මෙරට 13 වන අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය පුදබිමේදී දිවුරුම් දෙයි

(09.08.2020 – 09:35 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරු 09:30 ට පමණ දිවුරුම් දුන්නා.

එම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුලු පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියා.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ මොහොතින් දිවුරුම් දෙනු ලැබුවේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැති ධුරයේ දිවුරුම් දුන් සිව්වන (4) අවස්ථාව මෙය වනවා. එමෙන්ම මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි ඔහු අද (09) දිවුරුම් දෙනු ලැබුවේ.

සිය වැඩිමහල් සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට වැඳ ආචාර කිරීමද විශේෂත්වයක්.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වලද නිරතවුණා.

එමෙන්ම කැළණි පුදබිමට රැස්ව සිටි ජනතාවට අග්‍රාමාත්‍යවරයා සිය ආචාරයද පුද කර සිටියා.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලද නිරතවුණා.

මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්.

එම ඡන්ද සංඛ්‍යාව 527,364 ක්.

සිව්වන (4) වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයින් හය (6) දෙනෙකු සහ සහෝදරියන් තුන් (3) දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන (2) පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් 18 වැනිදායී.

ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්ද සහ තර්ස්ටන් විද්‍යාලවලින්.

පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන්.

24 හැවිරිදි වියේ පසුවුණු මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වුණා.

සිය දේශපාලන ගමන් මග තුළ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රැසක් මෙහෙය වූ ඔහු මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරෙකු වුණා.

1982 ජනමත විචාරණයේදී බෙලිඅත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන අතර, පසුව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධූරයද ඔහු විසින් හොබවනු ලැබුවා.

විවිධ අමාත්‍ය ධූර තුළින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ මානුෂිකත්වයෙන් සටහන් වනවා.

2004 වසරේ පළමු වරට අගමැති ධූරයට පත්වන ඔහු 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උතුර නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම තැනින් තැන තම මිලේච්ඡත්වය වපුරමින් සිටියා.

සාම සාකච්ඡා අසාර්ථක වූ තත්ත්වයක මාවිල්ආරු සොරොව්වද වසා දමා එල්.ටී.ටී.ඊ.ය ජනතාව පීඩාවට පත්කරද්දී ජනපති මහින්ද මහතා, ආරක්ෂක හමුදාවන්ගේ ශක්තියෙන් දහස් ගණනක් ජනතාවගේ පිපාසය සංසිඳුවන මානුෂීය මෙහෙයුම ඇරඹුවා.

එය අවසන් වූයේ සේනාධිනායකයා ලෙස ඔහු තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි 18 වැනිදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සැබෑ සාමය උදා කිරීමෙන් අනතුරුවයි.

2018 ඔක්තෝම්බරයේදීද යළි අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වීමෙන් පසු නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

Prime Minister Sworn In (Photos) from gossiplankanews.com

+++++++++++++++++++++

මෙරට 13 වන අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ කැළණිය පුදබිමේදී දිවුරුම් දෙයි

(විඩියෝ සහ ඡායාරූප)

(09.08.2020 – 09:35 +0530 – hirunews.lk/sinhala)

+++++++++++++++++++++++++++++++++++

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 12 වනදා මහනුවර මගුල් මඩුවේදී

(09.08.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය එළඹෙන 12 වනදා මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝ විට නව අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍ය ධුර 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකට සීමාවනු ඇති බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඊට සාපේක්ෂව නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහාද මන්ත්‍රීවරුන් නම් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම අත්දැකීම් සහ වෘත්තිය පසුබිමද විෂය පථයන් ලබාදීමේදී අවධානයට යොමුවනු ඇති බවයි ෴

***************************************

අදත් (09) ප්‍රදේශ රැසකට වැසි

(09.08.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

අද (09) දිනයේ ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

දිවයින හරහා විශේෂයෙන් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා තත සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ රළු වනවා.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින අතර විටින් විට රළු විය හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව සහ මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ ෴

***************************************

අගමැති මහින්දට නෙස්බි සාමිවරයාගෙනුත් සුබපැතුම්

(09.08.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන කොමියුනිස්ට් පක්ෂය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමන් වෙත පිරිනැමූ සුභාශිංසනවලට තුති පුදකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් එක්කර තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා දශක ගණනාවක් තිස්සේ චීනය සහය පළ කරන බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිතුරු සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇති බව තමාට සහතික යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ සුබපැතුම් පණිවුඩයක්ද රැගෙන ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු-වෙයි මහතා ඊයේ (08) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය සිය සන්දේශය මගින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සබඳතා වැදගත් නව අවස්ථාවන් සමඟ තවදුරටත් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බවයි.

එම සන්දේශය ඉදිරිපත් කරමින් චීන වැඩබලන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම රජය පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම, වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන් තොටුපල වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ පණිවුඩය දැනුම්දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් අත් නොදුටු දැවැන්ත වෙනසක් සළකුණු වන බව බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නෙස්බි සාමිවරයා පවසනවා.

මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබපැතුම් එක් කළ ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්වපාක්ෂික කණ්ඩායමේ සභාපතිවරයායි.

නෙස්බි සාමිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වාගෙන ගිය මෙරට රාජ්‍ය පාලනය ඔවුන් ඉතිහාසයට එක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය මගින් ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවයි ෴

***************************************

විසිවනදා (20) අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ

(09.08.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම මේ වනවිට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ සමාජ දුරස්ථභාවය තබාගනිමින් වඩාත් සෞඛ්‍යාරක්ෂිතව සභා ගර්භය තුළ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් මෙලෙස සූදානම් කරන බවයි.

මෙවර පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී විපක්ෂයේ පසුපස පෙළ ආසන විස්සකට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කිරීමට සිදුවනු ඇති.

ඊට හේතුවී ඇත්තේ ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගෙන තිබීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුන් ප්‍රමාණවත් නොවීමයි.

මේ අතර පාර්ලිමේන්තුව ආරම්භ වන දිනයේ එය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව සීමා කිරීමටද පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ඊට ඇතුලුවන සියලුම පාර්ශව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතිරීති අඛන්ඩව අනුගමනය කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා සභා ගර්භය තුළදී පැළඳීමට මුහුණු ආවරණ ලබාදීම සඳහාද තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා.

සභා ගර්භය තුළදී සියලුම මන්ත්‍රීවරුන් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වන අතර, ඔවුන් පාර්ලිමේන්තුව ඇමතීමේදී ද ඒවා පහත හෙළීම සිදු නොකළ යුතු බවටයි දැනුම්දී ඇත්තේ ෴

***************************************

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම ගැන අවධානය

(09.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් රැඳවියන් බැලීමට අවසර ලබාදීම පිළිබඳව හෙට (10) දිනයේදී අවසන් තීරණයක් ගනු ලබන බවයි.

බන්ධනාගාරය හා සම්බන්ධ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස්ද එහිදී විශේෂ අවධානයකට ලක් කිරීමට නියමිතයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගියෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග පිටස්තර පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.

හෙට (10) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ ෴

***************************************

කල්දැමුණු ලෝක ආදිවාසි දින සැමරුම 15 වනදා

(09.08.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ලෝක ආදීවාසී දිනය අදට (09) යෙදී ඇති අතර කොරෝනා වසංගත තත්ත්වය සහ මහමැතිවරණය හේතුවෙන් මෙරට ආදීවාසි දිනය සැමරීම එලඹෙන 16 වන දිනට කල් දමා තිබෙනවා.

ඒ අනුව ආදීවාසි වරිග සභාව ලබන 15 වනදා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රැස්වන බවයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ප්‍රකාශ කළේ.

***************************************

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 10 ක්

(08.08.2020 – 21:53 +0530 – sinhala.adaderana.lk)

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්ගේ විශේෂතා කිහිපයක් දක්නට ලැබේ.

විශේෂයෙන් පිය පුතු යුගල 4 ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය පුතු යුගල 4 ය.

මීට අමතරව වෛද්‍යවරුන් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර රමේෂ් පතිරණ, සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොල, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්ද, තිලක් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඒ අතර වේ.

මීට අමතරව කාවින්ද ජයවර්ධන සහ රාජිත සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් අතරට අයත්ය.

ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර නාලක ගොඩහේවා, නාලක කෝට්ටේගොඩ, ඉසුරු දොඩංගොඩ, අනූප පස්කුවල්, ගාමිණි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන සහ පාඨලී චම්පික රණවක ඒ යටතට අයත් වේ.

මීට අමතරව කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම රණවිරුවන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

මැතිවරණවල දී දැඩි කතාබහට ලක්වූ කාන්තා නියෝජනයේ දී කාන්තාවන් දස (10) දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව, පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන මහත්මීන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

***************************************

ජලය නොමැතිව බැටකන කලාවැවේ ගොවීන්

(08.08.2020 – 21:43 +0530 – sinhala.adaderana.lk)

මහවැලි නිලධාරීන් නිසි පරිදි ජලය නිකුත් නොකිරීම නිසා රටට බත සපයන කලාවැවේ ගොවීන් රැසකට යල කන්නයේ වගා කටයුතු කිරීමට අවස්ථාව අහිමි වීය.

ගොවීන් චෝදනා කළේ ඉහළ ජල ධාරිතාවක් කලාවැවේ තිබියදීත් මහවැලි නිලධාරීන් ජලය නිතුක් නොකළ බවටය.

කලා වැවෙන් පෝෂණය වන ගොවි ජනපද කිහිපයකට යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය නිකුත් නොකිරීම නිසා එහි කුඹුරු වගා කටයුතු ඇනහිට තිබුණි.

ඒ අනුව, බොහෝමයක් කුඹුරු පුරන් වී තිබූ අතර ඇළ මාර්ගවල මුල් කොටසේ පමණක් ගොවීන් වගාවන් කර තිබුණේ වැසි ජලය සහ ළිං ජලය ද භාවිතා කරමිනි.

මෙවැනි පසුබිමක මහ මැතිවරණ ජනහමුවලට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන්ගන්නා අතරතුර ගල්ගමුව මීගලෑව ප්‍රදේශවාසීන් පිරිසක් මෙම ගැටලුව ජනපතිට ඉදිරිපත් කළේය.

ඒ අනුව, එම ගොවි ජනතාවට අවශ්‍ය ජලය නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබුණු නමුත් අද (08) දිනයේත් අපිට දක්නට ලැබුණේ එම ඇළ මාර්ගවල ජලය ගලා නොයන බවය.

මේ වන විට කලා වැවේ අක්කර අඩි 57,332 ක ඉහළ ධාරිතාවක ජලය පවතී.

ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාදීමේ හැකියාව තිබියදීත් මහවැලි නිලධාරීන් එය සිදුනොකිරීම පිළිබඳව ගොවීන් දැඩිලෙස චෝදනා කරයි.

කලා වැවේ ජලය නිසි පරිදි නිකුත් නොකිරීම නිසා ගොවීන් අපහසුතාවට පත්වන පසුබිමක කලා වැවේ ජලය ඉහළයාම නිසා කැකිරාව සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වන අලි තර්ජනයට මුහුණපා ඇත්තේ අලි රංචු ගැවසෙන වැව් තාවුල ජලයෙන් පිරී තිබීම නිසාය.

මේ අතර, පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක වී වගාවට කීඩෑ උවදුරකින් මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.

මෙලෙස බලපෑමට ලක්ව ඇත්තේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පතොක්වැව, නිකහේනයාය, ඇත්හොඬයාය, කදුරුගස්වැව, ගල්ඇඳවලයාය ප්‍රදේශවලය.

***************************************

මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

(09.08.2020 – 12:44 +0530 – lankadeepa.lk)

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනි ඇල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් එම ප්‍රදේශයට පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මොහිනි ඇල්ල අසල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහළින් විශාල යූකලෙප්ටස් වර්ගයේ ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, හමා යන දැඩි සුළං තත්ත්වය හමුවේ එම ගස් ද ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් සහිත ගස් කපා ඉවත් කරන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් ලක්ෂපාන වතු යායේ පාලන අධිකාරියට දැනුම් දි ඇතත්, ඒ සදහා වතු පාලන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පොලිසිය කියයි.

***************************************

හිතවත් වියත්මග සාමාජිකයිනි,

(09.08.2020 – facebook.com/viyathmagaPBF)

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට ජනතාව තීන්දු කර තිබේ. රටේ අනාගතය පිළිබඳ ගැඹුරින් සිතා බලා ජනතාව ගත් එම තීන්දුව පිළිබඳ වියත්මග ලෙස අපි අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

වියත්මග සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විධායක බලයට අමතරව ව්‍යවස්ථාදායක බලයත් ලබා දෙන ලෙසය. ජනතාව සිය වගකීම මැනවින් ඉටු කොට තිබේ.

සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමේ ගමන ආරම්භ කිරිමට නව රජයට දැන් අවස්ථාව උදා වී ඇත. රටට අහිතකර ව්‍යවස්ථා නීති රීති සංශෝධනය කරගත හැකිය. රටට ඔබින ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිය.

එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට ගෙන ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය තවත් තහවුරු වන ආකාරයට ජනතාව ඔබ වෙත පවරා ඇති වගකීම් සම්භාරය නිසි බරින් අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස තේරීපත්වූ සියලු ජනතා නියෝජිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

එසේම ඒකීයභාවය තහවුරු කළ දියුණු සංවර්ධිත දේශයක් ගොඩනඟන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පාර්ශ්ව වෙත ආරාධනා කර සිටිමු.

වියත්මග

Message to Viyathmage members :
.
People have decided to grant an unprecedented victory to the Sri Lanka Podujana Peramuna (SLPP) at the 2020 Parliamentary General Election. We, as members of Viyathmaga, salute the people for their judgement delivered after giving due consideration to the future of our country.
.
People have already approved the manifesto placed before the people by Viyathmaga Chairman, President Gotabaya Rajapaksa at the last Presidential Election at which he requested a mandate to implement his vision for the country well-articulated in his manifesto as “Vistas of Prosperity and Splendor”. He requested the people at the last General Election to help him to successfully implement his manifesto already approved at the Presidential Election by giving him the required Legislative Power in addition to the Executive Power already granted.
.
The opportunity to begin the journey to establish a prosperous nation while performing its duties without fail has now dawned to the new Government. It has become necessary to suitably amend certain provisions in the 1978 Constitution which are harmful to the country and other administrative laws & rules detrimental to the efficient implementation of the economic development policies & programmes. It is also possible to formulate & adopt a new Constitution suitable for the country.
.
We are requesting all those people’s representatives elected at the General Election to emulate President Gotabaya Rajapaksa and ensure that they will act not only to consolidate the trust already reposed on you by the people but also have a proper understanding of the responsibilities imposed on you by the people.
.
We also request all segments of people to join the President to implement his programme of action to build a developed country where its unitary nature is preserved.
.
Viyathmaga

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තු මැතිවරණයේ ඓතිහාසික ජනවරම ජනාධිපති ජනවරමේ දිගුවක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(09.08.2020 – 20:32 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහනට සහභාගි වෙමින් මාහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපති මැතිවරණ ජනවරමේ දිගුවක් බවය.

මෙම ඓතිහාසික ජනවරම ජනතාව විසින් ස්වේච්ඡාවෙන් නිර්මාණය කරන ලද්දක් බවත් එය ජනාධිපතිවරයා පිළිබඳ බලවත් විශ්වාසය නිසා නිර්මාණය වුවක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

***************************************

නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි ඉදිරියේ පවතිනවා – විමල් වීරවංශ

(09.08.2020 – 18:51 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් භාර ගන්නා බවත් එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ ලබා ඇති අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. ඉන්පසු එතුමන් ජනවාරි 09 වැනිදා, පාන්දරම අරලියගහ මන්දිරයෙන් කාල්ටන් නිවස බලා පිටත් වුණා. ඒ දර්ශන පෙළ දැකලා බොහෝ හදවත් කම්පාවට පත්වුණා. අපට පුළුවන් වුණා ඒ කම්පාවට පත් වුණු හදවත් තුළ ගැබ්ව තිබූ උවමනාව දේශපාලන බලවේගයක් බවට පත් කරන්න.

අපේ පුරෝගාමී මෙහෙවර

ඒ අනුව තමයි 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ නුගේගොඩින් ඇරඹුණේ. එසේ ඇරඹුණු මහා ජන ක්‍රියාන්විතය අද ඉතා විශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයක් ලබා දීම තෙක් පෙරට ඇවිත් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂයන් ජනාධිපති ධුරයට පත් කරමින්, ඉන් නොනැවතී එතුමන්ට 2/3 ක බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබා දීමට සමත් වූ ඒ මහා ජන ක්‍රියාන්විතයට පුරෝගාමියකු ලෙස දායක වීමට ලැබීම මා සහ අප පක්‍ෂය ලැබූ ඉතා ඉහළ භාග්‍යයක් ලෙස සලකනවා.

මේ රටේ ඉතිහාසය පුරාම ජනාධිපතිවරණකින් පසුව පැවති මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආණ්ඩු බලය හිමි වන දේශපාලන පක්‍ෂයට ලැබී නැහැ. මේ තමයි එවැනි තත්වයක් නිර්මාණය වූ පළමු අවස්ථාව. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් කෙරෙහි තැබූ විශ්වාසයටත් වඩා වැඩි විශ්වාසයකින් මෙවර මහා මැතිවරණයේදී 60% කට වැඩි ඡන්දදායකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මාදම් වෙලා තිබෙනවා. කොරෝනා වසංගත තත්වය යටතේ ආරක්‍ෂිත මනසකට නොයා, ඡන්දපොළට ඇවිත් මේ පිරිස තම යුතුකම ඉටු කරලීම නිසා මේ ජයග්‍රහණය තව තවත් සුවිශේෂී වෙනවා. ඒ වගේම වෙනම තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් අපේ කඳවුරේ දේශපාලන පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද සමගින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට සවියක් විය හැකි මන්ත්‍රී ධුර 151 කින් යුත් කණ්ඩායමක් මේ රටේ ජනතාව ආණ්ඩුවට ලබා දී තිබෙනවා.

එජාප – ජවිපෙ ඉරණම

ඒ ජනතා තීන්දුව තුළ ඇත්තේ අප දේශපාලන කඳවුර කෙරෙහි තැබූ ඉතා ඉහළ විශ්වාසයයි. ඒ තුළ ‘ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පවතින ක්‍රමය වඩා යහපත් අතට වෙනස් කරාවි’ කියන විශ්වාසය ගැබ් වූ ජනතා බලාපොරොත්තුවක් සැඟව තිබෙනවා. ඒ වගේම අපේ ප්‍රතිවාදීන් ලෙස බැලුවහොත් එක්සත් ජාතික පක්‍ෂය සොහොන් කොත කරාම රැගෙන ගොස් තිබෙනවා. මෙම මැතිවරණයෙන්. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 03 කට අසරණ කොට තිබෙනවා. එමගින් පෙනී යන්නේ පසුගිය මාස 07-08 තුළ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයට එරෙහිව ගොඩනඟන ලද ප්‍රවාද මේ රටේ ජනතාව ‘තඹ දොයිතුවකට’ මායිම් කර නැති බවයි.

උතුරින් ලැබුණු පණිවිඩය

මෙසේ ජනතාව තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කර ගැනීමට ඊට අවශ්‍ය නිසි ගෞරවය ලබා දීමට අප සමත් විය යුතුයි. එසේම මෙම තත්වය වැඩි දියුණු කර ගැනීම අපි ඉදිරියේ තිබෙන අභියෝගයයි. ඒ නිසා අපි ඒ වගකීම සෑම විටම හිසෙහි දරාගෙන වැඩ කළ යුතුයි. ඒ වගේම ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විශේෂයෙන් උතුරේදී දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව සැලකිය යුතු ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමගින් උතුරේ දෙමළ ජනතාව පෙන්වා තිබෙනවා,‘අපට තිබෙන්නේ ෆෙඩරල් පාලනයක් පිළිබඳ දොළ දුකක් නොවෙයි, එදිනෙදා ජීවිතයේ අභියෝග ජය ගැනීමේ උවමනාවක්’ කියා. ඒ නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි පක්‍ෂයකටත් යාපනයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගත හැකි වූයේ.

සාම්ප්‍රදායික ජනමතය වෙනුවට මෙමගින් නව ජනමතයක් නිරූපනය වෙනවා. ඒ නිසා මේ නව ජනමතය නිසි පරිදි කියවා ගෙන, එහි අර්ථය නිවැරදිව වටහා ගෙන එම ජනමතයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි සියලුදෙනා ඉදිරියේ පවතිනවා. අපි ඒ අභියෝගය ඉතා සතුටින් බාර ගන්නවා. ජාතික නිදහස් පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 06 ක් ලැබී තිබෙනවා. ඉදිරියේදී අපි සියලුදෙනාම ඉතාම ඉහළ වගකීමකින් මේ ජනවරමේ අර්ථය හා වටිනාකම වැඩි කරන ආකාරයට කටයුතු කරන බව මේ රටේ ජනතාවට සපථ කරනවා.

මේ ආරම්භ වන්නේ ‘ගෝඨාභය දශකය’යි. මේ රට ගොඩනඟන එම දශකය තුළ ඉතාම පුරෝගාමී වැඩ කොටසක් ඉටු කිරීමට අපි සැදී පැහැදී සිටිනවා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභයගේ වියත්මගෙන් 10 ක් ඇතුළට

(09.08.2020 – 14:39 +0530 – lankaleadnews.com)

මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මග’ සංවිධානයේ අපේක්ෂකයින් නවදෙනෙකු (9) අතරින් අටදෙනකු (8) ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර දෙකක් සමග ‘වියත්මග’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් දසදෙනෙක් (10) පත් වී ඇත.

එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ කර ජයගෙන ඇති ‘වියත්මග’ නියෝජිතයින් මෙසේය :

  1. කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් වීරසේකර
  2. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා
  3. මාතලේ දිස්ත්‍රීක්කයෙන් නාලක කෝට්ටෙගොඩ
  4. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආචාර්ය චන්න ජයසුමන
  5. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය ගුණපාල රත්නසේකර
  6. මහනුවර දිස්ත්‍රික්කයේ නීතිඥ උදයන කිරිදිගොඩ
  7. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය උපුල් ගලප්පත්ති
  8. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තිලක් රාජපක්ෂ

මිට අමතරව ජාතික ලැයිස්තුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සහ සීතා අරඹේපොල යන නියෝජිතයින් දෙදෙනා (2) ද පත්කර ඇත.

‘වියත්මග’ සංවිධානය ඉදිරිපත් වී පරාජයට පත්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අනුර ප්‍රනාන්දු මහතා පමණි.

‘වියත්මග’ සංවිධානය 2019 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සංවිධානයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දීමේ දී ඔහු ‘වියත්මග’ සංවිධානයේ සාමාජිකයකු ලෙස හැඳින්වූ අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ නැත.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ‘වියත්මග’ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා (2) බැගින් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණත්, මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව දිස්ත්‍රික්ක මට්ටමෙන් නාමයෝජනා ලබාදී තිබුණේ නවදෙනෙකුට (9) පමණි ෴

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තු යන නවකයන්ගෙන් වැඩිම මනාප ආචාර්ය-මහාචාර්යවරුන්ට…

(10.08.2020 – 08:02 +0530 – lankacnews.com)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නවකයන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන මන්ත්‍රීවරුන් අතරින් වැඩිම මනාප ගත් තිදෙනාම ආචාර්ය උපාධි ලැබුවන් වීම විශේෂත්වයකි.

නවකයන් අතරින් වැඩිම මනාප ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. ඔහු මනාප 325,479 ක් ලබා ගත් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ආචාර්ය ගුණපාල රත්නසේකර මහතාය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. හෙතෙම මනාප 141,991 ක් ලබා ගත්තේය.

නවකයන් අතුරින් තෙවැනියට වැඩිම මනාප ලබා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාය. ඔහු මනාප ජන්ද 133,980 ක් ලබා ගෙන ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *