නව රජයේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි – නිල සජීවි විකාශය හිරු TV ඔස්සේ

(09.08.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ නිල සජීවි විකාශය පෙරවරු 08:30 සිට හිරු ටී.වී. ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

අද (09) සිව්වන (4) වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයින් හය (6) දෙනෙකු සහ සහෝදරියන් තුන් (3) දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන (2) පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් 18 වැනිදායී.

ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්ද සහ තර්ස්ටන් විද්‍යාලවලින්.

පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන්.

24 හැවිරිදි වියේ පසුවුණු මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වුණා.

සිය දේශපාලන ගමන් මග තුළ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රැසක් මෙහෙය වූ ඔහු මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරෙකු වුණා.

1982 ජනමත විචාරණයේදී බෙලිඅත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන අතර, පසුව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධූරයද ඔහු විසින් හොබවනු ලැබුවා.

විවිධ අමාත්‍ය ධූර තුළින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ මානුෂිකත්වයෙන් සටහන් වනවා.

2004 වසරේ පළමු වරට අගමැති ධූරයට පත්වන ඔහු 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උතුර නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම තැනින් තැන තම මිලේච්ඡත්වය වපුරමින් සිටියා.

සාම සාකච්ඡා අසාර්ථක වූ තත්ත්වයක මාවිල්ආරු සොරොව්වද වසා දමා එල්.ටී.ටී.ඊ.ය ජනතාව පීඩාවට පත්කරද්දී ජනපති මහින්ද මහතා, ආරක්ෂක හමුදාවන්ගේ ශක්තියෙන් දහස් ගණනක් ජනතාවගේ පිපාසය සංසිඳුවන මානුෂීය මෙහෙයුම ඇරඹුවා.

එය අවසන් වූයේ සේනාධිනායකයා ලෙස ඔහු තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි 18 වැනිදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සැබෑ සාමය උදා කිරීමෙන් අනතුරුවයි.

2018 ඔක්තෝම්බරයේදීද යළි අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වීමෙන් පසු නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද මහතා කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්. එම ඡන්ද සංඛ්‍යාව පන් ලක්ෂ 27,364 ක්.

Rupavahini (TV)ITN (TV)TV DeranaHiru TV

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි

(09.08.2020 – 06:30 +0530 – hirunews.lk/sinhala)

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු සෙසු සාමාජිකයන්ගේ අත්සනින් යුතුවයි.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තියට අනුව මෙම මන්ත්‍රීවරුන් 196 දෙනා මහජන ඡන්දයෙන් තේරී පත්වූ බවයි මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කර ඇත්තේ.

තවත් මන්ත්‍රිවරුන් 29 දෙනෙකු ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද අනුපාතය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් ලෙස බෙදී යනවා.

ඒ අනුව පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක් හිමිවූ අතර, ඔවුන් මේ වනවිටත් සිය ජාතික ලැයිස්තුව නම් කර අවසන්.

+++++++++++++++++++++++++++++++++++

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන තීන්දුව හෙට (10) – සමගි ජන බලවේගයේ ලැයිස්තුව අද (09)

(09.08.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගිවීමටයි නියමිතව ඇත්තේ.

හෙට (10) පෙරවරු 10 ට පමණ ආරම්භ වන මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳවද සාකච්ඡා සිදුකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නම් කෙරෙනු ඇති බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට පත් කරන මන්ත්‍රීවරුන් හත්දෙනා (7) පිළිබඳව අද (09) තීරණය කිරීමට නියමිත බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියා.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් පරාජය වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි එහි නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගයටද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර, ඊට නම් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එසේම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඊයේ (08) සාකච්ඡාවක් පැවැත් වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් කියා සිටියා.

ඒ අනුව ඊට අදාළ තීරණය අද (09) ප්‍රකාශයට පත්කරනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

මෙවර මැතිවරණයෙන් සියලුදෙනාටම පාඩමක් උගන්වා තිබෙනවා

(08.08.2020 – 21:15 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් කිහිපයක් දැන්…

අගමැති දිවුරුම්දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය ගැන තීන්දුව ගෙන මහින්ද චින්තනයේ ඉදිරි දිගුව ක්‍රියාත්මක කෙරෙනු ඇතිබව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකශ කළා.

මේ අතර රට ගෙන යන වැඩපිළිවෙලට ඉදිරියේදී සහය දෙනබව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජේ සී අලවතුවල ප්‍රකාශ කළා.

විජාතික බලවේගයන්ට යටත් නොවන ස්වදේශිකයන්ට බලය ලැබෙන ව්‍යවස්තාවක් සකස් කිරීමේ ඉදිරියෙදී ඇති ප්‍රධාන අරමුණ බව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ආණ්ඩුවේ හොඳ දේවල් සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ජනතාව මෙවර මැතිවරණයෙන් සියලුදෙනාටම පාඩමක් උගන්වා ඇති බව ප්‍රකාශ කළේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ එස් එම් චන්ද්‍රසේන මහතා විසින්.

සිරිකොතේ සැබෑ අයිතිකරුවන්ට ජනතාව කතිරය ගසා ඇති බව ප්‍රකාශ කළේ මෙවර මැතිවරණයෙන් බදුල්ලෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ චමින්ද විජේසිරි විසින්.

රටම යහපාලනය ප්‍රතික්ෂේප කර ඇති බව මෙවර මැතිවරණයෙන් ජනතාව ප්‍රකාශ කර ඇති බව ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

පරාජයේ වගකීම එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් භාරගතයුතු බව ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ හේෂා විතානගේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සමඟ ජනතාව ඒකරාශී වී ඇති බව ප්‍රකාශ කළේ යෝජිත ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

කහ සහ එනසාල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(08.08.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ආකාරයෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන කහ සහ එනසාල් තොගයක් සමඟ පුද්ගලයෙකු කල්පිටිය – ආනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආනවාසල ප්‍රදේශයේ පිහිටි දූපතක සඟවා තබා පසුව බෝට්ටුවක ආධාරයෙන් කහ සහ එනසාල් ගොඩබිමට රැගෙන එමින් සිටියදීයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු එම කහ තොගය සහ එනසාල් තොගය ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවද හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහි තිබී කහ පිරවූ මලු 04 ක් සහ එනසාල් පිරවූ මලු 11 ක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි නාවික හමුදාව සමඟ එක්ව අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, කහ කිලෝ ග්‍රෑම් 111 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 253 ක් සමඟ ඉදිරි විමර්ශන සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදී තිබෙනවා.

***************************************

මත්තලින් පිටවන පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය හෙට (09)

(08.08.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වන පළමු ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානය හෙට (09) ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව, මෙටි‍්‍රක් ටොන් 28 ක ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ. 2529 දරණ යානය හෙට (09) පස්වරු 05:50 ට ඇමරිකාව බලා පිටත්ව යන බවයි මත්තල ගුවන්තොටුපලේ ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සූරිය මහතා සඳහන් කළේ.

***************************************

අදියරෙන් අදියර හෙට (10) සිට පාසල්වල සියලු ශ්‍රේණි විවෘත කෙරේ

(09.08.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට (10) සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතියේ දින ක්‍රියාත්මක වන්නේ අදියර කිහිපයක් යටතේයි.

ඒ අනුව සතියේ දින පහම, පහ (5) ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත්, එකේ (1) සිට හතර (4) ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි.

ඒ අනුව සෑම සතියකම සඳුඳා එක (1) ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා දෙක (2) ශ්‍රේණියේ සිසුන්ද, බදාදා තුන්වන (3) ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුයි.

එමෙන්ම, හතර (4) වන ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුත්තේ සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සිකුරාදා දිනකම පමණයි.

යළි දැනුම්දෙනතුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වලට පැමිණිය යුතු ආකාරයද අදියර කිහිපයක් යටතේ සිදුවනවා.

ඒ අනුව සෑම සතියේ දිනකම සඳුඳා හය (6) ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා 07 ශ්‍රේණියේ සිසුන්ද, බදාදා අට (8) ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වනවා.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැමිණිය යුත්තේ 09 වන ශ්‍රේණියේ සිසුන්.

කෙසේ වෙතත්, දහය (10) ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතුයි.

පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි.

එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර, එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලුම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වනවා.

හෙට (10) සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන්ට ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතරව පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම්ද පැවරෙනු ඇති ෴

***************************************

කොරෝනා නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 420 ක් දිවයිනට

(09.08.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

එසේම, දිවයිනට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු අද (09) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

කටාර් රාජ්‍යයේ රැඳී සිටි 43 දෙනෙකුද අද (09) අලුයම දිවයිනට පැමිණි අතර, ඉන් 27 දෙනෙකු ශ්‍රී ලාංකිකයන්.

අනෙක් 16 දෙනා කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තානාපති නිලධාරීන් බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් සියලු දෙනාද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පැමිණීමට නොහැකිව චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඊයේ (08) දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි අතර, එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

මේ අතර ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (08) දිනයේ වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2841 දක්වා ඉහළ ගියා.

සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණි දෙදෙනෙකු (2) මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා ඊයේ (08) රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2576 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ 254 දෙනෙකු පමණක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

***************************************

වරාය නගර ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි ඉල්ලීමක්

(09.08.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ සුබපැතුම් පණිවුඩයක්ද රැගෙන ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු-වෙයි මහතා ඊයේ (08) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය සිය සන්දේශය මගින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සබඳතා වැදගත් නව අවස්ථාවන් සමඟ තවදුරටත් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අන්තර් පක්ෂ සහයෝගීතාව වර්ධනය කරගැනීමට සූදානම් බවද චීන කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කළා.

විෂමතා අත්හැර අන්‍යනෝන්‍ය අවබෝධයෙන් ද්විපාර්ශවික සබඳතා ඉහළ සංවර්ධනයක් උදෙසා ඊළඟ තලයට රැගෙන යාම සඳහා සහය දක්වන බවයි චීන කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කළේ.

එම සන්දේශය ඉදිරිපත් කරමින් චීන වැඩබලන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම රජය පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු වේගවත් කළ යුතු බවයි.

එමෙන්ම පානීය ජල සහ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා චීනයේ සහයෝගීතාව අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වැඩබලන තානාපතිවරයා, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හඳුන්වා ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ පැරණි මෙන්ම සමීපතම මිතුරෙකු ලෙසයි.

මේ අතර වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන් තොටුපල වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ පණිවුඩය දැනුම්දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.

ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දැඩි උනන්දුවක් පවතින බවයි.

සංචාරක ක්ෂේත්‍රය මෙන්ම පුරාවිද්‍යාව වැනි වෙනත් අංශවල ද ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේ අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමටත් පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් දුරකතන පණිවුඩයක් ලැබීමෙන් තමා සතුටට පත්වූ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *