කොපු අටක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථානාගාරයේ නිලධාරීන් විසින් නඩු භාණ්ඩ ලෙස සොයා ගෙන තිබිණි.

මරණකරුට කුමන අවියකින් වෙඩි තබා ඇද්දැයි අධිකරණ වෛද්‍යවරයා විසින් අධිකරණයට සැපයූ වාර්තාවේ සඳහන්ව නැති බව පරීක්ෂණ සිදුකරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවැසුවේය.

“දහයියාගම රේල් ගේට්ටුව ළඟදී රතිඤ්ඤා පත්තුවෙන ශබ්දයක් වගේ හඬක් ඇහුණා. මම දැක්කේ නෑ අප්පච්චිට (එස්.එෆ්. ලොක්කාට) වෙඩි තිබ්බේ කවුද කියලා. අප්පච්චි අනිත් අසුන පැත්තට කඩාගෙන වැටෙද්දී තමයි මම දන්නේ එයාට කවුරු හරි වෙඩි තිබ්බා කියලා” යනුවෙන් එස්.එෆ්. ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදුකරන පරීක්ෂණවලදී ඝාතනය වූ එස්.එෆ්. ලොක්කා ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන් කළ විවාහක කාන්තාව පැවැසුවාය.

පාතාල ක්‍රියාකාරිකයකු වශයෙන් නම් දරා සිටි අනුරාධපුර පවිත්‍රපුර, කාර්මික පෙදෙස ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම්. ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නොහොත් දහයියාගම ලොකු මල්ලි (33) නමැත්තා පෙරේදා (05 දා) අනුරාධපුර, දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය අසලදී නාඳුනන දක්ෂ වෙඩික්කරුවකු විසින් තැබූ වෙඩි ප්‍රහාරයකින් මෝටර් රථය තුළදීම ජීවිතක්ෂයට පත්විය. වෙඩික්කරු රථයේ යම් ස්ථානයකට නිවැරදිව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රථය ගිනිගෙන දැවුණු අතර මරණකරු රථය තුළම පිලිස්සීමට එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මැතිවරණය පැවැති 05 දා දිනයේ දහවල් 11:55 ට පමණ ඔහුට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබිණි. ලෝක පූජිත කරාතේ ක්‍රීඩක ගිනස් ලෝක වාර්තාලාභී වසන්ත සොයිසා ගේ සමාජශාලාවට 2015 ජූලි මස අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම, 2015 ඔක්තෝබර් මස 24 වැනිදා වසන්ත සොයිසා ඝාතනය කර අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි වසන්ත සොයිසාගේ සමාජශාලාවට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සිදුකර තිබිණි.

ඊට අමතරව වාරික මුදල් නොගෙවීම නිසා අත්පත්කරගත් ‘අවුට් ලෑන්ඩර්’ රථයක් පැහැර ගැනීම, ජීව අත්බෝම්බයක් රැගෙන යමින් සිටියදී දහයියාගම දුම්රිය මාර්ගය අසලදී අත්අඩංගුවට පත්වීම යන චෝදනාවන්ට ඔහුට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් පවතී.

අනුරාධපුර මහාධිකරණය මඟින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත සිටියදී අනුරාධපුර පැරණි පූජා නගරයේ නිදන් සෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී අධිකරණයෙන් දඬුවම් ලබා සිටි ඔහු බන්ධනාගාරයේ සිටියදී කොළඹ පාතාල ක්‍රියාකාරීන් සමඟ හෙරොයින් ජාවාරම සිදු කිරීම හා ඇප ලැබීමෙන් පසුව අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් හා බස් රථවලින් කප්පම් ගැනීමේ චෝදනාවන්ට ලක්වී සිටියේය.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් පරීක්ෂණ සිදු කෙරෙන අතර අපරාධ විමර්ශන අංශය ඝාතකයන් පැමිණි ආකාරය අනාවරණය කර ගැනීමට අනුරාධපුර නගරයේ ස්ථාන රැසක ඇති ආරක්ෂක කැමරා පරික්ෂාවට ලක්කර තිබුණත් එම කිසිදු ආරක්ෂිත කැමරාවක සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් සටහන්වී නැති බව පොලිසිය කියයි.

දක්ෂ වෙඩික්කරු තවත් පුද්ගලයකු සමඟ ටී-56 ගිනිඅවිය උදරයේ සඟවාගෙන පැමිණ එස්.එෆ්. ලොක්කා ගමන් කළ මෝටර් රථයේ වේගය රේල් ගේට්ටුව අසලදී අඩුවනවාත් සමඟම යතුරුපැදිය මත සිටගත් වෙඩික්කරු එස්.එෆ්. ලොක්කාට වෙඩිතැබූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ඊට අමතරව යතුරුපැදි තුනක් (3) පැමිණ රථයේ වේගය අඩාලකර වෙඩි තැබීම සිදුකළ බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ. එමෙන්ම ඝාතකයා එස්.එෆ්. ලොක්කාගේ පපුව දෙසට වෙඩි තබා ඔහු අඩාලකර පසුව පිටුපස ‍දොර විවරකර රථය තුළට නැඟ වෙඩි තබා පලාගිය බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත. මෙම සියලුම හෝඩුවාවන් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

ඝාතකයන් අංක තහඩු නොමැති කාන්තා යතුරුපැදියකින් පැමිණි බවත් එම යතුරුපැදිය කිසියම් ස්ථානයක දමා පලා ගියේද හා එය සොරාගත් යතුරුපැදියක්ද යන්න අනාවරණය කර ගැනීමට පෙරේදා (05 දා) රාත්‍රිය තෙක් පොලිසිය පරීක්ෂණ පැවත්වුවත් එම යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට නොහැකිවී තිබිණි.

ඔහුට වෙඩි තබන අවස්ථාවේ මෝටර් රථයේ සිටි බව කියන විවාහක කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පොලිසියට මෙසේ පවසා තිබිණි. “දහයියාගම හන්දියේ ජිම් එකට ගිහිල්ලා ආපහු නිවෙස පැත්තට එද්දී රේල් පාර ආසන්නයේදී රතිඤ්ඤා පත්තුවෙන ශබ්දයක් වගේ හඬක් ඇහුණා. මම දැක්කේ නෑ අප්පච්චිට වෙඩි තිබ්බේ කවුද කියලා. අප්පච්චි ලේ පෙරාගෙන අනිත් අසුන පැත්තට කඩාගෙන වැටෙද්දී තමයි මම දන්නේ එයාට වෙඩි තිබ්බා කියලා. වෙඩි තියපු විධියක් මම දක්කේ නෑ. මම කෑගහගෙන එළියට පැනලා උදවු ඉල්ලුවා” යනුවෙන් ඇය පොලිසියට පවසා තිබුණාය.

ඇය පිටුපස අසුනේ ගමන් කිරීම, ඇයට වෙඩික්කරු මූනිස්සමක්වත් නොවැදෙන අන්දමින් වෙඩි තැබීම පිළිබඳවත් පොලිසියට සැක මතුව තිබෙන අතර ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කාට අයථා ලෙස ඉපැයූ විශාල මුදලක් ඇති හෙයින් එම මුදල් ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ලෙස ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳව පොලිසියට සැක මතුව තිබේ. මෝටර් රථයේ සිටි කාන්තාව වෙනත් පුද්ගලයකුගේ විවාහක බිරියක් වන බවත් ඇයට එක් දරුවකු සිටිනා බවත් පොලිසිය පවසයි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර ඝාතනයට ලක්වූ ඉරෝන් රණසිංහ නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතාට විනිසුරුවරයා නියෝග කළේය.

වෙඩි වැදීම නිසා පපුවට හා පෙණහැලිවලට සිදුවූ තුවාල හේතුවෙන් මරණකරුගේ මරණය සිදුවී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා නිකුත්කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබිණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්. ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතා ඇතුළු පිරිසක් ඝාතකයන් සොයා විමර්ශන සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

+++++++++++++++++++++

+++++++++++++++++++++

මරන්න කලින් SF ලොක්කා බොරලු වලක් කපාගෙන ඉන්න හදලා

(06.08.2020 – aruna.lk)

“වෙඩි වැදෙනවාත් සමග අයියා (ඉරෝන් රණසිංහ) ඔලුව කෙලින් කර වෙඩි තැබූ අය දෙස බැලුව. වෙඩි වැදුනට පසු විනාඩි පහක් විතර අයියා හොඳට හිටිය. පස්සේ තමයි අයියා රියදුරු අසුනේ අනික් පැත්තට ඇද වැටුණේ. දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවාත් සමග පසුපසින් පැද්දි පැද්දි කැබ් එකකුයි, ස්කුටි මෝටර් සයිකලයකුයි ආව. මම හිතනව ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියට වෙඩි තියන්න ඇත්තෙ කියල” යැයි පෙරේදා (05) දවල් අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්.ලොක්කා නමැත්තාගේ පෙම්වතිය වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි තිලිණි නදීෂා වීරසිංහ පැවසුවාය.

අනුරාධපුර කාර්මික පෙදෙසේ සිය සහෝදරයාගේ නිවසේ තැන්පත් කර තිබෙන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කාගේ නිසල දේහය අසල හඬා වැටෙමින් ඇය සිය අත්දැකීම් විස්තර කරමින් මේ බව කීවාය.

ඝාතකයින් අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඉරෝන් රණසිංහ සමග මෝටර් රථයේ ගමන් ගත් තිලිණි නදීෂා වීරසිංහ නමැත්තිය සිය අත්දැකීම වැඩිදුරටත් මෙසේද විස්තර කළාය.

“අයියා (ඉරෝන් රණසිංහ) ජිම් එකට ගිහින් ව්‍යායාම කර කාර් එකෙන් මා සමග ගෙදර යන ගමන් මේ සිදුවීම වුණේ. වෙනදා වගේ අයියා කාර් එක වේගයෙන් පැදෙව්ව. මම එත් අයියට මොකුත් කිව්වෙ නෑ. අයියා රේල් ගේට්ටුව අසලදී කාර් එකේ වේගය අඩු කරනවාත් සමග එකවරම ඩොං – ඩොං ගාල ශබ්දයක් ඇසුණා. මම ඒ වෙලාවේ හිතුවේ රතිඤ්ඤා වෙන්න ඇති කියල.

ඒ වෙලාවේ අයියා ඔලුව කෙලින් කර වෙඩි තැබූ අය දෙස බැලුව. වෙඩි වැදුනට පසු විනාඩි පහක් විතර අයියා හොඳට හිටිය. පස්සේ තමයි අයියා රියදුරු අසුනේ අනික් පැත්තට ඇද වැටුණේ. දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවාත් සමග පසුපසින් පැද්දි පැද්දි කැබ් එකකුයි, ස්කුටි මෝටර් සයිකලයකුයි ආවා. මම හිතනව ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියට වෙඩි තියන්න ඇත්තෙ කියල.

කලින් දවසේ රෑ අපේ ගෙදර අවිත් ආපසු යන කොට අයියා කිව්ව ‘නංගි අයියාට පොඩි සීන් එකක් (මරණිය තර්ජනයක්) තියෙනව. ඒ හින්ද ඉක්මනින් ගෙදර යන්න ඕන’ කියල. මම ඒ වෙලාවෙ අයියට කිව්ව ‘පොඩ්ඩක් ඉඳලා යන්න’ කියල. කවුරුන් හෝ මොනවා හරි කියා තිබු නිසා අයියා සිද්ධිය වූ දිනට පෙර දින ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ.

මෑත කාලයේ අයියා කිසිඳු නරක වැඩක් කළේ නෑ. අතේ සල්ලි නැතත් එයා ණය වෙලා හරි හැමෝටම උදව් කළා. ‘කොහෙන්ද ඔය හැටි වියදම් කරන්න සල්ලි’ කියල අයියා ගෙදර ආවම මම ඇහුවා. ‘මැරිලා යන ටිකටනෙ අපි මේ හැමදේම කරන්නෙ. කොහෙන් හරි ඉල්ලා ගෙන තමයි මේ හැමදේම කරන්නෙ මැණිකේ’ කියල කිව්වා.

එයා වැරදි වැඩ නොකර, හැමදේම අත්හැර, බොරළු වළක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවෙ. අයිය අනුරාධපුරේ ඉන්න ආසවක් තිබුණේ නෑ. උසාවි යන්න තියෙන නිසා අනුරාධපුරේට ආවෙ. ඒ වගේම ‘අනුරාධපුරේ ඉන්න බෑ. ඡන්දය දාල යං’ කියලත් අයිය කිව්ව. එයා අවුරුදු දහයකින් ඡන්දය දාල තිබ්බෙ නෑ. අවුරුදු දහයකට පසු මේ පාර ඡන්දය දැම්මෙ. ඡන්දය දාන්න ඕන හින්ද ඊයේ (05) අනුරාධපුරේ නතරවී හිටියේ.

ඉරෝන් රණසිංහ නමැත්තාගේ ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (05) සවස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා විසින් සිදු කළේය. ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ විනිසුරුවරයා අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී ඉරෝන් රණසිංහ නමැත්තාගේ දේහය පරික්ෂා කළේය.

එහිදී අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙසට එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සේනානායක මහතාට නියෝග කළ විනිසුරුවරයා මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාට නියෝග කළේය.

අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පර්සි කුරුනේරු – අනුරාධපුර

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *